• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පොසොන් උදාව

poson poyaශ්‍රී ලංකා මාතෘ භූමිය ගුණදහමින්ද  බණදහමින්ද ජාතියක් ලෙස ප්‍රතිසංවර්ධනය වූයේ මිහිඳු මාහිමියන් මෙරටට වැඩම කිරීමත් සමග සිදු වූ ජාතික ආගමික විප්ලවය නිසාය.
 
 
 
මේ උතුම් සංසිද්ධිය මුල්කරගෙන පුනරුප්පත්තියකට පත්වූ සිංහල ජාතිය බෞද්ධ ශිෂ්ටාචාරයෙන් , සංස්කෘතියෙන් , සදාචාරයෙන්, චර්යාධර්මයෙන්, ප්‍රතිපෝෂණය වූහ. ඒ උතුම් පරිවර්තනය සිදු වූ දිනය සිහි කරමින් ශ්‍රී ලාංකීය බෞද්ධ උවැසි උවැසියන් පොසොන් පොහෝ දිනය උත්සවශ්‍රීයෙන් පවත්වනු ලබයි. 
 
 
ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ  පූර්ණ උපදෙස් පරිදි මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන්  සම්බුද්ධ ධර්මය ලෝකයටම බෙදා දිය යුතු යැයි කථිකා කොටගෙන දේශ දේශාන්තර නමයකට ව්‍යක්ත, විනීත, විශාරද බහුශ්‍රැත ධර්මධර විනයධර, සුපේෂල , ශික්ෂාකාමී සෘද්ධිබල සහිත මහරහතන් වහන්සේලා ආසියානු රටවල් නවයකට පිටත් කර හැරීමට තීරණය කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ ධර්ම ප්‍රචාරණය භාර වූ  මිහිඳු මාහිමියෝ ලංකද්වීපයෙහි ඊට සුදුසු කාලය එළඹ ඇත්දැයි විමසා බැලූහ.
 
 
නමුත් එවක ලංකාවේ සිංහාසනාරූඪව සිටියේ මුටසීව රජතුමාය. ඔහු මහලු රජෙකි. එබැවින් මිහිඳු මාහිමියෝ එම කාලය ලංකාවේ සම්බුදු සසුන පිහිටුවීමට නුසුදුසු කාලයක් ලෙස සැලකූහ. මහලු රජ කෙනෙකුගේ අනුග්‍රහය ලබමින් ලක්දිව සම්බුදු සසුන පිහිටුවීම අසීරු කරුණක් ලෙස කල්පනා කළ උන්වහන්සේ මුටසීව රජතුමාගේ ඇවෑමෙන් පුත් දේවානම්පියතිස්ස රාජාභිෂේකය ලබන තුරු බලා සිටියහ. මෙය  මිහිඳු මා හිමියන්ගේ සමාජ විද්‍යාත්මක හා තර්කානුකූල ක්‍රියාවක් බව පැහැදිලිය.  ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේ විශිෂ්ට ධර්ම දූතයාණන් වහන්සේ නමක්‌ පමණක්‌ නොව සැලසුම් සහගත බවේ ප්‍රතිමූර්තියක්‌ ලෙස හැඳින්වීම සර්ව සාධාරණය. උන්වහන්සේ තුළ පැවතියා වූ මෙම සැලසුම් සහගතභාවය ශ්‍රේෂ්ඨ ධර්මදූත මෙහෙවරට මහත් පිටිවහලක්‌ වූ බව නිසැකය.
 
