• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.11.01

cabinet sinhala logoරාජ්‍ය ආයතනවල පොදුවේ භාවිත වන අයිතමයන් මිල දී ගැනීම සඳහා ස්වාධීන මධ්‍යගත ප්‍රසම්පාදන ආයතනයක් පිහිටුවීම
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ සිදු වන අනවශ්‍ය ප්‍රමාදයන් හා නාස්තිය අවම කරගැනීමටත්, මහා පරිමාණ වශයෙන් ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමේදී ලැබෙන වාසියත්, භාණ්ඩවල ගුණාත්මකභාවය, මිලට සරිලන වටිනාකම ලබාගැනීම ආදී කරුණු ද සැලකිල්ලට ගෙන රජයේ ආයතනවලට පොදුවේ අවශ්‍ය වන භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා ස්වාධීන මධ්‍යගත ප්‍රසම්පාදන ආයතනයක් ඇති කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, ප්‍රසම්පාදන කටයුතුවලට අදාළ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණතාවක් සහිත සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන මධ්‍යගත ප්‍රසම්පාදන ආයතනයක් පිහිටුවීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ආබාධිත රණවිරුවන් සඳහා කෘත්‍රීම උපාංග සෑදීමේ කටයුතු වෙනුවෙන් රාගම 'රණවිරු සෙවණ' තුළ දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

රාගම 'රණවිරු සෙවණ' යටතේ පවත්වා ගෙන යනු ලබන සෘජුකාරක හා අංගාදේශක අංශය විසින් ආබාධිත රණවිරුවන් සඳහා කෘත්‍රීම උපාංග සෑදීම සිදු කරනු ලබයි. එම අංශය මඟින් විවිධ උපාංග සකස් කරවා ගැනීම සඳහා ආබාධිත රණවිරුවෝ 3,000කට අධික පිරිසක් දැනට ලියාපදිංචි වී සිටිති. මෙම උපාංග සෑදීම සිදු කරනු ලබන සෘජුකාරක හා අංගාදේශක අංශය ඉතාමත් අඩු පහසුකම් යටතේ පවත්වා ගෙන යනු ලබන අතර, එයට විසඳුමක් වශයෙන් අත්‍යවශ්‍ය මූලික පහසුකම් සහිත දෙමහල් ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 81.43ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, රාගම 'රණවිරු සෙවණ' තුළ ඉදිකිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නාවික අනතුරු හේතුවෙන් සිදු විය හැකි සාගරයට ඉන්ධන කාන්දුවීම් සඳහා ජාත්‍යන්තර නීතිය යටතේ වන්දි ලබා ගැනීම

සමුද්‍රය හරහා සිදු කෙරන භාණ්ඩ ප්‍රවාහනය ඉහළ යාමත් සමඟ නෞකා අනතුරට පත් වීමෙන් නැව් තුළ ඉන්ධන ලෙස රැගෙන යනු ලබන තෙල් (බංකර් තෙල්) විසිරීම නිසා ආපදාවට ලක්වන පාර්ශ්වයන්ට ප්‍රමාණවත් හා ඉක්මන් වන්දි ලබා ගැනීම සහ සමුද්‍රය ආශ්‍රිත කාර්මාන්තවලට එමඟින් සිදු විය හැකි හානි අවම කරගැනීම සඳහා 2008 වසරේ සිට බලාත්මක කරනු ලැබ ඇති බංකර් තෙල් ආපදා මඟින් සිදුවන හානි සඳහා සිවිල් වගවීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (International Convention on Civil Liability for Bunker Oil Pollution Damage) සඳහා රාජ්‍යයන් 80ක් දැනට පාර්ශ්වකරුවන් වී තිබේ. ශ්‍රී ලංකාවේ වරායන් වෙත වසරකට නැව් 5,000ක් පමණ පැමිණෙන බැවින් හා ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය හරහා වැටී ඇති නෞකා මාර්ගය ඔස්සේ දිනකට විශාල නැව් සංඛ්‍යාවක් ගමන් කරනු ලබන බැවින්, ශ්‍රී ලංකා සාගර කලාපය තුළ හදිසි බංකර් තෙල් විසුරුම් ඇති වීමේ අවදානම ඉතා ඉහළ වේ. එවැනි අවස්ථාවක බලපෑමට ලක්වන ධීවර, සංචාරක හා සාගරය ආශ්‍රිත අනෙකුත් කර්මාන්තවලට සිදුවන හානි අවම කරගැනීම සහ හානි සිදුවූ අවස්ථාවලදී කඩිනමින් වන්දි මුදල් ලබා ගැනීම සඳහා මෙම සම්මුතියට එළඹීම යෝග්‍ය වේ. ඒ අනුව, බංකර් තෙල් ආපදා මඟින් සිදුවන හානි සඳහා සිවිල් වගවීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිගැනීමටත්, ඒ සඳහා අදාළ විධිවිධාන සැලසීම පිණිස 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණය උදෙසා නිෂ්පාදකයාගේ/ වෙළෙන්දාගේ හා පාරිභෝගිකයන්ගේ වගකීම

