• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තිරසර සංවර්ධන අභියෝග

villageලොව විවිධ තලයන්හි දියත් වූ/වන සංවර්ධන ප්‍රයත්නයන්හි නිසි හා අනිසි ප්‍රතිඵල අද මිනිස් වර්ගයා ඇතුඵ සියලු ජීවීන් භුක්ති විඳිමින් සිටිති.


විශේෂයෙන් පසුගිය දශක හතරකට ආසන්න කාලය තුළ දියත් කළ අවිධිමත් හා අතිර සංවර්ධනයේ අනිසි ප්‍රතිඵල පිළිබඳව ලෝක තලයේ පවතින සංවේදීතාවය තිරසර සංවර්ධන ප්‍රයත්නයන්හි දැඩි අවශ්‍යතාව අවධාරණය කරයි.

මනුෂ්‍ය වර්ගයාගේ පමණක් නොව සියලු ජීවීන්ගේ යහපැවැත්ම මෙන්ම සොබාදහමේ ජෛව හා රසායනික ක්‍රියා හා ප්‍රතික්‍රියා වල අඛණ්ඩභාවයේ වැදගත්කම හා අවැසි බව පිළිබඳව අද ලෝක තලයේ අවධානය යොමු වී තිබේ. ඊට සමගාමීව එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය විසින් වර්ෂ 2015න් ඇරඹුන වසර 15 සඳහා වූ සංවර්ධන න්‍යාය පත්‍රය Transforming Our World: 2030 Agenda for Sustainable Development නමින් 2015 සැප්තැම්බර් මස 25 වන දින සම්මත කර ගනු ලබයි.  පරමාර්ථ 17 කින් සහ ඉලක්ක 169 කින් යුතු එකී සංවර්ධන න්‍යාය පත්‍රය මිහිමත දිළිඳුකම හා කුසගින්න තුරන් කිරීම, ලෝකවාසීන්ගේ සෞඛ්‍ය හා අධ්‍යාපන තත්ත්වයන් නඟා සිටුවීම, ඔවුන් අතර සමානාත්මතාව තහවුරු කිරීම හා දේශගුණික විපර්යාස හමුවේ ලෝකවාසීන් මුහුණ පා ඇති අභියෝග ජය ගැනීම යනාදී වටිනාකම් රැසක් ප්‍රමුඛතා ගත කරනු ලබයි.  එමඟින් එතෙක් මනුෂ්‍ය වර්ගයා පමණක් නොව සතා සීපාවා, ගහකොළ, ඇළ දොළ, ගංඟා, සමුදුරු, කෙත්වතු, වැව් අමුණු ඇතුලු ස්වභාවික හා මිනිසා තැනූ සම්පත් සියල්ලේ පැවැත්ම දෙවෙනි කොට කළ කී දෑ පසෙකලා සංවර්ධන ක්‍රියාදාමයට බොහෝ වටිනාකම් එකතු කිරීමේ වගකීම සාමාජික රටවල් වෙත පවරමින් ලෝකය වඩාත් හොඳ අතට පරිවර්තනය කළ හැකි ගමන්මඟක ඇරඹුම සනිටුහන් කර තිබේ. බොහෝ කලක් සංවර්ධනය වෙමින් පැවති, වසර 2010 දී පහළ මධ්‍යම පන්තියේ ආදායම් උපයන රටක් ලෙස කාණ්ඩ ගත කෙරුණු ශ්‍රී ලංකාව එකී වගකීම ඉටු කිරීමට, එසේත් නැත්නම් වසර 2030 වනවිට වඩාත් යහපත් ශ්‍රී ලංකාවක් තනන්නට සමත් විය යුතුව තිබේ.


තිරසර යුගයක ඇරඹුම
sunrays

“තිරසර යුගයක” ඇරඹුම අප නිල වශයෙන් සනිටුහන් කරන්නේ 2017 ජනවාරි මස තෙවන දින ය.  ශ්‍රී ලංකාව තිරසර යුගයක් වෙත රැගෙන යාමේ වගකීම දැරීම සඳහා උපදේශක මණ්ඩලයක් ද, තිරසර සංවර්ධනය උදෙසා වෙනම අමාත්‍යාංශයක් ද ස්ථාපනය වේ. එසේ වුවද ශාස්ත්‍රීය හා ප්‍රතිපත්තිමය ක්ෂේත්‍ර තුළ තිරසර සංවර්ධනය පිළිබඳ ඉඳහිට නැගෙන කථිකාවන් හැරුණු කොට වසර 2030 වන විට අපේක්ෂිත ඵල නෙලන්නට තරම් දැඩි උනන්දුවක් හෝ කැපවීමකින් කටයුතු සිදුවේද යන්න අවිනිශ්චිත ය.
දිළිඳුකම තුරන් කිරීම තිරසර සංවර්ධනයේ මුඛ්‍ය පරමාර්ථය වේ.  ඊට සමගාමීව 2017 වසර “දිළිඳුකම තුරන් කිරීමේ වසර”  ලෙස නම් කෙරේ. දිළිඳුකම පිටුදැකීමේ අරමුණින් අනේක විධ වැඩසටහන් දියත් කළ අප වසර 2006 දී පැවති දරිද්‍රතා මට්ටම (15.2%) වසර 2012/13 වන විට ඉන් අඩකටත් වඩා අඩු අගයකට පහත හෙළන්නට (6.7% තෙක් අඩු කිරීමට) සමත්ව ඇති බව ගෘහස්ථ ආදායම් හා වියදම් පිළිබඳ සමීක්ෂණ වාර්තාව - 2012/13 මගින් හෙළිදරව් වේ. එනයින් බැලූ කළ දිළිඳුකම තුරන් කිරීම සඳහා අප යා යුතුව ඇත්තේ කෙටි දුරකි. නමුත් 2012/13 සඳහා වාර්තා වන ජාතික තලයේ අඩු දරිද්‍රතා මට්ටම (6.7%) නිර්ණය වන්නේ ජන ජීවිතය අති දුෂ්කර වූ වතු  හා ග්‍රාමීය අංශවල පවතින ඉහළ දරිද්‍රතා අගයන් (පිළිවෙලින් 10.9% හා 7.6%) නාගරික අංශයේ පවතින අඩු දරිද්‍රතා අගය (2.1%) සමඟ පොදුකරණයට ලක්වීමෙන් බව අමතක නොකළ යුතුය. ජාතික තලයේ අනෙකුත් සංඛ්‍යාති සම්බන්ධයෙන්  තත්ත්වය ද එලෙසම වේ.  එබැවින් ජාතික තලයේ සංඛ්‍යාති අනුව අප අනෙකුත් ජාතීන් අතර කවර තරාතිරමක් උසුලනු ලැබූව ද තිරසර සංවර්ධන පරමාර්ථ වෙත ළඟා වීම සඳහා රට තුළ පවතින ව්‍යුහාත්මක අසමානතා ජනනය වීමට පාදක වී ඇති තත්ත්වයන් මැනවින් අවබෝධ කරගැනීමටත් යෝග්‍ය ක්‍රමෝපායන් ඔස්සේ ඊට ආමන්ත්‍රණය කිරීමටත් වග බලා ගත යුතු ය.


