• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නූපන් දරුවන්ටත් ආහාර හිඟයක් ඇති නොවී රටේ ගොවියාත් ආරක්ෂා කරන වැඩපිළිවෙළක්

Hon Duminda disanayake 2017 02 01අපි සූදානම් වැඩසටහන යටතේ තිරසාර සංවර්ධන ඉලක්ක එක්ව ජයගනිමු යන තේමාවෙන් මාතර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා නිලධාරින් සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධරින් දැනුවත් කිරීමේ පළමු වැඩසටහන පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 

 මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, “අපි ජනවාරි 18 අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් එකම තැනකට ඇවිල්ලා තිරසාර සංවර්ධන ඉලක්ක එක්ව ජය ගනිමු කියලා පොරොන්දු වුණා. ඒ අනුව දිස්ත්‍රික් වැඩසටහන  මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට ලැබීම සතුටක්.

අපේ මූලික අරමුණ වුණේ තිරසර සංවර්ධන ඉලක්ක ජයගන්න අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක්  විදිහට කොහොමද සූදානම් වෙන්නේ වගේම අපෙන් ඉටු විය යුතු යුතුකම වගකීම හඳුනාගැනීමයි. 23 වන කෘෂිකර්ම ඇමතිවරයා විදිහට ඒ කාලේ ඉඳන් කෘෂිකර්මාන්තයේ අඩුපාඩු දුර්වලතා මඟහරවා ගනිමින් කටයුතු කිරීමයි අපේ බලාපොරොත්තුව. දෙපාර්තමේන්තුව පටන් ගත්ත දවසේ ඉඳන් වරදක් තිබුණා නම් අපි අලුත් රජයක් විදිහට ඒ වැරදි නිවැරදි කරන්න සූදානම්, ඔබතුමන්ලා වෙනුවෙන්. අපේ කාලේ නෙවෙයි මේවා සිද්ධ වුණේ කියලා ඇඟ බේරගන්න හදන ඇමති කෙනෙක් නෙවෙයි මම. කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අතින් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඒ කාගේ කාලයේදී  වුණත් ඒවා නිවැරදි කරන්න මම කටයුතු කරනවා. අද අපි සූදානම් කියලා කියනවා. ඒ මොනවාටද කියනවා නම්,  තිරසර සංවර්ධන ඉලක්ක ජයගන්නයි අපි සූදානම් වෙන්නේ. අද ඒ සඳහා මුළු ලෝකයම කටයුතු කරනවා. සියලුම රටවල් ඒ සඳහා සැලසුම් හදනවා. තිරසර සංවර්ධන ඉලක්ක 17න් 13ක්ම කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ යි. තිරසර ඉලක්ක ටික ජයගෙන රටේ ආර්ථිකය, පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්නයි අපට උවමනා. මේවා ජයගත්තට ඒ ගෞරවය හිමිවෙන්නේ ගොවියෝ එක්ක සම්බන්ධවෙලා, අව්ව වැස්ස නොබලා, උරෙනුර ගැටිලා ගමට පණිවුඩය ගෙනියන නිලධාරීන්. තිරසාර සංවර්ධන ඉලක්ක වල පළවෙනි ඉලක්කය සැමට ආහාර. එම ඉලක්කය හඹාගෙන යාමේ  වැඩසටහනට තමයි අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන් කාරණයක් මතක් කරනවා නම්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විදිහට ඔබේ වටිනාකම ඔබ තේරුම් අරන් නැහැ. 1995 මේ තනතුර ඇති කළේ බලාපොරොත්තු රාශියක් සමඟ යි.

