• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විරු සැමරුම මැයි 18ට සීමා විය යුතුද???

Army 1ගෙවීගිය සතිය තුළ වීරෝධාර රණවිරුවන් පිළිබඳ ව නිරන්තරයෙන් කතාබහට ලක්විණි.



ඒ උණුසුම දැන් පහව ගොස්ය. නමුත් රණවිරු සැමරුම්  දිනකට හෝ සතියකට පමණක් සීමාවීම කෙතරම් සාධාරණද යන්න දෙවරක් සිතා බැලිය යුතුය. ඒ පිළිබඳ ව මදක් විමසීමට අතීතයේ දෙස එහි කුරිරු අත්දැකීම් වෙත මතකය ගෙන යා යුතුය.


දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කිසිදු ජාති  ආගම් භේදයකින් තොරව ලාංකිකයන්ගේ ජීවත් වීමේ නිදහස මෙන්ම සමාජීය, දේශපාලනික සහ සංස්කෘතික අයිතීන් සියල්ලට අතිශය තර්ජනයක් වූ ලොව දරුණුතම ත්‍රස්වාදය සේ සලකන කොටි ත්‍රස්තවාදය මව්බිමෙන් මුලිනුපුටා දමා දැනට වසර අටක් ගත වී ඇත. දියුණුව කරා පිය මනින තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවේ දියුණුවේ මංපෙත් අසුරමින් පිළිලයක් සේ වැඩුනු කුරිරු ත්‍රස්තවායකින් ඇලලී ගොස් තිබූ බව සමහර දෙනෙක්ට දැන් අමතකය. ජාතිවාදී දෘෂ්ටියෙන් මිදී ස්වාධීනව බලන කල්හි මෙය සිංහලයාගේ  විජයග්‍රහණයක් ලෙස පමණක් සැලකිය නොහැක. මන්ද දශක තුනක් තිස්සේ යුද්ධයෙන් බැට කෑවේ සිංහලයා පමණක්ම නොව. උතුරේ දෙමළ, මුස්ලිම් යන ජන කොට්ඨාශයන්ගේ ද  ජීවිතවලට මෙය මහත් තර්ජනයක් විය. ඔවුන්ගේ එදිනෙදා ජන ජීවිත ද අඩාල විය. බස් රියේ, මහමග, පාසලේ, සේවා ස්ථානයේ පමණක් නොව පන්සලේ පල්ලියේ කෝවිලේදී පවා ද මරණ බියෙන් ගත සිත තැති ගැන්මෙන් යුතුව සියල්ලන්ටම ජීවත් වීමට සිදු විය. එමෙන්ම ජීවිත අහිමි වූයේ ද සියල්ලන්ගේමය. ගැලූ ලේ දහරාවන් වෛවර්ණ නොවීය. එකම රත් පැහැයක් විය.  එනිසා මෙය හුදෙක් ජාතිවාදී ජයග්‍රහණයක් සේ දැකීම සුදුසු නැත. එසමයේදී අරංගල භික්ෂු ඝාතනය, කැබිතිගොල්ලෑව බස් රථ අනතුර, දළඳා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම, කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ සමූල ඝාතනය, මහබැංකු බෝම්බය ආදී සිද්ධීන් අදටත් මතකයට නැගෙන විට සිත් කම්පා කරයි. දරුවන්ට දෙව්පියන්, දෙමව්පියන්ට දරුවන් අහිමි කළ, මහ මුහුදකට සම දුක් ගංඟා මැදින් පැතිර ගිය එම රුදුරු සංහාරය එකල මුළු මහත් සමාජයට ම මහත් පීඩනයක් විය.Army 2