තිරසර සංවර්ධනය හා ග්‍රාමීය ආර්ථිකය


ශ්‍රී ලාංකීය ආර්ථික ව්‍යුහයේ විශාලතමයා වූ ග්‍රාමීය අංශය තුළ තිරසර සංවර්ධන පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමේ ලා වැදගත් වන කරුණු කීපයක් මෙම ලිපියේ අවධානයට නතු වේ.  www.worldbanking.org වෙබ් අඩවියේ පළවුණු වැකියක් ඊට ප්‍රවේශය සපයයි. එම වැකියට අනුව ශ්‍රී ලංකාව ග්‍රාමීය-කෘෂිකාර්මික ආර්ථිකයක සිට සේවා අංශය ප්‍රමුඛ නාගරික ආර්ථිකයක් බවට පරිවර්ථනය වී ඇත. වර්ෂ 2015 දී කෘෂිකාර්මික අංශය මගින් දළ ජාතික නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය අවම අගයක (7.74%) පැවතීම තුළ කවරෙකු වුව ද ඊට එකඟ වනු ඇත.


එවැනි පසුබිමක් තුළ, ග්‍රාමීය අංශය ආශ්‍රිත සංඛ්‍යාති වෙත ඔබේ අවධානය යොමු කරමි. ජන හා නිවාස සංගණනය - 2012 ට අනුව ශ්‍රී ලාංකීය ජනගහනයෙන් බහුතරය එනම් 77.3% ක් ග්‍රාමීය ජනගහනය වේ.  ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාව-2015 අනුව ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ජනගහනයේ ව්‍යාප්තිය අනුව 80.1% ක් ජීවත් වන්නේ ග්‍රාමීය අංශයෙන් ය. ඉන් කෙතරම් කුටුම්භ සංඛ්‍යාවක් කෘෂිකාර්මික කුටුම්භයන් ද යන්න නිශ්චිතව සඳහන් නොවන නමුත්, 2013/14 ආර්ථික සංගණන සංඛ්‍යාති වලට අනුව කෘෂිකාර්මික කුටුම්භ සංඛ්‍යාව පිළිබඳ දළ අවබෝධයක් ලබාගත හැක.  ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය කුඩා ගොවි කාණ්ඩ අංශය හා වතු අංශය යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට වර්ග කෙරේ.  කෘෂිකාර්මික ජීවන රටාවක් අනුගමනය කරන බහුතරයක් වූ ග්‍රාමීය ජනගහනය වැඩිමනත් අයත් වන්නේ කුඩා ගොවි කාණ්ඩ අංශයට ය.  ජන හා නිවාස සංගණනය-2012 වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ පවතින මුළු කුටුම්භ සංඛ්‍යාව 5,251,126 කි. ආර්ථික සංගණන වාර්තාව 2013/14 අනුව කුඩා ගොවි කාණ්ඩ අංශයේ ගොවිකාරක සංඛ්‍යාව 4,284,078 කි. ගොවි කාරකයෙකු යනු, කෘෂිකාර්මික බෝග වගා කිරීම, මස්, කිරි හෝ බිත්තර නිෂ්පාදනය සඳහා සතුන් ඇති කිරීම, මිරිදිය/කිවුල් දිය(කලපු)/කරදිය ජලජ ජීවීන් වගා කිරීම පිළිබඳ වගකීම් දරමින් එකී කටයුතු එකක් හෝ කීපයක් සම්බන්ධව ගෘහ කාණ්ඩය තුළ ප්‍රධාන තීරණ ගන්නා තැනැත්තා වේ. ඒ අනුව මුළු කුටුම්භ සංඛ්‍යාවෙන් 82% කට ආසන්න ප්‍රමාණයක් දළ වශයෙන් කෘෂිකාර්මික කුටුම්භයන් යටතට එක් කළ හැකිවේ. වසර 2002 සිදුකළ කෘෂිකාර්මික සංගණනයේ ප්‍රතිඵල සමඟ සැසැඳූ විට කුඩා ගොවිකාරක සංඛ්‍යාව 23.4% කින් ඉහළ ගොස් තිබේ.  තව ද වර්තමානයේ වාර්තා වන ගෙවතු සංඛ්‍යාව 1,877,995 කි. ගෙවතු සංඛ්‍යාවේ වැඩිවීම 32.7% කි. එපමණක් නොව කරාබු, ගම්මිරිස්, සාදික්කා ඵල දරන උඩරට ගෙවතු ය. ධාන්‍ය, අල බතල වැවෙන වියළි කලාපීය හේන් ය.  පොල්, පුවක්, කොස්, දෙල් ඵල දරන පහතරට ගෙවතු ය.  මධ්‍ය කඳුකරයේ වාණිජ එළවළු කොටු ය. දකුණු ලක කුඩා පරිමාණ තේ, කුරුඳු, පැඟිරි වතු ය.  නිම්නාශ්‍රිත පලා කොටු ය.  උඩරට හෙල්මළු ලියැදි ය.  මහවැලි ගොවි කලාපයක් ය.  ගම්දනව් සිසාරා වී වගාව ය. සරුසාර පොල් වතු ය. රබර් වතු ය.  පළතුරු බෝග ය.  උතුරුකරයේ පිබිදෙන ගොවිකම් ය. ඉහතින් දැක්වූ සංඛ්‍යාති මෙන් ම මේ සියලු ගොවිකම් සාක්ෂ්‍ය දරන්නේ අප තවමත් ග්‍රාමීය කෘෂි ආර්ථිකයක්ම බව ය.  මට හුරුපුරුදු අයුරින් අප තවමත් ග්‍රාමීය ගොවිජන සමාජයක්ම ය.




