• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රස ගුණ පිරි නැවුම් එළකිරි

MissionMilk1L2017සත්ත්ව හා ශාකමය ආහාර අතරින් ශරීරයට අවශ්‍ය පෝෂක සපයන ආහාරයක් ලෙස කිරිවලට වැදගත් ස්ථානයක් හිමිවේ. 



ශරීරය වර්ධනයට හා පවත්වා ගැනීමට අවශ්‍ය බොහෝ පෝෂ්‍ය පදාර්ථ කිරිවල අඩංගු වේ. ක්ෂීරපායි වාර්ගිකයින් ජීවිතයේ මුල් අවධියේ සම්පූර්ණයෙන් ම යැපෙන්නේ කිරිවලිනි.


එසේම දියරමය ගතියෙන් යුක්ත නිසාත්, පහසුවෙන් ජීර්ණය හා අවශෝෂණය සිදුවන නිසාත් බාල, මහළු, රෝගී කාහටත් සුදුසු පෝෂ්‍යදායි ස්වභාවික පානයක් වශයෙන් කිරි සැලකිය හැකිය.


කිරි මෙන්ම කිරි වලින් නිෂ්පාදිත අනෙකුත් ආහාර ද පෝෂණය අතින් වැදගත් වන අතර, සමහර කිරි වර්ග නැවුම් කිරිවලට වඩා ජීර්ණය පහසු කරයි.


ශරීරයට අවශ්‍ය සියලූ ම පෝෂ්‍ය පදාර්ථයන් අඩංගු කිරි සම්පූර්ණ ආහාරයක් නැතහොත් සමබර ආහාරයක් ලෙස හඳුන්වයි.


නැවුම් එළකිරිවලට,


ආවේනික සුවඳක්, වර්ණයක් සහ රසයක් ඇත. මෙම වර්ණ ලැබී ඇත්තේ එහි දියවී ඇති ප්‍රෝටීන්, කැල්සියම් හා ලවන නිසාය. 


කිරි ආහාරයක් ලෙස වඩාත් ජනප‍්‍රිය වීමට හේතු ගණනාවකි


1. මවුකිරි දීමෙන් පසු වැඩෙන දරුවන් සඳහා ආදේශකයක් ලෙස දීමට හැකිවීම.


2. ළමුන්ගේ වර්ධනයට හා අමතර ශක්ති ජනනයට පෝෂ්‍යදායී ආහාරයක් වීම.


3. අතීතයේ සිට ගවයා ගෘහ ආශ‍්‍රිත සතෙකු ලෙස පාලනය වන නිසා එළකිරි පානයට මිනිසා බොහෝ කාලයක් පුරා හුරුව සිටීම, එහි රසය හා නැවුම්භාවය අගය කිරීම. 


4. නූතන තාක්ෂණය උපයෝගී කොට ගනිමින් එළකිරිවලින් නිෂ්පාදනය කරන විවිධ නිෂ්පාදන බිහිවීම.


5. කිරි නිෂ්පාදන සාපේක්ෂව වැඩි කාලයක් තබාගත හැකිවීම.
කිරිවල සංයුතිය


නීරෝගී එළදෙනකගෙන් සම්පූර්ණ කිරි දෙවීමකදී ( මුල්කිරි වලින් තොර) මේදය නොවන ඝන ද්‍රව්‍ය සියයට 8.3 කට අඩුවන සේ ද, මේදය සියයට 3.3ක ට වඩා අඩු නොවන සේ ද ලැබෙන ‘පයෝලස ස‍්‍රාවය’ කිරි ලෙස හඳුන්වයි.


කිරි යනු ජලය හා ඝන ද්‍රව්‍ය සම්මිශ‍්‍රණය වී සෑදුණු සංකීර්ණ මිශ‍්‍රණයකි. මෙහි කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන, ඛනිජලවන, ( ප‍්‍රධාන වශයෙන් කැලිසියම් හා පොස්පරස් ) විටමින් හා එන්සයිම ආදිය දිය වී පවතී. කාබෝහයිඩ්‍රේට් ලෙස ප‍්‍රධාන වශයෙන් ඇත්තේ ‘ලැක්ටෝස්’ ය. ප්‍රෝටීන ලෙස ‘කේසීන්’, ‘ඇල්බියුමින් ’ හා ‘ග්ලොබියුලින් ’ අඩංගු වේ.


