• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩල තීරණ 2017.10.03

cabinet press2017.10.03 වැනි දින රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වී ෙම්දී එළැඹි තීරණ පහත සඳහන් ෙව්

 

ජාතික මානව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම 2017-2021


- අමාත්‍ය මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ නිශ්චිත මාර්ගෝපදේශවලට යටත්ව 'මානව අයිතිවාසිකම් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2017-2021' සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කරනු ලැබ තිබේ. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද එම ජාතික ක්‍රියාකාරී සැලැස්ම අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලද අතර, එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය කලින් කලට වාර්තා කිරීමේ කාර්යය සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමටත්, එම ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා අන්තර් අමාත්‍ය රැස්වීමක් කැඳවීමටත් කටයුතු කෙරෙන බවද සැලකිල්ලට ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාව සහ "1990 සුවසැරිය පදනම" පිහිටුවීම


- දැනට බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ සාර්ථකව ස්ථාපිත කර ඇති '1990 සුවසැරිය' පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් GVK EMRI Lanka (Pvt) Ltd. ආයතනය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතර ඇති කර ගනු ලැබ ඇති අවබෝධතා ගිවිසුමේ වලංගු කාල සීමාව 2017‑12‑31 දිනෙන් අවසන් වීමට නියමිතය. මෙම ගිලන් රථ සේවාව ශ්‍රී ලංකාවේ සියලුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. එබැවින්, මෙම ගිලන් රථ සේවාවේ මෙහෙයුම් සහ පරිපාලන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත සම්පූර්ණ අයිතිය හිමි '1990 සුවසැරිය පදනම' නම් වූ පදනමක් පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපනය කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කැලණිවැලි දුම්රිය මාර්ගය සහ ප්‍රධාන දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම


- 2035 වර්ෂය වන විට දුම්රිය ප්‍රවාහනය සඳහා ඇතිවිය හැකි ඉල්ලුම සැලකිල්ලට ගනිමින් දැනට පවතින දුම්රිය මාර්ග ජාලය වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත 'කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියෙහි' පූර්ව ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ වන විට අවසන් කර තිබේ. එමඟින් ප්‍රධාන දුම්රිය මාර්ගයේ සහ කැලණිවැලි, වෙරළබඩ හා පුත්තලම යන දුම්රිය මාර්ගවල සංවර්ධන කටයුතු රාශියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙම සංවර්ධන කටයුතු සඳහා දුම්රිය රක්ෂිත ඉඩම් යොදා ගැනීමේදී ඉන් බලපෑමට ලක් වන පාර්ශ්ව සම්බන්ධයෙන් පිළිගත් සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමට තීරණය කර ඇත. ඒ සඳහා සමාජ ආර්ථික සමීක්ෂණ සිදු කිරීමට කටයුතු කෙරෙන අතර, කැලණිවැලි මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වා වූ කොටසේ සමාජ ආර්ථික සමීක්ෂණය මේ වන විට අවසන් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් කැලණිවැලි මාර්ගයේ හෝමාගම සිට අවිස්සාවේල්ලට දක්වා කොටස සහ ප්‍රධාන මාර්ගයේ මරදාන සිට රඹුක්කන දක්වා කොටස සඳහා වන සමාජ ආර්ථික සමීක්ෂණය එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ (UN Habitat) සහාය ඇතිව සිදු කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ආපදා අවදානම අවම කිරීමට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම
- වඩා පුළුල් ආපදා කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මඟින් ආපදා හේතුවෙන් මහජනතාව, දේපළ හා ආර්ථිකය කෙරෙහි ඇතිවන අවදානම අවම කරමින් ශ්‍රී ලංකාවේ සුරක්ෂිත බව ආරක්ෂා කිරීම රජයේ අපේක්ෂාවයි. ඒ සඳහා ආපදා අවදානම වටහා ගැනීම, ආපදා අවදානම පාලනය, ආපදා අවදානම අවම කිරීමේ හා පෙර සූදානම් කටයුතු සඳහා ආයෝජනය කිරීම, පෙර සූදානම් හා පුරුත්ථාපන වැඩසටහන් සඳහා වඩා හොඳ නැවත නැඟී සිටීමේ සංකල්ප භාවිත කිරීම යන ප්‍රමුඛ කාර්යයන් ඉලක්ක කරගනිමින් ආපදා අවම කිරීමේ ක්‍රමෝපාය සැලසුම් සකස් කිරීමට රජය කටයුතු කරමින් සිටියි.

ඒ අනුව, ආපදා අවදානම අවම කිරීම සම්බන්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර අමාත්‍ය මණ්ඩලය විසින් එය සැලකිල්ලට ගන්නා ලදී.

