• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

‘පාරිභෝගික දෙවියා යකෙක් ද විය හැකියි ’ නීතිය දැනගත්තොත් ගොඩ

customer’පාරිභෝගිකයා දෙවියාය’ කියලා බොහොමයක් කඩ සාප්පුවල බෝඞ් ගහලා තිබෙනවා. ඒත් පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් කියන්නේ ‘බඩුවක් ගන්නකම් පාරිභෝගිකයා දෙවියා වෙනවා තමයි ඊට පස්සේ බල්ලෙක් තරම්වත් ගණන් ගන්නේ නැහැ’ කියලා. 



‘‘ලෙඩකට බෙහෙත් ගන්න ගිය ලෙඩෙකුට දොස්තර මහත්තයාගෙන් ලෙඩේ ගැන විස්තර දැන ගන්න, ලියන බෙහෙත් ගැන දැන ගන්න බැහැ. එක්කෝ එහෙම අහන්න බයයි. නැතිනම් දොස්තර මහත්තයා කඩා පනිනවා‘‘


පාරිභෝගිකයින් මේ වාගේ මැසිවිලි, දෙස්දෙවොල් තියන්නේ යම්කිසි භාණ්ඩයක් හෝ සේවයක් මිලදී ගත්තාට පස්සේ මුහුණ දීමට සිදුවන යම් යම් නීරස හෝ හිත රිදෙන සිදුවීම් නිසා. 


ඒත් පාර්භෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින නීති ගැන ප‍්‍රමාණවත් අවබෝධයක් තිබෙනවා නම් බොහොමයක් ගැටලූ අවම කර ගන්න පුළුවන්. එය පාරිභෝගිකයා සම්බන්ධයෙන් වාගේම ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් ද අදාළ යි. අපේ මේ උත්සාහය ‘පාරිභෝගික හා පාරිභෝගික ආරක්ෂව’ සම්බන්ධ නීතිය පිළිබඳ ව ඔබට ප‍්‍රමාණවත් දැනුමක් ලබා දෙන්න.


‘පාරිභෝගිකයා’ කියලා කියන්නේ කාටද ?


ලෝකයේ ජීවත් වන  ඕනෑ පුද්ගලයෙක්  ඕනෑම මොහොතක පාරිභෝගිකයෙකු විය හැකියි. ඒකට දුප්පත්, පොහොසත්, ලොකු කුඩා කියලා භේදයක් නැහැ. සාමාන්‍ය අර්ථ නිරූපණය අනුව, වෙළෙන්ඳකු හෝ නිෂ්පාදකයෙකු විසින් හෝ යම් මිලක් ලබා ගැනීමට සලස්වන යම් භාණ්ඩයක් හෝ සේවා නියම වශයෙන් භාවිතා කරන්නකු හෝ භාවිතා කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි තැනැත්තකු ‘පාරිභෝගිකයා’ කියලා හඳුන්වනවා. මේ පැහැදිලි කිරීම අනුව, වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගන්නා තැනැත්තන්, මිල ගෙවා පොදු ප‍්‍රවාහන සේවාවල ගමන් ගන්නා තැනැත්තන් සහ මිල ගෙවා සෞඛ්‍ය සේවා ලබා ගන්නා තැනැත්තන් ඇතුළු සියලූම භාණ්ඩ හා සේවා මිලදී ගන්නන් පාරිභෝගිකයා වශයෙන් සැලකෙනවා. 


පාරිභෝගිකයාට අයිතිවාසිකම් නැද්ද ?


බැලූ බැල්මට නම් පේන්නේ ලංකාවේ පාරිභෝගිකයින්ට නම් කිසිම අයිතිවාසිකමක් නැහැ කියලා තමයි. නැතිනම් අපි බොහෝ දෙනෙක් එවැනි දෙයක් ගැන කිසිම දැනුවත්කමක් නැහැ කියලා. ඒත් සෑම පාරිභෝගිකයකුම සතු බව ජාත්‍යන්තර නීතියෙන් පිළිගන්නා අයිතිවාසිකම් රැසක් තිබෙනවා. 


