• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩල තීරණ 2017.06.06

cabinet sinhala logo2017.06.06 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.


චීන මහජන ජනරජයේ රාජ්‍ය වනවිද්‍යා කළමනාකරණ ඇකඩමිය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය අතර ඇති කරගනු ලබන අවබෝධතා ගිවිසුම


ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හට පුහුණු හා අධ්‍යාපනික අවස්ථා ලබා දීම පිණිස චීනය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී තිබේ. මෙමඟින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වැඩි පිරිසකට සිය දැනුම වර්ධනය කරගැනීමටත්, කුසලතා ‍ගොඩනංවා ගැනීමටත් මහඟු අවස්ථාවක් උදා වේ. තවද, ක්ෂේත්‍රයට අදාළ නිලධාරින් පුහුණු කිරීම, අදාළ ක්ෂේත්‍රවල නිලධාරින්ට දෙරටේ සංචාරය කර අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව සැලසීම, සහයෝගිත්ව පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ සත්ත්ව හා පැළෑටි වර්ග හුවමාරුව සඳහා ද මෙමඟින් අවස්ථාව සැලසෙන අතර, මෙම ගිවිසුම චීන මහජන ජනරජයේ සිදු කිරීමට නියමිත සිය නිල සංචාරය අතරතුර අත්සන් තැබීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


සනීපාරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය


'සනීපාරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය' මීට පෙර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, එය වඩාත් ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා ඒ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්ව, ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් මෙන්ම මුදල්, මහානගර හා බස්නාහිර සංවර්ධන සහ අධ්‍යාපන අමාත්‍යවරුන් විසින් මේ පිළිබඳව ඉදිරිපත් කරනු ලැබ තිබූ නිරීක්ෂණ ද එහි අන්තර්ගතය වැඩිදියුණු කිරීම සඳහා පත් කරන ලද ජාතික මෙහෙයුම් කමිටුවේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන නැවත සකස් කරනු ලැබ ඇත. නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද එම ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


පාසල් ළමුන් අතර ස්ථුලතාව වැළැක්වීම


වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රමුඛතම සෞඛ්‍ය ගැටලුව බවට පත් වී ඇත්තේ හෘදයාබාධ, අධික රුධිර පීඩනය, දියවැඩියාව හා පිළිකාව යනාදී බෝ නොවන රෝග බව හඳුනාගනු ලැබ තිබේ. ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් 59%ක් බෝ නොවන රෝගවලින් සිදුවන අතර, එයට ගොදුරු වන්නන්ගෙන් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 60ට අඩු පුද්ගලයන් බව පෙනී ගොස් ඇත. ප්‍රමාණවත් පරිදි ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත නොවීම හේතුවෙන් යෞවනයන් අතර ද ස්ථුලතාව වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින්, පාසල් කාලය තුළදී ශාරීරික ක්‍රියාකාරකම්වලට සිසුන් වැඩි වශයෙන් යොමු කිරීමටත්, පාසල් දරුවන්ට සෞඛ්‍යයට හිතකර ආහාරපාන ලබාගැනීමට වැඩි ඉඩකඩ හිමිවන ආකාරයේ නව වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ සහිතව ක්‍රියාත්මක කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු වැළැක්වීමේ සහ කළමනාකරණය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සහ උපක්‍රමික සැලැස්ම


ශ්‍රී ලංකාව තුළ සිදුවන හදිසි අනතුරු හේතුවෙන් වසරකට පුද්ගලයින් මිලියනයකට වැඩි ප්‍රමාණයක් රෝහල්ගත කරනු ලබන අතර, සෞඛ්‍ය අංශය සඳහා වාර්ෂිකව වෙන් කරනු ලබන ප්‍රතිපාදනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් සඳහා වැය කිරීමට සිදු වී තිබේ. හදිසි අනතුරුවලට බලපාන ප්‍රධාන හේතුව 'මාර්ග අනතුරු' වශයෙන් හඳුනාගෙන ඇති අතර, එහිදී මිය යන අයගෙන් බහුතරයක් වයස අවුරුදු 15ත් 44ත් අතර පුද්ගලයන් බව පෙනී ගොස් ඇත. මෙම තත්ත්වය වළක්වා ගැනීම පිණිස සකස් කරනු ලැබ ඇති, 'ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු වැළැක්වීමේ සහ කළමනාකරණය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සහ උපක්‍රමික සැලැස්ම' පිළිගැනීමටත් එම ප්‍රතිපත්තිය හා උපක්‍රමික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආයතනික සහයෝගය ලබාගැනීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී .


මූල්‍ය අවශ්‍යතා සහිත කලාකරුවන් වෙනුවෙන් ලබා දෙන මුදල රුපියල් 5,000/- සිට රුපියල් 10,000/- දක්වා වැඩි කර ලබා දීම සඳහා අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබාගැනීම


මෙම කරුණ 2016 දෙසැම්බර් මස 06 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගත් අතර, එහිදී මුල්‍ය අවශ්‍යතා සහිත කලාකරුවන්ට වාර්ෂිකව ගෙවනු ලබන රුපියල් 5,000/-ක මුදල රුපියල් 10,000/- දක්වා වැඩි කිරීමටත්, එම මුදල ලබා දෙනු ලබන කලාකරුවන් සංඛ්‍යාව 5000 දක්වා වැඩි කිරීමටත්, එම වැඩසටහන 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමටත් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහා ඉඩකඩ පහසුකම් සලසා ගැනීම


මෑතකාලීනව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති කාර්යභාරය ඉටු කිරීම සඳහා එම දෙපාර්තමේන්තුව සතු සම්පත් ප්‍රමාණවත් නොවීම එහි කටයුතුවලට අහිතකර ලෙස බලපා ඇති අතර, පසුගිය කාලයේ ධීවර ක්ෂේත්‍රයේ සිදු වූ වේගවත් හා ධනාත්මක වෙනස්කම් අනුව කටයුතු කිරීම පිණිස දෙපාර්තමේන්තුවේ සංවිධාන ව්‍යූහය, වත්මන් කාර්යමණ්ඩල සංයුතිය වෙනස් කිරීම මෙන්ම ප්‍රමාණවත් ඉඩකඩ සහිත ගොඩනැඟිල්ලක අවශ්‍යතාව ද මතු වී ඇත. ඒ සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක් ස්ථාපිත කිරීම සඳහා ඉදි කිරීමට යෝජිත ගොඩනැඟිල්ල වඩාත් පුළුල් කර, වර්ග මීටර 432ක පමණ ඉඩකඩ සහිත මහල් හතරකින් (04) යුත් ගොඩනැඟිල්ලක් ලෙස ඉදි කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2018 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු මඟින් ලබාගැනීමටත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


වැඩිදියුණු කළ එළවළු බීජ නිෂ්පාදනය ඉහළ නැංවීම පිණිස ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා බංග්ලාදේශයේ සීමාසහිත ලාල්ටියර් බීජ සමාගම සමඟ ඒකාබද්ධව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම


කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක් ද බීජ නිෂ්පාදන කටයුතුවල යෙදෙන නමුත්, රටේ දේශගුණයට ගැළපෙන වැඩිදියුණු කළ බීජ අවශ්‍යතාවන් සම්පූර්ණයෙන් සැපයීමට එම ආයතනවලට හැකියාවක් ලැබී නොමැති බැවින් බීජ විශාල ප්‍රමාණයක් ආනයනය මඟින් සපුරා ගනු ලබයි. මෙම ගැටලුවට පිළියමක් වශයෙන් උසස් මට්ටමින් බීජ නිෂ්පාදනය කරනු ලබන, ඒ සඳහා පර්යේෂණ හා සංවර්ධන හැකියාව ඇති, බංග්ලාදේශයේ ස්ථාපිත සමාගමක් වන සීමාසහිත ලාල්ටියර් බීජ සමාගම සමඟ ඒකාබද්ධ ව්‍යාපෘතියක් මහඉලුප්පලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් එම සමාගම විසින් යොදවනු ලබන අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය ඉඩම ලබා දිය යුතු වේ. ව්‍යාපෘතිය සඳහා දෙපාර්ශ්වය සතු තාක්ෂණික දැනුම හා ජාන සම්පත් යොදවා ගනු ලැබේ. ඒ අනුව, අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමටත්, යෝජිත ඒකාබද්ධ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිණිස බලය පැවරීමටත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ බීජ සංරක්ෂණ අංශය වැඩිදියුණු කිරීම


ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් අනූන රටකි. ජෛව විවිධත්ව සංරක්ෂණය අරමුණු කරගනිමින් ජපාන සහයෝගිතා අරමුදලේ සහයෝගය ඇතිව 1989 වර්ෂයේදී ගන්නෝරුවේ ජාන සම්පත් මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර, මේ වන විට ජාන බැංකුව තුළ බීජ නියැඳි 14,500ක් පමණ සංරක්ෂණය කරනු ලැබ ඇත. දේශගුණික විපර්යාසවලට, රෝග හා පළිබෝධවලට ඔරොත්තු දෙන ඉහළ අස්වැන්නක් සහිත නව ප්‍රභේද අභිජනනය සඳහා පර්යේෂණ නිලධාරින්ට ද පාරම්පරික කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන්නන්ට ද සංරක්ෂිත භෝග ලබා දීම මඟින් මෙම ජාන බැංකුව ජාතික කෘෂිකර්මය නඟා සිටුවීම සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙයි. මෙම ජාන සම්පත් මධ්‍යස්ථානය ශීත කාමර 16කින් යුත් සංරක්ෂණ ඒකකයකින් සමන්විත වන අතර, එම ශීතකරණ පද්ධතිවල ක්‍රියාකාරීත්වය සඳහා යොදා ගෙන ඇති තාක්ෂණය වර්තමානයේ පිළිගෙන ඇති අන්තර්ජාතික සම්මුතීන්ට අනුව යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


