• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩල තීරණ - 2017-05-30

cabinet2016ශ්‍රී ලංකාව හා චීන මහජන සමූහාණ්ඩුව අතර උදර්පණ ගිවිසුම



අග්‍රාමාත්‍යතුමා විසින් පසුගිය වසරේ චීනයේ සිදු කරන ලද නිල සංචාරය අතරතුර, අධිකරණයක වරදකරුවන් වන පුද්ගලයන් අන්‍යොන්‍ය වශයෙන් පිටුවහල් කිරීමට (උදර්පණය‍ට) අදාළව ශ්‍රී ලංකාව හා චීන මහජන සමූහාණ්ඩුව අතර ගිවිසුමකට අත්සන් තබනු ලැබ ඇත. එම උදර්පණ ගිවිසුම අත්සන් තැබීමට අදාළව, ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



කසළ බැහැර කරන ස්ථානවල වන අලි ගැවසීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම



අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම පරිසරයට මෙන්ම වන සතුන්ට ද අයහපත් අන්දමට බලපා ඇත. විශේෂයෙන්ම වනජීවි කලාප තුළ කසළ බැහැර කෙරෙන ස්ථාන 54ක් පමණ තිබෙන බව හඳුනාගෙන ඇති අතර, වන අලින් 300කට අධික ප්‍රමාණයක් ඒ අවට ගැවසෙන බව ද වාර්තා වී ඇත. එම වන අලි කසළ ආහාරයට ගැනීමට හුරුවීම හේතුවෙන් එම සතුන්ගේ ජීවිතවලට බලවත් තර්ජනයක් මතු වී ඇත. ඒ අනුව, මෙම තත්ත්වයට විසඳුමක් ලෙස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය එක්ව, වන සතුන් බහුලව ගැවසෙන ප්‍රදේශ සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමටත්, විවෘතව කසළ බැහැර ‍කෙරෙන ස්ථානවලට වන අලින්ට ඇතුළු වීමට නොහැකි වන පරිදි තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය විසින් නිසි ස්ථානවල විදුලි වැට ඉදි කිරීමටත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය රක්ෂිත භාවිතාකරන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු අයකර ගැනීම



දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වලින් මේ වන විට අක්කර 1,934ක් පමණ බදුකරුවන් 6,400කට බදු පදනම මත ලබා දී ඇතිමුත් ඒ අතුරින් බොහෝ දෙනෙකු එම දෙපාර්තමේන්තුව වෙත නියමිත පරිදි බදු මුදල් ගෙවා නොමැත. ඒ අනුව, රුපියල් මිලියන 1,468ක් පමණ හිඟ බදු මුදල් ලෙස අය විය යුතුව ඇත. 2016 මැයි මස 10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් වසර 10ක් ඉක්මවා පරිහරණය කරනු ලබන පුද්ගලයින්ට රජයේ තක්සේරුව මත වසර 05ක උපරිම කාල සීමාවක් දක්වා එම ඉඩම් විධිමත් ලෙස බදු දීමට අනුමැතිය දෙන ලදී. ඒ අනුව, එලෙස විධිමත් ලෙස ඉඩම් බදු දීමේදී අදාළ ඉඩම් පරිහරණය කරනු ලබන පුද්ගලයින්ගෙන් අය විය යුතු හිඟ මුදල් අය කරගැනීම සඳහා විධිමත්, සහනදායී ක්‍රමවේදයක් හඳුන්වා දීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


උසස් අධ්‍යාපන තත්ත්ව ආරක්ෂණ ආයතන සඳහා වූ අන්තර්ජාතික ජාලයේ මීළඟ සමුළුව 2019 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම


උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තත්ත්ව ආරක්ෂණය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කරන සංවිධාන 200කට අධික සංඛ්‍යාවක එකමුතුවෙන් 'උසස් අධ්‍යාපන තත්ත්ව ආරක්ෂණ ආයතන සඳහා වූ අන්තර්ජාතික ජාලය' ස්ථාපිත කරනු ලැබ ඇත. එහි සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලැබ ඇති වඩාත් ඵලදායී වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කරමින් අත්දැකීම් හුවමාරු කරගැනීමේ අරමුණ ඇතිව සෑම දෙවසරකට වරක් එම ජාලයේ සමුළුවක් පවත්වනු ලබයි. දේශීය හා විදේශීය පාර්ශ්වකරුවන් 1,000ක් පමණ සහභාගී වීමට නියමිත එම ජාලයේ මීළඟ සමුළුව 2019 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