1. ආහාර, ඇඳුම්, නිවාස, අධ්‍යාපනය යන මූලික භාණ්ඩ හා සේවා ලබා ගැනීමට/ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට  ඕනෑ පාරිභෝගිකයෙකුට අයිතියක් තිබෙනවා.


2. සිය ජීවිතයට, සෞඛ්‍යයට, දේපොළවලට හානිදායක විය හැකි භාණ්ඩ හා සේවා අලෙවිකරනු ලැබීමෙන් ආරක්ෂා වීට අයිතියක් තිබෙනවා.


3 අලෙවි කරන භාණ්ඩ හා සේවා වල ගුණාත්මකභාවය, ප‍්‍රමිතිය, ප‍්‍රමාණය, ශක්තිය, පිරිසිදු බව, පිළිබඳ ව තොරතුරු දැන ගැනීමට අයිතිය තිබෙනවා.


4. තෝරා ගැනීමේ අයිතිය.


5. පාරිභෝගිකයාට බලපාන කරුණු පිළිබඳ ප‍්‍රතිපත්ති සකස් කිරීමේදී ස්වකීය අවශ්‍යතා පිළිබඳ අදහස් ප‍්‍රකාශ කිරීමට හා ඒවාට බලධාරීන්ගේ නිසි සැලකිල්ල ලබා ගැනීමට අයිතිය තිබෙනවා.



6. අසාධාරණ වෙළෙඳ පිළිවෙත් හා පාරිභෝගිකයින් අයතු ලෙස සූරාකෑමට එරෙහිව සහන ලබා ගැනීමට අයිතිය තිබෙනවා. 


7. පාරිභෝගික අධ්‍යාපනය ලැබීමට අයිතිය තිබෙනවා.


8. හිතකර පරිසරයක ජීවත් වීමට හා රැකියාවක් කිරීමට අයිතිය තිබෙනවා.


ඔබට පාරිභෝගිකයකු වශයෙන් ඉහත සඳහන් කළ සියලූම අයිතිවාසිකම් හිමිවන්නේ ‘වගකීම්’ රැසක් ඉටු කිරීමට ඔබ සමත් වන්නේ නම් පමණක් බව මතක තබාගත යුතුයි. ඒවායින් කිහිපයක් පහත සඳහන් වෙනවා.


1. දැනුවත්භාවය හා විමසිලිමත් වීම. මෙයින් අදහස් වන්නේ භාණ්ඩ හා සේවාවල මිල හා ගුණාත්මකභාවය පිළිබඳ ව විමසිලිමත් වීම සහ පාරිභෝගික නීතිරීතිවලට වගකිව යුතු ආයතන පිළිබඳ ව දැනුවත්වීමයි.


2. අවශ්‍ය අවස්ථාවලදී ක‍්‍රියාත්මක වීම. ඔබ විසින් යම් භාණ්ඩයක් හෝ සේවයක් මිලදී ගත් පසු උද්ගත වන ගැටලූ සහගත අවස්ථාවලදී තමාට සාධාරණය ඉටුකරවා ගැනීමට සක‍්‍රීයව ක‍්‍රියාත්මක වීමයි.


3. සමාජය පිළිබඳව සැලකිලිමත් වීම. පාරිභෝගිකයා සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා සිය දායකත්වය ලබාදීම.


4. සාමුහිකව ක‍්‍රියාත්මක වීම. තම අයිතිවාසිකම් රැක ගැනීම සඳහා මෙන්ම සියලූම පාර්භෝගිකයින්ගේ ගැටලූවලට සාමුහික පිළියම් සෙවීම සඳහා එක්ව නැගී සිටීම. 
පාරිභෝගිකයින් රැකගත යුතු කවුරුන් විසින්ද ?


‘තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගත යුතුයි’ කියලා බොහෝ පාලකයින් කිවුවාට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක නම් තම රට වැසියන්ගේ යහපත හා ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගැනීම ආණ්ඩුවේ වගකීමක්. මේ අනුව බලන විට පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමත් ආණ්ඩුවේ වගකීමක් වෙනවා. 