නැ‍ඟෙනහිර පළාත තුළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කිරීම හා උපදේශක සේවා ලබාගැනීම


නැ‍ඟෙනහිර පළාත තුළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා 2017 අයවැය මඟින් රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන වෙන් වී ඇති අතර, ඒ සඳහා යෝග්‍ය ස්ථානයක් වශයෙන් කලවංචිකුඩි - මන්මුනෙයි දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජය‍ට අයත් ඉඩම් කොටසක් අදාළ නිලධාරින්ගේ හා දේශපාලන අධිකාරියේ එකඟත්වයෙන් හඳුනාගෙන ඇත. ඒ අනුව, හඳුනාගෙන ඇති අක්කර 02යි රූඩ් 03ක ඉඩම් කොටස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයට පවරා ගැනීමටත්, නිර්මාණය කර ඉදි කිරීමේ පදනම මත අදාළ ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, ආර්ථික මධ්‍යස්ථාන 10ක් ඉදි කිරීම මඟින් මනා පළපුරුද්දක් ලබා ඇති ඉංජි‍නේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීමටත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


මහජන බැංකුවේ ප්‍රාග්ධනය රුපියල් බිලියන 05කින් ශක්තිමත් කරගැනීම


මහජන බැංකුව ආරම්භ කර මේ වන විට වසර 55ක් පමණ ගත වී ඇති අතර, මේ වන විට බැංකුව සතු ඒකාබද්ධ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.4ක් දක්වා වැඩි වී තිබේ. එය ආසියාවේ බැංකු අතර 387 වන ස්ථානයට පත්ව ඇති අතර, දේශීය ශ්‍රේණිගත කිරිම් අනුව මෙරට දෙවැනි විශාලතම බැංකුව ද වේ. මේ වන විට බැංකුව සතුව සේවා මධ්‍යස්ථාන 737ක් පවතින අතර, මුළු ගිණුම් සංඛ්‍යාව මිලියන 18කට ආසන්න වේ. බැංකු ක්ෂේත්‍රයේ පවතින රෙගුලාසි, අධීක්ෂණය සහ අවදානම් සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ බැංකු අධීක්ෂණය පිළිබඳ බාසල් කමිටුව විසින් බැංකුවල ප්‍රාග්ධන නියාමනය පිළිබඳ හඳුන්වා දී ඇති බාසල් III ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි මහජන බැංකුවේ ප්‍රාග්ධනය තවත් රුපියල් බිලියන 05කින් වැඩි කිරීම පිණිස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය වැඩිදියුණු කිරීම


සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය මඟින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරග සඳහා ක්‍රීඩා යටිතල පහසුකම් සලසනු ලැබේ. මෙය සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය මඟින් පාලනය කෙරෙන අතර, මීට වසර 25කට පමණ පෙර ඉදි කර ඇති එම ක්‍රීඩා සංකීර්ණය නවීකරණය සඳහා යම් යම් පියවර ගෙන තිබේ. එම සංකීර්ණය වඩාත් දියුණු තත්ත්වයකට පත් කිරීම සඳහා අවශ්‍ය වන පහත සඳහන් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:


* සූර්යබල විදුලි උත්පාදක පද්ධතියක් සවි කිරීම.
* එළිමහන් ක්‍රීඩාංගණය සඳහා විදුලිය සපයනු ලබන කුලුනුවල විදුලිය සපයන වයර් හා අනෙකුත් නිර්මිතයන් අලුත්වැඩියා කිරීම.
* ප්‍රධාන ක්‍රීඩාගාරයේ ඇතුළත විදුලි ආලෝක පද්ධතිය හා ශබ්දවාහිනී පද්ධතිය නවීකරණය.


හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳව අධ්‍යයනයන් හා පර්යේෂණයන් සිදු කිරීම පිණිස ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකාය සහ ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ සංවිධානය අතර වන අවබෝධතා ගිවිසුම


නිශ්චිතව හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය මේ වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 11ක් තුළ පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 60ක ව්‍යාප්තව පවතින බව සොයා ගෙන තිබේ. එම රෝගය පිළිබඳව අධ්‍යයනය කිරීමට හා පර්යේෂණ පැවැත්වීමට ඕස්ට්‍රේලියාවේ වකුගඩු රෝග විශේෂඥයින්ගේ සහාය සහ එරට න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ සංවිධානයේ විද්‍යාත්මක යටිතල පහසුකම් උපයෝගි කරගැනීමට හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකාය සහ ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ සංවිධානය අතර වන අවබෝධතා ගිවිසුමකට පසුගිය මැයි මස 24 සිට 26 වන දින දක්වා අතිගරු ජනාධිපතිතුමා විසින් ඕස්ට්‍රේලියාවේ සිදු කරන ලද නිල සංචාරය අතරතුර අත්සන් තබා ඇති බව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.