පාකිස්තානු රජය වෙතින් ඇ.ඩො. මිලියන 200ක ණය පහසුකමක් ලබාගැනීම


ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘති මූල්‍යයනය කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබා දීමට පාකිස්තානු රජය එකඟ වී ඇත. නිවාස ඉදි කිරීම, පශු සම්පත් නඟා සිටුවීමට අවශ්‍ය සතුන් ආනයනය, කෘෂිකර්මාන්තය හා කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ආනයනය, කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සංවර්ධනය කිරීම වැනි කාර්යයන් සඳහා මෙම ණය පහසුකම උපයෝගි කරගනු ඇත. ඒ අනුව, පාකිස්තානු රජය සමඟ ඊට අදාළ ණය ගිවිසුමට එළඹීම පිණිස හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



නව කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීයව පිහිටි කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කර දීම



බුත්තල, නාලන්ද (මාතලේ), නාලන්ද එල්ලාවල, ගලිගමුව, කළුතර, මිල්ලව, මිනුවන්ගොඩ, මතුගම, දඹදෙනිය, නූරාන, මාකදුර (බටහිර), දංකොටුව, උඩුකාව, ත්‍රිකුණාමලය යන කර්මාන්තපුරවල පිහිටි ඉඩම් කොටස් 23ක් රුපියල් බිලියන 1,617ක පමණ ආයෝජනය කිරීමට අපේක්ෂිත තෝරාගත් ආයෝජකයින් සඳහා ප්‍රධාන තක්සේරුකරු විසින් තීරණය කරනු ලබන බදු කුලිය අය කිරීමේ පදනම මත වසර 35ක කාලයකට බදු පදනම මත ලබා දීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



කොළඹ කොටුව සහ පිටකොටුව ඇතුළත පදික මංතීරු සංවර්ධනය (ඉදි කිරීම් අදියර III)



කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල පවතින අධික වාහන තදබදය සැලකිල්ලට ගෙන, පදිකයින්ට ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වන පරිදි ආකර්ශණීය ස්ථාන යා කරමින් මංතීරු ජාලයක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතියේ 1 අදියර ලෙස ඩී.ආර්.විජේවර්ධන මාවතේ සිට ඕල්කට් මාවත දක්වා කොටස දැනටමත් වැඩ නිම කර ඇති අතර, අදියර 2 යටතේ ඔල්කට් මාවත සහ සමුද්‍ර මාවත අතර කොටස දැනට වැඩ නිම වෙමින් පවතී. ව්‍යාපෘතියේ අදියර 3 වශයෙන් සාන්ත සෙබස්තියන් ඇළ ටෙක්නිකල් හංදියේ සිට උපරිමාධිකරණ සංකීර්ණය දක්වා වන පදික මාරුව සංවර්ධනය කිරීමට යෝජිත අතර එය මීට‍ර් 6ක (අඩි 20ක) පළලකින් යුතු වන අතර, දිග මීටර් 1,485කි. එම අදියර III යටතේ යෝජිත ඉදි කිරීම් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කර ගැනීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව (SLCARP) සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධන ආයතනය (MARDI) සමඟ ජාතික කෘෂිකර්ම පර්යේෂණ පද්ධතියේ විද්‍යාඥයින්ගේ මානව සම්පත් සංවර්ධනය සම්බන්ධයෙන් අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම



2016 වර්ෂයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් මැලේසියාවේදී සිදු කරනු ලබන නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව (SLCARP) සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධන ආයතනය (MARDI) සමඟ ජාතික කෘෂිකර්ම පර්යේෂණ පද්ධතියේ විද්‍යාඥයින්ගේ මානව සම්පත් සංවර්ධනය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. එම අවබෝධතා ගිවිසුම මඟින් දෙපාර්ශ්වය අතර තාක්ෂණික සහයෝගය ඉහළ නංවා ගැනීමටත්, පශ්චාත් උපාධි සහිත විද්‍යාඥයින් බිහි කරගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇත. එකඟතාවකට එළඹ ඇති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීමට හැකි වන පරිදි අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ආවරණ අනුමැතිය ලබා දෙන ලදී.