ආණ්ඩුවක් මේ සඳහා අවශ්‍ය පියවර ගන්නේ විවිධ අණ පනත්, රෙගුලාසි ආදිය මගින් නීති පැනවීම තුළිනුයි. ඒ අනුව ආණ්ඩුව පාරිභෝගික ආරක්ෂාව සඳහා විවිධ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන ස්ථාපිත කරනවා. ලංකාවේ ගත්විට ‘මිල පාලන දෙපාර්තමේන්තුව’ ‘සාධාරණ වෙළෙඳ කොමිෂම’ ඒවායින් කිහිපයක්. 
පාරිභෝගිකයින් ආරක්ෂා කරන නීති මුලින්ම ආවේ කවදාද ?


ලංකාවේ පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මුල්ම නීති පැනවීම සිදුවෙන්නේ,


1. 1950 අංක 29 දරණ ‘මිල පනත’ මගිනුයි. මේ පනතේ අරමුණ වුණේ, අධික මිලට භාණ්ඩ විකිණීම පාලනය කිරීමයි. මේ පනත පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයකදී සංශෝධනය වෙලා තිබෙනවා. මේ පනත යටතේ ‘මිල පාලන දෙපාර්තමේන්තුව’ ආරම්භ කිරීමට පියවර ගත්තා.


2. 1975 අංක 42 දරණ ‘ජාතික මිල කොමිෂන් සභා පනත.- මිල කොමිෂන් සභා පනත පනත පනවලා වසර කිහිපයකින් විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය හඳුන්වා දුන් නිසා ( 1977 දී) මෙම පනත මගින් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ. ඒ නිසා නව නීති පැනවීමට සිදු වුණා.


3. 1979 අංක 01 දරණ ‘පාරිභෝගික ආරක්ෂා පනත’- මෙම පනතේ අරමුණ වුණේ අලූතින් හඳුන්වා දුන් විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති යටතේ පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමයි. ඒ වගේම,


x අභ්‍යන්තර වෙළෙඳාම විධිමත් කිරීම
x පාරිභෝගිකයා ආරක්ෂා කිරීම
x සාධාරණ වෙළෙඳ ප‍්‍රතිපත්තියක් ඇති කිරීම
x 1975 අංක 45 දරණ ‘ජාතික මිල කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම, මෙම නව පනත මගින් සිදු වුණා. 



4. 1987 අංක 01 දරණ සාධාරණ වෙළෙඳ කොමිෂන් සභා පනත- මෙම පනතින් බලාපොරොත්තු වුණේ, අභ්‍යන්තර වෙළෙඳාම විධිමත් කිරීම සහ ජාත්‍යන්තර නීති මගින් සිදු වූ බලපෑම හමුවේ වඩා පුළුල් ලෙස පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව සපුරා ගැනීමයි. 


මෙම නීති වලට පසුව නව නීති රැසක් පනවනු ලැබුවා. ඒ නම නීති මගින් පරණ නීති හා ආයතන වෙනස් වුණා.


පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට ඇති නීති මොනවාද ?


මුලින්ම පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය වුණේ 1896 අංක 11 දරණ ‘භාණ්ඩ විකිණීමේ අඥා පනත’ මගිනුයි. ඊට පසු 1980 අංක 26 දරණ ‘ආහාර පනත’ ද 2003 දී අංක 09 දරණ ‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත’ ද ක‍්‍රියාත්මක වුණා. මෙම පනත පැනවීම සමඟ 1987 අංක 01 දරණ ‘සාධාරණ වෙළෙඳ කොමිෂන් සභා පනත’ අහෝසි වුණා.


වර්තමාන නීති මොනවාද ?


වර්තමානය වන විට පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෘජුව ම ක‍්‍රියාත්මක වන නීතිය වන්නේ 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතයි. මේ පනත යටතේ පාරිභෝගික ආරක්ෂාවට අදාළ සියලු ම නීති පාලනය වෙනවා. 


