• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩල තීරණ-2019.02.12

2019-02-12 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත පරිදි වේ.

නිදන්ගත වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන - 2019
- දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන නිදන්ගත වකුගඩු රෝගය මැඩලීම සඳහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය පිහිටුවන ලද අතර, එමඟින් ඒකාබද්ධ ප්‍රවේශයක් හරහා විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සම්බන්ධ කරගනිමින් වකුගඩු රෝග නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන මඟින් අපේක්ෂිත ඉලක්ක තවදුරටත් ලඟා කරගැනීම සඳහා මෙම වැඩසටහන 2019 වර්ෂය සඳහාද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇති අතර, ඒ සඳහා වාර්ෂික ක්‍රියාකාරි සැලැස්මක්ද පිළියෙල කරනු ලැබ ඇත. මෙම වාර්ෂික ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාජ්‍ය අංශයෙහි වැටුප් සමාලෝචනය සඳහා පත් කරන ලද විශේෂ කොමිෂන් සභා වාර්ත‍ාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා අනුකමිටුවක් පත් කිරීම
- රාජ්‍ය අංශයේ පවතින වැටුප් ව්‍යුහය සමාලෝචනය කරමින් වර්තමානයේ පැන නැඟී ඇති වැටුප් විෂමතා නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විශේෂ වැටුප් සමාලෝචන කොමිෂන් සභාවක් අතිගරු ජනාධිපතිතුමා විසින් මීට පෙර පත් කරන ලදී. ඒ අනුව, එම විශේෂ කොමිෂන් සභාව විසින් වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සඳහා සිදු කළ යුතු නිර්දේශ ඇතුළත් වාර්තාව අතිගරු ජනාධිපතිතුමා වෙත පිළිගන්වා ඇත. එම වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධ්‍යයනය කර අවසන් යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගංවතුරෙන් හා නායයෑම් වලින් හානියට පත් වූ ප්‍රදේශවල පුනරුත්ථාපන හා නැවත ඉදි කිරීම් කටයුතු වෙනුවෙන් ගෙවීම් නිරවුල් කිරීම
- ගංවතුරෙන් හා නායයෑම් වලින් හානියට පත් වූ ප්‍රදේශවල පුනරුත්ථාපන හා නැවත ඉදි කිරීම් කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් නිරවුල් කර නොමැති ගෙවීම් සිදු කිරීමට හැකි වන පරිදි අදාළ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අවශ්‍ය අරමුදල් සලසා දීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයේ රේඛීය ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යාම
- අධික ජන ඝනත්වයකින් යුත් නැ‍ඟෙනහිර කොළඹ, කඩුවෙල සහ මාලඹේ යන ජනාකීර්ණ ප්‍රදේශවල වෙසෙන ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීම පිණිස වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වැනි රජයේ රේඛීය ශික්ෂණ රෝහලක් ලෙස අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතව පවත්වාගෙන යාමට යෝජනා වී ඇත. ඒ අනුව කොළඹ නැ‍ඟෙනහිර මූලික රෝහලට (මුල්ලේරියාව රෝහලට) සමගාමීව කොළඹ නැ‍ඟෙනහිර ශික්ෂණ රෝහල ලෙස වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල පවත්වාගෙන යාම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ වායු තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා වූ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල ඉඩකඩ සීමිත වීම හේතුවෙන් නිවාස, රජයේ හා ව්‍යාපාරික ස්ථානවල වෙසෙන ජනතාව වායු දුෂ්‍යකාරකවලට නිරන්තරයෙන් ගොදුරු වීම නිසා බරපතල සෞඛ්‍යමය ගැටලුවලට මුහුණ දෙන බව හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය පාලනය කිරීම සහ වායුගෝලයේ ගුණාත්මක තත්ත්වය ඉහළ නංවා ගැනීම පිණිස ගොඩනැඟිලිවලින් සිදු කෙරෙන වායු විමෝචනය පාලනය කිරීම සඳහා පියවර ගැනීමේ වැදගත්කම අවශ්‍යව තිබේ. එබැවින් වායු දුෂ්‍යකාරකවලින් සිදු වන සෞඛ්‍ය බලපෑම අවම කරගැනීම සඳහා වන 2019 - 2021 තුන් අවුරුදු නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීම
- කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙස වැඩිදියුණු කිරීම මඟින්, ශ්‍රී ලංකාව කලාපීය සමුද්‍රිය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ ප්‍රයත්නයට ලැබෙන පිටිවහල සහ එය වාණිජ වරායක් ලෙස වැඩිදියුණු කිරීම මඟින් උතුරු ප්‍රදේශයේ වෙළඳ කටයුතු ප්‍රවර්ධනයට ලබාගත හැකි දායකත්වය කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව එම වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කරගැනීම, යටිතල පහසුකම් සහ අනෙකුත් උපයෝගීතා පහසුකම් සැලසීම පිණිස සැලසුම් සකස් කර තිබේ. එමෙන්ම මෙම ප්‍රදේශයේ ආර්ථික සංවර්ධනයට සමාගමීව ආගමික හා සාමාජීය සංවර්ධනයක් ඇති කරගැනීම සඳහා එම ප්‍රදේශයේ පිහිටා ඇති අයියනාර් කෝවිල ප්‍රතිසංස්කරණය කිරීමටද සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව අදාළ කටයුතු සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා රේගුව සඳහා බහාළුම් ප්‍රවාහන නිරීක්ෂණ හා අධීක්ෂණ පද්ධතිය
- ආනයනය කරනු ලබන බහාළුම් 1,150 සිට 1,450ක් පමණ හා අපනයනය කරනු ලබන බහාළුම් 350 සිට 450ක් පමණ එක් දිනක් තුළ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් නිෂ්කාශනය කරනු ලබයි. මෙහිදී අදාළ භාණ්ඩ ආනයනකරු වෙත මුදා හැරීමට ප්‍රථම විවිධ ස්ථානයන්හිදී පරීක්ෂාවට ලක් කරන අතර, ඇතැම් අධි අවදානම් සහිත භාණ්ඩ වැඩිදුර පරීක්ෂාව හා නිෂ්කාශනය සඳහා විශේෂිත ස්ථාන වෙත ප්‍රවාහනය කරනු ලබයි. මෙම භාණ්ඩ තොගවල ආරක්ෂාව සඳහා බහාළුම් දොර අගුළු මත ලෝහ මුද්‍රා තබනු ලබයි. එසේ වුවත් වර්තමානයට ගැළපෙන පරිදි එම කටයුතු නවීකරණය කළ යුතුව ඇත. ඒ අනුව බහාළුම් ප්‍රවාහනය හා අධීක්ෂණය සඳහා නවීන තාක්ෂණික අංගෝපාංග හඳුන්වාදීමටත්, එමඟින් බහාළුම්වල අන්තර්ගත භාණ්ඩ පිළිබඳ අඛණ්ඩ අධීක්ෂණයක් සිදු කිරීමට හා බහාළුම් පවතින භූගෝලීය ස්ථානයන් නිශ්චිතව හඳුනාගැනීමටත් අපේක්ෂිතය. එමෙන්ම බහාළුම්වල ආරක්ෂාව තහවුරු කිරීම පිණිස අවශ්‍ය නවීන ආරක්ෂක අංගෝපාංගවලින් සමන්විත නවීන තාක්ෂණය හඳුන්වාදීමටද යෝජිතය. මෙම කටයුතු සඳහා සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගැනීමට ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නායයාම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතිය
- මෑත කාලයේදී නායයාම් සිදු වීමේ වර්ධනයක් හඳුනාගත හැති අතර, මෙම නායයාම් හේතුවෙන් ජීවිත හා දේපළ හානි සිදු වීම මෙන්ම ආර්ථික හා සාමාජීය යහපැවැත්මටද බාධා එල්ල වී ඇත. නායයාම් වැළැක්වීම සඳහා යම් යම් කෙටිකාලීන ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන තිබුණද මේ සඳහා ස්ථිර වැළකුම් ක්‍රමෝපායන් මඟින් නායයාම් අවදානම අවම කිරී‍ම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නායයාමේ අධි අවදානම් සහිත ස්ථාන 27ක්ද දෙවන අදියර යටතේ උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි අවදානම් ස්ථාන 20ක් ඇතුළු නායයාමේ අධි අවදානම් සහිත ස්ථාන 120ක් ආවරණය කිරීමට නියමිතය. ඇමරිකානු ඩොලර් මිලියන 110ක ආයෝජනයක් සහිතව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වැලිවිට ජලසම්පාදන ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීම
- අතුරුගිරිය, හෝමාගම, කඩුවෙල, මාලඹේ, පන්නිපිටිය, මහරගම, දෙහිවල, කෝට්ටේ හා බත්තරමුල්ල වැනි ප්‍රදේශවල අනාගත ජල ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමුඛතා ව්‍යාපෘතියක් වශයෙන් වැලිවිට ජලසම්පාදන ව්‍යාපෘතිය හඳුනාගනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීමට නියමිත වැලිවිට ප්‍රදේශයේ තුළුමුව හා ජල පවිත්‍රාගාරය, හෝකන්දර භූගත ජලාශය සහ ජයවඩනගම පොම්පාගාරය යන ඉදි කිරීම් සඳහා අවශ්‍ය වන ඉඩම් කොටස් අත්පත් කරගැනීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඇටෝර්නි බලපත්‍ර ආඥා පනත සංශෝධනය කිරීම
- ව්‍යාජ ලේඛන ලියා සහතික කිරීම වැළැක්වීම, ව්‍යාජ ලේඛන මත ගනුදෙනු සිදු කිරීම වැළැක්වීම, වංචනික ක්‍රියා වැළැක්වීම යන අරමුණු ඉටු කරගැනීම සඳහා සහ ඇටෝර්නි බලපත්‍රයක් ලියා සහතික කිරීම, ලියාපදිංචි කිරීම, අවලංගු හෝ බල රහිත බව තහවුරු කරගැනිම, අවලංගු හෝ බල රහිත කිරීමේ කාර්යය පටිපාටිය, තොරතුරුවල රහසිගත බව සුරැකීම ආදිය වඩාත් ඵලදායී අයුරින් සිදු කළ හැකි වන පරිදි ඇටෝර්නි බලපත්‍ර ආඥා පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කැලණි ගංවතුර ආරක්ෂක බැම්මෙහි මූලික සවිස්තරාත්මක ඉංජිනේරු සැලසුම් සඳහා අවශ්‍ය වන භූ විද්‍යා පරීක්ෂණ සිදු කිරීම
- කැලණි ගංඟා ද්‍රෝණිය ආශ්‍රිතව ගංවතුර තත්ත්වය අවම කිරීම සඳහා දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ යෝජිත කැලණි ගංවතුර ආරක්ෂක බැම්මෙහි මූලික සවිස්තරාත්මක ඉංජිනේරු සැලසුම් සඳහා අවශ්‍ය වන භූ විද්‍යා සමීක්ෂණ කටයුතු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මඟින් කඩිනමින් ඉටුකරවා ගැනීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම් හා මැදි ආදායම් නිවාස සංවර්ධනය
- හම්බන්තොට ජන ඝනත්වයෙන් අධික, නිසි සනීපාරක්ෂක පහසුකම් හා විනෝදාස්වාද කටයුතු සඳහා අවශ්‍ය ඉඩකඩ නොමැති, ධීවර ප්‍රජාව වෙසෙන ප්‍රදේශයන්හි නිවාස ඉදි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර තිබේ. ඒ යටතේ හඳුනාගෙන ඇති කොහොලන්කල ප්‍රදේශයේ අක්කර 7ක හා තංගල්ල ප්‍රදේශයේ පර්චස් 60ක භූමි ප්‍රදේශ තුළ අඩු ආදායම්ලාභීන්ට නිවාස 310ක් හා මැදි ආදායම්ලාභීන්ට නිවාස 56ක් ඉදි කිරීමට නියමිතව ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාගැනීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මගී ප්‍රවාහන බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය සමාලෝචනය කිරීම හා නව වැඩ පිළිවෙලක් සකස් කිරීම
- අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය ආරම්භ කිරීමෙන් පසුව බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුව ඇති ගැටලු අධ්‍යයනය කර බස්රථ සඳහා ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට, අදාළ පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

මෝටර් වාහන පනත යටතේ බරපතල වැරදි කිහිපයක් සඳහා අය කරනු ලබන දඩ මුදල් සංශෝධනය කිරීම
