• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දෙව්ලියන් බදු වන ලියන්

 
wild 2දියුණුව කරා ගමන් කිරීමේදී මිනිසා ක්‍රමයෙන් වන සම්පත අතහැර දමා නාගරීකරණයට හසු වෙමින් පවතී. එහි ප්‍රතිවිපාක අදටත් මිනිසුන් අත් විඳිමින් සිටියි.




වන විනාශයත් සමඟ මිහි මතින් අගනා ශාක හා සත්ත්ව කොටස් වඳවීගෙන යාම පමණක් නොව, විවිධ පාරිසරික වෙනස්වීම් ඇති වීම මඟින් ස්වාභාවික උවදුරු ඇති වීම, ඕසෝන් ස්ථරයට හානි සිදු වීම, අම්ල වැසි ඇති වීම වැනි දිගුකාලීන වූ අයහපත් ප්‍රතිඵල ඇති වීමේ ප්‍රවනතාවය වඩාත් වැඩි වේ. ශ්‍රී ලංකාව යනු, ලෝකයේ ජෛව විවිධත්වය අතින් කීර්තිමත් නාමයක් දිනාගත් දේශයකි. නමුත් දිනෙන් දින සිදු වන මහා පරිමාණ වන විනාශය හේතුවෙන් මෙම නාමය අප කෙරෙන් තුරන් වෙමින් පවතින බව පෙනේ. නාසා ආයතනයේ පුරෝකතනයට අනුව 20016 වසර ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම කාලගුණය වාර්තා වූ වසරයි. එය ලංකාවේ අපටද එසේම බලපෑ බව අත්දැකීමෙන්ම අපි දන්නෙමු. ඉඳින් කළ යුතුව ඇත්තේ මෙතෙක් විනාශ වූ නොව දැනට ඉතිරිව ඇති වනාන්තර සහ ඒවායේ වටිනාකම් හඳුනාගෙන ඒවා පණ මෙන් ආරක්ෂා කර ගනිමින් ඉදිරි පරම්පරාවට ද මෙම දායාද ඉතිරි කර දීමට වග වලා ගැනීමයි.  ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් වනාන්තර පිහිටා ඇත්තේ 23%ක පමණ ප්‍රමාණයකි. ඉන් 18% වියලි කලාපයද, 2.1% තෙත් කලාපයට ද, 1.1 කඳුකර කලාපයට ද අයත් වෙයි.     

wild 4

ශ්‍රී ලංකාව උෂ්ණත්වය සහ වාර්ෂික වර්ෂාපතනය පදනම් කර ගනිමින්  ප්‍රධාන දේශගුණික කලාප 5කට වෙන් වී ඇති අතර ඊට අනුකූලව ලංකාවේ වනාන්තර වර්ග 4ක්  ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිය.



නිවර්තන වර්ෂා වනාන්තර 
කඳුකර වනාන්තර
වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර
කටු පඳුරු හා ලඳු කැලෑ



කෙසේ වුවද ශ්‍රී ලංකාවේ වනාන්තර සහ එහි  පවතින ජෛව විවිධත්වයේ ආරක්ෂාව පිලිබඳ භාරකාරත්වය දරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වන අතර එකී ප්‍රමුඛ පෙලේ වනාන්තර පිළිබඳ තතු පහත ආකාරයට දැක්විය හැකිය.