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය


ඉහත සඳහන් කළ ආකාරයට වර්තමානයේදී ලංකාවේ පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන ප‍්‍රධානතම ආයතනය වන්නේ ‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියයි’. මෙහිදී මෙම පනත මගින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට අමතර ව, ‘පාරිභෝගික කටයුතු පිළිබඳ සභාවක් ’ ද පිහිටුවනු ලැබුවා. 



පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාලනය වන්නේ සභාපතිවරයකු සහ තවත් සාමාජිකයින් 10 දෙනකු මගිනුයි. ඔවුන්ගේ පත් කිරීම් සිදුවන්නේ විෂයභාර ඇමැතිවරයා මගිනුයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීමට අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් පත් කර සිටිනවා. 


අරමුණු මොනවාද ?


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටුවීමේ අරමුණු මොනවාද යන්න පිළිබඳව එම පනතේ 07 වැනි වගන්තියේ සඳහන් වෙනවා. 


01. පාරිභෝගිකයින්ගේ ජීවිත හා දේපොළවලට හානියක් සිදුවන භාණ්ඩ අලෙවි කිරීමට සහ සේවා සැපයීමට එරෙහිව පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම.
02. අසාධාරණ වෙළෙඳ ප‍්‍රතිපත්ති වලින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම්වලට නිසි සැලකිල්ල දැක්වීම සහතික කිරීම.
03. හැකි සෑම විටම පාරිභෝගිකයින්ට, තරඟකාරී මිලකට භාණ්ඩ හා සේවාවන් ලබාදීමට සහතික වීම.
04. අසාධාරණ වෙළෙඳ ප‍්‍රතිපත්ති. පිළිවෙත්, සීමිත වෙළෙඳ ප‍්‍රතිපත්ති හෝ වෙළෙඳුන් විසින් සිදු කරනු ලබන නොයෙකුත් ආකාරයේ පාරිභෝගික සූරාකෑම් වලට විරුද්ධව සහන ලබාදීම.


ක‍්‍රියාමාර්ග


ඉහත සඳහන් වූ පාරිභෝගිත කටයුතු පිළිබඳ අධිකාරියේ අරමුණු ඉටුකර ගැනීම සඳහා කටයුතු කිරීමේදී අධිකාරිය විසින්  පහත සඳහන් ක‍්‍රියාමාර්ග අනුගමනය කරනවා


මේ සම්බන්ධයෙන් සඳහන් වන්නේ පනතේ 08 වැනි වගන්තියේ. ඒ අනුව,




අ. ව්‍යවසායන් අතර සීමාකාරී ගිවිසුම් ඇති කිරීම.
ආ. ව්‍යවසායකයන් අතර මිල පිළිබඳව වැඩපිළිවෙළවත් ඇති කිරීම.
ඇ. දේශීය වෙළෙඳාම හෝ ආර්ථික සංවර්ධනය පිළිබඳව වූ ආධිපත්‍ය තත්ත්වයන් අනිසි ලෙස යොදා ගැනීමෙන් හෝ,
ඈ. දේශීය හෝ ජාත්‍යන්තර වෙළෙඳාමට ආර්ථික සංවර්ධනයට අහිතකර ලෙස බලපාන අවහිරතා පාලනය කිරීම හෝ බවත් කිරීම.
2.   තරග විරෝධී චර්යා හා ආධිපත්‍ය තත්ත්වයක් අනිසි ලෙස යොදා ගැනීම  පිළිබඳ විමර්ශනය කිරීම හෝ පරීක්ෂා කිරීම.
3. භාණ්ඩ හා සේවා සපයන තැනැත්තන් අතර ඵලදායී තරගකාරීත්වය පවත්වා ගැනීම හා ප‍්‍රවර්ධනය කිරීම.
4. භාණ්ඩ හා සේවාවල මිල ඒවා ලබාගත හැකිවීම හා ඒවායෙහි තත්ත්වය සහ සපයන වර්ගය සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ මිලදී ගන්නන්ගේ සහ භාණ්ඩ හා සේවා භාවිත කරන අයගේ අයිතිවාසිකම් සහ සම්බන්ධතා ප‍්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම.


