• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වංචා, දූෂණ සහ හොරකම් සිදුකරන දේශපාලනඥයින්ට එරෙහිව ගත යුතු තීන්දු තීරණ ගැනීමට පසුබට නොවේ

He news 2017 04 03 3වංචා, දූෂණ සහ හොරකම් සිදුකරන දේශපාලනඥයින්ට එරෙහිව ගත යුතු තීන්දු තීරණ ගැනීමට පසුබට නොවන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
 
අවංක, ක්‍රිශීලි සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් අද මේ රටේ තරුණ පරපුරේ මෙන්ම සමස්ත පොදු මහ ජනතාවගේ දේශපාලන පිපාසය බවට පත්ව ඇති බව පැවසූ ජනාධිපතිතුමා වංචා සහ දූෂණ, හොරකම් සිදු කරමින් රටේ රාජ්‍ය සම්පත් හා මහජනතාවගේ දේපළ අනිසි ලෙස භාවිත කර සාක්කු පුරවා ගැනීමට යම් දේශපාලනඥයෙක් උත්සාහ කරනවා නම් ඔහු කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවද ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට තමා කිසිසේත් පසුබට නොවන බව අවධාරණය කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (02) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ජාතික මහා සමුළුව අමතමිනි.

“විසඳුමට ජවයක්” තේමාව යටතේ දිවයිනම ආවරණය වන පරිදි තරුණ තරුණියන් 12,000 ගේ පමණ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් තරුණ සමුළුව පැවැත්විණි. 2004 වසරෙන් පසුව වසර 13 කට පසු මෙම සමුළුව පැවැත්වීම සුවිශේෂී වන අතර මෙතෙක් කාලයක් තම ගැටලු ඉදිරිපත් කළ තරුණ ප‍්‍රජාව මෙවර ගැටලුවලට විසඳුම් හා යෝජනා රැගෙන සමුළුවට එක්වීම ද විශේෂත්වයකි.

තරුණ සමුළුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අවංක සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත පෙරට එන බව තරුණ ජවය සමඟ මුසු වූ මෙම සමුළුව තුළින් මනාව පිළිඹිඹු වන බවයි.

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය භාර ගත්තේ තම පවුලේ කිසිවෙකුට ඔටුනු පැළඳවීමට නොව රටේ සමස්ත තරුණ පරපුර සහ පොදු ජනතාව වෙනුවෙන් සුබදායී අනාගතයක් ගොඩනගාදීමට පක්ෂය ශක්තිමත් කිරීමට බව ද පැවසූ ජනාධිපතිතුමා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිසංවිධානය කරමින් නව වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගෙන යන බව ද කියා සිටියේය.

නමුත් පක්ෂයේ ගමන් මග වෙනුවෙන් විවිධ බාධා එල්ලවන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා තමාට පක්ෂයේ සභාපතිත්වය භාර ගැනීමට ආරාධනා කළා නම් පක්ෂය ඉදිරියට කරගෙන යාමට ඉඩ ලබාදිය යුතු බවද කියා සිටියේය.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගම මෙන්ම නගරය තුළ ද සියලුදෙනාට එක ලෙස විවෘත බව පැවසූ ජනාධිපතිතුමා පළාත් පාලන මැතිවරණය මෙම වර්ෂය තුළ පැවැත්වීමට හැකිවනු ඇති බවත් එම මැතිවරණයේදී අපේක්ෂකයින් ජයග‍්‍රහණය කිරීමට නොව අපේක්ෂකයින් වී පක්ෂය ජයග‍්‍රාහී ලෙස ඉදිරියට ගෙන යාමට ඉදිරියට පැමිණෙන ලෙස තමා තරුණ පරපුරට ආරාධනා කරන බව ද කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අමතක කර දමා තිබූ තාරුණ්‍යය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීම මත නැවතත් ඔපදමා රටේ අනාගතයට සූදානම් කිරීම වෙනුවෙන් මෙහිදී තරුණ තරුණියන්ගේ කෘතවේදීත්වය ජනාධිපතිතුමා වෙත පිරිනැමිණි.

ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ ප‍්‍රතිසංවිධාන වාර්තාව ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විය.

‘විසඳුම’ ග‍්‍රන්ථය සහ ‘නිදහස්’ පුවත්පතේ පළමු පිටපත ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ජාතික මහා සමුළුව නිමිත්තෙන් නිකුත් කළ සමරු කලාපය ද පිළිගැන්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ නිල වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අග‍්‍රාමාත්‍ය දී.මූ ජයරත්න මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු රැසක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ලේකම් එරික් වීරවර්ධන යන මහත්වරුන් ඇතුළු තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ජාතික සමුළුවේදී ජනාධිපති

ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව
2017.04.02 වන දින සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී

මේ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ අද ඔබ මෙන්ම පින්වන්ත වූ භාග්‍යවන්ත වූ තරුණ පිරිසක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සමුළුවට තරුණ පෙරමුණට එක්වෙලා මේ ඓතිහාසික සමුළුව පවත්වන අවස්ථාවේ ඔබත් සමඟ එක්වන්නට මා පෙර පින් කර තිබුණා යැයි මට හැඟී යන නිසා මා ඉතාමත් සතුටු වෙනවා.

දයාබර තරුණ දරුවනේ, මේ ශාලව තුළට අද මා පැමිණි විට ඔබේ සුන්දර පින්බර මුහුණුත් සමඟ මගේ මතකය ඇදී ගියේ මීට තිස් පස් වසරකට පෙර ඔබ මෙන්ම මමත් මේ ගෘහස්ථ ක‍්‍රීඩාංගනය තුළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික තරුණ සමුළුව පැවැත්වුණු දිනය පිළිබඳවයි. ඒ මතකය සමඟ තිස් පස් වසරක අතීතය සහ තිස්පස් වසරක මතක සටහන් වගේම ඒ ගමන් මගෙහි දුෂ්කරතා, අභියෝග, පරාජයන් සහ ජයග‍්‍රහණයන් සමග නැවත අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගන්න ඉදිරියට යන්න, වේගවත් කරන්න, කාර්යක්ෂම කරන්න මේ රටේ සමස්ත පරපුර වෙනුවෙන් මේ ආදරණීය තරුණ පිරිස එක්වීම මහා භාග්‍යයක් කොට සලකනවා.