1924 අංක 4 දරන ගංවතුර ආරක්ෂණ ආඥාපනත අහෝසිකර නව ගංවතුර කළමනාකරණ පනතක් ස්ථාපිත කිරීම



ගංවතුරින් හානි සිදු විය හැකි ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම පිණිස 1924 අංක 4 දරන ගංවතුර ආරක්ෂණ ආඥාපනතින් විෂයභාර අමාත්‍යවරයාට බලය පැවරී ඇති අතර, එම ප්‍රදේශ ආරක්ෂා කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීමේ බලය වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් වෙත පැවරී ඇත. මෙම පනත එක් වතාවකදී පමණක් සුළු වශයෙන් සංශෝධනය වී ඇති අතර පසුගිය කාලය තුළ සිදු වී ඇති සමාජ, ආර්ථික, පාරිසරික, දේශගුණික හා ආයතනික වෙනස්කම් සැලකිල්ලට ගෙන, වර්තමාන හා අනාගත අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ගංගා සහ ජලාශවලින් ඇති විය හැකි ගංවතුර ආපදා මෙන්ම වැසි ජලය එක් රැස්වීම නිසා සිදුවන නාගරික හා ප්‍ර‍ාදේශීය ආපදා සහ වෙනත් ආකාරයේ ජල ගැලීම්වලින් සිදු වන ආපදාවලින් ජිවිත, දේපළ, පරිසරය හා ආර්ථිකයට සිදුවිය හැකි හානි හා ආපදා අවම කිරීමට හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් ගංවතුර ආරක්ෂණ පනතක් පැනවීමේ අවශ්‍යතාව මතු වී ඇත. ඒ අනුව, 1924 අංක 4 දරන ගංවතුර ආරක්ෂණ ආඥාපනත අහෝසිකර නව පනතක් කෙටුම්පත් කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



2018 - ආසියානු සමුද්‍ර කලාපීය රාජ්‍යයන්හි ස්ථාපිත තහනම් උත්තේජක මර්දන ආයතනයන්හි සමුළුව සඳහා සත්කාරකත්වය ලබා දීම



2018 වර්ෂයේදී පැවත්වීමට නියමිත ආසියානු සමුද්‍ර කලාපීය රාජ්‍යයන්හි ස්ථාපිත තහනම් උත්තේජක මර්දන ආයතනයන්හි සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ලෝක තහනම් උත්තේජක මර්දන ආයතනය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. මෙම සමුළුව සඳහා ලෝක තහනම් උත්තේජක මර්දන ආයතනයේ සාමාජිකයින්, ආසියානු ඔලිම්පික් කමිටු සාමාජිකයින්, ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකයින් සහ ශ්‍රී ලංකා විද්වතුන් ඇතුළුව 150ක් සහභාගීවීමට නියමිත අතර ඔවුන් සඳහා දේශීය සත්කාරකත්වය ලබා දිය යුතු වේ. ඒ අනුව, අදාළ සමුළුව 2018 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමටත්, ඒ සඳහා රුපියල් මිලියන 20ක ඇස්තමේන්තුගත පිරිවැයක් දැරීමට හා අවශ්‍ය ප්‍රතිපාදන 2018 වර්ෂයේදී ලබාගැනීමටත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



බදුල්ල - චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලුණුගල සිට බිබිල (කි.මී.171.80 සිට කි.මී.190.80) දක්වා ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම


බදුල්ල - චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලුණුගල සිට බිබිල (කි.මී.171.80 සිට කි.මී.190.80) දක්වා ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කරන ලද නිර්දේශ අනුව කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



පන්නිපිටියේ, වීර මාවතේ, වෘත්තිකයන් සඳහා වන නිවාස 500ක් සැලසුම් කිරීමේ සහ ඉදි කිරීමේ පදනම මත ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම



මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් පන්නිපිටිය, වීර මාවතේ වෘත්තිකයන් සඳහා නිවාස 500ක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. තෝරාගනු ලබන නිවාසලාභීන්ගෙන් නිවාස වටිනාකම කළින් ලබාගන්නා අරමුදල් මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණ ඇගයීම් කමිටුවේ නිර්දේශය හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



