• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නීතිය ගැන දැනුම්වත් වෙමු

 
lawනීතියේ සමාජ අවශ්‍යතාවය පිළිබඳ  වූ විවාදය ග්‍රීක යුගයේ සිටම පැවත එන්නකි. මේ අනුව ප්ලේටෝ විසින් පවසනු ලබන පරමාදර්ශී පාලකයාගේ රාජ්‍යපාලනය’ ප්‍රතික්ෂේප කරන ඇරිස්ටෝටල් පවසනුයේ කෙතරම් පරමාදර්ශී වූවද තනි පුද්ගලයකුගේ පාලනයට වඩා නීතියේ පාලනය වඩාත් සුදුසු වේ’ යනුවෙනි.  මානව සමාජය ශිෂ්ට සම්පන්න කිරීමෙහිලා වඩාත්ම සුදුසු උපකරණය වන්නේ නීතිය යි.


මිනිස් ශිෂ්ටාචාරය ශිෂ්ට සම්පන්න කිරීමෙහිලා නීතිය උපකාරී වූවා මෙන්ම ආගම, සදාචාරය, සංස්කෘතිය, චර්යාධර්ම වැනි චර්යා විද්‍යාත්මක සාධකද සෘජු ලෙසම මානව සමාජයේ යහපරිවර්තනයකට උපකාරී විය. මෙම ප්‍රාථමික ශිෂ්ටකරණීය උපකරණ වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ජනසමාජයේ ඇතැම් චර්යාවන් හික්මවීමකට ලක් වූවද ද්විතීක වශයෙන් නීතිය අදාල කරගත යුතු වූයේ අදාළ චර්යාත්මක හා සංස්කෘතිකමය උපකරණ මඟින් කළ හැකි උපරිම සීමාවෙන් ඔබ්බට මානව ශිෂ්ටාචාරය ශිෂ්ට සම්පන්න කිරීමට කිසියම් බලාත්මක උපකරණයක් උවමනා වූ බැවිණි. මේ අනුවිසංවිධානය වූ මිනිස් සමාජයක් තුළ මිනිසුන්ගේ බාහිර පැවැත්ම පාලනය කිරීම සඳහා අධීකාරී බලය පදනම් කොට ගනිමින්  රාජ්‍යය මගින් පනවනු ලබන විධානයන් නීති නම් වේ. යනුවෙන් ඉතා සරල ලෙස නීතියට අර්ථකථනයක් ලබාදිය හැක.


නීතිය මානව සමාජය ශිෂ්ට සම්පන්න කිරීමෙහිලා දැක්වූ දායකත්වය විග්‍රහ කළ හැකි  සුදුසුත ම උදාහරණයන් වන්නේ විශිෂ්ට ගණයේ නීති පද්ධතීන් පදනම් කර ගනිමින් බිහිවුණු අතීත ශිෂ්ටාචාරයන්ය. ඒ අනුව හමුරාබි නීති සංග්‍රහය පදනම් කරගත් මෙසපොතේමියානු ශිෂ්ටාචාරය හා රෝම නීතිය පදනම් කරගනු ලැබූ රෝම ශිෂ්ටාචාරයල නීතිය විසින් මානවයා ශිෂ්ටාචාර ගත කරනු ලැබූ බවට වන වැදගත්ම සාක්ෂි වේ.



1නීතිය යනු කුමක්ද?


නීතිය යනු කුමක් ද? යන්නට ලබාදිය හැකි නිශ්චිත පිළිතුරක් නොමැත. එබැවින් නීතිය යන්නට ලබාදිය හැකි අර්ථ නිරූපණ රාශියකි. එය අතීතයේ සිට අද දක්වා කාලාන්තරයක් තිස්සේ නීතිවේදීන් හට හමුවූ ප්‍රධානතම ගැටලු ව වේ. නීතිය යන්නට දියහැකි අර්ථ කථනයන්ගේ ප්‍රමාණය ලෝකයේ ජීවත් වූ නීති විද්‍යාඥයන්ගේ ගණනට සමාන යැයි කිව හැක.  නීතිය මිනිසාගේ දෛනික ජීවිතයේ සුමට යහපැවැත්මට අත්‍යවශ්‍ය අංගයකි. මේ අනුව නීතිය යනු කුමක්ද ? යන ගැටලුවට විවධ ආකාරයේ දෘෂ්ඨිකෝණයන්ගෙන් විවිධ අර්ථනිරූපණයන් ඉදිරිපත් වී ඇත.



