• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහනට වසරක් සපිරේ

navy 2016.12.22පසුගිය සමයේ අමිල සේවාවක් සිදු කළ ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයට වර්තමාන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා නාවික හමුදාධිපති ධුරයේ වැඩභාර ගැනිමෙන් පසු එතුමාගේ උපදෙස් මත කපිතාන් ප්‍රියංකර දිසානායක මහතාගේ නායකත්වය යටතේ සමාජිය ගැටලු සඳහා විසදුම් සෙවිම ඉලක්ක කර‍ ගත් වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලදි.
එහි පළමු පියවර වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් අඩු පිරිවැයක් දරමින් 2015 දෙසැම්බර් මස 22 වන දින පූනෑව සහ කඩවත්රබෑව යන ගම්මානයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් නිපදවා ස්ථාපනය කිරීම සිදු කෙරිණි. එම කර්තව්‍යත් සමඟ ආරම්භ කරන ලද මෙම ප්‍රජා සත්කාරක වැඩසටහනට ඊයේ (22) දිනට වසරක් සපිරේ. 

මෙම උදාරතර සංකල්පයට අනුව මෙම වසර අවසානය වන විට ජල පිරිපහදු යන්ත්‍ර 50ක් ස්ථාපිත කිරීම නාවික හමුදාධිපතිතුමාගේ අභිප්‍රාය විය. නමුත්, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ දැඩි කැපවීම සහ කාර්යක්ෂම බව හේතුවෙන් මේ දක්වා දිවයිනේ වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශ රාශියක් ආවරණය වන පරිදි මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 71ක් ස්ථාපනය කිරීමට නාවික හමුදාවට හැකි විය. මේ වන විට එම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර මගින් පවුල් 33,000 කට හා පාසල් දරුවන් 25,000 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය නොමිලේ ලබාදීමට කටයුතු කර ඇත.

මෙම ජල පිරිපහදු යන්ත්‍ර නිපදවීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන එක් නාවික පුද්ගලයෙකුගෙන් රු.75ක මුදලක් සිය කැමැත්තෙන් නාවික සමාජිය මෙහෙවර අරමුදල (NSRF) වෙත බැර කිරිම මගින් ලබා ගනු ලබයි. තවද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් ලබාදෙනු ලබන මූල්‍යමය ප්‍රතිපාදන මත නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර විවිධ ප්‍රදේශයන් වල ස්ථාපිත කිරීම ඉදිරියේදීත් සිදු කරන බැවින්, මෙය වකුගඩු රෝග නිවාරණ වැඩ සටහනේ ජාතික මෙහෙවරක් බවට පත් වී ඇත.

කෘෂිකාර්මික කටයුතු බහුල ප්‍රදේශයන්හි වකුගඩු රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් මේ වන විට දිවයිනේ රෝගීන් 22000 ක් පමණ මරණයට පත්ව ඇත. එමෙන්ම 25000 කට අධික පුද්ගලයන් පිරිසක් මෙම රෝගයට ගොදුරු වී ඇත. නමුත් සමික්ෂණ වාර්තා අනුව, මෙම ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත ප්‍රදේශයන්හි දැනට පිරිසිදු පානිය ජලය ලබා ගැනිම තුළින් ජනතාවගේ උදරාශ්‍රිත රෝගාබාධයන්ට ගොදුරුව රෝහල් ගත කිරිම්  හා  රෝග කාරකයන් අවම වි ඇති බැව් නිරික්ෂණය විය. මෙම යන්ත්‍ර ස්ථාපිත කිරිම තුළින් පමණක් මෙම වකුගඩු රෝගයට වළක්වා ගත නොහැකි අතර, එම යන්ත්‍ර මගින් ඵලදායී ක්‍රියාකාරීත්වයක් ලබා ගැනීම උදෙසා නිසි වේලාවට ඒවායේ නඩත්තු කටයුතු සිදු කිරිම අනිවාර්ය වේ.

එම තත්ත්වය වටහා ගත් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය, එම යන්ත්‍ර අඵත්වැඩියා කිරීම සඳහා කණ්ඩායම් පිහිටුවා නිසි පරිදි යන්ත්‍රයන්ගේ අළුත්වැඩියාවන් සිදු කර පිරිසිදු පානීය ජලය නොකඩවා මහජනතාවට ලබාදිමේ මහගු කර්තව්‍යයේ නියලි සිටි.    
ඉදිරියේදීත් මෙවැනි ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් සිදු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ‍කටයුතු කරමින් සිටින අතර, මෙම ප්‍රජා සත්කාරක සේවාව දිවයිනේ අනෙකුත් ආයතනයන් හා දෙපාර්තමේන්තු සඳහා මහත් ආදර්ශයක් බවට පත්වී ඇත. තවද, මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන දැනට ශ්‍රී ලංකාවේ Corporate Social Responsibility (CSR)  සංයුක්ත සමාජික ප්‍රතිචාරය අනුව ප්‍රථම ස්ථානයට පත්ව ඇති බව ජනමාධ්‍ය මගින් සදහන් කරන ලදී. එමෙන්ම මෙම ප්‍රජා සත්කාරය මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට මහත් රුකුලක් වනු ඇත

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.