• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍ර‍කාශය - 2018.11.11

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කරනු ලැබූ විශේෂ ප‍්‍රකාශය- 2018-11-11

 

තෙරුවන් සරණයි, දෙවි පිහිටයි,
ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි,
සියලුම ගෞරවනීය ආගමික පූජතුමන්ලාගෙන් අවසරයි.
හිතවත්, දෙමාපියනි, දරුවනි, හිතවතුනි,


වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් දින 14 ක් ඇතුළත ඔබ අමතන තුන්වන අවස්ථාව අද. මම පළමුවෙන්ම ගරු මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කීරීමෙන් අනතුරුව ඔක්තෝබර් 28 වනදා ඔබට මගේ අදහස් ඉදිරිපත් කළා.


ඒ වගේම නොවැම්බර් 05 වනදා බත්තරමුල්ලේ පැවති ජන හමුවේ දී දෙවන අවස්ථාවට දේශපාලන අදහස් මම ඔබට ප‍්‍රකාශ කළා. අද තුන් වන අවස්ථාවටයි මම ඔබ අමතන්නේ . මෙහි තිබෙන වැදගත්කම ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මා විසින් ඔබ අමතන අවස්ථාව වීමයි. විශේෂයෙන්ම මා මුලින්ම ඔබට සඳහන් කරන්නට ඕන ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හේතු වූ කරුණු ඉතාමත් සැකෙවින් මෙන්ම කෙටියෙන්,

 

අපේ රටේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය, ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව ආරම්භ කරනු ලැබුවේ රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගය අවසන් කරමින්, පළමුවෙනි පාර්ලිමේන්තුව ආරම්භ වුණේ 1947. එදා සිට අද දක්වා මහ මැතිවරණ පවත්වමින්, ආණ්ඩු වෙනස්වෙමින්, නව රජයන් බලයට පත්වෙමින් මේ රටේ රාජ්‍ය පාලනය සිදුවී තිබෙනවා. විශේෂයෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ තත්ත්වය පසුගිය සතිය වන විට දේශපාලන වශයෙන් මෙන්ම සමාජමය වශයෙන් විනයගරුක සහ සදාචාරාත්මක සහ ශීලාචාර සමාජයක් ගොඩනැගීමේ කාර්යය උරුම වී තිබෙන රටේ උතුම්ම ස්ථානය, ජනතා පරමාධිපත්‍ය පැහැදිලිවන ඉහළම ස්ථානය වන පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ගේ වටිනාකම් රුපියල් මිලියන 100 සිට 150 දක්වා, ඒවගේම ඇතැම්විට සමහර මන්තී‍්‍රවරු මිලියන 500 දක්වා මිල නියම කර පෙන්වන්න පටන් ගත්තා.

අපේ රටේ පාර්ලිමේන්තුව තුළ ඇති වූ දේශපාලන අර්බුද සහ වෙනස්වීම් වලදී ඒ පිළිබඳව අපට අත්දැකීම් තිබෙනවා. මගේ මතකයේ තිබෙනවා 1964 දී ලේක්හවුස් පනතට විරුද්ධ වී පාර්ලිමේන්තුවේ ඇති වූ පරිවර්තනයන්. ඒ තුළ සිදු වූ ආණ්ඩු වෙනස. නමුත් 47 සිට අද දක්වා කාලය ගත් විට විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවල දූෂිත වූ තත්ත්වයක් අපිට දැනගැනීමට වාර්තා වන්නේ නැහැ. 2015 ඇති වූ මහ බැංකු මංකොල්ලය, ඉන් පසුව ඇති වූ විවිධ දූෂණ අක‍්‍රමිකතාවලට තිබූ සම්බන්ධතාවය, මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා ඇතිවූ දේශපාලන උණුසුම් සහගත තත්ත්වයේදී මන්තී‍්‍රවරුන්ගේ වටිනාකම් මම පෙර කී පරිදි මිල නියම කිරීම ඒ අය විසින් කරනු ලැබුවා. එය ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. ඔබේ ගෞරවනීය ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට පැමිණි මෙම නියෝජිතයන් තමන්ගේ වටිනාකමට වාණිජ්‍ය වටිනාකමක්, මිලක් නියම කිරීම මොනතරම් දේශපාලන වශයෙන් ඛේදජනක ද අවසනාවන්ත ද යන්න ඔබ සෑම කෙනෙක්ම පිළිගන්නා වූ දෙයක්.

