• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩල තීරණ-2019.02.26

2019-02-26  වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්විමේදි එළැඹි තීරණ පහත පරිදි වේ

 

2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනතේ විධිවිධාන අනුව අන්තර් අමාත්‍ය කමිටුවක් ප්‍රතිස්ථාපනය කිරීම
- 2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත යටතේ තොරතුරු තාක්ෂණ කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනයේදී රජයට උපදෙස් ලබා දීම සඳහා අන්තර් අමාත්‍ය කමිටුවක් පිහිටුවීමට අවශ්‍ය විධිවිධාන සැලසී ඇත. වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් කැබිනට් අමාත්‍යවරුන්, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් නොවන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් යුත් 17 දෙනෙකුගෙන් සමන්විත අන්තර් අමාත්‍ය කමිටුවක් පත් කර එම කමිටුව ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍යවරයා විසින් කරන ලද ඉල්ලීම අනුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කැටවලමුල්ල පිහිටි ‍ශ්‍රී ලංකා පොලීසියේ නිවාස සංකීර්ණය වැඩිදියුණු කිරීම
- ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සඳහා නිල නිවාස පහසුකම් සපයන නිල නිවාස සංකීර්ණ දෙකක් කොළඹ කැටවලමුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති අතර, ඉන් එක් නිවාස සංකීර්ණයක් ඉතා අබලන් තත්ත්වයේ පවතින බැවින් අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදු කළ යුතුව ඇත. එම අත්‍යවශ්‍ය අලුත්වැඩියා හා වැඩිදියුණු කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පොල්පිතිගම පොලිස් ස්ථානය ඉදි කිරීම
- පොල්පිතිගම පොලිස් ස්ථානය ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දුන් අතර, විවිධ ප්‍රායෝගික හේතූන් මත එම ඉදි කිරීම් කටයුතු මෙතෙක් ප්‍රමාද වී ඇත. එබැවින් මෙම ඉදිකිරීම් කටයුතු ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ උපදේශකත්වය යටතේ විධිමත්ව සිදු කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සංචාරකයන් ආකර්ශණය කරගැනීම සඳහා නිදහස් වීසා නිකුත් කිරීම
- වසරේ අනෙකුත් කාලයන්ට සාපේක්ෂව අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා කාල පරාසය තුළ සංචාරකයින්ගේ පැමිණීම අඩු අගයක් ගන්නා බව නිරීක්ෂණය වී ඇත. එසේ වුවද මැයි සිට අගෝස්තු දක්වා වන කාල සීමාව තුළ වෙසක් හා පොසොන් උත්සව සහ ඇසළ පෙරහැර වැනි බෞද්ධාගමික උත්සව සහ සංස්කෘතිකාංග රාශියක් දිවයින පුරා පැවැත්වෙන බැවින් බුදු දහම ප්‍රචලිතව ඇති තායිලන්තය වැනි ආසියානු රටවල බෞද්ධ සංචාරකයින් ආකර්ශණය කරගත හැකි වෙතැයි අපේක්ෂා කරනු ලැබේ. මෙම තත්ත්වය සලකා එම කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය කරගැනීම සඳහා 2019 අප්‍රේල් 01 දින සිට මාස 06ක කාල පරිච්ඡේදයක් සඳහා තායිලන්ත සංචාරකයින්ට නිදහස් වීසා පහසුකම් ලබා දීමට යෝජනා වී තිබේ. ඒ අනුව තායිලන්ත සංචාරකයින්ට මෙන්ම යු‍රෝපා සංගමයට අයත් රටවල්, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව, මැලේසියාව, නවසීලන්තය යන රටවල සංචාරකයින් සඳහාද මෙම පහසුකම ලබා දීමට සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

විදේශීය විශ්වවිද්‍යාල/උපාධි පිරිනමන ආයතනයන්ට අනුබද්ධව පිරිනමනු ලබන ‍විදේශීය උපාධි පාඨමාලා පවත්වනු ලබන මෙරට අධ්‍යාපන ආයතනයන් ලියා පදිංචි කිරීම/නියාමනය කිරීම
- විදේශීය විශ්වවිද්‍යාල/උපාධි පිරිනමන ආයතනයන්ට අනුබද්ධව පිරිනමනු ලබන ‍විදේශීය උපාධි පාඨමාලා පවත්වනු ලබන අධ්‍යාපන ආයතනයන් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන අතර, මෙම ආයතන විසින් පවත්වාගෙන යනු ලබන පාඨමාලා දේශීය මෙන්ම විදේශීය ශිෂ්‍යයින් විසින් ද හදාරනු ලබයි. මෙම උපාධි පාඨමාලාවන්හි ප්‍රතීතණය සහ තත්ත්ව ආරක්ෂණය අදාළ මව් විශ්වවිද්‍යාල/උපාධි පිරිනමන ආයතන විසින් සිදු කලද මෙම ආයතනයන් මෙරට උපාධි පාඨමාලාවන් පැවැත්වීමට සුදුසු ආයතනද යන්න හඳුනා ගැනීම හා නියාමනය සිදු නොවේ. එබැවින් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 500ට අයත් විදේශීය විශ්වවිද්‍යාල/උපාධි පිරිනමන ආයතනයන් අනුබද්ධව මෙරට විදේශීය උපාධි පාඨමාලා පිරිනමන අධ්‍යාපන ආයතනයන් ලියා පදිංචි කිරීම/නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වාදීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පානීය ජල හා සනීපාරක්ෂක අංශයේ ජාතික බහුපාර්ශ්ව සම්බන්ධීකරණය සඳහා පහසුකම් සැලසීම
- පානීය ජල හා සනීපාරක්ෂක සේවාවන්හි ජාතික හා ගෝලීය අරමුණු සාක්ෂාත් කරගැනීමට සම්පත් හා ප්‍රයත්නයන් ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා අදාළ ආයතනයන්ගේ සහභාගිත්වයෙන් යුතුව විධිමත් සම්බන්ධීකරණ යන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස පානීය ජල හා සනීපාරක්ෂක අංශයේ බහුපාර්ශ්ව ජාතික සම්බන්ධීකරණ වේදිකාව ස්ථාපිත කිරීමට නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හම්බන්තොට ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවීම
- රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් මේ වන විට රෝග රාශියක් සඳහා ඖෂධ වර්ග නිෂ්පාදනය කරනු ලබන අතර, එම ආයතනය සහ අනෙකුත් පෞද්ගලික නිෂ්පාදකයින් විසින් දැනට මෙරටට අවශ්‍ය වන ඖෂධ ඒකක බිලියන 02ක් පමණ වා‍ර්ෂිකව නිපදවනු ලබයි. එම ප්‍රමාණය වෙළඳපොළෙහි ඉල්ලුමෙන් 12%ක් සපුරාලීමට ප්‍රමාණවත් වන අතර, ඉතිරි 88%ක වෙළඳපොළ ඖෂධ අවශ්‍යතාව ආනයනය කරනු ලබයි. ඒ සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500ක් පමණ වැය කරනු ලබයි.