 
කල් යල් බලා ක්‍රමයෙන් දේවානම්පියතිස්ස රජු රජ වීමත් සමග මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉට්ඨිය, උත්තිය, සම්බල,භද්දසාල, යන උපසපන් රහතුන්වහන්සේලා  පස් නමත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, අනාගාමී බව ලැබ සිටි  භණ්ඩුක උපාසකතුමාත් ක්‍රි.පූ. 306 – 307 අතර අවධියේ පින්බර ලංකද්වීපයට වැඩම කළ සේක. අන් රටවලට වඩා ශ්‍රී ලංකාවට එවන ලද දූත පිරිස සුවිශේෂත්වයක් ගත් බව මෙහිදී පැහැදිලිය. එනම් මේ දූත පිරිසට අයත් හත් දෙනාගෙන් වැඩි පිරිසට රාජ්‍ය  සුහදතාව දැඩි ලෙස පැවතීම වැදගත් ලක්ෂණයකි. මිහිඳු මා හිමි අශෝක අධිරාජ්‍යාගේ පුතණුවන්  වූ අතර සුමන සාමණේරයන් වහන්සේ ඔහුගේ නැගෙණිය වූ සංඝමිත්තාවන්ගේ‍ පුත්‍රයා ද විය. එසේම භණ්ඩුක උපාසක යනු, මිහිඳු මාහිමියන්ගේ මෑණියන්ගේ සොහොයුරියගේ දියණියගේ පුතා වන බවද  සඳහන් වේ. මෙවැනි රාජකීය දූත පිරිසක් ශ්‍රී ලංකාවට සැපැත් වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් 236 වන වසරෙහි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක බව ඉතිහාසය පැහැදිලිව සඳහන් කරයි.
 
 
අනුකම්පාව නමැති මේ බෝසත් ගුණයෙන් එදා පෝෂණය ලැබ සිටි  මිහිඳු මාහිමියන් හෙළදිවට වැඩම කරනු ලැබූයේ   අප ආගමෙන් දහමෙන්, සංස්‌කෘතියෙන්, ආර්ථිකයෙන්, භාෂාවෙන්, කලාවෙන්, සාහිත්‍යයෙන් දුගී බවට  පත්ව සිටි යුගයකය. ඉන් අප මුදවා ලංකාව ලෝකයේ පිළිගත් සමෘද්ධිමත් ථේරවාදී බුදු දහමේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත් කිරීමට මිහිඳු හිමියන්ට හැකියාව ලැබිණි.
 
 
ඒ අනුව මහින්දාගමනයත් සමඟ ලාංකික ජනතාව ශිෂ්ටාචාරාත්මක  දියුණුවක්‌ කරා ගමන් කළේය. විශේෂයෙන් ගෘහ නිර්මාණ ශිල්පයෙහි ප්‍රවීණයන් වීමට අපට හැකියාව ලැබිණි. අනුරාධපුරයෙහි වටදාගෙය, නගර නිර්මාණ, චෛත්‍ය නිර්මාණ දෙස බැලූ විට එය මනාව සපථ වේ. රුවන්මැලි සෑ රජුන්ගේ මනෝහර බව, එහි විද්‍යාමාන වන ඉංජිනේරු තාක්ෂෂල්ණය නූතන ලෝකයේ තිබේ දැයි සැක සහිතය. සමාධි බුදුපිළිමය, පොළොන්නරුවේ ගල් විහාරය ද ඊට නොදෙවෙනිය. එවැන් ආශ්චර්යමත් නිර්මාණ ලෝකයේ කොතැනක හෝ තිබේ දැයි විටෙක සිතේ. එපමණක් නොව, කෘෂිකර්මය සඳහා නවීන උපකරණ නිර්මාණයටද උප්පත්තියෙන් තිබූ ශක්‍යතාවයන් ඔප මට්ටම් වීමට ද, ලේඛන කලාවෙහිද අපූර්වත්වයක්‌ පෙන්නුම් කළ හෙළයා වෛද්‍ය විද්‍යාවේද බොහෝ හාස්‌කම් කිරීමට සමත් නවීන උපක්‍රම ඉගෙනීම ආදීය සඳහා මංපෙත් විවර වූයේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමගය.
 
 
මෙම ධර්මදූත පිරිස මෙරටට වැඩම වන විට එදින  ලක්දිව නැකත් ක්‍රීඩා උත්සවයක්  විය. හුදෙක් ස්වයං විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටිනු දුටු තිස්ස රජුට පසු කාලයේ දී චේතිය පබ්බත නමින් හැඳින්වූ  මිස්සක පව්ව මත වැඩ සිටි මිහිඳු හිමියන් ඇතුළු  දූත පිරිස අමතා සිටියහ.මෙය සවන් වැකුණු රජු වහා සිය  දඩයම නවතා  තොරතුරු විමසූ කල්හි  මිහිඳු හිමි මෙසේ වදාරා සිටි සේක.
 