පක්ෂයේ ඉතිහාසය කියන්න මම කාලය ගන්නේ නැහැ. ඔබේ ජීවිත සමඟ ඔබේ යෞවනත්වය, ඔබේ තරුණ්‍ය සමඟ එක්වී සිටින අනාගත බලාපොරොත්තු ජීවිතයේ අධිෂ්ඨානශීලීභාවයත් ඒ සියල්ල පිළිබඳ ව ඔබෙන් එන අදහස් සමග මූලික වශයෙන්ම මා මෙහි දී සඳහන් කරන්නට ඕනෑ ඔබ වෙනුවෙන් මේ රටේ සමස්ත තරුණ පරපුර වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ වශයෙන් ශාන්ත බණ්ඩාර ඔබේ තරුණ නායකත්වය ඉදිරිපත් කළ මාර්ගෝපදේශ ආයතනය පිහිටුවීම මා මේ වසරේ ඉටු කරන බව ඔබට මෙහිදී සඳහන් කරන්නට ඕනෑ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය මම කිසිදාක බලාපොරොත්තු වූ දෙයක් නොවෙයි. මේ රටේ ජනාධිපති වරයෙක් වෙන්න මා බලාපොරොත්තු වූ කෙනෙක් නෙවෙයි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ජනතාවගේ ආශිර්වාදයෙන් දෛවයේ ඉරණම සමඟ සියල්ල වෙනස් වෙමින් ඒ සියල්ල ඔබත් මාත් අතට පත් වී තිබෙනවා. 2015 ජනවාරි මාසේ 15 වෙනිද රැස්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මා එහි සිටියේ නැහැ. මට ආරාධනා කළා පක්ෂයේ සභාපතිකම භාරගන්න. මා ඉතාමත් සතුටින් බාර ගත්තා. පක්ෂයට අලූත් වැඩපිළිවෙළක් හැදුවා. පක්ෂ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් හැදුවා. පක්ෂය ඉදිරියට ගෙන යන්න පක්ෂයේ අනාගත ජයග‍්‍රහණය සඳහා සූදානම් කළා. බාධාවන් බොහෝයි. අභියෝග බොහෝයි. ඒ බාධාවන් සහ අභියෝග මගේ ජීවිතයේ අත්දැකීම් සමඟ මා ඒ සියල්ල භාරගෙන ඔබ වෙනුවෙන් දරුවනේ රට වෙනුවෙන් ඒ සියලූ කැපකිරීම් කරමින් ඔබේ අනාගතය සහ ඔබේත් මගේත් ශ්‍රේෂ්ඨ උතුම් මාතෘභූමිය ලෝකයේ ශ්‍රේෂ්ඨ ප‍්‍රබුද්ධ ජාතියක් බවට ගොඩනගන්න කළ හැකි සියලූ කැපවීම් මා විසින් ඉටු කරනවයි කියන එක ඉතාම නිහතමානී ලෙස ඔබට මා සඳහන් කරන්නට ඕනෑ. පක්ෂය මට භාර දුන්නා නම් මගේ ඉල්ලීමක් නැතිව මධ්‍යම කාරක සභාව ආරාධනා කරලා මට පක්ෂය භාර දුන්නා නම් පක්ෂය භාර ගන්න මට ආශිර්වාද කළා නම් මම අහනවා පක්ෂය ඉදිරියට ගෙනයන්න ඇයි මට බාධා කරන්නේ. ඒ අසන ගමන්ම මා අහනවා මට ගහන්නේ මම මේ රටේ දුප්පත් පවුලකින් ගොඩනැගිච්ච කෙනෙක් නිසාද කියලා මම අහනවා. මම මේ රටේ රදළ පවුලකින් ගොඩනොනැගුණු නිසාද කියලා මම අහනවා. මම මේ රටේ ප‍්‍රභූ පන්තියෙන් ගොඩනොනැගුණු නිසාද කියලා මම අහනවා මට ගහන්නේ. නමුත් මම ඉතාම පැහැදිලිව කියන්නට ඕනෑ දිර්ඝකාලීන දේශපාලන අත්දැකීම් සමඟ  මේ රටේ දේශපාලනයත්, ශ‍්‍රී ලංකාවේ දේශපාලනයත්, ජාත්‍යන්තර දේශපාලනයත්, පිළිබඳ ව තිබෙන්නා වූ සුළු අවබෝධය සමඟ මා විශ්වාස කරනවා ඔබටත්, මටත්, මේ රටේ ප‍්‍රගතිශීලි වාමාංශික ජනතාව සමග සියලූ ජනකොටස් ඒකරාශී කර ගනිමින් සාර්ථක ගමනක් යන්න පුළුවන් බව මා දැඩි ලෙස විශ්වාස කරනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ පොදු ජනතාවට අද විවෘතයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ මේ රටේ තරුණ ජනතාවට විවෘතයි. ඒ සඳහා කිසිදු බාධාවක් නැහැ. ඒ සඳහා කිසිදු වෙන් කිරීමක් නැහැ. ඒ සඳහා කිසිදු අභියෝගයක් නැහැ. ඔබත් අපත් එක් වුවහොත්, පැහැදිලි ලෙසම මේ ගමන්මගෙහි ස්ථිරසාර ජයග‍්‍රහණයක් කරන්න ඒකාන්ත වශයෙන්ම පුළුවන් කියන එක ඔබට මෙහිදී මා ඉතාමත් පැහැදිලි ව සඳහන් කරනවා.


