• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලෝකය වෙනස් කළ ෆේස්බුක් දශකය

facebookඑදා මෙදා තුර අන්තර්ජාලය ඇසුරින් බිහිවී ලෝකයට වැඩියෙන්ම බලපෑමක් කළ වෙබ් අඩවිය කුමක්දැයි කිසිවෙකු විමසුවහොත් බොහෝ දෙනා අවිවාදයෙන් යුතුව ලබා දෙන පිළිතුර වන්නේ ඒ ෆේස්බුක් වෙබ් අඩවිය වන බවයි. මන්ද යත් 2004 වර්ෂයේ දී එය ආරම්භ වීමෙන් පසුව ලෝකයට නව චින්තන ප‍්‍රවේශයක් හා නව සංස්කෘතියක් නිර්මාණය වූ නිසාය. විශේෂයෙන් ම එය හුදෙක් අන්තර්ජාලයට පමණක් සීමා නොවූ මුළු මහත් මානව සමාජයම වෙනසකට බඳුන් කළ දැවැන්ත සංසිද්ධියකි. මේ එම චින්තන හා සංස්කෘතික පෙරළිය පිළිබඳ ව තබන සටහනකි.




2004 වර්ෂයේ දී ලෝකයට ෆේස්බුක් බිහිවුවත් එය 2006 වර්ෂය වන තෙක්ම විවෘතව පවතින්නේ විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපනික ආයතන සඳහා පමණි. එහෙත් 2006 වර්ෂයෙන් පසුව එනම් අදින් දස වසරකට පෙර එය ලෝක ව්‍යාප්ත සංස්කෘතික පෙරළියට පිවිසෙන අතර ලෝක මට්ටමෙන් සිය සේවාව පුළුල් කර හරියටම දස වියට පා තබන ෆේස්බුක් දරුවා ගෙවුණු දශකය පුරා ලෝකය වෙනස් කිරීමට දැක්වූ දායකත්වය කිසිසේත් සුළුපටු නොවන බව සඳහන් කළ හැකිය. ඒ අනුව දස වසරක් පුරා මිලියන ගණනක් වන ලෝකවාසීන්ගේ ජීවිතවලට බලපෑම් කරමින් ඒවා හසුරවමින් පුද්ගල හැඟීම් සමඟ ගනුදෙනු කරමින් ලෝකය පාලනය කළ ෆේස්බුක් යුගය මානව ඉතිහාසය නව මානයකට යොමු කළ අවධියක් වූ බව ප‍්‍රකාශ කළ හැකිය. ෆේස්බුක් ලෝකයට පැමිණීමට පෙර මානව සමාජය තුළ මෙතරම් විශාල චින්තන අවකාශයකට අවශ්‍යතාවක් පැවති බව කිසිවෙකුත් දැන සිටියේ නැත. එනම් අන්තර්ජාලය බිහිවී දශක දෙකකට ආසන්න කාලයක් ගතවන තෙක්ම පුද්ගල සංවේදනා හැසිරවිය හැකි ඉඩක් අන්තර්ජාලය තුළ බිහිකළ හැකි බව කිසිවෙකුත් විශ්වාස කළේ ද නැත. ඒ අන්තර්ජාලය හුදු තාක්ෂණික මෙවලමක් ලෙස පමණක් භාවිත කිරීමට බොහෝ දෙනා යොමු වී සිටි බැවිනි. එහෙත් එවකට සරසවි සිසුවෙකු වූ මාක් සකර්බර්ග් අන්තර්ජාලය ලෝකයාට වඩාත් සමීප ස්ථානයක් බවට පත් කිරීම පිණිස ෆේස්බුක් දරුවා ලෝකයට සුජාත කිරීම සඳහා තම බුද්ධිමය කලලයට ඉඩ සැලසීය.