නිෂ්පාදනය කරනු ලබන ඖෂධ සඳහා යොදා ගනු ලබන සංයෝග සඳහා දැරිය යුතු පිරිවැයෙන් 70%ක් පමණ ක්‍රියාකාරි ඖෂධ මූලද්‍රව්‍ය (API) සඳහා වැය කරනු ලබන අතර එම ක්‍රියාකාරි ඖෂධ මූලද්‍රව්‍ය නිපදවීමේ යන්ත්‍රාගාරයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීම මඟින් ඖෂධ සඳහා වැය වන විදේශ විනිමය විශාල වශයෙන් රට තුළ ඉතිරි කරගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව, හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 200ක භූමි ප්‍රදේශයක් තුළ ක්‍රියාකාරී ඖෂධ මූලද්‍රව්‍ය සහ නිම කළ ඖෂධ සංයෝග නිපදවීම සඳහා ඖෂධ කලාපයක් පිහිටුවීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සූර්ය විදුලිබල ව්‍යාපෘති සඳහා ඉන්දියානු ණය පහසුකම් ලබාගැනීම
- සූර්ය විදුලිබල සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව විසින් ලබා දෙනු ලබන ප්‍රමුඛතාවය අනුව ඉන්දීය රජය සහ ප්‍රංශ රජය විසින් සහාය ලබා දෙනු ලබන ජාත්‍යන්තර සූර්ය බල මිත්‍ර සංසදයට සහයෝගය දැක්වීමට රජය විසින් තීරණය කරනු ලැබ ඇත. 2018 මාර්තු මාසයේදී පැවැති එම සංසදයේ පළමු සමුළුවේදී ශ්‍රී ලංකාව විසින් එහි සාමාජිකත්වය ලබාගත් අතර, ජාත්‍යන්තර සූර්යබල මිත්‍ර සංසදයේ රාමුගත ගිවිසුමට අත්සන් කිරීම ද එහිදී සිදු කරන ලදී. ශ්‍රී ලංකාව විසින් එකී රාමු ගත ගිවිසුමට අත්සන් තැබීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ සූර්ය විදුලිබල සංවර්ධන වැඩසටහන දියුණු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය පහසුකමක් ලබා දීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළ කර ඇත. ඒ අනුව, සූර්ය විදුලිබල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේ අපනයන හා ආනයන බැංකුව වෙතින් රුපියල් මිලියන 100ක ණය පහසුකමක් ලබාගැනීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ආගාමික හා විගාමික ‍රෙගුලාසි සංශෝධන
- ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව වර්තමානයේ පවතින වීසා වර්ග හා අයකරන ගාස්තු සංශෝධනය කිරීම සඳහා ආගාමික හා විගාමික ‍රෙගුලාසි සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. මෙසේ සංශෝධනය කිරීම මඟින් ආයෝජකයින් දිරිගැන්වෙන වීසා ක්‍රමවේදයක් හඳුන්වාදීමටත්, සංචාරක වීසා සඳහා විවිධ රටවල්වලට අදාළව පවතින විෂම ගාස්තු ක්‍රමවේදය වෙනුවට ඒකීය ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වාදීමටත් හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම වීසා නොමැතිව මෙරට රැඳී සිටින්නන්ට ඇමරිකානු ඩොලර් 500ක දඩ මුදලක් හඳුන්වාදීමටත් මෙමඟින් යෝජිතය. මීට අමතරව සංචාරක වීසා කාලසීමාව දීර්ඝ කිරීමටත්, ව්‍යාපාරික කටයුතු සඳහා නිකුත් කරන වීසා කාලසීමාව බහුවිධ ඇතුළ්වීමේ පහසුකම් සහිතව නිකුත් කිරීමටත් අපේක්ෂිතය. ඒ අනුව, 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතට අදාළ 1956 රෙගුලාසි සංශෝධිත කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වර්තමානයේ පවතින වීසා වර්ග හා අයකරන ගාස්තු සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 500,000ක මුදලක් ප්‍රේෂණය කරනු ලබන ආයෝජකයන්ට වසර 10ක් දක්වා වූ මෙරට තුළ වාසය කිරීමට වීසා බලපත්‍ර නිකුත් කිරීම, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 300,000ක මුදලක් ප්‍රේෂණය කරනු ලබන ආයෝජකයන්ට වසර 05ක් දක්වා වූ මෙරට තුළ වාසය කිරීමට වීසා බලපත්‍ර නිකුත් කිරීම සහ විදේශ රටවල පුරවැසිභාවය ලබාගැනීම හේතුවෙන් ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වී ඇති පුද්ගලයින්ට විෂයභාර අමාත්‍යවරයා විසින් නියම කරනු ලබන කාලසීමාවක් දක්වා ස්ථිරව වාසය කිරීමට වීසා බලපත්‍ර ලබා දීම පිණිස 1948 අංක 20 දරන ආගමික හා විගාමික පනතේ 14(1) හා 14(2) යන වගන්ති සංශෝධනය කිරීම සඳහා සහ 14(3අ) ලෙස නව වගන්තියක් ඇතුළත් කිරීම සඳහා පනත් කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇත. ඒ අනුව එම කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම සහ ඉන් අනුතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන්කර දීම
- ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ප්‍රාදේශිය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ඒ යටතේ ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති කර්මාන්තපුරවල ආයෝජනය කිරීම පිණිස සුදුසු ආයෝජකයින් හඳුනා ගැනීම ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුවල නිර්දේශ මත සිදුකරනු ලැබේ. ඒ අනුව එසේ තෝරාගෙන ඇති ආයෝජිකයින් 25දෙනෙකු හට වසර 35ක බදු පදනම යටතේ හෝමාගම, කළුතර, මිල්ලෑව, කුරුවිට නාලන්ද එල්ලාවල, ඇඹිලිපිටිය, ගලිගමුව, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර නවගම්පුර, පොළොන්නරුව ලක්ෂඋයන, කරන්දෙණිය, උඩුකාව, උලපනේ, පුත්තලම යන කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන්කරදීම සහ ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුවේ නිර්දේශ පරිදි දැනට කර්මාන්තපුරවල තම කර්මාන්ත සිදුකර ගෙන යන ආයෝජකයින්ගේ ව්‍යාපාර නාම සංශෝධන, නව එකතු කිරීම් සහ කර්මාන්තවල වෙනස්වීම් යනාදිය සිදු කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාවේ උක් හා සීනි කර්මාන්ත සංවර්ධනය සඳහා කමිටුවක් පිහිටුවීම
- දේශිය සීනි අවශ්‍යතාවය 9%ක පමණ ප්‍රමාණයක් දේශියව නිපදවන අතර ඉතිරි 91%ක අවශ්‍යතාවය ආනයන මඟින් සපුරාගනු ලබයි. එබැවින් සීනි හා උක් කර්මාන්ත සංවර්ධනය කිරීම මඟින් අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකිවනු ඇත. මෙම කරුණු සැලකිල්ලට ගෙන උක් වගා කළ හැකි නව ඉඩම් සොයා උක් වගාව ව්‍යාප්ත කර ලංකාවේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවධානය යොමු වී ඇත. ඒ සඳහා උක් කර්මාන්තයේ නියැලී සිටින වැවිලිකරුවන්ට හා කර්මාන්තකරුවන්ට ඉහළ ආදායමක් ලබාගැනීමට හැකිවන පරිදි උක් හා සීනි කර්මාන්ත සංවර්ධනය සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා සීනි කර්මාන්ත සංවර්ධන කමිටුව පිහිටුවීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව පිළියෙල කරනු ලැබ ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඉඩම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
- රජයේ ඉඩම් සඳහා ලබා දී ඇති ප්‍රදාන පත්‍ර හෝ නියාදන සාධන පත්‍ර හිමි තැනැත්තන් වෙත එම ඉඩම්වල ස්ථිර ඔප්පු ප්‍රදානය කිරීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත්ව ඉඩම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇති අතර එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට හා ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දීමනා පත්‍ර හා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම හා කැඩැස්තර සිතියම් සැකසීමේ ක්‍රියාවලිය නවීකරණය කිරීම
- ඉඩම් සංවර්ධන ආඥාපනතේ විධිවිධාන පරිදි විධිමත් මැනුම් පිඹුරක් රහිතව නේවාසික, කෘෂිකාර්මික හා වෙනත් කටයුතු සඳහා මහජනතාව වෙත ලබා දී ඇති ඉඩම් කැබලි සඳහා සිතියම සැකසීමත්, නිරවුල් හිමිකම සහිතව දීමනා පත්‍ර හා බලපත්‍ර ලබා දීමටත්, අදාළ ඉඩම් කැබලි මැන විධිමත්ව පිඹුරු පිළියෙල කර නිරවුල් හිමිකම තහවුරු කිරීමත් කළයුතුව ඇත. එසේ වුවද ඒ සඳහා යොදා ගත හැකි මානව හා භෞතික සම්පත්වල සීමා හේතුවෙන් මේ සඳහා දීර්ඝ කාලයක් ගත වන බව පෙනී ගොස් තිබේ. ඒ අනුව මෙම කාර්යයන් කාර්යක්ෂමව ඉටු කිරීම පිණිස වන ව්‍යාපෘතියක් අදියරගතව ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා ‍දී ඇත.