5. මිලදී ගැනීමට තබා ඇති භාණ්ඩ හා සේවාවල තත්ත්වය, ප‍්‍රමාණය, ශක්තිය, පිරිසිදුකම, ප‍්‍රමිතිය සහ මිල පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීම.

6. මේ පනතේ නිශ්චිතව සඳහන් කර ඇති යම් කාරණයක් සම්බන්ධයෙන් විමර්ශන හා පරීක්ෂණ පැවැත්වීම.
7. වෙළෙඳපොළ තරගකාරී මිල ප‍්‍රවර්ධනය.
8. වෙළෙඳපොළ තත්ත්ව සහ පාරිභෝගික කටයුතු වලට අදාළ ව අධ්‍යයන භාර ගැනීම, වාර්තා පළ කිරීම සහ මහජනතාවට තොරතුරු ලබාදීම.
9. රජ්‍ය හා පෞද්ගලික අංශයේ කර්යක්ෂමතාව, සුරක්ෂිතභාවය සම්බන්ධයෙන්   පාරිභෝගික අධ්‍යාපනය ප‍්‍රවර්ධනය.
10. පාරිභෝගිකයින්ගේ මනා සෞඛ්‍යය, ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් පාරිභෝගික අධ්‍යාපනය ප‍්‍රවර්ධනය කිරීම.
11. වෙළෙඳපොළ තත්ත්වය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ තොරතුරු වෙනත් ආයතන සමග හුවමාරු කර ගැනීම ප‍්‍රවර්ධනය කිරීම.
12. පාරිභෝගික සංවිධාන පිහිටුවීම ප‍්‍රවර්ධනය කිරීම, උපකාර කිරීම සහ උනන්දු කිරීම.
13. අධිකාරිය විසින් ලබා දෙනු ලබන යම් සේවාවන් සම්බන්ධයෙන් ගාස්තු අය කිරීම.
14. අධිකාරියේ කාර්යයන් ඉටු කිරීමේ පහසුකම් සැලැස්වීමට අවශ්‍ය විය හැකි පරිදි යම් ආකාරයක කමිටුවක් හෝ කමිටු පත් කිරීම.


15. අධිකාරියේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා සහ අධිකාරියේ කාර්යයන් ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා අවශ්‍ය සියලූ වෙනත් කටයුතු කිරීම.


අපි ඉහත සඳහන් කළේ පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අධිකාරිය විසින් ගනු ලබන ක‍්‍රියමාර්ග. පාරිභෝගිකයින් සේම වෙළෙඳුන් සහ නිෂ්පාදකයින් ද පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. මන්ද  ඕනෑ ව්‍යාපාරයක සාර්ථකත්වය රඳා පවතින්ගේ පාර්භෝගිකයින් මතයි. 


එහෙත් බොහෝ ව්‍යපාරිකයින් වැඩි වැඩියෙන් සැලකිලිමත් වන්නේ ලාභය උපරිම කර ගැනීම පිළිබඳව නිසා ඔවුන් අතින් පාරිභෝගිකයින්ට විවිධ හානිකර තත්ත්වයන් සිදු වෙනවා. 


පාරිභෝගික ආරක්ෂණ රෙගුලාසි, එනම් පනතේ ප‍්‍රතිපාදන උල්ලංඝනය කළ විට ව්‍යාපාරිකයින් හෝ නිෂ්පාදකයින් වැරදිකරුවන් වෙනවා. එවැනි අවස්ථාවක පහත සඳහන් පරිදි දඬුවමට ලක් විය හැකියි.