එතැන් පටන් අන්තර්ජාල සංස්කෘතිය තුළ නව්‍ය උප සංස්කෘතියක් ලෙස වර්ධනය වන ෆේස්බුක් වෙබ් අඩවිය මානව ජීවිතවල හැඩය තීරණය කරමින් පුද්ගල මනෝභාවයන් කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ හැකි සාධකයක් බවට පත්වේ. එය එක්තරා අතකින් සමාජයීය සංසිද්ධි ගණනාවක මැදිහත්කරුවා වන අතර තවත් අතකින් ඒවායේ අවිඥානික පාලකයා ලෙස ද පෙනී සිටියි. කෙසේ වුවත් එම සංකීර්ණ තත්ව ඇති වීම සඳහා ෆේස්බුක් වෙබ් අඩවිය දැක්වූ දායකත්වය අවබෝධ කර ගැනීම වැදගත්ය. ෆේස්බුක් වෙබ් අඩවිය සමාජගත වන්නේ මිතුරන් අතර සබඳතා ගොඩනඟා ගත හැකි වෙබ් අඩවියක් ලෙසය. එනම් පරිගණක ඇතුළු විද්‍යුත් උපාංග භාවිත කරමින් දුරස්ථව සිටින පුද්ගලයින් දෙදෙනෙකු හෝ වැඩි පිරිසක් අතර අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරු කරගත හැකි මාධ්‍යයක් ලෙස ෆේස්බුක් වෙබ් අඩවියේ මූලික ආකෘතිය නිර්මාණය කර තිබේ. එහි දී පණිවිඩ හුවමාරු කර ගැනීමේ සිට ඡායාරූප හුවමාරු කරගැනීම හා සංවාද පැවැත්වීම ඇතුළු පහසුකම් ගණනාවක් ෆේස්බුක් වෙබ් අඩවියෙන් සැපයේ. එහෙත් එම පහසුකම් භාවිත කරමින් අද්‍යතන මානව සමාජය ෆේස්බුක් තුළ සිය නිදහස් චින්තනයේ වේදිකාව තනාගෙන තිබේ. අන්තර්ජාලය තුළ ෆේස්බුක් වෙබ් අඩවිය කිසිසේත් තවත් එක් වෙබ් අඩවියක් බවට පමණක් පත් නොවන්නේ මානව සමාජයේ මෙම නිදහස් චින්තනයට එයින් ලබාදුන් තාක්ෂණික දායකත්වය නිසාය. එනම් අන්තර්පුද්ගල සම්බන්ධතාවන්ගේ සිට රාජ්‍යයක් පාලනය කිරීම හා හැසිරවීම තෙක්ම ෆේස්බුක්හි දායකත්වය වර්තමානය තුළ හඳුනා ගත හැකිය. එය අදින් දශකයකට පෙර ෆේස්බුක් නිර්මාණය කිරීමේ දී සකර්බර්ග්වත් නොසිතූ, නොපැතූ තත්වයකි. එසේ වුවත් ෆේස්බුක් වටා රොදබැඳ ගත් මහජනයා සැබෑ ජීවිතයේ දී තමාට අහිමි වී ගිය නිදහස ෆේස්බුක් තුළ ලූහුබැඳීම නිසා පාලනය කළ නොහැකි මට්ටමකින් ෆේස්බුක් උන්මාදයක් බවට පත් වී එම උන්මාදය තුළ ඉපදෙන මියැදෙන පේ‍්‍රම කථා පමණක් නොව ලිංගිකත්වය, දේශපාලනය, කලාව, විනෝදය