ඒ අනුව එම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඉඩම් කැබලි 732,000ක් පමණ මැනුම් කර දීමනා බලපත්‍ර 696,000ක් පමණ නිකුත් කිරීමට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීම, යෝජිත ව්‍යාපෘතියේ පළමු පියවර වසර 03ක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීම සහ ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොම්පඤ්ඤවීදියේ වෑකන්ද ප්‍රදේශ‍ය ප්‍රති-සංවර්ධනය කිරීම
- කොම්පඤ්ඤවීදියේ වෑකන්ද ප්‍රදේශයේ අක්කර 47ක පමණ (හෙක්ටයාර 19.4ක) ප්‍රදේශයක 'නවම්පුරය' යනුවෙන් නම් කර ඇති ප්‍රතිසංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. යෝජිත ප්‍රදේශයේ දළ වශයෙන් ඉතා කුඩා නිවාස ඒකක 1,200ක් පමණ පිහිටා ඇති බැවින් ඒවායේ සංවර්ධන කටයුතු සිදු කිරීමේ යම් යම් අපහසුතා මතුවේ යැයි හඳුනාගෙන තිබේ. ඒ අනුව අදාළ ප්‍රදේශයේ ඉඩම් අයිතිකරුවන්ගේ සහභාගිත්වය සහිත ක්‍රමවේදයක් යටතේ ඔවුන් වෙත ප්‍රතිලාභ ලැබෙන පරිදි කොම්පඤ්ඤවීදියේ ඇතුළත නගර ප්‍රදේශය ප්‍රති සංවර්ධනය කිරීම සඳහා වන නවම්පුර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාගැනීම සඳහා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මොරටුව, උසාවියවත්තේ නිවාසවල සංවර්ධන කටයුතු සිදු කිරීම
- රජයට අයත් මොරටුව උසාවියවත්තේ ඉඩමක දැනට පවුල් 50ක් ජීවත් වන අතර, ඉන් පවුල් 30ක් තාවකාලික නිවාසවල ජීවත්වේ. ඉතිරි පවුල් 20, 2010දී රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ඉදි කරනු ලැබ ඇති මහල් නිවාස සහිත ගොඩනැඟිලි දෙකක පදිංචිව සිටී. මෙම පවුල් 50ම පොදු සනීපාරක්ෂක පහසුකම් භාවිත කරන අතර, ඒවාද මේ වන විට ඉතාමත් අබලන් තත්ත්වයේ පවතියි. දැනට තාවකාලික නිවාසවල පදිංචි පවුල් 30 සඳහා එම භූමියේම නිවාස 30ක් ඉදි කිරීමටත්, මහල් නිවාසවල පදිංචි පවුල් 20 සඳහා අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් පදිංචිකරුවන්ගේ දායකත්වය යටතේ වැඩිදියුණු කිරීමටත් යෝජනා වී ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගුවන්තොටුපළ ආරක්ෂණ සැලසුම් සහ සිවිල් ගුවන්සේවා ආරක්ෂණ වැඩසටහන සම්බන්ධයෙන් විශ්ව සුරක්ෂිතතා විගණන වැඩසටහන
- ශ්‍රී ලංකාව 1948 දී ජාත්‍යන්තර සිවිල් ගුවන් සේව‍ය පිළිබඳ සම්මුතියට අත්සන් තබා ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාව එහි ගිවිසුම්කාර රාජ්‍යයක් ලෙස කටයුතු කරයි. 2001 ඔක්තෝබර් මාසයේදී පැවති ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ 33 වන සැසිවාරයේදී විනාශකාරි අවි ලෙස සිවිල් ගුවන්යානා අවභාවිත කිරීම වැළැක්වීම සහ සිවිල් ගුවන්සේවය හා සම්බන්ධ වෙනත් ත්‍රස්තවාදී ක්‍රියාකාරම් වැළැක්වීම පිළිබඳ ප්‍රකාශය සම්මත කරගන්නා ලදී. එකී යෝජනාව පරිදි 2002 වර්ෂයේ සිට ගිවිසුගත රාජ්‍යයන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ගුවන්තොටුපළ ආරක්ෂණ සැලසුම් සහ සිවිල් ගුවන්සේවා ආරක්ෂණ වැඩසටහන සම්බන්ධයෙන් විශේෂ සුරක්ෂිත විගණන වැඩසටහනක් අදියරගතව ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එහි III අදියර ලෙස සිදු කිරීමට නියමිතව ඇති 'විශ්ව සුරක්ෂිතතා විගණනය - අඛණ්ඩ අධීක්ෂණ ප්‍රවේශය' යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පුද්ගලනාශක බිම් බෝම්බ භාවිතය, තොග රැස්කිරීම, නිෂ්පාදනය කිරීම සහ හුවමාරු කිරීම තහනම් කිරීම සහ ඒවා විනාශ කිරීම පිළිබඳව වන සම්මුතිය (ඔටාවා සම්මුතිය) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම
- පුද්ගලනාශක බිම් බෝම්බ භාවිතය, තොග රැස්කිරීම, නිෂ්පාදනය කිරීම සහ හුවමාරු කිරීම තහනම් කිරීම සහ ඒවා විනාශ කිරීම පිළිබඳව වන සම්මුතිය (ඔටාවා සම්මුතිය) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව පිළිගෙන ඇති අතර,එය 2018 ජුනි මස 01 දින සිට ශ්‍රී ලංකාව තුළ බලාත්මක වී තිබේ. එකී සම්මුතියේ 9 වගන්තිය මඟින් තැනැත්තන් විසින් හෝ සම්මුතියේ බල සීමාව හෝ පාලනය යටතේ යම් දේශසීමාවක සිදු කරන, සම්මුතිය යටතේ රාජ්‍ය පාර්ශ්වකරුවෙකුට තහනම් කර ඇති යම් ක්‍රියාවක් වැළැක්වීම සහ මැඩලීම සඳහා දණ්ඩන පැනවීම ඇතුළුව සියලුම සුදුසු නෛතික, පරිපාලන සහ වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට පාර්ශ්වකරුවෙකු වශයෙන් ශ්‍රී ලංකාව බැඳී සිටී. ඒ අනුව ‍මෙම සම්මුතියේ විධිවිධාන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස මීට පෙර ලබාදුන් අනුමැතියට අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇත. ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ක්‍රීඩා සංගම්වල පරිශීලනය විධිමත් කිරීම සඳහා වන නියෝග මාලාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- ක්‍රමවත් හා සාධාරණ ලෙස ක්‍රීඩා සංගම් නිලවරණ කටයුතු පැවැත්වීම තුළින් ජාතික ක්‍රීඩා සංගම්වල පරිශීලනය විධිමත් කිරීම සඳහා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ විධිවිධාන අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති ජාතික ක්‍රීඩා සංගම් සඳහා අදාළ වන නියෝග ඇතුළත් 2018 09 22, 2018 10 18 සහ 2019 01 10 දිනැති ගැසට් නිවේදන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් යන්ත්‍රෝපකරණ කර්මාන්තයේ නියැළී සිටින බහු ජාතික සමාගම් ආකර්ෂණය කරගැනීම
- විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික කර්මාන්තය ගෝලීය අගය එකතු කිරීමේ සැපයුම් ජාලයට අවතීර්ණ වෙමින් පවතින අතර, ආර්ථික සහයෝගීතා හා සංවර්ධන සංවිධානයේ නිෂ්පාදන කර්මාන්ත වර්ගීකරණයට අනුව මෙරට ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් යන්ත්‍රෝපකරණ කර්මාන්ත ක්ෂේත්‍රය මධ්‍යම - ඉහළ තාක්ෂණික හා ඉහළ තාක්ෂණික ඝනයට අයත් වේ. ඒ අනුව රථවාහන, විදුලි සංදේශය, පරිභෝජ්‍ය ඉලෙක්ට්‍රෙ‍ානික භාණ්ඩ, කර්මාන්ත ස්වයංක්‍රීයකරණය, අන්තර්ජාල උපාංග නිෂ්පාදනය හා වෙනත් විවිධ අංශවල උපාංග නිෂ්පාදනය මීට අයත් වේ. මෙම ක්ෂේත්‍රයේ මෙරට කර්මාන්තකරුවන් ISO සහතිකය ලැබ අවශ්‍ය කම්කරු නීති රීති හා රෙගුලාසීන්ට යටත්ව කටයුතු කරනු ලබයි. ‍