මේ සභාපති ධුරය මා වෙත භාරදුන් විට මා පක්ෂයේ සභාපති ධුරය භාර ගත්තේ ඇයි. මා පක්ෂයේ සභාපති ධුරය භාර ගත්තේ පක්ෂය ජයග‍්‍රහණය කළ යුතු නිසා. ඒ තමයි මගේ ඒ සඳහා සරළ විග‍්‍රහය. මේ පක්ෂය තුළ වැඩකරන නව පරපුරට මේ පක්ෂයට එකතු වෙන පොදු මහජනතාවට මේ පක්ෂයට එකතු වෙන උගතුන්ට බුද්ධිමතුන්ට පරිණතයින්ට බහුශ‍්‍රැතයින්ට කිසිදු බාධාවක් නැතිව, තමන්ගේ හැකියාවන් නිර්මාණශීලීභාය සහ දක්ෂතාවය සමඟ මේ පක්ෂය ගොඩනගමින් අනාගත ආණ්ඩුවක් හදන්න අප සියලූ දෙනාම එක්ව කැපවෙමුයි කියන ගෞරවණීය ආයාචනය මා මේ සියලූ දෙනා වෙත කරනවා.

ආදරණීය තරුණ දරුවනේ, මගේ පුතත් මේ ශාලාව තුළ ඉදිරියේ වාඩි වී සිටිනවා. ඔහු වේදිකාවේ නැහැ. ඔහුට මම තරුණ සංවිධානයේ තනතුරු දීලා නැහැ. ඔහුට මම බලකායන් බාරදීලා නැහැ. මේ පක්ෂයේ සභාපති ධුරය මම භාර ගත්තේ, මගේ පවුලේ කිසිවෙකුටත් ඔටුනු පළඳන්නට නොව, මේ රටේ සමස්ත තරුණ පරපුර සමඟ මේ රටේ පොදු මහජනතවගේ අනාගත ගමන් මග ශක්තිමත් කරලා ඉදිරියේදී ජනාතාවාදී මෙහෙවරක් ඔබ වෙනුවෙන් ඉටු කිරීම සඳහායි කියන එක මා ඉතා පැහැදිලිවම සඳහන් කරන්නට ඕනෑ.


අපිට පසුගිය දශක කිහිපය තුළ මේ රටේ අත්දැකීම් රාශියක් තිබෙනවා. 1971 කැරැල්ල 88, 89 කැරැල්ල ඒවගේම වසර 25 කට වැඩි දීර්ඝකාලීන මිලෙච්ඡ ත‍්‍රස්තවාදීන්ගේ යුද්ධය, ඒ සියල්ල එක්ක අපි ඇතැම් වෙලාවට ඒ ලැබූ අත්දැකීම් සමඟ අපේ රට ඉදිරියට ගෙන යන්නට අප ලැබූ අවබෝධය සමඟ අපි සැමවිටම සකස් විය යුතු කියා මා විශ්වාස කරනවා. අපට තිබෙන්නා වූ ආර්ථික අර්බුද වෙන්න පුළුවන්. සමාජය ප‍්‍රශ්න වෙන්න පුළුවන්. දේශපාලන අර්බුද වෙන්න පුළුවන්. ඒ සියල්ල විසඳාගෙන, ඉදිරියට යන්න ඔබටත් මටත් සෑම කෙනෙකුට ම ඒ හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ ආත්ම ශක්තිය, ආත්මධෛර්යය, කැපවීම අධිෂ්ඨානශීලීභාවය, ඉලක්ක සහගතව වැඩ කිරීමයි අවශ්‍ය වෙන්නේ. මේ රටේ තරුණයින් ලෝකයේ තවත් කිසියම් කෙනෙකුට දෙවෙනි නොවන තරුණයින් විදියට තමන්ගේ හැකියාවන්, දක්ෂතාවයන්, නිර්මාණශිලීභාවයන් ඉටු කරන්න පුළුවන් පිරිසක්. මේ රටේ තරුණයින්ගේ දැනුම, උගත්කම, බුද්ධිය, සමග ඔවුන්ට අවශ්‍ය මගපෙන්වීම ප‍්‍රධාන වශයෙන්ම රජයක් විදියට, වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. බොහෝ අංශවලට ඔබේ හැකියාවන් තිබෙනවා. දක්ෂතාවයන් තිබෙනවා. නිර්මාණශීලීභාවයන් තිබෙනවා. කුසලතාවයන් තිබෙනවා. ඒ නිර්මාණශීලීභාවයට, කුසලතාවයට ඒ හැකියාවට ඔබේ දැනුමට අවශ්‍ය මගපෙන්වීමයි කළ යුතු වන්නේ. තරුණයා පිළිබඳව මූලික වශයෙන්ම සමාජයේ පිළිගැනීමක් ඇති කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. තරුණයෙකුගේ සිතුම් පැතුම් සමඟ, ඔහුගේ ආකල්ප අදහස් සමග, නව තාක්ෂණ ලෝකයේ අධිතාක්ෂණයත් සමඟ තරගකාරිත්වය සමඟ තරුණ පරපුරට ඉදිරියට යන්නට ඔබේත් මගේත් උතුමේ ශ්‍රේෂ්ඨ මාතෘභූමිය ගොඩනැගීම සඳහායි අප සියලූදෙනා ඒ යුග මෙහෙවර අප විසින් ඉටු කළ යුතු වෙන්නේ.