 “A body of rules of conduct of binding legal force and effect, prescribed, recognize, and enforced by controlling authority.“    මෙහි අර්ථය වන්නේ නීතිය යනු පාලනාධිකාරිය මඟින් බලාත්මක කරනු ලබන නියමිත පිළිගත් නෛතික බලයකින් සබැඳුනු රීති පද්ධතියකි’ යන්නයි. නීතිය සෑම තැනම පවතින්නකි. එය අපගේ සියලු කටයුතු පාලනය කරනු ලබයි. අප මිලදීගන්නා හා විකුණන නිෂ්පාදනල අපගේ සම්බන්දතා එමෙන්ම එය අප ජීවත් වන භෞතීය පරිසරය හැඩගැස්වීමෙහිලා ද උපකාරී වේ.  ඩබ්.එච් ඕඩ්න් (W.H Auden) පවසන පරිදි නීතිය යනු නීතියයි’ (The Law is The Law).  මාක්ස්වාදීන් පවසන පරිදිිනීතිය යනු ධනපති පංතිය විසින් නිර්ධන පංතිය මර්ධනය කිරීමට භාවිත කරන්නාවූ පංති උපකරණයකි. තවත් අර්ථකථනයක් වන්නේ නීතිය යනු නීතිවේදීන්, විනිසුරුවන් හා ව්‍යවස්ථාදායකය මඟින් සිදුකරන කාර්යයන්’ යන්නයි. තවද නීතිය යනු මූලික සදාචාර මූලධර්මයන් තුළින් ගොඩනැඟුණු රීති පද්ධතියක්‘ යන්න තවත් මතයකිග ශ්‍රීමත් ජොන් සල්මන්ඩ් නම් නීතිවේදියා පවසන පරිදි නීතිය  යුක්තියේ පරිපාලනය උදෙසා රාජ්‍යය විසින් ස්ථාපිත කරන ලද හා හඳුනාගන්නා ලද මූලධර්ම වල එකතුව නීතිය වේ”   බ්ලැක්ස්ටෝන්  පැවසුවේ  සිවිල් සමාජය පාලන කිරීම සඳහා රාජ්‍යය සතු උත්තරීතර බලය මඟින් යහපත් දේ සිදු කිරීමටත් අයහපත් දේ සිදු නොකිරීමටත් දෙනු ලබන අණ නීතිය නම් වේ”   යනුවෙනි. මේ ආකාරයට නීතිය යනු කුමක්ද? යන ගැටලු ව කෙරෙහි ඉදිරිපත් වන පිළිතුරු රාශියකි.


මෙම කුමන අර්ථකථනයකදී වූවද නීතිය සමාජය තුළ සංස්ථාපනය වීමේ අවශ්‍යතාව පිළිබඳ ව සෘජුව හෝ වක්‍රව සාකච්ඡා කරනු ලබයි. බොහෝ අර්ථ නිරූපණ තුළින් දැක්වෙනුයේ නීතිය යනු පොදු සමාජ යහපැවැත්ම උදෙසා සැකසුණු ප්‍රපංචයක් වන බවයි. එහිදී වඩාත් ඉස්මතු වන්නේ  මිනිසාගේ බාහිර සමාජ දිවිපැවැත්ම ශිෂ්ටසම්පන්න කිරීම උදෙසා බිහිවුණු රීති සමුදායක් වේ යන්නයි.


මේ අනුව නීතිය යනු පොදු සමාජ සහපත උදෙසා මෙන්න මානව සමාජය ශිෂ්ට සම්පන්න කිරීම උදෙසාල යුක්තිය හා සාධාරණත්වය ඉටුකිරීම උදෙසා  සමාජයේ ගැටෙන අයිතිවාසිකම් තුලනය කිරීම උදෙසා සමාජය තුළින්ම බිහිවූ කාර්යක්ෂම උපකරණයක් ලෙස සැලකිය හැක.


