• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.08.23

cabinet2016
සංහිඳියා යන්ත්‍රණයන් සම්බන්ධීකරණය සඳහා වන ලේකම් කාර්යාලය ශක්තිමත් කිරීම

සංහිඳියා ක්‍රියාවලිය හා බැඳුණු තීරණ, වැඩසටහන් සහ ක්‍රියාවලීන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ අදහස ඇතිව 'සංහිඳියා යන්ත්‍රණයන් සම්බන්ධීකරණය සඳහා වන ලේකම් කාර්යාලය' (Secretariat for Coordinating the Reconciliation Mechanisms - SCRM) අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව 2015 වර්ෂය අගදී ස්ථාපිත කෙරිණි. ශ්‍රී ලංකාවේ සංහිඳියා යන්‍ත්‍රණයන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය එම ලේකම් කාර්යාලය වෙත පැවරී ඇත. එසේම ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමය තුළ ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතන සහ ඒවා ක්‍රියාත්මක කරන ආයතන අතර වන අතරමැදි ආයතනය ලෙස ක්‍රියා කරමින් එම කටයුතු පහසුකරණය මෙම ලේකම් කාර්යාලය විසින් සිදු කරනු ලැබේ. ඒ අනුව, මෙම කාර්යාලය සඳහා අවශ්‍ය මානව සම්පත් සහ අරමුදල් සලසා ගැනීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ආසියානු රදගුරු සම්මේලනයේ සමු‍ළුව

හොංකොං නුවර ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති ආසියානු රදගුරු සම්මේලනය, ආසියාතික රටවල ක‍තෝලික ලබ්ධිකයන්ට අදාළ ක්‍රියාකාරකම්වලදී කතෝලික ප්‍රජාව අතර මනා සම්බන්ධීකරණයක් සිදු වන බව සහතික කිරීම සඳහා කටයුතු කරයි. මෙම සම්මේලනයේ කමිටු රැස්වීම වසර 04කට වරක් පැවැත්වෙන අතර, මෙවර එම රැස්වීම 2016 නොවැම්බර් මස 28 දින සිට දෙසැම්බර් මස 04 දින දක්වා මීගමුවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ සඳහා ආසියාවේ සියලුම රටවල් නියෝජනය කරමින් කාදිනල්වරු 08 දෙනෙකු සහ රදගුරුවරුන් 150කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය. ඒ අනුව, එම රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජයේ දායකත්වය ලබා දීම පිණිස සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ලිහිසිතෙල් කර්මාන්තය ලිහිල් කිරීම

මේ වන විට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව හා ලංකා ඉන්දීය තෙල් සමාගම ඇතුළු ආයතන 13ක් ශ්‍රී ලංකාවේ ලිහිසිතෙල් කර්මාන්තය තුළ රැඳී සිටියි. නමුත් ලිහිසිතෙල් කර්මාන්තයට ඇතුළත් වීම සඳහා නව බලපත්‍ර නිකුත් නොකිරීම, 2006 වර්ෂයේ සිට අර්ධ වාර්ෂික ලියාපදිංචි හා බලපත්‍ර ගාස්තු සංශෝධනය නොකිරීම, ස්වාධීන නියාමනකරුවෙකු නොසිටීම වැනි ගැටලු හේතුවෙන් ලිහිසිතෙල් කර්මාන්තයේ සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ලිහිසිතෙල් වෙළෙඳපොළ තුළ ඵලදායී‍ තරඟකාරීත්වයක් සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, ඉදිරිපත් කරන ලද 2016 අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාළව මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද සංදේශයේ අඩංගු පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

(i) ලිහිසිතෙල් කර්මාන්තයට අලුතින් ඇතුළත් වීමට කැමැත්තක් දක්වන අයට බලපත්‍ර ලබා දීම සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය‍ මඟින් අයදුම්පත්‍ර කැඳවීම;

(ii) අර්ධ වාර්ෂිකව ගෙවනු ලබන ස්ථාවර ලියාපදිංචි / බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියන 1 සිට රුපියල් මිලියන 2 දක්වාද උපරිම ලියාපදිංචි ගාස්තුව රුපියල් මිලියන 5 සිට රුපියල් මිලියන 6 දක්වාද වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීම;

(iii) ආනයනික හා දේශීය වශයෙන් මිශ්‍ර කරන ලිහිසිතෙල් සඳහා ජාතික මට්ටමේ තත්ත්ව සහතික නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට උපදෙස් දීම;

(iv) ලිහිසිතෙල් කර්මාන්තයේ නියාමනකරු ලෙස කටයුතු කිරීමට හැකිවනු පිණිස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වෙත බලතල පැවරීම;

(v) ලිහිසිතෙල් නිෂ්පාදන උසස් ප්‍රමිතියකින් මහජනතාව වෙත ලබා දීමට අවශ්‍ය වන නීතිරීති බලාත්මක කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දීම;

(vi) ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන උපදෙස් මාලාවන් දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රේගුවට සහ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවට උපදෙස් දීම.

තාර වෙළෙඳ‍පොළ ලිහිල් කිරීම

මහාමාර්ග හා වෙනත් ඉදි කිරීම් කටයුතු සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිතයට ගැනෙන තාර සඳහා නිරන්තරයෙන් වර්ධනය වන වෙ‍ෙළඳපොළක් ඇත. නව මහාමාර්ග ඉදි කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ මහාමාර්ග ජාලයේ නිරන්තර නඩත්තු කටයුතු සඳහා යොදා ගැනෙන හෙයින් තාර සඳහා තිරසර වෙ‍ෙළඳපොළක් නිර්මාණය වී ති‍බේ. එසේම කලාපයේ මෙන්ම සංවර්ධනය වන වෙනත් රටවල්වල තාර සඳහා නැඟී එන වෙ‍ෙළඳපොළක් තිබෙන බව දක්නට ලැබේ. එබැවින් තාර වෙ‍ෙළඳපොළ ලිහිල් කිරීම මඟින් කලාපීය සැපයුම්කරු ලෙස නැඟී ඒමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදාවනු ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ තාර වෙ‍ෙළඳපොළ ලිහිල් කිරීමේ හා තරඟකාරී වෙ‍ෙළඳපොළක් ඉදි කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද 2016 අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද සංදේශයේ අඩංගු පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

(i) තාර ආනයනය ලිහිල් කිරිම සඳහා නියෝග හා ප්‍රතිපත්ති සකස් කිරීම;

(ii) ආනයන අපනයන පාලන පනත යටතේ අයිතමයක් ලෙස 'තාර' ලැයිස්තුගත කිරීමෙන් ආනයනය සඳහා බලපත් නිකුත් කිරීම;

(iii) අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් ජාතික ප්‍රමිතීන් හඳුන්වා දෙන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට උපදෙස් ලබා දීම;

(iv) තාර සම්බන්ධයෙන් තත්ත්ව අනුකූලතා සහතික නිකුත් කිරීම සඳහා පර්යේෂණාගාර පහසුකම් දියුණු කරන ලෙස හා ප්‍රතීතකරණය කරන ලෙස කාර්මික තාක්ෂණ ආයතනයට (ITI) හා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත උපදෙස් ලබා දීම;

(v) බලපත්‍ර හිමියන්ගෙන් තාර වෙ‍ෙළඳාම මත වාර්ෂිකව රුපියල් මිලියන 2ක ස්ථාවර ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම.

රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි විදේශ ගමන් බලපත්‍රහිමියන් වීසා අවශ්‍යතාවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ‍ජෝර්ජියාව අතර ගිවිසුම

 ශ්‍රී ලංකාව හා ජෝර්ජියාව අතර රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි/නිල සංචරණ පහසුකම් වැඩිදියුණු කිරීම සහ දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින්, රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි විදේශ ගමන් බලපත්‍රහිමියන් වීසා අවශ්‍යතාවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අර්ධ වශයෙන් අවසන් කර ඇති ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම

 අදාළ ප්‍රදේශවල මහජනතාව වෙත ප්‍රතිලාභ සැලසීමේ අරමුණින්, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කෙරෙන, දැනට අතරමඟ නැවතී ඇති, බත්තරමුල්ල පොල්දූව අතුරු මාර්ගය ඉදි කිරීම, ඉමදූව නගරයේ කාණු පද්ධතිය වැඩිදියුණු කිරීම, තංගල්ල හා අඟුණුකොළපැලැස්ස වෙළෙඳ සංකීර්ණ ඉදි කිරීම සහ මිද්දෙණිය නගර සංවර්ධන වැඩසටහන යනාදී ව්‍යාපෘති සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කෙරෙන ලුණුගම්වෙහෙර හා වලස්මුල්ල බස් නැවතුම්පොළවල් ඉදි කිරීම යන ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 516.8ක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස සහ එම ව්‍යාපෘතිවල ඉතිරි කාර්යයන් මුල් කොන්ත්‍රාත්කරුවන් ලවාම නිම කරවා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මාතලේ අලුවිහාර පූජා භූමි සැලසුම් යෝජනා ක්‍රමය යටතේ රජය මඟින් ඉදි කරනු ලැබූ විශ්‍රාම ශාලා ගොඩනැඟිල්ල මාතලේ අලුවිහාරයට පවරා දීම

 
මාතලේ ප්‍රදේශයට පැමිණෙන වන්දනාකරුවන් හ‍ට නවාතැන් පහසුකම් සලසා දීමේ අරමුණින් මාතලේ අලුවිහාර පූජා භූමි සැලසුම් යෝජනා ක්‍රමය යටතේ රජය විසින් ඉදි කරන ලද විශ්‍රාම ශාලා ගොඩනැඟිල්ල නඩත්තු කර පවත්වා ගෙන යාමේ වගකීම 2009 වර්ෂයේ සිට වසර 05ක කාලයක් සඳහා අලුවිහාර රජමහ විහාරස්ථානය වෙත පවරා දී තිබිණි. එම විහාරස්ථානය වෙත පැමිණෙන වන්දනාකරුවන් සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් එම විශ්‍රාම ශාලා ගොඩනැඟිල්ල නඩත්තු කර පවත්වා ගෙන යාමේ වගකීම තවත් වසර 05ක කාලයක් සඳහා මාතලේ අලුවිහාර රජමහා විහාරස්ථානය වෙත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


'වැවක් සමඟ ගමක්' වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියානු සහාය ලබාගැනීම

හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිත ධීවර හා අනෙකුත් ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා භාවිත කරනු පිණිස රුපියල් මිලියන 300ක ආධාර මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ඉන්දියානු රජය එකඟවී ඇත. එම ආධාර මුදලින් කොටසක් 'වැවක් සමඟ ගමක්' වැඩසටහන යටතේ ආදර්ශ ධීවර ගම්මාන සංවර්ධනය උදෙසා යොදාගැනීමට අපේක්ෂිතය. ඒ අනුව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර හා කෘෂි ප්‍රජාවන්ගේ ජීවනෝපායන්ට සහාය වීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉන්දියානු ජනරජය අතර අත්සන් තැබීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ධීවර කර්මාන්තයේ සහයෝගිතාව ගොඩනගා ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම

ධීවර කටයුතුවලදී දෙපාර්ශ්වය අතර සහයෝගිතාව වැඩිදියුණු කරගැනීමේ අරමුණින්, මහජන චීන සමූහාණ්ඩුවේ ගුඇංග්සි ෂුඇං (Guangzi Zhuang) ස්වයං-පාලන ප්‍රාන්තයේ ධීවර, සත්ත්ව පාලන හා පශු සම්පත් කාර්යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය අතර වන අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තේ, රබර් හා පොල් යන වැවිලි ක්ෂේත්‍රවල පොහොර සඳහා මූල්‍ය සහනාධාරයක් ලබා දීම පුළුල් කිරීම

ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, තේ,පොල් සහ රබර් යන ක්ෂේත්‍රවල ඉඩම් හෙක්ටයාර 01ක් හෝ ඊට අඩු වගා බිම් හිමි කුඩා වතුහිමියන් වෙත වාර්ෂිකව ඔවුන් විසින් වගා කරන ලද ඉඩම් ප්‍රමාණයට සමානුපාතිකව පොහොර සඳහා මූල්‍ය සහනාධාරයක් ලබා දීමට රජය විසින් කටයුතු කරනු ලැබ ඇත. එහිදී තේ වගා ක්ෂේත්‍රය සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000/-කද පොල් ක්ෂේත්‍රය සඳහා හෙක්ටයාරයකට රුපියල් 9,000/-කද රබර් ක්ෂේත්‍රය සඳහා හෙක්ටයාරයකට රුපියල් 5,000/-කද සහනාධාර මුදලක් හිමි වේ. මේ සඳහා උනන්දුවක් දක්වන ප්‍රතිලාභීන් වැඩි සංඛ්‍යාවකට සහනාධාර ලබා දීමේ අරමුණින්, රබර් හා පොල් වගාවන් සඳහා පොහොර සහනාධාර ලබා දීමේදී දැනට අනුමත හෙක්ටයාර 01හි ඉඩම් සීමාව, හෙක්ටයාර 02 දක්වා වැඩි කර පොහොර සහනාධාර මුදල් ලබා දීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යෝජිත වවුනියාව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ස්ථාන 02ක ඉදි කිරීම හා උපදේශන සේවා ලබාගැනීම

2016 අයවැය යෝජනාවක් අනුව ස්ථාපිත කිරීමට නියමිත වවුනියාව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේ වගකීම අමාත්‍ය මණ්ඩලය විසින් වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටුව වෙත පවරන ලද අතර මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් වෙතින් ඉදිරිපත් වී ඇති නියෝජනයන් සහ අදාළ අයවැය ප්‍රතිපාදන යොදා ගනිමින් මෙම වසර ඇතුළත අදාළ ඉදි කිරීම් වැඩ නිම කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, එක් විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් වෙනුවට විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 2ක් මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම් ප්‍රදේශයේ සහ වවුනියාව දිස්ත්‍රික්කයේ මාතවුවෛතකුලම් ප්‍රදේශයේ ඉදි කිරීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අන්තර්ජාතික ආගමික සමුළුව - 2016 නොවැම්බර් මාස‍යේදී කොළඹදී පැවැත්වීම

ආගම් අතර බැඳීම හා අවබෝධය තුළින් සාමකාමී සහජීවනය, ආගමික සහනශීලිත්වය සහ බහු සංස්කෘතික පිළිබිඹුව මෙන්ම ජාතීන් අතර සංහිඳියාව ඇති කර ලීමේ කාලීන අවශ්‍යතාව සැලකිල්ලට ගෙන අන්තර්ජාතික ආගමික සම්මේලන දෙකක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, රටවල් 16ක පමණ රාජ්‍ය නායකයන් ඇතුළු ඉහළ මට්ටමේ දේශීය හා විදේශීය නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් 'දකුණු හා අග්නිදිග ආසියානු කලාපීය රටවල බහුවිධ හා ප්‍රජාතන්ත්‍රීය සමාජයන් උදෙසා වන ආගමික කාර්යභාරය - ඉස්ලාම් දහමේ දෘෂ්ටිකෝණය' යන තේමාව යටතේ 2016 නොවැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ආගමික සමුළුවේ සංවිධාන කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

ධීවරයන් වෙත බෙදාදීම සඳහා අවශ්‍ය මාළු දැල් නිෂ්පාදන සීමාසහිත නෝත්සී සමාගමෙන් ලබාගැනීම

ධීවරයන් වෙත සහනාධාර වශයෙන් බෙදාදීම සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව මිල දී ගනු ලබන ධීවර දැල් 100%ක් රජය සතු සමාගමක් වන සීමාසහිත නෝත්සී සමාගම වෙතින් මිල දී ගැනීම පිණිස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2016 වර්ෂය සඳහා යුද්ධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා සහ සිවිල් ආරක්ෂක බලකාය සඳහා නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි වර්ග ලබාගැනීම

ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතනයන්හි රෙදිපිළි අවශ්‍යතා දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් වෙතින් සපුරා ගැනීම 2005 වර්ෂයේ සිට ක්‍රියාත්මක ‍කෙරෙන අතර, එම කටයුතු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ස්ථාපිත දේශීය රෙදිපිළි වෙන් කර දීමේ කමිටුව මඟින් සිදු කෙරේ. ඒ අනුව, 2016 වර්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය සඳහා නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි අවශ්‍යතාවන්, දේශීය රෙදිපිළි වෙන් කිරීමේ කමිටු රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇති පරිදි, ඒ ඒ ‍ෙද්ශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පහළ සංවර්ධන ප්‍රදේශයන්හි මාර්ග ඉදි කිරීම

 මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් බලපෑමට ලක් වන ජනතාව නැවත පදිංචි කිරීම සඳහා මෙන්ම මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා එම ජලාශයන්ට පහළ පිහිටි ප්‍රදේශවල වාරිමාර්ග හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඉතා වැදගත් වේ. ඒ අනුව අත්‍යවශ්‍ය මාර්ග සංවර්ධන කටයුතු වන මොරගහකන්ද - වැල්ලවෙල මාර්ගය(කි.මී. 6.37), අග්බෝපුර හරහා මැදිරිගිරිය - කන්තලේ මාර්ගය(කි.මී. 8.5), සහ නව ලග්ගල නගරය ඇතුළත මාර්ග ඉදි කිරිමේ (මතුපිට ආස්තරණය) කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - පොතුහැර සිට ගලගෙදර දක්වා (කි.මී.32.5) වන 03 වන අදියර ඉදිකිරීම - ලංසු සහ යෝජනා ලබා ගැනීම

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (JICA) මූල්‍ය අනුග්‍රහය යටතේ ඉදි වන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පොතුහැර සිට ගලගෙදර දක්වා වන කි.මී.32.5ක දිගකින් යුතු 03 වන අදියරෙහි ඉදි කිරීම් කටයුතු සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු සහ උපදේශකවරයෙකු තෝරාගැනීමට ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි ලංසු සහ යෝජනා කැඳවීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යාපනය ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

යාපනය උසස් තාක්ෂණ ආයතනය සඳහා මහල් 04කින් යුතු ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රත්නපුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - සිවිල් වැඩ කොන්ත්‍රාත්තු ප්‍රසම්පාදනය සඳහා යෝජනා ලබාගැනීම

 දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරුවේ සිට පැල්මඩුල්ල දක්වා ඉදි කිරීමට සැලසුම් කර ඇති, කිලෝමීටර් 73.9ක දිගින් යුතු යෝජිත රත්නපුර අධිවේගී මාර්ගය ඉදි කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයන කටයුතු, මූලික සැලසුම් සහ පාරිසරික බලපෑම් තක්සේරු කිරීම යන කාර්යයන් දැනට සිදු කෙරෙමින් පවතී. මෙම අධීවේගී මාර්ගයේ සිවිල් වැඩ ඉදි කිරීම සඳහා අරමුදල් සැපයීමට චීන අපනයන - ආනයන බැංකුව (EXIM) එකඟ වී ඇත. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, මෙම මාර්ගය කොටස් 04ක් යටතේ ඉදි කිරීමට නියමිත අතර, ඒ සඳහා චීන රජය විසින් නිර්දේශ කරන ලද සමාගම්වලින් එක් එක් මාර්ග කොටස සඳහා තාක්ෂණික හා මූල්‍ය යෝජනා කැඳවීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා තෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 57කින් සමන්විත වන අතර එහි වෙසෙන ජනගහනය අනූදහස (90,000) ඉක්මවයි. හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනට ඉතා පැරණි හා අඩු ඉඩපහසුකම් සහිත ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යනු ලබන අතර, ඒ හේතුවෙන් එහි සේවය ලබාගැනීමට පැමිණෙන මහජනතාවට විවිධ අපහසුතාවන්ට මුහුණපෑමට සිදුවේ. ඒ අනුව හාලිඇළ ප්‍රදේශයේ ජනතාවට කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබා දීමට මෙන්ම කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරින්ටද සුදුසු සේවා පරිසරයක් ලබා දීම සඳහා රුපියල් මිලියන 176ක ඇස්තමේන්තුගත පිරිවැයකින් හාලිඇළ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලය සදහා තෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හබරණ සිට වේයන්ගොඩ දක්වා 220kVක සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් අරමුදල් සපයනු ලබන, හබරණ සිට වේයන්ගොඩ දක්වා 220kV සම්ප්‍රේෂණ මාර්ගයක් (ලොට් B) ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 
පොලිස් විශේෂ කාර්ය බලකායේ විවාහක නිලධාරින් සඳහා නිවාස සංකීර්ණයක් ඉදි කිරීම


කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශවල නීතිය හා සාමය පවත්වාගෙන යාම, විවිධ අවස්ථාවල හටගැනෙන ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම සහ ආපදා අවස්ථාවලදී අවශ්‍ය කඩිනම් සහන සැලසීම ආදී ආරක්ෂක ක්‍රියාකාරකම්හි නිරත වන විවාහක නිලධාරින් සඳහා නිවාස පහසුකම් සලසා දීම කඩිනම් අවශ්‍යතාවක්ව පවතින අතර, ඒ අනුව එකී නිලධාරින්ට නිවාස පහසුකම් සලසා දීම සඳහා විශේෂ කාර්ය බලකායේ කලපළුවාව කඳවුරේ පවතින ඉඩකඩ පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් රුපියල් මිලියන 388ක ඇස්තමේන්තුගත පිරිවැයකින් නිවාස සංකීර්ණයක් ඉදි කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම

රාජ්‍ය යන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී අංග සම්පූර්ණ, විශ්වසනීය හා නිවැරදි නිල තොරතුරු මහජනතාව වෙත නිසි වේලාවට ලබා දීම රජයේ ප්‍රමුඛ වගකීමක් වන අතර, මෑතකදී සම්මත කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධාන අනුව ද එය වඩාත් තහවුරු කරනු ලැබ තිබේ. එහි තවත් එක් පියවරක් ලෙස යහපාලන මූලධර්ම වඩාත් හොඳින් ක්‍රියාවට නැංවීමේ අරමුණින්, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මහජන අදහස් ලබාගනිමින්, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන් වෙත රජයේ නිල තොරතුරු ලබා දෙමින් සහ තොරතුරු සම්බන්ධීකරණය කරමින් රාජ්‍ය නිල තොරතුරු ප්‍රකාශක ලෙස කටයුතු කරනු ලබන 'ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක්' ස්ථාපිත කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.