• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඩෙංගු මාරයා පැරදවීමට සැවොම එක් වෙමු

denguවර්තමානයේ ජාතික ව්‍යසනයක්ව පවතින ඩෙංගු රෝගය ඔබ අප සැමගේ ජීවිතයට මහත් තර්ජනයක් බවට පත්ව තිබෙනවා.


ජාතික ඩෙංගු මර්දන ඒකකය, වසංගත රෝග විද්‍යා අංශය, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය ඇතුළු ආයතන රාශියක් මේ වන විට මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා විශාල උත්සාහයක නිරත වෙයි. සියළුම රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලීසියද මෙම අවස්ථාවේ සිදු කරන මෙහෙවර ප්‍රථමයෙන් ම අප අගය කළ යුතුයි.


ලංකාවේ විතරක් නොවෙයි මේ වන විට ආසියාවේ රටවල් කිහිපයකම මෙම ව්‍යසනය පැතිර ගොස් තිබෙනවා. සාමාන්‍යයෙන්  ජුනි- ජූලි මාස වල කඩින් කඩ ඇති වන නිරිතදිග මෝසම් වැසි තත්ත්වය නිසා මෙම ඩෙංගු උවදුර හිස ඔසවන අතර කෙමෙන් එය යටපත්ව ගියද නැවතත් ඔක්තෝම්බර් - නොවැම්බර් මාසවල ඩෙංගු මදුරුවාගේ බෝවීම පැතිර යනවා. නමුත් මෙවර මෙම තත්ත්වය ඉතා දරුණු අතර හැරී තිබීම කණගාටුදායක තත්ත්වයකි.



කෙසේ වුවද අදාළ ආයතන වලින් ලබා  දී ඇති දත්තවලට අනුව මේ වන විට රට පුරා ඩෙංගු රෝගීන් 89,885ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් මිය ගිය සංඛ්‍යාව 269ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම ආයතන ඒ ඒ පළාත් වලින්  මෙම රෝගී තත්ත්වය පිළිබඳ දත්තයන් එදිනෙදා ලබා ගන්නා අතර සතිපතා තැපැල් මඟින්ද තොරතුරු ලබා ගැනීමෙන් මෙහි අදාළ වාර්තා සකසනු ලබයි. පෙර වසරවලට අනුව මෙවර ද ඩෙංගු මදුරුවන් බෝවීම ඉහළ ගොස් නැතිමුත් එය ආසාදනය වීමේ ප්‍රතිශතය අතිශයින් ඉහළ ගොස් තිබෙනවා. මේ නිසා මෙහිදී වඩාත් වැදගත් වන්නේ ඩෙංගු රෝගය පිළිබඳව මහජන දැනුවත්භාවය පුළුල් කිරීමයි. පසුගිය මාසයට වඩා මෙම මාසය තුළ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය වැඩි වුවද ඊට සාපේක්ෂව සිදු වූ මරණ සංඛ්‍යාව අවම වීම සතුටට කාරණයක්. ඒ කියන්නෙ පෙරට වඩා ඩෙංගු රෝගය ගැන මහජන දැනුවත්භාවය ඉහළ මට්ටමක පවතින බව පෙනී යනවා.



ඩෙංගු රෝගයෙන් මිය ගිය බොහෝ දෙනාට ඒ ඉරණම අත්වූයේ රෝගය  බොහෝ සෙයින් අසාද්‍ය වූවාට පසු ප්‍රතිකාර ගැනීමට යොමු වූ නිසා. එම නිසා මෙම කාල වකවානුවේදී උණක් සෑදුණු සැනින් වහාම වෛද්‍යවරයෙකු මුන ගැසෙන්න. ඩෙංගු රෝගය මුලදීම හඳුනාගතහොත් විවේකීව සිටීමෙන් හා පොෂ්‍යදායී ආහාර ලබා ගැනීමෙන් පමණක් වුවද එය සුව කරගත හැකියි. නමුත් වෛරසය ශරීරය පුරා ව්‍යාප්තව ඔබට අසාද්‍ය වූ පසු නැවත ඉන් මිදීමට තරමක් අසීරු බව සිහියේ තබා ගන්න. 



මෙහි අනෙක් විශේෂත්වය තමයි මෙය වැලඳෙන බහුතරයකට මෙම රෝග ලක්ෂණ එකවර පෙන්වන්නේ නොමැති වීම. නමුත් පහත සඳහන් රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍යවරනෙකු මුන ගැසිය යුතුයි.


