• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩල තීරණ 2017.07.18

cabinet20162017.07.18 දින රැස්වූ අමාත් මණ්ඩලය එළැඹි තීරණ පහත සඳහන් වේ.

 



පාසල් සිසුන්ගේ ගමනාගමන පහසුව සඳහා යෙදවීම පිණිස බස් රථ මිල දී ගැනීම


ප්‍රවාහන දුෂ්කරතා අවම කරමින් පාසල් සිසුදරුවන් වෙත සුරක්ෂිත ගමනාගමන පහසුකම් සැලසීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, උතුරු මැද පළාතේ දුෂ්කර අධ්‍යාපන කලාප 04ක පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මගී ප්‍රවාහන බස් රථ ලබා දීමට යෝජනා වී ඇත. ඒ අනුව, 'දරුවන් සුරකිමු' ජාතික වැඩසටහන යටතේ ආරම්භ කරනු ලබන නියමු වැඩසටහනක් වශයෙන් රුපියල් මිලියන 12.86ක පිරිවැයක් දරමින් මගී බස් රථ 04ක් මිල දී ගෙන මේ සඳහා ලබා දීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


තරුණ කෘෂි ව්‍යවසායකයින් බිහි කිරීම


නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් වාණිජ මට්ටමින් කෘෂිකාර්මික කටයුතුවල යෙදීමෙහි සමත්, ව්‍යවසායකත්ව හැකියාවන්ගෙන් යුත් තරුණ ගොවි ප්‍රජාවක් රට තුළ සංවර්ධනය වී නොමැති වීම මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අඩු ඵලදායිතාවට සෘජුවම බලපාන ගැටලුවක් වශයෙන් හඳුනා ගනු ලැබ තිබේ. කෘෂිකර්ම විද්‍යාල හා විශ්වවිද්‍යාලවල කෘෂිකර්ම පීඨවලින් සැලකිය යුතු තරුණ පිරිසක් වාර්ෂිකව සුදුසුකම් සම්පූර්ණ කරන නමුත්, වෙනත් ක්ෂේත්‍ර හා සසඳන කල කෘෂිකර්ම ක්ෂේත්‍රය ලාභදායි නොවීමත්, එම ‍ක්ෂේත්‍රයේ කටයුතු කිරීම සමාජයේ එතරම් පිළිගැනීමට ලක් නොවීමත් හේතුවෙන් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සෘජුවම කෘෂිකර්මාන්තයේ නිරත නොවෙති.


මෙරට ජාතික නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දායකත්වය ඉහළ මට්ටමින් පවත්වාගෙන යාමේ අරමුණින් වාණිජ මට්ටමින් කෘෂිකර්මාන්තයේ යෙදිය හැකි ව්‍යවසායකයින් බිහි කිරීමේ ව්‍යාපෘතියක් 'ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන' යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එහි නියමු ව්‍යාපෘතිය යටතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෝරා ගනු ලබන තරුණ ව්‍යවසායකයින් 100 දෙනෙකු සඳහා නවීන තාක්ෂණික කෘෂි උපකරණ ඇතුළු සම්පත් සපයා ගැනීමට සහන ණය පහසුකම් ලබා දීමටත්, එම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත වයඹ, උතුරුමැද හා නැ‍ඟෙනහිර යන පළාත්වලින් තරුණ ව්‍යවසායකයින් 1,000ක්ද, ඊළඟ අදියරේදී දිවයින පුරා තරුණ තරුණියන් 10,000ක්ද සම්බන්ධ කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


සහස්‍ර අභියෝග සංස්ථාව සහ ශ්‍රී ලංකා රජය අතර ප්‍රදානය කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම


ආර්ථික වර්ධනය ඇති කිරීම මඟින් තෝරාගනු ලබන රටවල්වල දිගුකාලීන ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන ඇ‍මරිකා එක්සත් ජනපද විදේශ ආධාර නියෝජිතායතනයක් වන 'සහස්‍ර අභියෝගතා සංස්ථාව' (Millennium Challenge Corporation - MCC) විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගමනයට හේතුවන අයුරින් වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් සංවර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක ප්‍රදානයක් ඉදිරි පස් වසරක කාල සීමාව තුළ ලබා දීමට නියමිතය. එම ප්‍රදානය ලබාගැනීමට සහ ඒ යටතේ වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සහස්‍ර අභියෝගතා සංස්ථාව සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමකට එළඹීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ කාර්යමණ්ඩලය සඳහා නේවාසික පහසුකම් සැලසීම


