වාර්ෂිකව සංවිධානය කෙරෙන සමස්ත ලංකා පාසල් නෙට්බෝල් තරගාවලිය මෙවර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
දින තුනක් පුරා පැවති මයිලෝ කුසලාන නෙට්බෝල් තරගා වලියේ ‘ඒ‘ කාණ්ඩයේ වයස අවුරුදු 18න් පහළ හා 14න් පහළ ශූරතා කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවෝ දිනාගත් අතර, වයස අවුරුදු 16න් පහළ ශූරතාව කොළඹ විශාකා විද්‍යාලීය ක්‍රීඩිකාවෝ හිමිකර ගත්හ.
කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සමස්ත ලංකා පාසල් නෙට්බෝල් ශූරතාව දිනාගත් නව වන අවස්ථාව මෙයයි. බුත්තල රන්ජන් විජේරත්න මහා විදුහල් කණ්ඩායම වයස අවුරුදු 18න් පහළ ‘බී‘ කාණ්ඩයේ ශූරියන් වෙද්දී 16න් පහළ ශූරතාව බණ්ඩාරපොළ මහා විදුහල දිනාගත් අතර, 14න් පහළ ශූරතාව ගුන්නෑපාන සිරිමල්වත්ත මහ විදහල් කණ්ඩායම දිනාගත්හ. දිස්ත්‍රික් 25 ම නියෝජනය කරමින් පැවති මූලික වටයේ තරගවලින් ජය ලැබූ නෙට්බෝල් කණ්ඩායම් 330ක් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ මුත් යාපනය ප්‍රදේශයෙන් සුදුසුකම් ලත් පාසල් තරගාවලියට සහභාගි නොවී ය.
තරගාවලියේ සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්ර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ජය සංකේත ප්රදානය මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහි දී අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ උපදේශක සුනිල් ජයවීර හා නෙස්ලේ ලංකා සමාගමේ සහකාර උපසභාපති නෝමන් කන්නංගර යන මහත්වරු ද එක්වී සිටියහ.
අධ්‍යාපන අමාත්‍යාංශය හා පාසල් නෙට්බෝල් සංගමය ඒකාබද්ධව පවත්වන සමස්ත ලංකා පාසල් නෙට්බෝල් තරගාවලියට ආරම්භයේ සිට ම අනුග්‍රහය දක්වන්නේ නෙස්ලේ ලංකා සමාගමයි.