*හිසරදය සහ ඇස් යට වේදනාව
*මසිපිඬු හා සන්ධි වේදනාව
*ඔක්කාරය හා වමනය
*සමෙහි රතු පැහැ ලප හට ගැනීම
*රුධිර වහනය තත්වයන්



ඉහත කී රෝග ලක්ෂණ ඔබට ද ඇත්නම් පැය 48ක් ඇතුලත රුධිර පරීක්ෂාවක් සිදු කර ගැනීම වඩාත් සුදුසු බව වෛද්‍යවරුන් ලබාදෙන උපදෙසයි. එම වාර්තා සාමාන්‍ය වුවද ඉදිරි 24 පැය තුලදී ද ඔබට යම් සුවයක් හෝ නැතිනම් නැවතත් රුධිර පරීක්ෂාවක් සිදුකර ගැනීම කල යුතුමයි. මෙම ඩෙංගු උවදුර හමුවේ රජය මඟින් පෞද්ගලික ආයතනයකින් කරනු ලබන රුධිර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තුව රුපියල් 250 දක්වා සීමා කර තිබෙනවා. එසේම තම නිවසේ සාමාජිකයෙක් ඩෙංගු උවදුරට ගොදුරු වූ බව දැනගත් වහාම ඒ පිළිබඳව තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීයාට දැනුම් දීම අනිවාර්ය බව සළකන්න. මන්ද, ඩෙංගු රකුසාගේ ඊළඟ බිල්ල ඔබ විය හැකියි. නිවැසියෙකුට ඩෙංගු වැලඳෙනවා යනු, ඔබටත් එය වැලඳීමේ ප්‍රවනතාවය ඉතාමත් වැඩි බවයි.


මෙවර ලංකාවේ අපට ආසාදනය වන්නේ ඩෙංගු type2 කියන මදුරුවාගේ වෛරසය. මෙම වෛරසය ලංකාවේ මේ ලෙස පැතිරී යන්නේ වසර 7, 8කට පසුවයි. එය මීට පෙර ඩෙංගු ආසාදන වී සනීප වූ පුද්ගලයෙකුට වුවත් යලිත් ආසාදනය වීමට තරම් ප්‍රබලයි. එ් නිසා පෙරදී තමන්ට ඩෙංගු වැලඳී ඇති බැවින් නැවතත් එසේ නොවේවි යැයි සිතා නොසැලකිලිමත්ව සිටින්නට නම් එපා . 
ඒ වගේමයි මෙම නව මාදිලියේ මදුරුවා සාමාන්‍ය මදුරුවන් මෙන් බිත්තිවල වසා සිටින්නේ නැහැ. ඔවුන් නිතරම රැඳෙන්නේ කළුවර ස්ථානවල. ඒ කියන්නෙ ඇඳන්, අල්මාරි, පුටු ආදියේ යටි පැත්තේ. ඒ නිසා මදුරු නාශක දුම් ආදිය මතුපිටින් පමණක් පැතිර යන සේ භාවිතා කිරීමෙන් ඵලක් වන්නේ හැහැ. 



ගෙවත්ත ආදිය පිරිසිදුව තබා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඩෙංගු මදුරුවාගෙන් මිදිය නොහැකි බව ඔබ දැන සිටීමත් ඉතාමත් වැදගත් වනවා. නිවසින් පිටත පමණක් නොව නිවස ඇතුළතදී වුවද ඩෙංගු මදුරුවන් බෝවිය හැකියි. මාළු ටැංකි, ජලය එක්රැස් කරන බඳුන්, කූඹින්ට පැමිණීමට නොහැකි වන සේ කෑම මේස කකුල් ආදියට තබන වතුර භාජන ආදී ඕනෑම තැනක ඩෙංගු මදුරුවා බිත්තර දැමීමට හැකියාව පවතිනවා. විශේෂයෙන්ම ඔබ නිවසේ මාළු ටැංකි, පොකුණු ආදිය තනා ඇත්නම් වඩාත් සැළකිලිමත් වන්න. සමහර මාළුන් වර්ග මෙම මදුරු කීටයින් ආහාරය ගන්නේ නැහැ. එවන් ජල ටැංකි මදුරුවන්ට බිත්තර දැමීම සඳහා මනා තෝතැන්නක් වීමට ඉඩ ඇත. මෙම මදුරු කීටයන් ආහාරයට ගන්නා මාළු විශේෂයක් ලෙස ගප්පි මාළුන් හැඳින්වේ.එනිසා ඔබ නිවසේ ඉහත කී අයුරින් ජල පොකුණු හෝ මාළු ටැංකි ඇත්නම් එයට ගප්පි මාළුන් දැමීම වඩාත් සුදුසුයි. 