අපට ඇතැම් වෙලාවට වැඩ කරන විට, තරුණයින්ට විතරක් නෙවෙයි, වැඩිහිටියන්ට ද, උගතුන්ට ද, බුද්ධිමතුන්ට ද, පරිණතයින්ට ද, බහුශ‍්‍රැතයින්ට ද, ඒ ඕනෑම කෙනෙකුට යම් පසුබෑම් ඇති වෙන වේලාවන් තිබෙනවා. ඇතැම් වෙලාවට යම් යම් ප‍්‍රමාද දෝෂයන් ඇති වෙනවා. ඇතැම් වෙලාවට යම් සුළු වැරදි අඩුපාඩුකම් සිදුවෙන වෙලාවල් තිබෙනවා. නමුත් ඒ සියල්ල නිවැරදි කරගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්කම තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගතවූ දශක හයහමාරක කාලසීමාව ඇතැම් විට ජයග‍්‍රණය කළා. ඇතැම් විට පරාජයන් ලැබුවා. ඇතැම් විට ඉදිරියට ගියා. ඇතැම් විට පස්සට ගියා. එහෙම පස්සට ගියත් ඇතැම්විට පරාජයට පත් වුණත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ඉතිහාසයේ අභිමානවත් ලෙස වැටි වැටී නැගිට නැගිට ඉස්සරහට ගොස් සැමවිටම ජයග‍්‍රහණය ළඟා කර ගත්තා. ඒක තමයි ඉතිහාසයේ සහතිකය. සාධකය, සාක්ෂිය සහ ආදර්ශය.

