• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විසඳුමක් නැති කුණු

meethotamulla2017 05 05අලුත් අවුරුද්ද උදාවත් සමඟ විශාල ජීවිත ගණනක් අහිම් කරමින් සිය ගණනකට උන්හිටි තැන් නැති කරමින් කඩා වැටුනු මීතොටමුල්ලේ කුණු කන්ද මේ වන විට සමාජයේ සමාජීය හා දේශපාලනික වශයෙන් ඉමහත් ආන්දෝලනාත්මක සංවාදයකට විවෘත වී ඇත.



නමුත් දැන් සිදුවිය යුත්තේ මෙම ආන්දෝලනාත්මක සංවාදය ඵලදායී සංවාදයක් බවට පරිවර්තනය කර ගැනීමයි. 


මෙහිදී පක්ෂ පාට ගෝත්‍ර හෝ පලාත් ලෙස බෙදී වෙන්වී එකිනෙකාට චෝදනා කරගනිමින් කුලල් කා ගන්නවාට වඩා රුදුරු සමාජ සංහාරයක පශ්චාත් අවදියක,  මියගිය අතුරුදන් වූ සහ අවතැන්වූවන්ගේ දුක් සෝ සුසුම් වල අදෝනාවන් මැදින් අප කළ යුත්තේ තම තමන්ගේ වගකීම් මනා ලෙස හඳුනාගෙන මෙවන් ව්‍යසනයක් යලිදු කිසිදිනක ශ්‍රී ලංකා මාතෘ භූමියෙහි සිදු නොවනන්ට ක්‍රියාත්මක වීම සඳහා අත්වැල් බැඳ ගැනිමයි.   


ශ්‍රී ලංකාවේ පවත්නා අනෙකුත් සමාජ හා ආර්ථික ගැටලුවලට  සාපේෂව ඉදිරියට යන නිහඬ නමුත් වර්ධනය වන ගැටලුවක්‌ ලෙස ඝන අපද්‍රව්‍ය  කළමනාකරණය පිළිබඳ ව ගැටලු ව පෙන්වාදිය හැකිය. සීග්‍ර ජනගහන වර්ධනය, කර්මාන්ත අංශයේ වේගවත් දියුණුව, යටිතල පහසුකම් වැඩිදියුණු වීම සහ මිනිසුන්ගේ පරිභෝජන රටාවේ සිදුවීගෙන යන කෘතිම වෙනස්‌කම්ද හේතුවෙන් අධික ලෙස උත්පාදනය වන ඝන අපද්‍රව්‍ය නිසියාකාරයෙන් කළමනාකරණය නොවීම මෙම ඛේදනීය තත්ත්වයට  ප්‍රධාන හේතුව ලෙස දැකිය හැකිය. මෙහිදී වඩාත් සැලකිය යුතු කරුණක්‌ වන්නේ මෙය හුදකලා ගැටලුවක්‌ නොව සමාජ, ආර්ථික, පාරිසරික, සෞඛ්‍ය ආදී ලෙස ගැටලු හා අභියෝග රැසකට මුල්වන ගැටලුවක්‌ වීමයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මෙම ගැටලු ව හුදෙක්‌ පාරිසරික හා සෞඛ්‍ය ගැටලුවලට පමණක්‌ සීමා නොවී ප්‍රබල සමාජ ගැටලුවක්‌ බවටද අද වනවිට පත්ව තිබේ. කුණු සම්බන්ධයෙන් ලාංකික අප කටයුතු කරන්නේ දැනට වසර 2500කට පෙර ලෝකයේ ජනතාව කුණු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයටමය. එනම් ජනාවාසවල එකතුවන කුණු ජනාවාසයෙන් එපිට ස්ථානයකට ගෙනගොස් දැමීමයි. ලෝකය ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් බොහෝ දුර ගොස් තිබේ. අපටත් වඩා ජනගහනය අධික රටවල් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ඉතාමත් සාර්ථකව සිදුකරමින් සිය රටවල කුණු පොදක් හෝ දැකගත නොහැකි තත්ත්වයට පත්කරගෙන ඇත. නමුත් අප කුණු කසළ බැහැර කිරීම පිළිබඳව පවා වසර 2500කට වඩා පැරණි දැනුමක් අනුගමනය කරමින් කුණුත් සමඟ ම තවමත් එක තැන පල් වෙමින් සිටීම සැබවින්ම රටක් ලෙස අතිශය ලැජ්ජාවට පත්විය යුතු කාරණයකි.
meethotamulla555