කෙසේ වුවද අවසානයේ උතුර -දකුණ- නැගෙනහිර සහ බටහිර එක ධජයක සෙවන යටට රැගෙන සාමකාමී දේශයක් තුළ සහජීවනයේ මල් කැකුළු පුබුදුවාලන්නට ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ අප්‍රතිහත ධෛර්යයට සහ ශක්තියට  හැකියාව ලැබිණි. ඔවුන් සතුව අනෙකුත් රටවලට මෙන් අති නවීන ආයුධ හෝ පරමාණු බෝම්බ නොවීය. එසමයෙහිදී එල්.ටී.ටී.ඊ ත්‍රස්ත කණ්ඩායම අන්තර්ජාතික වශයෙන් වර්ධනය වී යුධ ශක්තීන් අත්පත් කර ගත්තද ලංකා හමුදාව සතුව ඒ කිසිත් නොවීය. තිබුනේ සමස්ත ත්‍රිවිධ හමුදා සෙබළුන්ගේම සිතේ වූ ආත්ම විශ්වාසය පමණි. එකී ආත්ම විශ්වාසය පෙරදැරිව ලාංකික පුන්‍ය  භූමිය තුළ විස්මිත පුනරාගමනයක් සනිටුහන් කරමින් මෙම මහා වික්‍රමය යුධ විරුවන් විසින් ජයග්‍රහණය කළේ මුළු ලොවක්ම මවිත කරවමිනි.



යුධ ජයග්‍රහණයෙන් පසුව වසන්තය උදා වූයේ දකුණ නැගෙනහිරට පමණක් ද නොවේ. උතුරු වසන්තයද උදාවිය. වසර ගණනාවක් අඩාල වී සිටි යාල් දේවිය ද කොළඹ සිට යාපනය දක්වා දිවෙන්නට ඇරඹිණි. යාපනයේ සිසුන්ට දකුණේ විශ්ව විද්‍යාලවලටද, දකු‍ණේ සිසුන්ට උතුරේ විශ්වවිද්‍යාලවලටද බියක් සැකක් නොමැතිව යෑමට ඒමට භාග්‍ය උදාවිණි. එනිසා වසන්තය උදාවූයේ මුළු මහත් ලක්දිවටමය.   
Army 4


එනිසා වීරෝධාර රණවිරුවන් අප මෙසේ සැමරිය යුත්තේ ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය මෙරටින් තුරන් කිරීම නිසාම නොව, එසේ අසීරුවෙන් දිනාගත් සාමය අදටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට ඔවුන් සතුව ඇති සුවිශේෂී හැකියාව ද නිසාය.


ලාංකිකයන් අද අත්විඳින මෙම සාමකාමී වාතාවරණය ඇති කරලීම උදෙසා  රණ විරුවන්  26 000ක් පමණ  සිය වටිනා ජීවිත පරිත්‍යාග කළ බවද, 14 000ක් පමණ අදටත් ආබාධිත තත්වයෙන් රණවිරු රෝහල්වල ප්‍රතිකාර ලබන බවද මෙහිදී කණගාටුවෙන් මෙන්ම කෘතඥපූර්වකව සිහිපත් කළ යුතුය. එසේම  රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ද සිදු කළ සහ සිදු කරන කැපකිරීම ද  සුළුපටු නොවේ. එසේම එවක සිටි රාජය නායකයන්ගේ මඟ පෙන්වීමද, ආගමික නායකයන්ගේ ආශිර්වාදයද යෝධ පවුරක් සේ මෙම  විජයග්‍රහණය  වටා තිබූ බව ද සත්‍යයකි.


එවන් උදාර  කැපකිරීමකින් ලබාගත් මේ දුර්ලභ සාමය නොනැසී පවත්වාගෙන යමින් අනාගත පරම්පරාවටද නිදහස් නිවහල් ශ්‍රී ලංකාවක් උරුම කරදීම උදෙසා කැපවීම ත්‍රිවිධ හමුදාවේ හෝ ආරක්ෂක අංශවල පමණක් නොව වත්මන් රජයේ මෙන්ම සමස්ත ජාතියේම වගකීමකි. දිනාගත් සාමය පමණක් ද නොව රණවිරුවන්ගේ අභිමානය ද ජාතික ආර්ථික සම්පත්ද ආරක්ෂා කර ගනිමින් ඒකීය රාජ්‍යක් ලෙස ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට දිවි හිමියෙන් කටයුතු කිරීම තම ජීවිත සහ අත් පා අහිමි කර ගනිමින්, අංගවිකලභාවයට පත්වෙමින් ආබාධිත තත්ත්වයට පත්ව සිටින මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ නාමයට ද  මේ මොහොතේ කළ හැකි උතුම්ම ගෞරව උපහාරය වේ.


