• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩල තීරණ - 2017.05.16

cabinetශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම




මහපොළ භාරකාර අරමුදල විසින් සපයන ලද ණය මුදලක් යොදවා ආරම්භ කරන ලද, මාලඹේ ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), මේ වන විට තාක්ෂණය, ව්‍යාපාර හා ඉංජිනේරු යන ක්ෂේත්‍රයන්ට අදාළ උපාධි පිරිනමනු ලබන ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයකි. දැනට එහි ශිෂ්‍යශිෂ්‍යාවෝ 7,000ක් පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන අතර, මේ වන විට 9,000ක පමණ උපාධිධාරින් පිරිසක් එම ආයතනය විසින් බිහි කරනු ලැබ ඇත. ආයෝජකයින් ආකර්ෂණය කරගනිමින්, විදේශීය උසස් අධ්‍යාපන ආයතන හා සම්බන්ධ වෙමින් මෙම ආයතනය තවදුරටත් වැඩිදියුණු කළ යුතුව ඇත. මහපොළ භාරකාර අරමුදලෙන් ලබාගත් ණය මුදල සම්පූර්ණයෙන්ම ආපසු ගෙවා ඇති බව ද සැලකිල්ලට ගනිමින්, උපාධි පිරිනමනු ලබන ස්වාධීන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස එම ආයතනය ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ස්ථාපිත කිරීම සඳහා දෙමහල් ගොඩනැ.ගිල්ලක් ඉදි කිරීම



2013 වර්ෂයේ දී දියතලාව ප්‍රදේශයේ පිහිටුවනු ලැබූ 'ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම)' මඟින් මධ්‍යම හා ඌව පළාත්වලට ද දකුණු පළාතේ කොටසකට ද ආරක්ෂාව සපයනු ලැබේ. එසේම හදිසි ආපදා කටයුතුවලදී සහ ආරක්ෂාව සැපයීමේදී ද පෙරමුණ ගෙන ක්‍රියා කරයි. දැනට විවිධ අපහසුතා මධ්‍යයේ දියතලාව ප්‍රදේශයේ පිහිටි ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලට අයත් ගොඩනැගිලිවල පවත්වා ගෙන යනු ලබන මෙම මූලස්ථානය ස්ථාපිත කිරීම සඳහා දෙමහල් ගොඩනැඟිගිල්ලක් ඉදි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.




සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉඩම් ලබා දීම



2020 වර්ෂය වන විට මිලියන 4.5ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාව වෙත පැමිණීමේ ඉලක්කය සාක්ෂාත් කරගැනීම රජයේ අපේක්ෂාවයි. එහිදී ප්‍රාදේශීය වශයෙන් සංචාරක ගමනාන්තයන් සංවර්ධනය කරමින් ඒ හා බැඳුණු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වැදගත් වේ. සුවිශේෂ පාරිසරික පද්ධතියකට හා සමුද්‍රීය සම්පත් රැසකින් සමන්විත අලංකාර මුහුදු තීරයකට උරුමකම් කියන කල්පිටිය ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයන් රැසකගේ ආකර්ෂණයට බඳුන්ව ඇති අතර, සංචාරක සංවර්ධනය සඳහා එම ප්‍රදේශයේ ඉහළ විභවතාවක් පවතී. එසේ වුවද එම ප්‍රදේශයේ දැනට පවතින හෝටල් හා අනෙකුත් සංචාරක පහසුකම් ඉහළ මට්ටමේ සංචාරකයින්ගේ අවශ්‍යතා ඉටු කිරීම පිණිස ප්‍රමාණවත් නොවේ. එබැවින් එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය හා බැඳුණු ක්‍රියාකාරකම් හා පහසුකම් සංවර්ධනය කිරීම සඳහා කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි හෙක්ටයාර 56.35ක භූමි ප්‍රමාණයකින් යුත් ඉඩම් කැබලි 05ක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



ශ්‍රී ලංකාව හා කැනඩාව අතර යෝජිත ගුවන් සේවා ගිවිසුම



විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් කැනඩාවේ වාසය කරනු ලබන අතර, දැනට කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සේවා ගිවිසුමක් ක්‍රියාත්මක නොවේ. වෙළඳ හා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා පහසුකම් සලසමින් දෙරට අතර ගුවන් සේවා විධිමත් කිරීමේ අරමුණින් දැනට නිලධාරි මට්ටමින් එකඟ වී ඇති යෝජිත ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව ගිවිසුමේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.




ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලය සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදි කිරීම සඳහා ඉඩම් කොටස් පවරා දීම



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඇල්පිටිය ඩිපෝව පිහිටා ඇති ඉඩමෙන් පර්චස් 140ක භූමි ප්‍රමාණයක් ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලය ඉදිකිරීම සඳහාත්, අක්කර 01ක භූමි ප්‍රමාණයක් යෝජිත ඇල්පිටිය නාගරික සංවර්ධන සැලැස්ම යටතේ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ඉදිකිරීම සඳහාත් පවරා දීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.




දිළිඳුකම පිටුදැකීම පිළිබඳ BIMSTEC අමාත්‍ය සමුළුව 2017 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීම


බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව හා තායිලන්තය යන රටවල එකමුතුවෙන් 1997 වර්ෂයේදී පිහිටුවාගනු ලැබු BIMSTEC සංවිධානය බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා ක්‍රියාත්මක වේ. මෙම සංවිධානය විසින් දිළිඳුකම පිටුදැකීම සම්බන්ධයෙන් සුවිසල් කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර, දිළිඳුකම පිටුදැකීම පිළිබඳව වන අමාත්‍ය සමුළු දෙකක් 2008 වර්ෂයේදී බංග්ලාදේශයේ ඩකා අගනුවරේදී ද 2013 වර්ෂයේදී නේපාලයේ කත්මණ්ඩු නුවරදී ද පවත්වනු ලැබ ඇත. ඒ අනුව, දිළිඳුකම පිටුදැකීම පිළිබඳව වන තුන්වන BIMSTEC අමාත්‍ය සමුළුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිණිස සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



2017 මූල්‍ය වර්ෂයේ, පළමු කාර්තුව අවසානයේ දරන ලද සත්‍ය වියදම පිළිබඳ වාර්තාව



2017 වර්ෂයේ පළමු කාර්තුවට අදාළව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ වියදම් පිළිබඳ වාර්තාව අනුව 2017 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව අවසානයේ පුනරාවර්තන වියදම් ලෙස රුපියල් මිලියන 482,856ක් ද මූලධන වියදම් ලෙස රුපියල් මිලියන 474,509ක් ද වශයෙන් රුපියල් මිලියන 957,365ක මුළු වියදමක් රජය විසින් දරනු ලැබ ඇති බව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. ඒ අනුව, 2017 වර්ෂයේ පළමු කාර්තුවට අදාළව සකස් කරනු ලැබ ඇති වියදම් පිළිබඳ එම වාර්තාව, 2017 අයවැය යෝජනා පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.




ත්තරමුල්ල ප්‍රදේශය අවට රජයේ කාර්යාලවල සුනම්‍ය කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතිය



2016 නොවැම්බර් සිට 2017 ජනවාරි දක්වා මාස තුනක කාල සීමාවක් තුළ බත්තරමුල්ල පරිපාලන ප්‍රදේශයේ පිහිටි රජයේ ආයතන වෙත පැමිණි රථවාහන සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් සිදු කරන ලද අධ්‍යයනයක් අනුව, කාර්යාලයට පැමිණීම සඳහා පෞද්ගලික වාහන හෝ රාජකාරි වාහන භාවිත කරන නිලධාරින්ගෙන් 58%ක් පමණ පෙරවරු 7.00 සිට පෙරවරු 9.30 දක්වා රාජකාරියට පැමිණීම සඳහාත් පස්වරු 3.00ත් පස්වරු 5.30ත් අතර රාජකාරි අවසන් කර කාර්යාලවලින් පිටවීම සඳහාත් එකී වාහන භාවිත කරන බව හෙළි වී ඇත. 
ඒ අනුව, පෙරවරු 7.30 සිට පෙරවරු 9.15 දක්වා ඕනෑම වේලාවක සේවයට වාර්තා කිරීමටත්, රාජකාරි කටයුතු ඉටු කළ යුතු නියමිත කාලය නිමවීමෙන් පසු පස්වරු 3.15 සිට පස්වරු 5.00 දක්වා ඕනෑම අවස්ථාවක කාර්යාලයෙන් බැහැරව යාමටත් හැකි වන පරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි කාර්යාලවල සුනම්‍ය කාර්යාල වේලාවන් සහිත නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා වන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීම පිණිස එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය පැවරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



