• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පසුගිය පොසොන් සඳ සමඟින් සිනාසුණු තිසා වැවෙන් එයි, යළි හඩනා ලකුණු

thisa wewaතිසා වැවෙන් දිය නෑමට ඉඩ නොදීමේ ප්‍රතිපත්තිමය තිරණයක් ගනු ලැබුවේ පසුගිය පොසොන් සමයේයි. ඒ අනුව 2016.05.24 වන දින පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී මෙම තිරණයට එළඹිණි.

තිසා වැවෙහි පවතින ඓතිහාසික වැදගත්කමත්, ආගමික පසුබිමත්, වර්තමානයේ එහි පවතින අපවිත්‍රතාවයත් ආදී කරුණු රැසක් හේතුවෙන් ලබාගත් එම තීන්දුව මහා සංඝරත්නයේත් සාමාන්‍ය ජනතාවගේත්, පරිපාලන ප්‍රධානීන්ගේ මෙන්ම දේශපාලනයින්ගේත් දැඩි ප්‍රශංසාවට පාත්‍ර විය.

තිසාවැවෙහි දිය නෑම තහනම් කිරීමට ප්‍රයන්ත දරා ඇති අවස්ථා ගණනාවකි. එහි දිය නෑම තහනම් බව කියවෙන ලිපියක් 2011 ජුනි මස 13 වන දින පුවත්පත් වල පළවී තිබිණි. 2013 ජුනි මස 13 වන දින කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය මගින් ප්‍රදේශීය වාරි ඉංජිනේරුවරයා වෙත යවන ලද ලිපියක ද තිසා වැවෙහි දිය නෑම තහනම් කිරීම ගැන අනාවරණය විය.

එහෙත් ඒ කිසිදු අවස්ථාවක තිසා වැවෙහි දිය නෑම නතර වුයේ නැත. එහි සුලබව කසල එකතුවිණි. ඒ අවට අපචාර සිදුවිණි. කෑම වෙළදුන්ගෙන් ඒ අවට දුෂිත විණි. මෙම කවුරුන් සගවන්නට උත්සහා කළ ද සියල්ලෙහි සත්‍යතාවක් තිබේ. වර්තමානයේ අනුරාධපුර නගරාශ්‍රිත ජනතාවගේ ප්‍රධාන පානීය ජල මුලාශ්‍රයක් වන්නේ තිසාවැවයි. සංචාරකයින් විශාල පිරිසක් අවුරුද්ද මුළුල්ලේම ගැවසෙන නිසා වැඩි වශයෙන් කසල එකතුවන්නේ ද තිසාවැවටයි. මෙතනදී සිතිය යුත්තේ පළමුව ජලය අවශ්‍ය වන්නේ නෑමටද? බීමට ද යන්නයි. කරුණු කෙසේ වුවද අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී කුමාරසිරි මහතා මෙම තින්දුව ගනු ලැබුවේ ජාවාරම්කාර පිරිසක් ගැන සිතා නොව බහුතර ජනතාවගේ හිතසුව පිණිසය. එය සද්භාවයෙන් යුතුව අභියෝගාත්මකව ගත් තීන්දුවකි. මහ නගර සභා ආඥා පනතට අනුව ද පොදු ජල මුලාශ්‍රයක් අපිරිසිදු කිරීමට කිසිවෙකුට අයිතියක් නැත.

මහ නගර සභා ආඥා පනතේ 135 (1) වගන්තිය ඊට සාක්ෂි සපයයි. කරුණු සියල්ල සලකා බැලිමේදී තිසා වැවේ දිය නෑම නැවැත්වීමට ගත් තීන්දුව කාලෝචීත එකක් බැව් කාටත් ඒත්තු යැයි. පෙර රජ දවස “පූජා වැව“ නමින් හැදින්වු තිසා වැවට අද සිදුවී තිබෙන ඉරණම අතිශය ඛේදනීය ය. ජය ශ්‍රීමහා බෝධින් වහන්සේ දෝවණය කිරීමට පැන් ලබාගන්නා වැවට කැත කුණු එකතු කිරීම නොවටිනා කටයුත්තකි. එහි අවට කැලෑබද ප්‍රදේශයේ නොයෙකුත් දුරාචාර සිදුවන බවට ද ආරංචි පැතිරෙමින් පවතී. එහි වෙළදාමේ නිරත වෙළෙදුන් බොහෝ කූට ක්‍රියාවන් හි නිරත වන බව ඒ අවට ජනතාව හා පුජ්‍ය පක්ෂය ඇතුළු ප්‍රභූවරුන් සඳහන් කර සිටී. දුෂිත ක්‍රියා මර්ධනය කරගැනීමේ උවමනාවෙන් අවට ශුද්ධ පවිත්‍ර කරන ගම්වාසීන්ට විවිධ පුද්ගලයින්ගේ තර්ජන එල්ලවෙමින් තිබේ.මේ තත්ත්වය මත තිසා වැවෙහි දිය නෑම වැලැක්වීම සඳහා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී  දිස්ත්‍රික්කයේ සියලු ම නිලධාරීන් ඉදිරියේ  ගන්නා ලද තීන්දුවට පටහැනිව ක්‍රියා කරන පිරිසක් මතුව සිටී.