මීතොටමුල්ලේ කුණු කන්දට පළාතේ ජනතා විරෝධය එල්ල වන්නේ දීර්ඝ කාලයක සිටය. මෙම විරෝධතා ජනතා උද්ඝෝෂන බවට පත්වුවත් ඇතැම් පිරිස් මෙයින් හුදු පෞද්ගලික වාසි ලබා ගැනීමට මාන බලමින් උන් හෙයින් මෙයට දිගුකාලීන විසඳුමක් ලබා ගැනීමට කිසි කලෙකත් නොහැකි විය. කොළඹ නගරයේ කුණුද මීතොටමුල්ලට ගෙන ඒම ආරම්භ වූයේ 2008 වසරේදී කොළඹ නගර සභාව උසාවියෙන් ලබාගත් අවසරයක් මතය. ඉතිහාසය පුරා කොළඹ නගර සභාව පුරුදුව සිටියේ එකතු කරගන්නා කුණු කොහේ හෝ තෝරාගත් පිටියක ගොඩගසන්නටය.


එක තැනක ඉඩ මදිවූ විට කුණු පිටිය ලෙස වෙනත් තැනක් තෝරාගැනුණි. අද අපට බ්ලූමැන්ඩල් හා සේදවත්තේ දකින්නට ලැබෙන්නේ කලකට පෙර මෙලෙස ගොඩ ගැසූ කුණු කඳුය. දැනට වසර ගණනාවක සිට ප්‍රධාන වශයෙන්ම කුණු ගෙන යනු ලබන්නේ මීතොටමුල්ලටය. මේ වන විට මීතොටමුල්ලේ ගොඩ ගැසී ඇති කුණු ප්‍රමාණය ටොන් මිලියන ගණනක් වන අතර කුණුකන්ද පසුගිය දිනවල මීටර් 200කටත් වඩා ඉහළට ගොඩ ගැසී තිබුණි. අලුත් අවුරුදු දා අහිංසක මිනිසුන් පිරිසකගේ හිස මතට කඩා වැටුනේ එසේ ගොඩගැසී ඇති කුණු වලින් කොටසකි. මෙවන් හදිසි අනතුරක් සිදු නොවූනත් කුණු කන්දෙන් නිකුත්වන අපිරිසුදු වායූන් හා පොළොව යට ජලය අපිරිසිදු වීම නිසා පලාතේ ජනතවගේ නිරෝගී සෞඛ්‍යයට ද විවධ අභියෝගයන් එල්ලවනු ඇත. 


