• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සම්බුද්ධ වෙසක් තෙමඟුල අදයි

vesak2017 5 10ශ්‍රී ලංකාව වූ කලී ලොව පෞඩ ඉතිහාසයකට උරුකම් කියන බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය ලත් පෙරදිග ලෝකයේ සුවිශේෂී රාජ්‍යයෙකි.




බුද්ධ ධර්මයට ප‍්‍රමුඛස්ථානය 
හිමිවන ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ බෞද්ධ  සංස්කෘතික හර පද්ධතීන් හා අංග ලක්ෂණයන්ගෙන් සැදුම්ලත් අභිචාර විධි හා පූජෝත්සව ආදිය අනාදිමත් කාලයක සිට පරම්පරානුගතව පැවත එනු ලබයි. ක්‍රි.පූ. 3 වන සියවසේ දී නොහොත් බුද්ධ වර්ෂ 236 දී සිදු වූ මහින්දාගමනයෙන් පසුව මේ ආකාරයට බුදු සමයේ බලපෑම මත එතෙක් මෙරට පැවැති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියක් බවට පරිවර්තනය වූ බව ඓතිහාසික සාධක මඟින් සනාථ වෙයි.



මෙසේ දඩයම් යුගයක ජීවත් වූ මානවයා ක‍්‍රමයෙන් බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට අනුගතව ආගමික උත්සව පැවැත්වීම කෙරෙහිද වැඩි රුචිකත්වයක් දැක්වූහ. අවිහිංසාව, ශ‍්‍රද්ධාව ආදිය මූලික කරගත් මෙම බෞද්ධ පූජෝත්සවයන් තුළින් අපේක්ෂිත ප‍්‍රමුඛ පරමාර්ථය වූයේ ආගමික හැඟීම් මානව හදවත්වලට සමීප කරවමින් ඔවුන්ගේ සිත කය වචන යන ත‍්‍රිවිධද්වාරයෙහි සංවරය ඇති කිරීමයි. අනුක්‍රමයෙන් සංඛ්‍යාත්මකව වැඩිදියුණු වී ගිය මෙබඳු උත්සව වසර පුරාම මහත් හරසරින් පවත්වන තත්වයක් උදාවිණි. අනුරාධපුර යුගයේ පටන්ම ක්‍රමවත් පදනමක් යටතේ ඇරඹි මෙම උත්සව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ තදින්ම මුල් බැස ගත්තේ ඒවායෙහි පවත්නා උසස් ආගමික, දාර්ශනික හා සංස්කෘතික වටිනාකම් නිසාය. 



මෙකී උත්සව අතුරින් තවත් දින කිහිපයකින් උදා වන බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරමින් සමරනු ලබන වෙසක් උත්සවය බෞද්ධ ජනතාව සාම්ප්‍රදායානුකුලව සිදුකරනු ලබන ජාතික උත්සවයකි. ගෞතම බුදුරාජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන තෙමගුල් අනුස්මරණය කරමින් ශ‍්‍රී ලාංකික බෞද්ධ ජනතාවට පමණක් නොව ලෝකය පුරා සිටින සුවහසක් බෞද්ධ ජනයා එකී රටවලට අවේනික වූ සම්ප්‍රදායන්ට අනුකූලව ෙවසක් උත්සවය සමරනු ලබයි. මෙය ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට පසුව උදාවන තවත් වැදගත් වූ ජාතික ආගමික උත්සවයකි.



සිදුහත් කුමරු කිඹුල්වත්නුවර ලුම්බිණි සල්උයනේදී මෙලොව උපත ලැබුවේ වෙසක් පෝ ‍දිනකදීය සියලු සැප අතහැර ගිහිගෙයින් නික්ම සය වසක් දුෂ්කර ක්‍රියා කර සියලු කෙලෙස් නසා ලොව්තුරා සම්බුද්ධත්වයට පත්වූයේද වෙසක් දිනකදීය. එසේම බුදුරජාණන් වහන්සේ මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල් උයනේදී පිරිනිවන් පෑවේ ද වෙසක් පොහොය දිනකදීමය. 



මෙම උතුම් තෙමඟුල මෙන්ම ලාංකීය බෞද්ධ ජතයාට වෙසක් උත්සවයෙහි තවත් වැදගත් සුවිශේෂීතා කිහිපයක්ම පවතියි.



ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වසරකට පසු ශ්‍රී ලංකාවේ කැළණියට වැඩම කිරීම හා ඒ පැමිණීමත් සමඟම සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනය පිළිගෙන සමනල කන්ද මුදුනෙහි සිරිපත්ල සටහන් කිරීම.  විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණීම. දෙවන පෑ තිස් රජුට ධර්මාශෝක රජු විසින් යුව රජ ලෙසට දෙවන වරට අභිෂේක ලබා දීම.  දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහ සෑයේ වැඩ ආරම්භ කිරීම හා එහි බිම සකස් කිරීම.  කෙසේ වුවද අතීතයේ සිටම වෙසක් උත්සවය පාරම්පරික රාජ්‍ය චාරිත්‍රයක් ලෙස උත්සවශ්‍රීයෙන් පවත්වා ඇත. එසේම එය අතිපුරාණ බෞද්ධ උත්සවයක් බවත්, ආදි කාලයේ පටන් ඉන්දියාවෙහි පවා පැවැත්වූ බවත් චීන ජාතික පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවලින් පවා හෙළි වෙයි. පුරාතන ශ්‍රී ලංකාවේ පැවැති වෙසක්  උත්සවයක් පිළිබඳ ප්‍රථම වාර්තාව මහාවංසයෙහි හමුවන්නේ දුටුගැමුණු  රාජ්‍ය සමයේ දීය.  දුටුගැමුණු රජු වෙසක් උත්සව 27ක් පැවැත්වූ බව එහි කියැවෙයි. 



ඓතිහාසික ලිඛිත වාර්තා නොමැති වුවද වෙසක් උත්සවය ඊටත් පෙර සිට පැවැත්වුණු බව විශ්වාස කළ හැකිය. දේවානම්පියතිස්ස රජු වෙසක් උත්සවය පැවැත් වූ බවටද සාක්ෂි ඇත.එබැවින් බෞද්ධ ලංකාවේ වීරයා වූ දුටුගැමුණු රජු වෙසක් උත්සවය යළි පිහිටුවා පෙරටත් වඩා විචිත්‍ර අන්දමින් පැවැත්වූ බවට වෙනත් තර්කයක් අවශ්‍ය නැත. දුටුගැමුණු රජුගෙන් පසු තවත් බොහෝ රජවරුන් ද  පූර්ණ රාජානුග‍්‍රහය සහිතව වෙසක් උත්සවය මහත් හරසරින් යුතුව පවත්වා ඇත. භාතිය රජු  වසින් ද වෙසක් උත්සව 28ක් සිදු කළ බව ඉතිහාසයෙහි කියවෙයි. එහිදී බුද්ධ රූපයක් ප්‍රතිනිර්මාණය කර රථයක තැන්පත් කොට වීථී සංචාරය කරමින් දුගී මගී යාචකාදීන්ට කෑම් බීම් ලබා දීම සිදුව ඇත. වසභ රජු ද  ඔටුනු පලන්  දා පටන්ම පිළිවෙළින් වෙසක් උත්සව 24ක් පවත්වා ඇත.  වෝහාරතිස්ස රජු ද වෙසක් උත්සවය සිදුකොට ලක්දිව සියලු භික්ෂූන්ට තුන් සිවුරු පූජාකර ඇත. මෙලෙස වෙසක් උත්සවය රාජානුග්‍රහය මත වර්ෂයක් පාසාම අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම කෙරෙහි පූර්වෝක්ත රජවරුන් උත්සාහ ගෙන  ඇති බව පැහැදිලිය. එසේම රාජ්‍ය භාණ්ඩාගාරයෙන් විශාල මුදල්  ප්‍රමාණයක්ද වෙසක් උත්සවය සඳහා වෙන් වී ඇති බව පෙනේ. මෙය රාජ්‍ය චාරිත්‍රයක් ලෙස සෑම රජ කෙනෙකුගේම අනිවාර්ය ධර්මතාවක් ලෙස පැවත ඇත. පොළොන්නරු යුගය වන විට වෙසක් උත්සවය තව තවත් දියුණුවට පත්වී ඇත. දඹදෙණි යුගයේ පැවැති ඉතා චමත්කාරජනක වෙසක් 
උත්සවයක් පිළිබඳ වාර්තාවක්  පූජාවලිය තුළින් ද හමුවෙයි. 