ප්‍රෝටීන් අතරින් කේසීන් පහසුවෙන් ජීර්ණය වන අතර කිරි උණු කළ විට ඇල්බියුමින් හා ග්ලොබියුලින් කැටි ගැසීම සිදුවේ. ඒ සමඟ තෙල් කොටස් මිශ‍්‍ර වී කිරි මත පාවෙන ‘යොදය’ සාදයි.


මවුකිරි සහ එළකිරිවල සංසන්දනය

සංඝටකය             මවුකිරි    එළකිරි 
 
ජලය                  87.5       87.5
ප්‍රෝටීන              1.2          3.3
ලැක්ටෝස්          6.9          4.6
මේදය                3.8          3.7
කැල්සියම්          0.1          0.1


කිරි නිෂ්පාදනය හා එහි සංයුතිය සත්ත්ව විශේෂය අනුව, සත්ත්ව වර්ගය අනුව, කිරිමුරය හා කිරිමුරයේ අවස්ථාව අනුව, කිරි දොවන වේලාව හා කාලපරතරය අනුව, කිරිවල තත්ත්වය, දේශගුණික තත්ත්වය, දොවන පිළිවෙළ සහ කිරි දොවන්නා අනුව වෙනස් වේ. 


කැල්සියම් / පොස්පරස් අනුපාතයේ වැදගත්කම


මෙම අනුපාතය සැලකීමේදී බොහොමයක් ආහාරවල කැල්සියම්වලට වඩා පොස්පරස් වැඩිපුර පවතී. නමුත් කිරි හා කිරි නිෂ්පාදනවල කැල්සියම්/ පොස්පරස් අනුපාතය 1:1 ක් නිසා කැල්සියම් / පොස්පරස් අනුපාතිකව ලබා ගැනීම සඳහා නිර්දේශිත ආහාර ලෙස කිරි හා කිරි නිෂ්පාදන ඉතා වැදගත්ය.



විටමින් - A,B,D,K

එළකිරි මවුකිරි මෙන්ම හොඳ විටමින් ඊ ප‍්‍රභවයකි. විටමින් ්ලණ වැඩි ප‍්‍රමාණවලින් ද විටමින් AKඅඩු ප‍්‍රමාණයකින් ද ඇත.


පෝෂණයේදී කිරිවල වැදගත්කම


1. කිරි පෝෂණ ගුණයෙන් ඉහළ සෞඛ්‍ය සම්පන්න ස්වභාවික පානයකි. එය සියලූම වයස් කාණ්ඩයන් සඳහා සුදුසුය.

2. එහි ශක්තිය ලබා ගැනීමට, වැඞීම වර්ධනයට අවශ්‍ය සියලූ ම පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ. විශේෂයෙන් කැල්සියම් බහුල ආහාරයකි.


3. කිරි සහ කිරි ආහාර වර්ග සුළු වශයෙන් හෝ අනුභවයෙන් සහල් සහ තිරිඟුවලින් පිළියෙළ වන ආහාරවලට ආවේනික ‘ලයිසීන්’ නම් වූ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ඌණතාවය මගහරවා ගත හැකිය.


4. කිරිවල ස්වභාවික සංයුතිය බොහෝ පෝෂක අවශෝෂණයන්ට උපකාරී වේ. උදාහරණ වශයෙන් ලැක්ටොස්, ලැක්ටික් අම්ලය බවට පත්වීම නිසා ආහාරයේ අඩංගු කැල්සියම් අවශෝෂණය වැඩි වේ.


5. විටමින්  ඌන ආහාරයක එම ඌනතාවය මගහරවා ගැනීමට කිරි ඉතා වැදගත් වේ. විශේෂයෙන් ආහාර වේලේ තද කොළ පැහැති එළවළු නොමැති විටදී එම අඩුව සපුරා ගත හැකිය.