ශ්‍රී ලංකාවේ ඝන අපද්‍රව්‍ය අවසානයට බැහැර කරලීම පිළිබඳ සලකා බැලීමේදී එය බොහෝ ගැටලුවලට හේතු වන බව බොහෝ අධ්‍යයන වලින් පෙන්නුම් කර තිබේ. විශේෂයෙන් ශ්‍රීලංකා අවසාන කසල බැහැර කරන ස්‌ථාන වැඩි ප්‍රමාණයක්‌ විවෘත කසල බිම්ය. බොහෝ විට මෙම ස්‌ථාන ගං ඉවුරු දියපහරවලට හෝ කුඹුරු වගාවන්ට ආසන්න වීමත්, සමහර ස්‌ථාන මිනිස්‌ වාසස්‌ථානවලට ආසන්න වීමත් නිසා පරිසරයට දැඩි හානිකර තත්ත්වය උද්ගත වී ඇත. කෙසේ වුවද තවමත් ශ්‍රී ලංකාවේ එකතු කරන කසලවලින් 85% විවෘත ස්‌ථානවලට මුදාහරින බව කිව යුතුය. තත්ත්වය මෙසේ වුවද මෙම ගැටලු ව හමුවේ අනාගතය දෙස බලා කිසිවෙකුත් තීන්දු තීරණ ගැනීමට උත්සහ කරන්නේ නැත. මන්ද අනාගතය දෙස බලා ගන්නා තීන්දු තීරණවලින් මේ මොහොතේ මෙරට ජීවත්වන ජනතාවටවත්, අදාළ බලධරයින්ටවත් වාසියක් නොලැබෙනවා යැයි පහත් පටු මානසිකත්වයක් පුද්ගල හදවත්වල මුල්බැසගෙන ඇති බැවිනි. රටක් ජාතියක් ලෙස එකට එක් වී එකම ගමනක් යන්නට අප සැමදා අසමත් වූමේ මෙම මන්ද මානසිකත්වය නිසා බැව් අකමැත්තෙන් වුව පිලිගත යුතු වන්නෙමු. 


