• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික වෙසක් උත්සවයෙන් පිබිදෙන කෑගල්ල

vesak22017 ජාත්‍යන්තර වෙසක් උත්සවය කොළඹ කේන්ද්‍රව පැවැත්වීමට මේ වන විට සියලු ම කටයුතු  සංවිධානය වෙමින් පවතී. එසේම 2017 වෙසක් දින ජාතික උත්සවය කෑගල්ල වට්ටාරම විහාරස්ථානය කේන්ද්‍රව පැවැත්වීමට කටයුතු යෙදීම කෑගල්ලට ආලෝකයක් වී ඇත.
වඩාත් වැදගත් වන්නේ මීට සමඟාමී ව කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රව විශාල ආගමික පිබිදීමක් ඇති වී තිබීමයි. 

මේ සදහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ මග පෙන්වීම හා නායකත්වය ලැබී ඇත. එමෙන් ම අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රමුඛ සමස්ත අමාත්‍ය මණ්ඩලය මේ සඳහා  දක්වන කැපවීම සැමගේ ප්‍රශංසාවට ලක්ව ඇත. එසේ ම කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන නායකත්වය ද මේ සඳහා ඔවුන්ගේ උපරිම දායකත්වය දක්වමින් කටයුතු කිරීම සැම දෙන ලැබූ භාග්‍යයකි.

2017 ජාතික වෙසක් දින උත්සවයට සමඟාමී ව කෑගල්ල දිස්ත්‍රික්කය තුළ අධ්‍යාත්මික හා භෞතික සංවර්ධන වැඩසටහන් රාශියක් ආරම්භ කර ඇත. මේ තුළින් ප්‍රතිලාභ ලබන පිරිස ඉතා විශාලය. මේ සඳහා කෑගල්ල දිස්ත්‍රික්කය තුළ සිටින සියලු ම දෙනා බේදයකින් තොරව සිය දායකත්වය ලබා දෙමින් සිටිති.
වට්ටාරම විහාරස්ථානය ආසන්නයෙන් දිවෙන කෑගල්ල පොල්ගහවෙල A 19 ප්‍රධාන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කර ඇත. මේ සඳහා රජය රු.මි 150 ක මුදලක් යොදවා ඇත. විශේෂයෙන් මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ප්‍රතිලාභ ලබන පිරිස ඉතා විශාලය.wattarama 2017

විහාරස්ථාන හා පන්සල් කේන්ද්‍රව සංවර්ධනය ගැටලු නිරාකරණය කිරීමටත් ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමටත්, දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ජංගම සේවා පැවැත්වීම ජාතික වෙසක් උත්සවයට සමඟාමී ව සිදුකිරීම කෑගල්ල දිස්ත්‍රික්කයේ බෞද්ධාගමික පුනර්ජීවනයට නොමඳ හේතුවක් වී තිබේ.

මෙමගින් විහාරස්ථාන හා දහම් පාසල්වල අඩුපාඩු සපුරාලීම භික්ෂූන් වහන්සේලාගේ සහ දහම් පාසල් ගුරුවරුන්ගේ ලියාපදිංචිය ආදි දේ පිළිබඳ ව අවශ්‍ය කටයුතු සිදුකිරීමට නියමිතයි. විශේෂයෙන් දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් අවධානය යොමුවී තිබීම කැපී පෙනෙන කරුණකි. දිස්ත්‍රික්කයේ දහම් පාසල් 100ක් සංවර්ධනය උදෙසා රු.මි. 25ක ප්‍රතිපාදන වෙන් කර ඇත. ඒ අනුව  එක් දහම් පාසලක් සංවර්ධනය කිරීම සඳහා රු.ලක්ෂ 2.5 මුදලක් හිමි වනු ඇත. එතුළින් අධ්‍යාත්මික ගුණවගාව ඉහළ ට එසවුණ නිර්මාණය වීම ප්‍රශස්ත කටයුත්තකි. 