කෙතරම් නීතීන් හා දැනුවත් කිරීම් පැවතියද නිෂ්පාදකයින්, වෙළෙන්ඳන් හා පාරිභෝගිකයින් විසින් කිසිම වගකීමකින් තොරව ස්වාභාවිකව දිරාපත් නොවන විවිධ වර්ගයේ හා ප්‍රමාණයේ ඇසුරුම්ද, ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් අපද්‍රව්‍යද පරිසරයට බැහැර කරනු ලබයි. දැනට වාර්ෂිකව රට තුළට පැමිණෙන සමස්ත පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රමාණයෙන් 60%ක් පමණ (මෙට්‍රික් ටොන් 210,000) ස්වාභාවික පරිසරයට එකතු වේ. මෙයට විසඳුමක් වශයෙන් 'පරිසරය දූෂණය කරන්නා විසින් ඊට වන්දි ගෙවිය යුතුයි' (Polluter Pays Principle) යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේදයක් යෝජනා වී ඇත. මේ යටතේ, භාණ්ඩ මිල දී ගනු ලබන අවස්ථාවේදී කිසියම් තැන්පත් මුදලක් නිෂ්පාදකයින්/වෙළෙන්දන් විසින් තාවකාලිකව පාරිභෝගිකයාගෙන් අය කිරීමටත්, භාණ්ඩය භාවිතයෙන් පසු ඉතිරි වන ස්වාභාවිකව දිරාපත් නොවන ඇසුරුම් හා අපද්‍රව්‍ය නැවත භාර ගැනීමේදී එම ලබාගත් තැන්පතු ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම සිදු කෙරේ. දිගුකාලීනව භාවිත කරනු ලබන ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් උපකරණ වෙනුවෙන් කරනු ලබන තැන්පත් සඳහා ඒ මත ගණනය කරනු ලබන වාර්ෂික පොලියක් පාරිභෝගිකයා වෙත ගෙවනු ලැබේ. මෙමඟින් අපද්‍රව්‍ය නිශ්චිත ස්ථානවලට එකතු වීම තහවුරු කර ලීමෙන් එම අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීම පහසු වේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමෙහි ලා නිෂ්පාදකයාගේ / වෙළෙන්දාගේ හා පාරිභෝගිකයන්ගේ වගකීම තහවුරු කරමින්, ඉහත සඳහන් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අදාළ ආයතනවල නියෝජිතයින්‍ ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවේ නිර්දේශ අනුව නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මාතර මහරෝහලේ මාතෘ හා ළදරු ඒකක සංවර්ධනය කිරීම

