• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩල තීරණ 2017.07.25

cabinet20162017.07.25 වැනි දින පැවැත්වූ අමාත් මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ.

 




ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ඩීසල් බලවේග කට්ටල 09ක් මිල දී ගැනීම සඳහා අරමුදල් සපයා ගැනීම



ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් උඩරට දුම්රිය මාර්ගයේ සිදු කරනු ලබන ධාවන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා දුම්රිය එන්ජින් 12ක් සහ ඩීසල් බලවේග කට්ටල 09ක් මිල දී ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අතුරින් ඩීසල් බලවේග කට්ටල 09ක් මිල දී ගැනීම සඳහා වන ව්‍යාපෘතියේ පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 93.86ක් වේ. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම පිණිස හොංකොං සහ ෂැන්හයි බෑන්කින් කෝපරේෂන් සමාගම සහ හැටන් නැෂනල් බැංකුව සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


පින්නවල අලි අනාථාගාරය පිහිටා ඇති ඉඩම, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම



ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් පාලනය කෙරෙන 'පින්නවල අලි අනාථාගාරය', ආසියානු අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ හා අභිජනන කටයුතුවල නියුතු මධ්‍යස්ථානයක් වන අතර, එය දෙස් විදෙස් සංචාරකයින් රැසකගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇත. මෙම අලි අනාථාගාරය තවදුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත්, එම අනාථාගාරය පිහිටි අක්කර 26යි, පර්චස් 5.8ක ප්‍රමාණයකින් යුතු ඉඩම, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත ස්ථිර වශයෙන් පවරාගැනීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



දැඩි නියං තත්ත්වය හේතුවෙන් වනාන්තර ආශ්‍රිතව උද්ගත වි ඇති අහිතකර තත්ත්වයන් පාලනය කිරීම



උතුර, නැ‍ඟෙනහිර, උතුරුමැද හා වයඹ යන පළාත්වල දැනට පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි වනාන්තරවල ගිනිගැනීම් ඇති වීම, වනසතුන් මිය යාම, ජලය සොයා වනසතුන් ගම්වැදීම වැනි අහිතකර තත්ත්වයන් උද්ගත වී ඇත. මෙම තත්ත්වය සාර්ථකව පාලනය කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අනෙකුත් රාජ්‍ය ආයතනවල සහාය ලබාගත යුතුව ඇත. 



ඒ අනුව, නියං තත්ත්වය හේතුවෙන් වනාන්තර ආශ්‍රිතව උද්ගත වී ඇති ඉහත සඳහන් අහිතකර තත්ත්වයන් පාලනය කිරීම සඳහා වන යෝජිත ක්‍රියාකාරකම්, අදාළ නිලධාරින්ගෙන් සමන්විත ප්‍රාදේශීය කමිටු හා දිස්ත්‍රික් කමිටු මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


බටහිර අප්‍රිකානු රටවල ආර්ථික ප්‍රජාව (ECOWAS) තුළ ශ්‍රී ලංකාව සඳහා පිළිගැනීමේ තත්ත්වය ලබාගැනීම



බටහිර අප්‍රිකානු රටවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, ආ‍ර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම හා පුළුල් කිරීම, සාමාජික රටවල් අතර සබඳතා වැඩිදියුණු කිරීම, අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රගතිය හා සංවර්ධනය සඳහා අනුගත වීම යන අරමුණු පෙරදැරිව බටහිර අප්‍රිකානු රටවල ආර්ථික ප්‍රජාව (ECOWAS) 1995 වර්ෂයේදී ස්ථාපිත කෙ‍රුණු අතර, බටහිර අප්‍රිකානු රටවල් 15ක් එහි සාමාජිකත්වය දරයි. ඒ අතුරින් රටවල් 12ක් සමඟ ශ්‍රී ලංකාව විසින් දැනට රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යනු ලැබේ. අප්‍රිකානු කලාපය සමඟ ශ්‍රී ලංකාව විසින් පවත්වාගෙන යනු ලබන සබඳතා, විශේෂයෙන්ම ආර්ථික සබඳතා පුළුල් කරගැනීමේදී ඉහත ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව සඳහා පිළිගැනීමේ තත්ත්වය ලබාගැනීම වැදගත් වේ. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ජාතික ණය සුරැකුම් ආයතනයක් ස්ථාපිත කිරීම




සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා දිගුකාලීන ණය සුරැකුම් ලබා දීම සඳහා ජාතික මට්ටමේ ක්‍රමවේදයක් නොමැති වීම නිසා නව ආයෝජන අවශ්‍යතා සඳහා අරමුදල් සපයා ගැනීමේදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට ඔවුන්ට සිදු වේ. මෙම ගැටලුවට තිරසර විසඳුමක් ලබා දීමේ අපේක්ෂාවෙන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් නව ආයෝජන වෙනුවෙන් බැංකුවලින් ණය ලබාගැනීමේදී අවශ්‍ය ණය සුරැකුම් සැපයීම සඳහා, සමාගම් පනතේ විධිවිධාන යටතේ පොදු සීමිත සමාගමක් ලෙස 'ජාතික ණය සුරැකුම් ආයතනය' පිහිටුවීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



හම්බන්තොට වරායේ දෙවන අදියරේ ඉදි කිරීම් සඳහා පවරාගත් ඉඩම් වෙනුවෙන් ලබා දෙනු ලබන විකල්ප ඉඩම්වල යටිතල පහසුකම් සංවර්ධනය



හම්බන්තොට වරායේ දෙවන අදියරේ ඉදි කිරීම් සඳහා පවරා ගනු ලැබූ ඉඩම්වල පදිංචිකරුවන් වෙත මේ වන විට විකල්ප ඉඩම් ලබා දී ඇති අතර, එම ඉඩම්වල මාර්ග, විදුලිය හා ජලය වැනි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



ශ්‍රී ලංකාවේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශ



රැකියාවන්වල නිරත වන කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ දරුවන් රැකබලා ගැනීම පිණිස ක්‍රියාත්මක වන ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන (Day Care Centers) සඳහා වන ඉල්ලුමද ඉහළ ගොස් තිබේ. වර්තමානය වන විට විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන විසින් ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වා ගෙන යනු ලබන අතර, ඒවායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ප්‍රමිතීන් මෙන්ම ක්‍රමවත් නියාමනයක් ඇති කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ. 



ඒ අනුව, අදාළ සියලුම පාර්ශ්වයන්ගේ හා විශේෂඥයින්ගේ අදහස් ලබා ගෙන, 'ශ්‍රී ලංකාවේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ' සකස් කරනු ලැබ ඇත. යෝජිත මාර්ගෝපදේශ මඟින් ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය, පවත්වාගත යුතු ප්‍රමිතීන් හා අධීක්ෂණ යන්ත්‍රණය පිළිබඳ විධිවිධාන හඳුන්වා දෙනු ලබන අතර, පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ එම කටයුතු ක්‍රියාත්මක කිරීමට යෝජිතය. එමෙන්ම, යෝජිත මාර්ගෝපදේශ සංග්‍රහයට සමගාමීව ජාතික වෘත්තීය සුදුසුකම 4 වන මට්ටම (NVQ Level 4) සඳහා වන ළමා සුරැකුම් පාඨමාලාවක්ද හඳුන්වා දෙනු ලැබ තිබේ. 



ඒ අනුව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද, 'ශ්‍රී ලංකාවේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශ' අනුමත කිරීමටත්, එම මාර්ගෝපදේශ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ නිසි ක්‍රියාකාරී සැලැස්මකට යටත්ව ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.



පළාත් පාලන ආයතන අලුතෙන් ඇති කිරීම හා දැනට පවතින පළාත් පාලන ආයතන උත්ශ්‍රේණිගත කිරීම



පළාත් පාලන ආයතන අලුතින් සංස්ථාපනය කිරීමට හෝ දැනට පවතින පළාත් පාලන ආයතන උසස් කිරීමට හෝ අදාළ විධිවිධාන නීති මඟින් පනවනු ලැබ නොමැති අතර, ඒ සඳහා මීට ප්‍රථම විවිධ නිර්ණායක අනුගමනය කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අවිධිමත් අන්දමට ස්ථාපිත කරන ලද පළාත් පාලන ආයතන ස්වාධීනව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ආර්ථිකමය පසුබිමක් නොමැති වීම හේතුවෙන් ඒ සඳහා වන වැය බර රජයට දැරීමට සිදුව ඇති අතර, එවැනි පළාත් පාලන ආයතන වෙතින් ජනතාව අපේක්ෂා කරන සේවාව ලබා දීමද අපහසු වී ඇත. 