2 යුක්තිය හා සාධාරණත්වය උදෙසා නීතිය


ප්ලේටෝ පවසන පරිදි සදාචාරාත්මක ලෝකයේ අග්‍ර ඵලය යුක්තිය යිග මිනිසා යනු එම යුක්ති සහගත සමාජ ක්‍රමයේ පිළිබිඹුවකි.’  මේ අනුව යුක්තිය හා සාධාරණත්වය යනු නීතිය තුළ හඳුනාගත හැකි ප්‍රභල සංකල්ප ද්විත්වයකි. මෙම සංකල්පයන්ට ලබාදිය හැකි අර්ථකථනයන් නිශ්චිත නොවන අතර ඒවා පුද්ගලානුබද්ධ වේ. අයෙක් යුක්තිය යනු නඩුවකදී අගතියට පත් පාර්ශවයන්ට සාධාරණ තීන්දුවක් ලබාදීම වේ’ යනුවෙන් අර්ථ ගැනිවිය හැකි අතර තවකෙක් එය සමස්ත සමාජයට ම පොදු ආර්ථික, දේශපාලන සාධාරණත්වය ලෙස අර්ථ ගැන්වීමට ද හැක. ක්‍රිස් කෝක් (Chris Cooke)   පවසන පරිදි යුක්තිය යනු පුද්ගලයන් හට රාජ්‍ය තුළින් හිමිවිය යුතු නිසි දේ නිසි පරිදි හිමි වීමයි. ‘(the basic concept of social justice is that people must receive from the state their due)‍ මෙම සමාජ වගකීම සමාජයේ වෙසෙන තනිපුද්ගලයන් හා ඔවුන් එකිනෙකා අතර වන වගකීම් සමුදාය තුළින් ගොඩනැ‍‍‍ඟෙන්නකි.  ජෝන් රෝල්ස් :1958 පවසන පරිදි යහපත් සමාජයක පවත්නා සියලු ම දර්ශන සමඟ යුක්තිය ව්‍යාකූල නොවේ’(‘Justice is not to be confused with an all-inclusive vision of a good society’ )11    මෙම අදහස තුළින් රෝල්ස් පැවසීමට උත්සුක වූයේ යහපත් මානව සමාජයක් තුළ කිසිඳු විටෙක යුක්තිය හානියට පත් නොවන බවයි. මේ අනුව යුක්තිය සුරක්ෂිත යහපත් මානව සමාජයක් ගොඩනැංවීමට මූලික වශයෙන් බලපානු ලබන සාධකය නම් අදාළ සමාජය තුළ පවත්නා වූ නීතිය යි.


සාධාරණත්වය යන සංකල්පය ද යුක්තියට සමාන්තර අර්ථයක් අන්තර්ගත වූවකි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මඟින් සැකසූ ශබ්දකෝෂයේ  එහි අරුත දැක්වෙන්නේ සාධාරණත්වය යනු යුක්ති සහගත හෝ නිවැරදි ආකාරයට හෝ සමානාත්මතාවයෙන් යුතුව හෝ පුද්ගලයන් හට සලකනු ලබන ස්වභාවය’ යනුවෙනි. (the quality of treating people equally or in a way that is right or reasonable)     ක්‍රිස් කෝක් (Chris Cooke) පවසන පරිදි සාධාරණත්වය යනු යුක්තිය යන සංකල්පයට වෙනස් වූ ස්වාධීන සංකල්පයකි. (unique and distinct from justice)  කෙසේ නමුත් යුක්තිය හා සාධාරණත්වය යනු එකිනෙකට යාබද්ධ නොවූත් ප්‍රතිබද්ධ නොවූත් සංකල්පයන් ද්විත්වයක් ලෙස සැලකිය හැක. මෙම සංකල්ප යහපත් මානව සමාජයක පැවැත්මට අත්‍යවශ්‍යය වේ.


යුක්තිය හා සාධාරණත්වය සමාජය තුළ සංස්ථාපනය වීමට නම් අනිවාර්යයෙන් ම නීතියේ යහපැවැත්ම තහවුරු විය යුතුය. නීතියක් නොමැති සමාජයක් තුළ යුක්තියක් හෝ සාධාරණත්වයක් බලාපොරොත්තු විය නොහැක. මන්දයත් නීතිය නොමැතිවීම සමාජය අස්ථාවර (Anarchy)  කිරීමට හේතු සාධක වේ. අරාජික රාජ්‍යයක් තුළ යුක්තියක් හෝ සාධාරණත්වයක් බලාපොරොත්තු විය නොහැක. ඒ අනුව නීතිය තුළ අවශෝෂිත යුක්තිය හා සාධාරණත්වය යන සංකල්පයන් සිවිල් සමාජයක යහපැවැත්ම තහවුරු කිරීමට අනිවාර්ය අංගයන් ය. ඇල්ෆ්‍රඩ් ඩෙනින්ංග් පවසන්නේ නීතිය යන්න නිවැරදි හා යුක්තිසහගත වන්නේ නම් මිනිසා නීතියට ගරු කරයි. නමුත් නීතිය අයුක්ති සහගත වන්නේ නම් ඔවුන් එසේ සිදු නොකරයි’  යනුවෙනි.


යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ නීතියේ මූලධර්මයන් ප්‍රායෝගික තලයට රැගෙන ආ සුවිශ්ෂී නඩු විභාගයක් ලෙස (එප්පාපවල පොස්පෙට් නිධිය’ පිළිබඳ නඩුව, බුලන්කුලම එදිරිව, කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය ) පෙන්වාදිය හැක. මෙහිදී ඉතා විශිෂ්ට ලෙස නීතිය අර්ථ නිරූපණය කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මහාවංශයේ සඳහන් අතීත සිද්ධීන් පවා විග්‍රහ කරමින් සිය අවසන් තීන්දුව ලබා‍ දේ. මෙම නඩු තීන්දුව ‍‍ඓතිහාසික වන්නේ පවතින සාමාන්‍ය නීතී අර්ථකථනයන්ගෙන් ඔබ්බට ගොස් යුක්තිය හා සාධාරණත්වයේ මූලධර්ම සුරක්ෂිත කිරීම සඳහා නිර්මාණශීලී ලෙස කටයුතු කරනු ලැබූ අවස්ථාවක් ලෙසය.


3 නීතිය අදාළ කර ගැනීම තුළින් ශිෂ්ටසම්පන්න සමාජයක් බිහිකර ගැනීමට මිනිසා තුළ ඇති කැමැත්ත


ගැටුම් වලින් ගහණ වූ අතීත ප්‍රකෘති සමාජයෙන් මිදීමට මිනිසාට තිබූ සැබෑ අභිලාෂය හේතුවෙන් ජන සමාජය තුළ ඇතිවූ පොදු සම්මුතියක’ ප්‍රතිඵලයක් වශයෙන් සමාජ යහපැවැත්ම උදෙසා මිනිසා විසින් නීතිය බිහි කරගත් බව සමාජ සම්මුතිවාදීන්ගේ මතයයි. සමාජ සම්මුතිවාදයේ ආරම්භක කථිකයකු වන තෝමස් හෝබ්ස් විසින් සිය Leviathan    නම් කෘතියෙන් දක්වනුයේ ආත්මාර්ථකාමී මෘග ගතිපැවතුම් වලින් යුක්ත ගැටුම් වලින් ගහණ ප්‍රකෘති සමාජයෙන් මිදීමට පෞද්ගලික ආරක්ෂාව හා අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීමට පොදු සම්මුතියකට මිනිසා එළඹුණු බව’ යි.   හොබ්ස්ට අමතරව ජෝන් ලොක් විසින් සිය  Two Treatises of the Government නම් කෘතිය තුළින් ද සමාජ සම්මුතිය පිළිබඳ විග්‍රහ කරයිගජීන් ජැක්වින් රූසෝ විසින් සිය Social Contract නම් ග්‍රන්ථයේ දක්වනුයේ පොදු කැමැත්ත’(General Will)   නම් සිද්ධාන්තය මත පොදු සමාජ යහපත උදෙසා මිනිසුන් විසින් සම්මුතියකට එළඹුණු බවයි. මේ අනුව යහපත් සමාජ ජීවිතයක් ගතකිරීම උදෙසා සමාජ සම්මුතියක් හරහා මිනිසා විසින් නීතිය නිර්මාණය කරගත් බව නීති විද්‍යාව (Jurisprudence) තුළ මෙන්න දේශපාලන විද්‍යාව තුළ ද පිළිගන්නා වූ කරුණකිග මනෝ විද්‍යාඥ සිග්මන් ෆ්‍රොයිඩ් පවසන්නේ මානවයා යනු ස්වභාවයෙන්ම මිත්‍රශීලී නොවන ආත්මාරක්ෂාව වෙනුවෙන් පහරදීමට සූදානම් සත්ත්ව කොට්ඨාසයකි. ඔවුන්ගේ උරුමය වන්නේ කෝපාන්විත අවස්ථාවකදී ශක්තිය යෙදවීමයි’ යනුවෙනි.  මේ අනුව මිනිසා සතු වූ මෙම කලහකාරී ගතිස්වභාවය පාලනය කොට බාහිර සමාජයට එම හැසිරීම් තුළින් සිදුවන හානිය අවම කිරීම සඳහා මිනිසා ශිෂ්ටාචාර ගත කිරීමේ අරමුණින් නීතිය බිහිවූ බව උපක්ලපනය කළ හැක.