ජාතික හදිසි අවස්ථා මෙහෙයුම් සැලසුම
- ආපදා අවස්ථාවන්හිදී සෝදිසි කිරීම් හා මුදවා ගැනීම් හා සහන මෙහෙයුම් මනා සම්බන්ධීකරණයකින් යුතුව සිදු කිරීමටත්, රාජ්‍ය ආයතන, පෞද්ගලික සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන හා ජනමාධ්‍ය ආයතන විසින් එක්රැස් කරනු ලබන ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ කටයුතු ද්වීකරණයකින් තොරව කාර්යක්ෂමව සිදු කිරීමටත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.

ඒ අනුව, ඕනෑම ජාතික හදිසි ආපදා අවස්ථාවකට සාර්ථකව මුහුණ දීමටත්, ජීවිත සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් හැකි වන පරිදි රජයේ ආයතන, පෞද්ගලික අංශය හා ජනමාධ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයකින් යුතුව 'ජාතික හදිසි අවස්ථා මෙහෙයුම් සැලසුම' ක්‍රියාත්මක කිරීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ආපදා සහන සේවා හා යළි නඟා සිටුවීමේ ක්‍රියාවලිය මැනවින් ස්ථාපිත කිරීම
- අස්ථාවර කාලගුණික තත්ත්වය, ස්වාභාවික විපත් නිරන්තරයෙන් ඇති වීම හා එමඟින් පීඩාවට පත්වන ජන සංඛ්‍යාව අධික වීම වැනි කරුණු හේතුවෙන් ආපදා සඳහා පෙර සූදානම හා හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ.

මේ සඳහා දැනට පවතින සහන කළමනාකරණ යන්ත්‍රණයේ පවතින අඩුපාඩු අවම කරගනිමින් මනා සම්බන්ධීකරණයකින් හා සාමූහිකත්වයකින් යුතු ආපදා සහන කළමනාකරණ ක්‍රියාවලියක් ගොඩනැඟීම අවශ්‍ය වේ. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ එක්ව මාර්ගෝපදේශ සකස් කිරීමේ කාර්යය ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මඟින් සිදු කෙරෙමින් පවතින බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.

කන්‍තලේ මූලික රෝහලේ සහ කල්මුණේ උතුර මූලික රෝහලේ අපවහන පද්ධති වැඩිදියුණු කිරීම
- රෝගී සත්කාරක සේවාවන් වැඩිදියුණු කිරීමට සමගාමීව රෝහල්වල උපයෝගිතා සේවාවන්ද වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වේ. රෝහල්වලින් බැහැර කරනු ලබන අපජලය නිසි කළමනාකරණයකින් තොරව සාමාන්‍ය පරිසරයට මුදා හැරීම බලවත් පාරිසරික ගැටලු ඇති කිරීමට හේතු වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රෝහල්වල අපවහන පද්ධති සංවර්ධනය කිරීමට රජය කටයුතු කරමින් සිටියි.

මේ යටතේ, රුපියල් මිලියන 103.5ක ඇස්තමේන්තුගත පිරිවැයකින් කන්තලේ මූලික රෝහල සඳහා පල්දෝරු පද්ධතියක් ස්ථාපනය කිරීමටත්, රුපියල් මිලියන 95ක ඇස්තමේන්තුගත පිරිවැයකින් කල්මුණේ මූලික රෝහලේ පල්දෝරු පවිත්‍රාගාරයක් ඉදි කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රජය සතු ව්‍යවසායන් සඳහා සාමූහික අවබෝධතා ගිවිසුම් ප්‍රකාශ සංකල්පය හඳුන්වා දීම
- වාණිජ සහ වාණිජමය නොවන කටයුතුවල යෙදෙන රාජ්‍ය ව්‍යවසායන් 400කට ආසන්න සංඛ්‍යාවක් මෙරට ක්‍රියාත්මක වේ. මෙයින් වාණිජ ක්‍රියාකාරකම් මඟින් අදායම් උපදවනු ලබන රාජ්‍ය ව්‍යවසායන් 55ක් ඒවායේ වැදගත්කම සලකා රජය සතු වාණිජ ව්‍යවසායන් (State Owned Business Enterprises - SOBEs) වශයෙන් වර්ගීකරණය කරනු ලැබ තිබේ. මෙම රාජ්‍ය ව්‍යවසායන්හි වාර්ෂික කාර්යසාධනය වර්ධනය කර ලීමේ කළමනාකරණ ක්‍රමවේදයක් ලෙස 'සාමූහික අවබෝධතා ගිවිසුම් ප්‍රකාශ' (Statement of Corporate Intent - SCI) හඳුන්වා දීමට තීරණය කරනු ලැබ තිබේ. ඒ අනුව, ආර්ථිකය තුළ ඉතා වැදගත් හා ඉහළ කාර්යක්ෂමතාවකින් ක්‍රියාත්මක වීම අවශ්‍ය යැයි සලකනු ලබන වාණිජ ව්‍යවසායන් 5ක් තෝරා ගෙන එම ආයතන සමඟ වන සාමූහික අවබෝධතා ගිවිසුම් ප්‍රකාශයන්ට දැනටමත් අත්සන් තබනු ලැබ තිබේ.