නමුත් ගොවියාගේ නායකත්වය ගැනීමට සිටි පුද්ගලයන් සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ නෙවේ. ඔබේ තනතුර නිර්මාණය කළේ ගොවියාගේ මිතුරා සහ ගොවිතැනේදී ගමේ කොටස්කාරයා විදිහට. ගෙවතු වගා හදන්න කියද්දී මම ඔබෙන් බැණුම් ඇහුවා. ගම්දොර වැඩසටහනේදීත් එහෙමයි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විදිහට තමන්ගේ කොට්ඨාසයේ වපසරිය ඔබතුමන්ලා දන්නවා ඇති. නමුත් හරි සංඛ්‍යාලේඛන නැහැ. අස්වැන්න කොච්චර ලැබෙනවාද ආදි වශයෙන් නිසි තොරතුරක් නැහැ. නිසි සැලැස්මක් නැහැ.  පසුගිය කාලයේ බැණුම් ඇහුවාට මම තරහ නෑ. ඔබේ රාජකාරියට තවත් කාර්යයක් එකතු වුණු නිසයි, බැණුම් අහන්න වුණේ. රැකියාවක් තියෙන කෙනෙක් විදිහට ඔබට වගකීමක් තියෙනවා ගන්න පඩියට වැඩකරන්න. අපේ පුංචි අයට කන්න ටිකක් හදන්න. අපේ රාජකාරිය තමයි මේ රට ස්වයංපෝෂිත කිරීම. එහෙනම් අපි ඒ වෙනුවෙන් තමයි සියලු සැලසුම් හදන්නේ. ඔබ ගෙයක් ගෙයක් ගානේ ගිහින් ගන්න තොරතුරුවලින් අපි ප්‍රයෝජන ගන්නවා. අපි ඔබට ටැබ් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ටැබ් එක අරගෙන කරන්න රාජකාරි ගොඩක් තියෙනවා. සියලු තොරතුරු ජාලගත කරලා ක්‍රමවේදයක් හදනවා. මේක අමාරු වැඩක්. ලේසියෙන් කරන්න බැරි වැඩක්. අද අපි ජයගන්න හදන්නේ 1948 සිට කරගන්න බැරි වුණු දෙයක්. නූපන් දරුවන්ටත් ආහාර හිඟයක් ඇති නොවී රටේ ගොවියාත් ආරක්ෂා කරන වැඩපිළිවෙළකටයි අපි යොමුවෙන්නේ. හොඳ දෙයක් කරලා විවේචන අහන්න කැමති කෙනෙක් මම. ඒ රජවරු 217ක් පාලනය කරපු වැඩිම කාලයක් රාජධානිය වුණ අනුරාධපුරයෙ ඉපදුණ කෙනෙක් නිසා වෙන්නැති. අපි අභියෝග භාරගන්න අලුතින් හිතන්න බයයි. අලුත් දෙයකට යන්න දෙපාරක් හිතනවා. අපි කරන්න යන්නේ නුහුරු දෙයක්. කවුරු හරි මේක කරන්න උත්සහ කරන්න ඕනේ. විවේචනවලට  තරහ නොවී ඔබ සමඟ එක්ව වැඩ කරන්න   මම කැමතියි. ‘සිතමු’ කාන්තා ගොවි සමිති 25000ක් හදලා එක සමිතියකින් ගොවි කාන්තාවන් 20ක් බැගින් තෝරගෙන ගෙවතු වගාවට යොමු කළා. අවුරුදු හතරක් තිස්සේ නොමිලේ බීජ ලබාදුන්නත් ඉන් නිසි ප්‍රයෝජන ලබාගෙන නැහැ. නොමිලේ බීජ දෙන එක විතරක් නෙවෙයි අපි මිනිසුන්ගේ ඔළුවත් හදන්න වුවමනයි. අපි තාමත් හිතන්නේ පරණ විදිහටනම් අපිට ඉස්සරහට යන්න අමාරුයි. 