අපට වාර්තා වන පරිදි එම පිරිස ඉතා අතලොස්සකි. කිහිප අවස්ථාවකම එම පිරිස් තිසා වැවේ දිය නෑම තහනම් යැයි සඳහන් කරමින් සවිකර තිබු පුවරු විනාශ කර දමා තිබුණි. තිසා වැව අවට ගෘහ ඒකක දහස් ගණනක ගෘහ මුලිකයන් සිය ජල බිල්පත් හි පිටපත් ද සමඟ අත්සන් ලේඛනයක් සකස් කර ඔප්පු කරන්නේ ඔවුන්ට නළ ජලය ලැබෙන බවයි. එසේ හෙයින් මෙලෙස මෙම තීන්දුවට විරුද්ධව ක්‍රියා කරන්නේ වැවෙන්ම නාන්නට අවශ්‍යය යැයි අභිලාශය සහිත පිරිසක්ද? නැතිනම් වැව අවටින් වෘත්තිමය අවශ්‍යතා සපුරා ගැනීමට තැත දරන පිරිසක්ද? එයින් පිළිතුර කුමක්දැයි දැන ගැනීමට අසීරු නැත. මෙබදු ක්‍රියාකාරීන්ගෙන් පැහැදිලි වන්නේ තමන් වෙනුවෙන් හෝ තමන් ජීවත් නොවන බවයි.මීට සති කිහිපයකට පෙර සිට තිසා වැවේ දිය නෑම තහනම් කිරීමට විරුද්ධව යම් බලවේගයක් ක්‍රියාත්මක විණි.

එහෙත් තිසා වැව සුරැකීමේ සංවිධානය විශේෂිව පාර්ශව ගණනාවක් හා ප්‍රදේශවාසින් එක්ව තිසාවැවෙහි  පවිත්‍රතාවය  රැක ගැනීමට වෙර දරයි. නමුත් වැවෙන් දිය නෑමට ඉඩ නොදී සිදුකර ඇත්තේ මානව හිමිකම් කඩකිරීමක් බව මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිබේ. මේ නිසා  ජනහිතවාදීව ගත් තීන්දුවක් හේතුවෙන්  මහ දිසාපතිතුමන් පත් වුයේ දැඩි අපහසුතාවකටය. එමෙන්ම වැව රැක ගැනීම සඳහා අපමණ වෙහෙසක් ගත් දේවානම්පියතිස්සපුර විහාරස්ථානය කේන්ද්‍ර තිසා වැව සුරුකීමේ සංවිධානය දැඩීව අපහසුතාවකට ලක්ව සිටී.අප සිදු කරන සෑම කාර්යකදීම ප්‍රජා කේද්‍රීයව තීන්දු ගැනිම ඉතා වැදගත් වේ. මෙම තීන්දුව ද එවැන්නකි. එහෙත් පසු අරමුණු වෙනුවෙන් තිසා වැවේ දිය නෑමට ඉඩ නොදීමේ තින්දුව වලක්වන්නට තැත දරන්නේ නම් එය පොදු  ජනතා කේද්‍රීය යහපතට පහර දිමකී. වැවකින් දිය නෑම මානව අවශ්‍යතාවක් වුවත්, එය මානව අයිතිවාසිකමක් වුවත් එම අයිතිවාසිකමට වඩා බහුතරයකගේ විනාශයට හේතුවන ක්‍රියාවන් වැළැක්වීමට ගන්නා තීන්දු පිළිබඳව අප සිතිය යුතුය.මෙවැනි කටයුතු වලදි ගොරක දඩමස් කිරීම, බොර දියේ මාළු බෑම, නඩුත් බඩුත් දෙවගම හමුදුරුවන්ගේ ය ආදී ඉපැරණි කියමන් සියල්ල සිහිපත් වේ. හොද තීරණයකට ඉඩ නොදී සිටීමට හේතු සෙවීම වැදගත්ය. එහෙත් මෙම තින්දුව වැළැක්විමට තරම් වන බලවත් කරුණු ඉස්මතු නොවේ. ජල අවශ්‍යතාව නළ ජලය මගින් සපුරා ගත හැකිය යන තීන්දුව ජනතාව ගෘහ ඒකකයන්ගේ ගෘහ මුලික අත්සනින්ම  ලබා දී ඇත. ඇරත් දිසාපතිවරයා මෙම තින්දුව ලබා දී ඇත්තේ කල්පනාකාරිවය.

