• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සීනිවල වහළෙක් නොවී ‘සීනි නැතිව රස බලන්න’

kids sugar2017‘අද අන්දරේ හිටියනම් සීනි කටේ තියන එකක් නැහැ’ මේ මගේ යාළුවෙක් පසුගිය දිනක කියපු කතාවක්. 



‘ඇත්ත තමයි අද වැඩිහිටියන්ට විතරක් නොවෙයි පොඩි ළමයින්ටත් සීනි අහිතකරයි’ මම කිවුවා. 
මේවාගේ කතා අපි අතර බහුලයි. හැමතැනම තියෙන්නේ සීනි වර්ජනය කරන, අඩුවෙන් සීනි දාලා තේ බොන කතා. 


අපි සීනි දාලා බොන තේ කෝප්පේ, කේක් කෑල්ල ගැන දෙතුන් වරක් හිතුවට වෛද්‍යවරුන් නම් කියන්නේ අපි නොදැනම දිනපතා අධික ප‍්‍රමාණයක් සීනි පාරිභෝජනය කරනවා කියලා. 


මේ කතාව ඇත්තද ? එහෙනම් අපේ දිවටත් නොදැනි එහෙම දෙයක් වෙන්නේ කොහොමද ? 

සීනි අපට අත්‍යවශ්‍ය ද ?


වෛද්‍යවරුන්ට අනුව සීනි කියන්නේ අපට අත්‍යවශ්‍ය ආහාරයක් නම් නොවෙයි. මොකද අපිට බොහෝ අහාරවලින් අවශ්‍ය තරම් සීනි ප‍්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා අපි කඩෙන් ගෙනත් සීනි නොකෑවට කිසිම ප‍්‍රශ්නයක් නැහැ.


‘සීනි’ කියන්නේ මොකක්ද ?


මේ ප‍්‍රශ්නේ අපි බොහෝ දෙනකුට තිබෙනවා. ‘සීනි’ කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේටයක්. කාබෝහයිඩ්‍රේට් වලින් අපට ලැබෙන්නේ ‘ශක්තිය’ පමණයි. වෙනත් පෝෂ්‍ය පදාර්ථ එහි අඩංගු වෙන්නේ නැහැ. හොඳට මතක තියා ගන්න ‘සීනිවල කිසිම පෝෂණ ගුණයක් නැහැ.


සීනි වලින් අපට ශක්තිය ලැබෙනවා නම් ඇයි අපි සීනි නොකෑ යුත්තේ ? කියලා කාට හරි හිතෙන්න පුළුවන්. එහෙම නෙමෙයි. අපට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට කාබෝහයිඩ්‍රේට් හෝ මේදය අඩංගු වෙනත් පෝෂ්‍යදායි ආහාර වර්ග  ඕනෑ තරම් තිබෙනවා. උදාහරණයක් විදිහට බත්, අල වර්ග, ධාන්‍ය වර්ග, බටර්, නැවුම් කිරි හා චීස් ආදිය දක්වන්න පුළුවන්. 


ඔබට සීනි කන්න ම  ඕනෑ ද ?


අපි මොන තරම් දැනුම්වත් වුණත්, අවදානම ගැන කිවුවත් සමහරුන්ට ඒවා ‘ගඟට කපන ඉණි’ වාගේ. බීරි අලින්ට වීණා ගහනවා වාගේ. ඒ නිසා අපි අතර ඉන්න ඇඹලයින්ට සීනි කන්නම  ඕනෑ නම් ඒක දවසකට සීනි හැඳි 06 කට (ග‍්‍රෑම් 25 ක්) සීමා කළොත් ඇඟට ගුණයි. හොඳට මතක තියා ගන්න මේක වුණත් කළ යුත්තේ බීම හා සීනි සහිත ආහාරවලට එකතු කරන සීනි ප‍්‍රමාණය ද ඇතුළත්ව තමයි. එහෙම නැතික ඇඹලයෙක් වාගේ කඩෙන් ගේන සීනි හැඳ 06 කන එක නෙමෙයි. 


මෙන්න මෙතැන තමයි අපි හැමෝම මහ අවුලක වැටෙන්නේ. ගෙදර හදන කැවුමේ ඉඳන් කඩෙන් ගන්න සීනි බනිස් ගෙඩිය දක්වා හැම දේකම දිව ඇලෙන්න සීනි තියෙනවා. මේ තත්ත්වය සීනි යොදා රස කළ බීම හා කිරි පානයන් සම්බන්ධයෙන් නම් හිතා ගන්නත් බැරි තරම්. ඒ කියන්නේ මේ බොහොමයක් ආහාර වර්ග සහ බීම වර්ගවල අධික සීනි සාන්ද්‍රණයක් තිබෙනවා. ඒක තේ කෝප්පයේ, කෝපි කෝප්පයේ සිට සිසිල් බීම බෝතලය දක්වා ම අදාළයි. 