සමහර අය ආණ්ඩුවට කියනවා ඉරිදාට ටියුෂන් පන්ති නවත්වන්න කියලා.  ටියුෂන් පන්ති නවත්වලා ළමයින්ව ඉරිදා දහම් පාසල් යවන එක දෙමාපියන් තීරණය කරන්න ඕනේ. ඉස්සෙල්ලා අපි හැදෙමු. තම තමන් ඉලක්ක ජයගනිමු. ගමක් හැදෙන කොට දිස්ත්‍රික්ක හැදෙනවා. යම් දෙයක අඩුවක් තියෙනවා නම් ඒක නිවැරදි කරගන්න ඕනේ. විවේචනය ඇතුළේ වරද නිවැරදි විය යුතු ආකාරය පැහැදිලි කළ යුතුයි. ගොවි කාන්තාවන් හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ගෙවත්ත වගා කරලා වස විසෙන් තොර ආහාර දීලා දරුවන්ට නිසි පෝෂණය ලබාදෙන්න කාන්තාවන් දැනුවත් කිරීමයි. සිතමු කියන්නේ හිතන්න කියලයි. අපි රෑට නිදාගන්න කොට හිතන්නේ බලපු ටෙලිනාට්‍යයේ හෙට සිද්ධ වෙන්නේ මොනවාද කියලා.  අපි වෙනුවෙන් හිතන්නේ නැතුව අනවශ්‍ය දේවල් හිතනවා. සිතමු වචනයෙන්  කියවෙන්නේ සිංහල, තමිල්, මුස්ලිම් කියන එකයි. ජාතිවාදය අවිශ්වාසය ඇති කරන්න මම කැමති නැහැ. අපිට කෑම නැත්නම් සිංහල දෙමළ මුස්ලිම් වුණත් අපි මැරෙනවා.  ඒ නිසා අපි එකට එකතුවෙලා කටයුතු කරන්න ඕනේ. පොහොර සහනාධාර තුළ මට අවශ්‍ය වෙලා තිබුණේ, රසායනික පොහොර භාවිතය අඩු කිරීම. සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම පස් සාම්පල් පරීක්ෂා කරලා පොහොර නිර්දේශය ලබාදෙන්නයි.  අපේ ඊළඟ අරමුණ සෑම ග්‍රාමසේවා නිලධාරී වසමකටම පොහොර නිර්දේශය ඇති කිරීමයි. සිතමු කාන්තා සමිති වෙනුවෙන් අපි එක් නිලධාරියෙක් පත් කළා. ඒකට හේතුව අපේ අරමුණු කාන්තාවන් අතරට ගෙන යාමයි. කාබනික පොහොර වෙනුවෙන් සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම  කාබනික පොහොර අංශයක් හදන්න උපදෙස් දුන්නා. රසායනික පොහොර භාවිත කරලා වකුගඩු රෝග හැදිලා මැරෙන කොට අපි කාබනික පොහොර හැදුවද? නමුත් අපි ගමක එක කාබනික පොහොර නිෂ්පාදකයෙක්වත්  හැදුවේ නැහැ. අපි පැරෂුට් ක්‍රමය පටන් අරන් අවුරුදු 20ක් වෙනවා. පැරෂුට් ක්‍රමයෙන් අස්වැන්න වැඩියි කියනවා. නමුත් 2%ක් දක්වාවත් පැරෂුට් ක්‍රමය ගෙන්න බැරිවෙලා තියෙනවා. හැම කන්නයකදීම ආදර්ශනයක් කරනවා. නමුත් ඒක වර්ධනය  වෙලා නැහැ. ආදර්ශ තිබුණාට වැඩක් නැහැ. ව්‍යාපෘතියක් කරද්දී තෝරන්න ඕනෑ, බලන්න ඕනෑ, අධීක්ෂණය කරන්න ඕනෑ.