ඒ අවට ජනතාව මෙයින් ස්නානය කළේ නම් ඒ අයට වෙනත් විකල්පයක් නොමැතිව මෙය තහනම් කිරීම යුත්ති සහගත නැත. එහෙත් එතුමා පැහැදිලිව සඳහන් කළේ සියලු දෙනාට මෙහි ස්නානය සම්පුර්ණයෙන් ම තහනම් වන්නේ අවට ජනතාවගේ ස්නානීය ජල අවශ්‍යතාව සැපිරීමට අවශ්‍ය විකල්ප පහසුකම් සැපිරීමෙන් පසුව බවයි. එහෙත් දිසාපතිවරයාට සහය දක්වමින් අනෙකුත් වගකිව යුතු ආයතන කඩිනම් ව ක්‍රියා නොකිරීම කණගාටුදායකය. තීන්දුව ගත් තැනැත්තාටත් තින්දුව ගැනීමට බලපෑම් කළ ස්වේච්ඡා සංවිධාන හා බලපෑම් කණ්ඩායම් වලටත්  බලවත් අපහසුතාවකට පත්වීමට සිදුව ඇත්තේ මෙම තත්ත්වය මතයි. විශේෂයෙන් ම වන්දනා සමයේ දී පැමිණෙන දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් සඳහා ස්නානය කිරීමට ඉඩ හැරීමෙන් තිසා වැව දැඩි ලෙස අපවිත්‍ර වේ.

ඒ පිළිබඳව පවසා පත්‍රිකා  ආදිය බෙදු අවස්ථාවලදී සංචාරකයින් ඊට හිස නමා ආචාර කරමින් ඉවත්ව යන නමුදු ප්‍රදේශවාසීන් බහුතරයකගේ කැමැත්ත ඇතත් කිහිප පළක් මීට විරුද්ධව කටයුතු කරන බව තිසා වැව සුරුකීමේ සංවිධානයේ පාගොඩ ජනිතවංශ හිමියෝ පවසති.තිසා වැව ‍වෙනුවට බැතිමතුන් සඳහා ස්නානයට බසවක්කුලම වැව ශුද්ධ පවිත්‍ර කරන ලදි. එමෙන් ම එහි නාන තොටුපල සංඛ්‍යාව වැඩි කිරීමටද පියවර ගෙන තිබේ. ජල සම්පාදන මණ්ඩලය මැදිහත්ව අවට ජනතාවට සත්‍ය වශයෙන් ම ස්නානය සඳහා ගැටලුවක් ඇත්නම් ඊට විශේෂ ක්‍රමයක් කඩිනමින් සැකසීම වටී. එවිටත් මෙම තින්දුවට විරුද්ධව හඩ නගන්නේ නම්, එයින් ප්‍රත්‍යක්ෂ  වන්නේ මෙම ඉල්ලීම කරනු ලබන්නේ වැවෙන්ම දිය නෑමට ඇති අවශ්‍යතාව නිසා නොවන බවයි. ඒ බව දැන ගැනීම කඩිනම් වන්නේ දිසාපතිවරයා සඳහන් කරන පරිදි අදාළ වගකිවයුතු ආයතන ඉතා ආසන්න කාලයකදි විකල්ප ක්‍රියාමාර්ග සපුරාලීම තුළයි.රජරට පළාතේ පමණක් වැව් සියයක් ඇතැයි අපට කවියෙන් ඇසී තිබේ. නමුත් ඒ විසල් වැව් පමණි. එහෙත් අනුරාධපුර පමණක් ගණන් ගතහොත් වැව් දහස් ගණනක් පවති.

එහෙත් තිසා වැව පැනයකි. ඒ ස්නානය තහනම් කිරීම සම්බන්ධයෙනි. එසේ නම් ස්නානයට බාධාවක් යැයි සඳහන් කරන පිරිසට එම අවශ්‍යතාව සපුරා දුන් පසුව තිසා වැවෙහි දියනෑමට ඉඩ නොදීමේ තින්දුව නිත්‍යනුකූල බලවත් කිරීමට අසීරු නොවනු ඇත. මෙම තීන්දුව බලාත්මකව කිරීමට නම් අනෙක් වගකිව යුතු පාර්ශව ද කට වචනයෙන් නොව ප්‍රායෝගිව සක්‍රීය බවකින් එක්විය යුතුය. ජනතා බලවේගය ද තව තව වැඩි කළ යුතුය. කෙසේ වෙතත් තිසා වැව තුළ දිය නෑමට ඉඩක් නැතැයි යනුවෙන් ගත් තින්දුව තාමත් බලයෙන් මිලින වී නැත. එම බලයට යහපත උදෙසා තව තවත් ජන බලය එක් කිරීමෙන් මෙය පුර්ණ ප්‍රගමනයක් කරා රැගෙන යා හැකිය. එසේ නොවෙන්නට පෙර පොසොන් සදෙන් පසුව හිනාවෙන්නට පටන් ගත් තිසාවැව එළෙඹෙන පොසොන් සඳට පෙර යලිත් හඩන්නට පටන් ගනු  ඇත. එය අනුරාධපුර බොහෝ ජනයාට තිසා වැව ද සමඟ හඩන්නට හේතුවන කරුණක් වනු නියත ය. 

 

 ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර

ප්‍රවෘත්ති නිලධාරී අනුරාධපුරය

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.