පෙර කී පරිදි මහින්දාගමනයේ සිට අද දක්වාම බෞද්ධයින් වෙසක් උත්සවය සිය ජාතික ආගමික අංගයක් ලෙස මහත් හරසරින් යුතුව පවත්වන්නට යෙදෙයි. සෑම වසරකම මැයි මස වෙසක් මස  පුර පසළොස්වක පෝය දිනට වෙසක් උත්සවය යෙදෙන අතර  එය ආගමානුකූලව නිදහසේ සැමරීම සදහා ශ්‍රී ලංකාවාසී ජනතාවට දින දෙකක් ජාතික නිවාඩු දින ලෙස ලබාදේ. මෙලෙස 1999දී වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස එක්සත්  ජාතීන්ගේ සංවිධානයෙන් නිර්දෙශ කර ගැන්මට දිවංගත හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා සිදු කළ මෙහෙය මෙහිදී අමතක කළ නොහැකිය. එතුමාගේ උත්සාහයන් නිසා වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු  දිනයක් බවට පත්කර ගැනීමට හැකිවූ අතර වෙසක් දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත්කිරීමට සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කොට් මැතිතුමාගේ මෙහෙවර ද ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුය.  



වෙසක් උත්සවයේ ඉතිහාසගත  තොරතුරු මෙසේ වන අතර වඩාත් වැදගත් වන්නේ නූතන වෙසක් උත්සවය, බෞද්ධයා සහ සමාජය පිලිබඳ කථිකාවතයි.
වර්තමානයේදී බෞද්ධයා බුදු තෙමගුල සැමරීම වස් විවිධ ආගමික වත්පිළිවෙත් වල යෙදීම සිදුවේ.සතියක පමණ කාලයක් පුරාවට මෙකී වත්පිළිවෙත් සිදු කෙරෙන අතර මානව දයාව, අවිහිංසාව ආදී ගුණාංගයන්ට මෙහිදී මුල්තැන හිමිවෙයි. ලෝකයේ ඇතැම් ආගමික උත්සවවලදී දහස් ගනණින් සතුන් මැරීම ආදිය සිදුවන මුත්   වෙසක් පුර පසළොස්වක දින හා එයට පසුදින සියලු මත්පැන් අලෙවිසැල්, සත්ව ඝාතක ස්ථාන හා මස්, මාලු වෙළද සැල් වසා තැබීමද රජයේ මැදිහත්වීමෙන් යුතුව සිදු කරනු ලබයි. එසේම දහම් නිදහස සංකේතවත් කරමින් බොහෝ බෞද්ධයෝ  මස් මාංශ අනුභවයෙන් වැළකී මසට ඇතිකරන සතුන් හා කූඩු කරමින් ඇතිකළ පක්ෂීන්ට නිදහස ලබා දීමත් සිදුකරති. බොහෝ විට වැඩිහිටි සහ මහ උදවිය සුදු වස්ත්‍රයෙන් සැරසි අටසිල් සමාදන් වී ඒවා ආරක්ෂා කරමින් මුලු දවස පුරා විහාරස්තානයන්හි ගත කිරීමට පෙළඹෙයි.



එතුලින් නිහතමානි බව, අල්පේච්ඡතාවය, සදාචාරය සුරැකීම සඳහා ශික්ෂණයක් ලැබීමට ඔවුන් අපේක්ෂා කරයි. මෙලෙස බුදුන් වහන්සේගේ ධර්මයට අනුව යමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වයක් ලබාදෙන බෞද්ධ ජනයා විවිධ උත්සවද සංවිධානය  කරන අතර සෑම නිවසකම පාහේ අලංකාරවූ වෙසක් පහන් කූඩු වලින්, වෛවර්ණ බල්බ වලින්,බකට් හා පොල්තෙල් පහන් වලින් අලෝකමත් කිරීම හා වර්ණවත් කිරීම  සිදු කරති. මෙම ක්‍රියාකාරකම්වලදී කුඩා දරුවන්ගේ වැඩි සහභාගීත්වයක් දක්නට ලැබේ. නමුත්  ලොකු කුඩා සැවොම එක්වී විවිධාකාර හැඩයෙන් යුතු  වෙසක් කූඩු නිර්මාණය කිරීම සිරිතයි.. මෙය ගෘහස්ථ පවුල් ඒකකයන් සහ සමාජය තුළ සමගිය සහයෝගීතාවය වර්ධනය වන අවස්ථාවකි. වෙසක් කූඩු තැනීමට අමතරව බෞද්ධ ජාතක  කථා නිරූපණය කෙරෙන සුවිසල් තොරණ් නිර්මාණය, දන්සැල් සංවිධානය ආදී විවිධ දන් පින්කම් සිදු කිරීමට සැවොම එක්වී  සහයෝගයෙන් උනන්දු වෙති.