                             
                          "සමණාමයං මහාරාජ
                            ධම්මරාජස්‌ස සාවකා
                            තමේව අනුකම්පාය
                            ජම්බුදීපා ඉධාගතා"
 
 
 
රජතුමාගේ තුටු පඬුරු ගෙන අශෝක රජතුමා වෙත ගිය අරිට්ඨ මහ ඇමතියන් මගින් දහම් පණිවුඩය රැගෙන  පිරිසක් ලංකද්වීපයට පැමිණෙන බව කලින් දන්වා  තිබූ හෙයින් මේ දූත පිරිස පිළිබඳ සෑහෙන අවබෝධයක් දෙවනපෑතිස්ස රජතුමාට ලැබී තිබුණි. මිහිඳු හිමියන් රජතුමා ඇමතීමත් සමග ඉක්මන් සුහදතාවක් ගොඩනගා ගැනීමට ඒ තොරතුරු හේතු වූවාට සැක නැත. ඇතිවූ සුහද සාකච්ඡාවෙන් අනතුරුව ධර්මය වටහා ගැනීමට රජතුමාට ශක්තියක් ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා අඹ ගස් සහ ඥාතීන් සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්ණ මාලාව ද ඉතා වැදගත්ය. 
 
 
මේ ආකාරයට පෑතිස් රජුන් ධර්මාවබෝධය සඳහා සුදුසු තත්වයක සිටින බව වටහා ගත් මිහිඳු හිමියන් සැබවින්ම භෞතික වශයෙන් රටක්‌ දියුණු කිරීමට පළමුව රජු ඇතුළු පිරිස ආධ්‍යාත්මික වශයෙන් හැඩ ගස්‌වා ගැනීම මූලික පියවර වන්නේ යැයි  සිතා  ඔවුන් තෙරුවන් සරණ ගන්වා පංචශීලයෙහි පිහිටුවූහ. "මිනිසා හදා රට ගොඩනඟමු" යන සංකල්පයේ ආරම්භය අප රට තුළ සමාජගත වන්නේ මේ සිද්ධියෙන් පසු විය හැකිය. මන්ද  ධර්ම රාජ්‍යක මූලික අත්තිවාරම වන්නේ  පංචශීලය වන බැවිනි. බුදුදහම අවිහිංසාවත් ප්‍රතිපදාවකි. එමගින් හිංසාව එකහෙලා ප්‍රතික්ෂේප කරයි. මිහිඳු මාහිමි දෙවනපෑතිස්‌ රජුට එය මනා සේ ඉඳුරාම දේශනා කළ සේක.  ඒ,
 
 
      "මහරජ, ඔබ මේ වනයේ අයිතිකරු නොවේ. භාරකරු පමණි"
යනුවෙනි.  මිනිසාට පමණක්‌ නොව සතා සිවුපාවටත් සොබාදහමටත් නිදහසේ ජීවත් වීමේ සම අයිතියක්‌ ඇති බව මින් ගම්‍යමාන  වේ. 
 
 
 
මහින්දාගමනයට පෙර ලංකාවේ ජනයා අතර ඉතා දුශ්ශීල, පවිටු චර්යා කොතෙකුත් පැවත ඇත.  සංස්කෘතිය සභ්‍යත්වය ආදී  කිසිවකට පිළිගැනීමක් නොතිබිණ.. හොඳ නරක චර්යා ධර්ම ආදිය සමාජයේ පැවත නැත.  මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පා තැබූ මොහොතේම ලාංකිකයාට ලබාදුන් අවවාදය මනුෂ්‍යයා  කුරිරු  ප්‍රාණඝාතයෙන් මුදා ගත යුතු බවයි. එය විටෙක අහස පොලොව පවා නුහුලයි. පසුගිය කාලයේ නේපාලයේ ලක්ෂ ගණනක සත්ත්ව බිලි පූජා පවත්වා ඒ කාලවකවානුව තුළදීම දරුණු භූමිකම්පාවක් වීම මෙයට කදිම උදාහරණයකි. එනිසා එය කොතෙක්‌ දුරට අප රට තුල සාර්ථක වී ඇත්දැයි තම හෘද සාක්ෂියයෙන් විමසිය යුතුය.
 