සිං
හරාජ වනාන්තරය
wild 3


දකුණින් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලිනුත්, බටහිරින් කතරගම සහ රත්නපුර දිස්ත්‍රික්ක වලිනුත් මායිම්ව පවතින මෙම වනාන්තරයට "සිංහරාජ" යන නාමය ලැබී ඇත්තේ අතීතයේදී එහි අණසක පතුරුවාගත් සිංහයෙකු වාසය කළ නිසා බව විවිධ ජනශ්‍රැතිවල දැක්වෙයි. ලංකාවේ වැසි වනාන්තර අතර අතුරින් ප්‍රමුඛස්ථානයක් හිමි වන්නේ සිංහරාජ වනාන්තරයටයි. මෙහි වපසරිය ‍හෙක්ටයාර් 11,187කි. එහි දිග කිලෝමීටර්  21ක් පමණ ද, පලල කිලෝමීටර් 7ක් පමණද වෙතැයි ගණනන් බලා තිබේ. එමෙන්ම ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ ද මෙම වනාන්තරයට වීම ද සුවිශේෂීත්වයකි. එහි වාර්ෂික වර්ෂාපතනය සංඛ්‍යාත්මකව ගත් කළ මි.මී. 3000/6000 අතර පවතියි. ගිං සහ කළු ගංඟාවන් ද්විත්වයම ද ගලා යන්නේ මේ ආශ්‍රිතවමය. ඊට අමතර ව තවත් බොහෝ ඇළ දොළ සිංහරාජ වනාන්තරය මධ්‍යයෙන් ගලා බසිමින් එහි සුන්දරත්වය තව තවත් තීව්‍ර කරයි. දැනට ලෝක උරුමයක් සේ නම්කොට ඇති මෙම භූමිය සතුව ඇත්තේ ඉතාමත් සාරවත් පසකි. එසේම අධි රක්ෂිත වනාන්තරයක් ලෙසට නම් කර ඇති සිංහරාජය වනජීවී දෙපාර්තමේන්තුවේ පාලනය යටතට පත්කොට ඇති බැවින් එහි දැව කප්පාදුව, සතුන් දඩයම් කිරීම, ගෙවල් තැනීම සහ වෙනත් වගා කටයුතු කිරීම ආදිය සපුරා තහනම් කොට ඇත. තත්වය එසේ වුවද  වර්තමානයේ එකී නීති රීති අභිබවා යමින් කටයුතු කරන කෲර මිනිසුන්ගේ පටු අරමුණු වෙනුවෙන් සිදුවන දැව කප්පාදුව නිසා මෙම අමිල වස්තුව කෙමෙන් කෙමෙන් විනාශ වී යනු පෙනේ.



සිංහරාජ වනාන්තරය අතීතයේදී ආවේනික සත්ත්ව හා ශාක වර්ගයන්ගෙන් ගහණව පැවත ඇත. නමුත් අද වන විට වඳුරන්,මී මින්නන්, ඉත්තෑවුන්, කොළ දිවියන් ආදී කුඩා සත්ත්වයින්ගෙන් ද ගෝණ, මුව, වලස් වැනි මධ්‍යයම ප්‍රමාණයේ සතත්ව කොට්ඨාස කිහිපයකින් ද හැරුණුවිට අලි, ඇතුන්, සිංහයින් වැනි සතුන් දක්නට නොමැත. එසේම දේශීය හා සංක්‍රමණික පක්ෂි වර්ග රැසකගේ මෙන්ම මත්ස්‍ය වර්ග රැසකගේ ද තෝතැන්නක් ලෙස මෙම වනාන්තරය හඳුනාගෙන තිබේ. ඒ අනුව 1926දී සංරක්ෂිත වනාන්තරයක් ලෙස ද, 1988දී  එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙසද මෙය නම් කරන ලදී. මෙහි ශ්‍රී ලංකාවට ආවේණික ශාක ඝන 24න් 13ක් ද, ආවේණික ක්ෂීරපායි විශේෂ 12න් 8ක් ද, ආවේණික පක්ෂි විශේෂ 20න් 18ක් ද, මත්ස්‍ය විශේෂ 16න් 03ක් ද, උරඟ විශේෂ 72න් 22ක් ද, උභය ජීවී විශේෂ 19න් 10ක් ද දැකගත හැක. ඊට අමතරව සමනල විශේෂ 60ක් ද, ශ්‍රී ලංකාවේ විශාලතම සමනලයා වන "කොමන් බර්ඩ්වින්ග්" සමනලයා ද දැකිය හැකිය.  
wild 5

ස්වභාදහම් මෑණියන්ගෙන් ලැබුණු අපූර්ව දායාදයක් සේ සැළකිය හැකි මෙම සිංහරාජ වනාන්තරය ඉතාමත් උසස් දුර්ලභ ජෛව විවධත්වයෙන් යුත් වනාන්තරයක් ලෙස ලෝ පුරා ප්‍රකට වන අතර පරිසරවේදීන්ගේ සහ සංචාරකයින්ගේ නොමද ආකර්ශණය දිනා ගැනීමටත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා සිසුන් නිරන්තරයෙන් යොදා ගන්නා සුවිශේෂී ස්ථානයක් ලෙසත් හැඳින්විය හැකිය.


