• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩල තීරණ - 2017.01.03

cabinet20162017.01.03 වැනි දින පැවැත් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් පරිදි වේ.

 

ජාතික ජෛව විවිධත්ව උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම

‍1992 වර්ෂයේදී පැවති 'මිහිකත සමුළුවට'(Earth Summit) සමගාමීව ඇති කර ගන්නා ලද 'අන්තර්ජාතික ජෛව විවිධත්ව සම්මුතිය' (Convention on Biological Diversity) සඳහා ශ්‍රී ලංකාව විසින් අත්සන් තබනු ලැබ ඇත. එකී සම්මුතියේ බැඳීම් අනුව ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා ශ්‍රී ලංකාව විසින් 1992 වසරේ ‍සිට 2016 වසර දක්වා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. එමෙන්ම 2016 වසරේ සිට වසර 2022 දක්වා වන කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ජෛව විවිධත්ව සංරක්ෂණ උපායමාර්ග ඇතුළත් ක්‍රියාකාරී සැලැස්මක්, අදාළ පාර්ශවකරුවන්ගේ දායකත්වය ඇතිව ජාතික ජෛව විවිධත්ව විද්වත් කමිටුව විසින් සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව සංරක්ෂණය, ජෛව සම්පත් තිරසර භාවිතය හා ඒතුළින් ලැබෙන ප්‍රතිලාභ සම සේ බෙදා හැරීම යන අරමුණු පෙරදැරිව සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම 2016 - 2022 ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සංචාරක හෝටල් නියාමනය කිරීම

සංචාරක ‍හෝටල් තරු 1 සිට තරු 5 දක්වා වර්ගීකරණය කිරීමට අදාළව පැවතිය යුතු අවම ධාරිතා හා පහසුකම් නියම කිරීම, ඊට අදාළ බලපත්‍ර ගාස්තු නියම කිරීම, සංචාරක හෝටල් විසින් පවත්වාගෙන යනු ලැබිය යුතු විනය සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම, සංචාරක හෝටල් ලියාපදිංචි කිරීම සහ ඒ සඳහා බලපත්‍ර ලබාදීම, සංචාරක හෝටල්වල අවම ඉඩ ප්‍රමාණ සහ පහසුකම් නියම කිරීම යන කරුණුවලට අදාළව 2005 අංක 38 දරන සංචාරක කටයුතු පනත යටතේ අමාත්‍යවරයා විසින් 1963/28 අංක දරන 20160420 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනයේ පළ කරනු ලැබ ඇති නියමයන්, නියෝග සහ රීති අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික උද්‍යාන, නව වනජීවී අභයභූමි ප්‍රකාශයට පත් කිරීම හා ප්‍රකාශයට පත් කර ඇති අභයභූමිවල මායිම් සංශෝධනය කිරීම

ශ්‍රී ලංකාවේ ස්වාභාවික වනපෙත්, තෙත්බිම් හා වනජීවීන් ආරක්ෂා කර ගැනීමටත්, විවධ අනවසර ක්‍රියාවන් හේතුවෙන් අවදානමට ලක්ව ඇති සත්ව වාසස්ථාන විනාශවීම අවම කරගැනීමටත් ප්‍රමුඛතාව දිය යුතුව ඇත. ඒ අනුව, කුරුණෑගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටි කහල්ල - පල්ලේකැලේ අභය භූමියේ කලා වැවට හා බළලු වැවට අයත් වනාන්තර ප්‍රදේශ 'කලාවැව ජාතික උද්‍යානය' ලෙස ප්‍රකාශයට පත්කිරීමටත්, එකී අභය භූමියේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඉතිරි වනාන්තර ප්‍රදේශ 'කහල්ල - පල්ලෙකැලේ ජාතික උද්‍යානය' වශයෙන් නම් කිරීමටත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පාසිකුඩා ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි සාගර කලාපය ආවරණය වන පරිදි 'කායන්කර්ණී සමුද්‍රීය ස්වභාව රක්ෂිතය' ප්‍රකාශයට පත් කිරීමටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කොටුඅත්තාවල වැව ආශ්‍රිත වන භූමි ප්‍රදේශය 'කොටුඅත්තාවල අභය භූමිය' වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අකුරල තෙත් බිම 'අකුරල වනජීවී අභය භූමිය' වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කොඩිගහකන්ද වන පෙත 'කොඩිගහකන්ද වනජීවී අභය භූමිය' වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, ශ්‍රී ලංකාවේ ගිනිකොන දිග වෙරළට ඔබ්බෙන් පිහිටි කුඩා රාවණා හා මහා රාවණා ප්‍රදීපාගාර පිහිටි කොරල්පර ඇතුළත් සාගර කලාපය 'කුඩා රාවණා මහා රාවණා සමුද්‍රීය අභය භූමිය' වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මාදු ගඟ අභය භූමියේ මායිම් සංශෝධනය කිරීමටත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ජාතික විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ අධිකාරිය (NASTICA) ස්ථාපිත කිරීම

