• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩල තීරණ - 2018.11.21

අමාත්‍ය මණ්ඩල තීරණ- 2018.11.21

ප්‍රසම්පාදන පසු විපරම හා සවිස්තරාත්මක විමර්ශන සිදුකිරීම


- රජයේ විවිධ අවශ්‍යතා සපුරාගැනීම සඳහා වන ප්‍රසම්පාදන වෙනුවෙන් රජය විසින් වැය කරනු ලබන මුදල් සඳහා නියම වටිනාකමක් ලැබීම තහවුරු කරගැනීමත් එම කටයුතු රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුව සිදු කර තිබේද යන්න තහවුරු කරගැනීමත් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව රජයේ ආයතන විසින් සිදු කරනු ලබන සියලුම ප්‍රසම්පාදන සම්බන්ධයෙන් කරනු ලබන පසු විපරම් කිරීම හා සවිස්තරාත්මක විමර්ශන සිදු කිරීම සඳහා යෝජිත ව්‍යාපෘති, අනෙකුත් අමාත්‍යාංශවල වැඩසටහන් සමඟ ද්විකරණය නොවන පරිදි ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දේශීය අර්තාපල් ගොවීන් සවිබල ගැන්වීම


- වැලිමඩ හා ඒ අවට ප්‍රදේශවලින් ඉහළ අර්තාපල් අස්වැන්නක් ලැබීම හේතුවෙන්, වෙළඳපොළ තුළ දේශීය අර්තාපල් සැපයුම ඉහළ යාමත් සමඟ එම ගොවීන් සඳහා සාධාරණ මිලක් ලැබීම තහවුරු කිරීමට අර්තාපල් අස්වැන්න මිල දී ගැනීමට රජය විසින් කටයුතු කරන ලදී. ඒ අනුව සී/ස ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය මඟින් මිල දී ගත් අර්තාපල් තොග සඳහා ගොවීන් වෙත ගෙවීම් නිරවුල් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරවාගැනීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

සීෂෙල්ස් ජනරජයේ වෙරළ ආරක්ෂාව සඳහා වෙරළ මුර සංචාරක යාත්‍රා දෙකක් ඉදි කිරීම


- අතිගරු ජනාධිපතිතුමා සීෂෙල්ස් ජනරජයේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක නිරත කාලය තුළ සීෂෙල්ස් ජනරජයේ වෙරළ ආරක්ෂාව සඳහා වෙරළ මුර සංචාරක යාත්‍රා දෙකක් ඉදි කර දෙන ලෙස කර ඇති ඉල්ලීමක් සඳහා එකඟතාවය පළ කරනු ලැබ තිබේ. ඒ අනුව, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් වෙරළ මුර සංචාරක යාත්‍රා දෙකක් ඉදිකිරීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

1990 අංක 2 දරන ණය ආපසු අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම
- ණය අයකරගැනීම වේගවත් කිරීමේ ක්‍රියා පටිපාටියක් හඳුන්වා දීමේ අරමුණින් 1990 අංක 2 දරන ණය ආපසු අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත හඳුන්වා දී තිබේ. එසේ වුවද එම පනත මඟින් එවකට පැවති ණය දෙන ආයතන පමණක් ආවරණය කරනු ලැබ ඇති බැවින්, ඉන් පසුව පිහිටුවන ලද බලපත්‍රලාභී විශේෂිත බැංකුද මෙම පනතෙහි කාර්යයන් සඳහා ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සැලසීමට උක්ත පනතේ 30වන වගන්තිය සංශෝධනය කිරීම පිණිස මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

දේශීය බඩ ඉරිඟු නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා පහසුකම් සැලසීම
- දේශගුණික හා විවිධ හේතුන් නිසා දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය, දේශීය වෙළඳපොළ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බඩ ඉරිඟු ආනයනය කිරීම පසුගිය කාලපරිච්ඡේදය පුරාවට සිදු වී ඇත. දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීම මඟින් ආනයන අවම කිරීම හරහා පිටරටට ඇදී යන විදේශ විනිමය අවම කරගැනීමට මෙන්ම දේශීය බඩ ඉරිඟු ගොවියාගේ ආදායම ඉහළ නැංවීමටද හැකියාව ලැබේ. ඒ අනුව දැනට සහන පොලී අනුපාත යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රම මඟින් දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ණය පහසුකම් සැලසීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

කිරිගව ගොවිපළවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම
- ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා යුරෝපීය ආරයේ හා දෙමුහුන් ආරයේ කිරි ගවයින් 5,000ක් පමණ ඕස්ට්‍රේලියාවෙන් හා නවසීලන්තයෙන් ආනයනය කර දිවයින පුරා පිහිටි කිරිගව ගොවිපළවල් වෙත බෙදා හැරිනු ලැබ ඇත. මෙම කිරි ගවයින්ගෙන් දිනකට කිරි ලීටර 20 - 25ක අතර ප්‍රමාණයක් ලබාගත හැකි වුවත්, දුර්වල කළමනාකරණය හා පාරිසරික බලපෑම් වැනි විවිධ හේතූන් නිසා කිරි ලීටර 10 - 15 පමණ ඉතා අඩු කිරි නිෂ්පාදනයක් වාර්තා වේ. එබැවින් එම ගොවිපළවල්වල ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා සැලසුම් කර ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය උපායමාර්ග අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නියෝජිතයින්ගෙන්ද සමන්විත විද්වත් කමිටුවක් පත් කිරීමටත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