ඒ තුළ ප‍්‍රධාන වශයෙන්ම ඇති වූ තත්ත්වය මූලික කාරණයක් වුණා පාර්ලිමේන්තුව විසුරුවන්න. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දෙවන කාරණය ලෙස මුල් වූයේ හිටපු කථානයක කරු ජයසුරිය මහතාගේ හැසිරීම පුදුමාකාර වීම. ඒ ගැන මම ඉතාම කනගාටු වෙනවා. එතුමා මගේ ඉතාම හිතවතෙක්, මිත‍්‍රයෙක්. අපේ රටේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය තුළ පත් වූ කාථානායකවරු මධ්‍යස්ත හා අපක්ෂපාතිභාවය ඉහළින්ම පෙන්නුම් කළා 1947 සිට මේ දක්වාම. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය පිළිබදව නොසලකමින්, ඒ වගේම ජනාධිපතිවරයා සතු බලතලවලින් අග‍්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමේදී එය පිළිනොගන්නා ස්වභාවයක් ඇති කරමින් එතුමා විසින් කරනු ලැබූ ප‍්‍රකාශනයන් සහ එතුමාගේ හැසිරීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මුල් වූ දෙවන කාරණය කියලා මම මෙහි දී සඳහන් කරන්න ඕන.

 

මෙහි දී මා මතක් කරන්න ඕන අපි දේශපාලන තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේ දී ඔබේ මතකය මම යොමු කරනවා 2015 ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපති මැතිවරණයෙන් පසුව ඊට පසුදා ජනාධිපති ධූරයේ දිවුරුම් දී, ඊට මොහොතකට පසුව ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර මණ්ඩලයේ 225 න් 162 ක බලයක් තිබූ දි.මු ජයරත්න මහතා ඉවත් කර. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පත්වුණේ මන්තී‍්‍රවරුන්ගේ සංඛ්‍යාව 41 ක් තිබියදී. ඒ අවස්ථාවේ අද කතා කරන බහුතරය පිළිබඳව කථා නොකළ බව ඔබේ මතකයේ තිබෙනවා.


බොහෝ විට සම්ප‍්‍රදාය වන්නේ ජනාධිපතිවරයාට විශ්වාසය තැබිය හැකි පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරු බහුතරයකගේ කැමැත්ත ගත හැකි මන්තී‍්‍රවරයෙකු, අගමැතිවරයා වශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන එකඟතාවයන් අනුව පත් කිරීම. එසේ පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම සඳහා කෙරෙන ස්ථාවර නියෝග, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නීති රීති යටතේ කටයුතු කරනු ලබනවා. එහෙත් අගමැතිවරයෙක් පත් කර පාර්ලිමේන්තුවට යන පළමු දිනයේදීම කිසියම් ආකාරයක ඔහු කෙරෙහි විශ්වාසය තිබේ ද යන්න බහුතරය විමසීමේ ඡන්ද විමසීමක් කිසි දවසක අපේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ සිදුවී නැහැ. ස්ථාවර නියෝග තුළ එවැන්නක් සිදුවන්නෙත් නැහැ.

 