ත්‍රිවිධ හමුදා හා රාජ්‍ය සේවයෙහි මාණ්ඩලික නිලධාරින් හට උසස් තනතුරුවල වගකීම් දැරීමට, මෙහෙයවීමට මෙන්ම පැවරෙන කාර්යයන් කාර්යක්ෂමව ඉටු කිරීම පිණිස පුහුණු කිරීම සඳහා පිහිටුවා ඇති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය මඟින් දේශීය හා විදේශීය නිලධාරින් 130කට වැඩි පිරිසක් පුහුණුව ලබා වාර්ෂිකව විසිර යනු ලැබේ. මෙම විද්‍යාලයේ කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වා ගෙන යාම සඳහා එහි කාර්ය මණ්ඩලයට අයත් ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සහ සෙසු නිලයන්ට අයත් නිලධාරින් සඳහා නේවාසික පහසුකම් සැලසීම පිණිස නව තෙමහල්‍ ගොඩනැඟිල්ලක් සහ සිව්මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ඕසෝන් ස්තරයට හානි කර හයිඩ්‍රොක්ලෝරො-ෆ්ලෝරෝකාබන් (Hydrochloroflurocarbons-HCFC) භාවිතයෙන් ඉවත් කිරීම


ඕසෝන් ස්තරය සුරැකීම සඳහා වූ වියානා සම්මුතියේ සහ මොන්ට්‍රියල් සන්ධානයේ එකඟතාවන්ට හා බැඳීම්වලට අනුකූලව හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් (Hydrochloroflurocarbons - HCFC) නමැති ඕසෝන් වියනට හානිකර රසායනික ද්‍රව්‍යය භාවිතය අවම කිරීමටත්, ඒ වෙනුවට ඕසෝන් හිතකාමී විකල්ප හඳුන්වා දීමටත් 1989 වසරේ සිට ශ්‍රී ලංකාව විසින් කටයුතු කරනු ලබයි. හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් රසායනික ද්‍රව්‍යය යොදා ගනු ලබන ශීතකරණ හා වායුසමන අලුත්වැඩියා හා නඩත්තු සේවා ක්ෂේත්‍රය කෙරෙහි ඇති විය හැකි අහිතකර බලපෑම පාලනය කරමින්, හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් රසායනිකය ආනයනය සීමා කිරීම සඳහා කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2016‑08‑16 දින තාක්ෂණ කමිටුවක් පත් කරන ලදී. පහත සඳහන් නිර්දේශද ඇතුළුව එම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:


* ශීතකරණ, අධිශීතකරණ, වායු සමන යන්ත්‍ර හා තාප පොම්ප ඒකක, ජල සිසිලන, අයිස් නිෂ්පාදන යන්ත්‍ර, වාහන අධිශීතකරණ හෝ බහාලුම් ඇතුළු මොන්ට්‍රියල් සම්මුතියේ සඳහන් ඕසෝන් ප්‍රහීනකාරක සහිත උපකරණ කාණ්ඩයට අයත් භාවිත කළ (Used) හෝ අලුත්වැඩියා කළ (Reconditioned) උපකරණ ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීම.


* ගෝලීය උණුසුම් විභවය (Global Warming Potential) 100 අගය සහ ඕසෝන් ප්‍රහීනකාරී විභවය (Ozone Depleting Potential) 0.03 ඉක්මවන හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් රසායනිකය භාවිත කරමින් නිපදවනු ලබන උපකරණ හෝ උපාංග ශ්‍රී ලංකාවට ආනයනය, ශ්‍රී ලංකාව තුළ නිපදවීම හා එකලස් කිරීම 2018‑01‑01 දින සිට තහනම් කිරීම.



* ගෝලීය උණුසුම් විභවය (Global Warming Potential) 100 අගය සහ ඕසෝන් ප්‍රහීනකාරී විභවය (Ozone Depleting Potential) 0.03 නොඉක්මවන හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් රසායනිකය භාවිත කරමින් නිපදවනු ලබන උපකරණ හෝ උපාංග ශ්‍රී ලංකාවට ආනයනය, ශ්‍රී ලංකාව තුළ නිපදවීම හා එකලස් කිරීම 2021‑01‑01 දින සිට තහනම් කිරීම.