ඒ වගකීම පැවරෙන්නේ ඔබටයි. ඔබතුමන්ලා තැන්තැන්වල බනින්න එපා. මේ වෙනස රටතුළ ඇති කරන්න පුළුවන්නම් මම බැනුම් අහන්න සූදානම්. අපි හැමෝ මඑකතු වෙලා මේ පරිවර්තනය ඇති කරමු. කෘ.ප.නි.ස ලා ගෙවත්තේ  වගා කළොත් ඒක ගමේ අයට ආදර්ශයක්. අපේ ගොවිජන සේවා මධ්‍යස්ථාන වගා කරගත්තොත් ඒක ආදර්ශයක්. අපි සාරි, කමිස ඇඳන් හිටියට අපි මහ පොළොවේ ජීවත් වුණ අය. අපේ දෙමාපියෝ මහ පොළෙලවත් එක්ක හැප්පුණා නම් ඇයි අපිට බැරි අපේ දරුවන් වෙනුවෙන් මහපොළව එක්ක හැප්පෙන්න අපේ වගාවට විතරද අපිට මහන්සි වෙන්න පුළුවන්? අපේ දරුවන්ට මේ ටික උගන්වන්න ඕනේ නැද්ද? අපි හරි දේ කරලා පෙන්නමු. අපේ දරුවෝ වැරදි කරන එක තවත් වැරැද්දක් කරන්න එපා.  මේ වැඩසටහන් එක්ක අත්වැල් බැඳගන්න. මේ මහා පරිවර්තනයේ කොටස්කරුවෙක් වෙන්න. ජාති, ආගම්, කුල භේද ගේන්න එපා. තමන්ගේ පුද්ගලික කෝන්තර ගේන්න එපා. දේශපාලනය රාජකාරියට ගේන්න එපා. අපි දීලා තියෙන නිදහස අයුතු විදිහට පාවිච්ච් කරන්න එපා. අපේ දරුවන්ට දෙන්න ඕනේ අලුත් දේවල්. අපි අලුත් ගමනක් යමු. ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරමු. රසායනික පොහොර අඩු කරලා පක්ෂ භේද, ජාතිභේද අමතක කරමු. මම ඔබතුමන්ලා වෙනුවෙන් පෙනී සිටිනවා. පසුගිය පොහොර සහනාධාර මුදල් ලබාදීමේදී  නියම වෙලාවට තොරතුරු ලබානොදුන් නිලධාරීන්ව මාරු කිරීමට මම උපදෙස් දුන්නා. වැරදි කරන මනුස්සයා හොඳ වැඩ කරන මනුස්සයා ළඟට දාලා වැඩක් නැහැ. ඉදිරියේදි මේක ක්‍රියාත්මක වෙනවා.  යම් වැරුද්දකට දඬුවමක් තිබුණේ නැත්නම් ඒ වැරුද්ද නිවැරදි වෙන්නේ නැහැ. නීතියක් ක්‍රමවේදයක් වැඩපිළිවෙළක් තියෙන්න ඕන.

වැඩ කරන මනුස්සයා ආරක්ෂා කරනවා. වැඩ නොකරන කෙනාට නීතිය  අනුව කටයුතු කරනවා. ඒකට පුද්ගලික අමනාපකම් ඇති කර ගන්න එපා. මම කරන සියල්ල එළිපිටයි කරන්නේ. කෙලින් කියන දේට මේ වැඩපිළිවෙළට ගරු කරයි කියලා මං හිතනවා. පෝර  ටික වේලාවට දුන්නේ නෑ කියලා උද්ඝෝෂණය කරද්දී හැමෝම බැණුම් අහන්න ඕන නැහැ. මට අවශ්‍ය හරියට වැඩකරන කෙනාට ගෞරවයක් නිසි තැනක් දෙන්නයි.  අපි සූදානම් කියන්නේ රටේ විශාල පරිවර්තනයක්. මං මේ කියන කාරණය ඔබතුමන්ලට මේ වේලාවේ තේරෙන්නේ නැහැ. අද මේ කෘෂිකර්ම අමාත්‍යතුමා  කිව්ව දේ හොඳ දෙයක් තියෙනවා නම් ඒ දේ කරන්න”. මෙම අවස්ථාව සඳහා ගොවිජන සේවා කොමසාරිස් වීරසිංහ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ සම සංවිධායක රසික නලීන් රණවීර  මහතා, පළාත් සභා මන්ත්‍රී ඔසඳ යාපා අබේවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.