එමෙන්ම මේ සියලු ම තත්ත්වයන් උත්පාදනය වන්නේ මේ මාතෘ භූමිය මත ජීවත් වන සියලුදෙනාගේ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් බව අප සැවෛාම නිහතමානීව පිළිගත යුතු කාරණයකි. එනිසා ශ්‍රී ලංකාවේ මෙම කුණු කසළ බැහැර කිරීමේ ගැටලුවට මේ ලිපිය කියවන ඔබ මෙන්ම මේ සටහන තබන මමද කොටස්කරුවෝ වන්නෙමු. අප රටෙහි දෛනික ඒක පුද්ගල කුණු කසළ ජනනය 400g සිට 1kg දක්වා අගයක් ගනියි. එසේම ශ්‍රී ලංකාවේ වාර්ෂික ජනගහන ප්‍රතිශතය 1.1%ක් වන අතර  ශ්‍රී ලංකාවේ වාර්ෂික කුණු කසළ ජනන ප්‍රතිශතය 1.2%ක් වේ. මේ අනුව මෙම කුණු ප්‍රශ්ණයට අප කොයි කවුරුත් කිනම් අයුරකින් හෝ හේතු සම්බන්ධයක් දක්වන බව සක්සුදක් සේ පැහැදිලිය. එනිසා මේ කෙරෙහි සමාජය සතුව සුවිශේෂී කාර්යභාරයක්‌ මෙන්ම වගකීමක්‌ද පවතින බව උස් පහත් ලොකු මිටි භේදයක් නොමැතිව අප සැවොම තරයේ සිතට ගත යුතුය. නමුත් එසේ සිතට ගත් පමණින්ද මදිය. මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා අප එකාවන්ව දායක විය යුතුය. අතකින් මෙය සුරංගනා කතාවක් මෙන් හීනයකි. මන්ද බොහෝදෙනා රට ගැන හැඟීම පිළිබඳ ව පුරසාරම් දෙඩුවද එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කර ගැනීමට යාමේදී මුනිවත රැකීමට පුරුදුව සිටියි.   කුණු දහනය කිරීම, කුණු වලින් පොහොර හෝ විදුලිය නිපදවීම වැනි කිසිදු ක්‍රමයකින් මෙම ගැටලුවට ස්ථීරසාර විසඳුමක් නොලැබෙන බව පැහැදිලිය. ආසියාවේ බොහෝ දියුණු රටවල් විසින් සිදු කරන්නේ මෙම ඉවතලන අපද්‍රව්‍ය සනීපරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව බැහැර කිරීමයි. මෙහිදී සිදුවන්නේ යම් පිටියක කුණු විවෘත ව ගොඩගසනවා වෙනුවට ඒ වෙනුවෙන්ම සැකසූ ස්ථානයක විද්‍යාත්මක ක්‍රමයකට අසුරාලීමයි. මේ තුළින් විෂවායු හා අපිරිසුදු ජලය පරිසරයට එක්වීම වලක්වා ගත හැකිය. දකුණු කොරියාව මෙම ක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන රටකි. නමුත් එය අපේ රටට සෑහීමකට පත්විය හැකි විසඳුමක් නොවේ. එම ක්‍රියාවලිය සිදු කරන අතරතුර ම කෙසේ හෝ මෙම ප්‍රශ්නයට කඩිනමින් දිගුකාලීන විසඳුමක් සොයාගත යුතුමය. මීතොටමුල්ලේ සිදු වූ ඛේදය තවත් දිනක තවත් තැනක සිදු වීම දැකීමට තරම් අප දෙනෙත් පව්කාර විය යුතු නැත. සිදු විය යුත්තේ මෙහි වගකීම තිබූ රජයට හෝ පවතින රජයට පවරවමින් ඒ මේ අත බෝල පාස් කිරීම නොව, එක්සත්ව එක්සිත්ව මේ සඳහා ඇති සියලු ම ක්‍රමෝපායන් භාවිතා කරමින් සියලු පාර්ශවයන්හි නැගී සිටීමය. කිසි කලෙකත් රජයට මේ සඳහා තනිව විසඳුම් සෙවිය නොහැක. ඒ සඳහා ප්‍රජා සහභාගීත්වය නිතැතින්ම අවශ්‍යය වන්නේය. නමුත් මේ කෙරෙහි රජය සතු වගකීම සුළුපටු නොවන බවද අප දනිමු. පවත්නා තත්ත්වය සමනය කිරීමට පැලැස්තර විසදුම් නොව දිගුකාලීන විසඳුම් සෙවිය යුතුය.මීතොටමුල්ලට කුණු නොයවා ඒ සඳහා වෙනත් පළාතක් නම් කිරීම නොකල යුතුය.මේ සඳහා අවශ්‍යය තාක්ෂණික හා විද්‍යාත්මක ඥාණය සුදුස්සන්ගෙන් ලබාගත යුතුය. පිටරටවල මේ සඳහා යොදන විසඳුම් අත්හදා බැලිය යුතුය. ඒ සඳහා නිරීක්ෂණයට රජයේ වියදමින් මැති ඇමතිවරුන් හෝ නිලධාරීන් පිටරට සංචාරවලට යැවීමෙන් නොනැවතී එයින් ලබා ගන්නා අත්දැකීම් අප රටටද අවශෝෂණය කර ගැන්මට කටයුතු කළ යුතුය. 


මීළඟට සාකච්ඡා කළ යුත්තේ ඉහත කී ප්‍රජා සහභාගීත්ව කුණු කසළ බැහැර කිරීමේ විසඳුම පිළිබඳවයි. මෙම ලිපියෙහි වැදගත්ම පර්ච්ඡේදය මෙය බව මාගේ මතයයි. කෙසේ නමුත්  විය යුතු මූලික කාර්යය වන්නේ  අපද්‍රව්‍ය උත්පානය අවම කිරීමට කටයුතු කිරීමයි. මෙලෙස අපද්‍රව්‍ය අවම කිරීම සඳහා විවිධ යෝජනාවන් රාශියක්‌ පවතින අතර විවිධ රටවල මිනිසුන් එම ක්‍රියාකලාපයන් තම රටවලට ගැලපෙන ආකාරයෙන් යොදා ගන්නා බව ඉහතදී ද සඳහන් කළෙමු. නමුත් ලංකාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට ඇති ප්‍රබලම අභියෝගය වනුයේ අපද්‍රව්‍ය වෙන් කිරීමට ප්‍රජාව නොපෙළඹීමයි. ඒ හේතුවෙන් මෙම ක්‍රියාදාමය සාර්ථක කර ගැන්ම මිරිඟුවක් වී ඇත. අප උත්සාහ කළ යුත්තේ මෙම තත්වය වෙනස් කරමින් මේ සඳහා පවතින ජනතා ආකල්පය දැනුම සහ අවබෝධය හැකිතාක් පෝෂණය කිරීමයි. 
meethotamulla2