නමුත් පාර්ලිමේන්තුවේ ඒ තිබූ සම්ප‍්‍රදායන් කඩ කරමින් ගරු කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරනු ලැබු නිවේදන අංක 02 යටතේ, එතුමා නිකුත් කළ පළමු නිවේදනයේ සඳහන් වුණා මහින්ද රාජපක්ෂ මහතා පිළිගනිමින් අගමැතිවරයාට තිබෙන අයිතිවාසිකම් හා වරප‍්‍රසාද පාර්ලිමේන්තුවේ හිමිකරන බව. ඒ කියන්නේ විශේෂයෙන්ම අගමැතිවරයාට අයත් පාර්ලිමේන්තුවේ ආසනය. ඒ වගේම පාර්ලිමේන්තුවේ අග‍්‍රාමාත්‍ය කාර්යාලය. එය පළමු ප‍්‍රවෘත්ති නිවේදනයේ තිබුණත්, ඊට දින කිහිපයකට පසුව නිකුත් කළ දෙවැනි ප‍්‍රවෘත්ති නිවේදනය ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ ප‍්‍රවෘත්ති නිවේදනයක් බවට පත්වුණා. එහි එතුමා කියා සිටියා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පිළිගන්නා බව. මේ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේ දී ඒ ඇතිවූ තත්ත්වය මා දැඩි ලෙස අවධානයට යොමු කළා.

 

ඒ වගේම දෙපාර්ශ්වයේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ ප‍්‍රකාශ නිකුත් වුණා, මාධ්‍ය තුළ විවිධ සාකච්ඡා මගින්, 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී විශාල ගැටුමක් ඇතිවන බවත්, ඇතැම්විට කිහිප දෙනෙකුගේ මරණය පවා සිදුවිය හැකි බවත් ඇතැමුන් ප‍්‍රකාශ කළා. එසේ එම සිද්ධිය සිදුවීමට මම ඉඩ හැරියා නම් 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් කර එම ගැටුම ඔබෙත්, මගෙත් මේ ආදරණීය මාතෘ භූමියේ නගරයක්, ගමක් පාසා ඇතිවන ගැටලු සහගත තත්ත්වය, විශේෂයෙන්ම රටේ සිවිල් ජනතාව අතර කලබලයක්, බරපතළ තත්ත්වයක් නිර්මාණය වන බව පෙනී ගියා.

 

ඒ නිසා ඒ සියල්ලටම වඩාත් සුදුසු විසඳුම වන්නේ ඒ 225 හේ ගැටුම් සහගත තත්ත්වයක් එහි නිර්මාණය වෙමින් රට පුරා විශාල ගැටුම් සහගත සාමය කඩවන තත්ත්වයකට රට පත් වීමට ඉඩ හැරීම නොව මගේ වගකීම සහ යුතුකම වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උසස් ලෙස ගුරු කොට සලකමින් නිදහස් සාධාරණ යුක්ති සහගත මැතිවරණයක් සඳහා මන්ත‍්‍රීවරු තෝරා පත් කර ගැනීමටත් මේ තිබෙන තත්ත්වයන් විසඳා ගැනීමටත් අපේ රටේ පුරවැසියන් ඡන්ද බලය හිමිවූ ලක්ෂ එකසිය පනහක සංඛ්‍යාවට එම බලය පැවරීමත්. ඒ නිසා මන්ත‍්‍රීවරු අතරේ ඇති වූ දූෂිත තත්ත්වයත් කථානායකවරයාගේ ක‍්‍රියා කලාපයත් ගැටුම් සහගත තත්ත්වයන් නිර්මාණය වීමත් මේ සියල්ල සැලකිල්ලට ගනිමින් ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා සුදුසුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුක්තිසහගත වූත් සාධාරණ වූත් තීන්දුව විය යුත්තේ එය පොදු ජනතාවට භාරදීම යන ඒ උතුම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරමාර්ථය ඉටු කරමින් තමයි මම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ. ඒ තුළින් දැන් තිබෙන තත්ත්වයට පැහැදිලි ස්ථිරසාර විසඳුමක් මහ මැතිවරණයකින් ඇති වන බව ප‍්‍රකාශ කරන්නට ඕනෑ.