දීර්ඝකාලීන සමාජ පරිණාමයක ප්‍රතිඵලයක් වශයෙන් මිනිසා ශිෂ්ටාචාරගත වීමේදී එම ශිෂ්ටාචාර වර්ධනය ට මූලික වුණු සමාජ, ආර්ථික හා වාණිජමය පද්ධතීන් හි අන්තර් සබඳතා පාලනයට ද නීතීන් හා රෙගුලාසි භාවිත විය.  එනයින් වඩා යහපත් වූ සමාජ ජීවිතයක් නිර්මාණය කරගැනීම උදෙසා එනම් ශිෂ්ටාචාරගතවීම උදෙසා  මිනිසා විසින් ම නීතිය බිහිකරගනු ලැබුණි යැයි පැවසීම සාවද්‍යය නොවේ. මේ අනුව නීතිය යනු සමාජය ශිෂ්ටසම්පන්න කිරීමෙහිලා මිනිසා හට පැවතුණු සමාජ අභිලාෂයන්හි පිළිබිඹුවක් (Reflect the will of the society)  ලෙස හැඳින්විය හැක.


4 මානව සමාජය ශිෂ්ටාචාරගත කිරීම සඳහා වන නීතියේ කෘත්‍යය.


නීතිය යනු සමාජය තුළ මානව අවශ්‍යතාවයන් පිළිබිඹු කරන්නාවූ කැඩපතකි. සමාජය තුළ එකිනෙක ගැටෙන මානව අභිලාශයන් තුලනය කරමින් සමාජ ස්ථාවරත්වය පවත්වාගැනීමට නීතියේ කාර්‍යභාරය වඩාත් වැදගත් වේ. ඒ අනුව සමාජය ශිෂ්ඨාචාරගත කිරීම උදෙසා නීතිය සතු කෘත්‍යයන් රාශියකි.



x මහජන ආරක්ෂාව තහවුරු කොට පවත්වාගෙන යාම : (Maintenance Public Oder & Safety)  මිනිසුන්ගේ බාහිර සමාජ හැසිරීම් තුළින් සමාජයට විය හැකි හානි වලක්වා ගනිමින් සමාජ ස්ථාවරත්වය තහවුරු කිරීම.



x තනිපුද්ගල අයිතීන් හා ස්වායත්තතාවය ආරක්ෂා කිරීම : (The Protection of Individual Rights & Liberty) -  - නීතියේ ආධිපත්‍යය යන සංකල්පය තුළ දැක්වෙන පරිදි සෑම පුරවැසියකුටම නීතිය ඉදිරියේ සමාන ඉඩප්‍රස්ථාව ලබාදීම තුළින් සමාජයේ තනිපුද්ගයකු සතු අයිතීන් සුරැකීම.


x දේශපාලනික අවකාශය සංවිධානය කිරීම හා පාලනය කිරීම: (The Organization & Control the Political Sphere) දේශපාලනික ජන සමාජයක මූලික දේශපාලනික කාර්යයන් සියල්ල නීතිය හා සමගාමී වේ.


x ආර්ථික කාර්‍යයන් පාලනය කිරීම : (The Regulation of Economic Activities)  - නීතිය මූලික වශයෙන් සමාජයක ආර්ථික කටයුතු සඳහා වන යහපරිසරය සකසනු ලබයි.


x මානව සබඳතා පාලනය කිරීම: (The Regulation of Human Relationships)- සමාජයක ජීවත් වන මිනිසුන් අතර ඇති අන්‍යෝන්‍ය සබඳතා බාහිර සමාජයේ පැවැත්මට හානි නොවන සේ පවත්වාගෙන යාම සඳහා වන පසුබිම සැකසීම.


x සමාජ සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම : (The Preservation of Moral Oder) - සමාජය ශිෂ්ඨ සම්පන්න කිරීම උදෙසා උපකාරී වන්නා වූ සම්ප්‍රදායන් ආරක්ෂා  කිරීම.


x අන්තර්ජාතික සබඳතා පාලනය කිරීම : (The Regulation of International Relations)  - රටක් විසින් තවත් රටක් හා පවත්වාගෙන යන්නා වූ සබඳතා සඳහා වන නෛතික පසුබිම සැකසීම. 