ආර්ථිකයේ වර්ධනය සඳහා රාජ්‍ය ව්‍යවසායන්හි දායකත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් සඳහාද සාමූහික අවබෝධතා ගිවිසුම් ප්‍රකාශ සංකල්පය හඳුන්වා දීමේ පියවරක් ලෙස තෝරාගත් තවත් රාජ්‍ය ව්‍යවසායන් 10ක් සමඟ 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමූහික අවබෝධතා ගිවිසුම් ප්‍රකාශයන්ට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රජයේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය යටතේ ක්‍රියාත්මක කරනු ලබන සහන ණය යෝජනා ක්‍රම
- ගොවීන්, ව්‍යවසායකයින්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ස්වයං රැකියාවන්හි නිරතවන්නන් ඉලක්ක කරගනිමින් 2017 අයවැය යෝජනා අනුව රජය විසින් හඳුන්වා දෙන ලද 'රන් අස්වැන්න', 'ගොවි නවෝදා', 'රිය ශක්ති', 'රිවි බල සවි', 'දිරි සවිය', 'ජය ඉසුර', 'මාධ්‍ය අරුණ' සහ 'සොඳුරු පියස' යන සහන ණය යෝජනා ක්‍රම 08ක් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වේ. මෙම ණය යෝජනා ක්‍රම යටතේ 2017‑09‑15 දින වන විට ප්‍රතිලාභීන් 1,266 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 6,517ක ණය ආධාර රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ප්‍රදානය කරනු ලැබ ඇති බවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

කුඩා ලොරි රථ, සින්ගල් කැබ් රථ සහ යතුරු පැදි මත නිෂ්පාදන බදු අඩු කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- 2017‑08‑18 දින සිට ක්‍රියාත්මක වන පරිදි, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා අනුග්‍රහයක් වශයෙන් කුඩා ලොරි රථ සහ සින්ගල් කැබ් රථ ආනයනය කිරීමේදී ඒ සඳහා අදාළ වන නිෂ්පාදන බද්ද වාහනයකට රුපියල් 300,000/-කින් අඩු කිරීමටත්, එන්ජින් ධාරිතාව ඝන සෙන්ටිමීටර 150ට අඩු යතුරු පැදි සඳහා වූ ප්‍රතිශත අගය මත පනවා තිබූ බද්ද ඉවත් කරමින් තත්ත්වයෙන් උසස් යතුරු පැදි සඳහා වෙළඳපොළ අවස්ථා ඇති කිරීමටත් රජය විසින් කටයුතු කරනු ලැබ තිබේ.