සිදුහත් තවුසාණෝ බුද්ධත්වය ලබලා පස්වග මහණුන්නටයි මුල්ම ධර්ම දේශනාව කළේ. වසර 2500 වඩා පැරණියි. තව වසර 2500 ක් ඉදිරියට බෞද්ධ දර්ශනය පවතින බව බෞද්ධයින් දන්නවා. ඒවගේම තමයි හින්දු, ඉස්ලාම්, කිතුණු දහම් අධ්‍යාත්මික දර්ශනයන් විදියට ඒ ශාස්තෘවරුන් ඒ ධර්මය දේශනා කරන විට ලක්ෂ ගණන්වලට ඒ ධර්මය දේශනා කළේ නැහැ පළමුවෙන්. ඉතා සුළු පිරිසකින් පටන් අරගෙන මුළු ලෝක ප‍්‍රජාව ඒ සඳහා ආකර්ශනය කරගනු ලැබුවා. මුළු ලෝක ප‍්‍රජාව එය පිළිගනු ලැබුවා. එස්.ඩබ්ලිව්. ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමා 1951 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න මුල් සාකච්ඡුාව කරන කොට ඒ මුල් සාකච්ඡාවට කැඳවලා ඒ තීරණය ගත්තේ 63 දෙනෙක් එක්ක. 63 දෙනෙකුගෙන් මුල් සාකච්ඡාව කරපු බණ්ඩාරනායක මැතිතුමා 1951 අවුරුදු 05 ක් යන විට 56 ආණ්ඩුවක් හැදුවා. එහෙම නම් අද ඔබ වැනි තරුණ පිරිසක්, මෙතන පැමිණ සිටින, ඔබ මෙන්ම නොපැමිණි මේ රටේ අති ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිසක්, මේ රටට ආදරය කරන වාම ප‍්‍රගතිශීලී දේශපාලන බලවේගත් එක්ක මානවවාදී සමාජයක් ගොඩනැගීමේ ඒ දැඩි උවමනාව තිබෙන සෑම කෙනෙක්ම එකතු කර ගනිමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔබේ ශක්තිය ඔබේ ජවය ඔබේ දැනුම සහ ඔබේ කැපවීම මෙන්ම ඔබේ අධිෂ්ඨානය සමඟ අපට අනාගත ආණ්ඩුවක් හැදීම නුදුරු කාලයේදීම පුළුවන් කියන එක ඉතාම පැහැදිලිව ඔබට ප‍්‍රකාශ කරන්නට ඕනෑ. ඒ සඳහා ඔබ පක්ෂය භාර ගන්න. ඒ සඳහා ඔබ තරුණ සංවිධානය භාර ගන්න. මෙතන සිටිනවා අපේ ආසන සංවිධායකවරු. මෙතන සිටිනවා අපේ දිස්ත‍්‍රික් සංවිධායකවරු. මෙතන සිටිනවා මැති ඇමතිවරු. ඔබ මෙන්ම තරුණ නායකයින් ගමත්, නගරයත්, රටත්. පළාතත් එක් කරමින් ඒකරාශී වී සිටිනවා. එහෙම නම් ඔබටත් මටත් ඒ සාමූහිකත්වය පොදු බව ඒ ශක්තිය තුළ කළ නොහැකි දෙයක් නොමැති බව පැහැදිලිව ඔබ තේරුම් ගන්නවා ඇතැයි මා විශ්වාස කරනවා. ඒ නිසා අපිට ප‍්‍රධාන වශයෙන්ම පක්ෂය ගම තුළ විවෘත කළ යුතුයි. පක්ෂය නගරය තුළ විවෘත කළ යුතුයි. පක්ෂයේ ගමන් මාවතට සියලූ දෙනාට එක හා සමානව ඒකරාශි වෙන්න ඉඩදිය යුතුයි. ඔබේ අදහස් ඔබේ යෝජනාවලට ඔබේ හඬට සැමවිට ම ඒ ප‍්‍රමුඛත්වය දීම ඉතාමත් අත්‍යවශ්‍යයයි. මා විශ්වාස කරනවා බොහෝ විට මේ වර්ෂය තුළ අපිට පළාත් පාලන මැතිවරණය තබන්නට පුළුවන්කම ලැබේවි කියලා. මේ සියලූ තරුණ දරුවන්ගෙන් මා ඉල්ලා සිටිනවා පළාත් පාලන මැතිවරණයේදී, ඔබ අපේක්ෂයකයින් ජයග‍්‍රහණය කිරීම නොව, ඔබ අපේක්ෂකයින් වෙලා ඔබ එහි නායකත්වය අරගෙන පක්ෂයේ ජයග‍්‍රහණයට ඉදිරි මාවත සකස් කරන්නයි කියලා මා ආරාධනා කර සිටිනවා.