- මාතර මහ රෝහල මඟින් මාතර දිස්ත්‍රික්කය තුළ සිටින නේවාසික රෝගීන්ගෙන් අඩකට පමණ පහසුකම් සැලසෙයි. මාතර මහ රෝහල මාතර නගර මධ්‍යයේ සීමිත ඉඩ ප්‍රමාණයක් පිහිටා ඇති බැවින්, දැඩි තදබදයකින් යුක්ත වන අතර, එහි ඉඩකඩ පුළුල් කිරීමේ හැකියාවද සීමාසහිත වේ. එමෙන්ම මාතර, ගොඩගම ප්‍රදේශයේ ඉදි කරනු ලැබ ඇති කොරියා-ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහල ඵලදායීව භාවිත කිරීම කෙරෙහිද අවධානය යොමු වී තිබේ. ඒ අනුව, මාතර මහ රෝහලේ මාතෘ හා ළදරු ඒකක මාතර, ගොඩගම ප්‍රදේශයේ පිහිටි කොරියා-ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහලෙහි ස්ථාපනය කිරීමට යෝජනා වී ඇත. ඒ සඳහා කොරියා-ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහලෙහි නව වාට්ටු සංකීර්ණයක් ස්ථාපිත කිරීම පිණිස ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 8.5ක ප්‍රදානයක් කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා අරමුදල වෙතින් ලබාගැනීම සඳහා කටයුතු යොදා ඇති බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී.

ළමා ක්‍රියාකාරකම් පිළිබඳ සමීක්ෂණය - 2015/16

ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් ලබා දෙනු ලබන මුදල් ප්‍රදානයන් යොදවා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ළමා ක්‍රියාකාරකම් පිළිබඳ සමීක්ෂණයක් 2015-2016 කාලවකවානුව තුළදී පවත්වනු ලැබ ඇති අතර, එහි දත්ත ගොනුව සකස් කොට පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විට සිදු කරනු ලැබ තිබේ. ඒ අනුව, මෙම සමීක්ෂණයේ අවසන් වාර්තාව පිළියෙල කිරීමටත්, සමීක්ෂණයෙන් අනාවරණය වූ තොරතුරු පිළිබඳව අදාළ ආයතන සහ මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලබා දෙනු ලබන රුපියල් මිලියන 4.35ක අමතර අරමුදල් උපයෝගී කරගනිමින් සිදු කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා සෝයා බෝංචි මිල දී ගැනීම

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය විසින් පහත පරිදි තීරණය කරන ලදී:

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් සෝයා බෝංචි ගොවීන්ගෙන් මිල දී ගනු ලැබ ඇති සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 5,000ක් සෘජුවම ත්‍රිපෝෂ සමාගමට සැපයීම; 
ඉදිරියේදී, ජාතික ත්‍රිපෝෂ වැඩසටහන සඳහා අවශ්‍ය සෝයා බෝංචි ප්‍රමාණය සෝයා බෝංචි වගා කරනු ලබන ගොවීන්ගෙන් සමන්විත ලියාපදිංචි ගොවි සංවිධානවලින් මිල ගණන් කැඳවා මිල දී ගැනීම.
මාතර ජලසම්පාදන ව්‍යාපෘතිය - අදියර IV ක්‍රියාත්මක කිරීම

මාතර අදියර IV ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික සංවර්ධන බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර්  මිලියන 76.83ක හා රුපියල් මිලියන 2,448.81ක ණය මුදලක් ලබාගැනීම සඳහා ණය ගිවිසුමකට එළඹීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

1975 අංක 33 දරන ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන පනතට යෝජිත සංශෝධන

- ශ්‍රී ලංකා තක්සේකරුවන්ගේ ආයතනය සම්බන්ධයෙන් කාලීනව සිදු කළ යුතු සංශෝධන ඇතුළත් කරමින් 1975 අංක 33 දරන ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'සියලු දෙනාට ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වර්ධනයක් සඳහා නිපුණතා වැඩසටහන' වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා ඕස්ට්‍රේලියානු රජය අතර උපයෝගීතා ගිවිසුම අත්සන් කිරීම

අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි තරුණ - තරුණියන්ට ගුණාත්මක නිපුණතා සංවර්ධන අධ්‍යාපන අවස්ථා ලබා දීම තුළින් සංචාරක ක්ෂේත්‍ර‍ෙය් රැකියා සඳහා අවශ්‍ය නිපුණතා ඇති කර ලී‍ෙම් වැඩසටහනක් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය විසින් 2016-2019 කාලවකවානුව තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිතය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජයේ විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුව (DFAT) මඟින් ලබා දීමට එකඟ වී ඇති ඇමරිකානු ‍ෙඩාලර් මිලියන 15ක මූල්‍ය ප්‍රදානය ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය හා ඕස්ට්‍රේලියානු රජය අතර උපයෝගිතා ගිවිසුමකට එළඹීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ කොටුව/පිටකොටුව - බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් පිහිටුවීම

බස්නාහිර කලාපීය මහා නගරය සඳහා වන විස්තීර්ණ කළමනාකරණ සැලැස්ම යටතේ වන යෝජනාවන් අතරට කොළඹ කොටුව/පිටකොටුව - බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමද ඇතුළත් වේ. ඒ අනුව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි, මහජනතාවට සුවපහසු හා කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් ලබා දීමේ අරමුණින්, සියලු ප්‍රවාහන මාදිලි ඒකාබද්ධ කරමින් කොළඹ කොටුව/පිටකොටුව - බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානය ස්ථාපිත කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තලංගම පොලිස් ස්ථානය ස්ථාපිත කිරීම සඳහා බත්තරමුල්ල, පාර්ලිමේන්තු පාරෙහි පිහිටි ඉඩම් කොටසක් වෙන්කර දීම

තලංගම පොලිස් ස්ථානය මඟින් ග්‍රාම සේවා වසම් 240 ක් ආවරණය කරමින් 170,000 ක පමණ ජනතාවකට සේවය සලසනු ලැබේ. මෙම පොලිස් ස්ථානය පිහිටා ඇත්තේ ප්‍රධාන මාර්ගයෙන් ඇතුළත අතුරු මාර්ගයක පිහිටි පර්චස් 44 ක් පමණ වන කුඩා ඉඩම් කොටසක වේ. ඒ හේතුවෙන් මෙම පොලිස් ස්ථානයේ සේවය කරනු ලබන පොලිස් නිලධාරින්ට මෙන්ම එහි සේවය ලබා ගැනීමට පැමිණෙන මහජනතාවටද විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වේ. ඒ අනුව, තලංගම පොලිස් ස්ථානය ස්ථාපිත කිරීම සඳහා, බත්තරමුල්ල, පාර්ලිමේන්තු පාරෙහි පිහිටි, නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 01 ක ඉඩම් කොටසක් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය වෙත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2017 ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයට සමගාමීව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදි කිරීම

2017 වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයට සමගාමීව පිළියන්දල සමරකෝන් බූදලයට අයත් කහපොළ රෙජිඩේල්වත්ත ඉඩමේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව බුදුරජාණන්වහන්සේගේ උත්පත්තිය සිදුවූ, එවකට පැවති ශාක්‍ය ජනපදය එම ඉඩම තුළ ප්‍රතිනිර්මාණය කර ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව සලසා දීමටත්, අංග සම්පූර්ණ බෞද්ධ පුස්තකාලයක්, බෞද්ධ භාවනා මධ්‍යස්ථානයක්, ඩිජිටල් තාක්ෂණය මඟින් බුද්ධ චරිතය හා සම්බන්ධ කතාවස්තු ප්‍රතිනිර්මාණය කිරීමේ හා ඉදිරිපත් කිරීමේ මධ්‍යස්ථානයක්, සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ධර්ම දේශනා පැවැත්වීම පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක්, නිර්මාංශ භෝජනාගාරයක්, ගිහි - පැවිදි නරඹන්නන් සඳහා විවේකාගාර යනාදී අංග ගොඩනැඟීමටත් නියමිතය. මෙම ව්‍යාපෘතිය ලාභ නොලබන පුණ්‍යායතනයක් වන ‘ලයිට් ඔෆ් ඒෂියා ෆවුන්ඩේෂන්’ ආයතනය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම පිණිස බුද්ධශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පුණ්‍යාධාර භාර අරමුදලක් පිහිටුවීම - ශ්‍රී ලංකා බෞද්ධ වන්දනා විශ්‍රාම ශාලාව (SLBPR)