මේවා හඳුනා ගන්නේ කොහොමද ?


ඉතාම පහසුවෙන් අධි සීනි ප‍්‍රතිශතයක් සහිත ආහාර හා බීම වර්ග අපට හඳුනා ගත හැකියි. උදාහරණයක් විදිහට,


x සිසිල් බීම (කාබනීකෘත කළ හෝ නොකළ*
x පලතුරු බීම සහ කෝඩියල් 
x ක‍්‍රීඩා පානයන්
x ශක්ති ජනක පානයන්
x රස කළ කිරි හෝ යෝගට් පානයන්
x සීනි  තේ හා කෝපි පානයන්




දැන් ඔබට ඉතාම පහසුවෙන් වටහා ගන්න පුළුවන් ඔබම ඇඹලයෙක් කරන ගමන් ලෙඩෙක් කරන දේවල් මොනවද කියලා. 


අහිතකර බලපෑම 



ඉහත සඳහන් කළ දේවල් සියල්ලේම බොහොම අහිතකර ප‍්‍රතිඵල රැසක් දැකිය හැකියි. 
1. සීනි වර්ග/ සුක්‍රෝස්, ෆෘක්ටෝස්, ඩෙක්ස්ට්‍රෝස්, මෝල්ටෝස් යන දේවල් සීනි වල අන්තර්ගතයි. මේවා භාවිතයේ අහිතකර තත්ත්වය තමයි, අධිබර හා තරබාරු බව, බෝනොවන රෝග වැළඳීමේ අවදානම හා දන්ත රෝග වැළඳීමට වැඩි අවස්ථාවක් තිබීම.
2. කැෆේන් ඔබ පානය කරන බොහොමයක් බීම වර්ගවල කැෆේන් අන්තර්ගතයි. කැෆේන් නිසා ඔබට අධි රුධිර පීඩනය, හෘද ස්පන්දනය වැඩිවීම, කාංසාව, මානසිත අවුල් සහිත බව, මුත‍්‍රා පිටවන වාර ගණන වැඩිවීම හා හිසරදය ඇතිවිය හැකියි.
3. කෘත‍්‍රිම රසකාරක  හිසරදය, ආහාර විෂ වීම, ක්ලාන්තය, මහන්සිය, කාංසාව, ඇතැම් පිළිකා තත්ත්වයන්ට ඔබ ගොදුරු විය හැකියි.
4. ආහාර කල්තබා ගන්නා ද්‍රව්‍ය  මේවායින් ඇතිවන බරපතළ සෞඛ්‍යය තර්ජනය වන්නේ ආසාත්මිකතා. වමනය හා හිසරදය ඇති වීමයි.
5. වර්ණක - පිළිකා තත්ත්ව, ජානමය වෙනස්වීම්, ළමයින්ගේ අධි ක‍්‍රියාකාරීත්වය, ආහාර විෂවීම, වමනය හා හිසරදය වර්ණක භාවිතය නිසා සිදු වෙනවා.
6 පොස්ෆරික් - වකුගඩු ගල් හා වකුගඩු අකර්මන්‍ය වීම.
7. සිට්‍රික් අම්ලය - හන්දි ආබාධ, වකුගඩු ගල් ඇතිවීම 


අප මිලදී ගන්නා භාණ්ඩවල සීනි මට්ටම දැන ගන්න පුළුවන් ද ?


ඔව් පැහැදිලිවම පුළුවන්. ඔබ මිලදී ගන්නා භාණ්ඩයේ ලේබලයේ අඩංගු පෝෂණ තොරතුරු කියවා බැලීම මගින් එය ඉතාම පහසුවෙන් කළ හැකියි. ඒ වගේම ලේබලයේ ඇති වර්ණ සංඥා හා කේත මගිනුත් එය කළ හැකියි. 
වර්තමානයේ ලංකාවේ පවතින නීතිය (ජාත්‍යන්තර සම්මතය ද) අනුව වැඩි සීනි රතු පාටින් ද, මධ්‍යස්ථ සීනි තැඹිලි පාටින් ද අඩු සීනි කොළ පාටින් ද සඳහන් කර තිබෙනවා. 



මෙය නීතියක් ද ?