කෙසේ වුවද පෞද්ගලිකව තම තමන් ඩෙංගු මාරයාගෙන් ප්‍රවේසම් වුවහොත් එය වඩාත් වැදගත් වනවා. ඔබට ඩෙංගු මදුරුවාගෙන් ප්‍රවේසම් විය යුත්තේ දිනකට පැය 6ක් පමණයි. ඒ කියන්නෙ උදෑසන 6ත්- 10ත් අතර කාලය සහ සවස 4ත්-6ත් අතර කාලය. ඒ කාලය තුළ ඔබගේ ඇඟට මදුරුවෙකුට දෂ්ට කිරීමට නොහැකි වන සේ වගබලා ගැනීමට හැකිනම් එය ඉතාමත් ඵලදායී වනවා. සමහර විට ඔබගේ රැකියා කටයුතු සමඟ මෙය ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. ඒත් කුමක් කිරීමට වුවද ඔබ ඔබේ ජීවිතය සුරක්ෂිත කර ගත යුතු බව මතක තබා ගන්න. රජයකට හෝ ආයතනයකට හෝ මේ සඳහා මැදිහත් විය හැකි සීමාවක් ඇත. ඉන් ඔබ්බට ඔබේ දායකත්වය අවැසි වන බවද වටහා ගන්න.


විශේෂයෙන් ඔබ නිවසේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සියල්ල විනාශ කර දමා සුපිරිසිදුව පවත්වා ගත්තද දිවා කාලයේදී ඔබ ගත කරන ස්ථානයේ අවට පරිසරය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඩෙංගු මදුරුවෙකු නොව සාමාන්‍ය මදුරුවෙකු වුවත් ඩෙංගු ඇසාදිත රෝගියෙකුට දෂ්ට කිරීමෙන් අනතුරුව එම මදුරුවාගේ ශරීරය තුළ එම වෛරසය වැඩෙන්නට පුළුවන්. අනතුරුව එම මදුරුවා ඔබට දෂ්ට කළ විටදී වුවද ඔබ ඩෙංගු රෝගය වැලඳීමේ හැකියාව පවතිනවා. එම නිසා ඉහත කී පැය 6 තුළ ඔබ හැකිතාක් මදුරුවන්ට ඔබට දෂ්ට කිරීමට නොහැකිවන පරිදි යම් හෝ උපක්‍රමයක් භාවිතා කිරීමට යොමු වන්න.  විශේෂයෙනේ කුඩා දරුවන්ව ද මෙසේ ආරක්ෂාකාරී ලෙස ප්‍රව්සම් කර ගැනීමට අමතක කරන්න එපා. මොකද, අපට මදුරුවෙක් ඇඟේ වැසූ විට එලවන්නට හැකියාවක් හෝ තිබුණත් කුඩා දරුවන්ට එසේ කිරීමටත් නොහැකි නිසා.



මේ ආකාරයට දිවා කාලයේදී ඩෙංගු මදුරුවාගෙන් ආරක්ෂා වීමට ඔබට යම් උපක්‍රම කිහිපයක් ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් පෙන්වා දී තිබෙනවා.



*ශරීරය හොඳින් ආවරණය වන සැහැල්ලු කපු ඇඳුම් ඇඳීම. (මෙය ඉතා වැදගත් වන්නේ කුඩා දරුවන්ට. ඉහත සඳහන් කළ පැය 6 තුළ දරුවන්ගේ ශරීරය හොඳින් ආවරණය වන පරිදි ඇඳුමක් අන්දවා තැබීමට දෙමව්පියක් කටයුතු කරන්න.)


*මෙම පැය 6 කාලය තුළ ඔබ නිදන ඇඳේ විවේක ගන්නේනම් අනිවාර්යයෙන් මදුරු දැලක් භාවිතයට ගන්න. (මෙයද වඩාත් ප්‍රායෝගික වන්නේ කුඩා දරුවන්ට, රැකියාවක නිරත නොවන අයට සහ දිවා කාලයේ  නිවසේ රැඳෙන මහලු උදවියටයි.)