පසුගිය දිනවල පැවති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ගොඩගැසී ඇති කුණු ඉවත් කිරීම


පසුගිය 2017‑05‑25 හා 26 දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළුණු අධික වර්ෂාව නිසා ඇති වූ නායයෑම් හා ජල ගැලීම් හේතුවෙන් ජීවිත හා දේපළ රැසකට හානි සිදු විය. එසේම ආපදාවට ලක් වූ ප්‍රදේශයන්හි අපද්‍රව්‍ය හා කසළ විශාල වශයෙන් එක්රැස්ව ඇති අතර, එම අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දෙනු ලැබ ඇත. එලෙස විශාල වශයෙන් එක්රැස්ව ඇති කසළ ඉවත් කිරීම සඳහා දැනට පළාත් පාලන ආයතන සතු වාහන හා උපකරණ ප්‍රමාණවත් නොවන බැවින්, එම කාර්යය සඳහා අවශ්‍ය වාහන හා උපකරණ මිල දී ගැනීම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 100ක අතිරේක ප්‍රතිපාදන සලසා දීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව ඉගැන්වීමේ ඒකකයක් පිහිටුවීම


සිංහල භාෂාව හා සාහිත්‍ය සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබඳ හැදෑරීමට කැමැත්තක් දක්වන, ඉන්දියාව, සාර්ක් කලාපය ඇතුළු අනෙකුත් කලාපවල ශිෂ්‍යශිෂ්‍යාවන්ට ඒ සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින්, ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයෙහි භාෂාව, සාහිත්‍ය හා සංස්කෘතික අධ්‍යයන විද්‍යායතනය තුළ සිංහල භාෂාව ඉගැන්වීමේ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කිරීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


බෞද්ධ ස්තූපයක් නව දිල්ලි නුවර ඉදි කිරීම


නව දිල්ලි නුවර දැනට ස්ථාපිත කරනු ලැබ ඇති බෞද්ධ විහාරය මහාබෝධි සමාගම විසින් පාලනය කෙරෙන අතර, එම විහාරය සීමිත ඉඩ ප්‍රමාණයක පිහිටා ඇත. එසේම, ශ්‍රී ලංකාවෙන් හෝ අනෙකුත් බෞද්ධ රටවලින් නව දිල්ලිය කරා පැමිණෙන වන්දනාකරුවන්ට වන්දනාමාන කිරීම සඳහා ස්තූපයක් හෝ ප්‍රමාණවත් පහසුකම් එම විහාරය සතු නොවේ. ඒ අනුව, නව දිල්ලි නුවර බෞද්ධ ස්තූපයක් ඉදි කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩම් කොටසක් ලබාගැනීමට ඉන්දීය රජයේ අදාළ බලධාරින් සමඟ සාකච්ඡා කිරීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ගල්ෆ් කලාපයේ උද්ගත වී ඇති වත්මන් තත්ත්වය


සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, බහරේනය හා යේමනය යන රටවල් විසින් කටාර් රාජ්‍යය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා නතර කරනු ලැබීම හේතුවෙන් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව විදේශ කට‍යුතු අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.


ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයක් නව දිල්ලි නුවර ස්ථාපිත කිරීම


ශ්‍රී ලංකාව, සිය රට තුළින්ම බිහි වූ විවිධ සංස්කෘතිකාංගවලින් පොහොසත් සුවිශේෂ රටකි. ශ්‍රී ලාංකික නර්තන සම්ප්‍රදායන්, ශ්‍රී ලාංකික සංගීතය, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කලාවන් හා ශිල්ප ක්‍රම ඇතුළත් ශ්‍රී ලංකාවට ආවේණික සුවිශේෂ සංස්කෘතික අනන්‍යතාව ප්‍රවර්ධනය කිරීමේ ස්ථානයක් ලෙස යොදාගැනීමේ සහ විවිධ සංස්කෘතික උත්සව පැවැත්වීමේ අරමුණින් 'ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයක්' නව දිල්ලි නුවර ස්ථාපිත කිරීම පිළිබඳ ඉදිරිපත් වී ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩම් කොටසක් ලබාගැනීමට ඉන්දීය රජයේ අදාළ බලධාරින් සමඟ සාකච්ඡා කිරීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.