සමාජ - ආර්ථික සංවර්ධනය සඳහා විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදන උදෙසා සිදු කෙරෙන ආයෝජනයන්ගෙන් උපරිම ප්‍රතිඵල ලබාගැනීමේ අරමුණින්, දැනට රේඛීය අමාත්‍යාංශ 21ක් මඟින් පරිපාලනය කෙරෙන පර්යේෂණ හා සංවර්ධන කටයුතුද, ගණනින් 80ක් පමණ වන විවිධ පර්යේෂණ ආයතන හා පර්යේෂණ මධ්‍යස්ථාන නිසි පරිදි සම්බන්ධීකරණය පහසු කිරීම සඳහා 'ජාතික විද්‍යා තාක්ෂණ සහ නවෝත්පාදන සම්බන්ධීකරණ අධික‍ාරියක් (NASTICA)' පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යෝජිත ජාතික වැඩිහිටි සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ උපායමාර්ග

උපතේදී අපේක්ෂිත ආයු කාලය ඉහළ යාමත්, දරු උපත් පහත වැටීමත් යන ප්‍රධාන හේතු නිසා වයස්ගත ජනගහනය ශීඝ්‍ර ලෙස ඉහළ යාම ශ්‍රී ලංකාව මුහුණ දෙන කාලීන ගැටලුවක් වේ. දැනට 12%ක් පමණ වන අවුරුදු 60ට වැඩි ජනගහනය, 2020දී 16% දක්වාත් 2050දී 29% දක්වාත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා වැඩිහිටි සෞඛ්‍ය සත්කාරක සේවා නිසි පරිදි දිශාගත කිරීම අවශ්‍ය වේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වඩාත් පුළුල් සෞඛ්‍ය සේවයක් ලබා දීමේ අරමුණින් සකස් කරනු ලැබ ඇති, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ, යෝජිත 'ජාතික වැඩිහිටි සෞඛ්‍ය ප්‍රතිපත්තිය' අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය

ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා, රෝග නිවාරණ සහ ප්‍රතිකාර සේවා රජ‍ෙය් රෝහල් මඟින් ලබා දීමේදී රෝග විනිශ්චය කිරීම, රෝග සඳහා ප්‍රතිකාර කිරීම සහ ප්‍රතිඵල ඇගයීම, පරිපාලන තීරණ ගැනීම, සැලසුම් කිරීම හා අධීක්ෂණය යන කාර්යයන් නිසි පරිදි සිදු කළ යුතු වේ. ඒ සඳහා නිවැරදි, විශ්වසනීය හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි, පිරිවැය සඵලදායී තොරතුරු පද්ධතියක් තිබීම වඩාත් හොඳින් සෞඛ්‍ය සේවාවන් සැපයීමට මනා පිටිවහලක් වේ. ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය තොරතුරු පද්ධතිය ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය සෞඛ්‍ය සේවාවෙන් ලබාගන්නා තොරතුරුවලින් සමන්විත වන අතර, ඉදිරියේදී සෞඛ්‍ය සේවා සපයනු ලබන පෞද්ගලික අංශයේ ආයතන සතු දත්ත බොහොමයක් එම තොරතුරු පද්ධතියට එක් කෙරෙනු ඇත. එමෙන්ම ලේඛන මත පදනම් වූ (Paper based) දත්ත ලබාගැනීමේ හා හුවමාරු කර ගැනීමේ ක්‍රමය, නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) ක්‍රමවේද යොදාගනිමින් වැඩිදියුණු කළ යුතුව තිබේ. ඒ අනුව, ජාතික සෞඛ්‍ය සේවා ප්‍රතිපත්තියේ අභිප්‍රායන් හා අනුකූල වන පරිදි සකස් කරනු ලැබ ඇති 'සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය', සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, අමාත්‍ය මණ්ඩලය විසින් එම ප්‍රතිපත්තිය අනුමත කරන ලදී.