එසේම ජාතියක් ලෙස අප වසා සිටි අඳුරු අතීතයේ සෙවනැලි නැවතත් ඇති නොවන්නට වගබලා ගැනීම සියලු ම දෙනාගේ ප්‍රමුඛ වූ ජාතික වගකීමක් සේ සැළකිය යුතුය. වර්තමානයේ වුවද හිස ඔසවන්නට වෙර දරන ජාතික හෝ වේවා ආගමික හෝ වේවා බෙදුම්වාදයේ විවධ ස්වරූපයන් අභිමුව එකි අවස්ථාවන්  බුද්ධිමත්ව තේරුම් ගනිමින් ඉතාමත් ඉවසිලිවන්තව හා කල්පනාකාරීව මුහුණ දීමට සැවොම සිතටගත යුතුය. මෙහිදී රජයේ  මධ්‍යස්ථ මැදිහත්වීම ද අතිශයින් වැදගත්වේ. මන්ද, දහස් ගණනකගේ ජීවිත පූජාවන්ගේ අනුහසින් දිනාගත් දේශය නැවතත් යුද්ධය නැමැති මහා අගාධයට ඇද වැටී ලේ විලක් බවට පත්වුවහොත් අපගේ දරු පරපුර  අනාගතයේදි අපටම සාප කරනු ඇත. නිදහස වෙනුවෙන් සටන් වැද දිවී පිදූ එ් වීර සෙබලුන් සොහෙනේ බිමින් නැගිට එනු නියතය. එබැවින් ශ්‍රී ලාංකිකයන් ලෙස වසර අටකට පෙර අප අත්කර ගත් සාමයේ හා සමගියේ විජයග්‍රහණය ඉදිරියටත් දිවි පරදුවට තබා හෝ ආරක්ෂා කිරීම අපගේ පරම යුතුකමකි.



අතීතයේ "ආමිකාරයා" ලෙස හැඳින්වූ හමුදා නිලධාරීන් මෙම යුද්ධයත් සමඟ රණ විරුවන්, හමුදා සෙබලුන් ලෙස හඳුන්වන්නට විය. මහ මගේදී හමුදා නිල ඇඳුමක් හැඳගත් අයෙකු දුටු විට හිස නමා ආචාර කරනන්ට තරම්, බසයේදී නැගිට ආසනය පරිත්‍යාග කරන්නට තරම් ඔවුන් කෙරෙහි ගෞරවයක් සෙනෙහසක් අප හද පත්ලෙන්ම උපන්නේය. රණ විරුවන් කෙරෙහි  වන මෙම හද ගැස්ම කිසිදාක අමතක නොකළ යුතුය. මන්ද, ශ්‍රී ලංකා මාතෘභූමිය මත අද අප මෙසේ නිදහසේ හුස්ම ගන්නේ ඔවුන්ට පින්සිදු වන්නටය. මැයි 18  දින පුෂපෝපහාරයෙන්, හමුදා වෙඩිමුර හෝ උත්තමාචාරයන්ගෙන් රණවිරුවන් පිදීම පමණක් නොසෑහේ. සදාකල්හිම හදවතේ බැතිය ඔවුන් කෙරෙහි පිදිය යුතුය. මා දකින ඔවුන් සඳහා වූ සුදුසුම හැඳින්වීම වන්නේ ඔවුන් " දේශයේ මුර දේවතාවන්" ලෙස සැළකීමයි. දේශයේ මුර දේවතාවුනි, ඔබ සදා අමරණීයයි..  ඔබවන් උදාර පුතුන් මෙලොවට බිහි කළ මව්පියවරුනි ඔබටද පින්සිදු වේවා.. ශ්‍රී ලංකා ලක් මෑණියනි එක්සත්ව එක්සිත්ව නුඹ සදාකල් ලෝතලයේ වැජඹේවා..!!!
Army 5


අවසාන ලෙස සමස්ත ශ්‍රී ලංකද්වීපයටම සිහිපත් කළ යුත්තක් තිබේ. " නිදහස"  සහ " සාමය" යනු කිසි කලෙකත් ලාභදායී වරප්‍රසාදයක් නොවේ. එය දිවි හිමියෙන් රැකගත යුත්තකි. එසේ නමුදු එය කිනම් මොහොතක කුමන අයුරකින් දෙදරා යන්නේද යනන් අප නොදනිමු. එනිසා එක්සත්ව එක්සිත්ව මේ සියල්ලට ම මුහුණ දෙන්නට ජාතියක් සේ අප වගබලාගත යුතු වන්නෙමු.
 
 
 
මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න
ජන සන්නිවේදන අධ්‍යනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.