හා වෙළෙඳ උපක‍්‍රම ඇතුළු සාධක ගණනාවක් ද ෆේස්බුක් ඔස්සේ සමාජගත කරමින් සිටියි. ඒ අනුව මානව සංවේදී හැඟීම්වල නූතන ආකෘතිය ගොඩනැගෙන්නේ ෆේස්බුක් කේන්ද්‍ර කර ගනිමිනි. එනම් සැබෑ පේ‍්‍රමය වෙනුවට තථ්‍යාසන්න පේ‍්‍රමයේ  විද්‍යුත් සංදේශ පෙම්වතුන් කරා රැගෙන යන්නේ Virtual Love ෆේස්බුක් වෙබ් අඩවිය මඟිනි. විශේෂයෙන්ම ෆේස්බුක් තුළ භාවිත කළ හැකි අන්තර්පුද්ගල සංවාද පහසුකම් මේ සඳහා මනා පිටුවහලක් සපයයි. එමඟින් වචන ඔස්සේ සිදු කරන පේ‍්‍රම සංවාද (Chat) පමණක් නොව එම හැඟීම් උත්කර්ෂයට නංවන රූප පවා සංවාද සඳහා ඇතුළත් කළ හැකි පහසුකම් වර්තමානයේ දී ෆේස්බුක් තුළ අන්තර්ගත වේ. ඒ අනුව එය එක්තරා දුරකට මානව බැඳීම් ප‍්‍රකාශ කිරීමේ නව ප‍්‍රවණතාවක් වුවත් ඒවායේ විශ්වසනීයත්වය පිළිබඳව ගැටලු රාශියක් පැනනැගේ. එනිසාම එවැනි පේ‍්‍රම කථාවල ආයුෂ කෙටිය. එහෙත් එසේ හමු වූ ඇතැම් පෙම්වතුන් විවාහය දක්වා තම පේ‍්‍රමය පවත්වාගෙන ගිය බවට ද ඉඳහිට සාක්ෂි හමුවේ. කෙසේ වුවත් ෆේස්බුක් තුළ පමණක් පේ‍්‍රම කිරීමෙන් සැබෑ පෙම්වතුන් හඳුනා ගත නොහැකි වන්නේ තම සැබෑ ස්ත‍්‍රී පුරුෂ බව පවා වසන් කරමින් පේ‍්‍රම දැල් එලනා පුද්ගලයින් ෆේස්බුක් තුළ දහස් ගණනින් සිටින බැවිනි. එබැවින් ෆේස්බුක් අවකාශය පේ‍්‍රමයට සුව යහනක් ද නොඑසේනම් කටු උගුලක් ද යන්න බුද්ධිමත්ව තීරණය කිරීමේ වගකීම ඔබ සතුය.

1facebook xlarge2017 05 17


පේ‍්‍රමය සමඟ හුවමාරු වන හා පේ‍්‍රමයෙන් තොරව වුව ද හුවමාරු වන ලිංගික හැඟීම් සඳහා ද ෆේස්බුක් මනා වටපිටාවක් සකස් කර දී තිබේ. එහි දී බොහෝ විට සැබෑ සමාජය තුළ දී ලිංගික ක‍්‍රියාකාරකම් සඳහා ප‍්‍රවේශ විය නොහැකි සමාජ කණ්ඩායම් ෆේස්බුක් මාධ්‍යය ඔස්සේ එම හැඟීම් සන්තර්පණය කර ගැනීමට දරණ උත්සාහය තුළ සැබෑ සමාජයේ සංස්කෘතියට අභියෝග කළ හැකි ලිංගික සංස්කෘතියක් ෆේස්බුක් ඔස්සේ තථ්‍යාසන්නව Virtual Culture නිර්මාණය වීම එක්තරා සංස්කෘතික පෙරළියකි. එසේ වුවත් එම සංස්කෘතික පෙරළිය මඟින් මානව