- මාර්ග අනතුරු සඳහා විශාල වශයෙන් හේතුවන බරපතල වැරදි කිහිපයක් සඳහා වන දඩ මුදල් ඉහළ දැමීම සඳහා මීට පෙර යෝජනා වූ නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමට පෙර විවිධ පාර්ශ්ව විසින් දැක්වූ කරුණු සැලකිල්ලට ගෙන අතිගරු ජනාධිපතිතුමා විසින් මේ සම්බන්ධයෙන් අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කරන ලදී. එම කමිටුව විසින් රථවාහන අනතුරු සඳහා විශාල වශයෙන් හේතුවන වැරදි 10ක් හඳුනාගනු ලැබ ඇති අතර, එම වැරදි සඳහා වන දඩ මුදල් සංශෝධනය කිරීමටද නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, ඒ සඳහා කෙටුම්පත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පොදුරාජ්‍ය මණ්ඩලයේ නීති අමාත්‍යවරුන්ගේ හමුව සඳහා සත්කාරකත්වය දැරීම
- පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන්හි නීති අමාත්‍යවරුන්ගේ හා නීතිපතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයේ නීති අමාත්‍යවරුන්ගේ හමුව සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දැරීමට යෝජනා වී ඇත. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ කම්පන සුනාමි නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ විද්‍යාගාර ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව
- භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ කම්පන සුනාමි නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ විද්‍යාගාර ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මධ්‍යම ඉංජිනේරු සේවා (පුද්ගලික) සමාගම (CESL) වෙත රුපියල් මිලියන 383.2ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මෙහෙයුම් කාර්යක්ෂම කිරීම
- ශ්‍රී ලංකාව තුළ මුදල් සංසරණයේ වැඩි වන ප්‍රවණතාවය හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මෙහෙයුම් සඳහා දැනට පවතින ධාරිතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. ඒ සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මෙහෙයුම් කාර්යක්ෂම කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අනුරාධපුර සහ මන්නාරම ග්‍රිඩ් උපපොළවල්හි වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
- නව අනුරාධපුර ග්‍රිඩ් උපපොළෙහි කිලෝ වෝල්ට් 220, මෙගා වාර් 2 x 50 ධාරිතාවයෙන් යුත් විචල්‍ය සමාන්තර රියැක්ටර් සහ මන්නාරම ග්‍රිඩ් උපපොළෙහි කිලෝ වෝල්ට් 220, මෙගා වාර් 50 ධාරිතාවයෙන් යුත් විචල්‍ය සමාන්තර රියැක්ටර් සවිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Siemens Ltd. සහ DIMO (Pvt) Ltd. විසින් ඇති කරගත් සමූහය වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යලය සඳහා නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
- ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යලය සඳහා නව ගොඩනැඟිලි සංකීර්ණයක් සැලසුම් කොට ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 3,054.2ක මුදලකට සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් (පුද්ගලික) සමාගම වෙත පිරිනැමීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කතරගම හා කැබිලිත්ත ප්‍රදේශයේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම
- බැතිමතුන්ගේ හා සංචාරකයින්ගේ ගෞරවයට පාත්‍ර වූ කතරගම පූජා නගරය අධික සංචාරක ආකර්ශණයක් සහිත පූජා නගරයකි. සති අන්තයේදී දිනකට 10,000කට අධික පිරිසක් මෙම පූජා නගරයට පැමිණෙන අතර, පෙරහැර සමයේදී එය දිනකට ලක්ෂ 05 ඉක්මවයි. මෙම බැතිමතුන්ගේ හා සංචාරකයින්ගේ භාවිතය සඳහා කතරගම හා කැබිලිත්ත ප්‍රදේශවල රුපියල් මිලියන 50ක පිරිවැයක් යටතේ සනීපාරක්ෂක පහසුකම් ස්ථාපිත කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මාතර - හක්මන මාර්ගයේ මුල් කිලෝ මීටර් 2ක කොටස පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම
- මාතර - හක්මන මාර්ගයේ කිලෝමීටර 24.14ක කොටස වැඩිදියුණු කිරීම සඳහා එළඹ ඇති තීරණය අනුව එම මාර්ගය වැඩිදියුණු කිරීම සිදු කර තිබෙන නමුත් විවිධ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් එම මාර්ගයෙහි මුල් කිලෝ මීටර 2ක කොටසේ වැඩිදියුණු කිරීමේ කටයුතු මේ දක්වා ප්‍රමාද වී තිබේ. 2020 වර්ෂයේදී විවෘත කිරීමට නියමිත දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවට පහසු ප්‍රවේශයක් ලබා දීමට නියමිත මෙම මාර්ගය, මාතර නගර ප්‍රදේශයේ රථවාහන තදබදය අවම කරනු ඇතැයිද අපේක්ෂිතය. ඒ අනුව, රුපියල් මිලියන 869ක පිරිවැයක් දරමින් මාතර - හක්මන මාර්ගයේ පළමු කිලෝ මීටර 2ක කොටස සංවර්ධනය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රත්නපුර නගරයේ අතුරු මාර්ගයක් (Bypass Road) ඉදි කිරීම
- කෙළඹ-රත්නපුර-වැල්ලවාය-මඩකළපුව මාර්ගය රත්නපුර නගරය හරහා දිවෙන අතර, රථවාහන තදබදය හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි ප්‍රමාදයන් සිදුවේ. එමඟින් සිදුවන ඉන්ධන නාස්තිය සහ පරිසරය දූෂණය හේතු කොටගෙන ජනතාව දැඩි පීඩනයකට ලක්ව ඇත. වාහන තදබදයට අමතරව නිරන්තරතයෙන් සිදු වන ගංවතුර තත්ත්වය හේතුවෙන්ද මෙම මාර්ගයේ ගමනාගමනයට බාධා සිදුවේ. එයට පිළියමක් ලෙස එම නාගරික ප්‍රදේශය මඟ හැර, ගංවතුර මට්ටමට වඩා ඉහළින් පිහිටන සේ අතුරු මාර්ගයක් ඉදි කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, වෙරළුපේ සිට වරකාතොට පාලම දක්වා මංතීරු හතරකින් යුත් කිලෝ මීටර 2.2ක අතුරු මාර්ගයක් ඉදි කිරීමටත්, එම අතුරු මාර්ගයේ මීටර 900ක දිගින් යුත් පාලම් 03ක් ඉදි කිරීමටත් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මන්නාරම් හා කාවේරි ද්‍රෝණි ආශ්‍රිතව තෙල් සහ ස්වාභාවික වායු ‍ගවේෂණය සඳහා ගුවන්ගතව සිදුකරන ගුරුත්ව, ගුරුත්ව අනුක්‍රමික සහ චුම්බක සමීක්ෂණ සිදු කිරීම
- කාවේරි ද්‍රෝණි‍යේ සහ මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව පිහිටා ඇතැයි සැලකෙන ඛනිජ තෙල් නිධි හා ස්වාභාවික ගෑස් නිධි පිළිබඳව ශ්‍රී ලංකාවේ අක් වෙරළෙහි ගුවන්ගතව සිදු කිරීමට නියමිත ගුරුත්ව, ගුරුත්ව අනුක්‍රමික සහ චුම්බක සමීක්ෂණ සඳහා ප්‍රවීණතාවයක් දක්වන භූ විද්‍යා ගවේෂණ සමාගමක් තෝරා ගැනීම සඳහා කරන ලද යෝජනා කැඳවීම අනුව මෙම සමීක්ෂණ සිදු කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ අනුව Bell Geospace Ltd වෙත පිරිනැමීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තරුණ ගොවි සමුපකාර ගම්මාන වැඩසටහන හරහා ග්‍රාමීය තරුණ තරුණියන් නඟා සිටුවීම
- යොවුන්පුරය 2019 ජාතික වැඩසටහන මාර්තු මාසයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිත අතර, ඊට සමගාමීව නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ග්‍රාමීය තරුණ කොටස් සම්බන්ධ කරගැනීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, ජාතික නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දායකත්වය ලබා දිය හැකි අවිවාහක තරුණ තරුණියන් වෙත එක් වරක් ලබා දෙන සුවිශේෂී දිරිගැන්වීමක් ලෙස තමන්ගේම නිවසක් ඉදි කරගැනීම සඳහා පර්චස් 15ක ඉඩමක්, කෘෂි කාර්මික කාර්යයන් සඳහා පර්චස් 40ක වගා බිමක් හා ඔවුන්ට අවශ්‍ය මග පෙන්වීම් ලබා දීම සහ තරුණ ගොවි සමුපකාර ගම්මාන වැඩසටහන හරහා ඔවුන් ජාතික ආර්ථිකයට දායක කරගැනීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තිරසර සනීපාරක්ෂක විසඳුම් පිළිබඳ කලාපීය සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
- සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සම්මන්ත්‍රණය සඳහා කලාපීය සනීපාරක්ෂක මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන තිරසර සනීපාරක්ෂක විසඳුම් පිළිබඳ කලාපීය සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය සහිතව 2019 පෙබරවාරි 21-23 දක්වා කොළඹ දී පැවැත්වීමට සංවිධානය කර ඇත. ඒ සඳහා දකුණු ආසියානු කලාපයේ රටවල නියෝජිතයින්, ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥයින්, ක්ෂේත්‍රයේ නියැලී සිටින දේශීය සහ විදේශීය රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ගේ සහභාගිත්වය සහිතව පැවැත්වීමට නියමිත බවට නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

සුළු හා මධ්‍ය පරිමාණ හාල්මෝල් හිමියන්ට කඩිනම් සහන සැලසීම
- සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් විසින් ලබා ගත් ණය සඳහා වාරික ගෙවීමේ අපහසුව සහ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය කාරක ප්‍රාග්ධනය නොමැති වීම යනාදී ගැටලු හේතුවෙන් එම මෝල් හිමියන් මුහුණ දී ඇති දුෂ්කරතා මඟහරවා ඔවුන් වෙත කඩිනමින් සහන සැලසීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව දිස්ත්‍රික් සමුපකාර සමිතිවල සාමාජික මෝල් හිමියන් හරහා ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා අරමුදල් ලබා දීමටත්, එම අරමුදල් භාවිතා කරමින් තම කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම මඟින් ලබා ගත හැකි ඉපැයුම් හරහා ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දේශීය කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට බලපා ඇති ගැටලු විසඳීම පිණිස විවිධ ක්‍රම මඟින් කුළුබඩු ආනයනය කිරීම අත්හිටුවීම
- ආනයනික ගම්මිරිස් හා කරුංකා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීම, ආනයනික සාදික්කා/වසාවාසි හා සියඹලා පකිස්ථානයට ප්‍රතිඅපනයනය කිරීම සහ ශ්‍රී ලංකාවේ කුරුඳු වංචනිකව අපනයනය කිරීම යනාදිය හේතුවෙන් දේශීය කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට බලපා ඇති ගැටලු විසඳීම පිණිස අපනයන සැකසීම සඳහා තාවකාලිකව ආනයනය කිරීම, අන්තරාල වෙළඳාම සහ වාණිජ කේන්ද්‍රස්ථාන මෙහෙයුම් යනාදී ක්‍රම මඟින් ශ්‍රී ලංකාව‍ වෙත ගම්මිරිස්, කරුංකා, සාදික්කා/වසාවාසි, සියඹලා සහ කුරුඳු ආනයනය කිරීම අත්හිටුවීමටත් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාව හා පකිස්ථානය වෙත ප්‍රතිනැව් ගත කෙරෙන ඉහත සඳහන් ආනයනික කුළුබඩු ශ්‍රී ලාංකික නිෂ්පාදන ලෙස වාර්තා වීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමටත් සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය
- මෙරට තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලයන්හි තාක්ෂණික පීඨ ස්ථාපිත කිරීමටත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයක් ස්ථාපිත කිරීමටත් සැලසුම් කරනු ලැබ ඇත. එමඟින් එක් අධ්‍යයන වර්ෂයකදී සිසුන් 830 දෙනෙකුට උසස් අධ්‍යාපන අවස්ථා හිමි වනු ඇත. රුපියල් මිලියන 26,400ක ආයෝජනයක් සහිතව සිසුන්ගේ භාවිතය සඳහා අවශ්‍ය නවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැඟිලි සංකීර්ණ ඇතුළු පහසුකම් සැපයීම පිණිස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.