• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩල තීරණ- 2019.01.29

2019-01-29 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත පරිදි වේ.

 

ජල මාර්ග ඔස්සේ වෙරළට සහ සාගරයට එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණය පාලනය කිරීම
- වෙරළට සහ සාගරයට එකතුවන අපද්‍රව්‍යවලින් 90%ක්ම ජනනය වනුයේ ගොඩබිම සිදුවන මිනිස් ක්‍රියාකාරකම් හා කර්මාන්ත හේතුවෙන් බව අනාවරණය වී ඇති අතර, මේ හේතුවෙන් සමාජ, ආර්ථික හා පාරිසරික ගැටලු රැසක් නිර්මාණය වී ඇත. වෙරළ තීරයෙහි ගුණාත්මක බව තහවුරු කිරීම සඳහා අන්තර්ජාතික ප්‍රමිතියක් වශයෙන් සලකනු ලබන ඩෙන්මාර්කයේ පරිසර අධ්‍යාපනය පිළිබඳ පදනම මඟින් නිකුත් කරන 'නිල් ධජ' සහතිකය ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට අදාළව ලබාගැනීම සඳහා වන කටයුතු සිදු වෙමින් පවතී. එමෙන්ම මෙරට සංචාරක කර්මාන්තයට වෙරළ සහ සාගර ආශ්‍රිත ප්‍රදේශ මඟින් 70%ක පමණ දායකත්වයක් ලබා දෙන බැවින් ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට හිමිව ඇති ස්ථානය ආරක්ෂා කරගනිමින් 2020 වසර වන විට සංචාරකයින් මිලියන 4ක් ශ්‍රී ලංකාව වෙත ආකර්ශණය කරගැනීමේ ඉලක්කය සපුරා ගැනීමටද පිරිසිදු වෙරළක් හා සාගරයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව, ජල මාර්ග අපද්‍රව්‍ය වලින් තොරව පිරිසිදුව පවත්වා ගැනීම සඳහා වන වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දැව නිෂ්පාදනය සඳහා වන වගා කිරීම
- ශ්‍රී ලංකාවේ දැව අවශ්‍යතාව වාර්ෂිකව ඉහළ යන බැවින් ඊට සමගාමීව දැව සඳහා දැනට වගා කර ඇති වන වගාවල ඵලදායිතාව ඉහළ නැංවීම හා නව වන වගා ස්ථාපිත කිරීම සිදු කළ යුතු බවට යෝජනා වී ඇත. නව වන වගා ස්ථාපිත කිරීම සඳහා වව්නියාව, කිලිනොච්චි, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි හෙක්ටයාර 500ක ඉඩම් හඳුනාගනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් දැව ඉල්ලුම සපුරාලීමට අමතරව ප්‍රාදේශීය වශයෙන් රැකියා ජනනය කිරීම හා වනාවරණය ඉහළ නැංවීම තුළින් ගෝලීය උණුසුම පාලනය කිරීමට දායකත්වයක් ලබා දීමටද අපේක්ෂා කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම
- ගැටුම් හේතුවෙන් බලපෑමට ලක්ව ඇති උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීමේ කටයුතු ස්ථිර වාසස්ථාන, සනීපාරක්ෂක පහසුකම්, ජල සැපයුම හා මංමාවත් සහ විදුලිබල සබඳතා වැනි ආර්ථික යටිතල පහසුකම් සහ අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් ස්ථාපිත කරමින් කඩිනමින් සිදු කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව නිවෙස් හිමිකරුවන් විසින් ඉදි කිරීම් කටයුතු සිදු කළ යුතු නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකක 4,750ක් ඉදි කිරීමටත්, මෙම ප්‍රදේශ සඳහා අවශ්‍ය ආර්ථික හා සමාජ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, තල් ආශ්‍රිත කර්මාන්තය නඟා සිටුවීම සඳහා තික්කාම් ඩිස්ටිලරීස් ආයතනය වැඩිදියුණු කිරීමටත් ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාජ්‍ය ආයතනවල සැලසුම්කරණ හා කළමනාකරණ ශිල්පීය ක්‍රමයක් ලෙස සංවර්ධන ප්‍රතිඵල සඳහා කළමනාකරණය (MfDR) සංකල්පය භාවිත කිරීම