1999 වර්ෂයේ පළ කරන ලද පළාත් පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව පළාත් පාලන ආයතන සංස්ථාපනය හා උසස් කිරීම පිළිබඳව ප්‍රතිපත්ති හඳුන්වා දීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන ඇමතිතුමා විසින් සාමාජිකයින් 12 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත් කරනු ලැබ ඇත. එම විද්වත් කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි, ජන සංඛ්‍යාව හා ජන ඝනත්වය, නිවාස ප්‍රමාණය හා ඝනත්වය, සේවා සම්පාදනය හා යටිතල පහසුකම්වල දියුණුව, වාණිජ හා කර්මාන්ත ආයතනවල ව්‍යාප්තිය, සේවා නියුක්තිය සහ යෝජිත ආයතන බල ප්‍රදේශයේ ස්වයං ජනිත ආදායම යන නිර්ණායක පදනම් කරගත් ක්‍රමවේදය අනුව පමණක් ඉදිරියේදී නව පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම හෝ පවතින පළාත් පාලන ආයතන උසස් කිරීම සිදු කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා සහභාගි වන සංග්‍රාමික බල ඇණිය සඳහා අවශ්‍ය උපකරණ ප්‍රසම්පාදනය කිරීම



මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි කරවීමට නියමිත සංග්‍රාමික බල ඇණිය සඳහා අවශ්‍ය උපකරණ ප්‍රසම්පාදනය කිරීම සඳහා සීමිත ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ අනුව ඉදිරිපත් වූ ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති ආයතන 03ක් වෙතින් අදාළ උපකරණ මිල දී ගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



මධ්‍යම අධිවේගී මාර්ගය ව්‍යාපෘතියේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සමාගමක් තෝරාගැනීම



මධ්‍යම අධිවේගී මාර්ගය ව්‍යාපෘතියේ, පොතුහැර සිට රඹුක්කන හරහා ගලගෙදර දක්වා (කි.මී.32.5) වන 3 වන කොටසේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,848ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



ලංකා විදුලිබල මණ්ඩලය සඳහා අනුරාධපුර නගරයේ කාර්යාල සංකීර්ණයක් ඉදි කිරීම්



අනුරාධපුර, මෛත්‍රීපාල සේනානායක මාවතේ පිහිටි, ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ඉඩමෙහි කාර්යාල සංකීර්ණ ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වෙත රුපියල් මිලියන 213.4ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



පුනර්ජනනීය බලශක්තිය ලබාගැනීම සඳහා වූ සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය - නාවලපිටිය, රාගල, වේවැල්වත්ත හා මාලිබොඩ ග්‍රිඩ් උපපොළ 4 ඉදි කිරීම සඳහා ද්‍රව්‍ය හා භාණ්ඩ මිල දී ගැනීම



ඉදිරියේදී ප්‍රධාන ජාලයට එක් කිරීමට නියමිත කුඩා ජල විදුලි බලාගාර මඟින් නිපදනවනු ලබන විදුලිබලය ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියට එක් කිරීම පිණිස නා‍වලපිටිය, රාගල, වේවැල්වත්ත හා මාලිබොඩ යන ප්‍රදේශයන්හි ග්‍රිඩ් උපපොළ 04ක් සහ ඊට අදාළ සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදි කිරීම අවශ්‍ය වේ. මේ සඳහා අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබ ඇති අතර, ලැබී ඇති ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ එක් එක් කොන්ත්‍රාත් පැකේජය සඳහා වූ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හම්බන්තොට වරායේ අනුග්‍රාහක ගිවිසුම



හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ වා‍ණිජමය වශයෙන් ලාභදායී තත්ත්වයට පත් කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා රජය විසින් China Merchants Port Holdings Company Ltd (CMPort) සමාගම සමඟ අනුග්‍රාහක ගිවිසුමකට එළඹීමට නියමිතය. මේ සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද ගිවිසුම අදාළ සියලු පාර්ශ්ව විමසා ශ්‍රී ලංකා රජයට වඩා සාධනීය ලෙස නැවත සකස් කරනු ලැබ ඇත. යෝජිත නව අනුග්‍රාහක ගිවිසුම අනුව ශ්‍රී ලංකා රජය (ශ්‍රී ලංකා වරාය අධිකාරිය) රාජ්‍ය හවුල්කරු වශයෙන්ද අදාළ ආයෝජක සමාගම පෞද්ගලික හවුල්කරු වශයෙන්ද සම්බන්ධ සමාගම් 02ක් පහත දැක්වෙන පරිදි පිහිටුවීමට නියමිතය. 



* Hambantota International Port Services Co.(Pvt) Ltd. - (HIPS) : 



හම්බන්තොට වරායේ සේවාවන් හා පොදු පහසුකම් කළමනාකරණය සඳහා පිහිටුවනු ලබන අතර, එහි ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 606ක් වනු ඇත. මෙම සමාගමේ කොටස්වල 50.7%ක අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියටද ඉතිරි 49.3%ක අයිතිය CMPort සමාගමටද හිමිවනු ඇත. 



* Hambantota International Port Group (Pvt) Ltd - (HIPG):



වරායේ මෙහෙයුම් වත්කම් කළමනාකරණය, වැඩිදුර සංවර්ධන කටයුතු, එහි යටිතල පහසුකම් හා බහාලුම් මෙහෙයවීම අනෙකුත් මෙහෙයුම් වාණිජකරණය පිණිස පිහිටුවනු ලබන, ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 794ක් වන මෙම සමාගමේ කොටස් ප්‍රාග්ධනය දැනට කොළඹ වරායේ SAGT පර්යන්තයේ හා CICT පර්යන්තයේ මෙහෙයුම්වල කොටස් හිමිකම බෙදී ගොස් ඇති ආකාරය අනුවම ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%ක්ද, CMPort සමාගමට 85%ක් ද වශයෙන් හිමි වනු ඇත.



ඒ අනුව, මුල් ගිවිසුමේ යෝජනා වූ සියයට 80:20 කොටස් බෙදී යාමේ පදනම වෙනුවට CMPort සමාගමට සියයට 69.55 ක් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 30.45 වශයෙන් සමස්ත ආයෝජනයෙහි කොටස් අයිතිය සංශෝධනය වනු ඇත.



යෝජිත ගිවිසුම යටතේ හම්බන්තොට වරාය සහ ඒ යටතේ වන ඉඩම්වල සින්නක්කර අයිතිය කිසිදු විටක ආයෝජක සමාගම වෙත පවරනු නොලබන අතර ශ්‍රී ලංකා රජය සමඟ හවුල්කාරිත්වයෙන් පිහිටුවනු ලබන ඉහත සමාගම් 02 වෙත බදු පදනම මත ලබා දෙනු ලැබේ. එකී සමාගම් දෙකේ කොටස් මිල දී ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට පහත පරිදි ඉඩ සැලසෙනු ඇත.



ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර 70කට පසු:



CMPort සමාගම, එහි අනුබද්ධ පාර්ශ්ව හෝ හවුල්කරුවන් විසින් HIPS හා HIPG යන සමාගම්වල දරනු ලබන කොටස්, රජයේ තක්සේරුකරු සහ නිදහස් තක්සේරුකරුවකු විසින් තීරණය කරනු ලබන සාධාරණ වටිනාකමකට මිල දී ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිතිය ඇත. 



ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර 80කට පසු: 



HIPG සමාගමෙහි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කොටස් අයිතිය සියයට 60ක් සහ HIPS සමාගමෙහි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කොටස් අයිතිය සියයට 76.8ක් වන පරිදි, CMPort සමාගම, එහි අනුබද්ධ පාර්ශ්ව හෝ හවුල්කරුවන් විසින් එකී සමාගම්වල දරනු ලබන කොටස්, ඇමරිකානු ඩොලර් 01ක මුදලකට මිල දී ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිතිය ඇත.



ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර 99කට පසු:



CMPort සමාගම, එහි අනුබද්ධ පාර්ශ්ව හා හවුල්කරුවන් විසින් HIPS හා HIPG යන සමාගම්වල දරනු ලබන සියලුම කොටස් අයිතිය, CMPort ආයතනය විසින් ඇමරිකානු ඩොලර් 01ක මුදලකට ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පවරා දිය යුතුය. 



එමෙන්ම, යුදමය ක්‍රියාවන් සඳහා හම්බන්තොට වරාය භාවිත කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය විධිවිධානද යෝජිත ගිවිසුමේ ඇතුළත්ව ඇති අතර, වරායේ ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූ‍ර්ණ වගකීම හා අධිකාරිය ශ්‍රී ලංකා රජය සතු වේ.



ඒ අනුව, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින්, යෝජිත අනුග්‍රාහක ගිවිසුම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ අදහස් තවදුරටත් ලබාගැනීමටත්, එය පාර්ලිමේන්තුවේ සභාගත කර එහිදී ඉදිරිපත් වන යෝජනා ඇතොත් ඒ අනුව අවශ්‍ය පරිදි සංශෝධන සිදු කිරීමටත්, ඉන් අනතුරුව එය පිළිගැනීමට හා එයට අත්සන් තැබීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.



ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිල දී ගැනීම සහ ඩෙංගු රෝගය පැතිර යාම පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම



ඩෙංගු වසංගත තත්ත්වය කඩිනමින් පාලනය කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ සංදේශය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ සංදේශය සැලකිල්ලට ගනිමින් ඩෙංගු රෝගීන්ට වඩා ඵලදායී අන්දමින් දැඩි සත්කාර ප්‍රතිකාර සේවා ලබා දීම සඳහා අත්‍යවශ්‍ය, කඩිනමින් මිල දී ගත යුතු වන වෛද්‍ය හා රසායනාගාර උපකරණ කිහිපයක් හදිසි ප්‍රසම්පාදනයක් සේ සලකා මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී. ඒ අනුව, ඉන් දේශීය වශයෙන් මිල දී ගත හැකි උපකරණ වහාම මිල දී ගැනීමටත්, ඉතිරි උපකරණ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම‍ටත්, මේ සඳහා රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට වෙන් කර දීමටත් තීරණය කරන ලදී. 



තවද, ඩෙංගු රෝගය තවදුරටත් පැතිරීම පාලනය කිරීම පිණිස පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමටත් අනුමැතිය ලබා දෙන ලදී. 



i සිය කාර්යාල පරිශ්‍ර ඩෙංගු රෝගය පැතිරීම සඳහා ඉඩ නොතබන පරිශ්‍ර වශයෙන් පවත්වා ගැනීම පිණිස දෙපාර්තමේන්තු ප්‍රධානීන් වගබලා ගත යුතු බවට ජනාධිපති ලේකම් විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් තරයේ ක්‍රියාත්මක කිරීම. 


ii දෙමාපියන්ගේ සහ සිසුන්ගේ සහභාගිත්වය ඇතිව පාසල් තුළ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවශ්‍ය පියවර ගැනීම. 


iii ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගැනීම සඳහා නිවසින් නිවස පරීක්ෂා කිරීමට බස්නාහිර පළාත් සභාව විසින් ක්ෂේත්‍ර නිලධාරින් යොදවා ඇති අතර, එම ක්‍රමවේදය අනෙකුත් පළාත් සභා විසින් ද අනුගමනය කිරීම.


iv ඩෙංගු රෝගය වළක්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා සුදුසු කෙටි වීඩියෝ වැඩසටහන්/ශ්‍රව්‍ය වැඩසටහන් සකස් කර ප්‍රචාරය කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අවශ්‍ය පියවර ගැනීම. 


v සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහාය ඇතිව ඩෙංගු රෝගීන්ට අවශ්‍ය රෝගී සත්කාරක සේවා සැලසීම පිණිස ශ්‍රී ලංකා යුද හමුදාවේ භටයින් 2,000ක් පුහුණු කිරීම; 



vi සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පොලිස් ස්ථාන එක්ව ඒ ඒ ප්‍රදේශවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.



