• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මොරගහකන්ද ව්‍යාපෘතිය 8 දා ජනතා අයිතියට

a08c4874cabde9b9ee1b7e002177c481 Mමොරගහකන්ද මහා ජලාශ ව්‍යාපෘතිය, දරිද්‍රතාවයෙන් පීඩාවට පත් රජරට අහිංසක ගොවි ජනතාව වෙනුවෙන් මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අප‍්‍රමාණ අධිෂ්ඨානයකින් යුතුව සිදුකළ කැපවීමක අග‍්‍රගණ්‍ය ප‍්‍රතිඵලයක් බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ජනාධිපති ලේකම්වරයා මේ බව ප‍්‍රකාශ කළේ මෙම ජනවාරි 08 වනදා ජනතා අයිතියට පැවරෙන මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ඊයේ (05)  ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

මෙතෙක් කි‍්‍රයාත්මක වූ මහවැලි ව්‍යාපාරයට වඩා පුළුල් ලෙස ව්‍යාප්ත වූ ව්‍යාපෘතියක් මෙන්ම රටේ සංවර්ධන වැඩපිළිවෙළට ශක්තියක් සැපයිය හැකි ව්‍යාපෘතියක් ලෙස මොරගහකන්ද ව්‍යාපෘතිය හඳුන්වාදිය හැකි බව ද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම සංවර්ධන ව්‍යාපෘතිය ජනවාරි 08 වනදායින් නිමා නොවන අතර එහි ප‍්‍රතිලාභ නැගෙනහිර මෙන්ම උතුරේ ජනතාව වෙත ද අත්කරදීමේ ඉදිරි පියවර ඉන් අනතුරුව කි‍්‍රයාත්මකවන බව ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.

දශක හතරකට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදීම මෙම ජනවාරි 08 වනදා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මොරගහකන්ද සංවර්ධන ව්‍යපෘති පරිශ‍්‍රයේදී සිදු වේ.
සිනෝහයිඩ්‍රෝ චීන සමාගම විසින් නිම කරන ලද මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මෙදින නිල වශයෙන් ශී‍්‍ර ලංකා රජය වෙනුවෙන් භාර ගැනීම සිදු කෙරේ.

මහවැලි ව්‍යාපාරයේ 40 වැනි සැමරුම් රාජ්‍ය උත්සවය ද ඒ හා සමගාමීව එදින ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පොල්ගොල්ල වේල්ල අසළදී පැවැත්වේ.

මීට දශක හතරකට පෙර ජනවාරි 8 වැනිදාවක පොල්ගොල්ලෙන් ඇරඹි මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සමාප්තිය මොරහගහකන්ද ජලාශය ජනතා අයිතියට පත්වීමත් සමග ජනවාරි 8 වනදාවකම මෙලෙස සනිටුහන් කෙරෙණ අතර. සාලිස් වසරක මහවැලි අසිරිය නිමිත්තෙන් එම සැමරුම් උත්සවය සංවිධානය කර තිබේ.

අක්කර ලක්ෂ 3ක් අලුතින් අස්වද්දා පුද්ගලයන් ලක්ෂ 15කට සෙත සලසන සහ පුද්ගලයන් ලක්ෂ 3කට පිරිසිදු පානීය ජලය සපයන මොරගහකන්ද කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පෞද්ගලික උනන්දුව හා මෙහෙයවීම මත වේගවත් කෙරුණු අතර එය මෙරට දැනට කි‍්‍රයාත්මක විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ද වේ.

ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසක් වන අතර එය පරාක‍්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයකි. දැනට ජලාශයේ සම්පූර්ණ ධාරිතාවෙන් සියයට 99ක් ජලයෙන් පිරී පවති.

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000 කට අලුත් දියවර සැපයේ. ඒ අනුව වයඹ පළාතේ වැව් 303කට සහ උතුරුමැද පළාතේ වැව් 1600 කට ජලය සැපයෙන අතර නව ලග්ගල හා මැදිරිගිරිය ප‍්‍රදේශයේ ඉදිකරන නව නගරය හා නව ජනපදවල අලුත් වැව් 48 ක් ඉදිකරනු ලැබේ.

නකල්ස් කඳු නිම්නයේ සිට අඹන් ගඟ හරහා ගලා ගිය ජල කඳ හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර ඇති අතර මොරගහකන්දට යාබදින් ගලා බසින කළුගඟ හරස්කර ඉදිවන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට සපයනු ලබයි.

ලංකාවේදී දැකිය හැකි ගල් පිරවූ ප‍්‍රධාන වේල්ලක්, කොන්කි‍්‍රට් කරන ලද වේල්ලක් මෙන්ම පස් වලින් සෑදු වේල්ලක් යන වේලි තුනකින් යුත් එකම ජලාශය මොරගහකන්ද ජලාශය වීම ද විශේෂත්වයකි.

ව්‍යාපෘතිය හේතුවෙන් නාඋල හා ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අවතැන්වන පවුල් 3500 ක් පමණ මේ වන විට නැවත පදිංචිකිරීම් සිදුකරමින් පවතින අතර, දේපළ අහිමිවීම් සඳහා වන්දි මුදල් ලබාදීම සිදුකරමින් පවතී.

ජලාශයෙන් අපේක්ෂිත මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ධාරිතාව වාර්ෂිකව ටොන් තුන් දහසක් වන අතර එමඟින් අපේක්ෂිත වාර්ෂික ආදායම රුපියල් මිලියන 225කි.

මීට අමතරව මොරගහකන්ද ජලාශය තුළින් මෙගා වොට් 25ක විදුලි බල ප‍්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිත අතර එමගින් ඉතිරිවන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336කි.

මොරගහකන්ද ජලාශය ආශී‍්‍රතව වාර්ෂිකව ඇඳ හැළෙන වර්ෂාපතනය ඝණ මීටර් මිලියන 818 ක් වන අතර එම මහා ජල කඳ මුහුදට ගලායෑම වළකා ජලාශයේ රඳවා ගැනීම හේතුවෙන් මනම්පිටිය හා සෝමාවතිය ප‍්‍රදේශවලට වාර්ෂිකව ඇතිවන ගංවතුර තත්ත්වය අවම කිරීමට ද මෙම ව්‍යාපෘතිය තුළින් හැකියාව ලැබේ.

පළාත් තුනක වෙසෙන දහස් ගණනක් ගොවි පවුල් සඳහා ඝෘජු ආර්ථික වටිනාකමක් සැලසෙන කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහනේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකක්නද කළුගඟ වාරි ව්‍යාපෘතිය තුළින් මුළුමහත් ජාතියටම හිමිවන ප‍්‍රතිලාභය අති මහත්ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.