agreculture
ග්‍රාමීය ආර්ථිකයේ සැඟවුණු ශක්තිය





ශ්‍රම බල සමීක්ෂණ වාර්ෂික වාර්තාව-2015 අනුව ශ්‍රම බලකායෙන් 28.7%ක් සැපයෙන්නේ ග්‍රාමීය අංශයෙනි. කෘෂිකාර්මික වන සම්පත් හා ධීවර යන උප අංශයේ නියුතු ශ්‍රම බලකාය 18.6% කි. සියල්ල මුදලින් මණින සමාජ ක්‍රමයකට මේ සා විශාල ග්‍රාමීය කෘෂිකාර්මික ශ්‍රම බලකායකින් දළ ජාතික නිෂ්පාදනයට එකතු කරන වටිනාකම නොසෑහේ. ජාතික ගිණුම් වලට අනුව 2015 වසරේදී එම අගය 7.74%කි.  එබැවින් කෘෂිකාර්මික අංශය ඌණ සේවා නියුක්තියෙන් පෙළේ. අතිරික්ත කෘෂිකාර්මික ශ්‍රම බලකාය ඉන් සංක්‍රමණය විය යුතු බවට අවධාරණය කෙරේ. සත්‍ය වශයෙන් ගත් කළ ප්‍රධාන කෘෂිකාර්මික ප්‍රදේශ තුළ අදටත් දැඩි කාලීන ශ්‍රම හිඟයක් පවතී. එහෙත් ආර්ථිකමය කෝණයෙන් පමණක් ග්‍රාමීය ගොවිජන සමාජය දෙස බලන්නන්ගේ විග්‍රහය එයයි.  තිරසර යුගයක එළඹුම අභිමුව ඉහත විග්‍රහය එතරම් සාධාරණ එකක් නොවන බව හැඟේ. සියල්ල මුදලින් මිණිය යුතු ද? මිණිය හැකි ද?  කෘෂි නිෂ්පාදන මගින් ග්‍රාමීය ගොවිජන අංශය ලබාදෙන මූල්‍ය දායකත්වය හැරුණුකොට ඒ ඔස්සේ නඩත්තු වන පාරිසරික සේවාවන් මෙන්ම ඉටුවන සමාජ මෙහෙවරෙහි වටිනාකම මුදලින් මනිනු ලබන්නේ නම් සේවා හෝ කර්මාන්ත අංශ වල දායකත්වයට නොදෙවෙනි වටිනාකමක් ගොවිජන අංශය මගින් ජාතික ආර්ථිකයට එකතු කරන බව පැහැදිලි  වනු ඇත.  තව ද ඉහත දැක්වූ ගණයේ කෘෂිකාර්මික කුටුම්භ වල කෘෂි නිෂ්පාදන වල මූල්‍ය වටිනාකම දළ ජාතික නිෂ්පාදිතයට නොගැනේ.  රටක ආර්ථිකයක් මුල්‍යමය මිණුම් දඬු ඔස්සේ පමණක් විග්‍රහ නොකර පාරිසරික හා සමාජමය කෝණයන්ගෙන් ද විග්‍රහ කිරීම තිරසර සංකල්පයට බොහෝ සමීපය. හරිත ගිණුම්කරණය (green accounting) ඔස්සේ ග්‍රාමීය කෘෂි අංශය ආර්ථිකයට ලබාදෙන දායකත්වය ගණනය කර ගොවිජන සමාජයට නිසි වටිනාකම ලබාදීම තිරසර යුගයක වගකීම වේ. එහෙත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ තිරසර සංවර්ධන අංශය මගින් නිකුත් කළ ප්‍රතිපත්ති සම්පිණ්ඩනයට අනුව හරිත ගිණුම්කරණය විවිධ බාධක මාධ්‍යයේ අභියෝගයට ලක්ව තිබේ.


කෘෂිකාර්මික ශ්‍රම බළකායේ සංක්‍රමණික ස්වරූපය


මෑතකදී මා සවන් දුන් දේශනයකට අනුව අනෙකුත් රටවලට සාපේක්ෂව ලංකාවේ කෘෂිකාර්මික ශ්‍රම බලකාය ඉන් ඉවත් නොවී සිටීම කෘෂිකාර්මික අංශයේ ඵලදායිතාව පහත ‍හෙළීමට හේතු වී ඇත.  කෘෂිකාර්මික ශ්‍රම බලකාය ඌණ උපයෝජනය වන බවත් ඒ අනුව කෘෂිකර්මාන්තය ආර්ථික වශයෙන් ජව්‍ය (economically viable) ව්‍යවසායක්  නොවන බවත් ඉන් ගම්‍ය වේ. එසේ නම් ග්‍රාමීය කෘෂිකාර්මික ශ්‍රම බලකාය සේවා හා කර්මාන්ත අංශ වෙත සංක්‍රමණය විය යුතු ය. කෘෂිකාර්මික ශ්‍රම බලකායට එකී අංශ වෙත සංක්‍රමණය වීම සඳහා ප්‍රමාණවත් රැකියා අවස්ථා පවතී ද? විශේෂයෙන් නගරාශ්‍රිත කර්මාන්ත හා සේවා අංශ වෙත සංක්‍රමණය වන ග්‍රාමීය තාරුණ්‍යයට අත්වන ඉරණම කෙබඳු ද?  ගොවිජන සමාජය තුළ සැරිසරන කවරෙකුට වුව ද හැඟෙන දැනෙන පරිදි ග්‍රාමීය තාරුණ්‍යයේ එක් අභිරුචියකි “කොළඹාගමනය”.  කොළඹාගමනය යනු කොළඹට පැමිණිම ම නොවේ.  සීඝ්‍රයෙන් නාගරීකරණයට ලක්වෙමින් වේගයෙන් ජනගහනය වර්ධනය වන කොළඹ හා අවට උප නාගරික ප්‍රදේශවල පවතින රැකියා අවස්ථාවන් වෙත ග්‍රාමීය අංශයේ තරුණ ශ්‍රමිකයන් සංක්‍රමණය වීම ඉන් අදහස් කෙරේ. කෘෂිකාර්මික ශ්‍රම බලකායෙන් එසේ විතැන්වන තාරුණ්‍යය ‍බොහෝ දුරට වැඩිදුර අධ්‍යාපනය නොලත් නුපුහුණු හෝ අර්ධ පුහුණු ශ්‍රමිකයන් ගණයට වැටේ.  සේවා අංශය තුළ ඔවුන්ට පවතින ප්‍රමුඛ රැකියා අවස්ථාවන් වන්නේ ආරක්ෂක, සනීපාරක්ෂක හා අලෙවි සේවාවන් ය. කර්මාන්ත අංශ තුළට ශ්‍රමය ආකර්ෂණය කර ගැනීම සඳහා පවතින ඉඩකඩ සීමා සහිත ය. ප්‍රවාහන, ආහාර නිෂ්පාදන,  ඉදිකිරීම් හා නිදහස් වෙළද කලාප ආශ්‍රිත කම්හල් වල කම්කරු සේවය එම සීමිත අවස්ථාවන් වේ.  Sustainable Agriculture and Livelihoods small
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පැමිණි ගැමි තරුණයන් පිරිසකට අනුව ඔවුන් ලද අත්දැකීම් කටුක ය. කොළඹ ජීවිතය ඔවුන්ට ඔරොත්තු නොදෙන්නේ ආර්ථික වශයෙන් පමණක් නොවේ.  අභිමත පරිසරයෙන් ඈත්වීම ඔවුන්ට කායික මෙන්ම මානසික පීඩාවකි. දෙසතියකට/මසකට වරක් ඔවුන් ප්‍රියකරන පවුල හා අවට පරිසරය තුළ ඔවුනට ගත කරන්නට ලැබෙන කාලය ඉතා කෙටිය. පවුලේ සාමාජිකයන්ගෙන් හා අනෙකුත් හිතවතුන් ගෙන් ඈත්වීම තුළ ඔවුන් මුහුණ පාන කායික දුෂ්කරතා ද එමටය.  දිවා කාලය තුළ දැඩි වශයෙන් වෙහෙසට පත්වන ඔවුහු රාත්‍රී කාලයේදී වැස්සට, සුළඟට, සීතලට ගොදුරුවෙමින් ගතකරන මදුරුවන්ගෙන් ගහන වාඩි ජීවිතය ඔවුනට සුව නින්දක් ලබා දීමට අසමත් ය.  එබැවින් මත්පැන් පානය දෛනික අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. මෙම තරුණයන් ආහාර පිස ගැනීමද රුචි නොකරති. එවිට මත්පැන් හා ආහාරපාන සඳහා විශාල වියදමක් දැරීමට සිදු වේ.  එපමණක් නොව ඔවුන් රැකියාවේ නියුතු වීමේදී සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳව දක්වන අවධානය ද අල්පය. හැකි ඉක්මණින්  බාරගත් කාරිය නිමවා ආපසු ගමට යාම ඔවුන්ගේ පරම අභිප්‍රාය වේ.  ඒ සදහා දිනකදී පැය අටකට අධික කාලයක් වෙහෙස වීමටද ඔවුහු පෙළඹෙති. දිගු වේලාවක් වැඩෙහි නිරත වීම තුළ ඔවුන් සිය නිරෝගිබව අවධානමේ හෙළීමෙන් දැරිය යුතු සමාජ පිරිවැය ද ඉහළ ය. ඒ අවිධිමත් කර්මාන්ත අංශයේ පවතින තත්ත්වය පිළිබඳ උදාහරණයකි.
 