සමාජයට සිදුවන බලපෑම් තුළ බිඳ වැටෙන පුද්ගල සම්බන්ධතාවන් ඔස්සේ සමස්ත සමාජ සන්දර්භයම විසඳා ගත නොහැකි අර්බුද රාශියක් කරා දිනෙන් දින ගමන් කරමින් සිටියි. මෙහි දී ෆේස්බුක් ඔස්සේ ලිංගිකත්වය හුවමාරු වීම ආකාර ගණනාවක් තුළ අවධානයට ලක්කළ හැකිවේ. එනම් සංවාද පහසුකම් ඔස්සේ ලිංගික සංවාද පැවැත්වීම, ප‍්‍රවර්ධන පිටු (Promotion Pages) මඟින් නිරුවත් හා අඩනිරුවත් ඡුායාරූප ඇතුළු ලිංගික අන්තර්ගතයන් සහිත බහුමාධ්‍ය අංග (ලිංගික ක‍්‍රියා සහිත වීඩියෝ දර්ශන හා දුරකතන ලිංගික සංවාද වැනි හුවමාරු කර ගැනීමට කටයුතු කිරීම, ලිංගික ක‍්‍රියාකාරකම් සහිත කථා (Pornography) බෙදා ගැනීම ආදී ලිංගික ක‍්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට ප‍්‍රමුඛත්වය සලසන කණ්ඩායම් (Groups) නිර්මාණය කිරීමට හා ඒවා භාවිත කිරීමට අවස්ථාව සැලසීම මෙන්ම ලිංගික අන්තර්ගතයන් සහිත ක‍්‍රීඩා ෆේස්බුක් තුළ භාවිත කිරීමට හැකියාව ලැබීම එවැනි අවස්ථා කිහිපයකි. ඒ අනුව මෙම අවස්ථා ඔස්සේ ෆේස්බුක් ලිංගික අරමුණු වෙනුවෙන් යොදාගැනීම අතිශය ජනප‍්‍රිය ව්‍යවහාරයක් බවට පත් වී ඇති බව පැවසිය හැකිය. කෙසේ වුවත් ෆේස්බුක් තුළ මෙසේ නිර්මාණය වී ඇති තථ්‍යාසන්න ලිංගික අවකාශයට අදාළව සාකච්ඡුා කළ හැකි තවත් අභාග්‍ය සම්පන්න තත්ව ගණනාවක් ද දැකිය හැකිය. ඒ අනුව පුද්ගලිකත්වය ෆේස්බුක් ඔස්සේ අභියෝගයට ලක්වීම, ළමා හා ලිංගික අපයෝජන ක‍්‍රියා සිදු කිරීම හා ඡායාරූප විකෘති කරමින් ලිංගික අවශ්‍යතා සඳහා අවභාවිත කිරීම ආදී වූ පාලනය කිරීමට අපහසු අර්බුද ගණනාවක් ෆේස්බුක් ලිංගික සංස්කෘතිය තුළින් පැනනැඟී තිබේ. එහෙත් තමාගේ පුද්ගලිකත්වයට හානිදායක යමක් ෆේස්බුක් තුළ අන්තර්ගත වී ඇත්නම් ෆේස්බුක් ආයතනය වෙත වාර්තා කිරීමෙන් (Report) ඒවා ඉවත් කර ගැනීමට කටයුතු කළ හැකිය. කෙසේ වුවත් ඔබත් මෙම ලිංගික සංස්කෘතියේ සාමාජිකයෙක් වී සිටියි නම් එහි ගොදුරක් වීමට පෙර අවබෝධයෙන් යුතුව ෆේස්බුක් තුළ කටයුතු කිරීම ඉතා වැදගත් වේ. 