නමුත්  එදා මෙදා තුර වෙසක් උත්සවයේ මුහුණුවර සහ අභිප‍්‍රායන් මේ වන විට වෙනස් වී ඇති බව පෙනේ. සියල්ල වෙනස් වන ලෝකයේ නොවෙනස් වන
එකම දෙය වෙනස්වීම යන කියමන සදාතනික සත්‍යක් වුවද එසේ කියා හොඳ නරක සියල්ල  ඉදිරියේ අඳ ගොළු බිහිරන් සේ සිටීම නිවටකමකි. මන්ද අපගේ සංස්කෘතිකාංගයන් හැකි පමණින් හෝ රැකගෙන ඉදිරි පරම්පරාවලටද ඒවායේ වටිනාකම් උරුමකර දීම නූතන පරපුරෙහි යුතුකම මෙන්ම වගකීමක් ද වන බැවිනි.



ඒ නිසා එහි ඇති ජාතික අනන්‍යතාවන් සේම බෞද්ධ හර පද්ධතිය මත පදනම්ව ගොඩනැගුණු විශ්ව අනන්‍යතාවන් ද එහි හරයන්ට පටහැනිව සිදු වන්නට ඉඩ නොදී ආරක්‍ෂා කිරීම  අප සැමගේ කාලීන වගකීමක් බව  සියලු දෙනා සිතට ගැනීම වැදගත්ය. මෙසේ බුදු දහම අප ආරක්‍ෂා කිරීම හා පෝෂණය කිරීම නොපැකිලව කළ යුත්තේ මෙය අප අනුගමනය කරන දහම නිසාම නොව මේ ශ්‍රේෂ්ඨ දහම මිනිසා සතා සීපාවා ගහකොල පරිසරය මහපොළව ආදී සමස්ත ජීවි-අජීවි පද්ධතියේම යහපැවැත්ම පිළිගන්නා, ඒ යහපැවැත්ම තහවුරු කිරීමට අදාළ මගක් පෙන්වාදෙන දහමක් නිසා බැවිනි. එම මහඟු දහම් සිසිලස මිනිස් හද සන්තානයට පමණක් නොව වන සිවුපාවුන්ට, ගහකොළ ඇළදොල මෙන්ම ගංඟාවන්ටද  සමසේ සංවේදී වන බවට සැකයක් නැත. සිදුහතුන් ගිහිගෙය හැර දා ගිය දවස කන්ථක අසු ලය පැලී මිය ගියේද, බුදුන් වහන්සේ වනගතව සිටිය දී මුචචින්ද නාගයා මෙන්ම පාරිල්‍යෙය ඇතා බොසතාණන් වෙත උපස්ථාන කළේද උන්වහන්සේගේ මහඟු ගුණ සාගරයේ විශිෂඨත්වය හේතුවෙනි. ලෝකය අද මුහුණ දී තිබෙන ආර්ථික සමාජ දේශපාලනික පාරිසරික ආදී සියලූ අර්බුද සමනය කිරීම සඳහා ශක්තිමත් මග පෙන්වීමක් කිරීමට බුදු දහම සමත් වී ඇත.



වෙසක් උත්සවය ප‍්‍රතිපත්ති පූජාවට මුල්තැන දී පැවැත්විය යුත්තක් වුවද එහි කෙරෙන ආමිස කටයුතු ද බුදු දහම ප‍්‍රතික්‍ෂේප නොකරයි. නමුත් මෙකී ආමිස කටයුතු බුදු දහමේ හර පද්ධතියට එකඟව කළ යුතුය. එමනිසා වෙසක් උත්සවය කිසි විටකත් වාණිජ ලෝකයේ තවත් එක් අතකොලුවක් බවට පත් කර ගැන්මට ඉඩ තැබිය නොයුතුය.