විල්පත්තු ජාතික වනෝද්‍යානය


වියළි කලාපයේ ප්‍රධාන රක්ෂිත වන භූමියක් වන විල්පත්තුව ශ්‍රී ලංකාවේ පිහිටා ඇති වනාන්තරවලින් විශාලත ම වූවකි. මෙම වනෝද්‍යානය ආශ්‍රිතව පනි ඇල, එරිජ්ජ ඇල, මෝදර ගං ආරු ආදී ගංඟා අළ දොළවල් ද දන්ගහ වැව, තිඹිරි වැව, තෙල් බීපු වැව, ඉකිරිගොල්ල වැව, හුඹස් වැව, පර්සිබැඳි වැව, කුඩා විලච්චිය වැව ඇතුළු වැව් රාශියක් ද, කොක්කාර් විල්ලුව, වීරකුට්ටි විල්ලුව, නෙළුන් විල, පැණි කෑ විල, අක්ත විල, අමදරා විල ඇතුළු තවත් බොහෝ විල් වලින් සහ විල්ලුවලින් සමන්විතය. මෙම භූමි ප්‍රදේශය වන සංරක්ෂණයට අයත් වෙයි.


කලා ඔය සහ මල්වතු ඔය අතර පිහිටා ඇති මෙම වනෝද්‍යානයේ වපසරිය හෙක්ටයාර් 131,693ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. මෙහි වාසය කරන සිවුපා සතුන් අතරින් අලියා, වලහා, දිවියා, වල් ඌරා,ඉත්තෑවා,වඳුරා,කැබැල්ලාවා සහ නරියා ප්‍රධාන වේ. එසේම වනෝද්‍යානයේ දී හමුවන ශාක වර්ග අතර වල්දෙල්, ඇටඹ, කළු මැදිරිය, මිල්ල, පලු, වීර, අරළු, බක්මී..... ආදී වූ දෑ බොහෝමය. ඊට අමතර ව බිම් තඹුරු, එරමිණියා වැනි කඩොලාන ශාක ද මෙහි හට ගනී. එසේම විවිධ සර්ප වර්ග, මැඩි වර්ග මෙන්ම සමනල වර්ග ද මෙහි වාසය කරති. 


එදා කුවේණියගේ වාස භූමියක් බවට පත්ව තිබූ බව සැලකෙන මෙම වනෝද්‍යානය එකල සාරවත් භූමි ප්‍රදේශයක්ව පැවතුණු බවට අදත් සාක්ෂි දරයි. පුරා විද්‍යා ගවේශණයන්ගෙන් හෙළි වී ඇති තොරතුරුවලට අනුව විජය කුමරු ලක්දිවට ගොඩ බසින්නට පෙරදී පවා මෙහි ජනාවාස පිහිටුවා තිබූ බව පැවසෙයි. මේ අනුව විලපත්තුව කාලයක් තිස්සේ බොහෝ පුරාවිද්‍යා සාධක සඟවාගෙන ඇති බව පැහැදිලිය. මෙම වනාන්තරය වර්තමානයේ වන විනාශය යන මාතෘකාව යටතේ බොහෝ සෙයින් කතිකාවට ලක් වන අතර ශ්‍රී ලංකාවේ වන විනාශ නාමාවලියේ ප්‍රමුඛවම පවතින වනාන්තරයක් ලෙස හැඳින්විය හැකිය.