ඔව්. එය නීතියක්. මේ නීතිය අනුව ලේබලය මත එම පානයන්හි අඩංගු මුළු සීනි ප‍්‍රමාණය (ස්වභාවික හා එකතු කළ) ‘ග‍්‍රෑම්’ (ට) වලින් දක්වා තිබිය යුතුයි. මෙම සීනි වර්ග, Sucrose, Fructose, Glucose, Honey, Cane suger, Maple syrup, Dextrose ලෙස විවිධ ආකාරයෙන් තිබිය හැකියි. 


සීනි භාවිතයේදී බොහෝ දෙනකු මුහුණ පාන ගැටලූවක් තමයි ‘තේ  හැඳි’ ගැන කියමින් සිදුකරන දැනුවත් කිරීම. ඒත් බොහෝ දෙනෙක් තේ හැන්ඳකට අල්ලන ග‍්‍රෑම් ගණන දන්නේ නැහැ. 


සීනි තේ හැඳි එකකට සීනි ග‍්‍රෑම් 4.2 ක් අල්ලනවා. මේ සීනි ප‍්‍රමානයේ කිලෝ කැලරි 16 ක් අන්තර්ගත වෙනවා.



මේ අනුව යමින් ඔබට  ඕනෑම අවස්ථාවක ඔබ පානය කරන බෝතලයේ හෝ පැකැට්ටුවේ අඩංගු පරිමාවට අදාළව එහි ඇති සීනි ප‍්‍රමාණය දැනගත හැකියි. 
උදාහරණයක් විදිහට ඔබ පානය කරන්නේ මිලි ලීටර් 300 ක පානයක් නම් එහි සීනි තේ හැඳි 03 ක් තිබෙනවා. මිලි ලීටර් 600 ක් නම් සීනි තේ හැඳි 6 ක් තිබෙනවා. 



මේ වගේම තමයි සීනි යොදා රසකළ බීම වර්ගවල ලේබලයේ සඳහන් කර ඇති වර්ණ සංඥා කේත අනුවත් අප ගන්නා පානයන්ගේ අඩංගු සීනි ප‍්‍රමාණය ගැන දළ අදහසක් ඇති කර ගත හැකියි.


 කොළ (අඩු සීනි)  ග‍්‍රෑම් 02 කට අඩු/ මිලි ලීටර් 100) කොළ පැහැති වර්ණ ලේබලය තිබෙන පානයන් තුළ මිලි ලීටර 100 සීනි තේ හැඳි 1/2 කට වඩා අඩුවෙනුයි තිබෙන්නේ.
 තැඹිලි (මධ්‍යස්ථ සීනි)  ග‍්‍රෑම් 2-11 මිලි ලිටර් 100 කට* සීනි තේ හැඳි 1/2- 03 ත් අතර ප‍්‍රමාණයක් තිබෙනවා.
 රතු (වැඩි සීනි) ග‍්‍රෑම් 11 ට වැඩි) මිලි ලිටර 100 ක සීනි තේ හැඳි 03ට වඩා වැඩි ප‍්‍රමාණයක් තිබෙනවා. 
පැණි බීම වල අහිතකර බලපෑම ගැන ඔබ දන්නවාද ?



සීනි යොදා රස කළ බීම හා කිරි පානයන් වලින් අහිතකර බලපෑම් ඇතිවන බව අපි බොහෝ දෙනෙක් දන්නේ නැහැ. දැන ගත්ත අයත් දන්නේ බොහොම ටිකයි. ඒත් ඔබ විශ්මයට පත් කරන අහිතකර බලපෑම් රැසක් මේ පැණි බීම වලින් ඇති වෙනවා.



 අධි බර හෝ තරබාරු බව
 දියවැඩියාව
 හෘද රෝග
 පරිවෘත්තීය සහලක්ෂණය
 දන්ත කුහර හා රෝග
 වකුගඩු ආශ‍්‍රිත රෝග තත්ත්වයන් (වකුගඩු ගල්, වකුගඩු අකර්මන්‍යතාව)
 අස්ථි රෝග (ඔස්ටියෝපොරෝසිස්)
 පිළිකා
 සම අවපැහැ ගැන්වීම/ රැළි වැටීම
 ඉක්මනින් වයස්ගත වීම



තරබාරු බවට වගකිව යුත්තා ‘සීනි’



අධිබර හා තරබාරු බව අද ලෝකයටම ප‍්‍රශ්නයක් වෙලා. සමහරු කොච්චර ව්‍යායාම කළත් ඇඟ බහින්නේම නැහැ. එහෙම වෙන්නේ ඇයි ? කියලා ඔබ නිකමටවත් හිතලා බැලූවා නම් වැඬේ අහුවෙලා බොහෝ කල්.



