• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.01.14

අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.01.14

උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල කඩිනම් ආර්ථික හා සමාජ සවිබල ගැන්වීම් හා යටිතල පහසුකම් ව්‍යාපෘති


- දශක තුනකට අධික කාලයක් සංවර්ධනය මඟ හැරී තිබීම හේතුවෙන් උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ආර්ථික යටිතල පහසුකම් සහ සමාජ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා ජීවනෝපාය සහායන් සැලසීම මඟින් එම ප්‍රදේශවල සංවර්ධනය කඩිනම් කිරීම පිණිස විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව කෘෂිකාර්මික, කාර්මික, ධීවර හා සේවා අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මේ යටතේ වන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනු ඇත. ග්‍රාමීය පාරවල්, දූපත් හි යාත්‍රා නැංගුරම්ලන ස්ථාන හා ගොඩබෑමේ ස්ථාන, ජැටි, දූපත් හා ප්‍රධාන ගොඩබිම් අතර ප්‍රවේශයන් සැපයීම, කෘෂි උපකරණ, කෘෂි ළිං, ධීවර බෝට්ටු හා එන්ජින්, ස්වයං රැකියා ආශ්‍රිත උපකරණ හා තාක්ෂණය, වෙළඳපොළ පහසුකම්, ගබඩා සහ ආශ්‍රිත යටිතල පහසුකම් වැනි ජීවනෝපාය හා සම්බන්ධ පහසුකම්ද මෙම ව්‍යාපෘතිය මඟින් සලසා දීමට නියමිතය.

ඒ අනුව ආර්ථික යටිතල පහසුකම්, සමාජ යටිතල පහසුකම්, ජීවනෝපාය හා ස්වයං රැකියා සහ කුඩා කර්මාන්ත හා ව්‍යවසායන් යන ක්ෂේත්‍ර 04 ඔස්සේ මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 2,000ක මුදලක් වෙන් කරවා ගැනීම පිණිස ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අවබෝධතා ගිවිසුම් 06කට එළඹීම


අතිගරු ජනාධිපතිතුමාගේ පිලිපීන සංචාරයේදී ද්විපාර්ශ්වීය මිත්‍රත්වය, සහයෝගය සහ සංවර්ධනය අරමුණු කර ගෙන පහත සඳහන් ලෙස ගිවිසුම් 06කට එළඹීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාවය සඳහා වන අවබෝධතා ගිවිසුම- සංචාරක ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධන, අධ්‍යාපන හා පුහුණු, සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්, ආයෝජනයන් සහ දෙපාර්ශ්වය විසින් තීරණය කරනු ලබන අනෙකුත් අංශවල සහයෝගිතාව වර්ධනය කිරීම පිණිස ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව.

 

විදේශ රැකියා ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කිරීම-දෙරට අතර සේවක සුබසාධනය හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ඵලදායිතාව, සේවා තත්ත්ව, වෘත්තීයමය සෞඛ්‍ය හා සුරක්ෂිතතාව ඉහළ නැංවීම, විගමණික සේවකයන් පුහුණු කිරීම හා සහතික කරණය සහ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීති ආධාර සැපයීම වැනි ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව වර්ධනය කරගැනීම සඳහා පිලිපීනය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව.

 

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම-දෙරට අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් පිලිපීන ජනරජයේ උසස් අධ්‍යාපන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකාවේ නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව.

 

කෘෂිකර්මය හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර ආවරණය වන අවබෝධතා ගිවිසුමකට එළඹීම-දෙරට අතර බෝග වගාව, ධීවර කර්මාන්තය, සත්ත්ව පාලනය හා කුකුල් පාලනය, කෘෂි සැකසුම් හා අගය වැඩි කිරීම, නිෂ්පාදන බෙදා හැරීම හා අලෙවිය යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් පිලිපීනය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව.

 

ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පද්ධතියේ පර්යේෂකයන් සඳහා විදේශීය පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට පහසුකම් සැලසීම-ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පද්ධතියේ පර්යේෂකයන් විදේශීය පශ්චාත් උපාධි හැදෑරීම සඳහා යොමු කරවීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස පිලිපීනයේ ලොස් ‍බානෝස් විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව.