 
මිහිඳු මහරහතන් වහන්සේ එදා මේ සිරිලකට වැඩමවන අවස්ථාව වන විට මෙරට විවිධ ආගමික මතවාද විශ්වාස කළ පිරිසක් විසූ බවත් යහපත අයහපත පිළිබඳ පැහැදිලි දර්ශනයක් ඒ කිසිම දහමකින් පෙන්වාදී නොතිබුණු බවත් සිතා ගැනීමට තරම් ඒ ඒ ආගම් ගැන විමසන විට පෙනේ. එසේ වී නම් මුල දී පෙන්වා දුන් පරිදි රජතුමා ඇතුළු රාජකීය පිරිස නැකත් ක්‍රීඩාවල නොයෙදෙනු ඇත.  මෙකී තත්වයෙන් සමස්ත ලක්වාසීන් මුදවා සුචරිතවත් දැහැමි සමාජයක් ලංකාව තුළ නිර්මාණය කිරීමේ පළමු පියවර මෙම  පොසොන් පොහෝ  දින සිදු වූ මහින්දාගමනයත් සමඟ සිදුව ඇත.
 
 
 
කෙසේ වුවද පෑතිස් නිරිඳුන්ගේ උසස් ඥාන ශක්තිය ගැන පැහැදුනු මිහිඳු මාහිමියෝ  පිරිස පංචශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය  දේශනා කළ සේක. මෙය තවත් වැදගත්කමකින් යුක්තය. එනම්,  චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිදු හිමියන් විසින් ප්‍රථම වරට දේශනා කරන ලද බණ දේශනාව ද වීමයි. ඉන් අවසානයේදී මෙයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය ද මිහිඳු හිමියන් විසින්ම  දේශනා කළ සේක. චූල්ල හත්ථි පදෝපම සූත්‍රය මගින් විස්තර වන්නේ  අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධ භාවයත්, උන් වහන්සේ දේශනා කළ ධර්මයෙහි ඇති සත්‍ය භාවයත්, සංඝයා වහන්සේලා සතු අප්‍රමාණ ගුණ මහිමයත් හා ත්‍රිවිධ රත්නයේම ඇති අති ශ්‍රේෂ්ඨත්වයත් යනාදී කරුණුය.
 
 
ප්‍රථමයෙන් මෙරට මිස්සක පව්වට වැඩම කළ මිහිඳු හිමියන් ඉන් පසු දින අනුරාධපුරයට වැඩම කොට රජගෙදර විශේෂ මණ්ඩපයක සිටි බිසෝවරුන් ඇතුලු 500ක් කාන්තාවන් පිරිසකට “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත” යන ධර්ම දේශනා කළහ. ඉන් අවසන “අනුලා” දේවිය ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් වී අනාගාමී විය. ඉන් දෙවන දිනයේදී රජුගේ ඇත් හලේදී රට වැසියා වෙනුවෙන් “දේව දූත” සූත්‍රය ද දේශනා කළහ. එහිදී 1000ක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් අනතුරුව රාජ උයනේදී “බාල පණ්ඩිත” සූත්‍රය දේශනා කිරීමෙන් තවත් කාන්තාවන් දහසක් සෝවාන් විය. මේ ආකාරයට අවසානය වන විට 2500කට අධික පිරිසක් මිහිඳු මාහිමියන්ගේ ධර්ම දේශනාවන් මත පිහිටා මාර්ගඵල ලබා ගැනීමට සමත් විය.
 
