• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඩිජිටල් සහය රැගෙන ආ අගමැතිගේ ඉන්දියන් නිල සංචාරය

012ඉන්දීය නිල සංචාරය සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට ළඟා වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන සන්ධාන නිලධාරී සංජේ වර්මා (Mr. Sanjay Verma) මහතා විසින් පිළිගත්තේය.

එසේම නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, තාජ් පැලස් කළමනාකාරීත්වය, ෂෙනාල්‍යා ෆොන්සේකා දියණිය සහ කවිඳු රණවක පුතණුවන් මෙම පිළිගත් අවස්ථාවට එක්ව සිටියහ.

5 වන ලෝක සයිබර් අවකාශ සමුළුවට සහභාගි වීම අග්‍රාමාත්‍යරයාගේ මෙම නිල සංචාරයේ විශේෂ අවස්ථාවක් විය.

අධ්‍යාපන ඩිජිටල් ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දීය සහය - ඉන්දීය අගමැතිpm india 3

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සමරුව නිමිති කොට ගෙන අධ්‍යාපන ක්ෂේත්‍ර‍යේ සිදු කිරීමට බලාපොරොත්තු වන ඩිජිටල් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියාවේ පූර්ණ සහය ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.
 
සියලූ පාසැල් සිසු දරු දැරියනට පරිගණක ටැබ්ලට් ලබා දීමේ වැඩ පිළිවෙල අත්හදා බැලීමේ නියමු ව්‍යාපෘතියන් ලෙස ක්‍රියාත්මක කරලීමට සහ ඊට අවශ්‍ය සිංහල හා දෙමළ භාෂා මෘදුකාංග නිර්මාණය කරලීමට ඉන්දීය විශේෂඥ සහය ලබා දීමටත්, ඒ වැඩ පිළිවෙල සඳහා තොරතුරු තාක්‍ෂණ සහයෝගීතා සැලසුමක් සැකසීමටත් ඉන්දියාව මූලිකත්වය ගෙන ක්‍රියා කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 
ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් පසුගිය නොවැම්බර් 23 වැනි දින  දහවල් නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේ දී පැවති අතර, මෝදි මහතා විසින් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී.
 
බලශක්ති හා ආහාර සුරක්‍ෂිතතාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු වැඩ සටහන් සම්බන්ධයෙන් ද දෙරටේ අගමැතිවරු අදහස් හුවමාරු කර ගත්හ. ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවත්වාගෙන යෑමේ සහ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කෙරිණි. ඒ සම්බන්ධයෙන් ගත යුතු සාමූහික ක්‍රියා මාර්ගයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
 
මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතා පෙන්වා දුන්නේ තරුණ පරපුරේ අභිලාෂයන් සපුරාලීමට නම් කඩිනම් සංවර්ධන සැලසුම් ක්‍රියාවට නැංවිය යුතු බවය. ඒවා ක්‍රියාත්මක කරලීමේ දී එළැඹෙන අභියෝගයන්ට මුහුණදීමේ ආකාරයන් පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැණිනි.
 
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව ක්‍රියාත්මක කරලීමට අපේක්‍ෂිත සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. මෝදි මහතා පැවසූයේ ජනාධිපතිතුමන්ගේ ද දැඩි අවධානය මේ සඳහා යොමු කොට සංවර්ධන සැලසුම් ඉක්මනින්ම ඇරඹිය යුතු බවට ඉන්දියාව යෝජනා කරන බවය. මේ සංවර්ධන සැලසුම් හරහා ශ්‍රී ලංකාවේ වත්කම් පමණක් නොව රැකියා උත්පාදන අවස්ථාවන් ද නිර්මාණය වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
 
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ ශ්‍රී ලංකා - ඉන්දීය හවුල් ව්‍යෘපෘති කඩිනම් කිරීමේ සියලූ ප්‍රයත්නයන් ගැනීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවය. දැනට මතුවී ඇති යම් යම් ගැටළු ඉක්මණින් නිරාකරණය කර ගත හැකි බවට ද වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කළේය.

ඉන්දු – ශ්‍රී ලංකා සම්බන්ධතාවන් ශක්තිමත් කරලීම උදෙසා වික්‍රමසිංහ මහතා සිදු කරනු ලබන මෙහෙවර ඉන්දීය අග්‍රාමත්‍යවරයාගේ පැසසුමට ලක් විය. අභ්‍යන්තර දේශපාලන පීඩනයන් මධ්‍යයේ වුව ද වික්‍රමසිංහ මහතා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තහවුරු කරලීම සඳහාත්, සබදතා පුළුල් කරලීම සඳහාත් අති විශාල සේවයක් සිදු කරන  බව මෝදි මහතා ප්‍රකාශ කළේය.
 