පසුගිය වර්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් තේ හා රබර් වගා ඉඩම්වලට සිදුවූ හානි යථා තත්ත්වයට පත් කිරීම



2016‑05‑16 හා 17 යන දෙදින තුළ කෑගල්ල දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව නිසා සිදුවූ නායයාම් හේතුවෙන් තේ හා රබර් වගා ඉඩම් රැසකට හානි සිදුවිය. එලෙස හානි සිදුවූ තේ හා රබර් වගා ඉඩම් නැවත වගා කළ හැකි පරිදි යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.




ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති කළමනාකරණ ජාතික වැඩසටහන යටතේ අඩු විදුලි පරිභෝජනයක් සහිත නිවාස ඒකක වෙත ආලෝක විමෝචන ඩයෝඩ විදුලිපහන් (LED Lamps - Light Emitting Diode Lamps) ලබා දීම


විදුලි පරිභෝජනය සඳහා වන ඉල්ලුම අඩු කිරීම මඟින් බලශක්තිය කළමනාකරණය පිණිස රජය විසින් වැඩි අවධානයක් යොමු කරනු ලැබ ඇති අතර, ඒ සඳහා වන පියවරක් වශයෙන් අඩු විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයින් අතර කාර්යක්ෂම විදුලි බුබුළු භාවිතය ප්‍රචලිත කිරීම සඳහා සහන ණය ක්‍රමයක් යටතේ LED බල්බ බෙදා හැරීමට යෝජනා වී ඇත. ඒ අනුව, අඩු විදුලි පරිභෝජනයක් සහිත නිවාසවල භාවිත කරනු ලබන අධික විදුලිබලයක් වැය වන විදුලි බල්බ ඉවත් කර ඒ වෙනුවට පොලී රහිත වාරික 24කින් මාසික විදුලිබිල් ගාස්තුව සමඟ අය කරගත හැකි ක්‍රමවේදයක් යටතේ LED බල්බ ලබා දීමට යෝජනා කර තිබේ. ඒ යට‍තේ මසකට විදුලි ඒකක 1 - 30 අතර ප්‍රමාණයක් භාවිත කරන නිවසකට LED බල්බ 02ක් ද, ඒකක 30 - 60 අතර ප්‍රමාණයක් භාවිත කරන නිවසකට LED බල්බ 03ක් ද, මසකට විදුලි ඒකක 60 - 90 අතර ප්‍රමාණයක් භාවිත කරන නිවසකට LED බල්බ 04ක් ද වශයෙන් ලබා දීමටත්, එම කාර්යය සඳහා අවශ්‍ය වන විදුලි බල්බ දසලක්ෂයක් ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා මිල දී ගැනීමටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.





ජාතික මිලා-දුන්-නබි උත්සවය වෙනුවෙන් සියලුම අමාත්‍යාංශ මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම



මේ වසරේ දෙසැම්බර් 01 දිනට යෙදෙන නබිතුමාගේ උපන් දිනය සැමරීම සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් කටයුතු සූදානම් කෙරෙමින් පවතින අතර, අදාළ උත්සවය මෙවර යාපනය දිස්ත්‍රික්කයේ පැවැත්වීමට සැලසුම් කර ඇත. ඊට සමගාමීව කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි මුස්ලිම් ආගමික කටයුතු සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 14ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් දැනටමත් වෙන් කරනු ලැබ ඇත. අදාළ උත්සවය පැවැත්වීම සඳහා සියලුම අමාත්‍යතුමන්ලාගේ සහ අමාත්‍යාංශවල සහයෝගය ලබාගැනීම සඳහාත්, යාපනය, කිලිනොච්ච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුතු සඳහා එම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහාය ලබාගැනීම පිණිසත් තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.




පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත (262 වන අධිකාරය) සංශෝධනය කිරීම



පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත (262 වන අධිකාරය) සංශෝධනය කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දෙනු ලැබ ඇති අනුමැතිය අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් විසින් අධ්‍යයනය කරනු ලැබ ඇති අතර, මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද කරුණු ද සැලකිල්ලට ගෙන අවසන් කෙටුම්පත සකස් කර ඇත. 




යෝජිත පනත් කෙටුම්පතේ යම් යම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 ව්‍යවස්ථාවේ (අ) අතුරුවිධානය පරිදි පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර කැමැත්ත මත සම්මත විය යුතු බව නීතිපතිවරයා විසින් පෙන්වා දී තිබීම හේතුවෙන් ඒ පිළිබඳව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරින්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරින් එක්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගැනීමට හැකි වන ආකාරයට නැවත කෙටුම්පත් කර තිබේ. 


තවද බහු සභික කොට්ඨාස සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් පෙන්වා දෙනු ලැබ ඇති කරුණු සැලකිල්ලට ගෙන සිදු කළ යුතු සංශෝධන නීති කෙටුම්පත් සම්පාදක මඟින් කෙටුම්පත් කරවා ගෙන කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට ඇතුළත් කෙරෙනු ඇත. ඒ අනුව, අදාළ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති කරුණු පදනම් කරගෙන නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරනු ලබන වැඩිදුර සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කිරීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ, මාතර - බෙලිඅත්ත කොටසේ සංඥා, විදුලි සංදේශ හා දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති (Level Crossing Protection) සවි කිරීම



මාතර - කතරගම දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ ඉතිරි වී ඇති ප්‍රතිපාදන යොදාගනිමින් මාතර සිට ‍බෙලිඅත්ත කොටස සඳහා අවශ්‍ය සංඥා, විදුලි සංදේශ හා දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීමේ කොන්ත්‍රාත්තුව, මෙම ව්‍යාපෘතියේ වර්තමාන කොන්ත්‍රාත්කරු වන චයිනා නැෂනල් මැෂිනරි ඉම්පෝට් ඇන්ඩ් එක්ස්පෝට් කෝපරේෂන් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත. ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ එකී නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.




මහා මන්නාරම ජල සම්පාදන යෝජනා ක්‍රමය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම


න්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල ගැටලුවක්ව පවතින පානීය ජලය ලබාගැනීමේ දුෂ්කරතාව මඟහරවා ගැනීම සඳහා පානීය නළ ජලය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත මහා මන්නාරම ජල සම්පාදන යෝජනා ක්‍රමය සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මන්නාරම ප්‍රදේශයේ අනාගත ජල අවශ්‍යතා සපුරා ගැනීම සහ ජල සම්පාදන ව්‍යාපෘති කිහිපයක් අතර ජල සම්පත් බෙදාහැරීම සම්බන්ධයෙන් මතු විය හැකි කරුණු පිළිබඳව නගර සැලසුම් හා ජල සම්පාදන ඇමතිතුමා සහ වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ ඇමතිතුමා විසින් සිදු කරන ලද සාකච්ඡා අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීමටත්, යෝජනාව ඉදිරිපත් කර ඇති ආයතනයේ වියදමින් එම අධ්‍යයනය සිදු කිරීමටත්, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා Swiss Challenge ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.




නාරාහේන්පිට පොලිස් රෝහල පුළුල් කොට නවීකරණය කිරීම සඳහා උපදේශක ආයතනයක් පත් කරගැනීම



නාරාහේන්පිට පොලිස් රෝහල පුළුල් කොට නවීකරණය කිරීම සඳහා රූඩ් 02 පර්චස් 23.5ක ඉඩම් කොටසක් නාගරික සංවර්ධන අධිකාරිය වෙතින් පවරා ගැනීමට මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එම ඉදි කිරීම් කටයුතු සම්බන්ධයෙන් උපදේශක සේවාවන් සැපයීමට පොලිස් දෙපාර්තමේන්තුවේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් සඳහා උපදේශක සේවාවන් සපයනු ලබන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සේවාව ලබාගැනීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.