කිරි කල්තබා ගැනීමේ විවිධ ක‍්‍රම සහ ඒවායේ වාසි අවාසි


කිරි ඉතා පෝෂ්‍යදායී මාධ්‍යයක් බැවින් ක්ෂුද්‍රජීවීන් සඳහා ඉතා සුදුසු වර්ධන මාධ්‍යයක් ද සපයයි. මේ හේතුව නිසා කිරි ඉතා ඉක්මනින් නරක් වේ. එබැවින් කිරි පාරිභෝජනයට ගන්නා තෙක් කල් තබා ගැනීම සඳහා නොයෙකුත් ක‍්‍රම ක‍්‍රම භාවිත කරයි. ඒ සෑම ක‍්‍රමයකින්ම පහත සඳහන් දෑ අවධාරණය කෙරේ.


A කිරිවල යහගුණය සුරැුකීමත්, අහිතකර ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීම,


B නැවුම් පානයෙහි පෝෂ්‍ය ගුණයත්, රසයත්, සෞඛ්‍ය ආරක්ෂිතභාවය සුරැුකීම,


C සුපිරිසිදුව, නැවුම් ව සූදානම් ව තිබීම,

D කෘත‍්‍රිම රසකාරක හා කල් තබා ගැනීමේ රසායන වලින් තොරවීම.


මෙම කල් තබා ගැනීමේ ක‍්‍රම ප‍්‍රධාන වශයෙන් ආකාර තුනකි.


1. උණු කිරීමෙන් ඝන තත්ත්වයට හෝ අර්ධ ඝන තත්ත්වයට කිරි සාන්ද්‍ර කිරීම.


2. මිනිසාට හානිදායක නොවන ක්ෂුද්‍ර ජීවීන් යොදා කල්තබා ගැනීම,


3. චීස් නිෂ්පාදනය කිරීම.


මින් ඇතැම් ක‍්‍රම


A නිෂ්පාදන කල් තබා ගැනීමට අමතරව,


B වඩා පහසුවෙන් ජීර්ණය වී පෝෂක කොටස් අවශෝෂණයට ද ප‍්‍රයෝජනවත්ය.


කිරි කල්තබා ගන්නා ක‍්‍රම


පැස්ටරීකරණය කරන ලද කිරි


පැස්ටරීකරණයේදී කිරිවල සිටින ව්‍යාධි ජනක ක්ෂුද්‍ර ජීවීන් තාපය යොදා විනාශ කරයි. මේ කිරි නියමිත තත්ත්වයන් යටතේ තැබීමෙන් පරිභෝජනය තෙක් ආරක්ෂා කරගත හැකිය.


මේ සඳහා අනුගමනය කළ හැකි ක‍්‍රම දෙකකි. එක් ක‍්‍රමයකදී කිරි සෙල්සියස් අංශක 63 දක්වා රත්කර එම උෂ්ණත්වයේ විනාඩි 30 ක් තබා ඉතා ඉක්මනින් සෙල්සියස් අංශක 4 දක්වා ශීත කර ගැනීම කළ යුතුවේ.


මෙසේ සකස්කර ගන්නා පැස්ටරීකෘත කිරි සෙල්සියස් අංශක 20 ක් පැය 48 ක් ද, සෙල්සියස් අංශක 15 ක පැය 72 ක් ද තබා ගත හැකියි. පාරිභෝගිකයෙකු මෙම කිරි ලබා ගන්නා තෙක් සෙල්සියස් අංශක 10 ක ගබඩා කර ගතා ගත යුතුය.


පැස්ටරීකරණයේ වාසි


1. ඉහළ උෂ්ණත්වයට පත් නොකරන නිසා පෝෂණ ගුණය  නැවුම් කිරිවලට ආසන්නය.
2. ප්‍රෝටීන හා ශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා වර්ධන වන ළමුන් සඳහා මෙන්ම වැඩිහිටියන් සඳහා ද ඉතා වැදගත්ය.
3. ව්‍යාධි ජනක ජීවීන්ගෙන් තොර බැවින් සෞඛ්‍යාරක්ෂිතය.
4. ශීතකරණ තත්ත්ව යටතේ පැය 72 ක් පමණ තබාගත හැකිය.
5. ජීර්ණය පහසු කරයි.
6. ස්වභාවික රසයේ වෙනසක් සිදුනොවේ.