ඒ සඳහා විධිවිධාන සැලසීම පිණිස 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය යටතේ නිකුත් කරනු ලැබ ඇති අංක 2032/31 දරන 2017‑08‑17 දිනැති අති ‍විශෙෂ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2017 වර්ෂය තුළ අතිරේක නාගරික සංවර්ධන ව්‍යාපෘති 18ක් ක්‍රියාත්මක කිරීම
- 2017 අයවැය යටතේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත මහා භාණ්ඩාගාරය මඟින් වෙන් කරන ලද ප්‍රතිපාදන යොදා ගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇති රුපියල් මිලියන 20ට වැඩි වටිනාකමකින් යුත් ව්‍යාපෘති 39ක් සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය මඟින් 2017 වසරේදීම ක්‍රියාත්මක කළහැකි තවත් ව්‍යාපෘති 18ක් හඳුනාගෙන ඇති අතර, එම ව්‍යාපෘතිද අමාත්‍යාංශය වෙත වෙන් කරනු ලැබ තවදුරටත් ඉතිරිව ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුහුදු වැලි ලබාගැනීම
- කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ගොඩකිරීම් කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා දැනට එම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කරනු ලැබ ඇති මුහුදු වැලි නිධියේ පවතින වැලි ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබේ. එම ව්‍යාපෘතිය සඳහා වැලි කියුබික් මීටර මිලියන 40ක් පමණ තවදුරටත් අවශ්‍ය වේ යැයි ඇස්තමේන්තුගත කර තිබේ. එම වැලි ප්‍රමාණය ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ කාර්යයන් සඳහා වෙන් කරනු ලැබ ඇති මුහුදු වැලි නිධියෙන් ලබාගැනීමේ හැකියාව පවතී.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට අදාළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමට අනුව ඊට අවශ්‍ය වැලි නොමිලේ සැපයීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටියි. එහෙත්, මෙම වැලි සැපයීමේදී දැරීමට සිදු වන පරිපාලන පිරිවැය හා අනෙකුත් වියදම් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම වෙතින් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත එකවර අය කරගැනීමට යටත්ව, එම වැලි ප්‍රමාණය ව්‍යාපෘතිය සඳහා ලබ‍ා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ 03, පෙරහැර මාවතේ පිහිටි බිම් කොටස් ධර්මකීර්ති ආරාමය වෙත ලබා දීම
- පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ති ආරාමය සඳහා ප්‍රවේශ මාර්ගයක් සකස් කරගැනීම වෙනුවෙන් කොළඹ 03, පෙරහැර මාවතේ පිහිටි, නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 19.7ක ඉඩම් කොටසක් නිදහස් දීමනාවක් වශයෙන් එම විහාරස්ථානයේ දායක සභාව වෙත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ධීවර නැංගුරම් පොළවල් ධීවර වරාය නීතිගත සංස්ථාව වෙත පැවරීම
- මෙරට වෙරළ තීරයේ ධීවර නැංගුම්පොළ 48ක් පමණ ක්‍රියාත්මක වන අතර එමඟින් වෙරළ ආසන්න ධීවර කටයුතුවල යෙදෙන ධීවර යාත්‍රා 27,000කට පමණ පහසුකම් සපයනු ලැබේ. නව ආර්ථික අවස්ථා ඇති කිරීමට හා ආයෝජනයන් දිරි ගැන්වීමටත්, වෙරළාසන්න ධීවර කර්මාන්තයේ ඵලදායීතාව ඉහළ නැංවීමටත් මසුන් ගොඩබෑමේ හා වෙන්දේසි කිරීමේ දියුණු පහසුකම් සහිතව හා පසු අස්වනු තාක්ෂණය භාවිත කිරීමේ හැකියාව සහිතව ධීවර නැංගුරම්පොළ සංවර්ධනය කළ යුතු වේ. ඒ සඳහා දැනට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතින ධීවර නැංගුරම්පොළ සඳහා මනා කළමනාකරණ ව්‍යූහයක් ඇති කළ යුතුව තිබේ.

ඒ අනුව, ධීවර නැංගුරම්පොළවල් කළමනාකරණය, නියාමනය, නඩත්තුව හා සංවර්ධනය පිළිබඳ වගකීම ඒ සඳහා ප්‍රමාණවත් භෞතික හා මානව සම්පත්වලින් සමන්විත ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව වෙත පැවරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තංගල්ල ධීවර වරාය, බහුකාර්ය ධීවර වරාය සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීම
- ධීවර, සංචාරක හා වෙළඳ කටයුතු සඳහා යොදා ගනු ලබන බහුකාර්ය ධීවර වරාය සංකීර්ණයක් ලෙස තංගල්ල ධීවර වරාය සංවර්ධනය කිරීමට යෝජනා වී තිබේ. ඊට අදාළ ශක්‍යතා අධ්‍යයනය හා සැලසුම නොමිලේ සකස් කර දීමට දකුණු කොරියානු ජනරජයේ HAE CHUN Co. Ltd. සමාගම එකඟ වී තිබේ. ඒ සම්බන්ධයෙන් එම සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

1979 අංක 59 දරන ධීවර (විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාවට අයත් ජල තීරයේ විදේශීය ධීවර බෝට්ටු මඟින් සිදු කරනු ලබන මසුන් ඇල්ලීම හා ඊට අදාළ කටයුතු නියාමනය කිරීම, පාලනය කිරීම සහ කළමනාකරණය සම්බන්ධයෙන් 1979 අංක 59 දරන ධීවර (විදේශීය ධීවර බෝට්‍ටු විධිමත් කිරීමේ) පනත මඟින් විධිවිධාන සලසනු ලබයි. පසුගිය දශක තුනක පමණ කාලය තුළ මෙම ක්ෂේත්‍රයට අදාළව ජාත්‍යන්තර හා කලාපීය වශයෙන් සිදු වී ඇති වෙනස්කම් සැලකිල්ලට ගෙන එම පනතට අවශ්‍ය සංශෝධන සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