අද මා ඉතාමත් සතුටු වෙන කරුණු කිහිපයක් තියෙනවා. අංගජන් සහෝදරයා උතුරෙන් කතා කළා. මේ ශාලාව අද පිරී තිබෙන්නේ ශාලාවේ එක් පසක එක් පැත්තක උතුරේ තරුණයන්. ශාලාවේ තවත් පසෙක නැගෙනහිර තරුණයන්. ශාලාවේ තවත් පසෙක දකුණේ තරුණයින්. ශාලාවේ තවත් පසෙක බටහිර තරුණයන්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මම මේ වන විට අවුරුදු 50 කට ආසන්න කාලයක් කටයුතු කරලා තිබෙනවා. පක්ෂ ඉතිහාසය තුළ ප‍්‍රධාන වශයෙන් ම උතුරේ සහ නැගෙනහිර දමිළ සහ මුස්ලම් තරුණ පිරිසක් මේ විදියට දකුණේ තරුණයින් සමඟ එක් වෙලා පක්ෂයේ තරුණ සමුළුවක් සාර්ථක කරපු පළවෙනි ඓතිහාසික අවස්ථාව මේ අවස්ථාවයි කියලා මා ඉතා පැහැදිලිව කියනවා.

ඔබ දන්නවා රටේ තිබෙන ප‍්‍රශ්නය කුමක්ද කියන එක. රටේ ප‍්‍රශ්න ඇති වුණේ කොහොමද කියලා ඔබ දන්නවා. තිබෙන ප‍්‍රශ්නයට විසඳුම් දීම පිළිබඳ ව ඔබට අවබෝධයක් තිබෙනවා. ඒ සඳහා පුළුල් ලෙස ජාතික සමගිය සංහිඳියාව ඉතාමත් වැදගත් වෙනවා. සිංහල ද දමිළ ද මුස්ලිම් ද බර්ගර් ද මැලේ ද කියන මේ සියලූ ජනතාව සහ සියලූ උගතුන්, සියලූ ආදරණීය තරුණ දරුවන් ඒකරාශී වූ පොදු සාමූහික ගමන් මගක් තුළ මේ රට ගොඩනැගීම ඔබටත් මටත් අනිකුත් සියලූදෙනාටත් පුළුවන්කම තිබෙනවා.

ඒ නිසා අද දවසේ ඔබේ පැමිණීම භාග්‍යවන්ත වූ පැමිණීමක්. ඔබේ පැමිණීමෙන් අපි සතුටු වෙනවා. අපි උද්දාමයට පත් වෙනවා. මෙය ඉතාමත්ම සාර්ථක තරුණ සමුළුවක්. මේ සාර්ථක තරුණ සමුළුව ඔබටත් මටත් ඉදිරි ගමන් මග යන්න විශාල ශක්තියක්. මේ සාර්ථක තරුණ සමුළුව අද තිබෙන ආණ්ඩුව විදියට, ආණ්ඩුවේ ගමන් මග නිවැරදි කරන්න, ආණ්ඩුවට නිවැරදි ගමන් මගක් සඳහා පණිවිඩයක් දෙන්න ඔබේ මේ පැමිණීම ඉතාමත් ශක්තියක් උනා කියන එක මා ඉතාමත් පැහැදිලිව කියන්නට ඕනෑ.

වංචාව,දූෂණය, හොරකම, නාස්තිය පිටුදකින සමාජයක් ගොඩනගන්නට ඕනෑ. මේ රටේ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තියෙන්නට ඕනෑ. ඔබටත්, මටත්, මේ රටේ ඒවගේ ම සමස්ත පොදු ජනතාවට. කලින් කතා කරන කොට අපේ සහෝදරවරු කිව්වා මේ රටේ තරුණ පරපුරට වගේම මේ රටේ පොදු ජනතාවට අද දේශපාලන පිපාසයක් තිබෙනවයි කියන එක. මම පිළිගන්නවා. ඒ දේශපාලන පිපාසය තමයි මේ රටේ අවංක ක‍්‍රියාශීලී පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය පිළිබඳ ව පිපාසයක් මේ රටේ ජනතාවට තියෙනවා. මම කවුරුවත් හොඳ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවුරුවත් මම නරකයි කියලා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වැරැද්දක් කළොත් දූෂණයක්, වංචාවක්, හොරකමක් නාස්තියක්, පොදු දේපළවලට හානියක් කළොත්, මේ රටේ රාජ්‍ය සම්පත් පොදු ජනතාවගේ මුදල් සම්පත් දේපළ කවුරුන් හෝ මංකොල්ල කනවා නම්, කවුරුන් හෝ අනිසි විදියට භාවිතා කරනවා නම්, කවුරුන් හෝ ඒවායින් සාක්කු පුරවා ගන්නවා නම්, මොන පක්ෂය වුණත් මම ඒ සියලූ දෙනාට විරුද්ධව ගත යුතු තීරණ අවංකව සහ එඩිතරව ගන්නවා කියන එක මේ අවස්ථාවේ පැහැදිලිව ප‍්‍රකාශ කරන්නට ඕනෑ.

