• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩල තීරණ - 2018.11.27

2018.11.27 වැනි දිනැති රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.

වකුගඩු රෝග නිවාරණයට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

- වකුගඩු රෝගයෙන් පීඩාවත් පත්ව ඇති රෝගීන්ට වඩාත් පහසුකම් සහිත සායනික සහ සත්කාරක සේවාවන් සැපයීම අරමුණු කරගෙන මහනුවර මහ රෝහලට අනුබද්ධිතව හා අනුරාධපුර මෙත්සිරි සෙවන වකුගඩු රෝගී සහන සත්කාර සහ රුධිර කාන්දු පෙරණ මධ්‍යස්ථාන සහ ගිරාඳුරුකෝට්ටේ වකුගඩු රෝග සම්බන්ධ සමාජ සුබසාධන ආර්ථික සවිබලගැන්වීමේ අධ්‍යාපන හා තොරතුරු කේන්ද්‍රය ස්ථාපිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. එම ව්‍යාපෘති 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දීම සඳහාත්, වකුගඩු රෝග නිවාරණය සඳහා තවදුරටත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වකුගඩු රෝගය පිළිබඳ තොරතුරු හා පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉදි කිරීම, මහනුවර ශික්ෂණ රෝහල හා සිංගප්පූරුවේ Molecular and Cell Biology ආයතනය හා එක්ව සිදු කරන පර්යේෂණ ව්‍යාපෘතිය සහ වකුගඩු රෝගය සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම යොදාගැනීම පිළිබඳ පර්යේෂණාත්මක ව්‍යාපෘතිය හා ප්‍රතිකාර ප්‍රවර්ධන වැඩසටහන සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන වෙන් කරගැනීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

'කන්දකඩුව හා ත්‍රිකෝණමඩුව' ගොවිපොළවලට අයත් භූමි, කෘෂි ව්‍යාපාර සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට යළි පවරා ගැනීම
- පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි 'කන්දකඩුව හා ත්‍රිකෝණමඩුව' යන රජයේ ගොවිපොළවලට අයත් ඉඩම් 'පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන' යටතේ කෘෂිකාර්මික වශයෙන් සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර තීරණය කරන ලදී. ඒ අනුව මෙතෙක් සංවර්ධනය කර නොමැති 'කන්දකඩුව හා ත්‍රිකෝණමඩුව' ගොවිපළවලට අයත් හෙක්ටයාර 3,415ක් පමණ වන භූමි ප්‍රමාණයක් කෘෂිකාර්මික හා සත්ත්ව පාලනය ආශ්‍රිත කෘෂි ව්‍යාපාර ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වෙත පැවරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

2018 වසරේ ආර්ථිකය පිළිබඳ විමසුම
- රටේ වත්මන් ආර්ථික තත්ත්වය, දැනට පවතින නොපියවන ලද බිල්පත් හා එකඟ වී ඇති බැඳීම්වල තත්ත්වය සහ රටේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා මෑතකදී අනුගමනය කරනු ලැබ ඇති වැඩසටහන් පිළිබඳව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

 

සබරිමලෙයි අයියප්පන් පූජනීය ස්ථානය වෙත වන්දනාවේ යන බැතිමතුන් සඳහා පහසුකම් සැපයීම
- ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි සබරිමලෙයි අයියප්පන් පූජනීය ස්ථානය වෙත ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන් දෙසැම්බර් මස අවසානයේ හා ජනවාරි මාසයේ මුල් භාගයේ වසරක් පාසා වන්දනාවේ යෙදේ. එම පූජනීය ස්ථානය වන්දනා කිරීම සඳහා ගමන් ගන්නා බැතිමතුන්හට පහසුකම් ලබා දීම පිණිස ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තාවකාලික ඒකකයක් පිහිටුවීම ඇතුළුව අනෙකුත් අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