පේ‍්‍රමය, ලිංගිකත්වය ආදී පුද්ගල ජිවිතයට බලපෑම් කළ හැකි තත්වයන් මෙන්ම මානව සමාජයට සාමූහිකව බලපෑම් කළ හැකි දේශපාලනික හා සමාජයීය තත්ව හැසිරවීම සඳහා ද ෆේස්බුක් අද වන විට දෘෂ්ටිවාදී උපකරණයක් (Ideological Equipment) ලෙස ක‍්‍රියාත්මක වෙමින් පවතියි. ඒ අනුව විවිධ දේශපාලන ව්‍යාපාර සඳහා මෙන්ම සමාජ ව්‍යාපාර සඳහා ද ෆේස්බුක් පහසුකම් සපයයි. එහි දී තම පුද්ගලික දේශපාලන ප‍්‍රතිරූපය වර්ධනය කර ගැනීම සඳහා මෙන්ම යම්කිසි දේශපාලනික අරමුණක් සහිතව ක‍්‍රියාත්මක වන කණ්ඩායමක සිට රටක රාජ්‍ය බලය මෙහෙයවන ආණ්ඩුවක මතවාදය සමාජය තුළ ප‍්‍රවර්ධනය කිරීම තෙක් ෆේස්බුක් ඉතා සංවිධානාත්මකව මෙහෙයවීම දැකිය හැකිවේ. ඒ ඔස්සේ පුද්ගලික ප‍්‍රවර්ධන පිටු (Personal Promotion Pages හා පුද්ගලික ගිණුම් (Personal Accounts) තුළ ඡායාරූප, වීඩියෝ දර්ශන හා අදහස් පළකිරීම ඔස්සේ සිදුකරන මතවාද හැඩගැස්වීම එක්තරා ජනප‍්‍රිය විලාසිතාවක් ලෙස ද ඉස්මතු වෙමින් තිබේ. විශේෂයෙන්ම එම පුද්ගලික ප‍්‍රවර්ධන පිටු සඳහා ලැබෙන කැමැත්ත පළකිරීම් (Report) ප‍්‍රමාණය ඉහළ නංවා ගැනීම මඟින් වැඩි පිරිසක් වෙත තම මතවාදය රැුගෙන යාමට අවස්ථාව සැලසේ. එසේම ලැබී ඇති කැමැත්ත පළකිරීම්වල ප‍්‍රමාණය තම ප‍්‍රතිරූපයට සමාජය ඉදිරියේ ලැබී ඇති ජනප‍්‍රියත්වය මැනීමේ මිම්මක් ලෙස සැලකීමට හුරුවී සිටීම ද ෆේස්බුක් දේශපාලනය මඟින් වර්තමානයේ සමාජගත වී ඇති නව සංකල්පයකි. එහෙත් එම කැමැත්ත පළකිරීම් දහස් ගණනින් අන්තර්ජාලය ඔස්සේ මුදලට ලබා ගැනීමට හැකි බව දන්නේ ඉතා සුළු පිරිසකි. එසේ අන්තර්ජාලය තුළ අඩුම මුදලට කැමැත්ත පළකිරීම් ලබා ගත හැකි රටක් වන්නේ තුර්කියයි. එනිසා ෆේස්බුක් තුළ මවා පෙන්වන තරමේ ජනප‍්‍රියත්වයක් සැබෑ සමාජය තුළ අදාළ පුද්ගලයාට හිමි වී තිබේ ද යන්න සැබවින්ම ප‍්‍රශ්න සහගතය. දේශපාලන ව්‍යාපාර සඳහා මෙන්ම මෑත කාලීන සමාජ ව්‍යාපාර ප‍්‍රවර්ධනය සඳහා ද ෆේස්බුක් මෙසේ යොදා ගත හැකි වන අතර විවිධ ආගමික මෙන්ම ජාතිවාදී ස්වරුපයේ අන්තවාදී ව්‍යාපාරවල ප‍්‍රවර්ධනය සඳහා ද ෆේස්බුක් අද වන විට යොදා ගැනීම දැකිය හැකිවේ. එහෙත් එවැනි ව්‍යාපාර සමාජයට හානිදායක අන්දමින් ක‍්‍රියාත්මක වන විට එවැනි හානිදායක අන්තර්ගතයන් සහිත ප‍්‍රවර්ධන පිටු හා පුද්ගලික ගිණුම්වලට වැට බැඳීම සඳහා යොදා ගත හැකි ක‍්‍රියාමාර්ගයක් ද ෆේස්බුක් තුළම අන්තර්ගත වේ. ඒ ඔස්සේ  එවැනි අන්තර්ගතයන් සහිත ප‍්‍රවර්ධන පිටු හා පුද්ගලික ගිණුම් ෆේස්බුක් ආයතනය වෙත වාර්තා කිරීමෙන් (e-Commerce) එවැනි ව්‍යාපාරවලට එරෙහිව ෆේස්බුක් අඩවිය තහනම් කලාපයක් බවට පත් කළ හැකිය.