 
 bilding
විධිමත් කර්මාන්ත අංශයේ අත්දැකීම්ද ඊට බොහෝ දුරට සමාන වේ. කොළඹ ආශ්‍රිත මධ්‍යම මට්ටමේ කර්මාන්ත ශාලාවක 2016 වසරේ ගෙවුනු මාස 02 තුළ අලෙවි නියෝජිතයන් 17 දෙනෙක් සිය රැකියා අතහැර ගොස් තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 26% කි. සේවකයන් රැකියා හැරයාම ඇඟලුම් කර්මාන්තය ඇතුළු බොහෝ නගරාශ්‍රිත කර්මාන්ත අද මුහුණ පාන ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබේ. එම ආයතන වල ප්‍රමුඛතම මානව සම්පත් කළමනාකරණ ගැටලුව සිය නිෂ්පාදන හා අලෙවි කාර්යයන් සඳහා මානව සම්පත් සපයා ගැනීමයි. මානව සම්පත් සැපයුම් කරුවන් (Man power suppliers) වෙත කර්මාන්ත අංශයෙන් දැඩි ඉල්ලුමක් නිර්මාණය වී පවතින්නේ ද එබැවිනි.  සුපුරුදු ග්‍රාමීය පරිසරයෙන් බැහැර වී අත්විඳින කායික හා මානසික පීඩනයට අමතරව නාගරික කර්මාන්ත හා සේවා අංශ වල පවතින අඩු වැටුප් මට්ටම් සංක්‍රමණික ශ්‍රමය එකී අංශ තුළ ස්ථාවරව රඳවා ගන්නට අසමත් වී තිබේ. ඒ බව ගෘහස්ථ ආදායම් හා වියදම්  සමීක්ෂණ වාර්තාව-2013/14 ට අනුව තහවුරු වේ. එනම් නාගරික අංශයේ මධ්‍ය මාසික ආදායම රු. 16,138 ක් වන විට ග්‍රාමීය අංශයේ එම අගය රු. 23,807 කි. වතු අංශයේ ඊටත් ඉහළය. ඉන් පෙනී යන්නේ නාගරික අංශය වෙත සංක්‍රමණය වීමට වඩා ග්‍රාමීය අංශයේ රැකියා නියුක්තිය ආර්ථික වශයෙන් වාසිදායක බවයි.


ගොවිතැන් විරල අවාරයේදී නගර වෙත සංක්‍රමණය වෙමින් සිය වාර්ෂික ආදායමෙන් යම් ප්‍රතිශතයක් උපයා ගන්නා ග්‍රාමීය ශ්‍රමිකයන් එකී සංක්‍රමණය තුළින් ප්‍රමාණවත් තෘප්තියක් නොලබන බව ප්‍රායෝගික තත්ත්වයකි. එපමණක් නොව සීඝ්‍ර නාගරීකරණයේ අනිටු ඵල අප අද භුක්ති විඳිමින් සිටිමු. නාගරීකරණය හේතුවෙන් අත්දකින සමාජ හා පාරිසරක ව්‍යසන හමුවේ සංක්‍රමණය විය යුතු බවට අපේක්ෂිත ග්‍රාමීය ශ්‍රම හමුදාව ග්‍රාමීය අංශය තුළම රඳවා ගත හැකි නම් එය කෙතරම් අගනේද? ආර්ථික මිණුම් දඬු ඔස්සේ සංවර්ධනය විග්‍රහ කරන සමාජය මෙම මතය ආර්ථිකය ආපසු හැරවීමක් ලෙස දකිනු ඇත. නමුත් එවැන්නකට ඉඩ සලසා දීම තුළ බොහෝ ආර්ථික හා සමාජයීය වටිනාකම් ගැබ්ව තිබේ. ඔවුන් කෘෂිකර්මාන්තයේ තිරසාර සංවර්ධනය උදෙසා දායක කර ගැනීමේ මහඟු සමාජමය මෙහෙවර ඉටුකිරීම තිරසර යුගයක දැක්ම විය යුතු වේ.