පසුගිය මැයි මාසයේ සිය ශ්‍රී ලංකා සංචාරයේ දී ශ්‍රී ලංකා ජනතාව තමන් වෙත දැක්වූ ආදරය සහ දයාව වෙනුවෙන් විශේෂ ස්තුතියක් පිරිනමන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.
 
ශ්‍රී ලංකාවේ සහ ඉන්දීය ජනතාව අතර, පුද්ගල සබඳතා වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.
ඉන්දීය විදේශ ලේකම් එස්. ජයිශංකර්, ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් දොවාල්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සංඳු, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ඒකාබද්ධ ලේකම් සන්ජේ පන්ඩා යන මහත්වරු ඉන්දීය පාර්ශවය වෙනුවෙන් මේ සාකච්ඡාවන්ට එක්වූ අතර, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, නියෝජ්‍ය මහකොමසාරිස් එම්. ආර්. කේ ලෙනගල යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ අවස්ථාවට එක්වූහ.
 


කළු අශ්වයන්ට ඩිජිටල් පිටිය විවෘත නොකරමින් ඩිජිටල් තාක්ෂණය ඉදිරියට ගෙන යා යුතුයි - ඉන්දීය අගමැති

pm indiaඑක් අතකින් පුද්ගලිකත්වය හා විවෘත භාවය සමබර කරමින් ද, අනෙක් අතින් අන්තවාදී හා ත්‍රස්තවාදී කළු අශ්වයන්ට ඩිජිටල් පිටිය විවෘත නොකරමින් ද, ඩිජිටල් තාක්ෂණය ඉදිරියට ගෙන යා යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සයිබර් අවකාශ ගෝලීය සමුළුව විවෘත කරමින් පැවසීය.

නවදිල්ලි නුවර පුල්මන් හෝටලයේ නොවැම්බර් 23 වැනි දින එරොසිටි හි දී පැවති සමාරම්භක උත්සවයේ දී මෝදි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉන්දියාව ඩිජිටල් තාක්ෂීණය ඔස්සේ දූෂණ මැඬලීමට හා නාස්තිකාර වියදම් අවම කිරීමට ද, ජනතා ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ද ක්‍රියා කර ඇති බව ය.

ඩිජිටල් තාක්ෂරණය යහපාලනය සඳහා යොදවා ගෙන ඇති අන්දම පිළිබඳවත්, එමගින් ඉන්දියාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේ ය.

ලෝකය එකම පවුලක් යන්න ඉන්දියාවේ පැරණි කියමනක් බව පැවසූ මෝදි මහතා ඒ කියමන නවීන ලෝකය හා බද්ධ කරලීම උදෙසා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලැබෙනුයේ මහඟු පිටිවහලක් බව අවධාරණය කළේය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීමටත්, මානුෂික මුහුණුවරකින් යුතු තාක්ෂණ ක්‍රමවේදයන් ඉහළට එසැවීම සඳහාත් සයිබර් අවකාශය ඔස්සේ ලැබෙන අවස්ථාවන් පිළිබඳව ද මෝදි මහතා පෙන්වා දුන්නේය.

ලක්ෂ සංඛ්‍යාත ඉන්දීය වැසියන්ට සේවා සපයන ජන් ධාන් – ආධාර් ඩිජිටල් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කරුණු ගෙනහැර දැක්වීය. මෙහිදී සිදුවන්නේ මූල්‍ය හා බැංකු සේවාවන් සහ ආධාර පහසුකම් ජංගම දුරකථන ඔස්සේ ලබා ගැනීමට ජනතාවට පහසුකම් සැලසීමය. මෙය ගම්වාසී ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇතිවාක් මෙන්ම, අතරමැදි දූෂණ ක්‍රියාවලීන් ගණනාවක් මේ ඔස්සේ වලක්වා ගැනීමට හැකි වී ඇති බව ද මෝදි මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

 සයිබර් අවකාශ ගෝලීය සමුළුව විවෘත කිරීමේ උළෙලට විශේෂ ආරාධිතයෙකු වශයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.

ඉන්දීය රජය විසින් ජනතාවට පිරිනමන “යුමන්ග්” හෙවත් නව යුගයේ රාජ්‍ය පාලනය පිළිබඳ ඒකාබද්ධ ජංගම දුරකථන යෙදවුම (UMANG - Unified Mobile Application for New-age Governance) හඳුන්වාදීම ද මෙහිදී සිදු කෙරිණි.

ඉන්දියාව සහ ඩිජිටල් තාක්ෂණය පිළිබඳ කෘතීන් දෙකක ඊ - එළිදැක්වීම සහ ඩිජිටල් ක්ෂේත්‍රයේ තරග ජයග්‍රාහකයින්ට තිළිණ ප්‍රදානය කිරීම ද අග්‍රාමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නීති හා අධිකරණ සහ ඉලෙක්ට්‍රොනික්ස් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය ශ්‍රී රවි ශංකර් ප්‍රසාද් මහතාගේ පිළිගැනීමේ කතාවෙන් පසු, උත්සව සභාව ඇමතූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ වර්තමානයේ තොරතුරු සහ දැනුම ලබාගැනීමේ ප්‍රධාන වේදිකාවක් බවට සයිබර් අවකාශය පත්ව ඇති බවය.