මිතුරු නගර සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සහ විදේශ රටවල පළාත් ආයතන අතර ගිවිසුම්/අවබෝධතා ගිවිසුම් වලට එළඹීම
- මිතුරු නගර සංකල්පය යටතේ විවිධ පළාත් පාලන ආයතන විසින් විදේශ රටවල එක් එක් පළාත් ආයතන සමඟ සහයෝගයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එවැනි වැඩසටහන් හෝ ගිවිසුම්වලට එළඹීම සඳහා ලැබී ඇති ඉල්ලීම් ඇගයීම් කර අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා අදාළ සියලුම අමාත්‍යාංශ හා ආයතන නියෝජනය වන පරිදි නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහලු පර්යන්තය සඳහා බහළු මෙහෙයුම් උපකරණ ප්‍රසම්පාදනය කිරීම
- ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහළු පර්යන්තය නවීකරණය කිරීම යටතේ ජය බහලු පර්යන්තය (JCT) - V සඳහා නෞකාවල සිට ගොඩබිම දක්වා බහළු මෙහෙයුම් සිදු කිරීමට අවශ්‍ය දොඹකර 03ක් එම අධිකාරියේ අරමුදල් යොදවා මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 25.7ක මුදලකට සීමාසහිත ෂැංහයි ෂෙන්හුවා හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහළු පර්යන්තයේ ගැඹුරු නැංගුරම්පොළ ධාරිතාව වැඩි කිරීම සඳහා වන ව්‍යාපෘතියේ සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- කොළඹ වරාය වෙත පැමිණෙන විශාල ප්‍රමාණයේ නෞකා මෙහෙයවීම සඳහා තරගකාරි අවස්ථාවන් හිමි කරගැනීමට සිදු කරනු ලබන සංවර්ධන කටයුතුවලට සමගාමීව, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහළු පර්යන්තයේ ගැඹුරු නැංගුරම්පොළ ධාරිතාව වැඩි කිරීම සඳහා එම අධිකාරියේ අරමුදල් යොදවා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියේ සිවිල් වැඩ සංරචකය සඳහා වූ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s. China Harbour Engineering Company Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨය සඳහා මහල් හතකින් සමන්විත නව ගොඩනැඟිල්ල ඉදි කිරීම
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨය සඳහා සත් මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත සතුට බිල්ඩර්ස් පුද්ගලික සමාගම වෙත රුපියල් මිලියන 397.3ක මුදලකට පිරිනැමීම පිණිස අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

සමාජ ඒකාබද්ධතාවය උදෙසා අධ්‍යාපනය ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම
- සමාජ ඒකාබද්ධතාවය උදෙසා අධ්‍යාපනය ව්‍යාපෘතිය, 2005 වර්ෂයේ සිට ජර්මානු රජයේ තාක්ෂණික ප්‍රදාන යටතේ සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියක් වේ. බහුභාෂික සමාජයක සහජීවනයෙන් යුක්තව සාමකාමීව ජීවත්වීම සඳහා ළමුන්, යෞවනයින්, ඔවුන්ගේ පවුල් මෙන්ම ප්‍රජාවන්ට ඉඩ සැලසීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය සඳහා යුරෝ මිලියන 15.8ක ප්‍රදාන ජර්මානු රජය විසින් ලබා දී ඇති අතර, එය තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිණිස තවත් යුරෝ 250,000ක ප්‍රදානයක් ලබා දීමට ජර්මානු ෆෙඩරල් ජනරජය එකඟ වී ඇත. ඒ අනුව, එකී ප්‍රදානය ලබාගැනීම පිණිස අදාළ හුවමාරු පත්‍ර අත්සන් කිරීම සඳහා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

දැනට ක්‍රියාත්මක කෙරෙන රජයේ ප්‍රසම්පාදන ප්‍රමාදයකින් තොරව සිදු කිරීම
- මෑතකදී සිදු කරන ලද අමාත්‍යාංශ විෂය පථයන්ගේ වෙනස්කම්වලට අනුව, දැනටමත් ක්‍රියාත්මක කෙ‍ෙරමින් පවතින රජයේ ප්‍රසම්පාදන කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කරගෙන යාම සඳහා රේඛීය අමාත්‍යාංශ වෙත අවශ්‍ය උපදෙස් නිකුත් කිරිම පිණිස මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

2019 වර්ෂයේ මුල් මාස හතර සඳහා රජයේ වියදම් දැරීම
- මෑතකදී අමාත්‍යාංශවල සංයුතිය වෙනස් කිරීම හේතුවෙන් 2019 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බැවින් මීට පෙර මේ හා සමාන අවස්ථාවලදී අනුගමනය කරන ලද පූර්වාදර්ශවලට අනුකූල වන පරිදි 2019 වර්ෂය සඳහා වන අයවැය අනුමත වන තෙක් 2019 මුල් මාස 04 සඳහා රජයේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය වන අයවැය ප්‍රතිපාදන අතුරු සම්මත ගිණුමක් මඟින් සලසා ගැනීමටත්, ඒ සඳහා වන යෝජනාව පිළියෙල කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත්, මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.