 wild 8
යාල වනෝද්‍යානය


යාල වනෝද්‍යානය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ දකුණු පලාතේය. මෙය "රුහුණු වනෝද්‍යානය" ලෙසින් ද හඳුන්වනු ලබයි. හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලට අයත් නව මෙම වනෝද්‍යානය හෙක්ටයාර 126,800ක් පමණ විශාලත්වයෙන් යුක්තය. ජාතික වනෝද්‍යානයක් සේ සැළකෙන මෙහි මායිම් වශයෙන් දකුණු දෙසින් ඉන්දියන් සාගරයත්, උතුරු දෙස මොණරාගල දිස්ත්‍රික්කයෙන් ඌව කඳු ප්‍රදේශයත්, බටහිරින් කතරගම කඳු වැටි සහ මැනික්  ගඟේ අතු ගංඟාවකින් ද මායිම් වී පිහිටීම සුවි‍ශේෂීත්වයකි. වියළි කලාපයට ආවේණික කුමුක්, සියඹලා, හොර, කොහොඹ, පලු, වීර, මොර, දිවුල් වැනි ශාකයන් ද කරඹ, පතොක්, එරමිණියා, කැකිල්ල, නවහන්දි වැනි පඳුරු වර්ග ද ඉලුක්, මානං වැනි තෘණ වර්ගද බහුලව දක්නට ලැබේ. සිවුපා සතුන් වශයෙන් අලි, ඇතුන්, ගෝණ, මුවන්, දිවියන්, වලසුන්, කුළු මීමන් සහ වල් ඌරන් වැනි සතුන් ද වාසය කරති. එසේම මධ්‍යම ප්‍රමාණයේ සතුන් වන ඉත්තෑවුන්, කබල්ලෑවුන්, රිලවුන්, උගුඩුවන්, මුගටින් මෙන්ම දේශීය විදේශීය පක්ෂි වර්ග ද මෙම වනෝද්‍යානයේ බහුලව වාසය කෙරේ.  එම දේශීය පක්ෂීන් අතර මොණරුන්, වලි කුකුළන්, සේරුන් ද විදේශීය පක්ෂීන් අතර අවිච්චියන්, වටුවන් ආදීන් ද දැකගත හැකිය. ඊට අමතරව විවිධ උභය ජීවී විශේෂයන් ද, සර්ප විශේෂයන් ද, මත්ස්‍යය විශේෂයන් ද වෙයි. පාලනය කිරීමේ පහසුව සඳහා මෙම යාල වනෝද්‍යානය කොටස් පහකට බෙදා ඇති අතර ඒවායේ බොහෝ වැව් සහ ජල සම්පත් ඇති නමුත් ඉඩෝර කාල වලදී ඒවා සිඳී යනු ඇත.  


ගල්ඔය ජාතික වනෝද්‍යානය


අතීතයේදී දිගාමඩුල්ල නමින් හැඳින්වූ මෙම ප්‍රදේශය අතීතයේදී  වී ගොවිතැන සඳහා යොදාගෙන ඇති බවට පැරණි නටඹුන් සාක්ෂි දරයි. හෙක්ටයාර 25,900ක පමණ වන මෙම භූමි ප්‍රදේශය වර්තමානයේදී කොටස් හතරකට බෙදා ඇත. හෙළ රජ දවස ගොවි බිමක් වූ නමුදු පසු කලකදී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් වී ගොවිතැනට ප්‍රමුඛස්ථානයක් නොදුන් නිසා එම බිම් පුරන් වී ගොස් ඇත. මොණරාගල සහ අම්පාර යන  දිස්ත්‍රික්කවලට අයත් ගල්ඔය වනෝද්‍යානය තුළ වියලි කලාපීය දේශගුණික ලක්ෂණ දැකගත හැකිය. අරළු, බුලු, පලු, මිල්ල, වීර ආදී ශාකයන් ද, කටු පඳුරු ආදිය ද සහිත මෙම භූමිය ජෛව විවිධත්වය අතින් ඉහළය. අලි, ඇතුන්, ගෝණ, මුවන්, වල් ඌරන් මෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික වූ පක්ෂි විශේෂ සමූහයක් ද මත්ස්‍ය වර්ගයන් ද මෙහි වාසය කරනු ලබයි. එසේම ගල්ඔය වනෝද්‍යාන භූමිය දුර්ලභ ඖෂධ ශාකයන්ගෙන් යුක්ත වන බවට බොහෝ ප්‍රචලිතය. දීඝවාපී පුදබිම ද, ගල්ඔය ව්‍යාපාරය ද මෙම බිමෙහි ඇති මූලික සම්පතක් සේ සැලකිය හැකිය.