ඉන්දියාවට පැමිණෙන වන්දනාකරුවන් සඳහා නවාතැන් පහසුකම් සපයන, නව දිල්ලියේ පිහිටි 'ශ්‍රී ලංකා බෞද්ධ වන්දනා විශ්‍රාම ශාලාව', පණ්ඩිත් ජවහර්ලාල් නේරු මැතිතුමා ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයාව සිටි සමයේදී එතුමා විසින් ශ්‍රී ලංකා රජය වෙත පවරා දෙනු ලැබ ඇත. එම විශ්‍රාම ශාලාව එමඟින් අපේක්ෂිත අරමුණුවලට අනුව භාවිත කරනු ලබන බව තහවුරු කිරීමටත්, මනා කළමනාකාරිත්වයක් සහිතව පවත්වා ගෙන යාමටත්, වන්දනාකරුවන්ට උසස් තත්ත්වයේ නවාතැන් හා පහසුකම් එමඟින් සැපයීමටත්, ඉන් උපයන ආදායම පුණ්‍ය කටයුතු සඳහා යොදා ගැනීමටත් හැකි වන පරිදි, ඒ සඳහා පුණ්‍යාධාර භාර අරමුදලක්, භාර ආඥාපනත යටතේ පිහිටුවීම පිණිස බුද්ධ ශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - (අපරාධ වරදක වගකීම දැරීමේ අවම වයස් සීමාව ඉහළ නැංවීම)

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන, අපරාධයක වගකීම් දැරීමේ අවම වයස් සීමාව වන අවුරුදු 08 යන්න ඉතා ළාබාල වයස් සීමාවක් බව මනෝ වෛද්‍යවරුන්ගේ සහ අදාළ ක්ෂේත්‍රවල විශේෂඥවරුන්ගේ මතය වේ. ඒ අනුව වයස අවුරුදු 12ට අඩු ළමයකු විසින් වරදක් සිදු කරනු ලැබූ විට, එම වරද සඳහා අදාළ ළමයාට දඬුවම් නොකළ යුතු බවට සහ වයස අවුරුදු 12ට වැඩි එහෙත් අවුරුදු 14ට අඩු ළමයකු සම්බන්ධයෙන් වන විට, චෝදනා කරනු ලැබ ඇති වරද සිදු කිරීම සඳහා ප්‍රමාණවත් චේතනාවක් ඇති කරගැනීමට තරම් මේරූ බුද්ධියක් අදාළ ළමයාට ඇතැයි යන්න මහේස්ත්‍රාත්වරයාගේ අභිමතය වේ නම් පමණක් අදාළ වරද සඳහා දඬුවම් පැමිණවීමට හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කරමින් සකස් කරනු ලැබ ඇති දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

විදේශගත ශ්‍රමිකයන් සඳහා යෝජිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය

විදේශගතව සේවය කරනු ලබන ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කිරීම පිණිස අදාළ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් 2015 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලදී. ඒ අනුව, එම කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති, 'විගමනික ශ්‍රමිකයන් සඳහා වන යෝජිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය' ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කිරීමට හා යෝග්‍ය පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමටත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද- විදේශගතව සේවය කරනු ලබන ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කිරීම පිණිස අදාළ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් 2015 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලදී. ඒ අනුව, එම කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති, 'විගමනික ශ්‍රමිකයන් සඳහා වන යෝජිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය' ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කිරීමට හා යෝග්‍ය පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමටත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