මේ සඳහා වැදගත්ම පදනමක් වනුයේ ත්‍රී ආර් (3R) එළඹුමයි. තරමක් බැරෑරුම් පදයක් සේ දැනුනද ඒ මඟින් කියවෙන්නේ ඉතා සරළ පහසු ක්‍රමයකි. මෙහි අදහස වනුයේ අපද්‍රව්‍ය අඩු කිරීම, ප්‍රතිචක්‍රීකරණය සහ නැවත පාවිච්චියයි. මෙය කසල උත්පාදනය අංශය මෙන් කසල දාමයද ආවරණය කළ හැකි ඉතා වැදගත් ක්‍රියාදාමයකි. මෙම ක්‍රියාවලියේදී කසල වෙන් කිරීම වැදගත් වේ. මෙහිදී විවිධාකාරයෙන් සිය කසල වෙන් කර ගැනීමට ප්‍රජාවට අවස්ථාව ලැබේ. දිරන හා නොදිරන ලෙස කසල වෙන්කිරීම මින් පහසුම ක්‍රමයයි. නිවසෙහි එක් කුණු භාජණයක් වෙනුවට භාජණ දෙකක් භාවිතයෙන් එය පහසුවෙන්ම සිදු කර ගත හැකිය. දිරන හා නොදිරන ලෙස තමා බැහැර කරන අපද්‍රව්‍ය වෙන් කර එකී භාජනවලට බහාලීමට නොහැකි තරම් අඩු දැනුමකින් යුතු අයෙක් සිටී යැයි මෙහිදී සිතීම විහිළුවකි. අනතුරුව ඉඳුල් ආදී දිරන ද්‍රව්‍ය සියල්ල නිවසේ කොම්පෝස්ට් බඳුනක් හෝ කොටුවක් භාවිතයෙන් පොහොර බවට පත් කිරීම කරගත හැකිය. මෙම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන භාජනය තුළින් එළියට දුගදක් වහනය නොවේ. නොදිරන ද්‍රව්‍ය පමණක් එය තුළට දැමුවහොත් ගෙදර කුණු ප්‍රශ්නය 70% ක් විසදාගත හැකිය. බොහෝ පළාත් ආණ්‌ඩු මේ සඳහා අවශ්‍යය බඳුන් පහසු මිලකට ජනතාවට සපයාදීමට කටයුතු කර ඇති අතර රජය විසින් මෙම වැඩපිළිවෙළ වඩාත් විධිමත්ව සිදු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී සිහිපත් කළ යුතුය. මෙසේ ඔබ ඉවතලන අපද්‍රව්‍ය කොම්පොස්ට් බවට පත්කර ගැනීමෙන් ඔබේ කුණු ඔබටද බරක් නැත, රටටද බරක් නැත. වන විනාශය සීග්‍රයන් සිදු වන මෙම යුගයේ ඔබේ ගෙවත්තේ ගසක් මුලට හෝ  මිරිස් පැලයක් වවා ගන්නට වුවද මෙම පොහොර භාවිතා කළ හැකිය.ඒ හැරෙන්නට නොදිරන කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානවලට භාරදීම හෝ ඒවා එකතු කරන්නට නිවෙසටම පැමිණෙන අයෙකුට ලබාදීමෙන් ඔබේ දරුවාට ටොපියක් අරන්දීමට රුපියලක හෝ ආදායමක් ලබාගත හැකිවන අතර එවන් මුදලක් ඔබට නොවටින්නේනම් දුප්පත් මිනිසෙකුගේ දරු පවුලෙහි කුසගිනි නිවන්නට හෝ දායක වූවා යැයි අහිංසක සතුටක් ලැබිය හැකිය. 