තැනැත්තන් වෙළඳාම (Human Trafficking) පිටුදැකීම පිළිබඳ අවබෝධතා ගිවිසුම


- ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළඳාම (Human Trafficking) පිටු දැකීම සම්බන්ධයෙන් ජාතික කාර්යසාධක බලකායක් 2010 වර්ෂයේදී ස්ථාපිත කර ඇති අතර, එකී බලකාය විසින් තැනැත්තන් වෙළඳාම පිටු දැකීම සම්බන්ධයෙන් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව තැනැත්තන් වෙළඳාම වැළැක්වීම සඳහා ප්‍රජා පාලක පොලිස් නිලධාරින් කේන්ද්‍ර කරගත් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශය, 'LIFE' සංවිධානය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය අතර ‍ෛත්‍රපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සැකසීම
- ශ්‍රී ලංකාව සඳහා ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට සුදුසුකම් සහිත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස අන්තර්ජාතික වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වන ආදායම් පරිපාලන හා කළමනාකරණ තොරතුරු පද්ධතිය
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වන ආදායම් පරිපාලන හා කළමනාකරණ තොරතුරු පද්ධතිය 2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනත ක්‍රියාත්මක වීමත් සමඟ ඇතැම් බදු වර්ග අනුව නැවත ප්‍රතිනිර්මාණය කිරීමට සිදු වී ඇත. ඒ අනුව එම මෘදුකාංග ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු එහි මුල් කොන්ත්‍රාත්කාර ආයතනය වෙතින් ඉටු කරවා ගැනීම පිණිස මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ එක් පසෙකින් පිහිටි නිවාස සඳහා සමාන්තර මාර්ග ඉදි කිරීම
- මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු නිමවීමට ආසන්නව පවතින අතර, 2019 වර්ෂයේ සිට කොළඹ සිට බෙලිඅත්ත දක්වා මුළු වෙරළබඩ දුම්රිය මාර්ගයම ආවරණය කරමින් දුම්රිය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ එක් පසෙකින් එම ප්‍රදේශයේ ජනතාව වෙසෙන නිවාස පිහිටා ඇති බැවින් ඒවාට ප්‍රවේශ පහසුකම් ලබා දීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන දුම්රිය මාර්ගයට සමාන්තරව මාර්ග ඉදි කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. ඒ අනුව මුළු දිග කිලෝමීටර 12.95ක් වන මාර්ග 54ක් ඉදි කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදි කරවා ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

මෙගාවොට් 150ක සූර්යබලාගාර සහ මෙගාවොට් 60ක සුළං බලාගාර ඉදි කිරීම සඳහා වන ප්‍රතිපත්ති රාමුව සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම
- ශ්‍රී ලංකාවේ විදුලි ජනන සම්ප්‍රේෂණ සැලැස්ම අනුව සම්ප්‍රදායික නොවන විකල්ප පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් වසර 2030 වන විට රටේ සමස්ත අවශ්‍යතාවන් 1/3ක් පමණ ප්‍රමාණයක් ජනනය කර ගැනීම සඳහා සැලසුම් කර තිබේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය විසින් සකස් කරනු ලැබ ඇති 2018-2037 දිගුකාලීන ජනන සැලැස්ම යටතේ 2020 වන විට විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ යුතු මෙගාවොට් 60ක සුළං බලාගාර සහ මෙගාවොට් 150ක සූර්ය බලාගාර ඉදි කිරීම සඳහා වන ප්‍රතිපත්ති රාමුව අනුව වන ප්‍රසම්පාදන කටයුතු ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය (ආචාර්ය) රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

ග්‍රාමීය පාලම් ඉදි කිරීම
- ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාවට ප්‍රතිලාභ සැලසෙන පරිදි එම ගම්මානවල ප්‍රවාහන සම්බන්ධතා වැඩිදියුණු කිරීම පිණිස පාලම් 4,000ක් පමණ ඉදි කිරීමට රජය සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතිය යටතේ පළාත් 09 ආවරණය කරමින් විවිධ ප්‍රමාණයේ පාලම් 175ක් ඉදි කිරීම සඳහා කරන ලද යෝජනා කැඳවීම අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි මෙම කොන්ත්‍රාත්තුව ස්ටර්ලිං පවුම් මිලියන 37.69ක මුදලකට Cleveland Bridge UK Limited වෙත ප්‍රදානය කිරීම පිණිස පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සහ කෘෂිකාර්මික ප්‍රවර්ධනය සඳහා මූල්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම හා පවත්නා බදු ක්‍රමය සරල කිරීම
- සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය අංශය, වෘත්තීය සහ අනෙකුත් සේවා සහ කෘෂිකාර්මික කටයුතු ආදි දේශීය ව්‍යාපාරවල ප්‍රවර්ධනය සඳහා සරල පුළුල්වූ පදනමක් සහ අඩු බදු අනුපාත සහිත, විනිවිදභාවයෙන් යුත් සහ සරල කරන ලද බදු පරිපාලන ක්‍රමවේදයක් ඇති කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන තිබේ. ඒ සඳහා කඩිනමින් සිදු කළ හැකි පහත ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම පිණිස මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* තේ, කුළු බඩු, පොල්, රබර්, වී, පලතුරු, එළවලු ආදී ඕනෑම කෘෂිකාර්මික ආදායම්, විශේෂයෙන්ම සුළු පරිමාණ ව්‍යවසායකයින් වසර 05ක් කාලයක් දක්වා ආදායම් බදුවලින් නිදහස් කිරීම;

