2016.07.05 වැනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.
'ඊ මෝටරින් ව්‍යාපෘතිය' - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහා විද්‍යුත් ලිපිගොනු කළමනාකරණ පද්ධතියක් සකස් කරගැනීම, එහි වර්තමානයේ ක්‍රියාත්මක වන වාහන ලියාපදිංචි කිරීමේ පද්ධතිය හා දත්ත පද්ධතිය වැඩිදියුණු කිරීම සහ සන්නිවේදන ජාලය වැඩිදියුණු කිරීම යන මූලිකාංග තුනක් (03) යටතේ ඉහත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරේ. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, මෙම 'ඊ මෝටරින් ව්‍යාපෘතිය' නිමැවුම් කර, ක්‍රියාත්මක කොට භාර දීමේ (Build, Operate and Transfer) ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා යාමෙන් ප්‍රදේශවාසීන්ගේ නිවාසවලට සහ ව්‍යාපාර ස්ථානවලට සිදු වූ හානි සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා
2016-06-05 දින කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා යාම හේතුවෙන් සිවිල් පුරවැසි ජීවිත හානි කිසිවක් වාර්තා නොවූ නමුත් ඒ අවට පිහිටි ග්‍රාම සේවා වසම් 12ක චංචල හා නිශ්චල දේපළවලට හානි සිදු වී ඇත. එසේ හානියට පත් නිවාස හා ව්‍යාපාරික ස්ථාන සඳහා වන්දි ගෙවීම සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ මූලිකත්වයෙන් පත් කරන ලද අමාත්‍ය කමිටුවේ නිර්දේශ පරිදි අවශ්‍ය සහන ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදී. ඒ අනුව සිය නිවාස හා ව්‍යාපාරික ස්ථානයන්ට හානි වූ පවුල් සඳහා ඔවුන් නැවත එකී පරිශ්‍රයන්හි පදිංචියට යන තෙක් මසකට රුපියල් 50,000/- බැගින් ගෙවනු ලබන අතර, මේ වන විට පවුල් 400කට පමණ රුපියල් 50,000/- බැගින් ලබා දී ඇත. සාලාව හා අවට ප්‍රදේශය යථා තත්ත්වයට පත්වීමට තවත් මාස කිහිපයක් ගතවිය හැකි බැවින් නිවාසවලට පූර්ණ හානි හා අර්ධ හානි සිදු වූ සහ නිවාසවලට යාමට නොහැකි තත්ත්වයේ පසුවන ඉතිරි පවුල් සඳහාද රුපියල් 50,000/- බැගින් වූ මාසික දීමනාවක් ලබා දීමටත්, චංචල දේපළ හානිවීම් සම්බන්ධයෙන් වන්දි ලබා දීම ඒ සඳහා පත් කරනු ලබන තක්සේරු කමිටුවල නිර්දේශය පරිදි කඩිනමින් සිදු කිරීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
එමෙන්ම මෑතකදී ඇති වූ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් කොලොන්නාව ඇතුළු බස්නාහිර පළාතේ පදිංචිකරුවන් වෙත සහන ලබා දීමේ කටයුතු කඩිනම් කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් දීමටද අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
පාරම්පරික දේශීය වෛද්‍ය පර්යේෂණ රෝහලක් හා ඔසු උයනක් ඉදි කිරීම
ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුවීමේ සැලකිය යුතු ප්‍රවණතාවක් වර්තමානයේ දක්නට ලැබේ. පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය වර්තමානයට මෙන්ම අනාගත පරපුරටද උරුම කර දිය යුතු මහාර්ඝ වෛද්‍ය ක්‍රමයක් වන බැවින් එය සංරක්ෂණයට සහ සංවර්ධනයට අවශ්‍ය පියවර ගැනීම පිණිස රජය විසින් කටයුතු කරනු ලැබේ. ඒ අනුව, දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි 'වෙදගම' ආදර්ශ ගම්මානය ආශ්‍රිතව පාරම්පරික දේශීය වෛද්‍ය පර්යේෂණ රෝහලක් සහ ඔසු උයනක් ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
බස්නාහිර මහානගර කලාපය තුළ වැසි ජල අපවහනය වැඩිදියුණු කිරීම