* ශීතකරණ හා වායු සමීකරණ උපකරණ සේවා හා නඩත්තු කටයුතු සිදු කරනු ලබන කාර්මික ආයතන සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේදී, ශීතකාරක එකතු කිරීමේ හා නැවත ප්‍රතිචක්‍රීයකරණය කරගැනීමේ උපකරණයක් (Refrigerant Recovery & Recycling Machine) තිබීම අනිවාර්ය බවට වූ කොන්දේසියක් 2019‑01‑01 දින සිට බලපැවැත්වෙන පරිදි ඇතුළත් කිරීම.



වෑමැඩිල්ල ජලාශයට යට වූ ඉඩම් වෙනුවට ලබා දුන් ඉඩම් මොරගහකන්ද ව්‍යාපාරයට අත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට වන්දි ගෙවීම


මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල, ගලේවෙල හා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන ලද වෑමැඩිල්ල ජලාශ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත් කරගැනීමේදී ඉඩම් අහිමි වූ පුද්ගලයින් වෙත කන්දේපිටවල ජලාශ යෝජනා ක්‍රමය යටතේ ලග්ගල - පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 2008 වර්ෂයේදී ඉඩම් ලබා දෙනු ලැබ තිබේ. එහෙත් එලෙස ලබා දෙන ලද ඉඩම්, මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා නැවත රජයට අත්කර ගැනීමට කටයුතු කරනු ලැබ ඇති බැවින්, එසේ ඉඩම් අහිමි වූ පුද්ගලයින් 53 දෙනෙකු සඳහා විකල්ප ඉඩම් වෙනුවට මුදලින් වන්දි පිරිනැමීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ වඩාත් ගුණාත්මක හා ඵලදායී ලෙස සිදු කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම



රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීම ඒකාධිකාරයක් යටතේ සිදු වීම නිසා යම් යම් අක්‍රමිකතා සිදු වන බවට මහජන විවේචන එල්ල වී ඇති අතර එම තත්ත්වය විනයගරුක රියදුරන් බිහි කිරීමට බාධාවක් වී ඇති බව පෙන්වා දී තිබේ. දැනට සිදු වන මාර්ග අනතුරු සම්බන්ධයෙන් සලකා බැලීමේදී රියදුරන්ගේ අපරික්ෂාකාරී බව හා ඔවුන්ට මාර්ග නීති පිළිබඳව පවතින අනවබෝධය ඉහත කී තත්ත්වය තවදුරටත් සනාථ කරනු ලබයි.



මෙම තත්ත්වයට පිළියමක් වශයෙන් මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන්ට අමතරව, සුදුසුකම් සහිත වෙනත් පාර්ශ්ව හඳුනාගැනීමට යෝජනා වී තිබේ. එමඟින් වඩාත් ගුණාත්මක ලෙස මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමටත්, මනාව නියාමනය කිරීම තුළින් තමන් විසින් සමත් කරනු ලබන රියදුරු බලපත්‍ර අපේක්ෂකයින් සම්බන්ධයෙන් වගවීමක් ඇති කර ලීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, මේ සඳහා යොදා ගත හැකි සුදුසු ක්‍රමවේදයක් පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ලබාගැනීම සඳහා අදාළ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.




'සෙවණ' දිනුම් අදිනු ලබන නව ලොතරැයියේ සුපිරි ත්‍යාගය ලෙස නව නිවසක් ලබාදීම



ජාතික ලොතරැයි මණ්ඩලය විසින් පවත්වා ගෙන යනු ලබන ‍'සෙවණ' ක්ෂණික ලොතරැයියට අමතරව, 'සෙවණ' නමින් දිනුම් අදිනු ලබන ලොතරැයියක් 2017‑06‑23 දිනට යෙදී තිබූ ජාතික නිවාස දිනයට සමගාමීව වෙළඳ පොළට නිකුත් කරනු ලැබ ඇති අතර, එහි ප්‍රථම දිනුම් ඇදීම 2017‑07‑27 දින සිදු කිරීමට නියමිතය. මෙම ලොතරැයියේ සුපිරි ත්‍යාගය ලෙස කොළඹට තදාසන්න ප්‍රදේශයකින් හෝ වෙනත් නාගරික ප්‍රදේශයකට ආසන්නව සියලු පහසුකම්වලින් සමන්විත නව නිවසක් පිරිනැමීමට යෝජනා වී තිබේ.