මම මෙතනට එනකන් මෙවැනි තරුණ සමුළුවක් පිළිබඳව සේයාවක් මගේ මතකයේ තිබුණේ නැහැ. මට මතකයේ තිබුණේ මා ඔබට සඳහන් කළ ආකාරයට තිස්පස් වසරකට පෙර තිබූ තරුණ සමුළුවයි. විශේෂයෙන්ම මේ කටයුතු නිදහසේ ඉටු කරන්නට මේ තරුණ නායකයින් සියලූදෙනාට මා ඉඩකඩ ලබා දුන්නා. එරික් වීරවර්ධන, ශාන්ත බණ්ඩාර ඇතුළු අනෙක් සියලූ දෙනා මම නම් වශයෙන් කියන්න ගියොත් දිග නම් වැලක් තිබෙනවා. ඒ සියලූ දෙනා ඒකරාශී වෙලා ගමේ සිට ඔබ නගරයේ සිට ඔබ විශාල කැපවීමක් කරමින් මේ ස්ථානයට පැමිණ තිබෙනවා. ඔබ දුෂ්කර ගමනක් ඇවිල්ලා, දීර්ඝ ගමනක් ඇවිල්ලා, ඒ කැපවීම සහ පරිත්‍යාගය කරලා තිබෙනවා. ඔබ රටට පණිවුඩයක් දීලා තියෙනවා. සියලූ දේශපාලන බලවේග වලට ඔබ පණිවුඩයක් දීලා තියෙනවා. මේ රටේ අවංක දේශපාලන ගමනක් සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තරුණ බලවේගයත් සමඟ නැවත නැගිටිනවායි කියන පණිවිඩය ඔබ අද සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදි මේ රටේ සියලූදෙනාට ඒ පණිවිඩය දීලා තිබෙනවා. ඒ පණිවිඩය දීමත් සමඟ මා විශ්වාස කරනවා ඔබටත්, මටත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කරන සෑම කෙනෙකුටමත් ඔබේ තරුණ ජවයෙන් ඒ සෑම කෙනෙකුටම ලැබුණු ශක්තිය ආත්මධෛර්යය ආත්ම විශ්වාසය අධිෂ්ඨානශීලීභාවය සමඟ අපිට විශිෂ්ට ගමනක් යන්න පුළුවන්කම තිබෙනවා. ඒ විශිෂ්ට ගමන අපි යමු. ඔබෙත් මගෙත් ආදරණීය මාතෘභූමිය, ඔබෙත් මගෙත් ආදරණීය රට. ඔබෙත් මගෙත් ආදරණීය ජනතාව ඔබ මෙන්ම හෙට උපදින දරුවන්ගේ අනාගතය ඔබේ ජීවිත සමඟ හෙට උපදින දරුවන්ගේ අනාගතය සුන්දර කරන්න සමෘද්ධිමත් කරන්න, වාසනාවන්ත කරන්න පින්බර කරන්න අවංකවම අපි සියලූදෙනා කැපවෙලා ඒ ඓතිහාසික යුග මෙහෙවර ඉටුකරමුයි කියන ගෞරවණීය ආයාචනය කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සමුළුවට ජය වේවා. ජය වේවා ජය වේවා ඔබ සියලූ දෙනාට ජය වේවා කියලා ඔබෙන් සමුගන්නවා.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.