බස්නාහිර පළාත මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් 5.7%ක් පමණක් වුවද එය දළ දේශීය නිෂ්පාදනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙන අතර, ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් කාර්මික, වාණිජ හා පරිපාලන කේන්ද්‍රස්ථානයකි. කළු ගඟ, කැලණි ගඟ ඇතුළු ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන ගංගා නිම්න 5ක් බස්නාහිර පළාත තුළ පිහිටා ඇති අතර, ඒ හේතුවෙන් නිරන්තරයෙන් ඇති වන ජල ගැලීමේ අවදානම අවම කිරීම සඳහා දැනට පවතින යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම බස්නාහිර මහානගර කලාපය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පුරවරයක් බවට පරිවර්තනය කිරීමේදී ඉතා වැදගත් වේ. වේරැස් ගඟ වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ වැඩකටයුතුවලින් 30%ක් පමණ දැනට අවසන් වී ඇත. බස්නාහිර පළාතේ ජල ගැලීම් තර්ජන සහිත කලාපවල ගංවතුර ගැටලුවලට දිගුකාලීන පිළියම් සෙවීමේ අරමුණින් වැසි ජලය මුහුදට බැහැර කිරීමේ ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා කුඩා උමං දෙකක් ඉදි කිරීම, වැසි ජලය මුහුදට පොම්ප කිරීමේ ජල පොම්පාගාර දෙකක් ඉදි කිරීම ඇතුළු ව්‍යාපෘති 08ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
තේ ශක්ති අරමුදල ප්‍රතිව්‍යූහගත කිරීම
තේ ශක්ති අරමුදල ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද නිලධාරි කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි තේ ශක්ති අරමුදල ප්‍රතිව්‍යූහගත කිරීමටත්, තේ ශක්ති අරමුදල සතු කර්මාන්තශාලා 12 හි කළමනාකාරිත්වය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ ඉහළ නැංවීම සඳහාත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තිය නියාමනය කිරීම සඳහා ඉංජිනේරු වෘත්තිකයන් ලියාපදිංචි කරමින් ඉංජිනේරු සභාව පිහිටුවීම
ශ්‍රී ලංකාවේ සහ විදේශ රටවල පිහිටි විවිධ අධ්‍යාපනික ආයතනවලින් සුදුසුකම් ලබන ඉංජිනේරු වෘත්තිකයන්, ඔවුන් විසින් හදාරන ලද අධ්‍යයන පාඨමාලාවල ප්‍රමිතිය හා මට්ටම අනුව විවිධ වෘත්තීයමය අත්දැකීම්වලින් සමන්විත වන අතර, ඔවුහු විවිධ මට්ටම්වල ඉංජිනේරු කාර්යයන්හි නියැළෙති. එසේ වුවද එලෙස විවිධ ආයතනවලින් සුදුසුකම් ලබන වෛද්‍ය, නීති වැනි ක්ෂේත්‍රවල වෘත්තිකයන් සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන ලියාපදිංචි කිරීමේ හෝ බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය වැනි පිළිගත් නිසි ක්‍රමවේදයක් ඉංජිනේරු වෘත්තිකයන් සම්බන්ධයෙන් අනුගමනය නොකෙරේ. ඒ අනුව, ඉංජිනේරු වෘත්තිකයන්ගේ වෘත්තීයමය තත්ත්වය පවත්වාගෙන යාම සහ නියාමනය සම්බන්ධයෙන් වගකීම දරන 'ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව' පිහිටුවීමටත්, ඉංජිනේරු වෘත්තිකයන් ලියාපදිංචි කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ කරුණු සඳහා විධිවිධාන සැලැස්වීමටත් කෙටුම්පත් කරන ලද ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභා පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් උත්සවය 2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම
1950 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී පවත්වන්නට යෙදුණු ලෝක බෞද්ධ සම්මේලනයේදී වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් සැමරිය යුතු දිනයක් ලෙස මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමා විසින් යෝජනා කරන ලද අතර, ඉන්පසුව 1999 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය ගරු ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව වෙසක් දිනය ජාත්‍යන්තරව සැමරීමේ සම්ප්‍රදාය පිළිගැනීමට ලක් විය. 2016 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් උත්සවය තායිලන්තයේදී පවත්වන ලදී. 