වෙසක් සමයේ අලෝකකරණයට වැඩි ප‍්‍රමුඛත්වයක් ලැබෙයි. මෙලෙස තම නිවස හෝ ව්‍යාපාරික ස්ථානය විශේෂයෙන් ආලෝකවත් කරන්නේ ඇයිද යන්න විමසුවොත් එයට ලබා දිය හැකි ධර්මානුකූල පිළිතුර වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට ප‍්‍රඥාලෝකය දුන් දිනය නිසා එය සංකේතවත් කිරීම උදෙසා මෙවන් ආලෝක පූජාවන් සිදු කරන බවයි. නමුත් මෙහිදී විදුලි හෝ පහන් ආලෝකයට වඩා මිනිස් හදවත්වල ක්ලේෂයන්ගේ තිමිරපට බිඳිමින් ප‍්‍රඥාලෝකය දැල්වීම වැදගත් වන බව මාගේ මතයයි. පෙර සඳහන් කළ නිවසේ හෝ අසල්වාසී නිවෙස්වල සාමාජිකයින් එක්ව පහන් තූඩු නිර්මාණය කිරීමද දැන් සිදු නොකෙරෙන තරම්ය. 



එය කඬේ මුදලාලිට තවත් ව්‍යාපාරික අවස්ථාවක් නිර්මාණය කරයි. දෙමව්පියන් ඒවා මිලයට ගෙන  දෙන්නේ දරුවන්ගේ කරදරවලින් නිදහස් වීමටය. නමුත් පෙර තමා විඳි  සුන්දර ළමා විය තම දරුවන්ටද විඳින්නට සළස්වමින් නිවැසියන් එකතු වී එක් පහන් කූඩුවක් හෝ නිවසේදී සාදා ගන්නේ නම් එය අගනේය. 



දන්සැල් යනු වෙසක් උත්සවයේ තවත් විශේෂ අංගයකි. දානය යනු බුදු දහමේ ඉගැන්වෙන ඉතාම ඉහළ මට්ටමේ ප‍්‍රතිපත්තියක් මෙන්ම පාරමිතාවකි. 
වර්තමානයේ පැවැත්වෙන බොහෝ දන්සැල් මේ මුඛ්‍ය පරමාර්ථය වන දන්දීම යන්නෙන් බැහැරව සමාජයටද මහත් හිරිහැරයක් වන මට්ටමට වැටී ඇති බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. පොදු යහපත වෙනුවෙන් දන්සැල් පැවැත්වීම අපේ පුරාණ සම්ප‍්‍රදායික ක්‍රමය විය. 



උදාහරණ වශයෙන් පැරණි අනුරාධපුර නගරයේ පැවති මහාපාලි දාන ශාලාව හැම දිනකම පැවැත්වූවකි. මෙයින් මැති ඇමති සිටුවරු හෝ සාමාන්‍ය ජනතාව ආහාර නොගත්හ. දුගීන් මගීන් යාචකයින් හා නගරවාසී පැවිද්දන් සඳහා මෙය සූදානම් කර තිබුණි. එය සමාජයේ අවශ්‍යතාවකි. මෙලෙස දන්සැල් දියයුත්තේ තම පෞද්ගලික ධනයෙනි. නොඑසේනම් ස්වකැමැත්තෙන්ම වෙනත් අයෙක් ලබා දෙන ධනයෙනි. නමුත් අද බොහෝ දෙනෙක් දන්සැල් දෙන්නේ තම ධනයෙන් නොවේ. මේ සඳහා මුදල් බඩු ආදිය එකතු කරයි. 