කසල අවම කිරීම සඳහා ප්ලාස්ටික් භාජන හා පොලීතීන් එක්වර භාවිතයෙන් ඉවත නොදමා නැවත නැවතත් පාවිච්චියට ගැනීම ඉතා සාර්ථක ක්‍රමයකි. වි‍ශේෂයෙන් සුපිරි වෙළඳසැල්වලින් ඔබ මිලදී ගන්නා දෑ සඳහා වෙන වෙනම කුඩා පොලිතින් බෑග් වලට බහා ලබාදීම සිරිතකි. පොලිතින් බෑග් කිහිපයක් වෙනුවට එක බෑගයකට අවශ්‍යය බඩු සියල්ලම ඔබම ඇසුරුම් කරගතහොත් බොහොම පහසුවෙන් අනවශ්‍ය ලෙස පොලිතින් බෑග් ගෙදර ගෙන ඒම අඩු කරගැනීමට හැකියාව ඇත. එම‍ෙන්ම එදිනෙදා බඩු භාහිරාදිය ගෙන ඒමේදී නිවසින් ඒ සඳහා අවශ්‍ය රෙදි හෝ පන් මල්ලක්‌ රැගෙන යෑමට අප පුරුද්දක්‌ ඇති කර ගත යුතුය. එය  ලැජ්ජාවට හේතුවක්යැයි යන දුර්මතයක් ඇත්නම් එය සමාජයෙන් මුලිනුපුටා දැමිය යුතුය. ලැජ්ජාවිය යුත්තේ ෂොපින් මල්ලක බඩු දමා රැගෙන යන විටය. එවිට ඔබ ප්‍රසිද්ධියේ සමාජය ඉදිරියේ පරිසර දූෂකයෙකු ලෙස හංවඩු ගැසී හමාරය. මෙලෙස බඩු ගෙන ඒමට  ඔබ රෙදි හෝ පන් මල්ලක්‌ භාවිතා කරන්නේ නම් නිවසේ එකතු වන අනවශ්‍ය මලු ප්‍රමාණය අඩුවේ. නැවත පාවිච්චි කළ හැකි බෝතල්, නැවත පිරවුම් කළ හැකි භාජන හැකිතාක්‌ පාවිච්චි කිරීමටද හුරුවීමද මෙහිදී වැදගත්ය. ඔබ තරයේ සිතට ගන්න.. මෙතරමි ජාතික සංහාරයක් සිදු වූවාටත් පසුව තවදුරටත් ඔබට ඔබේ නිවසේ සියලුම අපද්‍රව්‍ය එකම බහාලනයක ලා දුඟද නැති වන්නට එහි කට ගැටගසා සනීපරක්ෂක කම්කරුවන්ට හෝ වාහනයට භාරදී නිදහස්‌ වීමට නොහැකිය. මෙම පටු ආත්මාර්තකාමී ආකල්පයෙන් මිදීමට දැන් කාලය උදාවී ඇත.

