• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.11.15

cabinet2016ශ්‍රී ලංකාව හා බෙලරූස් ජනරජය අතර උදර්පණ ගිවිසුම
අපරාධ වැළැක්වීමේදී සහ පාලනය කිරීමේදී දෙරට අතර වඩාත් ඵලදායී සහයෝගිතාවක් ඇති කරගැනීම සහ චූදිතයින්/වරදකරුවන් අදාළ රටට යැවීම සම්බන්ධයෙන් දෙරට අතර සබඳතාවලට පහසුකම් සැලසීමේ අරමුණින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා බෙලරූස් ජනරජය අතර උදර්පණය පිළිබඳ ගිවිසුමකට එළඹීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහවැලි ආර්ථික කලාප‍, පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සඳහා යොදාගැනීම

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) පාර්ශ්වකාර රාජ්‍යයක් වශයෙන් හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව බැඳී සිටී. හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේදී බලශක්ති නිෂ්පාදන ක්ෂේත්‍රය ප්‍රධාන දායකත්වයක් උසුලනු ලබයි. එහිදී ඩීසල් හා ගල් අඟුරු වැනි පොසිල ඉන්ධන භාවිත කරනු ලබන තාප බලාගාර වෙනුවට සුළං, ජල විදුලි හා සූර්ය බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමේ අවශ්‍යතාව රජය විසින් පිළිගනු ලැබ තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු, මහවැලි ආර්ථික කලාපයන්හි පිහිටි, කෘෂි වගාවන්ට යොදා ගත නොහැකි ඉඩම්, ජලාශ හා ඇළ මාර්ග යනාදිය හඳුනාගෙන, ඒවායේ පාවෙන සූර්ය බල නිෂ්පාදන ඒකකද ඇතුළත්ව වඩාත් පරිසර හිතකාමී පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ක්‍රියාත්මක වන විදුලි බලාගාර පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමටත්, ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් යෝජනා කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම

1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත, ශ්‍රී ලංකාව තුළ වෙසෙන ආබාධ සහිත ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමේ නෛතික රාමුව ලෙස ක්‍රියාත්මක වේ. 2016 පෙබරවාරි 08 වන දින ශ්‍රී ලංකාව විසින් 'ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය' (United Nations Convention on the Rights of Persons with Disabilities) අපරානුමත කරන ලදී. එම සම්මුතියෙහි සඳහන් පොදු මූලධර්මද ඇතුළුව අයිතිවාසිකම් 30ක් ශ්‍රී ලංකාව තුළ සුරක්ෂිත කිරීමට හා ඉහත සඳහන් පනත යටතේ ස්ථාපිත කරන ලද 'ජාතික සභාව' වෙනුවට වඩාත් ස්වාධීන වූ කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම මඟින් ආබාධ සහිත තැනැත්තන් සඳහා වඩාත් පුළුල් සේවාවක් ලබා දීම අරමුණු කරගනිමින්, 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ඖෂධ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීම

මෙරට ඖෂධ අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන අතර, ඒ සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වාර්ෂිකව වැය කිරීමට රජයට සිදුවේ. මෙයට පිළියමක් වශයෙන් ඖෂධ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීමට යෝජනා වී තිබේ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශය පරිදි, ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ඖෂධ අවම පිරිවැයක් යටතේ නිෂ්පාදනය කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සමඟ එක්ව ඖෂධ නිෂ්පාදනය කිරීමේ බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීමට ආයෝජකයින් දිරි ගැන්වීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


සමුද්‍රීය මත්ස්‍යයින්/කවච සහිත මත්ස්‍යයින් අභිජනන පර්යේෂණ සඳහා අභිජනනාගාරයක් ස්ථාපනය කිරීම

දේශීය හා විදේශීය වෙළඳපොළෙහි ඉහළ ඉල්ලුමක් ඇති, කකුළුවන්, මුහුදු කූඩැල්ලන්, දෙපියන් බෙල්ලන්, සමුද්‍රීය මත්ස්‍යයින් සහ කවච සහිත අනෙකුත් මත්ස්‍යයින් අභිජනනය කිරීම සහ එවැනි මත්ස්‍යයින් වාණිජමය වශයෙන් ඇති කිරීමේ තාක්ෂණය වැඩිදියුණු කිරීම පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සඳහා වන අභිජනනාගාරයක් ස්ථාපනය කිරීම සඳහා කල්පිටිය, කන්දකුලිය ප්‍රදේශයේ පිහිටි අක්කර 05ක ඉඩම් කොටසක්, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA) ‍වෙත ලබා දීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


දීර්ඝකාලීන ජාතික ධීවර ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කිරීම

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නඟා සිටුවීම සඳහා ජාතික ධීවර ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කිරීමත්, ශ්‍රී ලංකා ධීවර නිලධාරීන්ගේ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත්, ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජීවී වගා ‍ක්ෂේත්‍රයට නෝර්වේ රාජ්‍යයේ ආයෝජන ලබාගැනීම ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කරගනිමින්, වසර 3ක ව්‍යාපෘතියක් නෝර්වේ රාජ්‍යයේ තාක්ෂණික ආධාර යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ - මීරිගම සිට කුරුණෑගල දක්වා වන දෙවන කොටසෙහි ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා ලබාගැනීම

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන, කිලෝමීටර් 39.29ක දිගකින් යුතු දෙවන කොට‍සේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා වන උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ (CPCC) නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පිරිපහදු කරන ලද ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තු තුනකට (03) එළඹීම

පිරිපහදු කරන ලද ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් එළඹෙන ලද දිගුකාලීන කොන්ත්‍රාත්තුවල කාලය මේ වන විට අවසන්ව ඇති අතර, දිගුකාලීන ටෙන්ඩර මඟින් සියලු ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීමේ අරමුණින්, දිගුකාලීන කොන්ත්‍රාත්තු 03ක් සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් වෙන වෙනම මිල ගණන් කැඳවනු ලැබ ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ (SSCAPC) නිර්දේශය පරිදි, 2016-12-01 දින සිට 2017-07-31 දින දක්වා වන කාලය සඳහා එකී දිගුකාලීන කොන්ත්‍රාත්තු 03 ප්‍රදානය කිරීම පිණිස ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ජනපති පදවි ප්‍රාප්තිය දෙවර්ෂ පූර්ණය සැමරීම

2017 ජනවාරි 08 දිනට යෙදෙන තම පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණ සැමරුම අනවශ්‍ය උත්සව සහ සංදර්ශනවලින් තොරව සැමරීමටත්, 2017 අයවැය යෝජනා යටතේ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීම සහ මහජනතාවට වඩාත් ඵලදායී ලෙස ප්‍රතිඵල අත් කර දිය හැකි සංවර්ධන වැඩසටහන් ආරම්භ කිරීම මෙයට සමගාමීව සිදු කරන‍ ලෙසත් සියලු රාජ්‍ය ආයතනවලට උපදෙස් ලබා දී ඇති බවට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.