මාලඹේ, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ සේවා පවත්වාගෙන යාම පිණිස පාලක මණ්ඩලයක් පත් කිරීම



අමාත්‍ය මණ්ඩලය විසින් දෙන ලද අනුමැතිය පරිදි, 2017 අගෝස්තු මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, මාලඹේ, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන යොදනු ලැබ තිබේ. අති නවීන පහසුකම්වලින් සමන්විත එම රෝහල ගුණාත්මක බවින් ඉහළ රෝගී සත්කාරක සේවාවක් සපයනු ලබන ශික්ෂණ රෝහලක් වශයෙන් පවත්වා ගෙන යාමට අපේක්ෂිත අතර, ඒ සඳහා එම රෝහල ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල ස්ථාපනය කර ඇති අන්දමට පාර්ලිමේන්තු පනතක් මඟින් සංස්ථාගත කළ යුතුව තිබේ. 



ඒ අනුව, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගනිමින්, එසේ පාර්ලිමේන්තු පනතක් මඟින් මෙම රෝහල සංස්ථාගත කරන‍ තෙක් එහි සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගැනීම, එහි පරිපාලනය හා කළමනාකරණය පිණිස හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය යූ.ඒ. අජිත් මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් වෛද්‍ය, පරිපාලන, කළමනාකරණ හා සිවිල් සමාජය නියෝජනය කරන විද්වතුන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක්, 2017 අ‍ගෝස්තු මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමටත්, 2017 වර්ෂය සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති ප්‍රතිපාදන කළමනාකරණය කරගනිමින් මෙම රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා මාසයකට රුපියල් මිලියන 200 බැගින් ප්‍රතිපාදන සැලසීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.



ශ්‍රී ලංකාව තුළ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් ස්ථාපිත කිරීම



ශ්‍රී ලංකා රජය විසින් GVK EMRI ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සමඟ එළඹෙන ලද ගිවිසුමකට අනුව ඉන්දියානු රජයේ අනුග්‍රාහකත්වය යටතේ, හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් බස්නාහිර හා දකුණු පළාත්වල ස්ථාපිත කර වර්ෂයක කාලයක් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියක් 2016 ජූලි මස 29 වන දින ආරම්භ කරන ලදී. මේ යටතේ ගිලන් රථ 88ක් හදිසි පූර්ව රෝහල් ගිලන් රථ සේවයේ යොදවා ඇති අතර, 2017 අප්‍රේල් මාසය අවසන් වන විට එහි හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය විසින් දූරකථන ඇමතුම් 236,000ක් සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබ තිබේ. මිනිත්තු 12.52ක සාමාන්‍ය ප්‍රතිචාර කාලයකින් යුතුව දිනකට රෝගීන් 130 - 135ත් අතර ප්‍රමාණයක් මෙමඟින් මේ වන විට ප්‍රවාහනය කරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සැලකිල්ලට ගෙන, එය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සැලසීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමේ දින වකවානු සංශෝධනය කිරීම



පළාත් සභා ඡන්ද විමසීම සියලු පළාත් සඳහා එකවර පැවැත්වීමේ පැවති ක්‍රමවේදය වෙනුවට පසුගිය කාලය තුළ වරින් වර පළාත් සභා ඡන්ද පැවැත්වීම හේතුවෙන් මූල්‍ය, මානව හා අනෙකුත් සම්පත් විශාල වශයෙන් අපතේ යාම, මහජනතාවගේ එදිනෙදා කටයුතුවලට අවශ්‍ය රජයේ සේවා සැපයීම ප්‍රමාද වීම, රට තුළ මැතිවරණ ආශ්‍රිතව ප්‍රචණ්ඩ ක්‍රියා, මැතිවරණ දූෂණ හා රජයේ දේපළ අවභාවිතවීම් වර්ධනය වීම වැනි අගතිදායක තත්ත්වයන් රාශියක් පැනනැඟී ඇත. මෙම ක‍රුණු සැලකිල්ලට ගෙන, සියලු පළාත් සභාවලට අදාළ ඡන්ද විමසීම් එක් දිනක් තුළ පැවැත්වීමට හැකි වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා පළාත් සභා පනතේ ඊට අදාළ විධිවිධාන සංශෝධනය කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.