• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

එළැඹෙන උත්සව සමයට "සහන මිල වෙළඳසැල්"

priceඑළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් "සහන මිල වෙළඳසැල්" (Fair Price Shops) ඇති කිරීමටත්, එමගින් සහල්, පරිප්පු, සීනි, හාල්මැස්සන්, ළූණු, අර්තාපල් හා ටින් මාලූ ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 08ක් ඇතුළත් සහන මල්ලක් (Budget Pack) වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී  තීරණය කර තිබේ.

මේ වන විට වෙළඳපොලෙහි මිල ඉහල ගොස් ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක්, සාමාන්‍ය වෙළෙඳපොළ මිල යාන්ත්‍රණයෙන් පරිබාහිරව, එහි පිරිවැයට අනුව සහන මිළක් යටතේ සාමාන්‍ය ජනතාවට ලබා දීමේ ක්‍රමවේදයක් වශයෙන් රජය මෙම පියවර ගෙන ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ගේ සහ අදාළ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගේ ද සහභාගීත්වය ඇතිව පසුගිය 12 වැනි දින අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී එම තීරණවලට එළැඹිණි.

පෞද්ගලික සුපිරි වෙළෙදසැල් ජාලය හා ලංකා සතොස අලෙවි සැල් මගින් එම සහන මල්ල පාරිභෝගිකයන්ට ලබාගැනීමට හැකි වන පරිදි බෙදා හැරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට ද අපේක්‍ෂිතය.

මෙම යාන්ත්‍රණය ඔස්සේ භාණ්ඩ සැපයීම, භාණ්ඩ ප්‍රවාහනය හා අලෙවිය සඳහා සම්බන්ධ වන සියලූම පෞද්ගලික හා රාජ්‍ය වෙළෙඳ ආයතන සඳහා සහනදායි විදුලි ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට හා විශේෂ ආදායම් බදු සහන ලබාදීමටත් රජය තීරණය කරන ලදී.

ලංකා සතොස, කාගීල්ස් ෆුඩ් සිටි ආයතනය, ලාෆ්ස් සමාගම, රිචඩ් පීරිස් සමාගම, ජෝන් කීල්ස් සමාගම හා වික්‍රමරත්න පෞද්ගලික සමාගම වැනි ප්‍රමුඛ පෙළේ  සුපිරි වෙළඳසැල් හා ආයතන මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වීමට මේ වන විටත් එකඟතාවය පළ කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.