අද වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ සීනි අධික බීම පානය කිරීම හේතුවෙන් අධිබර හා තරබාරුව ඇති වන බවයි. සීනි කෑවම මහත් වෙන්නේ කොහොමද කියලා ඊට පස්සේ ඔබට හිතෙන්න පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි.



සීනි අධික බීම පානය කිරීමෙන් ලැබෙන අමතර ශක්තිය, මේදය (තෙල්) බවට පත් වෙලා ශරීරයේ තැන්පත් වෙනවා. සිසිල් බීම මිලි ලීටර් 240 හෝ කෝලා බීම මිලි ලීටර් 115 ක ශක්තිය කිලෝ කැලරි 100 ක් තිබෙනවා. දිනපතා සීනි අධික බීම බෝතලය (කිලෝ කැලරි 100 බැගින්) අවුරුද්දකදී කිලෝ ග‍්‍රෑම් 05කින් බර වැඩි වෙනවා. 


සීනි වෙනුවට ආදේශක ගන්න



සීනි බීම වර්ග පානය කිරීම වෙනුවට ඔබට ඉතාම පහසුවෙන් වෙනත් බීම වර්ග රැසක් ආදේශ කළ හැකියි. ඒවා අතර, ජලය, තැඹිලි හෝ කුරුම්බා වතුර, ස්වභාවික පලතුරු යුෂ (සීනි නොයෙදූ) සීනි නොයෙදූ නැවුම් කිරි හා සීනි නොයෙදූ තේ පානය කළ හැකියි. 


හොඳම හා ලාබම පානය ජලයයි



‘ජලය’ පානය කිරීම නීරෝගී ජීවිතයකට අත්‍යවශ්‍යම දෙයක්. ලංකාවේ ඔබ ඒ අතින් ඉතාම වාසනාවන්තයි. ලංකාවේ වැඩි ප‍්‍රදේශයක් තුළින් නැවුම් පිරිසිදු පානීය ජලය ලබාගත හැකියි. ඒ නිසා නීරෝගී දිවි පෙවතක් සඳහා ඔබ දවස පුරා ප‍්‍රමාණවත් තරම් ජලය පානය කළ යුතුයි. සාමාන්‍යයෙන් දිනකට ජලය ලීටර් 1.5 - 02 ත් අතර ප‍්‍රමාණයක් පානය කළ යුතුයි. 


ඔබ ක‍්‍රීඩා හෝ ව්‍යායාම කරන්නේ නම්, ශාරීරිකව ක‍්‍රියා ක‍්‍රියාකාරී වී සිටින සෑම විනාඩි 20කටම වරක් ජලය වීදුරුවක් පානය කළ යුතුයි. විශේෂයෙන්ම උදෑසන අවධි වූ විගසම, කෑමට පැයකට පෙර, නින්ද යාමට පැය දෙකකට පෙර හා කෙටි ආහාර ගැනීමට පෙර ජලය වීදුරුව (මි.ලි. 250-300) බැගින් පානය කළ යුතුයි. 



මෙහිදී අවධාරණය කළ යුතු වැදගත් දෙයක් ද තිබෙනවා. ඒ හෘද රෝග හා වකුගඩු රෝග ඇති අය ජලය පානය කරන ප‍්‍රමාණය ගැන වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගත යුතුයි. 


ජලය පානය කිරීමේ වාසි මොනවාද ?


සාමාන්‍යයෙන් අපි ජලය පානය කරන්නේ තිබහ ඇති වුණොත් කෑම කෑවොත් වගේ අවස්ථාවලදී පමණයි. ඒක සාමාන්‍ය පුරුද්දක් විතරයි.
ඒත් වෛද්‍යවරු කියන ආකාරයට ජලය පානය කිරීමෙන් ඔබට වාසි රැසක් හිමි වෙනවා.



x ප‍්‍රබෝධමත් බවක් ලැබෙනවා
x සම පැහැපත් කරනවා
x හන්දි අමාරු නැති කරයි
x පිළිකා අවදානම අඩු කරයි
x ප‍්‍රතිශක්තිය වැඩි කරයි
x විඩාව දුරලයි
x බර වැඩිවීම පාලනය කරයි
x ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කරයි
x මළ බද්ධය නැති කරයි
x ඵලදායීතාව වැඩි කරයි



සීනි වල අගුණ



ජලය පානය කිරීම ඉහත සඳහන් වාසි රැසක් ඔබට ලබා දෙන විට සීනිවල තත්ත්වයත් වඩාත් හොඳින් පැහැදිලි කරගත යුතුයි.