විධිමත් කසළ කළමනාකරණ වැඩසටහනක් යටතේ රාජ්‍ය ආයතනවල එකතු වන කසළ වෙන් කොට බැහැර කිරීම

මානව ක්‍රියාකාරකම් හේතුවෙන් එක්රැස් වන කසළ අවිධිමත් ලෙස පරිසරයට බැහැර කිරීම වර්තමානය වන විට විශාල ගැටලුවක් බවට පත්ව ඇත. මෙම තත්ත්වයට විසඳුමක් දීම සඳහා වන ආරම්භක පියවරක් ලෙස අමාත්‍යාංශවල හා ඒවා යට‍තේ පවතින සියලුම ආයතනවල එක්රැස් වන අපද්‍රව්‍ය, දිරාපත් වන කසළ හා දිරාපත් නොවන කසළ වශයෙන් වර්ග ‍කොට අදාළ පළාත් පාලන ආයතන වෙත විධිමත් පරිදි භාර දීමට රාජ්‍ය ආයතන තුළ ක්‍රමවේදයක් යෙදීමටත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු සැලසීම සඳහා අමාත්‍යවරුන්ගේ සහාය ලබාගැනීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගින්නෙන් හානියට පත් කිලිනොච්චි පොදු වෙළෙඳ‍පොළේ කඩසාප්පු වෙනුවෙන් වන්දි මුදල් ලබා දීම

2016-09-16 වන දින කිලිනොච්චි දිස්ත්‍රික් පොදු වෙළඳපොළේ සිදු වූ ගිනිගැනීම හේතුවෙන් කඩසාප්පු 122ක් හානියට පත්විය. එමඟින් හානියට පත් වෙළෙඳුන්ට සහන සැලසීමේ අරමුණින්, අදාළ හානි තක්සේරු කිරීම සඳහා පත් කෙරුණු පරීක්ෂණ කමිටුවේ නිර්දේශ පරිදි, ගින්නෙන් හානියට පත් කඩසාප්පු 122හි වෙ‍ෙළඳ කටයුතුවල නිරතව සිටි වෙළෙඳුන්ට රුපියල් මිලියන 74ක වන්දි මුදලක් ලබා දීමටත්, නවීන පහසුකම්වලින් සමන්විත ගිනි නිවීමේ පද්ධතියක් රුපියල් මිලියන 97ක පිරිවැයකින් කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කිරීමටත්, ගින්නෙන් හානියට පත් වෙළඳ ආයතන ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 150ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ස්ථිර පොදු වෙ‍ෙළඳපොළ සංකීර්ණයක් ඉදි කිරීමටත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හබරාදූව 'නිල සෙවණ' නිවාස යෝජනා ක්‍රමය නවීකරණය කිරීම

විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ සේවකයන් වෙත විශේෂ අවධානයක් යොමු කරමින්, සාධාරණ මිලකට නිවාස සැපයීමේ අදහස ඇතිව, 'නිල සෙවණ' නිවාස ව්‍යාපෘතිය 2003 වර්ෂයේදී ආරම්භ කෙරිණි. මේ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කළ නිවාස ඒකක 576හි ඉදි කිරීම් කටයුතු 2011 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක නොවන අතර, එම නිවාස ඒකක පිහිටි අක්කර 13ක භූමි භාගය හා ගොඩනැඟිලි 09 ජරාවාස තත්ත්වයකට පත්ව ඇත. එබැවින්, එම නිවාස ඒකක හා ඒවා පිහිටි පරිශ්‍රය සියලු නවීන පොදු පහසුකම්වලින් සමන්විත වන පරිදි සහ එහි වටිනාකම ඉහළ යන පරිදි නවීකරණය කර නේවාසික කටයුතු සහ සංචාරක කටයුතු සඳහා වන මිශ්‍ර ව්‍යාපෘතියක් ලෙස සංශෝධනය කර ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘතියේ නිවාස ඒකකවලින් යම් නිශ්චිත ප්‍රමාණයක් සහන මිලට රාජ්‍ය සේවකයන් වෙත වෙන් කිරීමටත්, ඉතිරිය දේශීය හා විදේශීය සංචාරකයන්ගේ නවාතැන් පහසුකම් සපුරා ලීම සඳහා යෙදවීමටත් හැකි වන පරිදි, මෙම ව්‍යාපෘතියට අදාළ ප්‍රධාන ත්‍රෛපාර්ශ්වීය ගිවිසුම සඳහා පරිපූරක/අතුරු ගිවිසුමක් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා ව්‍යාපෘති සමාගම අතර අත්සන් තැබීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යෝජිත කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය (මූල්‍ය නගර ව්‍යාපෘතිය) ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් පිළිගැනීම