ජීවානුහරණය කළ කිරි


මෙම ක‍්‍රමයේදී කිරි සෙල්සියස් අංශක 120 දක්වා තත්ත්පර කිිහිපයක් උණු කළ යුතුය. ඉන්පසු එම කිරි සෙල්සියස් අංශක 60-70 දක්වා සිසිල් වෙද්දී බෝතල්වලට පුරවා නැවතත් සෙල්සියස් අංශක 120 දක්වා විනාඩි 20 - 60 අතර කාලයක් යළි රත් කළ යුතුය. එසේ කළ යුත්තේ බෝතල්වල ඇතුළත කිරි සඳහා ඒකාකාර උෂ්ණත්වයක් ලබා දීමටයි.


වාසි


1. රසයේ සුළු වෙනසක් ඇති වේ.
2. සියලූම වර්ගවල ක්ෂුද්‍ර ජීවීන් විනාශ කර ඇති නිසා වැඩි කාලයක් සෞඛ්‍යාරක්ෂිතව කාමර උෂ්ණත්වයේ තබාගත හැකිය.
3. විෂබීජ ඇතුළුවීම වැළකීම.
4. විවෘත කරන තෙක් ශීතකරණයේ තැබීම අවශ්‍ය නොවේ.
5. කෘත‍්‍රිම රසකාරක හා කල් තබා ගැනීමේ රසායනවලින් තොරව දිගු කලක් කල් තබා ගත හැකියි. 


අවධානය - පැස්ටීකරණය හා ජීවානුහරණය කරන ලද කිරි බෝතල් හිරු එළියට නිරාවරණය වුවහොත් පෝෂණ ගුණය හීන වී යන හෙයින් මෙම හානිය වළක්වා ගැනීම සඳහා පැස්ටරීකරණය කරන ලද කිරි හා ජීවානුහරණය කරන ලද කිරි ආවරණය කරන ලද වාහනවලින් ප‍්‍රවාහනය කිරීමත්, අඳුරු ශීත ස්ථානවල ගබඩා කිරීමත් වඩාත් සුදුසුය.


රස කළ උකු කිරි


කිරි සෙල්සියස් අංශක 80 දක්වා විනාඩි 15 ක කාලයක් උණුකළ යුතුය. උණු කිරීමට හෝ උණු කළ පසු සීනි එක්කර, අඩු පීඩනයක් යටතේ උකු කර ශීත කිරීමෙන් පසු සීල් කළ යුතුය. රස කළ උකු කිරි සම්පූර්ණ යොදය සහිත හෝ අඩු මේද ප‍්‍රතිශතයක් සහිත විය හැකිය. එබැවින් මෙම කිරි වැඩිහිටියන් සඳහා වඩාත් සුුදුසු ය. 


වාසි


1. පෝෂණ ගුණයත්, රසයත්, සෞඛ්‍ය ආරක්ෂිත බවත් සුරැුකේ.
2. විවෘත කරන තෙක් ශීතකරණයේ තැබීම අවශ්‍ය නොවේ.
3. ගබඩා කිරීම සහ එහා මෙහා ගෙනයාම ඉතා පහසුය. 
4. කල්තබා ගැනීමේ රසායනවලින් තොරය.
5. වැඩිහිටියන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවත්, ශක්තියත් සපයයි.
6. අතුරුපස සකස්කර ගැනීමට ද උපයෝගී කොටගත හැකිය. 


යෝගට්/ මුදවාපු කිරි


කිරි සීනි සමඟ මිශ‍්‍රකර උණු කරන්න. නිවුණු පසු යොදය ඉවත් කර යෝගට් මුහුන් දමා නොසෙල්වන සේ පැය 24 - 72 ක කාලයක් මිදෙන්න තැබීමෙන් යෝගට් සෑදිය හැකිය. 