උඩවලව වනෝද්‍යානය 


රත්නපු දිස්ත්‍රික්කයට අයත් වන මෙම වනෝද්‍යානය එක් දිසාවකින් මොණරාගල දිස්ත්‍රික්කයට ද මායිම්ව පිහිටා ඇත. මෙහි මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 30,821කි. මෙම වනයෙහි එක් කොටසක් වියළි කලාපයටත්, අනෙක් කොටස අන්තර් වියළි කලාපයටත් අයත් වීම මෙහි දක්නට ඇති සුවිශේෂීත්වයකි.  එසේම වියළි කලාපයට ආවේණික වූ ශාක වර්ග මෙහි වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර මිල්ල, බුරුත, කෝන්, පලු, වීර, වල් කොහොඹ ආදී ශාක වර්ග ද කරඹ, එරමිනියා, ගඳපාන, නාබිරිත්ත, රත්මල්, බැබිල වැනි පඳුරු ද ඉලුක්, මානං වැනි තෘණ වර්ගයන් ද බහුලව ඇත. අලි ඇතුන්, ගෝණ මුවන් වැනි සතුන් සහ ඉත්තෑ, කබල්ලෑ, වඳුරු ආදී සිවුපා සතුන් ද මොණරුන්, වළි කුකුළන් සහ කොකුන් ද විෂ සහිත සතුන් හා වෙනත් උරඟ වර්ගයන් ද මෙම වනෝද්‍යානයේ දැකගත හැකි වන අතර මෙහි පිහිටා ඇති ජලාශවල බොහෝමයක් මිරිදිය මත්ස්‍ය වර්ගද වාසය කරනු ලබති.


ඓතිහාසික පුදබිමක් සේ සැලකෙන බුදුගල සහ ගිරිහඬු වෙහෙර ද, මදුනාගල ආරණ්‍යද පිහිටා ඇත්තේ මෙම වනාන්තරය ආශ්‍රිතවය. උඩවලව යෝජනා ක්‍රමය නම් වූ ව්‍යාපෘතියට ද අයත් වන මෙම වනෝද්‍යානය ජෛව විවිධත්වයෙන් පිරිපුන් අගනා සම්පතක් සේ සැලකීම වඩාත් සුදුසුය. 


වස්ගමුව වනෝද්‍යානය


විවිධාකාර වූ සත්ත්ව සහ ශාක ප්‍රජාවන්ගෙන් අනූන වූ වනෝද්‍යානයක් වන මෙහි බටහිර දෙසින් මොරගහ කන්ද ජලාශයත්, නැගෙනහිරින් මාදුරුඔය ජලාශයත්, උතුරු දෙසින් පරාක්‍රම සමුද්‍රයත් යන ත්‍රිකෝණාකාර ජල මූලාශ්‍රයන්ගෙන් වට වී ඇත. හෙක්ටයාර 39,325ක පමණ වපසරිය ඇති මෙහි අලි ඇතුන් සහිත විශාල ප්‍රමාණයේ සත්ත්ව විශේෂයන්ගේ නිජ භූමියක් සේ සැලකෙයි. වස්ගමුව කඳුකරයෙන් ආරම්භ වී ගලා යන අඹන් ගඟ, මාදුරු ඔය, උල්හිටිය ඔය සහ කලා ඔය ආදී ජල ධාරාවන්ගෙන් මෙම වනෝද්‍යානය පෝෂණය වනු ලබයි. එසේම සුවිශේෂී සමනල විශේෂ 50ක් පමණ මෙහි දැකගත හැකි වන අතර ගොළු බෙල්ලන්, හැකරැල්ලන් ඇතුළු පණු වර්ග ත් ජලාශ්‍රිලව ලූලි, මඟුරා, කොරළියා, කාවයියා වැනි මත්ස්‍ය වර්ගත් මෙහි වාසය කරනු ලබයි.


හෝර්ටන් තැන්ත


ඉතා සෞම්‍ය සිසිල් දේශගුණික තත්වයක් යටතේ පිහිටා ඇති හෝර්ටන් තැන්නේ වාර්ෂික වර්ෂාපතනය මි.මී. 2500ක් පමණ වෙයි. ඉංග්‍රීසි යටත්විජිත සමයේ මෙහි "හෝර්ටන්" නම් ආණඩුකාරවරයෙකුගේ නම යෙදීමෙන් මෙය හෝර්ටන් තැන්න නමින් ව්‍යවහාරයට එක්ව තිබේ. නිරන්තරයෙන් මිහිදුමින් වැසී ඇති මෙම භූමිය නිරන්තරයෙන් තෙතමනයකින් යුක්ත වේ. අධික ශීතල කාලයට මල් තුහින හෙවත් හිමි පියළි ද මෙම භූමියට පතිත වෙයි. මෙම ප්‍රදේශයේ දකුණු කෙළවර ලෝකාන්තය නම් මහා ප්‍රපාතයද පිහිටා තිබේ. මෙම කඳු මුදුනින් ගංඟා කිහිපයක්ම ආරම්භ වන අතර අග්‍රා ඔය, බගවන්තලාව ඔය, බෙලිහුල් ඔය ඉන් කිහිපයකි. බේකර්ස් ඇල්ල, චිමිනි ඇල්ල ආදී රමණීය ලෙස ඇද හැලෙන දියඇලිවලින් ද හෝර්ටන් තැන්න සුන්දරත්වය තව තවත් තීව්‍ර වෙයි.
wild 1