ඒ අනුව, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිර්දේශ කරනු ලබන ආයතනයකින් ත්‍යාග සඳහා පිරිනමනු ලබන නිවාස මිලට ගැනීමටත්, මෙම ලොතරැයියේ අලෙවි ආදායමෙන් අදාළ දායක මුදල් සෙවණ අරමුදලට ලබා දීමටත් විදේශ කට‍යුතු අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



ගංවතුර ආපදා අවස්ථාවන්හිදී විපතට පත් වන පුද්ගලයින්ගේ ජීවිත බේරාගැනීම සඳහා යොදාගැනීම පිණිස විශේෂ බෝට්ටු 100 ක් නිෂ්පාදනය කරගැනීම



ගංවතුර ආපදාවන්‍හිදී විපතට පත් වන පුද්ගලයින්ගේ ජීවිත බේරාගැනීම සඳහාත්, ගංවතුරට කොටු වී සිටින පුද්ගලයින්ට ආහාරපාන ඇතුළු මූලික අවශ්‍යතා සැපයීමටත් බෝට්ටු යොදාගැනීමට සිදු වේ. මෙහිදී ප්‍රමාණවත් බෝට්ටු සංඛ්‍යාවක් ලබාගැනීමට නොහැකි වීමත්, ඇතැම් බෝට්ටුවල අත්‍යවශ්‍ය මූලික උපාංග නොමැතිවීමත් පසුගිය ගංවතුර අවස්ථාවලදී මුහුණ දීමට සිදු වූ ප්‍රධාන ගැටලුවක් විය. මෙයට පිළියමක් වශයෙන්, ගංවතුර ආපදා අවස්ථාවන්හි දී ප්‍රයෝජනයට ගත හැකි විශේෂ බෝට්ටුවක් නාවික හමුදාව විසින් නිර්මාණය කර ඇත. එය රාත්‍රී කාලයේදී ද සෙවීම් හා මුදවා ගැනීමේ කටයුතු හා සහන සේවා කටයුතු සඳහා යොදා ගැනීමට හැකි අතර ජීවිත ආරක්ෂක කබා, විදුලි පන්දම්, සූර්යකෝෂ, ප්‍රථමාධාර කට්ටල, සන්නිවේදන උපකරණවලින් සමන්විත වන අතර එකවර 10 දෙනෙකුට පමණ ගමන් කළ හැක. ඒ අනුව, එකී විශේෂ බෝට්ටු 100ක් නාවික හමුදාව මඟින් නිෂ්පාදනය කරවා ගැනීමටත්, ගංවතුර ආපදාවට ලක් වීමේ අවදානම ඉහළ ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ ආශ්‍රිතව එකී බෝට්ටු ස්ථානගත කිරීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය



වර්තමානයේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය ප්‍රතිපත්තිය 1996 වර්ෂයේදී සකස් කරන ලද්දක් වන අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත වර්තමාන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් නව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව මතු වී ඇත.



ඒ අනුව, වසර තුනක (2014-2016) කාලයක් තුළ, සෞඛ්‍ය සේවාවේ සෑම අංශයකම වෘත්තීය විද්වතුන්ගේ, වෘත්තීයවේදීන්ගේ හා වෘත්තීය ආයතනවල සහභාගිත්වය ඇතිව නව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සකස් කරනු ලැබ ඇත. එහිදී 'විශ්වීය සෞඛ්‍ය ආවරණය' (Universal Health Coverage) යන සංකල්පය සැලකිල්ලට ගනිමින්, රෝගීන්ගේ අයිතිවාසිකම් හා සමාජ යුක්තිය තහවුරු කරමින් රෝගීන් හා ජනතාව කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා දීම අරමුණු කරගෙන ඇත.



ඒ අනුව, පහත සඳහන් ප්‍රධාන ප්‍රතිපත්තිමය මෙහෙයවීම් හඳුනා ගනිමින්, 2016-2025 දස අවුරුදු කාල පරිච්ඡේදය සඳහා සකස් කරනු ලැබ ඇති එම 'ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය' සඳහා අනුමැතිය ලබාගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:



නිවාරණ සෞඛ්‍ය අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීම පිණිස සේවා සැපයීම ශක්තිමත් කිරීම.


සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා උසස් ගුණාත්මකභාවයකින් යුත්, යෝග්‍ය හා සැම‍‍ දෙනාටම ලබා ගත හැකි රෝගී ප්‍රතිකාරක සේවාවක් සැලසීම.


ගුණාත්මකභාවයකින් යුත් පුනරුත්ථාපන සත්කාර සේවාවක් සඳහා වන සාධාරණ ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම.



අඛණ්ඩව සෞඛ්‍ය සේවා සැපයීමේ ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම සඳහා සේවා සැපයුම් දත්ත මත පදනම් වූ සැලසුම් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම.


රෝගීන්ට පෞද්ගලිකව මුදල් වැය කිරීමට සිදුවන අවස්ථා අවම කිරීම පිණිස නව උපායමාර්ගයන් සංවර්ධනය කිරීම හා මූල්‍යමය අවදානම අවම කිරීම.


මානව සම්පත් කළමනාකරණය ඇතුළුව වඩා හොඳ ප්‍රතිව්‍යුහගත කිරීමක් මඟින් පුළුල් සෞඛ්‍ය පද්ධතියක් සුරක්ෂිත කිරීම.



සියලු සෞඛ්‍ය සත්කාරක සේවා සපයන්නන් සමඟ ක්‍රමෝපායික හවුල්කාරීත්වයක් ගොඩනඟා ගැනීම.



රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය සඳහා පාලක මණ්ඩලයක් පත් කිරීම



රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ කර්තව්‍යයන් නිර්මාණාත්මකව හා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා මෙන්ම ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීම පිණිස එම උද්‍යානය සඳහා පාලක මණ්ඩලයක් පත් කිරීම යෝග්‍ය බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණයන් හා අදාළ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් පත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



සාලාව නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉඩම් පවරා ගැනීම



 පසුගිය වසරේදී කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරු භූමියේ පිහිටි අවි ගබඩාව පුපුරා යාම හේතුවෙන් රජයේ හා පෞද්ගලික දේපළ රැසකට හානි සිදුවිය. එම පිපිරීමෙන් හානියට පත් ගොඩනැඟිලි හා නගරය ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද 'විශේෂ කමිටුව' විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි, පහත සඳහන් ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එකඟතාව පරිදි සාලාව යුද්ධ හමුදා කඳවුරු භූමියෙන් අක්කර 04 රූඩ් 2 පර්චස් 24.40ක භූමි ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත නිදහස් දීමනාවක් වශයෙන් පවරා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:



ප්‍රධාන මාර්ගය මංතීරු හතරක් ලෙස පුළුල් කිරීම.


බැංකු ශාඛා සඳහා ඉඩම් වෙන් කිරීම.



ප්‍රජා ශාලාව ඉදි කිරීම.

සුපිරි වෙළඳ සංකීර්ණය ඉදි කිරීම.
කඩ කාමර 35ක් ඉදි කිරීම.
ළමා උද්‍යානයක් හා ක්‍රීඩාංගණයක් ඉදි කිරීම.
ආහාර අලෙවි කරන ස්ථාන ඉදි කිරීම.



වාරිමාර්ග අභ්‍යාස ආයතනය මඟින් ජාත්‍යන්තර මට්ටමේ පුහුණු පාඨමාලා හා වැඩමුළු පැවැත්වීම



 ශ්‍රී ලංකාවේ වාරි ශිෂ්ටාචාරය හා බැඳුණු සංවර්ධනය පිළිබඳව මෙන්ම ඒ හා සම්බන්ධිත විෂයන් පිළිබඳව කෙටිකාලීන පුහුණු පාඨමාලා සඳහා ජාත්‍යන්තර ඉල්ලුමක් ගොඩනඟා ගැනීමට හැකියාව ඇති බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය, ජාත්‍යන්තර ජල කේන්ද්‍රය වැනි ආයතන ද සම්බන්ධ කරගනිමින් කොත්මලේ, වාරිමාර්ග හා ජල කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර පුහුණු ආයතනය (KITI-IWM) සහ ගල්ගමුව, වාරිමාර්ග අභ්‍යාස ආයතනය තුළ ජාත්‍යන්තර මට්ටමේ පුහුණු පාඨමාලා පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සහ පරිපාලන හා මූල්‍ය ක්‍රමවේදයක් සකස් කරගැනීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම



යම් අධිකරණ කලාපයකට, අධිකරණ දිස්ත්‍රික්කයකට හෝ කොට්ඨාසයකට සාමදාන විනිශ්චයකාරවරුන් පත් කිරීම වෙනුවට පරිපාලන දිස්ත්‍රික්ක සඳහා සාමදාන විනිශ්චයකාරවරුන් පත් කිරීම වඩා ප්‍රායෝගික හා යෝග්‍ය බවට හඳුනාගෙන ඇති බැවින් ඒ සඳහා විධිවිධාන සැලසීමේ අරමුණින් 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ 45 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.


එහිදී, දැනටමත් පත් කරනු ලැබ ඇති සාමදාන විනිශ්චයකාරවරුන් ඔවුන් අදාළ පත්වීම ලබන අවධියේ පදිංචිව සිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අයත් පරිපාලන දිස්ත්‍රික්කය සඳහා පත් කරනු ලැබ ඇති බවට සැලකිය යුතු සේ ප්‍රකාශ කිරීමටත්, සාමදාන විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් ආචාර ධර්ම සංග්‍රහය ක්‍රියාත්මක කිරීම අරමුණු කරගනිමින් ඔවුන්ගේ සේවය අත්හිටුවීම, අවලංගු කිරීම හා අවසන් කිරීම පිළිබඳ නියෝග සෑදීමටත් අවශ්‍ය විධිවිධාන ඇතුළත් කරමින් 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



ගංවතුර හා නායයාම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වතුකර ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම



2017 වර්ෂයේ මැයි මාසයේ ගාල්ල, රත්නපුර, කෑගල්ල, හැටන් හා බදුල්ල යන ප්‍රදේශවල ඇති වූ ගංවතුර හා නායයාම් තත්ත්වය හේතුවෙන් වතු ආශ්‍රිතව වෙසෙන පවුල් 872ක් පමණ දැඩිව පීඩාවට පත් වූ අතර, ඔවුන්ගේ වත්කම් බොහොමයක් ද විනාශයට පත් විය. එලෙස පීඩාවට පත් වූ ජනතාව දැනට තාවකාලික නවාතැන්වල හා පොදු ස්ථානවල වාසය කරන අතර, ඔවුන්ව නැවත පදිංචි කර හානියට පත්ව ඇති යටිතල පහසුකම් අලුත්වැඩියා කළ යුතුව ඇත. 



ඒ අනුව, රුපියල් මිලියන 500ක වියදමින් එම පුද්ගලයන් නැවත පදිංචි කරවීම සඳහා සුදුසු ඉඩම් කොටස් හඳුනාගෙන නව නිවාස ඉදි කිරීමටත්, හානියට ලක් වූ අනෙකුත් නිවාස සඳහා සෙවිලි තහඩු ලබා දීමටත්, ආපදාවන්ගෙන් පීඩාවට පත් වතු ප්‍රදේශ ආශ්‍රිතව වැසිකිළි ඉදි කිරීමටත්, ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත්, ජල ටැංකි ලබා දීමටත්, ආපදාවෙන් හානියට පත් ළමා සංවර්ධන මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීමටත්, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අවිධිමත් ලෙස ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම වැළැක්වීම සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත යුතු හදිසි පියවර



කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අවිධිමත් ලෙස ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේදී පැනනැඟී ඇති ගැටලු අවම කිරීම සඳහා මෙහෙයුම් යන්ත්‍රණයක් සකස් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු අනෙකුත් ආයතන ඒකාබද්ධ කරමින් මෙහෙයුම් කාර්යාලයක් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තුළ ස්ථාපිත කර ඇති අතර, එයට දෛනිකව සැලකිය යුතු පැමිණිලි ප්‍රමාණයක් ඉදිරිපත් වේ. එකී පැමිණිලි අනුව පෙනී ගොස් ඇත්තේ කසළ බැහැර කිරීම සඳහා මහජනතාවගේ නිසි සහයෝගය නොලැබෙන බවත්, විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම වැඩි වශයෙන් සිදු කෙරෙන බවත්ය. ඒ අනුව, ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී තීරණය කරන ලද පහත සඳහන් පියවරයන් ක්‍රියාත්මක කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: 



අවිධිමත් ලෙස කසළ බැහැර කෙරෙන පොදු ස්ථාන නිරීක්ෂණය කිරීම පිණිස CCTV කැමරා සවි කිරීම හා ඒවායින් ලබාගන්නා දර්ශන ජංගම දුරකතන මාර්ගයෙන් මෙහෙයුම් මැදිරි නිලධාරින්ට අධීක්ෂණය කළ හැකි ක්‍රමවේදයක් සැකසීම.



කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි සියලුම ඉදි කිරීම් ස්ථානවල, එකී ඉදි කිරීම්වල නෛතික හිමිකරුගේ, කොන්ත්‍රාත්කරුගේ හා අනෙකුත් අදාළ තොරතුරු ඇතුළත් නාම පුවරු සවි කිරීම අනිවාර්ය කිරීම. 



පාසල්, රාජ්‍ය ආයතන හා අනෙකුත් ආයතනවල ඩෙංගු මදුරුවන් පැතිරීමට ඉඩ සැලසෙන පරිදි කටයුතු කරන අයට එරෙහිව ඔවුන්ගේ පෞද්ගලික නමින් නඩු පැවරීම. 



ඇතුළු විය නොහැකි පරිදි අගුළු දමා වසා ඇති නිවාස හා දේපළවලට ඇතුළු වී පරීක්ෂණ කටයුතු පැවැත්වීමටත්, ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිණිස මහජන ආරක්ෂක පනත යටතේ රෙගුලාසි පැනවීම. 



මෙ‍ෙහයුම් මැදිරිය පැය 24 පුරාම පවත්වාගෙන යාමට හැකි වන පරිදි අවශ්‍ය නිලධාරින් අනුයුක්ත කිරීම හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම.


කළුතර හෙද පුහුණු පාසලේ අධ්‍යයන හා පරිපාලන ගොඩනැඟිල්ල ඉදි කිරීම


ගුණාත්මක සෞඛ්‍ය සේවයක් සැපයීම පිණිස හෙද පුහුණුව සඳහා බඳවා ගනු ලබන අභ්‍යාසලාභීන් සංඛ්‍යාව වැඩි කිරීමට රජය විසින් තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළ දැඩි අපහසුතා මධ්‍යයේ දැනට පවත්වාගෙන යනු ලබන කළුතර හෙද විදුහල සඳහා අධ්‍යයන හා පරිපාලන ගොඩනැඟිල්ලක් අලුතින් ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 714.2ක (බදු සහිත) මුදලකට ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහලු පර්යන්තය නවීකරණය කිරීම



විශාල නැව් හැසිරවීමට හැකි වන පරිදි, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක වන ජය බහලු පර්යන්තයේ(JCT) ධාරිතාව කඩිනමින් වැඩිදියුණු කළ යුතුව ඇත. ඒ අනුව, එම පර්යන්තයේ V වන අදියරේ නවීකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.




අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සවි බල ගැන්වීම




ශ්‍රී
 ලංකාවේ අල්ලස හා දූෂණය මැඬ පැවැත්වීම සඳහා පිහිටුවා ඇති රාජ්‍ය ආයතනය වනුයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවයි. මෙම කොමිෂන් සභාව විසින් කළ යුතුව ඇති ඇතැම් විමර්ශන ඉතා සංකීර්ණ වන අතර ඊට අවශ්‍ය නවීන තාක්ෂණික සහාය ලබා දීම සහ එහි නිලධාරින්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම මඟින් එහි කාර්යක්ෂමතාව වැඩි කිරීම අත්‍යවශ්‍ය බව හඳුනාගනු ලැබ තිබේ. මෙම කාර්යය සඳහා මූල්‍යාධාර සැපයීමට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු සඳහා වන ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු කාර්යාංශය එකඟ වී ඇත. 



ඒ අනුව, එම ආයතනය විසින් ලබා දීමට එකඟ වී ඇති ඇමරිකානු ඩොලර් 235,000ක ප්‍රදානය (ආසන්න වශයෙන් රුපියල් මිලියන 35.25ක්) ලබාගැනිම පිණිස අදාළ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.




ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය කාර්යක්ෂමව හා වඩා ඵලදායිව ඉටු කිරීම සඳහා උපදේශක සේවාවන් ලබාගැනීම



කාලගුණික විපර්යාස හේතුවෙන් ස්වාභාවික ආපදා ඇතිවීමේ ප්‍රවණතාව වැඩි වී ඇති අතර ඒ හා සමගාමීව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදු වන ආපදාවන්ද වර්ධනය වෙමින් පවතී. මෙවැනි ආපදා තත්ත්ව කළමනාකරණය කිරීම කාර්යක්ෂමව හා ඵලදායීව දීර්ඝ කාලීන සැලස්මක් අනුව සිදු කිරීමේ අවශ්‍යතාව පැනනැඟී ඇත. ඒ අනුව, ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාගැනීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු, මෙම විෂය හා සම්බන්ධ විශේෂඥයින්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ආශ්‍රිතව පැන නැඟී ඇති ගැටලු සඳහා කඩිනම් පිළියම් යෙදීම



උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ උමං මාර්ග ඉදි කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන්ට මුහුණ පෑමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව සොයා බලා අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සභාපතිත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් 2017‑06‑27 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පත් කරන ලදී. 



ඒ අනුව, අදාළ ප්‍රදේශයේ සංචාරය කර අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ උමං මාර්ග ඉදි කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් මුහුණ දී සිටින දුෂ්කරතාවන්ට සහන සැලසීම සඳහා පහත සඳහන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස එම අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ සභාපති වශයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: 



නිසි අධ්‍යයනයක් සිදු කර සුදුසු ස්ථාන ආශ්‍රිතව විශාල ප්‍රමාණයේ භූගත ළිං හයක් කඩිනමින් ඉදි කිරීම. 



දැනට ජල ටැංකි සපයා නොමැති පවුල් ඒකක ඇත්නම් එම පවුල්වලට ඉදිරි දෙසතිය තුළ ටැංකි ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම. 



ජලය බෙදා හැ‍රීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සතුව පවතින ට්‍රැක්ටර් බවුසර් 20ක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් වෙත කඩිනමින් නිදහස් කිරීම. 



හානියට පත් දේපළ සඳහා වන්දි ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම.



ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විශේෂ ඒකකයක් ස්ථාපිත කර සේවාවන් වඩා කාර්යක්ෂම කිරීම. 



බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල ග්‍රාමීය මාර්ග පද්ධතිය පුනරුත්ථාපනය කිරීම පිණිස රුපියල් මිලියන 100ක් පළාත් සභාව වෙත කඩිනමින් නිදහස් කිරීම. 



සහන කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා දැනටමත් ස්ථාපනය කර ඇති 'ජන සහන ලේකම් කාර්යාලය' ශක්තිමත් කිරීම. 


සහන කටයුතුවල ප්‍රගතිය සති දෙකකට වරක් හා මාසිකව සමාලෝචනය කිරීම. 



යෝජිත බණ්ඩාරවෙල විසල් ජල යෝජනා ක්‍රමයේ ඉදි කිරීම් කඩිනම් කිරීම සදහා අවශ්‍ය අරමුදල් 2018 අයවැය මඟින් වෙන් කර දීම. 



බලපෑමට ලක්ව ඇති කුඩා වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන නිදහස් කිරීම. 


නැවත පදිංචි කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇති ඉඩම්වල භුක්තිය බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් මඟින් අදාළ පවුල් වෙත කඩිනමින් භාර දීම. 


බලපෑමට ලක්ව ඇති පාසල් කඩිනමින් පිළිසකර කර යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය අමතර මුල්‍ය ප්‍රතිපාදන සලසා දීම. 



බලපෑමට ලක්ව ඇති පවුල් විසින් ලබා ගනු ලැබ ඇති නිවාස ණය හා වගා ණය වාරික ආපසු ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් ලබා දීම. 



බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල විශේෂ විකල්ප ජීවනෝපාය සංවර්ධන සැලැස්මක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම. 



උමං මාර්ගයේ ඇති ජල කාන්දුව වසා දැමීම සඳහා ඉරාන සමාගම විසින් කටයුතු කිරීම. 



ව්‍යාපෘතියේ ඉදිරි විදුම් කටයුතු, ජාත්‍යන්තර විශේෂඥයන්ගේ නිර්දේශ හා දේශීය විද්වත් කමිටුවක් මඟින් ලබාගනු ලබන නිර්දේශ මත පමණක් යළි සලකා බැලීම.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.