- සංවර්ධිත රටවල් මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල්ද නවීන සැලසුම්කරන හා කළමනාකරණ ශිල්පීය ක්‍රමයක් ලෙස සංවර්ධන ප්‍රතිඵල සඳහා කළමනාකරණය යන සංකල්පය ඔවුන්ගේ රාජ්‍ය අංශයේ කළමනාකරණ චක්‍රය සඳහා භාවිත කරනු ලබයි. මෙමඟින් ජාතික තිරසර සංවර්ධනය සඳහා ඉලක්කගත වූ ප්‍රධාන කාර්යසාධන දර්ශක ඉලක්ක කරගනිමින් රාජ්‍ය කළමනාකරණ කටයුතු සිදු කරනු ලබයි. සංවර්ධන ප්‍රතිඵල සඳහා කළමනාකරණය ක්‍රියාවලිය ආරම්භයක් ලෙස අමාත්‍යාංශ 05ක හා පළාත් සභා 02ක නියමු ව්‍යාපෘතියක් ලෙස ආයතන ගත කිරීමටත්, එහි සාර්ථකත්වය මත සියලුම රාජ්‍ය ආයතන ආවරණය වන පරිදි මෙම සංකල්පය භාවිත කිරීමටත් ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කලාපීය වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් සඳහා පලාලි (කන්කසන්තුරේ) ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම
- සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව කාල සටහනක් අනුව අභ්‍යන්තර වාණිජ මගී ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ යොදා ගැනීමටත්, පලාලි ගුවන්තොටුපොළේ අවශ්‍ය සංවර්ධන කටයුතු රුපියල් මිලියන 1,950ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් කඩිනමින් සිදු කර ගැනීමටත් ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීම හේතු කොට ගෙන බලපෑමට ලක් වන පුද්ගලයින් වෙත වන්දි ගෙවීම
- උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇත. රුපියල් මිලියන 11,700ක ආයෝජනයක් සහිතව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් මහනුවර නගරයේ ජන ජීවිතයේ සහ එහි සංස්කෘතික උරුමයේ ගුණාත්මක බව වර්ධනය කිරීමට දායක විය හැකි පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මෙම ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින ව්‍යාපාරිකයින් ඇතුළු 820කට පමණ සිය ජීවනෝපාය අහිමි වන බව හඳුනාගනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වන පුද්ගලයින් සඳහා ගෙවිය යුතු වන්දි මුදල් ප්‍රමාණය ගණනය කිරීම සඳහා පත් කරන ලද හිමිකම් ඇගයුම් කමිටුවේ නිර්දේශ අනුව අදාළ වන්දි මුදල් ගෙවීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තේ හා පොල් වැවිලි ක්ෂේත්‍රවල ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා පහසුකම් සැපයීම
- කුඩා තේ වතු හා පොල් වතු විසින් එම ක්ෂේත්‍රයන්හි සමස්ත නිෂ්පාදනයට දක්වන දායකත්වය පසුගිය වසර කිහිපය තුළ වර්ධනය වෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇති අතර, එම දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ ශක්‍යතාවක් පවතින බවද හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව කුඩා තේ වතු හා පොල් වතුවල නිෂ්පාදනයේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කරවා ගැනීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයුම් පද්ධතිය නවීකරණය කිරීම
- වී, අතිරේක ආහාර බෝග සහ එළවලුවල සහතික කළ බීජ සහ රෝපණ ද්‍රව්‍ය, බීජ සහ රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ, බීජ ගොවිපොළ 27 මඟින් සහ කොන්ත්‍රාත් පදනම මත බීජ නිෂ්පාදන වැඩසටහන මඟින් සපයාගනු ලැබේ. එම බීජ ගොවිපොළවල සිදු කෙරෙන නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය නිසි වාරිමාර්ග පහසුකම් නොමැතිවිම, යාන්ත්‍රීකරණය නොමැතිවීම, ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම, දුර්වල ප්‍රවාහන පහසුකම් සහ අත්‍යවශ්‍ය පහසුකම් ව්‍යුහයන් සීමිත වීම හේතුවෙන් මූලික බීජ අවශ්‍යතාව සඳහා වූ ඉලක්ක සපුරා ගැනීම දුෂ්කර වී ඇත. එබැවින් බීජ පිරිසැකසුම් යාන්ත්‍රීකරණය, මහඉලුප්පල්ලම, අම්පාර හා අළුත්තරම ගොවිපොළවල ඒකාබද්ධ වියලන හා පිරිසැකසුම් සංකීර්ණයක් ස්ථාපනය කිරීම, පැල්වෙහෙර හා බටඅත ගොවිපොළ සඳහා අතිරේක ආහාර බෝග බීජ තේරීම සඳහා නව තාක්ෂණික යන්ත්‍ර මිල දී ගැනීම, රහංගල, සීතාඑළිය, බටඅත හා අම්පාර ගොවිපොළවල බීජ ගබඩා හතරක් ඉදි කිරීම සහ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානවල ප්‍රවාහන පද්ධතිය වැඩිදියුණු කිරීම හා ලක් කෘෂි ව්‍යාපාරික ජාලය ව්‍යාප්ත කිරීම යනාදී කටයුතු සිදු කිරීමට යෝජනා වී ඇත. මේ සඳහා රුපියල් මිලියන 335ක මුදලක් වෙන් කරවා ගැනීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තිරසර කෘෂිකර්ම සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීම මඟින් ආහාර ආරක්ෂණය ඉහළ නැංවීම
- මාකඳුර පිහිටා ඇති කාබනික කෘෂිකර්මාන්තය සඳහා වන විශිෂ්ඨතා කේන්ද්‍රය මඟින් කාබනික කෘෂිකර්මාන්තය සහ කාබනික පොහොර පිළිබඳ පර්යේෂණ හා තාක්ෂණික හුවමාරුව සිදු කරන අතර, මාකඳුර කලාපීය කෘෂිකර්ම පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය මඟින් බෝග ප්‍රවර්ධනය හා ශාක පෝෂණය යනාදී අංශ පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කරයි. වර්තමානයේ පරිසර හිතකාමී කෘෂිකර්ම සංවර්ධන සහ පර්යේෂණ කටයුතු සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීමේ අවශ්‍යතාවක් පැන නැඟී ඇති අතර, ඒ අනුව මෙම ආයතන දෙක ඒකාබද්ධ කොට තිරසර කෘෂිකර්ම සංවර්ධන මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණත්වය තහවුරු කිරීම
- ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය භාවිත කිරීම මඟින් අස්වැන්න 15%-20% ප්‍රමාණයකින් ඉහළ නැංවිය හැකි බව හඳුනාගනු ලැබ ඇත. එබැවින් ඒ සඳහා ගුණාත්මක බීජ නිෂ්පාදනයේදී අවශ්‍ය වන උපකරණ හා සේවාවන් ගොවීන් වෙත සැපයීම, මව් ශාක වගා කරන උද්‍යාන වැඩිදියුණු කර විධිමත්ව නඩත්තු කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම, නව ශාක ප්‍රභේද වර්ග හා අනුමත ආනයනික රෝපණ ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම, වෙළඳපොළ තුළ සංසරණය වන බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණාත්මක භාවය තහවුරු කිරීම, ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය පිළිබඳ ගොවීන් හා නිෂ්පාදකයන් දැනුම්වත් කිරීමට බහුවිධ මාධ්‍ය ප්‍රචාරණ ක්‍රම යොදා ගැනීම සහ රෝපණ ද්‍රව්‍ය නිපදවීමේ කර්මාන්තයේ කටයුතු පුළුල් කිරීම සඳහා සැලසුම් කරනු ලැබ ඇත. මෙම කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගැනීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත ක්‍රියාත්මක කිරීමේ සහ නියාමනය කිරීමේ යන්ත්‍රණය ශක්තිමත් කිරීම
- ශ්‍රී ලංකාවේ පළිබෝධනාශක නියාමන කාර්යය 1994 අංක 6 සහ 2011 අංක 31 දරන පනත්වලින් සංශෝධිත 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත මඟින් සිදු කරනු ලබයි. මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වු 1983 අවධියේදී භාවිතයේ පැවති 70ක් පමණ වන පළිබෝධනාශක නිෂ්පාදන සංඛ්‍යාව වර්තමානය වන විට 700ක් පමණ දක්වා විශාල වශයෙන් වර්ධනය වී ඇත. එමෙන්ම පළිබෝධනාශක කර්මාන්තය තුළ ගෝලීය මට්ටමින් සිදු වී ඇති ප්‍රවණතාවන් හා සංවර්ධනයට සමගාමීව පළිබෝධනාශක පාලන කටයුතු ද යාවත්කාලීන කළ යුතුව තිබේ. ඒ අනුව, පළිබෝධනාශක සංයෝජනවල ගුණාත්මක භාවය සුරැකීම හා ආහාර භෝගවල පළිබෝධනාශක අවශේෂ නියාමනයේ අනිවාර්ය අනුකූලතා ඇගයීම සිදු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, දේශීය ආහාර සුරක්ෂිතතාවය හා ආහාර‍ භෝගවල ශේෂව පවතින පළිබෝධනාශක වලින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් අනුකූලතා විශ්ලේෂණ පහසුකම් පුළුල් කිරීම, ගෝලීය කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවණතා හා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් රටතුළ ප්‍රචලිත කිරීම, කෘෂිකාර්මික අංශයේ පළිබෝධනාශක පමණක් නොව ඒ හා සම්බන්ධ අනෙකුත් ක්ෂේත්‍රයන්ද ආවරණය වන පරිදි නියාමන ක්ෂේත්‍රය පුළුල් කිරීම සහ නියාමන කාර්යයන් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අවශ්‍ය දත්ත පද්ධති ගොඩනැඟීම හා පරිපාලන ව්‍යූහය ශක්තිමත් කිරීම ඇතුළු කාර්යයන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික මට්ටමේ විශ්ලේෂණාත්මක විද්‍යාගාරයක් පිහිටුවීම මඟින් ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම
- රසායනික පොහොර, කාබනික පොහොර සහ පළිබෝධනාශක යනාදියෙහි යෙදුම් තත්ත්වය සහ අතිරික්ත භාවිතය නියාමනයටත්, ආහාර, පස සහ ජලයෙහි අවශේෂ හා අපවිත්‍රකාරක මට්ටම නියාමනයටත් නවීන පහසුකම්වලින් යුත් විද්‍යාගාරයක් ස්ථාපිත කිරීමට යෝජනා වී ඇත. ඊට සමගාමීව විද්‍යාගාර උපකරණ හා පහසුකම් සැපයීම මඟින් එහි පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීමටත්, විද්‍යාගාර පිළිගැනුම් හා තත්ත්ව සහතිකකරණය සිදු කිරීමටත්, කෘෂිකාර්මික යෙදවුම්වල ආරක්ෂිත හා නිරවද්‍ය භාවිතය පිළිබඳ දැනුම්වත් කිරීමටත්, කෘෂි රසායනික ද්‍රව්‍ය හා පොහොර භාවිතය හා නිකුත් කිරීම පිළිබඳ පුහුණුව ලබා දීමටත් යෝජනා වී ඇත. ඒ අනුව, මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනිම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ද්වීපාර්ශ්වික ගුවන්සේවා ගිවිසුම්වලට එළඹීම
- ගුවන් සේවා කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් ඇෆ්ගනිස්ථානය, කටාර් රාජ්‍යය, ඊශ්‍රායලය සහ සිම්බාබ්වේ යන රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් නිලධාරි මට්ටමෙන් එකඟ වී ඇති ගුවන්සේවා ගිවිසුම් බලයලත් නියෝජිතයෙකු විසින් අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට දායක වන අයුරින් එම ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම් ක්‍රියාවට නැංවීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 45 වන වගන්තිය සංශෝධනය කිරීම