දෙරට අතර ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කිරීම- දෙපාර්ශ්වය අතර ආරක්ෂාව, සංග්‍රාමික අධ්‍යාපනය, පුහුණුව, ආරක්ෂක දූත පිරිස් හුවමාරුව, ඒකාබද්ධ අභ්‍යාස, මිත්‍ර සංචාරයන් සහ සම්මන්ත්‍රණ යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව.

කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල්වල සහ පේදුරුතුඩුව හා මාන්කුලම් මූලික රෝහල් හි සෞඛ්‍ය සත්කාරක පහසුකම් වැඩිදියුණු කිරීම


උතුරු පළාතේ සෞඛ්‍ය පහසුකම් හා සේවා වැඩිදියුණු කිරීම යටතේ කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල්වල සහ පේදුරුතුඩුව හා මාන්කුලම් මූලික රෝහල්වල සෞඛ්‍ය සත්කාරක පහසුකම් වැඩිදියුණු කිරීමට යෝජනා වී තිබේ. මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය යුරෝ මිලියන 54.45ක් වන අතර එම ආයෝජනයෙන් 75%ක් අපනයන ණය නියෝජිත ආයතනයක ආවරණය සහිත ණය පහසුකමක් ලබා දීමට නෙදර්ලන්තයේ ING Bank N.V. ආයතනය මඟින්ද ඉතිරි 25%ක මුදල නෙදර්ලන්ත රජයේ ප්‍රදානයක් ලෙස ලබා දීමට එකඟවී ඇත. මෙම ව්‍යාපෘතිය උතුරු පළාත් සභාවේ සහාය ද ඇතිව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය (Automated Peritoneal Dialysis) භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගත හැකි කාන්දු පෙරන පද්ධතියක්

(Home Dialysis System) හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත මීට පෙර ඉදිරිපත් කරන ලද අතර, එම යෝජනාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ඇගයීම හා සාකච්ඡා සම්මුති පැවැත්විම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවක් හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත්, මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම රෝගය ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්කවල රෝගීන් 500ක් සඳහා ක්‍රියාත්මක කර ඉන් පසු දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටත් එම අනු කාරක සභාව විසින් නිර්දේශ කර ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කළ එම නිර්දේශ ඇතුළත් වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.



අම්බලන්ගොඩ, පොල්වත්ත ආයුර්වේද රෝහල සංවර්ධනය කිරීම


අම්බලන්ගොඩ, පොල්වත්ත ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද රෝහල මඟින් ඇඳන් 18ක් හා වාට්ටු 02ක් සහිතව නේවාසික රෝගී ප්‍රතිකාර සේවාව පවත්වාගෙන යනු ලබයි. මාසිකව රෝගීන් 3,000ක් පමණ ප්‍රතිකාර ගැනීම පිණිස මෙම රෝහල වෙත පැමිණියද ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම හේතුවෙන් එම රෝගීන්ට අවශ්‍ය නේවාසික ප්‍රතිකාර ලබා දීම දුෂ්කර වී තිබේ.

පිළිකා, හදවත් රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය යනාදී රෝග නිවාරණයට හා පාලනයට මෙන්ම යෝජිත යෝග ප්‍රතිකාර ඒකකය මඟින්ද ලබාදිය හැකි දායකත්වය සලකා, මෙම රෝහල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් අදියර 04ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එහි පළමු අදියරේ සංවර්ධන කටයුතු නිමවෙමින් පවතින අතර දෙවන හා තෙවන අදියර ලෙස පළමු හා දෙවන මහළේ කටයුතු ද සිව්වන අදියර යටතේ තෙවන මහළේ කටයුතු ද සිදු කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