ඉහත සඳහන් කර ඇති කරුණු සියල්ල සලකා බැලීමේ දී පැහැදිලිව පෙනීයන්නේ නීතිය මිනිසාගේ සියලු ම සමාජ කටයුතු කෙරෙහි විධිමත් බලපෑමක් සිදුකරන බවය. සමාජීය සත්ත්වයකු වන මිනිසා විසින් සිදු කරන සියලු ම කෘත්‍යයන් බාහිර සමාජය වෙතට සෘජුව ම බලපානු ලබයිගමේ අනුව සමාජයේ එක් එක් පුද්ගලයන්  අතර ඇතිවන්නා වූ අයිතීන් දිනගැනීම සඳහා වන ගැටීම් තුලනය කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක වේ’ යැයි පැවසිය හැක. සමාජවිද්‍යා නීති ගුරුකුලයේ සාමාජිකයන් වූ රෝස්කෝ පවුන්ඩ් වැනි නීතිවේදීන් පවසන්නේ මෙහිදී නීතිය ඉටුකරනු ලබනුයේ සමාජ ඉංජිනේරු කාර්යයක්’ (Social Engineering function)    වන බවයි.


5.සමාජය ශිෂ්ටසම්පන්න කිරීමට හා ගැටෙන සමාජ අයිතීන් තුලනය කිරීමට නීතියේ දායකත්වය.


මිනිසා නීතියට අවනත වන්නේ ඇයි? මෙම ගැටලුවට පිළිතුරු සැපයෙන දෘෂ්ඨිකෝණ ද්විත්වයකි. 


1.සදාචාරාත්මක නීති මතවාදය.
2.ප්‍රත්‍යක්ෂවාදී : යථාදෘෂ්ඨිවාදී නීති මතවාදය.


මින් පළමුවැන්නේ අර්ථය නම් මිනිසුන් විසින් නීතියට අවනත වන්නේ නීතියට පදනම් වී ඇති සමාජ නියමයන් ඛණ්ඩනය කිරීම තුළින් සිදුවන සමාජ අපහාසයන්ගෙන් ගැලවීම සඳහාය’ යන්නයි. දෙවැන්නේ අර්ථය වන්නනේ නීතිය ස්වාධිපතිගේ ආඥාවක් වන බැවින් එම නීතින් ඛණ්ඩනය කිරීම තුළින් විඳීමට සිදුවන දඬුවම් තුළින් මිදීම සඳහා’ වන බවත් ය. ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් ඩෙනින්ංග් පවසන්නේ මිනිසා නීතියට අවනත වන්නනේ එය සිදුකළ යුත්තක් යැයි ඔවුන් හොඳින්ම දන්නා බැවිණි’යනුවෙනි. .(They obey the Law because they know it is a thing they ought to do) 