ජීවන තත්වය උසස් කිරීම, මානව සංවර්ධනය හා සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන නිර්ණායකයක් බවට සයිබර් අවකාශය පත්වී තිබෙන බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ මේ නිසාම මානව සමාජයට අලූත් අභියෝගයන් ද එල්ල වෙමින් පවතින බවය.

මානව නිදහස සහ අයිතීන්, පුද්ගලික නිදහස ආදී ක්ෂේත්‍රයන් වෙත මේ අභියෝගයන් වැඩි වැඩියෙන් සයිබර් අවකාශය හරහා එල්ල වෙමින් පවතින බැවින් සයිබර් ආචාර ධර්ම පිළිබඳ අවධානය යොමු කිරීමට සුදුසු කාලය එළැඹ ඇති බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ය.

නිදහසේ තොරතුරු ගලා ඒම සහ පුද්ගලික නිදහස අතර සමබරතාවක් ඇති කරලීම උදෙසා සයිබර් අවකාශයේ යහ පාලනයක් ක්‍රියාත්මක විය යුතු බව තමන්ගේ විශ්වාසය බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

එමගින් අන්තර්ජාල මධ්‍යස්ථාභාවය ඇති කර ගැනීම ඔස්සේ සයිබර් අවකාශයේ වර්ධනාත්මක මෙන්ම විප්ලවීය පියවර ගත හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය.

ලෝකයේ රටවල් 135 ක් නියෝජනය කරමින් දස දහසකට අධික නියෝජිතයන් පිරිසක් මෙවර සමුළුවට සහභාගී වන අතර, ලොව පුරා ස්ථාන 2800 ක සිට විශාල පිරිසක් සජීවීව සමුළුව සමඟ සම්බන්ධතා පවත්වති.


ඉන්දු- ශ්‍රී ලංකා යෝජිත නව ආර්ථික හා තාක්ෂණික ගිවිසුම් ගැන සාකච්ඡා කළා - අගමැති

ඉන්දීය සාගරය ආශ්‍රිත වැඩකටයුතු පිළිබඳවත්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ආර්ථික හා තාක්‍ෂණ ගිවිසුම පිළිබඳවත් සිය නිල සංචාරයේ දී ඉන්දීය රාජ්‍ය නායකයින් සමඟ සාකච්ඡා කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය නොවැම්බර් 24 වැනි දින නවදිල්ලි නුවර දී ප්‍රකාශ කළේය.pm iv

ඉන්දීය නිල සංචාරය නිම  කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී මාධ්‍යවේදීන් හමුවෙමින් මේ බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා දෙරට අතර ආර්ථික සම්බන්ධතාවල මූලික රාමුවට අනුකූලව මෙම ආර්ථික තාක්‍ෂණ ගිවිසුම සැකසීමට අප මෙහිදී තීරණය කළ බව ද අවධාරණය කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ඉන්දියානු සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යතුමා, ජනාධිපතිතුමා, විදේශ කටයුතු ඇමැතිනිය සහ ඉන්දීය කොංග්‍රස් පක්‍ෂයේ සභාපතිනී සෝනියා ගාන්ධි මහත්මියත් හමුවී සාකච්ඡා කිරීමට මට අවස්ථාව ලැබුණා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මේ සෑම සාකච්ඡාවකදීම අවධානය යොමු කළා.

පසුගිය අප්‍රේල් මාසය වන විට අප එකඟතාවයකට පැමිණ සිටි ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව අගමැතිතුමා සමග පැවැති හමුවේ දී සාකච්ඡා කළා. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රමාදයන් ඇති වී තිබුණා. ඒ වගේම පැහැදිලි කර ගත යුතු කරුණු තිබුණා. මේ සියලු කරුණු පිළිබඳව අපේ අවධානය යොමු වුණා.

මෙහි විශේෂත්වය වන්නේ මෙහි ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වන්නේ ඉන්දියාව හා ජපානය යන රටවල් දෙකම සම්බන්ධ කර ගෙන වීමයි. අද ඉන්දියාව සහ ජපානය අතර තිබෙන මිත්‍රතාවයත්, ආසියානු හා අප්‍රිකානු සංවර්ධන තීරුවේ වැඩකටයුතු පිළිබඳවත් අප සාකච්ඡා කළා.