ආධාර නොදුන් විට අපහාස කරයි. අවමන් කරයි. එවිට ලබා ගන්නා හා ලබා දෙන්නා යන දෙපාර්ශවයම මේ සඳහා දායක වන්නේ අපිරිසිදු සිතිනි. එවිට එය පිරිසිදු සිතින් දෙන දානයක් නොවනු ඇත. එසේම වෙසක් උත්සවයට කිසිදු සම්බන්ධතාවක් නැති වෙස් මුහුණු, ඔලූබක්කන් නැටවීම, අසෝභන ඇඳුම් ඇඳගෙන මාර්ග අවහිර වන සේ හැසිරීම ආදියද  මෙම උතුම් තෙමඟුලෙහි උත්තරීතර බව කෙලෙසන්නකි.


අති උතුම් වෙසක් සැමරීමත් සමග අප තරයේ සිතට ගත යුතු තවත් සුවිශේෂී කාරණයක් ඇත. වෙසක් සැමරුම් දෙදිනෙන් පසු නගරාශ්‍රිතව හා ආගමික 
සිද්ධස්ථාන ආශ්‍රිතව කුණූ කඳු ගොඩනැගී තිබෙනු අප මෙතෙක් දුටු දසුනකි. එම පරිසර විරෝධී ක්‍රියාවන්ගේ අනිටු ප‍්‍රතිඵල ලෙස පසුගිය මාසයේදී රටේ අහිංසක පිරිසකට ජීවිතතලින් පවා වන්දි ගෙවන්නට සිදු විය. සිදු වූ ඛේදවාචකයෙන් පාඩමක් ඉගෙන මෙවර වෙසක් සැමරීමේදී පරිසරයට සතුන්ට ඉතා අහිතකර පොලිතීන් භාවිතයෙන් වළකින්න. 



ගමන් බිමන්වලදී සහ වෙසක් සිරි නැරඹීමේදී ඔබගේ කුණු කසළ නියමිත පරිදි බැහැර කිරීමට වගබලා ගන්න.බුදුරජාණන් වහන්සේ යනු, ලොව පහළ වූ පරිසරහිතකාමී පුද්ගලයින් අතර ප‍්‍රමුඛතම තැනැත්තාය. එසේ නම් බෞද්ධයින් වන අප වෙසක් දිනයේ අප අතින් වන පරිසර හානි වැළැක්විය යුතු
වන්නෙමු.



මේ
 ආකාරයට 2017 වසරේදී අප සමරන්නේ 2561 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියයි. මෙවර සම්බුද්ධත්ව ජයන්තියේදී ශ්‍රී ලංකාවට බොහෝ සුවිශේෂී අවස්ථාවක් උදා වී තිබේ. එනම්, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර බෞද්ධ උත්සවය ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නිර්දේශ වී තිබීමයි. 2017 මැයි 12 සිට මැයි 14 දක්වා එම  ජාත්‍යන්තර සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතය. බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී එහි ආරම්භක උත්සවය පැවැත්වෙන අතර අවසන් උත්සවය මහනුවර ඓතිහාසික දළදා මාලිගාව  කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට නියමිතව ඇත. 



තායිලන්තය, මියන්මාරය, ලාඕසය හා කාම්බෝජය යන ථෙරවාදී රටවල් ඇතුළු රටවල් 91ක නියෝජිතයන් මේ සඳහා ආරාධනා ලැබ ඇත. එහිදී බෞද්ධ
සන්නිවේදකයන්ගේ සමුළුවක් ද පවත්වනු ලබයි. ''බෞද්ධ දර්ශනයේ සන්නිවේදනය තුළින් සමාජ සාධාරණත්වය හා තිරසාර ලෝක සාමය ගොඩනැංවීම'' එහි තේමාව ලෙස නම් කර ඇත. ලෝකයේ බෞද්ධ රටවල් ලංකාවේදී ප්‍රථම වරට ඒකරාශි වුයේ  1950 අප්‍රේල් 26 සිට මැයි 2 දක්වා දිවංගත මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමා මහනුවරදී ලෝක බෞද්ධ මහා සම්මේලනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කළ අවස්ථාවේදීය. එයින් අවුරුදු 67ක ඇවෑමෙන් ලෝකයේ බෞද්ධ රටවල් ලංකාවේදී ඒකරාශී වන්නේ මෙම වසරේදී ය. මෙවර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ පළමු වතාවට වුවත් මීට පෙර තායිලන්තයේ 11 වරක්ල වියට්නාමයේ 2 වරක්  පවත්වා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ 14 වැනි ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවයයි.