2017 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් උත්සවය හා සමුළුව 2017 මැයි මස 12 සහ 13 යන දිනයන්හිදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සහ ඊට අදාළ කටයුතු සම්පාදනය කිරීම පිණිස කමිටුවක් පත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ බුද්ධශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම (නීතිඥ සහාය වෙත ප්‍රවේශ වීම සඳහා රැඳවියන්ගේ අයිතිවාසිකම්)
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටින තැනැත්තෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව, එකී තැනැත්තා මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීමට පෙරාතුව, එම තැනැත්තාගේ වියදමින් ඔහු කැමති නීතිඥවරයකුගේ සේවය ලබාගැනීමට සහ නීති උපදෙස් ලබාගැනීමටත් ඇති අයිතිය පිළිගනිමින්ද, එසේ නීතිඥවරයකුගේ සේවය ලබාගැනීමට හැකියාවක් නොමැති බව එම තැනැත්තා විසින් ප්‍රකාශ කරන විටෙකදී එම සේවය නීති ආධාර කොමිසමේ නීතිඥවරයකු වෙතින් ලබා දීමටත් අදාළ විධිවිධාන සැලසීම සඳහා සකස් කරනු ලැබ ඇති අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ප්‍රධාන නීති/ව්‍යවස්ථා ඒකාබද්ධ කිරීම
දුරාතීතයේදී පනවනු ලැබූ නීති/ව්‍යවස්ථා නිතර නිතර සංශෝධනය වීම හේතුවෙන්, එවන් නීති අවබෝධ කරගැනීම සංකීර්ණ හා අපහසු කාර්යයක් බවට පත්ව ඇත. මෙම තත්ත්වයට පිළියමක් ලෙස අධිකරණ අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) සහාය ඇතිව ප්‍රධාන ව්‍යවස්ථා/නීති පහක් (05) සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම නැවත කෙටුම්පත් කර ඒකාබද්ධ කිරීමට කටයුතු කරනු ලබයි. ඒ යටතේ ඒකාබද්ධ කිරීමට නියමිත ප්‍රධාන ව්‍යවස්ථා පහ (05) අතරට වැටෙන සාක්ෂි ආඥාපනත, අපරාධ නඩු විධාන සංග්‍රහය සහ දණ්ඩ නීති සංග්‍රහය යන ව්‍යවස්ථා පිළිබඳව අවධානය යොමු කිරීමේදී එම ව්‍යවස්ථාවන්හි අන්තර්ගත ඇතැම් වචන හා ප්‍රකාශ කිරීම් වර්තමාන සන්දර්භය තුළ සම්පූර්ණයෙන්ම යල්පැන ගොස් ඇති බැවින් එම නීති/ව්‍යවස්ථා භාවිත කරන මහජනතාව විසින් එකී පද සහ ව්‍යවහාරයන් වරදවා වටහා ගනු ලැබිය හැකි බව පෙනී ගොස් ඇත. එබැවින් එම ව්‍යවස්ථාවල ඇතුළත් එබඳු වචන සහ ප්‍රකාශනයන් වර්තමානයට ගැළපෙන උචිත භාෂා ව්‍යහාරයන් පිළිඹිබු වන පරිදි ආදේශ කිරීමට හෝ ප්‍රතිශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2015 අංක 04 දරන අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම
2015 අංක 04 දරන අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත 2016 මැයි මස 16 වන දින ක්‍රියාත්මක වේ. එම පනත යටතේ ශ්‍රී ලංකාවෙන් පිටත දුරබැහැර ස්ථානයක සිට සාක්ෂි ලබා දීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වී ඇත. ඒ අනුව, අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන්ගේ යම් සාක්ෂියක් හෝ ප්‍රකාශයක් පෞද්ගලිකව අධිකරණය ඉදිරියේ පෙනී සිටීමකින් තොරව ශ්‍රී ලංකාවෙන් බැහැර ඕනෑම ස්ථානයක සිට ශ්‍රව්‍ය-දෘශ්‍ය සම්බන්ධතාවක් මඟින් ලබා දීමටත්, එලෙස ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටිමින් සාක්ෂි ලබා දීමේදී විදේශ රටවල පිහිටි ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයක සිට සාක්ෂි ලබා දිය යුතු බවට සහ එලෙස සාක්ෂි ලබා දෙන තැනැත්තන්ගේ නිදහස ආරක්ෂා කොට අයුතු බලපෑම් සිදුවීම වැළැක්වීම සඳහා විධිවිධාන සැලසෙන පරිදි 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතට සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මුහුදේදී ජීවිත ආරක්ෂාව පිළිබඳ සම්මුතිය ප්‍රකාරව නව රෙගුලාසි බලාත්මක කිරීම
අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානය විසින් 1974දී නිකුත් කරන ලද 'මුහුදේදී ජීවිත ආරක්ෂාව සදහා වන සම්මුතිය' පරිදි, ජාත්‍යන්තර වෙළඳ නාවික කටයුතුවලදී අනුගමනය කළ යුතු, මුහුදේදී ජීවිත ආරක්ෂාව සඳහා වන පොදු හා නිශ්චිත නීති සහ රෙගුලාසි හඳුන්වා දෙනු ලැබිණි. වෙළඳ නාවික ක්ෂේත්‍රයට අදාළව පනවනු ලැබූ මෙම සියලු රීති හා රෙගුලාසි අනුගමනය කිරීමට සියලු සාමාජික රාජ්‍යයන් විසින් එකඟතාව පළ කරනු ලැබ ඇත. ඒ අනුව බහාලුම් නෞකාවල ආරක්ෂාව වැඩි කිරීමේ, නෞකාවල ස්ථායීතාව/සමබරතාව පවත්වා ගැනීමේ, බහාලුම් විධිමත්ව ගබඩා කිරීමේ හා පාරිසරික බලපෑම් අවම කිරීමේ අරමුණින් නැව්ගත කරනු ලබන භාණ්ඩ ඇසුරූ සියලුම බහාලුම්වල සහතික කළ දළ බර ප්‍රමාණය කොපමණද යන්න සඳහන් කළ සහතිකයක් ඉදිරිපත් කළ යුතුය. දැනට අපනයනය කරනු ලබන බහාලුම්වල බර ප්‍රමාණ ලේඛනවල සඳහන් කළද ඒ සඳහා විධිමත් සහතිකයක් නිකුත් කිරීමට පියවර ගෙන නොමැත. ඒ අනුව, එකී කාර්යය සඳහා විධිවිධාන සැලසීම පිණිස වෙළඳ නාවික ලේකම් කාර්යාලය විසින් නාවික ක්ෂේත්‍රය හා සම්බන්ධ අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව සකස් කරන ලද, බහාලුම් බර සත්‍යාපනය කරන්නන් හා බහාලුම් ප්‍රවාහකයන් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ නියෝග නීති කෙටුම්පත් සම්පාදක ලවා කෙටුම්පත් කරවීමටත්, ඉන් අනතුරුව රජයේ ගැසට් පත්‍රයේ පළ කර අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
දීර්ඝ කාලීනව අභ්‍යන්තර අවතැන් වූවන් උතුරු පළාතේ නැවත පදිංචි කිරීම
ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අභ්‍යන්තර වශයෙන් අවතැන්වීම 1980 දශකයේ සිට ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබුණු සංසිද්ධියක් වූ අතර, ඒ හේතුවෙන් උතුරු පළාතේ වාසය කළ දෙමළ ජනතාවට අමතරව සිංහල, හා මුස්ලිම් පවුල් රැසක්ද අභ්‍යන්තර වශයෙන් අවතැන්වීම්වලට ලක් විය. ගැටුම් අවසන් වීමෙන් පසු මෙලෙස දීර්ඝ කාලයක් අභ්‍යන්තර වශයෙන් අවතැන්ව සිටි පුද්ගලයන් නැවත ඔවුන්ගේ මුල් වාසස්ථාන කරා පැමිණීම ආරම්භ වුවද, මූලික පහසුකම් නොමැති වීම හේතුවෙන් ඔවුන්ව ඵලදායී ලෙස නැවත පදිංචි කිරීමට හැකියාවක් නොලැබිණි. දීර්ඝ කාලීනව අවතැන්ව සිට නැවත පැමිණෙන්නන්ගේ නිවාස අවශ්‍යතාව මුස්ලිම් පවුල් සඳහා නිවාස 16,120ක්ද සිංහල පවුල් සඳහා නිවාස 5,543ක්ද වශයෙන් හඳුනාගනු ලැබ ඇත. එලෙස අවතැන් වීම හේතුවෙන් ඡන්ද අයිතිය ඇතුළු ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම්වලට බලපෑම් සිදුව ඇති අතර, උපත් හා මරණ ලියාපදිංචි කිරීමේදී මෙන්ම පාසල් සඳහා ළමයින් ඇතුළත් කිරීමේදීද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු අනෙකුත් රජයේ ආයතන විසින් සලසා දෙනු ලබන පහසුකම් සඳහා ප්‍රවේශ වීමේදීද දුෂ්කරතාවන්ට මුහුණ දීමට ඔවුන්ට සිදුව ඇත. ඒ අනුව, දීර්ඝ කාලීනව අභ්‍යන්තර වශයෙන් අවතැන්වූවන් උතුරු පළාතේ නැවත පදිංචි කරවීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට හා එහිදී ඔවුන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගේ හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගේ සම-සභාපතිත්වයෙන් සහ අදාළ පළාත් ප්‍රධානීන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කාර්යසාධක බලකායක් පත් කොට එහි නිර්දේශ අනුව කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.