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

- රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණවේදී උපාධිය හදාරනු ලබන සිසුන් 1,600 ක් පමණ වන අතර, මෙම පාඨමාලා සඳහා ‍යොමු වන අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. තවද, මෙම සිසුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කොළඹින් දුර බැහැර පදිංචි ශිෂ්‍යයෝ වෙති. මෙම සිසුන් සඳහා නවාතැන් පහසුකම් සැපයීම සඳහා ප්‍රමාණවත් තරම් නේවාසිකාගාර විශ්වවිද්‍යාලය සතු නොවන අතර, එහි දැනට පවතින ආපනශාලාවේද ඉඩකඩ ඉතා සීමිත වේ. ඒ අනුව, සිසුන් 600ක් සඳහා පහසුකම් සහිතව නව නේවාසිකාගාරයක්, එකවර 300කට පහසුකම් සැලසිය හැකි ආපණ ශාලාවක් සහ වෘත්තීය පුහුණුව ලබා දීමේ වැඩහලක් රුපියල් මිලියන 927.34ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය' සංස්ථාගත කිරීම

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන 'ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය' වෙනම නෛතික ආයතනයක් වශයෙන් පාර්ලිමේන්තු පනතක් මඟින් සංස්ථාගත කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, ඒ සඳහා සකස් කරනු ලැබ ඇති ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය පනත් කෙටුම්පත, රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය, උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් උසස් කිරී‍ම

ශ්‍රී ලංකාවේ පේෂකර්ම සහ ඇඟලුම් කර්මාන්තයේ පුහුණු කිරීම්, තත්ත්ව පරීක්ෂණ, කාර්මික සහ උපදේශන සේවා සැපයීමේ කාර්යයේ, 'ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය' නිරතව සිටී. දැනට වසරකට 4,500ක පමණ ශිෂ්‍ය පිරිසක් මෙම ආයතනය වෙතින් කෙටිකාලීන සහ දිගුකාලීන පාඨමාලා හදාරනු ලබන අතර දැනට ඉල්ලුමට සරිලන පරිදි පුළුල් පරාසයකින් සහතික පත් සහ ඩිප්ලෝමා මට්ටමින් පාඨමාලා පවත්වනු ලැබේ. රැකියා වෙළඳපොළේ තරගකාරීත්වයට මුහුණ දීමේ හැකියාව එහි ශිෂ්‍යයන් වෙත ලබා දීමේ අරමුණින්, ඉන්දියාවේ, පන්ජාබ්හි පිහිටි ලව්ලි වෘත්තීයමය විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වෙමින් පේෂකර්ම හා ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළ උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් මෙම ආයතනය උසස් කිරී‍මට යෝජනා වී තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය සහ ඉන්දියාවේ, පන්ජාබ්හි, ලව්ලි වෘත්තීයමය විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාර පූජාභූමිය සංවර්ධනය කිරීම

2017 වර්ෂයේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිත, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාර පූජාභූමිය සංවර්ධනය කටයුතු නිම කිරීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 35ක අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස බුද්ධශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධව අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ

පෙර පැවති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් දිවයිනේ උතුරු පළාතේ පිහිටි සිය ගම්බිම් හා දේපළ අතහැර දමා දිවයිනේ සෙසු ප්‍රදේශවල පිහිටි තාවකාලික වාසස්ථානවල හා නවාතැන්වල පදිංචි වී සිටි අවතැන් වූ තැනැත්තන් සහ පවුල්වල සාමාජිකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සුරක්ෂිත කිරීම පිණිස විධිවිධාන සලසන ලද 2013 අංක 27 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත ක්‍රියාත්මක වීම 2015 ජුනි මස 19 වන දිනෙන් අවසන් විය. මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශය අනුව, එම පනතේ පරමාර්ථ සාක්ෂාත් කරගැනීම තවදුරටත් අවශ්‍ය වන බැවින්, එම පනතේ විධිවිධාන බලපැවැත්වෙන කාල සීමාව තවත් වසර 04කට දීර්ඝ කිරීම සඳහා විධිවිධාන සැලසීමේ අරමුණින් සකස් කරනු ලැබ ඇති ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත, රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අදාළ අනුකාරක සභාවේ සභාපති වශයෙන් අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