බෞද්ධ රටක් ලෙස මෙය ලොවට විශාල පණිවුඩයක්  ලබා දිය හැකි අවස්ථාවක් ලෙස හඳුනාගැනීම ඉතාමත් වැදගත් වේ. මෙටය සමගාමීව ශ්‍රී ලංකාවට විශාල සංචාරකයන් පිරිසක් ඇදී එ්මද සිදු වෙයි. එහිදී උපාය මාර්ගික වශයෙන්ද  මෙවන් ජාත්‍යන්තර බෞද්ධ සමුළුවක් රටකට ඉතාමත් වැදගත් වනු ඇත. රටේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහාම පමණක් නොව එය අපේ රටේ ආර්ථික, සංචාරක, ව්‍යාපාරය, ක්‍රීඩා ආදී  ක්‍ෂේත්‍රයන්හි උන්නතිය සඳහාද යොදාගත හැකිය. මන්ද මේ හරහා ලොව බෞද්ධ රටවල් ඇතුලු බහුතරයක් රටවල අවධානය ශ්‍රී ලංකාව වෙත යොමුවන බැවිනි.



නමුත් එම අවස්ථාව වැදගත් ලෙස උපායශීලීව යොදා ගැනීමට අදාල බලධාරීන් කටයතු නොකළහොත් මෙය රටටවත්,රටේ සම්බුද්ධ ශාසනයටවත් ඵල රහිත වන වබ මෙහිදී කිව යුතුමය.  



බුදුන්  වහන්සේ පිරිනිවන් පාන්නට සූදානම් වන මොහොතේදී ආනන්ද හිමියන් හඬා වැලපෙනු උන්වහන්සේ දුටු  සේක. එසේ හඬා වැලපීම නොකළ යුතු බවත්, ලෝක ස්භාවය තේරුම් ගත යුතු බවත්, සියලු පවතින දේවල් නැසෙන සුලු බවත්, බුදුන් වහන්සේ ආනන්ද තෙරුන්ට පහදා දුන්හ. මෙම වියැකි යන තමාගේ සිරුර ගැන සිතා කණගාටු නොවන ලෙසත්, මින් පසු ඔවුන්ගේ ගුරුවරයා වන බුදු හිමියන්ගේ දහම ගැන සිත යොමු කරන ලෙසත් බුදුන් වහන්සේ රැස්ව සිටි භික්ෂු පිරිසට අවවාද කළහ. තව දුරටත් බුදුන් වහන්සේ වදාළේ තමන්ට වැඳිය යුත්තේ හුදෙක් මලින් සුවඳින් පහනෙන් පමණක් නොව තමන්ගේ ධර්මය අනුව ජීවත්වන්නේ නම් එය තමනට කරන වැඳීමක් වන බවත්ය.කෙනෙකු උතුම් ජීවිතයක් ගත කිරීමට අධිෂ්ඨාන කර ගැනීමත්, මනස  සංවර්ධනය කර ගැනීමටත්, ආදරය කරුණාව පතුරවමින් මනුෂ්‍ය වර්ගයා කෙරෙහි සහජීවනය සහ මනුෂ්‍යත්වය දැක්වීමත් අප මහා සම්බුදු පියාණන් වහන්සේට කරන පුද සත්කාරයන්ට සමාන වබ බව මෙහි අවසන් පණිවිඩයයි. කෙසේ වුවද අවසානයේ  වෙසක් මහා තෙමඟුල් දිනයේ දී කළ කී දෑ සියල්ලෙන් විය යුත්තේ අපේ සිත් නිවී සැනහී ශාන්ත කර ගැනීමයි. සසර දුකින් මිදී ලොවුතුරු සැපත පැතීමයි. විනෝද චාරිකා ආදිය ගොස් සතුටු වීමට ප‍්‍රීතිඝෝෂා නැගීමට  පමණක් උතුම් වෙසඟ සීමා කරගත යුතු නැත. දුසිරිතින් මිදී තුන් ලොව පුරා උතුම් සම්බුදු දහම රැගෙන යාමට වදනකින් හෝ දායක වන්නේනම් බෞද්ධ අපගේ වෙසක් සැමරීම එයම වන්නේය. 



මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න
ජන සන්නිවේදන අධ්‍යනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.