ශ‍්‍රී ලංකාවේ මීකිිරි මෙන්ම එළකිරි ද මුදවීම සඳහා යොදා ගනී. මීකිරිවල සියයට 7 - 9 අතර ප‍්‍රමාණයක මේදය ඇති බැවින් එළකිරිවලට වඩා හොඳින් මිදවීම සිදු කළ හැකිය. 


මුදවල ලද මීකිරි එළකිරිවලට වඩා සුදු පැහැතිය. එයට හේතුව වන්නේ මීකිරිවල ‘කැරොටින්’ නොතිබීමයි. 


මුදවීමේ ක‍්‍රියාවලියේදී බැක්ටීරියානු එන්සයිම මගින් ප්‍රෝටීන, ප්‍රෝටියෝස හා පෙප්ටෝන බවට ජල විච්ඡේදනය වේ. එනිසා මුදවන ලද කිරි නැවුම් කිරිවලට වඩා පහසුවෙන් ජීර්ණය වේ. එයට හේතුව ආම්ලිකරණය වූ කිරි ඇතිි විට ඛේටය නිපදවීම පිත් යුෂ හා අග්න්‍යාෂයික යුෂ නිපදවීම වඩා හොඳින් ක‍්‍රියාත්මක වීමයි.


එසේම ජලයේ දියවන විටමින වඩා හොඳින් අවශෝෂණය වී තැන්පත් වේ. මිදීමේදී කිරිවල ‘තයමින්’ ‘රයිබොප්ලේවින් ’ හා ‘විටමින් ඊ12 වැඩි වන අතර එමගින් මුදවන ලද කිරිවල පෝෂණ අගය වැඩිවේ.


වැඩෙන ළමුන් සම්බන්ධ කරගෙන කරන ලද විද්‍යාත්මක පර්යේෂණවලදී පෙනී ගොස් ඇත්තේ නයිට‍්‍රජන්, කැලිසියම්, පොස්පරස් හා යකඩ රඳවා ගැනීමේ හැකියාව නැවුම් කිරිවලට වඩා මුදවපු කිරිවල වැඩි බවය. 


වාසි 


1. නැවුම් කිරිවලට වඩා මුදවාපු කිරි, යෝගට් ජීර්ණය පහසු කරයි.
2. යෝගට්, මුදවාපු කිරි ආහාරයට ගත් විට ජලයේ දියවන විටමින් ( බී, සී * වඩා හොඳින් අවශෝෂණය වේ.
3. මිදීමේ ක‍්‍රියාවලියේදී තයමින්, රයිබොප්ලේවින් හා විටමින් ඊ12 වැඩි වන අතර එමගින් පෝෂණ අගය ඉහළ යයි.
4. වර්ධනය වන ළමුන්ගේ ආහාර රුචිය වඩවයි. එසේම ඔවුන්ගේ ශරීරයේ කැල්සියම්, පොස්පරස්, යකඩ රඳවා ගැනීමේ හැකියාව වැඩි කරයි.


වියළි කිරිපිටි


වියළි කිරිපිටි සකස්කර ගන්නා ආකාර කිහිපයකි.


1. සම්පූර්ණ යොදය සහිත
2. යොදය කොටසක් ඉවත් කළ
3. සම්පූර්ණ මේද රහිත


වියළි කිරිපිටි සාදන ආකාර දෙකකි.


එක් ක‍්‍රමයකදී සාන්ද්‍ර කරන ලද කිරි ඝන මීදුම් වළාවක් සේ රත් කරන ලද වාතය තුළින් විසුරුවා හරී. මෙසේ ලබා ගන්නා වියළි කිරිපිටි ජලයේ පහසුවෙන් දියවේ.


අනෙක් ක‍්‍රමයේදී කිරි තුනී පටලයක් සේ කැරකෙන සිලින්ඩර තුළින් යවා වාෂ්ප මගින් රත් කරනු ලබයි. මෙම වියළි කිරිපිටි වෙනස් රසයකින් යුක්ත වන අතර ද්‍රව්‍යතාවය සියයට 85ක් වේ. 