හල්දුම්මුල්ල ඔසු උයන සංවර්ධනය කිරීම


බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි හල්දුම්මුල්ල ඔසු උයන අක්කර 65ක භූමි ප්‍රදේශයක ව්‍යාප්තව පවතින අතර, එහි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක, ආවේනික ශාක හා දුර්ලභ ශාක ඇතුළත්ව ශාක විශේෂ 700ක් පමණ පවතියි. මේ මඟින් ඔසු උයන් පිහිටුවීම සඳහා අවශ්‍ය ඔසු පැළ හා තාක්ෂණික උපදෙස් ලබා දීම, ඖෂධීය ශාක පිළිබඳ ප්‍රකාශන අලෙවි කිරීම සහ දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම යනාදිය සිදු කරනු ලැබේ. මෙම කටයුතු තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා රුපියල් මිලියන 33.4ක ආයෝජනයක් සහිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



යාපනය නගර ශාලාව සංවර්ධනය කිරීම


හානියට පත් වීම හේතුවෙන් භාවිතයට නොගන්නා යාපනය මහ නගර සභාවේ නගර ශාලාව වෙනුවට වර්තමානයේ එම නගර සභාවේ කටයුතු නල්ලූර් කෝවිලට අයත් ඉඩමක පිහිටි ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යනු ලබයි. මහජනතාවට එදිනෙදා සේවා සපයනු ලබන නගර සභාවට අයත් අංශ, විවිධ ස්ථානවල විසිරී පැවතීම හේතුවෙන් මහජනතාව දුෂ්කරතාවන්ට මුහුණ දෙනු ලබන බව නිරීක්ෂණය වී ඇත. එබැවින් යාපනය නගර ශාලාව රුපියල් මිලියන 2,350ක පිරිවැයක් යටතේ 2019-2023 කාල පරිච්ඡේදය තුළ ඉදි කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය භට බලකාය, ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සඳහා නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි වර්ග ප්‍රසම්පාදනය කිරීම


ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ශිෂ්‍ය භට බලකාය සඳහා නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි වර්ග දේශීය රෙදිපිළි නිෂ්පාදනයන් වෙතින් රුපියල් මිලියන 1,596.4ක මුදලකට ප්‍රසම්පාදනය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



කොළඹ හා ගම්පහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන නවීකරණය කිරීම

කොළඹ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීම හා ගම්පහ කාර්මික විද්‍යාලය වැඩි දියුණු කිරීම යටතේ අදාළ ඉදිකිරීම් කටයුතු නිම වෙමින් පවතියි. මෙම කාර්මික විද්‍යාලයන්හි පවත්වන පාඨමාලා, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 4 සිට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 5 හා 6 මට්ටම දක්වා උත්ශ්‍රේණිගත කර ඇති බැවින් එම අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සහ නවීන තාක්ෂණික වෙනස්වීම් ද සැලකිල්ලට ගෙන මීට පෙර යෝජනා කර තිබූ යන්ත්‍රෝපකරණ ලැයිස්තුව සංශෝධනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



ගම්පහ, අත්තනගල්ල හා මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමය යටතේ අත්තනගල්ල ප්‍රදේශයේ ප්‍රධාන සම්ප්‍රේෂණ නළය හා ජලය බෙදාහැරීම් සඳහා අවශ්‍ය ජල නළ එළීම සහ උපාංග සඳහා වන ප්‍රසම්පාදනය

 ගම්පහ, අත්තනගල්ල හා මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව M/s. China Machinery Engineering Corporation වෙත ප්‍රදානය කරන ලද අතර එහි ඇතැම් කාර්යයන් උප කොන්ත්‍රාත් යටතේ සිදු කිරීමට නියමිතව තිබේ. ඒ යටතේ අත්තනගල්ල ප්‍රදේශයේ ඝන මීටර 1,500ක ධාරිතාව සහිත ජල කුළුණක් ඉදි කිරීම හා සම්ප්‍රේශණ හා බෙදා හැරීම් ප්‍රධාන නලය සඳහා අවශ්‍ය උපාංග සහ ජල නළ එලීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s. Sierra Construction Limited සහ K D A Weerasinghe Co. (Pvt) Limited විසින් ඇතිකර ගත් බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



බැලුම්මහර ප්‍රදේශයේ ඝන මීටර 1500ක ධාරිතාව සහිත ජල කුළුණක් ඉදි කිරීම, ජල නළ එළීම හා සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් පද්ධතිය සඳහා අවශ්‍ය උපාංග සඳහා වන ප්‍රසම්පාදනය


- ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s China Machinery Engineering Corporation වෙත ප්‍රදානය කරන ලද අතර, එහි උප ව්‍යාපෘති 08ක් උප කොන්ත්‍රාත් දීමට එකඟතාවයකට පැමිණෙන ලදී. ඒ අනුව එහි එක් උප කොන්ත්‍රාත්තුවක් වන බැලුම්මහර ප්‍රදේශයේ ඝන මීටර 1,500ක ධාරිතාව සහිත ජල කුළුණක් ඉදි කිරීම, ජල නළ එළීම, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් පද්ධතිය සඳහා අවශ්‍ය උපාංග සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Sanken Construction (Pvt) Ltd වෙත පිරිනැමිම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රජයේ රෝහල් 20ක විද්‍යුත් රූප සංරක්ෂණ හා සන්නිවේදන පද්ධතියක් සහ විකිරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම


රෝගීන්ගේ සියලු තොරතුරු සංරක්ෂණය කර ගබඩා කිරීමට සහ ඩිජිටල් විකිරණ රූප විශාලනය කර බැලීමට හැකියාව ලබා දීම තුළින් අවම පිරිවැයක් හා කාලයක් වැය කොට රෝග නිශ්චය පිළිබඳ නිවැරදි තීරණ ගැනීමට උපකාරි වන විද්‍යුත් රූප සංරක්ෂණ හා සන්නිවේදන පද්ධතියක් සහ විකිරණ තොරතුරු පද්ධතියක් රජයේ රෝහල් 20ක ස්ථාපිත කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි මැලේසියාවේ M/s REDtone MEX sdn Bhd ආයතනය වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



බේරුවල මූලික රෝහලේ ප්‍රධාන ගොඩනැඟිල්ල ඉදි කිරීම (අදියර - I)


බේරුවල මූලික රෝහලේ ප්‍රධාන ගොඩනැඟිල්ල ඉදි කිරීමේ අදියර I යටතේ මහල් 09කින් යුත් ප්‍රධාන ගොඩනැඟිල්ලක පයිල් අත්තිවාරම ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s. Access Engineering PLC වෙත රුපියල් මිලියන 355ක මුදලකට පිරිනැමිම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා ශ්‍රවණාගාරයක් ඉදි කිරීම


- ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දකුණු පළාතේ බොහෝ රාජ්‍ය ආයතන රාජ්‍ය උත්සව, සම්මන්ත්‍රණ, සම්මේලන සහ ප්‍රසිද්ධ රැස්වීම් සඳහා භාවිතා කරනු ලබන්නේ හෝල් ඩි ගෝල් (Hall de Galle) නමින් හඳුන්වන මුහුදු තීරයේ පිහිටා ඇති ඉහළ සංචාරක ආකර්ශණය සහිත ස්ථානයක පිහිටි ශාලාවකි. දකුණු පළාතේ ගාල්ල කොටුව ප්‍රදේශයේ පිහිටා ඇති ඉතා ඉහළ වාණිජමය වටිනාකමක් සහිත මෙම භූමිය සැලසුම්ගත සංචාරක සංවර්ධන කටයුතු සඳහා නිදහස් කිරීමට යෝජනා කර තිබේ. එබැවින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ භාවිතය සඳහා ආසන 2000කින් පමණ සමන්විත නව ශ්‍රවණාගාරයක් සැලසුම් කොට ඉදි කිරීමට නියමිතව ඇත. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,656.87ක මුදලකට සන්කෙන් කන්ස්ට්‍රක්ෂන්ස් (පුද්ගලික) සමාගම වෙත පිරිනැමීම සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම විසින් නිෂ්පාදිත ඛණිජ වැලි විකිණීම