එල්ෆින්ස්ටන් රඟහල ප්‍රතිසංස්කරණය කිරීම


1925 වර්ෂයේදී ඉදි කරන ලදුව, 1988 වර්ෂයේදී රජයට පවරා ගනු ලැබ ඇති, කොළඹ, එල්ෆින්ස්ටන් රඟහල, වර්තමානයේ ටවර් හෝල් රඟහල පදනම මඟින් පාලනය කරනු ලැබේ. මෙම රඟහල ආසන 600කින් සමන්විත රංග ශාලාවක් වශයෙන් නවීකරණය කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර, 2017 වර්ෂයේ මුල් කාර්තුවේදී එය මහජනතාව සඳහා නැවත විවෘත කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. එහි ඉදිරි වැඩ කටයුතු නිම කිරීම සඳහා අවශ්‍ය අතිරේක අරමුදල් සලසා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාව තුළ එළවළු හා පලතුරු සඳහා අගය එකතු කිරීමේ මධ්‍යස්ථාන (Value Addition Centers)ඉදි කිරීම

විදේශ වෙළඳපොළ ඉලක්ක කරගනිමින් විදේශ රටවල තත්ත්වයන්ට හා අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි එළවළු හා පලතුරු අපනයනය කිරීමට දේශීය ගොවීන්ට සහ ව්‍යාපාරිකයින්ට පහසුකම් සැලසීමට රජය විසින් කටයුතු කරනු ලැබේ. ඒ අනුව, එළවළු සහ පලතුරු සකස් කිරීමේ, ඇසුරුම් කිරීමේ හා ගබඩා කිරීමේ පහසුකම් සහිත, ඒවායේ එකතු කළ අගය ඉහළ නැංවීම සඳහා වෙන් වූ මධ්‍යස්ථාන 03ක්, රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතාව යටතේ ගොවිපළ ආශ්‍රිතව ආරම්භ කිරීම පිණිස ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහ කොළඹ අපජල හා ජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - ව්‍යාපෘති අංක 2

-ආසියානු සංවර්ධන බැංකුව සහ සංවර්ධනය සඳහා වූ ප්‍රංශ නියෝජිතායතනය (Agence Francaise de Developpement) මඟින් සලසනු ලබන අරමුදල් මඟින් ක්‍රියාත්මක කෙරෙන මහ කොළඹ අපජල හා ජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනෙහි ව්‍යාපෘති අංක 2 යටතේ ඝන මීටර 15,000ක ධාරිතාව සහිත ගොතටුව භූගත ජලාශය, ගොතටුව ජල පොම්පාගාරය හා බූස්ටර් පොම්පාගාරය ඉදි කිරීම සහ ජලය සම්ප්‍රේෂණය කිරීම සඳහා මිලිමීටර 1,200 DI නළ සපයා එළීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සියඹලාන්ඩුව ජල සම්පාදන යෝජනා ක්‍රමය ඉදි කිරීම

මොනරාගල දිස්ත්‍රික්කයේ, සියඹලාන්ඩුව ජල සම්පාදන යෝජනා ක්‍රමය, ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර එමඟින් සියඹලාන්ඩුව හා මුතුකණ්ඩිය ප්‍රදේශවල නිවාස 8,450 කට පමණ සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය සැපයෙනු ඇත. මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමය ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'දරුවන් සුරකිමු' ජාතික වැඩසටහන - 2017-2019

සමාජය තුළ දැනට පැතිර යන විවිධ ව්‍යසනයන්ගෙන් ජාතික ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂා කරගැනීමේ ප්‍රමුඛ අවශ්‍යතාව රජය විසින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, අපයෝජනය/අපහරණය වැළැක්වීම හා ළමා ආරක්ෂාව තහවුරු කිරීම, සෞඛ්‍ය, පෝෂණය හා සුබසාධනය, පෞරුෂ සංවර්ධනය, අධ්‍යාපනය සහ ජීවන කුලසලතා යන ප්‍රධාන ක්ෂේත්‍ර තුන (03) යටතේ සියලු පැතිකඩයන් ආවරණය වන පරිදි සකස් කරනු ලැබ ඇති ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව, 2017 වසරේ සිට 2019 වසර දක්වා වන තුන් අවුරුදු කාල සීමාව තුළ 'දරුවන් සුරකිමු' ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'බලගතු ශ්‍රී ලංකාවක්' රජයේ සංවර්ධන සැලැස්ම

වර්තමාන රජය විසින් යෝජනා කරනු ලැබ ඇති ආර්ථික සංවර්ධන සැලසුම් සහ එම සැලසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත් කරගනු ලැබ ඇති ප්‍රගතිය පිළිබඳ රාජ්‍ය නිලධාරින් හා මහජනතාව දැනුවත් කිරීම පිණිස සකස් කරනු ලැබ ඇති, 'බලගතු ශ්‍රී ලංකාවක්' යන මැයෙන් වූ ප්‍රකාශනය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.