 

මෙහි දී මහ මැතිවරණය පැවැත්වීමේ පූර්ණ බලධාරීන් වන්නේ මැතිවරණ කොමිෂන් සභාවයි. මැතිවරණ කොමිෂන් සභාවට අපි සම්පූර්ණ සහයෝගය දිය යුතු වෙනවා. මැතිවරණ නීතිරීති ආරක්ෂා කරමින් රට තුළ මැතිවරණ කොමිසම විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාධාරණ සහ යුක්තිසහගත මැතිවරණයක් පැවැත්වීමට ඔබ අප සෑම කෙනෙක්ම අපගේ ඉහළම සහයෝගය මැතිවරණ කොමිසමටත් රාජ්‍ය නිලධාරීන්ටත් ආරක්ෂක කටයුතුවල යෙදෙන පොලීසිය ඇතුළු ත‍්‍රිවිධ හමුදාවටත් සහයෝගය ලබා දෙමුයි කියන ගෞරවනීය ඉල්ලීම මා ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාමත්ම නිහතමානී ලෙසයි. නව ආණ්ඩුවක් අපි තෝරා ගත්තා. ඒ වගේම දුෂිතයන් ඉවත් කර රාජ්‍ය පාලනය සඳහා පිරිසිදු මන්ත‍්‍රී මණ්ඩලයක් තෝරා පත් කර ගැනීම ගෞරවනීය ඔබට භාරයි. අප ප‍්‍රධාන වශයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ඒ ජනමතයට හිස නමමින් මහ මැතිවරණයක් පැවැත්වීම කාගේත් ප‍්‍රසාදයට ලක් වූ කාරණයක් තීරණයක් විදියටයි මා දකින්නේ.

රටේ දැවෙන ප‍්‍රශ්න ජීවන වියදම, සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති කිරීම වගේම දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම වගේම පිරිසිදු විදේශීය ආයෝජන දූෂණයෙන් තොරව ලබා ගැනීම, සදාචාර සම්පන්න විනයගරුක සමාජයක් ගොඩනැඟීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම වැනි කරුණු සියල්ලටම මා හිතනවා විසඳුම වෙන්නේ මේ මැතිවරණය පවත්වා ඔබේ තීරණය අනුව නව ආණ්ඩුවක් පත් කර ගැනීම යි.

ඒ නිසා අපේ ආදරණීය මාතෘභූමිය නව මඟකට අපි අරගෙන යනවා. රටේ අද ජීවත් වන ජනතාවට වගේම හෙට උපදින දරුවන් සඳහා නව තාක්ෂණික ලෝකය තුළ සදාචාරසම්පන්න වූ අපේ සිරිත් විරිත්, සම්ප‍්‍රදායයන්, සංස්කෘතීන් ආරක්ෂා කරමින් දැනුම මුල් කරගත් සමාජයක් ඒ වගේම උගත් බුද්ධිමත් පිරිසක්
වගේම ප‍්‍රබුද්ධ පරිණත රාජ්‍ය පාලකයන් පිරිසක් පත් කිරීම සඳහා ඔබට මේ ඉතාමත්ම විශිෂ්ට වූ අවස්ථාව උදා වී තිබෙනවා. ඒ නිසා මූලික වශයෙන්ම මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දැනට කර ඇති නිවේදනය තුළ ගැසට් නිවේදනයත් ඒ වගේම මැතිවරණ කොමිසම ගෙන ඇති තීන්දුවලටත් අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. එහිදී මැතිවරණයක නීතිරීති තුළ මීට පෙර දැක අත්දැකීම් ඇති මැතිවරණ නීතිරීති උල්ලංගණය වන කරුණු අතර මුල්වන කාරණා එකක් දෙකක් මා ඔබට මතක් කරන්න කැමතියි.