facebook2017

ෆේස්බුක් භාවිත කරමින් මෙහෙයවූ සමාජ හා දේශපාලන ව්‍යාපාර පිළිබඳ සකච්ඡුා කිරීමේ දී ජාත්‍යන්තර වශයෙන් ඇතිවූ අරාබි වසන්තය හා දේශීය වශයෙන් සිදුවූ දේදුනු විප්ලවය පිළිබඳ අමතක කළ නොහැකිය. මන්ද යත් අන්තර්ජාලය භාවිත කරමින් දැවැන්ත පරිමාණයෙන් සිදුකළ ලෝක මට්ටමේ මතවාදී ව්‍යාපාර සම්බන්ධව එතෙක් මානව සමාජයට අත්දැකීමක් නොතිබුණු බැවිනි. එහෙත් 2010 වර්ෂයේ දී ටියුනීසියාවෙන් ආරම්භ වී අරාබි කලාපයේ ඒකාධිපති පාලකයන්ට සිහසුන් අහිමි කරමින් එම කලාපය පුරා පැතිරෙන මෙම සමාජ සංසිද්ධියට ලෝක හා කලාපීය ජනමතයක් නිර්මාණය කිරීමෙහිලා ෆේස්බුක් සැපයූ දායකත්වය සුළුපටු නොවේ. ඇතැමුන් මෙම තත්වය ප‍්‍රතික්ෂේප කළ ද එවැන්නක් සිදුවූ බවට  ඕනෑ තරම් සාක්ෂි සපයා ගත හැකිවේ. අරාබි වසන්තයේ මෙම ප‍්‍රවේශය සංකල්පීයව භාවිත කරමින් පසුගිය ජනාධිපතිවරණය තුළ ජනමතය හැඩගැස්වීම සඳහා ෆේස්බුක් ප‍්‍රමුඛ අන්තර්ජාලය ඔස්සේ සිදුකළ සමාජ ව්‍යාපාරය දේදුනු විප්ලවය වේ. විශේෂයෙන්ම ෆේස්බුක් වටා ඒකරාශි වී සිටි මෙරට තරුණ ප‍්‍රජාවගේ චින්තනයට බලපෑම් කරමින් සිදුවූ මෙම මතවාදී ව්‍යාපාරය තුළ මෙරට ප‍්‍රධාන පෙළේ ජනමාධ්‍ය මඟින් ආමන්ත‍්‍රණය කිරීමට නොහැකිවූ පිරිසකට සහ එවැනි ජනමාධ්‍ය ඔස්සේ ආමන්ත‍්‍රණය කළ නොහැකි වූ කරුණු කෙරෙහි ජනතා අවධානය යොමු කරවන ලදි. එමඟින් එතෙක් පැවති සමාජ හා දේශපාලන වාතාවරණය පෙරළියකට ලක්කරමින් මෙරට තුළ නව දේශපාලන සංස්කෘතියකට අවකාශය විවර විය. මෙම නව ෆේස්බුක් සංස්කෘතිය කලා නිර්මාණ සමාජගත කිරීම සඳහා ද අසීමිත අවස්ථා සලසා දී තිබේ. එනම් ෆේස්බුක් බිහිවීමට පෙර කලා නිර්මාණයක් ජනතාව අතරට ගෙනයෑම සඳහා පැවති බාධක සියල්ලක්ම පාහේ මෙම අන්තර්ජාල අවකාශය තුළ ඉවත් වී තිබේ. එනම් කවි, කෙටිකතා හෝ නවකතා වැනි සාහිත්‍ය නිර්මාණ මෙන්ම ගීත, ගීත රූප රචනා හා කෙටි චිත‍්‍රපට වැනි නිර්මාණ සමාජගත කිරීමේ මාධ්‍යයක් වශයෙන් ද ෆේස්බුක් වර්තමානයේ දී භාවිත වේ. මේ සඳහා එම නිර්මාණකරුවන්ට සිය නිර්මාණ අන්තර්ගත කළ හැකි ප‍්‍රවර්ධන පිටු හා කණ්ඩායම් දහස් ගණනින් ෆේස්බුක් අවකාශය තුළ විවර වී ඇති අතර එවැනි  ඕනෑම නිර්මාණාත්මක අවශ්‍යතාවක් සඳහා මිතුරු හවුල් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව ද ලැබී තිබේ. තවද එම නිර්මාණ ඇගයීමට හා විචාරයට ලක්කිරීම පිණිස තනාගත් කණ්ඩායම් ආදී වූ මිතුරු අවකාශ ද ෆේස්බුක් තුළ අතිශය ජනප‍්‍රිය භාවිතයක් බවට පත්වී ඇති බැවින් කලා නිර්මාණ සමාජයට බිහිවීමට මෙන්ම ඒවා සමාජය තුළ අවධානයට ලක්වීම සඳහා ද මෙම නව ප‍්‍රවේශය හේතු වී ඇති බව සඳහන් කළ හැකිය.