යෝජිත කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය (මූල්‍ය නගර ව්‍යාපෘතිය), ඒ සම්බන්ධයෙන් උද්ගතව පැවති අදාළ අනුමැතීන් ලබාගැනීම, පාරිසරික බලපෑම් තක්සේරු කිරීම ආදී ගැටලු නිරාකරණය කරගනිමින් නැවත ආරම්භ කරනු ලැබ තිබේ. එම ව්‍යාපෘතිය 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පන‍ෙත් 3(3)වගන්තිය යටතේ ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් පිළිගැනීමටත්, ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කිරීමටත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉහළ ඇළහැර ඇළ ඉදි කිරීම

උතුරු මැද පළාතට ජලය සැපයීම අරමුණු කරගනිමින්, මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. එම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඉහළ ඇළහැර ඇළ මාර්ගය ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, රුපියල් මිලියන 3,254ක ඇස්තමේන්තුවක් යටතේ, ඉහළ ඇළහැර ඇළ කිලෝමීටර 6.2ක් දිගින් යුතුව ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ වයඹ පළාත් ඇළ ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

කු
ඹුරු හෙක්ටයාර 12,500ක් ‍පෝෂණය කිරීමේ අරමුණින්, මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. එහි පළමු අදියර යටතේ වෑමැඩිල්ල වම් ඉවුර ප්‍රධාන ඇළ මාර්ගය නෑබඩගහවත්ත ජලාශය දක්වා කිලෝමීටර 5.25ක් දිගින් යුතුව සංවර්ධනය කිරීමටත්, වෑමැඩිල්ල වැවෙහි නව සොරොව්වක් ඉදි කිරීමටත්, එම නව සොරොව්වේ සිට වෑමැඩිල්ල වම් ඉවුර ප්‍රධාන ඇළ දක්වා ඇළ මාර්ගයක් මීටර 600ක් දිගින් යුතුව ඉදි කිරීමටත් යෝජිතය. ඒ අනුව, ඊට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා වායු සමනය කරන ලද මගී මැදිරි සහිත ඩීසල් බලවේග කට්ටල 06ක් සැපයීම

වඩාත් කාර්යක්ෂම හා සුවපහසු සේවාවක් දුම්රිය මගීන්‍ වෙත ලබා දීමේ අරමුණින්, ඉන්දියානු ණය ආධාර යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත වායු සමනය කරන ලද මගී මැදිරි සහිත ඩීසල් බලවේග කට්ටල 06ක් ප්‍රසම්පාදනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, ඊට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම

ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ඖෂධ, විශාල ප්‍රමාණවලින් සහ අවම මිල ගණන් යටතේ කෙටි කාල සීමාවක් තුළ රටේ සියලුම රෝහල් වෙත සැපයීම සඳහාත්, සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීම සඳහාත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, එම සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා අදාළ යටිතල පහසුකම් හා නවීන යන්ත්‍රෝපකරණ සහිතව නව ඖෂධ නිෂ්පාදනාගාර ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ සඳහා ජපාන අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් ජපන් යෙන් මිලියන 1,244ක ණය පහසුකමක් ද සලසනු ලැබ ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එම ව්‍යාපෘතියට අදාළ ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.