රාජ්‍ය නිලධාරින් සඳහා නිල නිවාස පහසුකම් සැපයීම - කොළඹ දිස්ත්‍රික්කය



කොළඹ දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් පිහිටා ඇති අතර ඒවායේ සේවය කරන සැලකිය යුතු නිලධාරින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචිකරුවන් බැවින් ඔවුහු රාජකාරි නිල නිවාස අපේක්ෂා කරති. දැනට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය සතු රජයේ නිල නිවාසවලින් යම් ප්‍රමාණයක් රාජ්‍ය සේවයේ විධායක නිලධාරින්ට හා සේවා අවශ්‍යතාව මත වෙනත් නිලධාරින්ට ලබා දී ඇතත් අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වැනි නිලධාරින්ට නිල නිවාස ලබා දීමේදී එවැනි නිවාසවල පවතින හිඟය ගැටලුවක්ව පවතී. මේ සඳහා පිළියමක් වශයෙන් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි මීට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා කාර්යාලය පවත්වාගෙන යන ලද ඉඩමේ හෙක්ටයාර 0.284ක ඉඩම් කොටසක මහල් 08ක නිවාස 49 කින් යුත් නිල නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර ඇති අතර එය මේ වර්ෂයේදී ආරම්භ කර 2019 වසර අවසානය වන විට නිම කිරීමට අපේක්ෂිතය. අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2017-2019 කාල සීමාව තුළ මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීමටත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



රාමලාන් උත්සව සමයේ මුස්ලිම් බැතිමතුන් සඳහා බෙදා හැරීමට අවශ්‍ය රටඉඳි මෙට්‍රික් ටොන් 150ක අතිරේක තොගයක් සතොස මඟින් මිලදී ගැනීම


රාමලාන් උත්සව සමයේදී ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා සෞදි අරාබියානු රජයෙන් පරිත්‍යාග ලෙස රටඉඳි මෙට්‍රික් ටොන් 150ක ප්‍රමාණයක් ලැබී ඇති නමුත් එය මෙම කාලසීමාව තුළ ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොවේයැයි තක්සේරු කර තිබේ. එවැවින් දැනට පරිත්‍යාග වශයෙන් ලැබී ඇති රටඉඳි ප්‍රමාණයට අතිරේකව තවත් මෙට්‍රික් ටොන් 150ක තොගයක් සතොස ආයතනය විසින් මිල දී ගෙන තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ඉස්ලාම් බැතිමතුන්ට බෙදා දීම පිණිස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



කොන්ක්‍රීට් පොම්ප ට්‍රක්රථ ආනයනය නියාමනය කිරීම



ඉඳි කිරීම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම කර්මාන්තය වන අතර එම ක්ෂේත්‍රය සඳහා පහසුකම් සැපයීම මඟින් ආර්ථික හා සාමාජීය වාසි රැසක් රටට ලබාගත හැකි වනු ඇත. එබැවින් ඉදි කිරීම් සඳහා අවශ්‍ය වන කොන්ක්‍රීට් පොම්ප ට්‍රක්රථ ආනයනයට අදාළ රෙගුලාසි සංශෝධනය කරනු ලැබ ඇති අතර එම යන්ත්‍ර ආනයනයේදී වසර 10කට වඩා නොපැරැණි සහ වසර 10කට වඩා පැරණි කොන්ක්‍රීට් පොම්ප ට්‍රක්රථ ලෙස නව සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 02ක් හඳුන්වා දී ඇත.එයින් වසර 10කට වඩා පැරැණි කොන්ක්‍රීට් පොම්ප ට්‍රක්රථ, ආනයනය කිරීම සඳහා ආනයන බලපත්‍ර ලබාගත යුතු‍ අයිතම ලැයිස්තුවට ඇතුළත් කරමින් 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පළ කරන ලද අංක 2019/24 හා 2017 මැයි මස 19 දිනැති ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



ජාතික ස්වාභාවික ආපදාවන් සහ හදිසි සහන කටයුතු සඳහා ප්‍රතිරක්ෂණ ආවරණය - 2017/18 වසර සඳහා වන රක්ෂණ ක්‍රමය