* දේශීයව කෘෂිකාර්මික භාණ්ඩ යොදාගනිමින් සැකැසුම් කටයුතුවල නිරත වීමෙන් ලබන ලාභය මත බදු අනුපාතය 28% සිට 14% දක්වා අඩු කිරීම;

* කුඩා ව්‍යාපාර කටයුතුවල නිරතවන ව්‍යවසායකයින්ට සහනයක් ලෙස දැනට පවතින 0.5%ක් වන ආර්ථික සේවා ගාස්තුව අදාළ වන ආදායම් සීමාව කාර්තුවකට රුපියල් මිලියන 12.5 සිට කාර්තුවකට රුපියල් මිලියන 50 දක්වා ඉහළ නැංවීම;

* තේ, රබර්, පොල්, සහල් සහ අනෙකුත් කෘෂිකාර්මික සැකැසුම් කර්මාන්තශාලා සඳහා යොදා ගනු ලබන සූර්ය කෝෂ පැනැල සවි කිරීම ඇතුළුව පුනර්ජනනීය බලශක්ති ප්‍රභව යොදා ගැනීම වෙනුවෙන් වන පිරිවැය එකී කර්මාන්තවල බදු අය කළ හැකි ලාභය ගණනය කිරීමේදී අඩු කළ හැකි වියදමක් ලෙස සැලකිල්ලට ගැනීම;

* බැංකු හා මූල්‍ය ආයතනවලින් ණය ලබා ගෙන එම ණය ක්‍රමවත් පරිදි සේවා කිරීමට නොහැකි වී ඇති සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට සහනයක් ලෙස මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙමින් ඔවුන්ගේ ව්‍යාපාර නැවත පණ ගැන්වීම සඳහා සහය විය හැකි වැඩසටහනක් භාණ්ඩාගාරය විසින් සකස් කර ක්‍රියාත්මක කිරීම;

* අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන වියදම අඩු කිරීම සඳහා දැනටමත් ඇතැම් භාණ්ඩවල සහ ඉන්ධනවල මිල අඩු කිරීමට පියවර ගෙන ඇති අතර, අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීම පිණිස ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීම.

අතුරු සම්මත ගිණුම - 2019
- 2019 වර්ෂයේ මුල් මාස 04ට අවශ්‍ය වන ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, 2019 වර්ෂය සඳහා වූ අයවැයක් සකස් කර ඉදිරිපත් කරන තෙක් 2019 වර්ෂයේ මුල් මාස 04 තුළ රජයේ පොදු සේවාවන් පවත්වා ගෙන යාම සඳහා රුපියල් බිලියන 760ක් ද, වියදම් දැරීම සඳහා දැනටමත් විවිධ නීති මඟින් බලය ලබා දී ඇති වියදම් දැරීම සඳහා රුපියල් බිලියන 970ක් ද, රජයේ අත්තිකාරම් ගිණුම් කටයුතු සඳහා රුපියල් බිලියන 05ක් ද වශයෙන් රුපියල් බිලියන 1,735ක සමස්ත වියදමක් දැරීම පිණිස වන යෝජනාවක් (අතුරු සම්මත ගිණුම) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සුදුසුකම් සහ පළපුරුද්දක් සහිත වෘත්තිකයින් ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කිරීම
- රාජ්‍ය සංස්ථා/ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යසායයන් සඳහා සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමේදී එම ව්‍යවසායයන්හි අරමුණු සහ ඉලක්ක සපුරා ගැනීමට හැකි වන පරිදි, වෘත්තීය සුදුසුකම් සහිත පළපුරුදු පුද්ගලයින් සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කිරීමේ අවශ්‍යතාව රජය විසින් අවධාරණය කර තිබේ. එහෙයින් එකී ව්‍යවසායයන්හි අධ්‍යක්ෂ මණ්ඩල සඳහා නිල බලයෙන් පත් වන සාමාජිකයින් (Ex-Officio) හැර අනෙකුත් පත් කිරීම් සිදු කිරීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමත කර ඇති නිර්ණායක පදනම් කරගනිමින්, ශ්‍රී ලංකාවේ හෝ පිළිගත් විදේශ විශ්වවිද්‍යාලයක උපාධිධාරයෙකු වීම හෝ පිළිගත් වෘත්තීය සුදුසුකම් සහ අදාළ ක්ෂේත්‍රයේ දීර්ඝ වෘත්තීයමය පළපුරුද්ද සහිත පුද්ගලයින් පත් කිරීමට, අදාළ විෂයභාර අමාත්‍යවරුන්ට හැකි වන පරිදි, අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපති ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.