ඒ අනුව සකස් කරනු ලැබ ඇති ධීවර (විදේශීය ධීවර බෝට්‍ටු විධිමත් කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පැල්වත්ත ලංකා සීනි සමාගම සඳහා වාරි සංවර්ධන සැලසුම
- රජයට අනුබද්ධ කර්මාන්තායතනයක් වන පැල්වත්ත සීනි සමාගම ඌව පළාතේ අර්ථිකය තුළ ඉතා වැදගත් කර්යභාරයක් ඉටු කරනු ලබන අතර මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් 10%ක් පමණ එම ආයතනය විසින් නිපදවනු ලබයි. එම සමාගමේ සීනි නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය උක්‍ ගස් වගා කරනු ලැබ ඇති වගාබිම් බොහෝමයක් වර්ෂා ජලයෙන් පෝෂිත ප්‍රදේශ වන අතර ජල හිඟය හේතුවෙන් උක් ගස් අස්වැන්න අඩු වීම නිසා සමාගමේ නිෂ්පාදන කටයුතුවලට බලපෑම් එල්ල වී තිබේ.

එබැවින්, උක් වගාබිම්වල ඵලදායිතාව වර්ධනය කරමින් සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් පැල්වත්ත සීනි කර්මාන්තායතනය ආශ්‍රිත උක් වගා බිම් ප්‍රදේශවල රජයේ හා එම සමාගමේ මූල්‍ය දා‍යකත්වයෙන් වාරි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ යටතේ වැව් 13ක් හා ඇළ මාර්ග වැඩිදියුණු කිරීමටත්, අලුතින් ඇළ මාර්ග, ජල පොකුණු හා නළ ළිං ඉදි කිරීමටත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


නේපාලයේ ඇති වූ භූමි කම්පාවෙන් හානියට පත් වූ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම
- 2015 වර්ෂයේදී නේපාලයේ ඇති වූ භූමිකම්පාවෙන් හානියට පත් වූ ස්වායම්බුනාත්හි ආනන්ද කුටි මහා විහාරයේ හා රාතෝ මච්චින්ද්‍රනාත් කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රී ලංකාව විසින් අනුග්‍රහය ලබා දෙනු ලබන අතර එම ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතියි.

එම ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළ මූලික සැලැස්මට, පසුව සිදු කරනු ලැබූ ඇතැම් සංශෝධන හේතුවෙන් රුපියල් මිලියන 345ක් වූ එහි ඇස්තමේන්තුගත පිරිවැය ඉහළ ගොස් තිබේ. එබැවින් එම අමතර පිරිවැය ආවරණය කර ගැනීම සඳහා රුපියල් මිලියන 105ක අතිරේක ප්‍රතිපාදන වෙන් කර ගැනීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2000 අංක 44 දරන ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පනත සඳහා සංශෝධන
- ශ්‍රී ලංකාව තුළ වාණිජ සමථ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා 2000 අංක 44 දරන ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පනත මඟින් විධිවිධාන සලසනු ලබයි. එකී වාණිජ සමථ මධ්‍යස්ථානයේ කටයුතු පරිපාලනය හා කළමනාකරණය සඳහා කළමකරණ මණ්ඩලයක් වන අතර, ඒ සඳහා අදාළ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි සාමාජිකයෝ පත් කෙරෙති.

රේඛීය ආයතන හා නියෝජිතයින් සමඟ පවත්නා සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානයේ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා එහි කළමනාකරණ මණ්ඩලයේ සංයුතිය ‍වෙනස් කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා විධිවිධාන සැලසීම පිණිස සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

භාර ආඥා පනත සංශෝධනය කිරීම
- මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදය සඳහා මුදල් සම්පාදනය කිරීමේ අවදානම අවම කිරීම පිණිස වන ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරා ලීම සඳහා භාර ආඥාපනතෙහි විෂයපථය පුළුල් කර සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. ඒ සඳහා සකස් කරනු ලැබ ඇති භාර (සංශෝධන)පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නව අධිකරණ ගොඩනැඟිලි ඉදි කිරීම
- යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කඩිනම් හා කාර්යක්ෂම කිරීම සඳහා රජය අවශ්‍ය පියවර ගනිමින් සිටියි. එහිදී මහජනතාවට යහපත් මට්ටමේ සේවාවක් සැලසීමේ අරමුණින් වර්තමානයේ ඉතා පැරණි ගොඩනැඟිලිවල අඩු පහසුකම් යටතේ පවත්වාගෙන යනු ලබන අධිකරණයන්හි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, කහටගස්දිගිලිය හා මැදවච්චිය යන සංචාරක මහේස්ත්‍රාත් අධිකරණ, වලස්මුල්ල දිසා/මහේස්ත්‍රාත් අධිකරණය, මාතලේ මහාධිකරණය හා කල්මුණේ සිවිල් අභියාචන මහාධිකරණය යන අධිකරණ සඳහා රුපියල් මිලියන 491ක ඇස්තමේන්තුගත පිරිවැයකින් නව ගොඩනැඟිලි පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් බෝයර් වර්ගයේ එළුවන් 100ක් ආනයනය කිරීම
- සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය මෙන්ම විවිධ සමාජයීය හේතු නිසා ගවමස් පරිභෝජනය පහළ යාමට සමගාමීව එළුමස් පරිභෝජනය සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් තිබේ. එහෙත් මෙරට එළුමස් නිෂ්පාදනය එම ‍ඉල්ලුම සපුරා ලීමට තරම් ප්‍රමාණවත් නොවේ.