ජනතාවගේ ආකල්ප සංවර්ධනය සම්බන්ධ ව විශේෂ අවධානයක් ජාතික් වෙසක් උත්සවයට සමඟාමී ව යොමු කර ඇත. භික්ෂූන් වහන්සේලා, රාජ්‍ය නිලධාරීන්, පාසල් දරුවන්, දහම් පාසල් ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් ඉලක්ක ගත කර ගනිමින් මෙම ආකල්ප සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවේ. මෙහිදී භාවනා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන අතර අනුරාධපුරයේ දී දස දින භාවනා පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. එමෙන්ම 350ක පිරිසකගේ සහභාගීත්වයෙන් එක්දින භාවනා පුහුණු වැඩසටහනක් කෑගල්ලේ දී පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම ආකල්ප සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවේ. vesak

ජාතික වෙසක් උත්සවය කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රව පැවැත්වීම දිස්ත්‍රික්කයේ බෞද්ධාගමික නවෝදය උදෙසා මනා පිටුබලයක් සපයයි. විශේෂයෙන් රුපියල් මිලියනයක් පමණ වියදමින් ඉදිකෙරෙන  පින්නවල ශ්‍රී සුදර්ශනාරාමයේ කෞතුකාගාරය බෞද්ධයන්ට නවමු අත්දැකීමක් වනු ඇත. දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 100ක් සංවර්ධනය උදෙසා රු.මි. 50ක මුදලක  ප්‍රතිපාදනයක් දිස්ත්‍රික්කය වෙත හිමිව තිබේ. ඒ අනුව එක් විහාරස්ථානයක් සඳහා රු. ලක්ෂ 5ක මුදලක් වෙන්ව ඇත.

මෙවර ජාතික වෙසක් උත්සවයේ කේන්ද්‍රස්ථානය වන්නේ කෑගල්ල වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරස්ථානයයි. විශේෂයෙන් ම කෑගල්ල දිස්ත්‍රික්කයේ අනන්‍යතාව විදහා දැක්වෙන ඉතිහාසයකට හිමිකම් කියන මෙම පුරාණ රජමහා විහාරස්ථානයට හිමිව ඇත්තේ අද්වීතිය ස්ථානයකි. ලංකාවේ වැඩ සිටි අවසන් මහරහතුන් වහන්සේ වන මලියදේව හිමියන්ට සෙවණ සැලසූ මෙම පුරාණ විහාරය අදටත් ලාංකීය විහාර වංශයේ ප්‍රමුඛ ස්ථානයක විරාජමානව හිදී. එවන් විභූතිමත් අතීතයකට හිමිකම් විහාරස්ථානක ජාතික වෙසක් උළෙල පැවැත්වීමට කටයුතු කිරීම එක් අතකට කෑගල්ල දිස්ත්‍රික්කය ලැබූ ජයග්‍රහණයකි. මෙහි දී වට්ටාරම පුරාණ විහාරස්ථානය සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය සුවිශේෂී වන අතර ඒ වෙනුවෙන් රජය විශාල වියදමක් සිදු කරයි.   මේ වන විටත් ඉන් බොහෝ සංවර්ධන අවස්ථාවන් ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර රජය අපේක්ෂා කරන තරමේ සුවිශේෂී වෙසක් උත්සවයක අසිරිය මෙවර දැක ගනු හැකි වෙනු ඇත. 

මෙයට අමතර ව වට්ටාරම විහාරස්ථානයේ ශ්‍රී විභූතිය සුරැකෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී. මේ සඳහා ගරුතර මහා සංඝරත්නය, දේශපාලන නායකත්වය හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක  අංශ රාජ්‍ය නිලධාරීන් දක්වන්නේ සුවිශේෂි වූ දායකත්වයකි. සන්හිදියාවෙන් පිරි රටක් ගොඩනැංවීම සඳහා කෑගල්ලේ පැවැත්වීමට නියමිත ජාතික වෙසක් උත්සවය මනා පිටුබලයක් වනු ඇත. 

එල්.පී තිලකරත්න
දිස්ත්‍රික් - ප්‍රවෘත්ති නිලධාරී
කෑගල්ල

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.