*මදුරු විකර්ෂක භාවිතය. එනම් මදුරුවාගෙන් ආරක්ෂා වීම සඳහා යම් ස්වභාවික හෝ කෘතිම ගල්වනයක් ශරීරයේ තවරා ගැනීමයි.  සියලුම දෙනාට පොදුවේ භාවිතා කළ හැකි ක්‍රමයක් ලෙස මෙය හැඳින්විය හැකියි. රැකියාවක නියුතු ඔබට වුවත් මෙය භාවිතා කළ හැකියි. ස්වභාවික ගල්වන (පැඟිරි තෙල් ආදිය) යම් දුර්ගන්ධයකින් යුතු බව සිතන්නේ නම් ඒ සඳහා සාමාන්‍ය සුවඳැති කෘතිම ඇඟ ගල්වන වෙළඳපොලේ ඕනෑ තරම් තිබෙනවා. නමුත් මෙහිදී සැලකිලිමත් විය යුතු  තවත් දෙයක් තිබෙනවා. එනම් දරුවන්ගේ ශරීරයේ මෙම විකර්ෂක භාවිතා කරන විට වයස අවුරුදු  5ට වඩා අඩු දරුවන්ට කෘතිම විකර්ෂක භාවිතා කිරීම කිසිසේත්ම නොකළ යුතුයි.



ඒ වගේමයි ඩෙංගු වැලඳුන පමණින් රෝහල්ගත විය යුතුමයි යනුවෙන් ජනතාව තුළ දුර්මතයක් පවතිනවා. නමුත් එය එසේ වන්නේ නැහැ. වෛද්‍ය උපදෙස් අනුව අවශ්‍යය පරිදි ඖෂධ භාවිතා කරන්නේනම් නිවසේ සිටම ඔබට සුව වන්නට පුළුවන්. එසේ නිවසේ සිට සුව කිරීමට නොහැකි තරම් ඔබට අසාද්‍යයයි නම් ‍වෛද්‍යවරයා විසින් ඔබට රෝහල්ගත වන ලෙස නිර්දේශ කරනු ඇති. අනෙක් අතට ඩෙංගු රෝගය වැලඳුනු පසු පුද්ගලයාගේ රුධිර පට්ටිකා ප්‍රමාණය අතිශයින් පහළ බසිනවා. එය මෙම රෝගයේ සාමාන්‍ය ස්වභාවයක්. එනිසා ඒ පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නැහැ. සාමාන්‍යයෙන් රෝගී වී 7 වන දිනය වන විට නැවත රුධිර පට්ටිකා ප්‍රමාණය ඉහළයාම ආරම්භ වනවා. එසේ සිදු නොවුනහොත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගත යුතුයි. එසේම මෙහිදී පැරසිටමෝල් හැර අනෙකුත් කිසිදු වේදනා නාශකයක් භාවිතයට ගත නොයුතු බවයි වෛද්‍ය නිර්දේශය වන්නේ.


ඉතින් මාධ්‍යවලින් පවා ඩෙංගු උවදුර පිළිබඳ මේ තරම් ප්‍රචාරණයක් ලබා දෙන්නේ ඔබ සිතනවාටත් වඩා දරුණු ලෙස එනම් ජාතික ව්‍යසනයක ස්වරුපයෙන් මෙම ඩෙංගු රකුසා දිනෙන් දින අහිංසක මිනිස් ජීවිත බිලි ගනිමින් සිටින නිසා. රටේ සියළුම මාධ්‍ය පවා එකට එක් වී තම ලාභ අරමුණු පසෙකලා සිය වාණිජ විකාශන කාලය මෙම ව්‍යසනය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් සිටින යුගයක රටේ ඇතිවූ අන් ව්‍යසනවලදී මෙන්ම මේ අවස්ථාවේදීත් අප සැවොම අවදි වී එකට එක් වී එකා මෙන් හමුදාවක් සේ ක්‍රියාකළ යුතුයි. මෙය ජාතික වගකීමක් යුතුකමක් සේ සිතා අද සිටම ඔබ ඔබෙන් අරඹන්න. ඔබේ නිවස සේවා ස්ථානය ඩෙංගු මදුරුවාට රජ දහනක් නොකර පිරිසිදුව තබා ගන්න. අදම අරඹමු.. ඩෙංගු දුරලමු..

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.