එසේම ෆේස්බුක් කලා සංස්කෘතිය ඔස්සේ වර්ධනය වූ නව ප‍්‍රවණතාවක් ලෙස ෆේස්බුක් සාහිත්‍යකරුවන් ඔවුන්ගේ එම නිර්මාණ පසුව ග‍්‍රන්ථ ලෙස ප‍්‍රකාශයට පත් කිරීම පෙන්වා දිය හැකිය. එමඟින් පළමුව තම නිර්මාණය ෆේස්බුක් අවකාශයට යොමු කළ විට ඒ කෙරෙහි පාඨකයා දක්වන ප‍්‍රතිචාර මත නිර්මාණයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය පිළිබඳ එක්තරා දුරකට අවබෝධයක් ලබා ගැනීමට හැකිවීම හා තම නිර්මාණය වටා යම්කිසි පාඨක පිරිසක් ඒකරාශී කර ගැනීමට හැකිවීම නිර්මාණකරුවන්ට ලැබෙන වාසිදායක තත්ව ලෙස හඳුනා ගත හැකිය. තවද ෆේස්බුක් ඔස්සේ සමාජය තුළ ජනප‍්‍රියත්වයට පත්වී ඉන් අනතුරුව ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ තම ගායන කුසලතාව සමාජය වෙත රැගෙන යාමට අවස්ථාව උදාකර ගත් ගායක ගායිකාවන් මෙරට තරුණ පරපුර නියෝජනය කරන බවද මෙහි දී සඳහන් කිරීම වැදගත්ය. එමෙන්ම යම්කිසි නිර්මාණයක් ප‍්‍රචාරය කිරීම ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විසින් ප‍්‍රතික්ෂේප කරන්නේ නම් එවැනි නිර්මාණ ජනතාව අතරට රැගෙන යාම සඳහා ද ෆේස්බුක් මනා තෝතැන්නක් වී ඇති බව සඳහන් කළ හැකිය. කලා නිර්මාණ සඳහා මෙන්ම විනෝදය සපයන අංග ගණනාවක් ද ෆේස්බුක් තුළ දැකිය හැකි වේ. එහිදී විහිළු කතා, හාස්‍යජනක ඡායාරූප හා වීඩියෝ දර්ශන මෙන්ම කාටුන් නිර්මාණ සඳහා ද ෆේස්බුක් තුළ සුවිශාල අවකාශයක් විවර වී තිබේ. එවැනි රසාස්වාදය සපයන ප‍්‍රවර්ධන පිටු ගණනාවක් දේශීය භාෂා ඔස්සේ නිර්මාණය වී තිබීම ෆේස්බුක් බිහිවීමට පෙර නොපැවති තත්වයකි. එවැනි පිටු පරිශීලනය ඔස්සේ විනෝදය ලබා ගැනීමට අන්තර්ජාලය තුළ ෆේස්බුක් තරම් සුදුසු වෙනත් වෙබ් අඩවියක් නොමැත.