පුනරුත්ථාපනය හා නැවත පදිංචි කිරීම යටතේ සංවර්ධන ව්‍යාපෘති - 2016 - පසුගිය කාලයේදී තර්ජිත ගම්මානවල හා උතුරු නැඟෙනහිර පළාත්වල නැවත පදිංචි කළ පවුල් හා ආපසු පැමිණි සරණාගතයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති
උතුරු හා නැඟෙනහිර පළාත්වල ගැටුමෙන් විපතට පත් ප්‍රදේශ සහ කලින් තර්ජනයට ලක්ව පැවති ප්‍රදේශ සඳහා 2016 වර්ෂය තුළ නැවත පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 14ක විශේෂ අයවැය ප්‍රතිපාදනයක් 2016 අයවැය යෝජනා මඟින් වෙන් කරන ලදී. ඒ අනුව, නව නිවාස ඉදි කිරීම, අර්ධ වශයෙන් හානි වූ නිවාස අලුත්වැඩියා කිරීම, සනීපාරක්ෂක පහසුකම් සලසා දීම, සුරක්ෂිත පානීය ජලය සපයා දීම, ප්‍රතිස්ථානගත කිරීමේ වැඩසටහන්, නැවත පදිංචි කරන ලද අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ පවුල් හා නැවත පැමිණි සරණාගතයින් සඳහා ජීවනෝපාය සහායන් සලසා දීම සහ මාර්ග අලුත්වැඩියා කිරීම, නැවත පදිංචි කරවන ලද ප්‍රදේශවල යටිතල පහසුකම් ගොඩනැංවීම ඇතුළු ජන ජීවිතයට වැදගත් වන සංවර්ධන ව්‍යාපෘති රැසක් අභ්‍යන්තර වශයෙන් අවතැන්වූවන්ගේ සහ පෙරළා පැමිණි සරණාගතයින්ගේ යහපත සඳහා 2016 අයවැය යෝජනා යටතේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවනු ලැබ ඇති බවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා වාර්ෂික ඇස්තමේන්තුවල විශේෂ වැය ශීර්ෂයක් ඇති කිරීම
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සිංහල හා දෙමළ භාෂා රාජ්‍ය භාෂාවන් ලෙස පිළිගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ඕනෑම රාජ්‍ය ආයතනයකින් තමාට අභිමත රාජ්‍ය භාෂාවකින් සේවා ඉටුකරවා ගැනීමේ අයිතිය ද සුරක්ෂිත කර ඇත. ඒ අනුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුකූලව මෙරට සියලුම රාජ්‍ය ආයතන සිංහල භාෂාවෙන් හා දෙමළ භාෂාවෙන් සේවා සැපයීමට බැඳී සිටී. 2020 වර්ෂය වන විට පුරවැසියන්ට තමන් කැමති රාජ්‍ය භාෂාවකින් සේවය ලබාගැනීමට පහසුකම් සැලසීමේ අරමුණින්, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා 2017 වසරේ සිට රජයේ සියලු අමාත්‍යාංශයන්හි අයවැය ඇස්තමේන්තුවල වෙනම වැය විෂයක් යටතේ ප්‍රතිපාදන වෙන් කිරීම පිණිස ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වොෂින්ටන් ඩී.සී.හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැරැණි චාන්සරි ගොඩනැඟිල්ල බදු දීම
ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යාලයීය කටයුතු මීට පෙර පවත්වාගෙන ගිය, වොෂින්ටන් ඩී.සී.හි පිහිටි, ශ්‍රී ලංකා රජය සතු ගොඩනැඟිල්ල මේ වන විට කිසිවකු විසින් පරිහරණය කරනු නොලබන අතර, එම ගොඩනැඟිල්ල ශ්‍රී ලංකා රජයට ආර්ථික වශයෙන් ඵලදායී වන ආකාරයට ප්‍රයෝජනයට ගැනීම සුදුසු බවට නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, එම ගොඩනැඟිල්ල බදු දීම/කුලියට දීම සම්බන්ධයෙන් වන නියමයන් හා කොන්දේසි සාකච්ඡා කිරීම පිණිස ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ සභාපතිත්වය යටතේ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කර, එම ගොඩනැඟිල්ල බදු දීමට/කුලියට දීමට අදාළ ඉදිරි කටයුතු කරගෙන යාම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කදුරුවෙල නගරය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය - අදියර 1
යුද වාතාරවණය අවසන් වීමත් සමඟ කදුරුවෙල ප්‍රදේශයේ ආර්ථික කටයුතු විශාල වශයෙන් ඉහළ ගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කදුරුවෙල නගරය තුළ රථවාහන තදබදය, රථවාහන නවතා තැබීමේ ඉඩකඩ මඳ වීම ආදී ගැටලු මෙන්ම නිසි සැලසුමකින් තොරව සිදු කරනු ලබන ඉදි කිරීම් නිසා පාරිසරික හා සාමාජයීය ගැටලු රැසක්ද පැන නැඟී ඇත. එම ගැටලු සැලකිල්ලට ගනිමින් ඒවාට පිළියමක් ලෙස කදුරුවෙල නගරය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ ඇති අතර, ඒ යටතේ ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව, මෙම ව්‍යාපෘතියෙහි පළමු අදියරට අදාළ සැලසුම් කටයුතු, ඉඩම් සංවර්ධනය කිරීමේ කටයුතු, අපවහන පද්ධතිය සැකසීම හා පස් පිරවීම ආදී කටයුතු ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීම පිණිස අලි/ඇතුන්/ඇතින්නියන් 35කින් යුත් සංචිතයක් සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පවත්වා ගෙන යාම
ශ්‍රී ලංකාවේ පෙරහැර සංස්කෘතිය ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අතර, විශේෂයෙන්ම මහනුවර දළදා පෙරහැර ආදී සුවිශේෂ පෙරහැර කෙරෙහි මුළුමහත් ලෝකයේම විශේෂ අවධානය යොමු වී ඇත. එවන් පෙරහැරක අලංකාරය මෙන්ම ප්‍රෞඪත්වය හා පූජනීය බව පවත්වා ගැනීම සඳහා අලිඇතුන්ගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය බවට නිරීක්ෂණය වී ඇත. මහනුවර දළදා පෙරහැර සහ තවත් ප්‍රසිද්ධ පෙරහැර එකම කාල වකවානුවක යෙදෙන අවස්ථාවන්හිදී දැනට සිටින අලිඇතුන් එකී පෙරහැර සඳහා යොදා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවේ. එසේම මද කිපීම, වයස්ගත වීම වැනි කරුණු හේතුවෙන්ද දැනට සිටින සියලුම අලිඇතුන් පෙරහැර සඳහා සහභාගි කරවා ගැනීමට අපහසු වී ඇත. ඒ අනුව, පෙරහැර කටයුතුවලට සුදුසු වන පරිදි පුහුණු කිරීමේ අරමුණින් පින්නවල අලි අනාථාගාරයෙන් හා අවශ්‍ය අවස්ථාවන්හිදී උඩවලව ඇත්අතුරු සෙවණෙන් ලබා ගන්නා අලි/ඇතුන්/ඇතින්නියන් යොදා ගනිමින් උපරිම වශයෙන් 35ක් දක්වා වන හීලෑ අලි සංචිතයක් ඇති කර සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ඒකකයක් ලෙස පවත්වාගෙන යාම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.