ග්‍රාමීය ශ්‍රමය ගම තුළ රඳවා ගැනීම


ග්‍රාමීය අංශය තුළ තවදුරටත් ජනතාව රඳවා තබා ගන්නට නම් සමාජ ආර්ථික වශයෙන් ඔවුන් ඔසවා තබන්නට සමත් ජීවනෝපායන් ගම තුළ පැවතීම අනිවාර්යය වේ. ගම තුළ සේවාවන් දුබලය. කම්හල් හිඟය. කවර හෝ ගොවිකමක් කරන්නට සෑහෙන ශ්‍රමය හා භූමිය නොඅඩුව තිබේ. එනමුත් අද ගොවිතැනට හිමි වී ඇත්තේ කොතැනද? ග්‍රාමීය කෘෂි අංශය තුළ සත්‍ය වශයෙන්ම පවතින ගැටලුව ශ්‍රම හිඟය හෝ ‍ඌණ සේවා නියුක්තිය නොව ගොවි ජනතාව වගුරන ශ්‍රමයට නිසි ඵල නොලැබීමයි. හිතන තරම් ඵල නොදරන, වල් අලි, මොණරු වනසන, ගිනි ගනන් තෙල්, පෝර බීජ ටික, නන්නාඳුනන ලෙඩ රෝග, පීදුණු ඵලදාවට මිලක් නැති, වැස්සෙන් නියඟයෙන් බැටකන ගොවිකම තුළ තරුණ පරපුර තිර ලෙස රැඳෙයිද? නොකර බැරිකමට ගොවිකමේ නියැලෙන තරුණ පරපුර අකමැත්තෙන් හෝ නගරය වෙත සංක්‍රමණය වීමේ විකල්පය වෙත එළැඹෙනේනේ එලෙසය. එය ග්‍රාමීය කෘෂි අංශයේ ඵලදායිතාව තවදුරටත් හීන වීමට තුඩු දෙන කරුණකි.


pottery makers
ඉහතින් දැක්වූ පරිදි නගරාශ්‍රිත අතෘප්තිකර කර්මාන්ත හා සේවා අංශය වෙත කෘෂිකාර්මික ශ්‍රම බළකාය ආකර්ශනය කර ගැනීමට වඩා ඔවුන් ජීවත්වීමට ප්‍රිය කරන පරිසරය තුළදීම දළ ජාතික නිෂ්පාදිතයට ලබාගත හැකි දායකත්වය ඉහළ නැංවීම සඳහා විකල්ප නැතුවා නොවේ. කෘෂිකාර්මික සම්පත් කාර්යක්ෂම හා ඵලදායි ලෙස කළමනාකරණය කිරීම තුළින් කෘෂිකාර්මික නිෂ්පාදන පිරිවැය පහත ‍හෙළීම, යෝග්‍ය තාක්ෂණය භාවිතා කිරීම තුළින් වස විසෙන් තොර ආහාර නිපදවීම, අස්වනු ඉහළ නැංවීම, පූදින අස්වැන්න ආරක්ෂා කර ගැනීම, හොඳ මිලකට අලෙවි කිරීම එකී විකල්පයන් වේ.  මෙකී කරුණු කීපයක් සම්බන්ධයෙන් ගොවිජන සමාජය තුළ පවතින යථා ස්වරූපය කෙටියෙන් විමසුමට ලක් කිරීම මීළඟ උත්සහයයි.
 
 
 
යාන්ත්‍රීකරණය කෘෂිකාර්මික අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීමට විසඳුමක්ද?


ජාතික මානව සම්පත් හා රැකියා ප්‍රතිපත්තියේ සඳහන් පරිදි කෘෂිකාර්මික අංශයේ ඌණ සේවා නියුක්තියට මෙන්ම කාලීන ශ්‍රම හිඟයට යෝජිත විසඳුමකි යාන්ත්‍රීකරණය. යාන්ත්‍රීකරණයේ වාසි බොහෝය. යන්ත්‍ර භාවිතය මඟින් කෙටි කාලයකින් අවශ්‍ය ගුණාත්මයෙන් යුතුව, අවශ්‍ය වේලාවන්හීදී දැඩි වෙහෙසකින් තොරව වගා කටයුතු නිමකර ගත හැකි වේ. වර්ෂාවත් සමඟ බීජ සිටුවීම සඳහා නිසි වෙලාවට බිම සකසා ගැනීමට, බෝගය වැඩෙද්දී ඉක්මනින් වල් මැඩ පොහොර යෙදීමට, වර්ෂාවට පෙර අස්වනු නෙළාගන්නට, යාන්ත්‍රීකරණය උදව් දේ.  එමගින් ශ්‍රමය, කාලය හා මුදල් ඉතිරි කරගැනීමට හැකිවේ. වැඩි අස්වනු නෙළා ගත හැකි වේ. ගොවියාගේ වියදම අඩු වී ආදායම සරුවේ. කෙතරම් වාසිදායක වුවද ගොවිජනතාව පහසුවෙන් යාන්ත්‍රීකරණය වැළඳ නොගනී. එය බලෙන් පැටවිය හැක්කක්ද නොවේ. ග්‍රාමීය ශ්‍රම බලකායේ සංක්‍රමණික ස්වාභාවය හේතුවෙන් කෘෂිකාර්මික අංශය තුළ සත්‍ය ශ්‍රම හිඟයක් නොපැවතීම ගොවීන් අතර යන්ත්‍ර භාවිතය ප්‍රචලිත වීමට එරෙහි වන එක් සාධකයකි. එපමණක් නොව ගොවි ජනතාව විසින් යාන්ත්‍රීකරණය වැළඳගනු ලැබීම සදහා සිය ගොවිපළ භූමිය වෙත පහසුවෙන් යන්ත්‍ර රැගෙන ඒමටත් ඒවා භාවිතාකිරීමටත් හැකියාව තිබිය යුතු වේ. වගා කටයුතු සිදු කරනු ලබන පරිමාණය ද යාන්ත්‍රීකරණය හමුවේ තීරණාත්මක සාධකයකි. වියළි හා අතරමැදි කලාපීය වී ගොවිතැනේ පවතින සාධනීය තත්ත්වය තුළ අද වන විට මුළුමනින්ම පාහේ යාන්ත්‍රීකරණය වී තිබේ. තෙත් කලාපීය වී ගොවිතැන ආශ්‍රිත අයෝග්‍ය භූමි ලක්ෂණ හා කුඩා පරිමාණයෙන් වගා කටයුතු සිදු කිරීම තුළ යාන්ත්‍රීකරණය යම් පසුබෑමකට ලක් වී තිබේ. 



කෘෂිකර්ම අමාත්‍යාංශය හා ජනාධිපති කාර්ය සාධන බළකාය එක්ව වසර 2016-2018 තෙවසර සඳහා සකස්කරන ලද “ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන” තුළ සමස්තයක් ලෙස අතිරේක ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නැංවීමටත් බඩඉරිඟු, මුං ඇට, කව්පි හා රටකජු යන බෝග නිෂ්පාදනය අතින් ස්වයං පෝෂණය වීමටත් අපේක්ෂිත ය. වියළි කලාපීය වර්ෂාපෝෂිත උස්බිම් වගාව අතිරේක ආහාර බෝග නිෂ්පාදනයේ ලා ප්‍රමුඛස්ථානය හිමිකර ගනී. එහෙත් යාන්ත්‍රීකරණය අතින් අතිරේක ආහාර බෝග නිෂ්පාදනය වී ගොවිතැන තරම් ඉදිරියෙන් නොසිටී. ඊට බලපාන කරුණු ගණනාවකි.


