• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩල තීරණ 2017.05.23

 
cabinet20162017.05.23 වැනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පහත සඳහන් වේ.



පූනරින් ප්‍රදේශයේ මෙගාවොට් 240කින් සමන්විත සුළං බල හා මෙගාවොට් 800කින් සමන්විත සූර්යබල දෙමුහුන් විදුලි උත්පාදන උද්‍යානයක් ඉදි කිරීම



විදුලිය ජනනය කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව, පසුගිය කාලය තුළ එවැනි බලශක්ති ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාවට නංවනු ලැබ ඇත. එසේම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් සැලකිය යුතු විදුලිය ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට තවදුරටත් එකතු කිරීමට නියමිතය. සුළං බලශක්තිය මඟින් මෙන්ම සූර්ය බලශක්තිය මඟින් ද විදුලිය නිපදවීම සඳහා යෝග්‍ය ප්‍රදේශයක් ලෙස ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් පූනරින් ප්‍රදේශය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් සිදු කරන ලද අධ්‍යයනයන් මඟින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, මෙගාවොට් 240ක ධාරිතාවකින් යුත් සුළං සහ මෙගාවොට් 800ක ධාරිතාවකින් යුත් සූර්ය දෙමුහුන් බලාගාර උද්‍යානයක් පූනරින් ප්‍රදේශයේ ඉදි කිරීමේ ව්‍යාපෘතිය අදියර තුනක් (03) යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් පොදු කාර්යයන් සඳහා පවරා දීම


ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු, පහත දැක්වෙන ඉඩම් කොටස් පොදු කාර්යයන්වලට යොදාගැනීම සඳහා පවරා දීම පිණිස ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:


* ප්‍රජා ශාලාවක් ඉදි කිරීම සඳහා කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පිහිටි පර්චස් 07.31ක බිම් කොටසක්, කඩුවෙල මහ නගර සභාව වෙත.
* සමුපකාර බැංකු ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා හලාවත ප්‍රදේශයේ පිහිටි පර්චස් 05ක ඉඩම් කොටසක්, සීමාසහිත හලාවත විවිධ සේවා සමුපකාර සමිතිය වෙත.


යටවත්ත පොලිස් ස්ථානය ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය වෙත ඉඩමක් ලබා දීම


යටවත්ත පොලිස් ස්ථානය ස්ථාපිත කිරීම සඳහා උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් යටවත්ත වතුයායෙන් අක්කර 02යි රූඩ් 01යි පර්චස් 35ක භූමි ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොලීසිය වෙත ලබා දීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ශ්‍රී ලංකාවට ආයෝජන ගලා ඒම ඉහළ නැංවීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම


ශ්‍රී ලංකාව හා සම තත්ත්වයේ පැවති අනෙකුත් රටවල් විසින් සිය රටවල ආයෝජනයන් ඉහළ මට්ටමකට ගෙන ඒම පිණිස ආයෝජන පරිසරයට අදාළව සිදු කරන ලද විවිධ ප්‍රතිසංස්කරණ සැලකිල්ලට ගෙන, මෙරටට ආයෝජන ගලා ඒම ඉහළ නැංවීම සඳහා වන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුව ඇත. එමඟින් ආයෝජනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තරගකාරීත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි වනු ඇත. ඒ සඳහා විවිධ රේඛීය අමාත්‍යාංශ සහ ආයතන අතර සම්බන්ධීකරණය හා සහයෝගිතාව පිළිබඳව පවතින ගැටලු නිරාකරණය කිරීම පිණිසත්, විස්තරාත්මක ක්‍රියාකාරී සැලසුම් සහිතව අදාළ කාර්යයන් සඳහා වගකීම සහ නායකත්වය පැවරෙන අන්දමට යෝග්‍ය ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට හැකි වන පරිදිත් යෝග්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, මෙම කාර්යය සඳහාම කැප වූ කණ්ඩායමක් සහිත ලේකම් කාර්යාලයක් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය තුළ ස්ථාපිත කිරීමටත්, අදාළ ආයතන අතර සම්බන්ධීකරණ ඇති කිරීම පිණිස තාක්ෂණික කාර්යසාධක බලකායන් 10ක් ස්ථාපිත කිරීමටත්, යෝජිත නීතිමය ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ඉන්දියානු සාගරය පිළිබඳ දෙවන සම්මන්ත්‍රණය - 2017



ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, බංග්ලාදේශයේ ජාත්‍යන්තර සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනය, සිංගප්පූරුවේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ එස්. රාජරත්නම් විද්‍යාලය යන ආයතන හා එක්ව 'ඉන්දියානු සාගර සම්මන්ත්‍රණය 2017' (IOC-2017) අගෝස්තු මස 31 දින සිට සැප්තැම්බර් මස 02 දින දක්වා කොළඹදී පැවැත්වීමට ඉන්දියා පදනම විසින් කටයුතු සංවිධානය කෙරෙමින් පවතියි. මෙම සම්මන්ත්‍රණයේදී කලාපයේ ආරක්ෂාව, ආර්ථිකය, සංස්කෘතික හා පාරිසරික කරුණු පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇති අතර, රටවල් 30කට අධික සංඛ්‍යාවකින් ඉහළ පෙළේ නායකයින් හා සම්භාවනීය නියෝජිතයින් ඒ සඳහා සහභාගි වනු ඇත. ඒ අනුව, ඉන්දියා පදනමේ සංවිධායකත්වය ඇතිව එම සම්මන්ත්‍රණය කොළඹදී පැවැත්වීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ජාත්‍යන්තර සහයෝගය සඳහා වන තීරය හා මාර්ගය පිළිබඳ සංසදයේ (Belt and Road Forum for International Cooperation) නායකයන්ගේ වටමේස සාකච්ඡාව පිළිබඳ නිල නිවේදනය


මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 මැයි මස 15 දින චීනයේ පැවති ඉහත සංසදයේ නායකයින්ගේ වටමේස සාකච්ඡාව සඳහා ගරු අග්‍රාමාත්‍යතුමා සහභාගි වී ඇති බවත්, එම වටමේස සාකච්ඡාව සඳහා රුසියාව, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ආර්ජන්ටිනාව, බෙලෝරුසියාව, චිලී, ඉන්දුනීසියාව, ලාඕසය, පිලිපීනය, තුර්කිය, වියට්නාමය, කාම්බෝජය, ෆීජී, හංගේරියාව, ඉතාලිය, මැලේසියාව, මියන්මාරය, පාකිස්තානය හා පෝලන්තය යන රටවල රාජ්‍ය නායකයින් සහභාගි වී ඇති බවත් අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. තවද, එම වටමේස සාකච්ඡාව අවසානයේදී තීරය හා මාර්ගය පිළිබඳ මූලාරම්භය (Belt and Road Initiative) ඇතුළු විවිධ සංවර්ධන උපායමාර්ග, ආර්ථික සංවර්ධනය පුළුල් කිරීම, ආර්ථික සහයෝගිතාව ප්‍රවර්ධනය, විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදනය සහ කලාපීය ආර්ථික සහයෝගිතාව යන ක්ෂේත්‍රයන්හි අන්තර්ජාතික සහයෝගය පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍ය නායකයන් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිල නිවේදනයේ ඇතුළත් කරුණු ද අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් සැලකිල්ලට ගන්නා ලදී.


ෆින්ලන්ත රජය විසින් සලසා දෙනු ලබන සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීම


ශ්‍රී ලංකාව තුළ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම පිණිස ෆින්ලන්ත රජය විසින් 1983 සිට 2006 දක්වා සහනදායී මූල්‍යමය පහසුකම් සලසා දෙනු ලැබ ඇත. සිය 'රාජ්‍ය අංශ ආයෝජන පහසුකම් වැඩසටහන' යටතේ ශ්‍රී ලංකාව වෙත සහනදායී මූල්‍ය පහසුකම් නැවත සැලසීමට ෆින්ලන්ත රජය විසින් කැමැත්ත පළ කරනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති මූල්‍යනය සඳහා යොදාගැනීම පිණිස යුරෝ මිලියන 30ක් දක්වා වන ණය මුදලක් ලබාගැනීම සඳහා ෆින්ලන්ත රජය සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීම සඳහා මූල්‍ය සහාය ලබාගැනීම


කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගේ තරගකාරිත්වය පුළුල් කිරීමේ හා ඉදි කිරීමට යෝජිත ක්‍රීඩා සංකීර්ණය ආකර්ෂණීය ස්ථානයක පිහිටීම හේතුවෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගැනීමේ අරමුණින් ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණයක් නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සැලසුම් කරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ කොන්ත්‍රාත්කරු සමඟ ගිවිසුමකට එළඹීම පිණිස 2016 දෙසැම්බර් මස 20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ණය පහසුකම් සලසාගැනීම සඳහා අදාළ ආයතන සමඟ ණය සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, ණය පහසුකම් ලබාගැනීම පිණිස අදාළ ආයතන සමඟ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



දේශීය වෙළඳපොළෙහි සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම


දේශීය වෙළඳ පොළෙහි සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ අතර, ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරන ලදී. ඒ අනුව, දේශීය වී ගොවීන්ට අහිතකර බලපෑමක් සිදු නොවන පරිදි සහ පාරිභෝගිකයින්ට පහසු මිලකට සහල් මිල දී ගැනීමට හැකිවන පරිදි සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර දීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී. එසේ ආනයනය කළ යුතු සහල් ප්‍රමාණය, ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් තීරණය කරනු ලැබිය යුතු බව ද අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් තීරණය කරන ලදී.



රට තුළ වෙසෙන ජනවර්ග අතර සමඟියට බාධා වන ආකාරයේ සිදුවීම්


මෑතකදී රටේ ස්ථාන කිහිපයක සිදු වූ, ජනවර්ග අතර සමඟියට බාධා වන අකාරයේ සිදුවීම් හා ඇතැම් පාර්ශ්වයන්ගේ ප්‍රකෝපකාරී හැසිරීම් පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ අතර, එවැනි සිදුවීම් හා හැසිරීම් ඉදිරියේදී ඇති නොවීමට අදාළ යෝග්‍ය පියවර ගැනීමේ අවශ්‍යතාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පහත පරිදි තීරණය කරන ලදී:



(i) රට තුළ වෙසෙන ජනවර්ග අතර සමඟියට බාධා වන අකාරයේ සිදුවීම් සඳහා වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව, පවතින නීතියේ විධිවිධාන ප්‍රකාර නීතිමය පියවර ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන අදාළ බලධාරින්ට උපදෙස් දීම.



(ii) එවැනි සිදුවීම් තම බල ප්‍රදේශය තුළ ඇති නොවීමට වගබලා ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දෙන ලෙස පොලිස්පතිවරයාට නියම කිරීම.


වැල්ලවත්ත ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් සිදු වූ අනතුර



වැල්ලවත්ත ප්‍රදේශයේ ඉදි කෙරෙමින් තිබූ ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ අතර, මෙවැනි සිදුවීම් ඉදිරියේදි ඇති නොවන බව තහවුරු කිරීම පිණිස යෝග්‍ය පියවර ගැනීමේ අවශ්‍යතාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.



අදාළ ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා නීතිමය විධිවිධාන ප්‍රකාර කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවටත්, නීතිවිරෝධී ලෙස එම ගොඩනැඟිල්ල ඉදි කිරීමට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් වගකිව යුතු සියලුම නිලධාරින්ට එරෙහිව විධිමත් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවටත්, එම පරීක්ෂණ කටයුතුවල ප්‍රතිඵල මත පදනම්ව වගකිව යුතු අදාළ නිලධාරින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කෙරෙන බවටත්, මින් ඉදිරියට මේ ආකාරයේ සිදුවීම් සිදු නොවන බවට වගබලා ගන්නා ලෙස අදාළ බලධාරින්ට දැනටමත් උපදෙස් ලබා දී ඇති බවටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් සැලකිල්ලට ගන්නා ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.