මෙරට පර්යේෂණ හා සංවර්ධන මූලාකෘති තුළ සිටින ආරම්භක සමාගම් නවෝත්පාදන හා නව නිර්මාණ බිහි කිරීමේ නිරතව සිටින අතර, ඒ සදහා මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් විශාල සමාගම් සමඟ ඒකාබද්ධ වීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙවැනි ව්‍යාපාර ආයතන බහු ජාතික සමාගම් සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට පහසුකම් සැලසීම සඳහා බහු ජාතික සමාගම් ආකර්ශණය කරගැනීමට කටයුතු කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මන්නාරම් කොටුව සංවර්ධනය කිරීම
- විදේශ සංචාරකයින් ආකර්ශණය කරගැනීමේ අරමුණින් මාතර, හම්බන්තොට, මඩකලපුව, ත්‍රිකුණාමලය, මන්නාරම සහ කල්පිටිය ප්‍රදේශවල පිහිටා ඇති පැරණි බලකොටු 06ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා පෞද්ගලික අංශය හා එක්ව සංවර්ධනය කිරීම පිණිස 2018 වර්ෂයේ අයවැය මඟින් යෝජනා කරන ලදී. ඒ අනුව මන්නාරම් කොටුව සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති යෝජනාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සකස් කරනු ලැබ තිබේ. ඒ යටතේ සිදු කළ යුතු ප්‍රධාන කාර්යයක් ලෙස හඳුනාගෙන ඇති එම කොටුව වටා පිහිටි දිය අගළ හෑරීම එවැනි කාර්යයන් පිළිබඳ ප්‍රවීනත්වයක් දක්වන ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් සිදු කරගැනීම පිණිස සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පුත්තලම, ලක්විජය විදුලි බලාගාරයේ 3 වන ඒකකයේ බොයිලර්, ටර්බයින් සහ ආධාරකවල නඩත්තුව සඳහා නිපුණතා ශ්‍රම බලකාය ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව
- පුත්තලම ගල් අඟුරු බලාගාරය ඉදි කරන ලද ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන චයිනා මැෂිනරි ඉංජිනියරින් කෝපරේෂන් (CMEC) ආයතනය සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර පවතින 'ප්‍රතිසංස්කරණ සඳහා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම' 2019 සැප්තැම්බර් මාසය දක්වා වලංගු වේ. ඒ අනුව පුත්තලම, ලක්විජය විදුලි බලාගාරයේ 3 වන ඒකකයේ බොයිලර්, ටර්බයින් සහ ආධාරකවල නඩත්තුව සඳහා නිපුණතා ශ්‍රම බලකාය ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි චයිනා මැෂිනරි ඉංජිනියරින් කෝපරේෂන් (CMEC) ආයතනය වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු මිල දී ගැනීම
- පුත්තලම ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු මෙට්‍රික් ටොන් 360,000ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව සිංගප්පූරුවේ M/s Trafigura Pte. Ltd, වෙතින් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 91.40ක මිලක් යටතේ මිලදී ගැනීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පන්නිපිටිය ග්‍රිඩ් උපපොලෙහි මෙගාවාර් 100ක ධාරිතාවයෙන් යුත් බ්‍රේකර් ස්විච් කැපැසිටර්ස් බැංකු සවි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව
- විදුලිබලය සැපයීමේ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය යටතේ පන්නිපිටිය ග්‍රිඩ් උපපොලෙහි මොගාවාර් 100ක ධාරිතාවයෙන් යුත් බ්‍රේකර් ස්විච් කැපැසිටර්ස් බැංකු සවි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉන්දියාවේ M/s. Seimens Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මධ්‍යම පළාතේ විසල් දඹුල්ල ජල යෝජනා ක්‍රමය මඟින් දඹුල්ල සහ කන්ඩලම ප්‍රදේශ සඳහා ජල සැපයුම දීර්ඝ කිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
- පළාත් පාලන වැඩි දියුණු කිරිමේ ආංශික ව්‍යාපෘතිය යටතේ වන උප ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මධ්‍යම පළාතේ විසල් දඹුල්ල ජල යෝජනා ක්‍රමය මඟින් දඹුල්ල හා කණ්ඩලම ප්‍රදේශ සඳහා ජල සැපයුම දීර්ඝ කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 565.39ක මුදලකට ස්කොයා මෙක් ඉංජිනේරු පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2019 මුදල් වර්ෂය සඳහා වන අයවැය විවාදය පිළිබඳ අපේක්ෂිත වැඩසටහන
- 2019 සඳහා වන අයවැය යෝජනා ඇතුළත් අයවැය කථාව (අයවැය දෙවනවර කියවීම) 2019 මාර්තු 5වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය 2019 03 06 දින සිට 2019 03 12 දින දක්වාත්, කාරක සභා අවස්ථා විවාදය 2019 03 13 දින සිට 2019 04 05 දින දක්වා පැවැත්වීමටත්, අයවැය සඳහා ඡන්ද විමසීම 2019 04 05 දින පැවැත්වීමටත් නියමිතය. එම අයවැය වැඩසටහන සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩල තීරණවලට අදාළ තොරතුරු ලබා දීම
- 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩල තීරණවලට අදාළ තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලබන පුරවැසියෙකු වෙත ලබා දීම මෙතෙක් අමාත්‍ය මණ්ඩලය කාර්යාලය විසින් සිදු කරන ලදී. එසේ වුවද අමාත්‍ය මණ්ඩල තීරණ හා සබැඳි තොරතුරු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ආකාරයෙන් ලබා දීමේ අරමුණින් එම තොරතුරු අදාළ විෂය භාර රේඛීය අමාත්‍යාංශය විසින්ම, ඉල්ලීම ඉදිරිපත් කරනු ලබන පුරවැසියන් වෙත සෘජුවම නිකුත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත බලය පැවරීමට ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් කරන ලද නිර්දේශය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඒ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ පුරවැසියෙකු විසින් කරනු ලබන ඉල්ලීම් සලකා බලා, එම පනතේ සඳහන් සීමා කිරීම්වලට යටත්ව, සිය අමාත්‍යාංශයේ විෂය පථයට අදාළව එළඹ ඇති අමාත්‍ය මණ්ඩල තීරණ හා ඊට සම්බන්ධ වන ලේඛන පුරවැසියන් වෙත ඍජුවම නිකුත් කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් හා අමාත්‍ය මණ්ඩලයේ නොවන අමාත්‍යාංශවල ලේකම්වරුන් වෙත බලය පැවරීමටත්, යම් නිශ්චිත අමාත්‍ය මණ්ඩල සංදේශයකට අදාළ නොවන හෝ නිශ්චිත අමාත්‍යාංශයක විෂය පථයට අයත් නොවන තොරතුරක් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින්, අමාත්‍ය මණ්‍ඩල රැස්වීම්වල "වෙනත් කරුණු" යටතේ එළඹ ඇති තීරණ සම්බන්ධයෙන් වන තොරතුරු පමණක්, අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.