ඒ අනුව, මෙරට එළුමස් නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් එළුවන් අභිජනන කටයුතු හා වාණිජ ගොවි‍‍පොළවල් සඳහා පට්ටි එළුවන් සැපයීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් බෝයර් වර්ගයේ ගැහැණු එළුවන් 90ක් හා පිරිමි එළුවන් 10ක් ආනයනය කිරීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රම ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ‍ගෘහ සේවකයින් යොමු කිරීමේදී නවීන තාක්ෂණය යොදා ගනිමින් එම ශ්‍රමිකයින් පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීමටත්, පැහැදිලි හා විනිවිද පෙනෙන ආකාරයෙන් බඳවා ගැනීම් සිදු කිරීමටත් අදාළව එරට විසින් නව නීති සකස් කරනු ලැබ තිබේ. එම නීතිවලට අනුගතව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එරට සේවය සඳහා යොමු කිරීමටත්, මිනිස් වෙළඳාම හා මිනිස් ජාවාරම වැනි අක්‍රමිකතාවලින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ආරක්ෂාව සැලසීමටත් හැකි වන පරිදි ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ශ්‍රම ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් නව අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාව හා ‍පෝලන්තය අතර ක්‍රීඩාවේ උන්නතිය සඳහා අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
- ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ උන්නතිය සඳහා ශ්‍රී ලංකාව හා පෝලන්තය අතර පවතින සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අරමුණින් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ක්‍රීඩා නව්‍යකරණ ව්‍යාපෘතිය
- ජාත්‍යන්තර තරග සඳහා යොමු කිරීමට පෙර මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විධිමත් පුහුණුවක් ලබා දීම සහ දේශීය පුහුණුකරුවන්ට විශේඥ දැනුම සහිත ප්‍රවීණයන් මඟින් විද්‍යාත්මක පුහුණුවක් ලබා දීම අරමුණු කරගනිමින් 2013 - 2017 කාලපරිච්ඡේදය තුළ ක්‍රීඩා නව්‍යකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. විදේශීය පුහුණුකරුවන්ගේ සේවය ලබාගනිමින් සියලු පළාත්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ නැංවීමටත්, පුහුණුකරුවන්ගේ දැනුම ඉහළ නැංවීමටත් එමඟින් මනා පිටිවහලක් ලැබී ඇත.

2018 වර්ෂයේදී පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සහ ආසියාතික ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිත අතර, 2020 වර්ෂයේදී දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සහ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතය. මෙම ක්‍රීඩා තරග සඳහා මෙරට ජාතික හා කනිෂ්ඨ මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විධිමත්ව පුහුණු කිරීම අරමුණු කරගනිමින් ක්‍රීඩා නව්‍යකරණ ව්‍යාපෘතිය 2018 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා තවත් වර්ෂ 05ක කාල සීමාවක් සඳහා ක්‍රියාත්මක කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බෝනොවන රෝග ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ප්‍රජා පාදක ක්‍රීඩා සංවර්ධනය
- සෞඛ්‍යයට අහිතකර ආහාර ගැනීම, දුම්කොළ හා මද්‍යසාර භාවිතය සහ කායිකව ක්‍රියාශීලී නොවීම වැනි හේතු නිසා බෝ නොවන රෝග වැලඳීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම ශාරීරික ව්‍යායාම්වල නිරත නොවන තැනැත්තන් හෘද රෝගවලට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරනු ලබයි. ශාරීරික ක්‍රියාකාරකම්හි වැඩියෙන් නිරත වීම සහ යෝග්‍ය ආහාරවලට පුරුදු වීම වැනි කරුණු මඟින් දියවැඩියාව හා පිළිකා වැනි රෝග තත්ත්වයන්ට ලක්වීම වළක්වා ගත හැකි බව සමීක්ෂණ මඟින් හෙළි වී තිබේ.