1. මූල්‍යමය දඩයක් ගෙවීමට සිදුවීම.
2. පීඩාවට පත් පාර්ශ්වයට වන්දි ගෙවීමට සිදුවීම.
3. විකිණු භාණ්ඩය හෝ සේවාව වෙනුවට නව භාණ්ඩයක් ලබාදීම/ හෝ ඒ වෙනුවට ගෙවන ලද මුදල නැවත පාරිභෝගිකයාට ගෙවීම.
4. බන්ධනාගාර ගත කිරීමක් ඇතුළුව මහේස්ත‍්‍රාත් නියෝගයක් මත පනවනු ලබන  ඕනෑම ක‍්‍රියාවක් සිදු කිරීම.


පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වෙළෙඳුන්, නිෂ්පාදකයින් හා සේවා සපයන්නන් වෙත පනත යටතේ වගකීම් රැසක් පැවරී තිබෙනවා.


1. යම් භාණ්ඩයක් විකුණනු ලබන සෑම වෙළෙන්දකු විසින්ම ගැනුම්කරු ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවකදී කුවිතාන්සියක් නිකුත් කළ යුතුයි. ( 28 වැනි වගන්තිය)


එම කුවිතාන්සියේ පහත සඳහන් අන්තර්ගතයන් තිබිය යුතුයි.



x විකිණීම කළ දිනය,
x විකුණන ලද භාණ්ඩ ප‍්‍රමාණය
x අදාළ ප‍්‍රමාණය සඳහා ගෙවන ලද මිල
x ගනුදෙනුවේ ස්වභාවය/ තොග ද සිල්ලර ද යන වග

x කුවිතාන්සිය නිකුත් කිරීමට අදාළව යම් නීතියක් යටතේ පනවනු ලැබිය හැකි වෙනත් යම් නියම තිබේ නම් එම නියමයන් අන්තර්ගත විය යුතුයි.

සෑම විටම තමා මිලදී ගනු ලබන සෑම භාණ්ඩයක් සම්බන්ධයෙන් මෙන්ම සේවා සම්බන්ධයෙන් ද ( උදා සෞඛ්‍ය සේවා, ප‍්‍රවාහන සේවා වැනි) කුවිතාන්සියක් ලබා ගැනීම පාරිභෝගිකයා අනිවාර්යෙන්ම කළ යුතුයි. එය පාරිභෝගිකයාට ඇති ප‍්‍රබලම සාක්ෂිය වේ. යම් ආකාරයකින් භාණ්ඩයක් මිලදී ගන්නා විට කුවිතාන්සියක් ලබා ගැනීම අතපසු වුවහොත් වන අසාධාරණයන් සම්බන්ධනේ ප‍්‍රශ්න කිරීම  සඳහා කිසිදු සාක්ෂියක් පාරිභෝගික ඔබට නැති වේ. මෙම අවදානම නොගැනීම සඳහා සෑම විටම අදාළ භාණ්ඩය හෝ සේවාව සම්බන්ධයෙන් කුවිතාන්සියක් ලබා ගැනීමට ඔබ පියවර ගත යුතුයි. 


පනත මගින් දක්වා ඇති ඉහත සඳහන් අනිවාර්යය අවශ්‍යතා වලට අමතරව අදාළ බිල්පතේ එම භාණ්ඩය විකිණීම කළ වෙළෙඳ සැලේ නම හා ලිපිනය, බිල්පත් අංකය ඔබට ලබාගත හැකි නම් යම් ප‍්‍රශ්නකාරී/ නෛතික ගැටලූවකදී ඉතා වැදගත් වේ.


2. මෙම පනත යටතේ අධිකාරිය විසින් නිකුත් කරනු ලබන යම් දැන්වීමක්, විධානයක්, නිකුත් කරනු ලබන අවවාදයක් ප‍්‍රදර්ශනය කිරීමට සිය ව්‍යාපාරික ස්ථානයේ දැන්වීම් පුවරුවක් තබා තිබිය යුතු බව පනතේ 29 වැනි වගන්තිය සඳහන් කරයි.
සැකසුම
තුෂාර වල්ගම 

නවතම පුවත්

කැබිනට් තීරණ - 2020.07.02

02 July 2020
කැබිනට් තීරණ - 2020.07.02

කැබිනට් තීරණ  දැනුම් දීමේ මාධ්‍ය හමුව - 2020.07.02

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo