• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩල තීරණය - 2017-03-28

cabinet2016පීඩාවන්ට පත් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම් සම්බන්ධයෙන් වන කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම
2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට ලක් වූ මාධ්‍යවේදීන් පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත. ඒ අනුව, එවැනි හිරිහැරයන්ට සහ පීඩාවන්ට පත් වූ මාධ්‍යවේදීන්ට තම අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා එකී කමිටුව විසින් පුවත්පත් දැන්වීම් පළ කිරීම මඟින් අවස්ථාව දෙන ලදී. එහිදී ඉදිරිපත් වූ අභියාචනා සැලකිල්ලට ගෙන එම කමිටුව විසින් අදාළ මාධ්‍යවේදීන්ට සහන සැලසීම සම්බන්ධයෙන් සිය නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එම වාර්තාව වැඩිදුරටත් අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු වාර්තා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යතුමා, අධිකරණ අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් සමන්විත අමාත්‍ය අනු කමිටුවක් පත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


සේවා විශිෂ්ටත්වය උදෙසා ධාරිතා සංවර්ධනය - 2017/2018


ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර ඇති කර ගනු ලැබූ අවබෝධතා ගිවිසුමක් අනුව රාජ්‍ය සේවයේ මධ්‍යම මට්ටමේ විධායක නිලධාරින් 70 දෙනෙකු සඳහා සිංගප්පූරු සිවිල් සේවා විද්‍යාලයේදී විශේෂ ධාරිතා සංවර්ධන පුහුණුවක් 2016 වර්ෂයේදී ලබා දෙන ලදී. එකී අවබෝධතා ගිවිසුම යටතේ තෝරාගත් නිලධාරින්ගේ විශේෂිත කුසලතා අවශ්‍යතාවන් තවදුරටත් වර්ධනය කිරීම සඳහා 'සේවා විශිෂ්ටත්වය උදෙසා ධාරිතා සංවර්ධනය' යන මැයෙන් මධ්‍යකාලීන පුහුණු වැඩසටහනක් 2017 - 2018 කාලසීමාව තුළ සිංගප්පූරු සිවිල් සේවා විද්‍යාලය සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


අලිකොට ආර ජලාශය ඉදි කිරීම නිසා බලපෑමට ලක්වන වැල්ලවායේ, කොටිකම්බොක්ක තිරුවානා නිධිය කැණීම් කිරීම


වැල්ලවාය, කොටිකම්බොක්ක ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ප්‍රදේශයක පිහිටා ඇති, ධමනි තිරුවානා නිධිය ප්‍රමාණයෙන් දළ වශයෙන් කියුබික් මීටර 910,000 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිවෙමින් පවතින අලිකොට ආර ජලාශයට මායිමේ පිහිටා තිබීම හේතුවෙන්, නියමිත පරිදි 2018 වර්ෂය අවසානයේදී එම ජලාශයට ජලය පිරවීමත් සමඟ මෙම ඛනිජ නිධිය විධිමත් පරිදි කැණීම් කිරීමට නොහැකි වනු ඇත. එබැවින් ඊ‍ට පෙර මෙම තිරුවානා නිධිය විද්‍යාත්මකව කැණීමට ලක් කර, අගය එකතු කර අපනයනය කිරීම මඟින් ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබාගැනීමේ අරමුණින් විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමටත්, එහි ප්‍රතිඵල මත විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර දේශීය හා විදේශීය ආයතන වෙතින් යෝජනා කැඳවා එම තිරුවානා නිධිය කැණීම් කර, අගය එකතු කර අපනයනය සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ආර්ථික ප්‍රතිඵල අත් කර දීමේ වැඩ සටහන (EDP) සඳහා පරමාර්ථ හා ප්‍රමුඛතා නියම කිරීම


ශ්‍රී ලංකාවේ කඩිනම් ආර්ථික පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණින් මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයක් (CPMU) ස්ථාපිත කිරීමට දැනටමත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඉදිරි වසර 3 ඇතුළත ශ්‍රී ලංකාවට ඉතා වැදගත් ආර්ථික ප්‍රතිඵල අත් කර දීම කඩිනම් ‍කිරීම කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමින් අත් කර ගත යුතු ප්‍රතිඵල සහ ප්‍රමුඛතා පෙළගැස්වීමත්, මධ්‍යම වැඩසටහන් ඒකකයක් පිහිටුවීමටත් මේ අනුව කටයුතු කෙරෙමින් පවතී. දැඩි සේ ඉලක්කගත කොට ක්‍රියාත්මක කරනු ලබන මෙම ආර්ථික ප්‍රතිඵල අත් කරදීමේ වැඩසටහන යටතේ පහත සඳහන් ප්‍රමුඛතා ක්ෂේත්‍ර 5හි වර්ධනයක් අත්කර ගැනීමට අපේක්ෂා කෙරේ. 


i මහජනතාව ලබන ආදායම 
ii පෞද්ගලික අංශයේ රැකියා
iii දේශීය හා විදේශීය ආයෝජන
iv අපනයනය
v රජයේ ආදායම


‍සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය සහ නිෂ්පාදන යන ක්ෂේත්‍ර මෙම වැඩසටහන යටතේ අපේක්ෂිත ප්‍රතිඵල ළඟාකර ගැනීම සඳහා සෘජු බලපෑමක් ඇති කළ හැකි ක්ෂේත්‍ර ලෙස තෝරා ගෙන ඇත. එසේම මෙම වැඩසටහනට සහයෝගී ක්ෂේත්‍ර වශයෙන් ආයෝජන, ඩිජිටල් ආර්ථිකය සහ රාජ්‍ය ආදායම යන අංශ හඳුනාගනු ලැබ ඇත. මෙම ඉලක්කගත වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ වගකීම අදාළ අමාත්‍යවරුන්ගේ නායකත්වය යටතට පත් කිරීමටත්, ගරු අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් සෑම දෙසතියකටම වරක් එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමටත් සැලසුම් කර ඇත. ඒ අනුව, නිශ්චිත කාලරාමුවකට යටත්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


විදුලිබලයෙන් ධාවනය කෙරෙන වාහන (විද්‍යුත් මෝටර් රථ) ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන නියාමනය


විදුලිබලයෙන් ධාවනය වන මෝටර් රථ ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් ජනප්‍රිය වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. 2014 දී 90කට සීමා වී තිබූ විදුලිබලයෙන් ධාවනය වන මෝටර් රථ සංඛ්‍යාව මේ වන විට 4,000ක් පමණ දක්වා වර්ධනය වී තිබේ. එම මෝටර් රථ සඳහා විදුලිය ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන 50ක් පමණ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන රට තුළ ක්‍රියාත්මක වේ. මෙම විද්‍යුත් මෝටර් රථ බැටරි ආරෝපණ මධ්‍යස්ථානවල විදුලිබල අලෙවියක් සිදු වන නමුත් එම කටයුතු නියාමනය කිරීම සඳහා වන ප්‍රතිපාදන 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතට ඇතුළත් වී නොමැත. 


ඒ අනුව, විද්‍යුත් මෝටර් රථ භාවිතාකරන්නන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආරෝපණ ගාස්තු, ආරක්ෂක ප්‍රමිතීන්, මිනුම් උපකරණවල නිරවද්‍යතාව, පාරිභෝගික පැමිණිලි හා ආරවුල් විසඳීමට මැදිහත්වීම ආදී කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින්, අදාළ විධිවිධාන ඇතුළත් කර එකී පනත සංශෝධනය කිරීමටත්, එතෙක් විද්‍යුත් මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථාවල කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මඟපෙන්වීම අනුව කටයුතු කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා පොළව මට්ටමට ඉහළින් ගමන් කරන අධිවේගී මාර්ගය


බත්තරමුල්ල, මාලඹේ, අතුරුගිරිය හා පිටත වටරවුම් මහාමාර්ගය දක්වා සම්බන්ධතා සහිතව පොළව මට්ටමට ඉහළින් ගමන් කරන අධිවේගී මාර්ගයක්, යෝජිත නව කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී තිබේ. එහි පළමු අදියර යටතේ කැලණි පාලමේ සිට රාජගි‍රිය දක්වා වන දිගින් කිලෝමීටර 6.9ක කොටසද, දෙවන අදියර යටතේ රාජගිරියේ සිට අතුරුගිරිය දක්වා වන දිගින් කිලෝමීටර 10.4ක කොටසද ඉදි කිරීමට නියමිතය. 'ඉදි කර මෙහෙයුම් කර භාර දීම' (BOT) යන පදනම යටතේ ඉදිකිරීමට නියමිත මෙම ව්‍යාපෘතියෙහි අදියර I සඳහා අභිමතය ප්‍රකාශ කිරීමේ ලිපි 14ක් ද අදියර II සඳහා ලිපි 09ක් ද ලැබී ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය සඳහා පත් කරනු ලැබ ඇති ව්‍යාපෘති කමිටුවේ නිර්දේශ පරිදි ශක්‍යතා අධ්‍යයනය හා මූලික සැලසුම් පිළියෙළ කිරීම සඳහා උපදේශකයන් තෝරාගැනීමටත්, අභිමතය පළ කරන ලද ආයතනවලින් යෝජනා සමඟ ලංසු කැඳවීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


2016 වර්ෂයේ ප්‍රාග්ධන ප්‍රතිපාදන භාවිතයෙන් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති වල ප්‍රගතිය


2016 වර්ෂය තුළ දේශීය හා විදේශීය අරමුදල් යටතේ ඒ ඒ අමාත්‍යාංශ හා ඒ යටතේ වන ආයතන විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෙත දෙන ලද උපදෙස් අනුව සකස් කරනු ලැබ ඇති වාර්තාව අනුව 2016 වර්ෂයේදී රේඛීය අමාත්‍යාංශ 10ක් විසින් එම අමාත්‍යාංශ සඳහා වෙන් කරනු ලැබ ඇති ප්‍රාග්ධන ප්‍රතිපාදනවලින් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගෙන තිබේ. අමාත්‍යාංශ 21ක් විසින් 60% - 80%ත් අතර ප්‍රමාණයක ප්‍රාග්ධන ප්‍රතිපාදන උපයෝජනය කිරීමේ ප්‍රගතියක් අත් කරගනු ලැබ ඇති බවත්, 2016 වර්ෂයේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කළ ප්‍රතිපාදන වල සමස්ත උපයෝජනය 62.3% ක් වන බවත් පෙන්වා දී ඇත. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම කරුණු ඇතුළත් වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.


සංචාරකයින් සඳහා දුම්රිය නැවතුම් ස්ථාන ආශ්‍රිතව නවාතැන් පහසුකම් සැලසීම (Back Packing Tourist Accommodation)


ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නව සංකල්පයක් ලෙස යෝජනා කර ඇති පරිදි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉවත් කරනු ලැබ ඇති, දැනට භාවිතයට නොගන්නා දුම්රිය මැදිරි අලුත්වැඩියා කර, කොළඹ දුම්රිය අංගණය, මහයියාව උප දුම්රිය ස්ථානය, නානුඔය, අඹේ‍ෙවල, ඇල්ල සහ දොඩන්දූව යන දුම්රිය ස්ථාන ආශ්‍රිතව පවතින දුම්රිය දෙපාර්තමේන්තුව විසින් භාවිතයට නොගන්නා ඉඩම්වල එම දුම්රිය මැදිරි ස්ථානගත කරමින් සංචාරකයින්ගේ නවාතැන් අවශ්‍යතා ‍සඳහා යොදාගැනීම පිණිස බදු දීම තුළින් දුම්රිය දෙපාර්තමේන්තුවට අමතර ආදායමක් ලබාගත හැකි බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි හෘදය පිළිබඳ ප්‍රතිකාර සහ අවදානම් සහිත රෝගී සත්කාර සේවා සඳහා සංකීර්ණයක් ඉදිකිරීම


හෘද රෝග සහිත දරුවන් සඳහා පුළුල් ප්‍රතිකාර සේවා ලබා දීමේ හැකියාව ඇති එකම රෝහල රිජ්වේ ආර්යා ළමා රෝහල වන අතර එහි සිදු කරනු ලබන හෘද ශල්‍යකර්ම සංඛ්‍යාව ඉහළ නැංවීමේ අරමුණින් අවශ්‍ය සම්පත් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව, නවීන පහසුකම්වලින් සමන්විත හෘද ශල්‍යාගාර 4ක්, හෘද දැඩි සත්කාර ඒකක ඇඳන් 14ක්, වෛද්‍ය දැඩි සත්කාර ඒකක ඇඳන් 33ක් සහ නවජ ළදරු විශේෂ ප්‍රතිකාර සේවා ඇඳන් 50ක් සහ අනෙකුත් අවශ්‍ය පහසුකම්වලින් සමන්විත මහල් 10කින් යුත් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මේ සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් ලබා දී ඇති සංශෝධිත ඇස්තමේන්තුව අනුව ව්‍යාපෘතියේ පිරිවැය රුපියල් මිලියන 2,439.7ක් වශයෙන් සංශෝධනය කිරීමටත්, මෙම පිරිවැය ඒකාබද්ධ අරමුදලින් සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥවරුන්ගේ ආයතනය විසින් 'Little Hearts' යනුවෙන් රැස් කර ඇති අරමුදල් මඟින් ආවරණය කර ගැනීමටත්, මෙහි ඉදි කිරීම් කටයුතු වසර දෙකක් තුළ නිම කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල්වල ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව සම්බන්ධයෙන් වූ බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ රටවල්හි විදුලි සම්ප්‍රේෂණ පද්ධති සම්බන්ධ කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම


බිම්ස්ටෙක් (BIMSTEC) කලාපයේ තාර්කික හා ප්‍රශස්ත විදුලිබල සම්ප්‍රේෂණයක් ප්‍රවර්ධනය කිරීමේ අදහසින් විදුලිය වෙළඳාම සඳහා සම්ප්‍රේෂණ ජාල අන්තර් සම්බන්ධතා ක්‍රියාත්මක කිරීම උදෙසා සහයෝගයෙන් කටයුතු කිරීම පිණිස සාමාජික පාර්ශ්වයන් වෙත පුළුල් කාර්යරාමුවක් සලසා දෙනු ලබන, 'බිම්ස්ටෙක් (BIMSTEC) රටවල් අතර සම්ප්‍රේෂණ ජාල අන්තර් සබඳතාව ස්ථාපිත කිරීම සඳහා වන අව‍බෝධතා ගිවිසුම' අත්සන් තැබීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


බාලවයස්කරුවන් මිය යාම මත අලාභ හානි අය කර ගැනීම


යම් තෙවන පාර්ශ්වයක නොසැලකිල්ල හෝ අපරික්ෂාකාරී බව හේතුවෙන් බාලවයස්කාර දරුවකුගේ මරණය සිදු වූ විටක එකී දරුවාගේ දෙමාපියන්ට ඇති වන මානසික වේදනාව හා අනාගත බලපෑම වෙනුවෙන් අදාළ වගකිව යුතු පාර්ශ්වයෙන් අලාභ හානි අය කරගැනීමට හැකි වන පරිදි නීති සම්පාදනය කළ යුතු බවට යෝජනා වී ඇත. ඒ අනුව, ඒ සඳහා විධිවිධාන සලසමින් සුදුසු ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


පො‍ලොන්නරුව හා මඩකලපුව තැපැල් සංකීර්ණ සහ පූජාපිටිය තැපැල් කාර්යාලය ඉදිකිරීම


පොලොන්නරුව නව නගර සංවර්ධන සැලැස්ම යටතේ තැපැල් දෙපාර්තමේනතුව සතු ඉඩම් හා ගොඩනැඟිලි කිහිපයක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමට නියමිත අතර ඒ වෙනුවෙන් කඳුරුවෙල නගරයේ නව තැපැල් සංකීරණයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. එමෙන්ම, දැනට ඉතා අබලන් ත්ත්වයක පවතින මඩකලපුව තැපැල් කාර්යාල සංකීර්ණය සඳහා මහල් 6කින් යුත් අංග සම්පූර්ණ නව ගොඩනැඟිල්ලක් ඉදි කළ යුතු බවද හඳුනා ගනු ලැබ තිබේ. තවද, මහනුවර දිස්ත්‍රික්කයේ, පූජාපිටිය තැපැල් කාර්යාලය මඟින් වර්ග කිලෝමීටර් 30ක පමණ වපරිසරියකින් යුත් ප්‍රදේශයක ජනතාව සඳහා ලිපි බෙදීමේ කටයුතු සිදු කරනු ලබන අතර එම කාර්යාලය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට අවශ්‍ය මූලික වැඩ කටයුතු ආරම්භ කරනු ලැබ තිබේ. ඒ අනුව, පොළොන්නරුව හා මඩකලපුව තැපැල් සංකීර්ණ සඳහා නව ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සහ දැනට වැඩ කටයුතු ආරම්භ කර ඇති පූජාපිටිය තැපැල් කාර්යාලය ඉදි කිරීම සඳහා අවශ්‍ය ඉතිරි ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීම පිණිස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහල සඳහා ටෙස්ලා චුම්බක අනුනාද ප්‍රතිරූපණ (MAGNETIC RESONANCE IMAGING) ස්කෑනර් යන්ත්‍රයක් (01) ලබාගැනීම


ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහල සඳහා ටෙස්ලා චුම්බක අනුනාද ප්‍රතිරූපණ (Magnetic Resonance Imaging) ස්කෑනර් යන්ත්‍රයක් (01) මිල දී ගැනීමට ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර ලංසු තුනක් ලැබී ඇත. එම ලංසු ඇගයීමට ලක් කර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි රුපියල් මිලියන 251.78ක මුදලකට සී/ස ටෙක්නොමෙඩික්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම වෙත අදාළ ටෙන්ඩරය ප්‍රදානය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන්තොටුපළ හෝටල් දෙකක් ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරනු ලබන ගුවන් මගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පැවතීම සැලකිල්ලට ගනිමින් එම ගුවන්තොටුපළේ පිහිටි ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමට අයත් ඉඩම් කැබලි දෙකක අවම වශයෙන් කාමර 100ක් සහිත තරු පන්තියේ හෝටල් දෙකක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා සුදුසු ආයෝජකයින් තෝරා ගැනීමට යෝජනා කැඳවීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2016‑05‑10 වන දින අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, ඉදිරිපත් වූ යෝජනා ඇගයීමට ලක් කරන ලද අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි මැලේසියාවේ, ඊසීඑම් ලිබ්රා ෆයිනැන්ෂල් ගෘප් බර්හැඩ් සහ සිංගප්පූරුවේ ටීපී රියල් එස්ටේට් හෝල්ඩින්ස් (පෞද්ගලික) සමාගම යන ආයෝජකයින් වෙත අදාළ ඉඩම් කොටස් දෙක හෝටල් දෙකක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා වසර 40ක කාලසීමාවකට බදු පදනම මත ලබා දීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


උඩරට දුම්රිය මාර්ගයේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ඩීසල් බලවේග කට්ටල 09ක් මිල දී ගැනීම

උඩරට දුම්රිය මාර්ගයේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ඩීසල් බලවේග කට්ටල 09ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් 2015‑12‑16 දින අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, විවෘත තරගකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර ඉදිරිපත් වූ ලංසුකරුවන් 4 දෙනෙකු අතරින් සාරානුකූලව ප්‍රතිචාරාත්මක ලංසුකරු වන චීනයේ ඩැංෆැං ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් කෝපරේෂන් වෙත අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඩීසල් බලවේග කට්ටල 09ක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


වි
ශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම


රුපියල් මිලියන 6,960.95ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ කැලණිය, වයඹ, රුහුණ, මොරටුව, රජරට, කොළඹ, ශ්‍රී ලංකා භික්ෂු, පේරාදෙණිය, සබරගමුව සහ නැ‍ඟෙනහිර යන විශ්වවිද්‍යාලවල අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ඉදි කිරීමේ ව්‍යාපෘති 13ක් ක්‍රියාත්මක කිරීම සඳහා තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමටත්, ඒ සඳහා 2017 - 2022 මධ්‍යකාලීන අයවැය රාමුව යටතේ ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමටත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


දැ
දුරු ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය - උපදේශක සේවා සැලසුම සමාලෝචනය හා ඉදිකිරීම් අධීක්ෂණය


දැදුරු ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොරියාවේ අපනයන - ආනයන බැංකුවේ (EXIM Bank of Korea) ආර්ථික සංවර්ධන සංස්ථා අරමුදල වෙතින් ඇමරිකානු ‍ඩොලර් මිලියන 58.15ක ණය මුදලක් ලබාගැනීමට ශ්‍රී ලංකා රජය විසින් 2014 වසරේදී ණය ගිවිසුමකට එළඹ තිබේ. එම ණය මුදල් ප්‍රයෝජනයට ගනිමින් දැදුරු ඔය ජලසම්පාදන ව්‍යෘතියේ උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


සීතාවක ගඟ ජල විදුලි ව්‍යාපෘතිය සඳහා විශේෂඥ සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම


කෑගල්ල දිස්ත්‍රික්කයේ, දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හිඟුරල කන්ද ග්‍රාම නිලධාරි වසමේ ක්‍රියාත්මක කිරීමට යෝජිත, මෙගා වොට් 20ක ධාරිතාවකින් යුත්, සීතාවක ගඟ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය විශේෂඥ සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


වරාය හා නාවික කටයුතු වර්ධනය කිරීම සඳහා ජපන් රජයේ ප්‍රදාන ආධාර ලබා ගැනීම


ත්‍රිකුණාමලය වරායේ, වරාය ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට හා නාවුක මඟපෙන්වීමේ පද්ධතිය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ජපාන නිෂ්පාදන සපයා ගැනීම සඳහා ජපන් යෙන් බිලියන 1ක (දළ වශයෙන් රුපියල් බිලියන 1.3ක) ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාරයක් ලබාදීමට ජපාන රජය එකඟ වී ඇත. ඒ අනුව එම ප්‍රදාන ආධාරය ලබාගැනීම වෙනුවෙන් ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර අත්සන් තැබීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


තෝරා ගත් ආනයනික භාණ්ඩ මත අයකරනු ලබන බදු සංශෝධනය කිරීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම


මෙරටට ආනයනය කරනු ලබන හඳුනා ගත් අත්‍යවශ්‍ය භාණ්ඩ මත අය කරනු ලබන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කරමින් 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ පළ කරනු ලැබ ඇති අති විශෙෂ ගැසට් නිවේදන 10ක් සහ 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ පළ කරන ලද අති විශෙෂ ගැසට් නිවේදන 2ක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.