සීනි කියන්නේ ඇබ්බැහි වන සුළු ද්‍රව්‍යයක්. මේ තත්ත්වය නිසාම ‘සීනිවලට ඇබ්බැහි වීමේ විෂම චක‍්‍රය’ කියලා චක‍්‍රයක් නිර්මාණය කිරීමට පෝෂණවේදීන් හැකිවෙලා තිබෙනවා. 


ඒ අනුව සීනි අධික ආහාර අනුභව කිරීම මගින් මොළයේ ශුභඵල මධ්‍යස්ථානය උත්තේජනය කරනවා. ඊට පසුව මොළයේ ඇති ‘ඩොපැමින් ’ (මෙය රසායන ද්‍රව්‍යයකි) මට්ටම ඉහළ නංවනවා. මේ තත්ත්වය හේතුවෙන් තාවකාලික උද්යෝගිමත් බවක් ඇති වෙනවා. තව තවත් සීනි අනුභව කිරීමට ආශාවක් ඇති කරනවා. 



කාලයත් සමග, උද්යෝගිමත් බව පහළ වැටෙනවා. ඊට පසුව තවත් වැඩියෙන් සීනි ගැනීමට හිතෙනවා. සීනි නැතිවම බැරි තත්ත්වයට පත් වෙනවා. එහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ ‘සීනිවලට ඇබ්බැහි වීමයි. සීනිවලට ඇබ්බැහි වූ විට සීනි අධික ආහාර අනුභව කරනවා.



මෙය චක‍්‍රයක් ආකාරයෙන් ක‍්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි. 


සීනි අධිකව අඩංගු අනෙකුත් ආහාර



සීනි අධිකව තිබෙන්නේ පැණි බීම වර්ගවල පමණක් නොවෙයි. ටොෆි, චොකලට්, අසිස් ක‍්‍රීම්, අයිස් පැකැට්, පිරිපහදු කළ පිටි ආහාර වන පාන්, බනිස්, කේක්, බිස්කට්, රෝල්ස් හා පේස්ටි‍්‍ර වර්ගවලත් අධික සීනි තිබෙනවා.




සීනි අධික පානයන් භාවිතය අඩු කරන්නේ කොහොමද ?



මෙය ඔබට පහසුවෙන් කළ හැකියි. 



1. බීමට යමක් තෝරා ගැනීමේදී එහි ඇති සීනි ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න
2. ආපන ශාලාවකින් බීම මිලදී ගන්නා විට දී සීනි අධික පාන වෙනුවට ජලය තෝරා ගන්න
3. ගමන් බිමන් යාමේදී සහ පාසලට/ රැකියාවට යනවිට වතුර බෝතලයක් රැගෙන යාමට පුරුදු වන්න
4. අධික පිපාසයක් දැනුන විට පළමුව ජලය පානය කරන්න. පසුව වෙනත් පානයක් ගත්ත ද ඔබ එවිට ඒවා පානය කරන ප‍්‍රමාණය අඩු කළ හැකියි.
5. සුපිරි වෙළෙඳසැල්වල සිසිල් බීම/ රසකළ කිරි/යෝගට් පානයන් අලෙවි කරන ස්ථාන මග හරින්න
6. ප‍්‍රධාන ආහාර වේල් අතර කුසගිනි දැනෙන විට ජලය පානය කරන්න
7. නිවසේදී සාදන තේ, කෝපි, පලතුරු බීම ආදිය සඳහා යොදන සීනි ප‍්‍රමාණය අඩු කරන්න
8. පාසලට / රැකියාවට යන විට ආහාර විවේකයේදී අනුභව කිරීම සඳහා අවශ්‍ය කෑමවේල නිවසින් රැගෙන යන්න
9. උදෑසනම පෝෂ්‍යදායී උදෑසන ආහාරයක් ගන්න
10. සීනි අධික බීම, කිරි පානයන් හා ආහාර නිවසට ගෙන ඒම නතර කරන්න
11. මානසික ආතතිය අවම කර ගන්න. 
12. අමතර ශක්තිය වැය කිරීමට ව්‍යායාම සිදු කරන්න. 




මෙවැනි පිළිවෙත් නිසි පරිදි ඉටු කළහොත් ඔබ තවදුරටත් සීනිවල වහලෙකු නොවනු ඇති.



සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ ‘සීනි නැතිව රස බලන්න’ පොත් පිංච ඇසුරිණි.




සකස් කළේ
තුෂාල් විතානගේ 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.