කෙසේ වෙතත් නීතිය නිර්මාණය කිරීම තුළින් සමාජය බලාපොරොත්තු වූයේ පොදු සමාජ සම්ප්‍රදායන් තුළින් ඔබ්බට ගිය කර්තව්‍යයකි. එනම් සමාජ නියමයන් හා සම්ප්‍රදායන් තුළින් පාලනය කිරීමට හැකි විෂය පථයෙන් පාලනය කළ නොහැකි සමාජ පැතිකඩ පාලනය කිරීමට ය. උදාහරණයක් ලෙස මනුෂ්‍යය ඝාතනයක් සිදු කිරීම කිසිඳු විටෙක සමාජ නියමයන් තුළින් අනුමත නොකරන්නකි. කෙසේ වෙතත් සමාජයක් තුළ සිදුවන මනුෂ්‍යය ඝාතනයක් වැනි අපරාධයකට දඬුවම් දීමට සමාජයට හැකියාවක් නොමැති නමුත් නීතිය මඟින් තහනම් කරන ලද එවන් අපරාධයක් සිදුකරන්නකුට එරෙහිව දඬුවම් ලබාදීමට ඉඩප්‍රස්ථාව නීතිය තුළ ඇත. (උදා - දයානන්ද ලොකුගලප්පත්ති එදිරිවල රජය Bedford v, Bedford) මේ අනුව නීතිය පවතින්නේ සමාජ නියමයන්ට නොගැලපෙන පරිදි සිදුවන්නා වූ මානව හැසිරීම් පාලනය කිරීමට ය. ඒතුළින් මානව සමාජය වඩාත් ශිෂ්ඨ සම්පන්න කිරීම නීතිය තුළින් බලාපොරොත්තු වේ. සදාචාරාත්මක සමාජ නියමයන් සුරක්ෂිත කිරීමෙහිලා නීතියේ දායකත්වය ප්‍රභල වූවකි. සමාජ සම්ප්‍රදායන් ගේ හා නීතියේ අවසාන අරමුණ වන්නේ යහපත් ශිෂ්ඨ සම්පන්න සමාජයක් ගොඩනැංවීමයි. මේ අනුව ශිෂ්ඨ සම්පන්න සමාජයක් ගොංනැංවීමට නීතියේ දායකත්වය ඉතා වැදගත් වේ.


නීතිය මඟින් සමාජය ශිෂ්ඨ සම්පන්න කිරීම සිදු කරන තවත් එක් ආකාරයක් වන්නේ ගැටෙන සමාජ අයිතිවාසිකම් තුලනය කිරීමට කටයුතු කිරීමයි. එනම් එකිකනෙකට වෙනස් අයිතීන් බලාපොරොත්තු වන්නා වූ විවිධත්වයකින් යුතු ජන සමාජයකට යුක්තිය හා සාධාරණත්වය උපරිමයෙන් ඉටුවන පරිදි කටයුතු කිරීමයි. නීතිය මඟින් අයිතීන් හිමිකර දීම තුළින් අයිතීන් දිනාගැනීමට සමාජයේ එකිනෙකා අතර ඇති වන ගැටුම් පාලනයකට ලක්වේ. මේ සඳහා වන හොඳම උදාහරණය වන්නේ  1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිඡේදයයි.  මෙම පරිඡෙදයේ ලාංකික පුරවැසියකුට හිමිවිය යුතු මූලික අයිතීන් දක්වා ඇත. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති එම අයිතීන් විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මඟින් හෝ ඛණ්ඩනය වීමකදී ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ගොනු කිරීමට එම පරිඡේදයේම 17 ව්‍යවස්ථාව තුළින් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව තුළින් ඉඩකඩ සපයා ඇත.  මේ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ අයිතීන් තහවුරු කිරීම හා ඒවා අතර සිදුවන ගැටීම් තුලනය කිරීම මඟින් ජන සමාජය ශිෂ්ඨසම්පන්න කිරීමට නීතිය ප්‍රභල දායකත්වයක් සපයන බවයි. උදාහරණයක් ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීම සම්බණ්ධව මතු වූ මූලික අයිතිවාසිකම් ගැටළුව. මෙම සිද්ධිය හා ඊට අදාළ නඩුතීන්දුව සමාජයේ ගැටෙන අයිතිවාසිකම් තුලනය කිරීමට නීතිය මැදිහත් වූ ආකාරයට ‍වැදගත් නිදසුනකි. : (එච්.ටී මුන්ඩි එදිරවල මධ්‍යම පරිසර අධිකාරිය) 



‍ඉහත සාධක අනුව මානව සමාජය ශිෂ්ටාචාරගත කරලීමෙහි ලා වඩාත් සාර්ථකම උපකරණය නීති‍ය ලෙස අවිවාදිතව පිළිගත හැක. මන්දයත් ගැටෙන සමාජ අයිතීන් තුලනය කිරීමටත් සමාජ සම්ප්‍රදායන් තුලින් සමාජය වෙත සිදුකළ හැකි බලපෑම් සීමාවෙන් ඔබ්බට ගොස් කටයුතු කිරීමටත් නීතිය සතුව ඇති නිපුණතාවය මානව සමාජයේ ශිෂ්ටසම්පන්න භාවය ඇති කිරීමට හේතුවන බැවිණි.



කුසල් කාවින්ද අමරසිංහ
නීති පීඨය
3 වසර

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.