2016.06.07 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තිරණ පහත සඳහන් වේ.
මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් බලපෑමට ලක්වන ජනතාව වෙත සහන සැලසීම
උතුරු මැද පළාතේ කෘෂිකාර්මික කටයුතු සඳහා බලපා ඇති ජල හිඟයට විසඳුමක් ලබා දීමත්, අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කවල ජනතාව සඳහා පානීය ජලය සැපයීමත් ඉලක්ක කර ගනිමින් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස 2007 වසරේදී ආරම්භ කරන ලද මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය වර්තමානයේ දිවයින තුළ ක්‍රියාත්මක වන විශාලතම බහු කාර්ය ගංගා නිම්න සංවර්ධන ව්‍යාපෘතිය වේ. ව්‍යාපෘතියේ ඉදි කිරිම් කටයුතු 65%ක් පමණ දැනට අවසන් වී ඇති අතර, 2016 වර්ෂයේ මහ කන්නයේ වර්ෂාව ආරම්භ වීමට ප්‍රථම ජලාශයට ජලය පිරවීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බැවින් ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක් වන නාවුල හා ලග්ගල-පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි පවුල් 2,512ක් කඩිනමින් ප්‍රදේශයෙන් ඉවත් කළ යුතුව ඇත. මෙයින් පවුල් 984ක් සඳහා දැනටමත් වන්දි ප්‍රතිලාභ ලබා දී ඇති අතර, ව්‍යාපෘතිය සැලසුම් කළ පරිදි නියමිත කාලසීමාව තුළදී නිම කිරීමට හැකිවන පරිදි ව්‍යාපෘතිය මඟින් බලපෑමට ලක් වන ඉතිරි පවුල් 2,228 ප්‍රදේශෙයන් ඉවත් කිරීම සඳහා සාධාරණ ක්‍රමවේදයක් අනුව වන්දි පිරිනැමීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.