- 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 45 වන වගන්තියේ විධිවිධාන පරිදි යම් කලාප, දිස්ත්‍රික්ක හෝ කොට්ඨාස සඳහා සාමදාන විනිශ්චයකාරවරුන් පත් කිරීමේ බලය අධිකරණ විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරී ඇත. ඒ අනුව එකී තනතුරට පත් කරනු ලබන තැනැත්තන්ගේ පදිංචිය සලකා බලා උචිත පරිදි යම් අධිකරණ කලාපයක හෝ දිස්ත්‍රික්කයක හෝ කොට්ඨාසයක සේවය කිරීමට හැකි වන පරිදි සාමදාන විනිශ්චයකාරවරුන් පත් කරනු ලැබේ. එහෙත් කලින් කලට අධිකරණ කලාප වෙනස් කිරීම හේතුවෙන් සාමදාන විනිශ්චයකාරවරුන්ට සිය අධිකරණ කලාපය හඳුනාගැනීමේ දුෂ්කරතාව සැලකිල්ලට ගෙන, අධිකරණ කලාපයකට, දිස්ත්‍රික්කයකට හෝ කොට්ඨාසයකට සාමදාන විනිශ්චයකාරවරුන් පත් කිරීම වෙනුවට පරිපාලන දිස්ත්‍රික්ක සඳහා සාමදාන විනිශ්චයකාරවරුන් පත් කිරීමට හැකි වන පරිදි 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 45 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය දෙනු ලැබ තිබේ. ඒ අනුව කෙටුම්පත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම සහ ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කැලණිය අධ්‍යාපන කලාපයෙහි දෙමළ මාධ්‍ය ජාතික පාසලක් ස්ථාපනය කිරීම
- ගම්පහ, වත්තල ප්‍රදේශයේ ජීවත් වන ‍දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නඟා සිටුවීම සඳහා අරුන් ප්‍රසාන්ත් පදනම විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තෑගි ඔප්පුවක් මඟින් පවරා දීමට නියමිත දේපළ භාවිතා කරමින් අරුන් මානික්කවාසගම් හින්දු විද්‍යාලය නමින් දෙමළ මාධ්‍ය හින්දු ජාතික පාසලක් කැලණිය අධ්‍යාපන කලාපයේ පිහිටුවීම පිණිස ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ම‍නෝ ගනේසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ප්‍රමුඛතා පදනමින් සිදු කළ යුතු උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- උතුරු හා නැ‍ඟෙනහිර පළාත් තුළ ජීවත් වන වැසියන්ගේ ජීවන තත්ත්වය තවදුරටත් ඉහළ නංවමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා එම ප්‍රදේශයේ මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජයේ අවධානය‍ යොමු වී ඇත. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි උතුරු පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව සීඊසී - නෙම් බද්ධ ව්‍යාපාරය වෙතත්, උතුරු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවට අයත් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව සීමාසහිත කේඩීඊ වීරසිංහ සහ පෞද්ගලික සමාගම වෙතත්, නැ‍ඟෙනහිර පළාත තුළ පවත්නා මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව උපදේශන ඉංජිනේරු හා කොන්ත්‍රාත් පෞද්ගලික සමාගම වෙතත්, නැ‍ඟෙනහිර පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව නවලෝක කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගම වෙතත්, නැ‍ඟෙනහිර පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවට අයත් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව සීමාසහිත සිනොහයි‍ඩ්‍රෝ සංස්ථාව වෙතත් පිරිනැමීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලවල පහසුකම් සංවර්ධනය කිරීම
- උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය තවදුරටත් වර්ධනය කිරීම උදෙසා විශ්වවිද්‍යාලයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිණිස රජයේ අවධානය යොමුවී ඇත. ඒ අනුව, කැලණිය විශ්වවිද්‍යාල සිසුන් සඳහා සිව් මහල් නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් ඉදි කිරීම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහල් 07කින් යුත් බහුකාර්ය ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ ව්‍යාපෘතියේ අදියර I ලෙස එහි මහල් 03ක් ඉදි කිරීම, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සඳහා පීඨ ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර, මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ දේශන ශාලා ගොඩනැඟිල්ලේ හා එහි ඉංජිනේරු පීඨයේ බහු කාර්ය ගොඩනැඟිල්ලේ ඉතිරිව පවතින කාර්යයන් සිදු කිරීම යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හොරණ - පාදුක්ක සහ හබරණ - වාලච්චේන සම්ප්‍රේෂණ ජාලය වැඩිදියුණු කිරීම
- ලංකා විදුලිබල මණ්ඩලයට අයත් සම්ප්‍රේශණ ජාලය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ හොරණ - පාදුක්ක අතර කි.මී. 25 සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව සහ හබරණ - වාලච්චේන අතර සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියේ 2 වන පරිපථයේ කම්බි ඇදීම සඳහා වන කොන්ත්‍රාත්තු M/s. China National Electric Engineering Co. Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ සම්ප්‍රේෂණ මාර්ග ඉදි කිරීම හා ධාරිතාව වැඩි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව
- විදුලිබල පද්ධතියේ ජාතික සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සංරචක 4ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලදී. එහි 3 වන සංරචකය වශයෙන් සැලසුම් කර ඇති සම්ප්‍රේෂණ මාර්ග ඉදි කිරීම හා ධාරිතාව වැඩි කිරීම සඳහා වන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ජපානයේ Kinden Corporation සහ Kalpatharu Power Transmission විසින් ඇති කරගත් බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු අංගනයේ ධාරිතාව ඉහළ නැංවීම
- නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු අංගනයේ ගල් අඟුරු භාවිත‍ාවේ ධාරිතාව මෙට්‍රික් ටොන් 742,421 පමණ වන අතර, එය මාස 03ක ගල් අඟුරු අවශ්‍යතාවය ගබඩා කරගැනීම සඳහා ප්‍රමාණවත් වේ. එම ධාරිතාවය මාස 06ක ගල් අඟුරු අවශ්‍යතාව සපුරා ගත හැකි වන පරිදි පුළුල් කිරීම සඳහා එහි ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 1.21ක් දක්වා ඉහළ නැංවීම සඳහා සැලසුම් කර තිබේ. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි චීනයේ M/s China Machinery Engineering Corporation වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වී අලෙවි මණ්ඩලය සඳහා අලුතින් ගබඩා ඉදි කිරීම් හා පවතින ගබඩා අලුත්වැඩියා කිරීම
- කෘෂිකාර්මික ක්ෂේත්‍රය වැඩිදියුණු කරමින් ගොවීන්‍ට සහන සැලසීම සඳහා එම ක්ෂේත්‍රය හා සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව, බෙලිඅත්ත හා මීගහජඳුර යන ප්‍රදේශවල මෙට්‍රික් ටොන් 2,000ක ධාරිතාව සහිත නවීන තාක්ෂණයෙන් යුත් නව වී ගබඩා දෙකක් ඉදි කිරීමටත්, දිවයින පුරා පිහිටි පැරණි වී ගබඩා 39ක් අලුත්වැඩියා කිරීමටත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.