2016 වර්ෂයේ අයවැය යෝජනාවක් අනුව රට තුළ ඇති වන සුළි සුළං, කුණාටු, ජල ගැලීම්, නායයෑම් සහ සුනාමි වැනි ස්වභාවික ආපදා සඳහා සම්පූර්ණ රටම ආවරණය වන පරිදි ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ දැනට ලබා ගත හැකි ප්‍රතිලාභ තවත් ඉහළ නංවමින් වඩාත් සාර්ථක රක්ෂණ යෝජනා ක්‍රමයක් ලෙස වැඩිදියුණු කිරීම සඳහා 2017 අයවැය මඟින් රුපියල් මිලියන 500ක් වෙන් කර තිබේ. ඒ අනුව, අකුණු අනතුරුවලින් සිදු වන ජීවිත හානි, විවිධ ද්‍රව්‍යයන් පුද්ගලයන් මත පතිත වීම හේතුවෙන් සිදු වන ජීවිත හානි, දැඩි සුළඟ නිසා ගස් කඩා වැටීමෙන් සිදු වන දේපළ හානි, දැඩි වර්ෂාව නිසා තාප්ප කඩා වැටීමෙන් සිදු වන දේපළ හානි සහ ස්වාභාවික ආපදා හේතුවෙන් පුද්ගලයන්ට සිදු වන පූර්ණ අකර්මන්‍යතා යනාදිය සඳහා වන්දි ගෙවීම්ද ඇතුළත් කරමින් ප්‍රතිලාභ ලබා දීම වඩාත් පුළුල් කිරීම සිදු කර තිබේ. මෙම රක්ෂණ ක්‍රමය යටතේ ජාතික රක්ෂණ භාර අරමුදල විසින් රුපියල් බිලියන 15ක රක්ෂණාවරණයක් ලබා දී ඇති අතර එම අරමුදල සඳහා සිදු විය හැකි අසාමාන්‍ය අලාභයන් වැළැක්වීමේ අරමුණින් ප්‍රතිරක්ෂණ ආවරණයක් ලබාගත යුතුව ඇත. ඒ සඳහා තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි ප්‍රතිරක්ෂණ සමාගමක් තෝරාගැනීමටත්, ඒ සඳහා වන වාරික මුදල් ගෙවීමටත්, අදාළ ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


 
ගංවතුර හා නායයෑම් මඟින් විපතට පත්වූවන් සඳහා සහන සැලසීම



ගංවතුර හා නායයෑම්වලින් මියගිය සිය පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සහ විවිධ අයුරින් විපතටපත් පුද්ගලයින් වෙත අමාත්‍ය මණ්ඩලය විසින් සිය කනගාටුවත් මෙම අසීරු අවස්ථාවේ ක්‍රියාකාරීව මැදිහත්වූ මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සියලුම අංශ වෙත රජයේ කෘතඥතාවය පළ කරන ලද අතර ඒ පිළිබඳව පහත තීරණ වලට එළඹීමට තීරණය කරන ලදී: 



(i) ගංවතුරෙන් අවතැන්වූවන් වෙනුවෙන් පිසූ ආහාර ලබා දීමට එක් අයෙකු වෙනුවෙන් දිනකට වෙන් කරනු ලබන රුපියල් 225/-ක උපරිම මුදල මෙම ආපදා තත්ත්වය සඳහා රුපියල් 300/- දක්වා වැඩි කිරීම. 


(ii)මෙම වර්ෂය තුළදී අමාත්‍යවරුන්ගේ භාවිතය සඳහා සහ අමාත්‍යාංශවල භාවිතය සඳහා අලුතින් වාහන මිල දී ගැනීම වහාම අත්හිටුවීම. 



(iii)මෙම ආපදාව හේතුවෙන් හානියට පත් වූ නිවාස හා වෙනත් ගොඩනැඟිලි ශ්‍රී ලංකා යුද හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය මඟින් අලුත්වැඩියා කර දීම සඳහා වැඩපිළිවෙළක් යෙදීම. 


(iv)සහන ලබා දීම සඳහා විදේශ රටවලින් ලැබෙන මූල්‍යාධාර මෙම ආපදාවෙන් හානි වූ නිවාස ඉදි කිරීම සඳහා යෙදවීම. 



(v)2017 අයවැය මඟින් සංවර්ධන ව්‍යාපෘති සහ වෙනත් කටයුතු සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන, නැවත ප්‍රමුඛතාගත කිරීම මඟින් යෝජිත ප්‍රතිසංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම සඳහාත් ආපදා නිසා හානියට පත් ගොඩනැඟිලි හා අනෙකුත් ප්‍රාග්ධන වත්කම් පුනරුත්ථාපනය සිදු කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් පහත අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම: 


මංගල සමරවීර මහතා - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය;
රවි කරුණානායක මහතා - විදේශ කටයුතු අමාත්‍ය;  සහ
කබිර් හෂිම් මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය



(vi)මෙම ආපදාව නිසා හානියට පත් නිවාස හා යටිතල පහසුකම් පුනරුත්ථාපනය සඳහා දායක වන පෞද්ගලික අංශයට ලැබෙන බදු සහන පිළිබඳව පෞද්ගලික අංශය දැනුවත් කරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දීම.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.