සාමාන්‍ය ජනතාව අතර ක්‍රීඩාව ප්‍රචලිත කිරීම මඟින් ඔවුන්ට දෛනික කායික ක්‍රියාකාරකම්හි යෙදීමට ඇති අවස්ථා වැඩි කිරීමට හැකියාව පවතී. ඒ අනුව, කායික ක්‍රියාකාරම්හි යෙදෙන ප්‍රජාවගේ අනුපාතය ඉදිරි වසර 03ක කාලසීමාව තුළ 10%කින් ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ප්‍රජා මූලික ක්‍රීඩා සංවර්ධනය සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

ආර්ථික ඩිජිටල්කරණය : 2016-2019
- ආර්ථික ඩිජිටල්කරණය ව්‍යාපෘතිය යටතේ ඩිජිටල් යටිතල පහසුකම් හා සම්බන්ධතා කඩිනමින් සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කරනු ලැබ ඇති අතර, එමඟින් රාජ්‍ය සේවා සැපයීමේ ක්‍රියාවලියේ ගුණාත්මක බවද වර්ධනය වනු ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් 2016 - 2019 කාලසීමාව තුළ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන උපායමාර්ගවලට අනුගතව නිර්දේශ කරනු ලැබ ඇති ව්‍යාපෘති 27ක් 2017 වර්ෂයේ අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ආර්ථික සහයෝගිතාවය සඳහා වන ගිවිසුම
- පසුගිය කාලසීමාව තුළ විදේශ වෙළඳාමේ ශීඝ්‍ර වර්ධනයක් අත් කරගැනීමට සමත්ව ඇති හංගේරියාව සමඟ පවතින ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කරගැනීම මඟින් යුරෝපා සංගමයට අයත් රටවල් තුළ වෙළඳපොළ පුළුල් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇත.

එබැවින්, ආයෝජන ඉහළ නැංවීම සහ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව ඉහළ නැංවීමේ අරමුණින් දෙරට අතර ආර්ථික සහයෝගිතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහනුවර මහයියාව නාගරික නිවාස ව්‍යාපෘතිය
- මහනුවර මහනගර සභා බල ප්‍රදේශයේ අක්කර 12ක පමණ භූමි ප්‍ර‍ෙද්ශයක විසිරී පවතින මහයියාව ජනාවාසයෙහි පවුල් 1,220ක් පමණ ජීවත් වේ. ඉතා අක්‍රමවත් ඉදි කිරීම් හේතුවෙන් සමාජයීය, ආර්ථික හා සෞඛ්‍යමය ගැටලු මධ්‍යයේ ජීවත් වන එම පවුල් සඳහා නිවාස විසඳුම් ලබා දී ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ මූලික අරමුණින් 'මහනුවර මහයියාව නාගරික නිවාස ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ.

