මහජන බැංකුවේ yes සන්නම් නාම තානාපති වශයෙන් කටයුතු කළ, උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර මහතා වෙත නව නිවසක් පිරිනැමීමට මහජන බැංකුව පසුගියදා පියවර ගත්තේය.
මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා අතින් මංජුල කුමාර කි‍්‍රඩකයා වෙත නිවසේ ඔප්පුව පිරිනමන ලදි.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී එන්.වසන්ත කුමාර්, අලෙවි හා පර්යේෂණ ප්‍රධානී දීපාල් අබේසේකර, මංජුල කුමාර මහතාගේ කළමනාකරු ෆාරිස් ඉස්මයිල් යන මහත්වරුන්ද සහභාගි වූහ. මාතර, මොරවක ප්‍රදේශයේ ඉතා දුෂ්කර ගම්මානයක ඉපිද දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයෙන් කී‍්‍රඩාවට අවතීර්ණ වූ ඩබ්ලිව්. පී.මංජුල කුමාර 2001 වර්ෂයේ සිට මෙරට ජාතික උස පැනීමේ ශුරයා වේ. ඔහු 2005 සහ 2009 වසර වලදී ආසියානු ශුරතා මළල ක්‍රීඩා උළෙල වලදී මෙන්ම 2004, 2006 සහ 2016 දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලවලදී රන් පදක්කම් හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දුන්නේය.
වසර 48කට පසු උස පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර 2004 වසරේදී ඇතැන්ස් ඔලිම්පික් උළෙලට සහභාගි වීමට ද ඔහුට හැකි විය. එමෙන් ම උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව මෙන්ම දකුණු ආසියානු වාර්තාවද මංජුල කුමාර සතුවේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව සිය බැංකුකරණ කටයුතු වලට පමණක්ම සීමා නොවී ආයතනික සමාජ වගකීම් සඳහා යොමුවෙමින් සමාජයේ විවිධ අංශ වල නියැලී සිටින පුද්ගලයින්ට මෙන්ම දක්ෂ ක්‍රීඩික ක්‍රීඩිකාවන්ටද දිරිය ලබාදීමට ආරම්භයේ සිටම කැපවී ක්‍රියා කරයි. මංජුල කුමාර කී‍්‍රඩකයාට නිවසක් පිරිනැමීමට මහජන බැංකුව ක්‍රියා කළේ ඔහුගේ ක්‍රීඩා දිවිය ඇගයීමට ලක්කිරීමේ අරමුණිනි.