කලාවට, දේශපාලනයට හා විනෝදයට මෙන්ම වෙළෙඳ ප‍්‍රචාරණ කටයුතු සඳහා ද වර්තමානයේ දී ෆේස්බුක් අවකාශය බහුලව යොදා ගනු ලැබේ. එනම් ඉහතින් අවධානයට යොමු කළ ෆේස්බුක් තුළ භාවිත කළ හැකි සෑම පහසුකමක් සමඟම මෙම වෙළෙඳ ප‍්‍රචාරණ උපක‍්‍රම බැඳී පවතී. විශේෂයෙන්ම වෙනත් අන්තර්ජාල මාධ්‍යයන්ට වඩා ෆේස්බුක් ඔස්සේ වෙළෙඳ ප‍්‍රචාරණය වඩාත් ඵලදායී වන්නේ අදාළ නිෂ්පාදනය හෝ සේවාව ඉලක්කගත පාරිභෝගික කණ්ඩායම වෙත සෘජුවම යොමු කිරීමට හැකි වීමයි. එනම් අවධානය ලබා ගත යුතු පාරිභෝගික කණ්ඩායමේ වයස් ප‍්‍රමාණය, ඔවුන්ගේ රුචිකත්වය හා ස්ත‍්‍රී පුරුෂභාවය යනාදිය අනුව අදාළ නිෂ්පාදනය හෝ සේවාව ප‍්‍රචාරණයට අවස්ථාව සැලසීමයි. තවද කවර ප‍්‍රදේශයක පාරිභෝගික කණ්ඩායමක් මේ සඳහා ඉලක්කගත විය යුතුද එනම් ප‍්‍රාදේශීය හෝ නාගරික වැනි තත්ව පිළිබඳව ද අවධානය යොමු කරමින් වඩා සාර්ථක වෙළෙඳ ප‍්‍රචාරණයක් සඳහා ෆේස්බුක් අවකාශය යොදා ගැනීමට හැකිවේ. එමෙන්ම ෆේස්බුක් මූලික කර ගනිමින් ගොඩනැඟී ඇති අන්තර්ජාල වෙළෙඳපොළ ඔස්සේ ණයපත් හා හරපත් මඟින් ගනුදෙනු කිරීමට හැකියාව ලැබීම මඟින් විද්‍යුත් වාණිජ්‍යය තුළ ක‍්‍රියාත්මක වන ආර්ථික පරිසරයක පහසුකම් අත්විඳීමට මානව සමාජයට අවස්ථාව ලැබී තිබේ. ඒ අනුව ෆේස්බුක් සමඟ ගෙවුණු දශකය පුරා ලෝකය විවිධ පරිවර්තන ගණනාවකට ලක්වූ බව සඳහන් කළ හැකිවේ. එනිසාම එම දශකය අන්තර්ජාලය වඩාත් මානව හිතවාදී ප‍්‍රවේශයකට යොමුකළ යුගයක් ලෙස හැඳින්වීම ද වරදක් නැත. එහෙත් මෙම සියලූ භාවිතාවන් ඔස්සේ ෆේස්බුක් ලොව ප‍්‍රමුඛතම අපරාධ කලාපය ලෙස ඉස්මතුවී තිබීම ද අමතක කළ නොහැකිය. එබැවින් ෆේස්බුක් තුළ අප භාවිත කරන සියලූම පහසුකම් මානව සමාජයේ යහපත පිණිස පමණක් ආචාර ධර්මවලට අනුකූල වෙමින් භාවිත කළ යුතු වන අතර එසේ නොවුණහොත් මානවයා විසින් බිහිකළ ෆේස්බුක් තාක්ෂණයම මානව සමාජයේ අවසානය තීරණය කරන දිනය වැඩි ඈතක නොවන බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.



සුරෝෂන ඉරංග

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.