 
තෙවන දිනයේ දී මිහිදු හිමියන් රජමාළිගයෙන් දන් වළඳා “නන්දන” වනයෙහි වැඩ සිට ''ආසීවසෝපම සූත්‍රය''ද, හතර වන දිනයේදී ''අනමතග්ගිය සංයුක්තිය'' ද දේශනා කළ අතර ඉන් අනතුරුව 1000ක් දෙනා ධර්මාවබෝධය ලැබීය. පස්වන දිනයේදී දේශනා කරන ලද්දේ  ''ධම්ම චක්ක පවත්තන සූත්‍රය'' යි.  මෙලෙස  දින හතක් තුළදී  8500කට අධික ශ්‍රාවක පිරිසක්  මාර්ගඵල අවබෝධය ලැබීය. මෙසේ මිහිදු හිමියන්ගේ ලංකා ගමනය නිසා අනුරාධපුර මහා විහාරය ඇතිවිය. තවද පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ සුවිශේෂීවු සිදු වීම් කිහිපයකි.
 
 
ඉන් එකක් නම් අප මහ ලොව්තුරා බුදුන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන  විට  ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීමද, ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදු විය.
 
 
මේ ආකාරයට මිහිඳු හිමියන් ඇතුළු ධර්ම දූත පිරිසගේ ලංකාගමනයත් සමඟ සිදු වූ ශ්‍රී සම්බුද්ධ ශාසනය මේ පුන්‍ය භූමියෙහි ස්ථාපනය කරමින් සිදු කළ මහා සමාජ පරිවර්තනය දෙස ගැඹුරින් විමසා  බලනවිට පොසොන් පුන් පොහෝ දිනය ලාංකික බෞද්ධ ජනයාට වෙසක් පොහොය දිනයට පමණක් දෙවැනි වන ශ්‍රේෂ්ඨ අති උතුම් දිනයක් වශයෙන් සැලකිය හැකිය. එදා දෙවනපෑතිස් රජතුමා බුදුදහම වැලඳ ගැනීමේ සිට මේ රටේ බලයට පත්වන සැම පාලකයෙකුම බෞද්ධයෙකු විය යුතුය යන ස්ථීර වූ සමාජ පිළිගැනීම අඛණ්ඩ මතයක් විය. මේ නිසා මෙරට පාලනය බලහත්කාරයෙන් ලබා ගත් එළාර රජතුමාටත් ධාතුසේන රජතුමාට පෙර රට අයත්කොට ගත් වෙනත් පාලකයන්ටත් බෞද්ධ සම්ප්‍රදාය අනුව පාලනය කරන්නට සිදු විණි. එපමණක් නොව රාජ්‍ය ආගමද බුද්ධාගම බවට පත්වීමට මේ කරුණූ හේතු වූ බව පෙනේ.මෙලෙස  සම්බුද්ධ ශාසනයේ මහා විප්ලවයක් මගින් මුළු මහත් ශ්‍රී ලංකා භූමියම බෞද්ධ රාජ්‍යයක් බවට පත්කළ එකී ජාතික, ආගමික විප්ලවයේ දේශීය පෙරගමන්කරු වූ තිස්ස රජුට “දේවානම්ප්‍රිය” නම් වූ  ගෞරව නාමය පිරිනැමීමට ද ධර්මාශෝක රජු කටයුතු කර ඇත.
 
 
මිහිඳු මා හිමියන් එදා ඉදිරිපත් කළ ධර්මය මෙරටේ දී පැවිදි වූ භික්ෂූන් වහන්සේලා රට තුළ ව්‍යාප්ත කළහ. උන්වහන්සේලා රටේ පාලකයාගේ සිට මුළු මහත් ජනතාවගේ ම අනුශාසකවරුන් වූහ. මේ නිසා පංචශීලය මැනවින් ආරක්ෂා කරන සැදැහැවත් සමාජයක් ගොඩනැගීමට පහසු විය. බුදුරදුන් පෙන්වා දුන් ධර්ම නීතියත්,  ඒ අනුව යමින් බෞද්ධ රජවරුන් ක්‍රියාත්මක කළ රාජ්‍ය නීතියක් එකට බැඳී ක්‍රියාත්මක කිරීමත් නිසා සාරධර්මයන්ගෙන් සපිරුණු සමාජයක් බිහි විය. එවකට මෞර්ය රාජ්‍යයේ  හිනිපෙත්තට නැග තිබූ මුළු ශිෂ්ටාචාරයම ද මහින්දාගමනයත් සමඟ ලක්දිවට දායාද වශයෙන් ලැබිණි.  අධ්‍යාපනය, සාහිත්‍යය , ගෘහ නිර්මාණ ශිල්පය, කෘෂිකර්මාන්තය පමණක් නොව සාරධර්මයන්ගෙන් සපිරුණු සත්ගුණවත් පැවැත්ම ආදී සෑම අංශයකම ගුණාත්මක අභිවෘද්ධියක් ඇති කිරීමට පොසොන් පෝදා ලංකාවට වැඩම කළ මිහිඳු මාහිමිපාණන්ට හැකිවූ බව මේ අනුව පැහැදිලිය.
 
