• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“පතිට පනහයි” ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය ජුනි 26 දා

darmasiri pathirjaශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ කලා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් උපහාර පිදීමේ උළෙලක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ ජාතික  චිත්‍රපට සංස්ථාව එක්ව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.



“පතිට පනහයි”  ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය යන මැයෙන් පවත්වනු ලබන මෙම උපහාර උළෙල ජුනි 26 වන දින සවස 07.00 ට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.


ශ්‍රී ලාංකීය සිනමාවේ උත්කර්ෂවත් යුගයක් වූ 70 දශකයේ කැපී පෙනන නිර්මාණ දායකත්වයක් ලබාදුන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මෙන්ම මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් වූ ධර්මසේන පතිරාජ මහතා ලංකා විශ්වවිද්‍යාලයේ ගෞරව සම්මාන උපධිධාරියෙක් වන අතර පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය පිළිබඳ පශ්චාද් උපාධිධාරියෙකි. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ සිනමා අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙක් වන ඔහු 1968 සිට 1978 දක්වා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සහ යාපනය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාර්යවරයෙක් ලෙස සේවය කර ඇත.


ඉන් අනතුරුව රුහුණු විශ්වවිද්‍යාලය, ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය යනාදියෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස ද සේවය කරන ලදී.


1974 අහස්ගව්ව චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් වෘත්තාන්ත චිත්‍රපටකරණයට අවතීර්ණ වූ ධර්මසේන පතිරාජ මහතා එයා දැන් ලොකු ළමයෙක්, පොන්මනී, බඹරු ඇවිත්, පාරදිගේ, සොල්දාදු උන්නැහෙ, වාසුලී, මතුයම් දවස, ස්වරූප සහ සක්කාරං යන වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලදී.


අදුරෙන් එළියට, වෙරළ, Putting the last first, Shelter for million families, දළ රළ පෙළ, පුනරාවර්තන, මාවතක් සොයනු පිණිස සහ A Road to sampur යන වාර්තා චිත්‍රපට ද කොරා සහ අන්ධයා, පුටු සහ කුරුල්ලෝ යන නාට්‍ය ද නිර්මාණය කරන ලද්දේ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා විසිනි.

පුංචි තිරයේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ටෙලි නාට්‍ය රැසක් ද ධර්මසේන පතිරාජ මහතා අතින් නිර්මාණය විය. ඒ අතර ගඟුලෙන් එගොඩට, මායා මන්දිර, ඇල්ල ළඟ වලව්ව, වන්නිහාමිලාගේ කතාව, සුදුබණ්ඩලාගේ කතාව, පුර සක්මන, කඩුල්ල, සුබ අනාගතයක්, නන්නාදුනන පුත්තු, දුර්ගාන්තය සහ කම්පිත විල් යන නාට්‍ය ප්‍රමුඛ තැනක් ගනී. 1988 පැවති උන්ඩා අභිනන්දන සම්මාන උළෙලේ දී  ඇල්ල ළඟ වලව්වට හොඳම ටෙලි නාට්‍යයට හිමි සම්මානය හිමි වූ අතර 1991 දී පැවති එම සම්මාන උළෙලේදී කඩුල්ල ටෙලි නාට්‍යයට ප්‍රතිභාත්මක ටෙලි නාට්‍යයට හිමි සම්මානය හිමි විය.


දේශීය වශයෙන් පමණක් නොව විදේශීය  වශයෙන් ද කීර්තියක් අත් කරගත් ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා ජාතික සහ අන්තර්තර්ජාතික මට්ටමේ චිත්‍රපට උළෙලවල් කිහිපයකම ජූරි සබිකයෙක් ලෙස ද කටයුතු කර තිබේ. ඒ අතර 1998 මෙල්බර්න් හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, 2003 පැවති 16 වන සිංගප්පූරු අන්තර්ජාතික චිත්‍රපට උළෙල, 15 වන කයිරෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙල (සභාපති) මෙන්ම 1998 පැවැති චිත්‍රපට විචාරක සම්මාන උළෙල සහ 2001 පැවැති රාජ්‍ය නාට්‍ය උළෙල ද  (සහාපති ) දැක්විය හැකිය.



ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද සතුරෝ කෙටි චිත්‍රපටය බිල්බාවෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපට 10 අතරට තේරුණු අතර 1972 දී චිත්‍රපට විචාරක සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. 1978 තිරගතවූ බඹරු ඇවිත් චිත්‍රපටය සඳහා හොඳම අධ්‍යක්ෂණයට හිමි ජනාධිපති සම්මානයත් 1981 තිරගත වූ සොල්දාදු උන්නැහෙ චිත්‍රපටයට හොඳම අධ්‍යක්ෂණයට සහ තිර රචනයට හිමි ජනාධිපති සම්මානයත් හිමිකර ගත්තේය.


ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය වෙනුවෙන් ජීවිතයට එක්වරක් පමණක් පිදෙන “ස්වර්ණ සිංහ” සම්මානයෙන් (Golden Lion) 2000 වසරේදී පිදුම් ලැබූ ඒ මහතා 16 වන සිංගප්පූරු අන්තර්ජාතික උළෙලේදී ද ඇගයීමට ලක්විය. 


සැලසිනේ රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ලෙස 2003 වර්ෂයේ කටයුතු කළ ධර්මසේන පතිරාජ මහතා රජයේ චිත්‍රපට අංශයේ උපදේශක අධ්‍යක්ෂ ලෙස ද ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ. මේ වන විට ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් තමා උගත් දැනුම නව පරපුරට දායාද කිරීමේ උදාරතර හැගීමෙන් ප්‍රසස්ත නව සිනමාකරුවන්  බිහිකරලීමෙහිලා පුරෝගාමී සේවයක යෙදි සිටී. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.