අතිරේක ආහාර බෝග නිෂ්පාදනය යාන්ත්‍රීකරණය වීම


වගා කටයුතු සිදුකරන ස්වරූපය අනුව අතිරේක ආහාර බෝග නිෂ්පාදනයේ ප්‍රධාන ආකාර දෙකක් හඳුනාගත හැකි ය. පවුල් හා අත්තම් ශ්‍රමය භාවිතයෙන් කුඩා පරිමාණයෙන් අතිරේක බෝග වගා කිරීමේදී යන්ත්‍ර භාවිතය විරලය. එහිදී සත්ව බලය යොදා ගනිමින් බිම් සකසනු ලැබේ. බීජ සිටුවීම, වල් නෙළීම හා අස්වනු නෙළීම ශ්‍රම සූක්ෂම කාර්යයන් වේ. ශ්‍රම සූක්ෂම අතිරේක බෝග වගාවේ අඛණ්ඩභාවය මෙන්ම බෝග වගා වපසරිය තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ පවුල්/අත්තම් ශ්‍රම සැපයුමයි. කුලී ශ්‍රමය භාවිතය නිෂ්පාදන වියදම තවදුරටත් ඉහළ සංවන සාධකයකි. එබැවින් සුළු පරිමාන අතිරේක බෝග වගාව තුළ යාන්ත්‍රීකරණය අවම මට්ටමක පවතී. යාන්ත්‍රීකරණය යම් තරමකට හෝ භාවිතා වන්නේ වාණිජ මට්ටමේ අතිරේක බෝග වගාවේදීය.


වාණිජ මට්ටමේ අතිරේක බෝග වගාව යාන්ත්‍රීකරණය වීමද බහුසාධක සංසිද්ධියකි.  අතිරේක බෝග වගාව ආශ්‍රිත විවිධ කාර්යයන් යාන්ත්‍රීකරණය කිරීම සඳහා නානාවිධ යන්ත්‍ර නිෂ්පාදනය කර හෝ ආනයනය කර හඳුන්වාදී ඇති නමුත්, යන්ත්‍ර භාවිතය තවමත් අවම මට්ටමක පවතී. ප්‍රධාන වශයෙන් අතිරේක ආහාර බෝග නිපදවන අම්පාර, මොණරාගල වැනි ප්‍රදේශවල පසුගිය වසර කීපයක සංඛ්‍යාලේඛන වලට අනුව කව්පි සහ රටකජු වගාවන්හි යාන්ත්‍රීකරණය බිම් සැකසීමට පමණක් සීමා වී ඇති අතර, බඩ ඉරිඟු වගාවේදී බිම් සැකසීමට අමතරව අස්වනු සැකසීම සඳහා ද යන්ත්‍ර භාවිතා කරනු දක්නට ලැබේ.  2011/12 මහ කන්නය වන විට වාණිජ මට්ටමේ බඩඉරිඟු වගාවන් වල අස්වනු සැකසීම මුළුමනින්ම යාන්ත්‍රීකරණය වී තිබේ. යාන්ත්‍රීකරණය අවම වීම සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රතිචාරය වන්නේ අත්‍යවශ්‍ය යාන්ත්‍රීකරණ වුවමනාවන් සපුරාගැනීම සඳහා යෝග්‍ය කාර්යක්ෂම යන්ත්‍ර මෙතෙක් හඳුන්වාදී නොමැති බවත්, හඳුන්වා දී ඇති යන්ත්‍ර වල විවිධ තාක්ෂණික දුර්වලතා පවතින බවත් ය.  සමහර ගොවිපළ වල භූ ලක්ෂණ යන්ත්‍ර භාවිතා කිරීමට යෝග්‍ය නොවනවා පමණක් නොව, ගොවි සමාජය තුළ යන්ත්‍ර භාවිතයට නොපෙළඹෙන සුළු ගති පැවතුම් හා ආකල්ප පැවතීම ද යාන්ත්‍රීකරණය සීමාවීමට හේතු වී ඇත. යාන්ත්‍රීකරණය පිළිබඳව ගොවි ජනතාව අතර පවතින දැනුවත්භාවය පිළිබඳවද සෑහීමකට පත්විය නොහැක.


යාන්ත්‍රීකරණය ඉහළ නැංවීමේ අභියෝග


ඉහතින් දැක්වූ පරිදි යාන්ත්‍රීකරණයේ වාසි/අවාසි පිළිබඳව පමණක් නොව සිය කාර්යයන් පහසු කර ගැනීම සඳහා යන්ත්‍ර හඳුන්වා දී ඇති බව නොදන්නා අය ද හමු වේ. යාන්ත්‍රීකරණය ඉහළ නැංවීම සඳහා පවතින ප්‍රබල බාධකය වන්නේ යන්ත්‍ර සඳහා ඉහළ වියදමක් දැරීමට සිදුවීමයි. ණය චක්‍රයට හසු වී ඇති වාණිජ මට්ටමේ අතිරේක බෝග වගාවන්ගෙන් උපයන ශුද්ධ ලාභය යන්ත්‍ර සඳහා ආයෝජනය කිරීමට ප්‍රමාණවත් නොවේ. එබැවින් ඉහත දැක්වූ බහුවිධ සාධක තනිව හෝ එක්ව එක් එක් ගොවි කාරකයා විසින් සිය වාණිජ අතිරේක බෝග වගාව යාන්ත්‍රීකරණය කිරීම හෝ නොකිරීම, යාන්ත්‍රීකරණයේ තීව්‍රතාව හා ගුණාත්මය තීරණය කරනු ලබයි.