meethotamulla3
මෙහිදී රජයට තවත් යෝජනාවක් කිරීමට කැමැත්තෙමි. එනම් රට පුරා නිෂ්පාදනය කරන කොම්පෝස්ට් පොහොරවලට වෙළදපොළක් ලබාදීමට නව ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන්නේනම් මැනවි. එහිදී ඒ සදහා රටට හිතැති හොදම විසඳුම රසායන පොහොර සීමා කිරීම හෝ තහනම් කිරීමට අවශ්‍ය විධි විධාන යෙදීමයි. රසායන පොහොර වෙනුවට කොම්පෝස්ට් පොහොර භාවිතයට රටේ මිනිසුන් පෙළඹවීමයි. දැනට වසර ගණනකට පෙර රසායිනික පොහොර සහනාධාර ලබාදීමට ලංකාවේ ආණ්ඩුව තීරණය කිරීම නිසාවෙන් රටටත්, සමාජයටත්, පරිසරයටත් සිදුවූ හානිය එමගින් ලැබූ ආර්ථික ලාභයට වඩා දහස්ගුණයකින් වැඩිය. එනම් රටේ රසායන පොහොර භාවිතය පසුගිය දශකය තුළ ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගියේය. එම පොහොර භාවිතයෙන් රටේ ජල මූලාශ්‍ර විශාල වශයෙන් දූෂණයට ලක්විය. විශේෂයෙන් රජරට ජනතාවට වසංගතයක් මෙන් වකුගඩු ආබාධ ඇති වන්නට විය. ඇල, දොල හා වැව්,අමුණු ආදී ප්‍රධාන ජල මූලාශ්‍රයන්හි ජෛව විවිධත්වය සම්පූර්ණයෙන්ම විනාශ විය. එම ජලය මිනිස් පරිභෝජනයට ගත නොහැකි තරම් තත්ත්වයකට පත්විය. මෙහිදී  රසායිනික පොහොර භාවිත අස්වැන්නෙන් ලබාගත් ආර්ථික ලාභයට වඩා වියදමක් මෙම ලෙඩ රෝග සඳහා සෞඛ්‍යය පහසුකම් ලබාදීමට රජයට වැය විය.



අවසාන වශයෙන් මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වලදී  කුණු කසළ ප්‍රශ්ණය කළමනාකරණය පිළිබඳ ව විශේෂ අවධානයක් යොමුවිය යුතු අතර ජාතික මට්‌ටමින් ඒ සඳහා කළමනාකරණ සැලසුම් සකස්‌ කිරීමද ප්‍රමුඛ විය යුතුය. ඒ සඳහා නිරවුල් ආයෝජන ප්‍රතිපත්ති රාමුවක් සහ නියාමනයක් කිරීම තත්කාලීන රජයේ වගකීමකි. එසේම එකී විධි විධානවලට අයත් නීතීන් ද සැමට එක සේ ක්‍රියාත්මක කිරීම අතිශයින් වැදගත් වන්නේය. මේ කුමක් කළත් සමාජය සිය කාර්යභාරය නිසියාකාරව ඉටුනොකරනතාක්‌ මෙය පහසු නොවනු ඇත. එමනිසා නීතිරීති මඟින් ප්‍රජාව නියාමනය කරනවා සේම ඔවුන්ගේ චර්යාව වෙනස් කිරීමේ සන්නිවේදන ක්‍රියාවලියක් ද ගම් මට්ටමින් හෝ දියත් කිරීම ඉතාමත් වැදගත්වනු ඇත. ඔබ තවමත් මෙහි මාරයා දුටුවේ නැත. මේ දුටුවේ එහි කුඩා පෙරනිමිත්තක් පමණි. එම නිසා අද සිට ඔබ ඔබෙන් ආරම්භ කරන්න. පසුව නිවසේ අයටද කියා දී පුහුණු කරවන්න. පසුව ඔබගේ පාසලට රැකියා ස්ථානයටද මෙම සත්ක්‍රියාව රැගෙන යන්න. මුළු මහත් මාතෘ භූමියක් උදෙසා පොලිතීන් හා ප්ලාස්ටික් ආදිය භාවිතය හැකිතාක් අවම කරන්න. ඔබ ඉවතලන දෑ අක්‍රමත්ව පරිසරයට මුදා හැරීමෙන් වළකින්න. නීල හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට ඔබත් හැකි අයුරින් ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන්න.


මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න
ජන සන්නිවේදන අධ්‍යනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.