වියළි කිරිපිටිවල අන්තර්ගතය


සම්පූර්ණ යොදය සහිත කිරිපිටිවල ප්‍රෝටීන් සියයට 26.5 ක්, මේදය සියයට 27 ක් හා ලැක්ටෝස් සියයට 37.5 ක් අඩංගු වේ.


අර්ධ යොදය සහිත කිරිපිටිවල ප්‍රෝටීන් සියයට 31 ක්, මේදය සියයට 16.5 ක් හා ලැක්ටෝස් සියයට 43 ක් අන්තර්ගත වේ. 


වියළි කිරිපිටි පරිභෝජනයේදී සැලකිලිමත් විය යුතු කරුණු


A. කිරිපිටි වාතය නොයන සේ අසුරා තැබිය යුතුය. නැතහොත් මේද ඔක්සිකරණ ප‍්‍රතික‍්‍රියා නිසා අප‍්‍රසන්න ගඳක් ගෙන දෙන අතර කිරිපිටි නරක් වීම ආරම්භ වීමට මූලික වේ.


B. ගබඩා කරන විට ජල ප‍්‍රතිශතය සියයට 4 ට වඩා වැඩි නොවිය යුතුය. තෙතමනය වැඩිනම් දුඹුරු ප‍්‍රතික‍්‍රියාව උත්තේජනය වී ද්‍රව්‍යතාවය, වර්ණය හා රසයේ වෙනස්කම් ඇති කරයි.


C. වියළි කිරිපිටි සෑදීමේදී ඉවත් කරන ජලය හා මේදය සමග විටමින් ඒ, හා ඞී ඉවත් වේ. එමෙන්ම සමහර අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අධික උෂ්ණත්වයේදී විනාශ වේ.


නැවුම් කිරි භාවිතයේ ආර්ථික වාසි


පුද්ගලයෙක් දිනකට අවම වශයෙන් කිරි වීදුරුවක්  පානය කරන්නේ නම් ඒ සඳහා වැය වන මුදල :


නැවුම් කිරි ලීටරයක සාමාන්‍ය මිල - රු. 50.00
එක් කිරි වීදුරුවක ප‍්‍රමාණය - මිලි ලීටර 200
කිරි ලීටරයක ඇති කිරි වීදුරු ගණන - 5 යි
එක් කිරි වීදුරුවකට වැය වන මුදල - රු. 10.00



ඒ අනුව එළකිරි නැවුම් ලෙස පානය කිරීම වෙළෙඳපොළේ ඇති සැකසූ කිරි වර්ගවලට  හා සිසිල් බීම වලට වඩා කොතරම් ලාභදැයි පැහැදිලි වේ. 



දේශීය නැවුම් කිරි පරිභෝජනය ප‍්‍රචලිත කිරීමෙන් ඇති වන වාසි


1. නැවුම් කිරි පහසුවෙන් ලබාගත හැක්කේ ග‍්‍රාමීය ප‍්‍රදේශ වලිනි. එබැවින් ග‍්‍රාමීය ජනතාවගේ මන්දපෝෂණය දුරලීමට හැකි වීම  ඒ තුළින් නීරෝගී පරපුරක් බිහිවීමට පිටුවහළක් ලැබීම.
2. නැවුම් කිරි සඳහා විශේෂ ඉල්ලූමක් ඇතිවීම තුළින් කිරි නිෂ්පාදකයාට හොඳ මිලක් ලබාගත හැකිවීම.
3. අතිරේක ආදායම් මාර්ගයක් සඳහා ගව පාලනයට ක‍්‍රමයෙන් ගොවීන් යොමුවීම.
4. කිරි ආහාර වර්ග ආනයනය සඳහා වැය වන විදේශ විනිමය ඉතිරි වීම.
5. කිරි ප‍්‍රවාහනය, නිෂ්පාදනය හා සැකසීම සඳහා යන වියදම ඉතිරි වීම.




පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශනයක් ඇසුරිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.