සමස්තයක් ලෙස ග්‍රාමීය කෘෂිකාර්මික අංශය තුළ යාන්ත්‍රීකරණය ඉහළ නැංවීම සඳහා කුඩා ප්‍රමාණයේ ගොවිපළ පැවතීම ප්‍රධාන බාධකයක් බව සැලකේ. ඊට විසඳුමක් ලෙස කුඩා ගොවිපළ ඒකාබද්ධ කිරීම යෝග්‍ය බවටද මතයක් පවතී. එහෙත් ග්‍රාමීය ගොවිජන අංශයේ භෞතික, මානව හා ව්‍යුහාත්මක ලක්ෂණ අනුව එය එතරම් යෝග්‍ය විසඳුමක්  බව නොපෙනේ. එබැවින් අතිරේක බෝග නිෂ්පාදනය ඉහළ නැංවීමේ ක්‍රමෝපායක් ලෙස යාන්ත්‍රීකරණය තෝරා ගනු ලබන්නේ නම් ‘යන්ත්‍රයට යෝග්‍ය ගොවිපළ’ වෙනුවට ‘ගොවිපළට යෝග්‍ය යන්ත්‍ර’ යන විකල්පය තෝරා ගැනීම වඩාත් ප්‍රායෝගිකය. ශ්‍රම සම්පත හා යන්ත්‍ර සූත්‍ර යෝග්‍ය තන්හී, උචිත පරිදි භාවිතා කරමින් ග්‍රාමීය කෘෂි අංශයේ නිෂ්පාදනය හා නිෂ්පාදකතාවය ඉහළ නැංවීම තුළින් ගොවිජන සමාජය හැකිතාක් ඔසවා තබන්නට හැකිවෙනවා පමණක් නොව එමඟින් කෘෂි අංශය ජාතික නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වයද ඉහළ නැංවේ.



පූදින අස්වනු රැක ගැනීමට..............maxresdefault




වන සත්ව උවදුර කෘෂි බෝග වලට පමණක් නොව ගොවිජන සමාජයේ ආරක්ෂාවට ද ප්‍රබල තර්ජනයක් වී තිබේ. වන සතුන් නැසූ මිනිසුන් ගණන, සුනු විසුනු කළ නිවාස ගණන පිළිබඳ සංඛ්‍යාලේඛන හමුවේ.  එහෙත් වන සත්ව උවදුරු මගින් විනාශ වුණු කෘෂිකාර්මික අස්වනු ප්‍රමාණය හෝ එහි මූල්‍ය වටිනාකම අප තක්සේරු කර නොමැත. ඉන් දළ ජාතික නිෂ්පාදිතයට අහිමි වූ ප්‍රමාණය ද අප නොදනී. ශ්‍රමය සහ දහදිය වගුරා, දස අතේ ණය වී පූදා ගන්නා අස්වැන්න වන සතුන් විසින් වනසා දමනු දැකීම තරම් අමිහිරි අත්දැකීමක් ගොවි ජනතාව අත්විඳ නොමැති තරම් ය. විශේෂයෙන් අලි-මිනිස් ගැටුම කෙළවර වනු දැකීම ගොවිජන සමාජයේ ප්‍රමුඛ අභිලාෂයකි. ක්ෂේත්‍ර සමීක්ෂණ වලට අනුව වියළි කලාපීය ක්ෂේත්‍ර බෝග වගා පද්ධති වල ඵලදායිතාව පහත හෙළන ප්‍රධාන ගැටලු අතර වන සත්ව හානි ප්‍රමුඛ ස්ථානයේ පවතී.  ‘වෙනස’ සඟරාවේ පූර්ව කලාපයක ඉහත ගැටලුව විසඳීම සඳහා විශේෂයෙන් අලි-මිනිස් ගැටුම සමනය කිරීම සඳහා පරිසර සංවිධාන මඟින් අගනා යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වී තිබුණි. ඒවා ක්‍රියාවට නැංවී ගොවිබිම් වල පූදින අස්වනු සුරැකෙන දිනක ග්‍රාමීය කෘෂි අංශයේ රැඳෙමින් ගොවිතැන සිය ජීවනෝපාය ලෙස පිළිගන්නටත්, නොබියව ගොවිකමේ නියැලෙන්නටත්, ගොවි ජනතාව නොපැකිලෙනු ඇත. එපමණක් නොව ගොවිතැන සමාජයීය වශයෙන් පිළිගත් කර්මාන්තයක් බවටද පත් වනු නිසැකය.



වස විසෙන් තොර ආහාර නිපදවීමට යෝග්‍ය තාක්ෂණය..............

fruits and veggies main

තිරසරභාවයේ තෙවදෑරුම් ප්‍රවේශයට අනුව  ආර්ථික ජව්‍ය බව හා සමාජීය පිළිගැනුමට අමතරව පාරිසරික ගුණත්වයට ද සමාන තැනක් හිමි වේ.  කෘෂිකාර්මික කටයුතු වලදී මෙම සංකල්පය වලංගු වන්නේ වස විසෙන් තොර ආහාර නිපදවීම, භූමිය, ජලය, ජෛව විවිධත්වය ඇතුළු පාරිසරික සම්පත් නොනැසෙන අයුරින් ක්‍රියා කිරීම සම්බන්ධයෙනි. පරිසර හිතකාමී ගොවිතැන වෙත ජනතාව යොමු කිරීම සඳහා අද විවිධ පාර්ශ්වයන් විසින් නානාවිධ උත්සාහයන් දරනු පෙනේ. බෝග සායන වැඩසටහන ඔස්සේ ඒකාබද්ධ පළිබෝධ මර්දන ප්‍රවේශය ප්‍රචලිත කරමින් පරිසර හානිය අවම කරමින්, වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ගොවිජන සමාජය විග්‍රහ කරන පරිදි බෝග සායන වල වැදගත්කම දෙආකාර ය. ව්‍යාප්ති මෙවලමක් වශයෙන් හා එම ප්‍රවේශය කෘෂිකර්මාන්තයේ තිරසාර බව සහතික කිරීම වෙනුවෙන් ලබාදෙන දායකත්වය එකී වැදගත්කම් වේ.  බෝග සායන ගොවි ජනතාවට නවමු අධ්‍යාපනික අත්දැකීමක් වන්නේ ජීවි නිදර්ශක පරීක්ෂා කිරීමෙන් අනතුරුව බෝග වලට වැළඳී ඇති රෝග පළිබෝධ වලට ප්‍රතිකාර නිර්දේශ කිරීමත්, ‘ශාක වෙදැදුරන්’ විසින් ලබාදෙන නිර්දේශ වඩාත් පහසුවෙන් හා අඩු වියදමකින් ක්‍රියාත්මක කළ හැකිවීමත් නිසා ය.




බෝග සායන ගොවි ජනතාව හා ව්‍යාප්තිකාරකයන් අතර අන්තර් සබඳතා තහවුරු කරන හා එමගින් ප්‍රදේශයේ පවතින රෝග පළිබෝධ තත්ත්වයන් පිළිබඳ දැනුම බෙදාගන්නා මෙන්ම නව දැනුම ප්‍රචාරණය කරන කෘෂි ව්‍යාප්ති මෙවලමකි. රසායන ද්‍රව්‍ය භාවිතයෙන් තොරව, එනම් රසායනික නොවන ක්‍රම භාවිතා කර ශාක වලට වැළඳෙන රෝග පළිබෝධ පාලනය කිරීම සඳහා ගොවීන්ට අවැසි දැනුම ලබාදීම තුළින් පාලනයකින් තොරව පළිබෝධනාශක භාවිතා කිරීමෙන් වැළකීමටත්, දැනුම ලබා ගැනීම සඳහා පළිබෝධනාශක වෙළඳුන් මත නොයැපීමටත් ගොවීන්ට අවස්ථාව සැලසී තිබේ. තව ද බෝග හානි අවම කිරීමටත් වැඩි අස්වනු නෙළා ගැනීමටත් එමගින් කෘෂි ආදායම ඉහළ නංවා ගැනීමටත් බෝග සායන ඔස්සේ ගොවි ජනතාවට ඉඩප්‍රස්ථා සලසා දී තිබේ.



බෝග සායන වාණිජ කෘෂිකර්මය දෙසට..................




කෙසේ නමුත් තිරසාර එමෙන්ම පළිබෝධ වලින් තොර ආහාර නිෂ්පාදන අංශයක් පිළිබඳ සිහිනය සැබෑ කරන්නට බෝග සායන වැඩසටහන බොහෝ දුරක් යා යුතුව තිබේ.  ඒ සඳහා දැනට යැපුම් කෘෂි අංශය ඉලක්ක කර ගනිමින් දියත් කරන බෝග සායන වල සීමා වාණිජ කෘෂි අංශය දක්වා පුළුල් කිරීම අවශ්‍ය වේ.  ඒ සඳහා වැඩි වශයෙන් වගා කරනු ලබන එළවළු හා අතිරේක ආහාර බෝග අංශ වෙත ඒකාබද්ධ පළිබෝධ මර්ධන ප්‍රවේශය හඳුන්වාදීම සඳහා ඉලක්කගත පර්යේෂණ -ව්‍යාප්ති සහයෝගිතා ප්‍රයත්නයක අවශ්‍යතාව ඉමහත් ය.  අනෙකුත් ක්ෂේත්‍රයන් තුළ මෙන්ම, කෘෂිකාර්මික අංශය තුළ ද මිත්‍යාව හිස ඔසවිමින් පවතී.  එබැවින් මිත්‍යාව පසුපස හඹායාම පසෙක තබා වඩාත් විද්‍යාත්මක, පරිසරයට සමීප, ආර්ථික වශයෙන් ජව්‍ය ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම වෙත අනුගත වෙමින් ගොවිපළ පද්ධති වල නිෂ්පාදනය හා නිෂ්පාදකතාව ඉහළ නැංවීම අරමුණු කරගත් උපයෝජ්‍ය පර්යේෂණ දියත් කිරීම සඳහා ප්‍රමුඛතාව ලබාදිය යුතු ය.



කෘෂිකාර්මික ආර්ථිකය නඟා සිටුවීම සඳහා උරදිය හැකි නොයෙකුත් විකල්ප අතර යාන්ත්‍රීකරණය සහ යෝග්‍ය තාක්ෂණය හඳුන්වාදීම යන විකල්ප වෙත පමණක් අවධානය යොමු කළ මෙම සාකච්ඡාව තුළින් උත්සහ දරණ ලද්දේ විටෙක අත්හළ, විටෙක අත්හැරෙන ග්‍රාමීය කෘෂි ආර්ථිකය නඟා සිටුවීමේ අඛණ්ඩ ප්‍රයත්නයක අවශ්‍යතාවය අවධාරණය කිරීමටය. වර්ධනය කළ යුතු යැයි යෝජනා කරන සේවා ආර්ථිකයකට පදනම සැපයෙන්නේත්, එහි පැවැත්ම තහවුරු කළ හැක්කේත් තිරසර නිෂ්පාදන ආර්ථිකයකින් බව අප අමතක නොකළ යුතුය. ඒ අනුව දළ ජාතික නිෂ්පාදිතයට විශාල දායකත්වයක් සපයන බවට උදම් අනන සේවා අංශය යැපෙන්නේ ඊට දෙවෙනි වන කර්මාන්ත හා කෘෂි අංශයේ නිමැවුම් ආර්ථිකය මතය. කල් බදු සේවාව, හතු පිපෙන්නා සේ වර්ධනය වන ක්ෂුද්‍ර ණය ක්‍රම, ග්‍රාමීය අංශයේ ක්‍රියාත්මක වන අවිධිමත් ණය ක්‍රම, අධ්‍යාපනික හා සෞඛ්‍ය සේවා, සන්නිවේදන සේවාව යනාදී බොහෝ සේවාවන් පවත්වා ගැනීමටත් ඒවා භුක්ති විදීමටත් ජනතාව වැය කරන්නේ ප්‍රාග්ධනය සත්‍ය වශයෙන් වර්ධනය කිරීමේ හැකියාව ඇති කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයන් වලින් උපයන ධනයයි. එබැවින් එකී අංශයන් වෙත නිසි අවධානය යොමු වී තිරසර යුගයක ඇරඹුම ඵලදායි අවසානයක් වෙත එළැඹෙනු දැකීම ශ්‍රී ලාංකීයයන්ගේ පරම අභිලාෂය විය යුතු බවට සනිටුහන් කරමින් මෙම කථිකාව අවසන් කරුණු පිණිස ඵලදායි කෘෂි ආර්ථිකයක් හෙවත් තිරසර කෘෂිකර්මාන්තයක් ලෙස ගොවිජන සමාජය විසින් (සාමාජිකයන් 215ක්) සැබෑවනු දකින්නට ප්‍රිය කරන සිහින පිළිබඳ විග්‍රහයන් අතරින් මා සිත්ගත් හරබර අදහස් කිහිපයක් පහතින් ලියා තබමි.




“රටට බරක් නැතුව ජීවත්වීමට අවශ්‍ය ආදායම කෘෂිකර්මාන්තයෙන් ඉපයීම”
“පරිසරයට අවම බලපෑමක් කරමින් රටේ ආහාර අවශ්‍යතාවය සපුරන අතරම ගොවියා ද සමෘද්ධිමත් කරන ගොවිතැන”
“ස්ථීර රැකියාවක් කරන අයෙකුට මෙන් ගොවියාට සුරක්ෂිතභායවක් දැනෙන ගොවිතැන”
“දරුවන්ගේ හෙට දිනටත් මේ කර්මාන්තය ඉතිරිවන වගා ක්‍රමය”
“ගොවියාට ස්වාධීනව ජීවත්විය හැකි ආර්ථිකයක් ගොඩනැගෙනන කෘෂිකර්මාන්තය”
එම සිහින සැබෑ කරන්නට ඔබටත් දායක විය හැකිදැයි හදවතින් නොව බුද්ධියෙන් විමසා බලන්න.

රේණුකා වීරක්කොඩි

ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.