රජයට අයත් ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනයේ නිෂ්පාදිත ඛනිජ වැලි විකිණීම සඳහා වන ටෙන්ඩර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ටෙන්ඩර් කමිටුවේ සහ තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශය පරිදි, Non -Magnetic Heavy Mineral Concentrate මෙට්‍රික් ටොන් 40,000 මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 283.91ක් බැගින් සහ Low-Grade Zircon Crude මෙට්‍රික් ටොන් 13,000ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 25.11 බැගින් සහ සර්කෝන් මෙට්‍රික් ටොන් 250ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 1,403 බැගින් එම්/එස්. ඇල්කේමි බර ලෝහ (පුද්ගලික) සමාගම වෙත සහ රූටයිල් මෙට්‍රික් ටොන් 800ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 1,113 බැගින් M & S Sell & Parker Pty. Ltd. වෙතත් සහ හයි ටයි ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 2,000ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 136.86 බැගින් M/s. Project Prospects (pvt) Ltd.වෙතත් පිරිනැමීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



යාපනය නාගරික උද්‍යාන සහ යාබද උද්‍යාන දහයක (10)ක සංවර්ධන කටයුතු සිදු කිරීම


- යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි පන්නෙයි නාගරික වෙළඳපොළ, කලපුව ඉදිරිපිට උද්‍යානය, සංගිලියන් උද්‍යානය, ඔඩ්ඩුමඩම් කලපුව අසල උද්‍යානය, කොටුව ආශ්‍රිත උද්‍යානය යන නාගරික උද්‍යාන සහ රසාවින්තෝට්ටම් චතුරශ්‍රය, රසල් චතුරශ්‍රය, පාසයියූර් කුඩා උද්‍යාන, කුරුනගර් බීච් රෝඩ් චතුරශ්‍රය යනාදී උද්‍යාන සංවර්ධනය කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව එහි සුදුසු නාගරික සංවර්ධන මැදිහත්වීම් සඳහා සංකල්පමය සහ විස්තරාත්මක සැලසුම්කරණය, ලංසු ලියකියවිලි සකස් කිරීම සහ ඉදි කිරීම් අධික්ෂණය සඳහා වන උපදේශක කොන්ත්‍රාත්තුව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



කඩුවෙල මාර්ගයේ බත්තරමුල්ල මංසන්ධියේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය


- බත්තරමුල්ලේ ඉදි කිරීමට යෝජිත බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයට ඒකාබද්ධ වන පරිදි කඩුවෙල මාර්ගයේ බත්තරමුල්ල මංසන්ධියේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 415ක ඉඩමක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම්/එස්. එසර් ප්‍රොජෙක්ට්ස් ලිමිටඩ් වෙත බදු පදනම මත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



ශ්‍රී ජයවර්ධනපුර හෙද පීඨය ඉදි කිරීම සඳහා ජම්බාර ගැසීමේ කටයුතු


- මහල් 22කින් යුක්තව ශ්‍රී ජයවර්ධනපුර හෙද පීඨය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පිරිනැමීමට මීට පෙර අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව එහි ස්ථානීය ජම්බාර 248ක ජම්බාර ගැසීමේ කටයුතු සිදු කළ යුතු බැවින් එය පැකේජ 03ක් යටතේ උප කොන්ත්‍රාත් දීමට තීරණය කරන ලදී. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙහි පැකේජය 01 හා 02 සීමාසහිත නවලෝක පයිලිං පුද්ගලික සමාගම වෙත පිළිවෙළින් රුපියල් මිලියන 124.8ක හා රුපියල් මිලියන 137.5ක මුදලකටත් පැකේජය 03 සීමාසහිත ඩී.පී. ජයසිංහ පයිලිං පුද්ගලික සමාගම වෙත රුපියල් මිලියන 126ක මුදලකටත් පිරිනැමීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම


- සම්බුද්ධ දේශනා සියල්ල ඇතුළත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට හා එය රජය මඟින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, ත්‍රිපිටකයට සම්බන්ධ නැවත මුද්‍රණය හා අනෙකුත් කටයුතු බුද්ධශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලද අතර ඒ අනුව 2019 ජනවාරි 05 දින මාතලේ අලුවිහාරයේදී ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එලෙස ප්‍රකාශයට පත් කිරීම තහවුරු කළ යුතු බවටත් හා ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කළ යුතු බවටත් වූ යෝජනා සම්මතයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.