ඒ අනුව, මහනුවර නගර සංවර්ධන වැඩසටහන හා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මහල් නිවාස ඒකක 1,220ක් අදියර දෙකක් යටතේ ඉදි කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමටත්, මෙම ව්‍යාපෘතිය යටතේ ඉදි කරනු ලබන නිවාසවල සින්නක්කර අයිතිය ‍මුදල් අය කිරීමකින් තොරව ප්‍රතිලාභීන් වෙත ලබා දීමටත් විශේෂ කාර්යභාර අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා; නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මගී පර්යන්ත ගොඩනැඟිල්ලෙහි විගමන ප්‍රදේශය ප්‍රතිස්ථාපනය
- ගුවන් මගීන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මගී පර්යන්ත ගොඩනැඟිල්ලෙහි විගමන ප්‍රදේශය ප්‍රතිස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 472.5ක බදු රහිත මුදලකට ආර්.එන්. කන්ස්ට්‍රක්ෂන්ස් (පෞද්ගලික) සමාගමට පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සඳහා තෙල් සහ ලිහිසි තෙල් ප්‍රසම්පාදනය කිරීම
- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සඳහා අවශ්‍ය තෙල් සහ ලිහිසි තෙල් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Lanka IOC PLC වෙත සහ Chevron Lubricant Lanka PLC වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර 1 සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- අනුරාධපුර දිස්ත්‍රික්කයේ, විශේෂයෙන්ම වකුගඩු රෝගය පැතිර පවත්නා ප්‍රදේශවල ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලබා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. එම ව්‍යාපෘතියේ අදියර 1 සඳහා අවශ්‍ය වන නළ සහ අදාළ උපකරණ සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Ms Nagarjuna Construction Ltd. සහ Ms. Sierra Construction (Pvt) Ltd. හවුල් ව්‍යාපාරය වෙත ජපන් යෙන් මිලියන 1,197.46ක සහ රුපියල් මිලියන 1,275.75ක බදු රහිත මුදලකට පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දකුණු හා බස්නාහිර පළාත්වල නගර සඳහා සනීපාරක්ෂාව හා සෞඛ්‍ය වැඩසටහන් (SHIFT) ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සහාය ලබාගැනීම
- මීගමුව, ගාල්ල, කැලණිය යන ප්‍රදේශවල මලාපවහන සේවා වැඩිදියුණු කිරීම සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ මලාපවහන පද්ධති කළමනාකරණය කිරීමේ ධාරිතාවය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ දකුණු හා බස්නාහිර පළාත්වල නගර සඳහා සනීපාරක්ෂාව හා සෞඛ්‍ය වැඩසටහන් (SHIFT) ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙත තාක්ෂණික සහාය ලබා දීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Egis Eau වෙත යුරෝ මිලියන 1ක සහ රුපියල් මිලියන 5.8ක මුදලකට පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් ප්‍රසම්පාදනය කිරීම
- පසුගිය වර්ෂයේ සහ මේ වර්ෂයේ මේ දක්වා කාලසීමාව තුළ මෝසම් වැසි මඟින් අපේක්ෂිත වර්ෂාපතනය නිසි පරිදි නොලැබීම නිසා විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහත බැස තිබේ. මෙම පසුබිම තුළ ජනතාව වෙත අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබා දීම තහවුරු කිරීමේ අරමුණින්, 2017 ඔක්තෝබර් මාසයේ සිට ඉදිරි මාස 06ක කාලයක් සඳහා මෙගාවොට් 100ක අතිරේක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරගැනීමට තීරණය කරනු ලැබ තිබේ. ඒ සඳහා අවශ්‍ය විදුලි ජනන යන්ත්‍ර බදු පදනම මත ලබාගැනීමට සුදුසු සැපයුම්කරුවෙකු විවෘත ජාත්‍යන්තර ලංසු කැඳවීම මඟින් කෙටිකාලීන පදනම මත තෝරාගැනීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රජයේ ‍පොහොර සමාගම් සඳහා අවශ්‍ය පොහොර ප්‍රසම්පාදනය කිරීම
- කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සී/ස ලංකා පොහොර සමාගම (ලක් පොහොර) සහ සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගම (කොමර්ෂල් පොහොර) මඟින් බෙදාහැරීම සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 18,000ක් සහ ත්‍රිත්ව සුපර් පොස්ෆේට් (TSP) මෙට්‍රික් ටොන් 3,000ක්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s. Quantum Fertilizers Ltd. සහ M/s. Haiyork Holding Ltd. වෙතින් මිල දී ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ හා තූත්තුකුඩිය (Tuticorin) අතර ඉන්දු ලංකා මගී ප්‍රවාහන නෞකා සේවා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මගී නෞකා සේවාවන් ආරම්භ කිරීම මඟින් දෙරටෙහි ජනතාව අතර සමීප සබඳතාවන් ඇති කරගැනීමටත්, සංස්කෘතික හා ආර්ථික ස‌බඳතා වර්ධනය කරගැනීමටත්, වෙළඳ- සංචාරක හා නව රැකියා අවස්ථා ප්‍රවර්ධනය කරගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, කොළඹ හා තූත්තුකුඩිය (Tuticorin) අතර මගී ප්‍රවාහන නෞකා සේවා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය සඳහා අභිලාෂය ප්‍රකාශ කිරීම (EOI) සඳහා අයදුම්පත් කැඳවන ලද නමුත් ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

එබැවින්, මෙම ව්‍යාපෘතියට අදාළව දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කිරීමටත්, නැවත අභිලාෂය ප්‍රකාශ කිරීමේ (EOI) අයදුම්පත් කැඳවා සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීමටත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හිමිකම් ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම හා කැඩැස්තර සිතියම් සැකසීමේ ක්‍රියාවලිය නවීකරණය කිරීම
- විධිමත් මැනුම් සිතියමක් රහිතව නේවාසික, කෘෂිකාර්මික හා වෙනත් කටයුතු සඳහා රජය විසින් මහජනතාව වෙත ලබා දෙනු ලැබ ඇති ඉඩම් කැබලි මිලියන 2.5ක් පමණ පවතින අතර එම ඉඩම් මැන සිතියම් සැකසීමත්, දිවයින පුරා පිහිටි පෞද්ගලික ඉඩම් කැබලි සඳහා විධිමත් සිතියමක් සහිත නිරවුල් හිමිකම් සහතික නිකුත් කිරීමත් කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත. ඒ සඳහා දියුණු රටවල භාවිත කරනු ලබන තාක්ෂණික හා වෘත්තීය ක්‍රමවේදයන් අනුගමනය කරමින් මැනුම් කටයුතු හා හිමිකම් ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය නවීකරණය කළ යුතුව තිබේ.

ඒ අනුව, එකී නවීකරණ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ Trimble Inc. විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමේ බලය විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වෙත පැවරීමටත්, ප්‍රධාන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර තාක්ෂණික යෝග්‍යතාව පරීක්ෂා කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.