ජෛව විවිධත්වය අතින් ඉතා වැදගත් භූමි භාගයක් වන මෙහි විවිධාකාර සත්ත්ව වර්ග මෙන්ම ශාක වර්ග ද රාශියක් දැකගත හැකිය. ඒ අතර එම ප්‍රදේශයට ආවේණික වූ  ෆයිනස් වර්ගද, ඕකිඩ් වර්ග ද බහුලව හමුවෙයි. එබැවින් එවක පැවති රජය මඟින් 1969දී හෝර්ටන්තැන්න රක්ෂිතයක් බවට පත්කරන ලදී. ගෝනා, වලහා, වඳුරා, හාවා, ඉත්තෑවා, මුගටියා වැනි සිවුපා සතුන් ද, රාජාලියා, වළි කුකුළා වැනි පක්ෂීන් ද විවිධ සමනල වර්ගද මෙහිදී නිරන්තරයෙන් දක්නට ලැබෙයි. නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටා ඇති මෙම භූමි භාගය හෙක්ටයාර 3160කින් පමණ සමන්විත වෙයි. මෙරට විසූ යුරෝපීයන් වඩාත් ඇලුම් කළ මෙන්ම ජනප්‍රිය ස්ථානයක් වූ හෝර්ටන්තැන්නේ ඇති ලෝකාන්තය නිසා එදා මෙන්ම අදත් දෙස් විදෙස් සංචාරකයින් රාශියක් මේ කරා ඇදී එයි.


බුන්දල වනෝද්‍යානය


ඓතිහාසික වටිනාකමකින් යුක්ත වන මෙම භූමි ප්‍රදේශය තුළ ඉපැරණි වෙහෙර විහාර රැසක නටඹුන් දක්නට ලැබේ. බුන්දල සිට හම්බන්තොට දක්වා විහිදී ඇති මුහුදු තීරය මෙම වනෝද්‍යානයට අයත් වන අතර එය හෙක්ටයාර 6220ක මුළු වපසරියකින් යුක්ත වෙයි. මෙම භූමි භාගයේ ලුණු ලේවායන් පහක් පිහිටා තිබීමද මෙහි සුවිශේෂීත්වයක් සේ සැලකිය හැකිය. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1000ක් පමණ වන අතර බුන්දල වනෝද්‍යානය අඩවි තුනකට ද බෙදා දක්වා ඇත. එනම්,


වැලිකඳු සහිත වෙරළ තීරය
වෙරළ තැනිතලා ප්‍රදේශය
අභ්‍යන්තර වෙරළ තැනිතලාව



යනුවෙනි. මෙම වනෝද්‍යානය බෙහෙවින් ප්‍රසිද්ධ වන්නේ පක්ෂීන් සඳහාය. ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි වර්ග පමණක් නොව සංක්‍රමණික පක්ෂි වර්ග රාශියක්ද මෙහිදී දැකගත හැකි වෙයි. සර්ප ගහණයෙන්ද මද නොවන මෙම වනෝද්‍යානය අලියා, දිවියා , වළහා, ගෝනා, නරියා, කොළ දිවියා ආදී සිවුපාවුන්ගේද නිජ භූමියක් සේ සැළකිය හැකිය. එසේම මදුරුතලා, වරා, බිම් තඹුරු වැනි පඳුරු වර්ගද, හාතවාරිය, කටුපිල සහ අගමුල් නැති වැල් ජාති ද මෙහිදී කොතෙකුත් දැකගත හැකිය. තවද මෙහි පිහිටා ඇති ජලාශයන්හී ද ලංකාවට ආවේණික වන මත්ස්‍ය වර්ග බොහෝමයක් වාසය කරති.
 
 
මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න
ජන සන්නිවේදන අධ්‍යනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.