• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අපනයන කෘෂිකර්මාන්තයට නව දැනුම හා තාක්ෂණය

‍අපනයන කෘෂිබෝග පිළිබඳ වාර්ෂික පර්යේෂණ සමුළුවේ දී එළිදක්වන නව දැනුම හා තාක්ෂණය තුළින් අපනයන කෘෂි කර්මාන්තය යාවත්කාලීන කිරීම මෙහි එක් අරමුණක් බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා පැවසීය.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයන්ගේ නවතම පර්යේෂණ ප්‍රතිඵල එළිදක්වන අපනයන කෘෂි බෝග පිළිබඳ වාර්ෂික පර්යේෂණ සමුළුව (ASEAC - 2018 - (ඒසිඇක් 2018) Annual Symposium on Export Agricultural Crops ) සහ කෘෂිකාර්මික ප්‍රදර්ශනය ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී පසුගියදා පැවැති අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙම සමුළුව හා ප්‍රදර්ශනය සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ ප්‍රධානත්වයෙන් පැවති අතර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය මඟින් සංවිධානය කෙරිණි. මෙවර එහි තේමාව වන්නේ "තිරසර භෝග කළමනාකරණය මඟින් උසස් ගුණාත්මයක් සහිත නිෂ්පාදන" යන්නයි.

පස්වෙනිවරට පැවැති මෙම සමුළුවේදී එළි දැක් වූ පර්යේෂණ ප්‍රතිඵල කුළුබඩු හා අපනයන ක්ෂේත්‍රයේ නියැලී සිටින ගොවි මහත්වරුන්, අපනයනකරුවන්, සැකසුම්කරුවන් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාවට පර්යේෂණ ක්ෂේත්‍රයේ නියැලී සිටින පර්යේෂකයන්ට, විද්‍යාඥයන්ට හා විශ්ව විද්‍යාල ප්‍රජාවට වැදගත් වන බව අචාර්ය හීන්කෙන්ද මහතා පැවසීය. මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ ඉන්දියාවේ බැංගලෝර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වී. ආර්. රාමක්‍රිෂ්ණා පරමා මහතා විසිනි.

ASEAC- 2018 සමුළුවට සමගාමීව පැවැති කෘෂිකාර්මික ප්‍රදර්ශනය කුටි 50 කින් සමන්විත වූ අතර ප්‍රදර්ශනය මඟින් වැඩි දියුණු කළ පැළ හා රෝපණ ද්‍රව්‍ය, කුළුබඩු සකස් කිරීමේ හා වියළීමේ යන්ත්‍ර සුත්‍ර, ප්‍රවීන සුපවේදීන් විසින් මෙහෙයවනු ලබන කුළුබඩු ආශ්‍රිත ආහාර සැකසීම, තාක්ෂණික පොත් හා පත්‍රිකා, ව්‍යාපාර උපදේශන සේවා ඇතුළු සුවිශේෂි අංග රැසකින් සමන්විත විය.

මෙම අවස්ථාවට සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් බන්ධුල වික්‍රමආරච්චි, ඇතුළු රාජ්‍ය නිලධාරින්, අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රයට හා වැවිලි ක්ෂේත්‍රයට සම්බන්ධ පර්යේෂකයන් , වගාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.