 
 
නමුත් වර්තමානය අතිශයින් දුක්‌මුසුය. එකී යහගුණයෙන් පිරි සමාජ ක්‍රමය මේ වන විට වලපල්ලටම තල්ලු වී දෙගුරුන් ගුරුන් නොහඳුනන කෲර සමාජයක් බවට වත්මන් සමාජය පත්ව ඇත. ස්වබාදහම් මෑණියන් පවා දැන් අපට එරෙහිව නැගී සිටිනු පෙනෙයි. මන්ද ඇයටද මෙම සිදු වන සමාජ පරිහානිය ඉවසිය නොහැක්කේය. මිහිමව් මත සිදුවන පරිසර හානිය, කුරිරු මිනිස් හා සත්ව ඝාතන විලාශය, උතුම් වූ බුදු දහමට සිදු වන විනාශය ඉවසිය දැරිය නොහැකි තරම්ය. ඇතැම් භික්ෂූන් පවා පෙනි පෙනී බුදු දහම විකෘති කරන බව පෙනෙයි. අනෙකක් නොව උතුම් රහත් බවට පත්වීම උදෙසා සහතිකපත් ලබාදීමට තරම් අගතිකාමී කාලයක් බුදු දහමට උදා වී ඇත. ධර්මානුකූල ප්‍රතිපදාවකට දරුවා හැඩගස්වන දහම් පාසල පවා දැන් අක්‍රමවත් වී ඇත. එයද විටෙක වාණිජත්වය පදනම් කරගනියි. අනෙක් අතින් විභාග මානසිකත්වයක් ඇති කරමින් දහම් පාසල් තුළද තරඟකාරීත්වයක් ඇති කරමින් දරුවන්ට එකෙකු පරයා නැගී සිටිමට හුරු කරවයි. බොහෝ දහම් පාසල් දරුවන් නොමැතිව වැසී යන තත්වයකට පත්ව ඇත. මෙහිදී පැරණි කියමනක් සිහිපත් කළ යුතුය. එනම් එක් දහම් පාසලක් වැසෙන විට හිර ගෙවල් දහයකට දොරගුළු විවෘත වීමට ඉඩ  පවතින බවයි. 
 
 
පෙරදා අප රට සාරධර්ම පිරුණු තැනකි. යුග ගණනාවක්‌ යනතුරු එසේ විය. ඉතිහාසය එය ප්‍රත්‍යක්ෂ කරවයි. හොඳ ලොවක්‌ තනා ගැනීමට නම් අදාළ පාලන ආයතන, ගුරු දෙගුරු , භික්ෂූන්, වැඩිහිටියන්, දරුවන් ආදී සියල්ලෝම ධර්මානුකූල ප්‍රතිපදාවකට පිළිපන්  විය යුතුය.  නීතිය බලගැන්විය යුතුය. දහම් පාසල් පෝෂණය කළ යුතුය. මෙය විටෙක උඩුගම්බලා යාමක් සේ  පෙනෙයි. නමුත් මෙම උතුම් පොසොන් පෝ දා සමාජයට දිය හැකි පණිවිඩය වන්නේද එයයි.
 
 
                        ''ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී''
                    -ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්ෂා කෙරේ- 



 
 
 
 
 
මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න
ජන සන්නිවේදන අධ්‍යනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.