මූලික වශයෙන්ම දේශපාලන පක්ෂවල මැතිවරණ ව්‍යාපාර සඳහා අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා රාජ්‍ය දේපළ අවභාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීම. රජයේ වාහන පාවිච්චි කිරීම සම්පූර්ණයෙන් ඉවත් වීම. පසුගිය ආණ්ඩුව තුළත් වර්තමාන භාරකාර ආණ්ඩුව තුළත් දැනට කටයුතු කරන මේ අවස්ථාවේ දී ඒ එක් එක් අමාත්‍යාංශවලට මන්ත‍්‍රීවරුන්ට පාවිච්චි කිරීමට වාහන ලබා දී තිබුණු බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. අද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අනුව බලය තිබෙන්නේ භාරකාර ආණ්ඩුවක් විදියට නාම යෝජනා දීම නිවේදනය කිරීමේ සිට පාර්ලිමේන්තුව රැස් කරන කාලය දක්වා ඇමති මණ්ඩලය සහ අගමැති ජනාධිපති කියන මේ ඇමති මණ්ඩලයෙන් සමන්විත භාරකාර මණ්ඩලයටයි. ඒ නිසා එම ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලයේ සාමාජිකයන් හැර වෙනත් කිසියම්ම කෙනෙකුට හිටපු රාජ්‍ය ඇමතිවරු, හිටපු නියෝජ්‍ය ඇමතිවරු, හිටපු මන්ත‍්‍රීවරු ඒ කිසිවකුට රජයේ වාහන සහ රජයේ පොදු දේපළ භාවිත කිරීම මැතිවරණ නීතිය යටතේ සම්පූර්ණයෙන්ම තහනම් බව ඔබ දන්නා දෙයක්. ඒ නිසා ආණ්ඩු වෙනස් වීමක් ඇති වූ මේ අවස්ථාවේ හිටපු මැති ඇමතිවරුන් භාරයේ තිබූ සියලුම රජයේ වාහන, සම්පත් වහාම අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදෙන ලෙස ඒ මැති ඇමතිවරුන්ගෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එසේ භාරදීම ප‍්‍රමාද වුව හොත් මට සිදුවෙනවා පොලීසිය යොදවා නීතිය ක‍්‍රියාත්මක කරමින් එම වාහන ආපසු ලබා ගැනීමට පමණක් නොව එවැනි කටයුතු කරන කවුරුන් හෝ වේවා කුමන පක්ෂයක හෝ වේවා ඒ අයට විරුද්ධව ඉතාමත් තදින් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමටත් සිදුවනවා. ඒ නිසා රජයේ වාහන පාවිච්චි කිරීම, රජයේ සම්පත් පොදු දේපළ පාවිච්චි කිරීම මේ අවස්ථාව තුළ සම්පූර්ණයෙන්ම නොකළ යුතු නීතියෙන් තහනම් දෙයක් බව ඔබට මා මෙහි දී කාරුණිකව සිහිපත් කරනවා.

ඒ නිසා මේ මැතිවරණ කටයුතු සිදුකිරීම සඳහා අපි මැතිවරණ කොමිසමට, රාජ්‍ය නිලධාරීන්ට, පොලීසිය, ත‍්‍රිවිධ හමුදාව ඒ සියලු දෙනාටම අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. මැතිවරණ කාලසීමාව තුළ ගැටුම් ඇති කර නොගනිමින් සාමකාමීව ඉතාමත් අවබෝධයෙන් කටයුතු කරමින් ඒ සාමකාමී ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමේ වගකීම දේශපාලන පක්ෂ නායකයන්, මැති ඇමතිවරු, අපේක්ෂයන්, අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් රටේ පොදු ජනතාව ඒ සෑම කෙනෙකුටම පැවරෙන්නා වූ ඉතාමත්ම පුළුල් වගකීමක් බව ඔබ දන්නවා. ඒ සියල්ල සිහිපත් කරමින් මා මේ ඉදිරිපත් කළ කරුණු අනුව අපේ උතුම් රට ඉදිරියට ගෙන යන්නට සමෘද්ධිමත් ආර්ථිකයක් ඒවගේම නවෝදයක් ප‍්‍රබුද්ධ රාජ්‍යයක් ලෝකයේ ශ්‍රේෂ්ඨ උතුම් රාජ්‍ය පාලනයක් සහිත ඉතාම සාදාචාරසම්පන්න සාමකාමී ගුණවත් සමාජයක් ස්වදේශිකත්වය මුල්කරගත් වටිනාකම් ඇතිව අපේ සංස්කෘතිය අපේ දේශීයත්වය ස්වදේශිකවාදය මුල්කරගත් රාජ්‍ය පාලනයක් සඳහා ඔබ සියලු දෙනගේ සහයෝගය මා ඉතාම කාරුණිකව ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී

“නහි වේරේන වේරානී
සම්මන්තී ද කුදාචනං
අවේරේන ච සම්මන්ති
ඒස ධම්මෝ සනන්තනෝ“

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.