ඉන්දීය සාගරය ආශ්‍රිත වැඩකටයුතු පිළිබඳවත්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ආර්ථික හා තාක්‍ෂණ ගිවිසුම පිළිබඳවත් අප මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කළා. අපේ ආර්ථික සම්බන්ධතාවල මූලික රාමුවට අනුකඣලව මෙම ආර්ථික තාක්‍ෂණ ගිවිසුම සැකසීමට අප මෙහිදී තීරණය කළා. දැන් තිබෙන්නේ එම වැඩ කටයුතු අවසන් කොට ඉදිරියට යාමටයි.

අගමැති සහ සභාපතිනි සෝනියා ගාන්ධි අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය අතර සාකච්ඡාවක් පසුගිය නොම්බර් 23 වැනි දින පස්වරුවේ නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී පැවැත්විණි.

PM indian visitඉන්දියාව හා ශ්‍රී ලංකාවට බලපාන ද්විපාර්ශවික කරුණු මෙන්ම කලාපීය දේශපාලන හා සමාජීය ප්‍රවණතාවන් පිළිබඳවත් මෙහිදී අදහස් හුවමාරු කර ගැණිනි.

හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, කොන්ග්‍රස් පක්‍ෂ නියෝජ්‍ය සභාපති රහුල් ගාන්ධි සහ හිටපු අමාත්‍ය ආනන්ද ෂර්මා කොන්ග්‍රස් පක්‍ෂය වෙනුවෙන් මේ සාකච්ඡාවට එක්වූ අතර, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකා දූත පිරිසට අයත් වූහ.


ඉන්දු -ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා මත ඉදිරියට යාම අතිශය වැදගත්- ඉන්දීය ජනපති

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ඓතිහාසික සම්බන්ධතාවය පදනම් කර ගනිමින්, ආර්ථික හා සංවර්ධන වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අතිශය වැදගත් බව ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා අවධාරණය කළේය.

ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්වය හැමවිටම අද්විතීය හා උණුසුම් මට්ටමකින් පැවති බවත්, වර්තමානයේ ඒ මිත්‍රත්වය වර්ධනය කරලීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබා දෙන නායකත්වය අගය කරන බවත් කෝවින්ද් මහතා පැවසීය.

පසුගිය නොවැම්බර් 23 වන දා සන්ධ්‍යාවේ ඉන්දීය ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අතර නවදිල්ලි නුවර රාෂ්ඨපති භවන් හි දී පැවති සාකච්ඡාවන් හි දී කෝවින්ද් මහතා අවධාරණය කළේ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් දැක්ම තමාගේ අභිලාශය බවය.

ඉන්දියාවේ නව ජනාධිපති පදවියට තේරී පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත්, කැබිනට් මණ්ඩලයේත් සුබ පැතුම් වික්‍රමසිංහ මහතා කෝවින්ද් මහතා වෙත පිරිනැමීය. අත්දැකීම් බහුල රාෂ්ඨ පාලකයෙකු වන කෝවින්ද් මහතාගෙන් ඉන්දියාවට අතිමහත් සේවයක් සැලසෙනු ඇති බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කරලීම පිළිබඳවත්, දෙපාර්ශවය එක්ව සිදු කරනු ලබන සංවර්ධන කාර්යයන්හි ප්‍රමාදයන් දුරු කරලීම පිළිබඳවත් වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දීය ආධාර යටතේ ලබා දෙන නිවාස වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැණිනි.

ඉන්දීය විදේශ ලේකම් එස්. ජයිශංකර්, ජනාධිපති ලේකම් සන්ජේ කොථාරි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සංඳු යන මහත්වරු ඉන්දීය පාර්ශවය වෙනුවෙන් මේ සාකච්ඡාවන්ට එක්වූ අතර, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ අවස්ථාවට එක්වූහ.

 

අගමැති සහ ඉන්දීය විදේශ ඇමැති අතර සාකච්ඡා

pm iv 24ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති අද්විතීය මිත්‍ර සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් කරලීම සඳහා අනාගතයේ ගත යුතු ක්‍රියා මාර්ගයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ ඇමතිනී ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර පැවති සාකච්ඡාවන්හි දී අවධාරණය කෙරිණි.

නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී  පසුගිය නොවැම්බර් 24 වැනි දා මෙම සාකච්ඡා පැවැත්විණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සිදු කළ සාකච්ඡාවන් හි දී අවධාරණය කළ කරුණු සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් අදහස් හුවමාරු කර ගැණුනු අතර, ඉන්දු - ශ්‍රී ලංකා හවුල් ව්‍යාපෘතීන් කඩිමින් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ජපානය සහ සිංගප්පූරුව එක්ව ශ්‍රී ලංකාවේ වරායන් සංවර්ධනය හා නවීකරණය කරලීම උදෙසා ක්‍රියා මාර්ග ගැනීමේ අවකාශයන් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සංඳු, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්වූහ.

 

 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.