• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

යළි ගොඩනැගෙන - අරණායක

Aranayake samasaraස්වභාවික ආපදා හමුවේ ලෝකයේ බොහෝ රටවල් නිරන්තර ගැටලු වලට මුහුණ දෙති. බොහෝ ආපදා හමුවේ යළි ගොඩනැගීම ඉතා අසීරූ වන අතර ම ඒ සඳහා අවුරුදු ගණන් කල් ගත වේ.
 
ආපදා හමුවේ ගොඩනැගෙන දැවැන්ත අභියෝග හමුවේ ලෝකයේ බොහෝ රටවල් අසීරුතාවයනට ලක් වේ. 2017/05/17 දින අරණායක සාමසර කන්ද නාය යාමත් සමඟ අති දැවැන්ත අභියෝගයකට ශ්‍රී ලංකාව මුහුණ පෑවේය. නමුත් එම සිද්ධියෙන් වසරක් ගත වීමට ප්‍රථම ව විධිමත් කළමනාකරණයක් හමුවේ අරණායක ජන ජීවිතය යථාවත් කිරීමට හැකිවීම ජයග්‍රහණයකි. සංවර්ධනය වෙමින් පවතින  රටක් ලෙස ශ්‍රී ලංකාවට මෙවැනි ආපදාවන් අතිරේක බරක් වුවද ජනතා සුභසිද්ධිය උදෙසා රජය සිදුකරන කැපකිරීම මෙහිදී පැසසිය යුතු කරුණකි. මෙවැනි ආපාදාවන් හමුවේ දෙස් විදෙස් මිතුරු දෑත් දිගු වීම ජන ජීවිත යථාවත් කිරීම සඳහා සිදු කෙරෙන ක්‍රියාවන් කඩිනම් වීමට ප්‍රබල හේතුවක් වී තිබේ. විශේෂයෙන් සුනාමි ව්‍යසනයේ දී ජාත්‍යන්තර දැක්වූ දායකත්වය නොවන්නට ඉන් විපතට  පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත්වීමට බෝහෝ කලක් ගත විය හැකිව තිබුණි.

මෙහි දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් හා නිසි මග පෙන්වීම සහ රජයේ දැවැන්ත මැදිහත්වීම් හමුවේ රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ වල සහයෝගයෙන්  ආපදා හමුවේ බිමට වැටුණ  අරණායක ජන ජීවිතය යළි ගොඩනැගෙන්නට පටන් ගෙන ඇත.


ශ්‍රී ලංකාවට බලපෑ දරුණුත ම ස්වභාවික ව්‍යසනය 2004 දී සිදු වූ සුනාමි ව්‍යසනයයි.  ඊට පසුව ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණතම ව්‍යසනය ලෙස අරණායක සාමසර කන්ද නාය යාම සිදුවීම කිවහොත් නිවැරදිය. මෙම සිද්ධිය සමඟ මියගිය හා අතුරුදහන් වූවන් පිරිස 150 තරම් වේ. ඉන් බිඳවැටුණ ජන ජීවිතය ගොඩනැංවීමේ දී ප්‍රතිපත්ති සම්පාදකයන්ට දරුණු අභියෝගයන්ට මුහුණ පෑමට සිදුවිය. සුණුවිසුණු වී ගිය ජන ජීවිතයක් නැවත දෙපයින් සිටුවන්නේ කෙස්ද යන්න ඔවුන් හමුවේ තිබු බරපතළ ගැටලුවයි.

සාමසර කන්ද නාය යාම සමගම අවධානමට ලක්වූ පවුල් 2000කට ආසන්න පිරිසක් ඉවත් කිරීමට සිදුවිය. එයට හේතුවූයේ එම ප්‍රදේශය අධි අවධානම් ප්‍රදේශයක් ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දීමත් සමඟ ය. රජයේ සෘජු මැදිහත්වීම මත එම පවුල් 2000 කට ආසන්න ප්‍රමාණයකට සුරක්ෂිත බිමක නව නිවසක් ඉදිකිරීම දැනටමත් ආරම්භ කර ඇත. විශේෂයේන් මේ සඳහා රජය සතු එල්.ආර්.සී ඉඩම්, වැවිලි සමාගම් ඉඩම්, ජනසතු ඉඩම්, පුද්ගලික ඉඩම් තෝරාගන්නා ලදී.

කෑගල්ල දිස්ත්‍රික්කයේ නාය යාම් ආපාදාවෙන් අධි අවධානම් තත්වයෙන් සැලකෙන පවුල් 1960ක් සඳහා ඉඩම් අක්කර 305ක් ලබා දීමට හඳුනාගෙන තිබෙන අතර ඉන් ඉඩම් අක්කර 200ක් මේ වන විටත් බෙදා දී අවසන් කර ඇති අතර ඉදිරියේ දී අක්කර 105ක ඉඩම් ප්‍රමාණයක් එම පවුල් අතරේ කඩිනමින් බෙදා දීමට නියමිතය.

අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අධි අවධානම් තත්ත්වයෙන් සැලකුණ පවුල් 571ක් සඳහා ඉඩම් අක්කර 60ක් රජය විසින්  ලබා දී ඇත. ඉන් අක්කර 40ක ප්‍රමාණයක් මේ වන විටත් ජනතාව අතරේ බෙදා දී තිබේ.


අරණායක නාය යාමෙන් අගතියට පත් පිරිස් සඳහා නිවාස 571ක් ඉදි කළ යුතු ව ඇත. එතරම් විශාල පිරිසකට නිවාස තැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. මේ හේතුවෙන් රජය විසින් ඉඩම් වල හිසට සෙවණක් තැනීම කඩිනමින් සිදුකෙරෙන අතර විවිධ පාර්ශවයන්ගෙන් හිමි වන ආධාර යටතේ මෙම නිවාස ව්‍යාපෘතිය සාර්ථක ව සිදුකිරීමට හැකිව තිබේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දිගු කාලීන මිතුරෙකු වන චීන රජයේ ප්‍රතිපාදන මත නිවාස 100ක් ඉදිකිරීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර හැබිටාට් ආයතනයෙන් නිවාස 80 කින් යුතු නිවාස සංකීර්ණයක් ඉදිකෙරෙමින් පවතී. එමෙන්ම රයිනෝ රූෆින් ආයතනයේ පරිත්‍යාගයෙන් ඉදි කළ අරණායක වසන්තේගම නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම පසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එමෙන්ම අරණායක සාමසර කන්දේ නාය යාමෙන් පීඩාවට පත්ව සිටින පවුල් යළි නගාසිටුවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළේ නිවාස ඉදිකිරීම සඳහා පිරිනැමෙන මුල්‍යම ප්‍රතිපාදන මේ වන විටත් කොටස් වශයෙන් පිරි නැමෙන අතර එහි ප්‍රගතිය සම්බන්ධයෙන් රජය පසුවිපරමෙන් සිටී. නිවාස ඉදිකිරීම සඳහා තෝරා ගත් එක් පවුලක් සඳහා රු. ලක්ෂ 12 ක මුදලක් ඒ අනුව පිරිනැමේ. එමෙන්ම මෙම ඉදිකෙරෙන නිවාස ව්‍යපෘති සඳහා පානීය ජල පහසුකම් ඇතුළු යටිතල පහසුකම් ලබා දීමේ වැඩපිළිවළක් කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

හිසට සෙවණක් පමණක් නොව අරණායක ජනයාගේ ජීවනෝපාය මාර්ග ගොඩනැංවීම කෙරේද රජයේ අවධානය යොමුව ඇත. ඒ සඳහා ජාත්‍යන්තර රතුකුරුස සමාජය හා එක්ව සුවිශේෂි වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇත. . මෙහි දී තෝරා ගත් එක් පවුලක් සඳහා රු.55.000ක මුල්‍යාධාරයක් ඇතුළු ව තෝරාගන්නා ජීවනෝපාය මාර්ගය සඳහා පුහුණු අවස්ථා, වෙළඳපල අවස්ථා හඳුනා ගැනීමට සහය වීම හා සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම ජාත්‍යන්තර රතුකුරුස සමාජය මැදිහත් වී කටයුතු කරයි. මෙම ජීවනෝපාය සංවර්ධන වැඩසටහන, ජාත්‍යන්තර රතු කුරුස සමාජය හා රාජ්‍ය අංශය  ඒකාබද්ධව සිදු කෙරේ. ඒ අනුව දත්ත රැස් කිරීම, වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා පසුවිපරම සඳහා රාජ්‍ය අංශය සෘජු මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියාකරයි.
සාමසර කන්ද නාය යාම හේතුවෙන් අහිමි වූ ජීවිත හැර අන් සියල්ල ජනතාවට ලබා දීමට රජයේ ධෛර්ය සම්පන්න උත්සායහ දැන් මල්ඵල ගන්වමින් තිබේ. මේ සඳහා රජයේ සහ අනෙකුත් දෙස් විදෙස් සියලු දෙනාගේ මැදිහත්වීම පිළිබඳ ව ප්‍රදේශවාසීන් තුළ ඇත්තේ අසීමිත කෘතවේදීත්වයකි.


එල්.පී තිලකරත්න
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.