• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩල තීරණ-2019.03.06

2019.03.06 වෙනි දින පැවති් අමාතය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත පරිදි වේ.

 


ශ්‍රී ලංකාව සඳහා වූ ඩිජිටල් ආර්ථික උපායමාර්ගය : 2018-2025
- ශ්‍රී ලංකාව සඳහා වූ ඩිජිටල් ආර්ථික උපායමාර්ගය ජාත්‍යන්තර මට්ටමේ උපදේශකයින්ගෙන් සහ ක්ෂේත්‍රයට අදාළ ආයතනවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සහිතව සකස් කර තිබේ. මෙම උපාය මාර්ගය මඟින් ඩිජිටල් තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයේ වර්ධනය වේගවත් කිරීම සඳහා ආර්ථිකයේ හඳුනාගත් ප්‍රමුඛතා අංශ ඩිජිටල්කරණය කිරීම, සංවර්ධනය කිරීම සහ අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැඟීම යන අංශ තුනකින් යුත් රාමුවකින් සමන්විතව තිබේ. මෙම උපායමාර්ගය මඟින් ඩිජිටල් පහසුකම් සහිත අපනයන ප්‍රවර්ධන කලාපය හා සේවා සැපයීම් ගම්මාන, මධ්‍යගත කෘෂිකර්ම පාලක මධ්‍යස්ථානය සහ සංචාරක දත්ත හුවමාරු මධ්‍යස්ථානය යන ප්‍රධාන වැඩසටහන් ත්‍රිත්වය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. එමෙන්ම වසර 03ක් තුළ ඩිජිටල්කරණයට භාජනය කරන ලද ව්‍යාපෘතිද ඇතුළත්ව ප්‍රමුඛ ව්‍යාපෘති 10ක් නිම කිරීමටද සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, යෝජිත ඩිජිටල්කරණ උපාය මාර්ගය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ නොවන ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

ජාතික සුපිළිපන්න වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇති එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතියට අනුව, දූෂණයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ප්‍රමාණවත් නෛතික පසුබිමක් හා පරිපාලන නිර්ණායකයන් රට තුළ ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව බැඳී සිටී. ඒ අනුව, දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ජාතික සුපිළිපන්න වැඩ පිළිවෙල යටතේ විනිවිදභාවයෙන්, වගකීමෙන් හා වගවීමෙන් යුතු අවංක රාජ්‍ය සේවයක් ඇති කිරීම, අල්ලස් හා නිවාරණ ක්‍රමවේද පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුම්වත් කිරීම, සාක්ෂි හා තොරතුරු සැපයීම සඳහා රාජ්‍ය නිලධාරින් හා සමාජය උනන්දු කරවීම, දූෂණයට එරෙහිව අනතුරු හඟවන්නන් ලෙස කටයුතු කිරීමට පුරවැසියන් උනන්දු කරවීම සහ සාක්ෂිකරුවන්, තොරතුරු සපයනන්නන් හා අනතුරු හඟවන්නන් ආරක්ෂා කිරීම හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම ආදී අරමුණු ඉටු කරගැනීම සඳහා පිළියෙළ කොට ඇති ජාතික සුපිළිපන්න සැලැස්ම හා ක්‍රියාකාරකම්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ සහායද ඇතිව ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ බලහත්කාර ශ්‍රමය පිළිබඳ සම්මුතියට අදාළ මූලලේඛය අපරානුමත කිරීම
- ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 1930 අංක 29 දරන බලහත්කාර ශ්‍රමය පිළිබඳ සම්මුතිය ශ්‍රී ලංකාව විසින් 1950 වර්ෂයේදී ද, 1957 අංක 105 දරන බලහත්කාර ශ්‍රමය අහෝසි කිරීම පිළිබඳ සම්මුතිය 2003 වර්ෂයේදී ද ශ්‍රී ලංකාව විසින් අපරානුමත කරනු ලැබ ඇත. ලිංගික කටයුතු සඳහා බලහත්කාරි ශ්‍රමය යෙදවීම, ළමා ශ්‍රමය, නූතන වහල්භාවය සහ කුට්ටනය කිරීම (Trafficking) ඇතුළු බලහත්කාර ශ්‍රමය යෙදවීම පිළිබඳ ප්‍රවණතා සැලකිල්ලට ගෙන, 1930 අංක 29 දරන බලහත්කාර ශ්‍රමය පිළිබඳ සම්මුතියට අමතර ප්‍රතිපාදනයක් වශයෙන් 2014 වර්ෂයේදී බලහත්කාර ශ්‍රමය පිළිබඳ සම්මුතිය සඳහා අංක 29 දරන මූලලේඛය සම්මත කරනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ දැනට පවත්නා නෛතික රාමුව එම මූල ලේඛය මඟින් දක්වා ඇති යෝජනාවලට සමපාත වන අයුරින් 1930 බලහත්කාර ශ්‍රමය පිළිබඳ සම්මුතියට අදාළ වන 2014 අංක 29 දරන මූලලේඛය අපරානුමත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයා විසින් කර ඇති ඉල්ලීම අනුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA) මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීම සඳහා වූ යෝජනා ක්‍රියාත්මක කිරීම
- මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA) මෙහෙයුම් කටයුතු සඳහා ඉන්දියානු ගුවන් සේවා අධිකාරිය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනා පිළිබඳව පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ඊට සහාය වීම සඳහා ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, එම කමිටුව විසින් සිය නිර්දේශ ඇතුළත් කරමින් සකස් කර ඇති වාර්තාව අනුව අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා; මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා සහ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පිරිවැය මත පදනම් මිලකට ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමේ පහසුකම් ලබාදීමේ රජයේ වැඩසටහනට දායක වූ සුපිරි වෙළඳසැල්වලට දැරීමට සිදු වූ අලාභය ප්‍රතිපූරණය කිරීම
- 2017 දෙසැම්බර් 14 සිට 2018 අප්‍රේල් මස 15 දින දක්වා මාස හතරක කාලපරිච්ඡේදයක් සඳහා සහල්, සීනි, අර්තාපල්, ලූණු, පරිප්පු, හාල්මැස්සන් සහ ටින්මාළු යනාදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පාරිභෝගිකයන්ට සහනදායී ලෙස පවත්වාගෙන යාම සඳහා පිරිවැය මත පදනම් මිලකට පාරිභෝගිකයාට අලෙවි කිරීමට සුපිරි වෙළඳසැල් හා ලංකා සතොස ආයතනයේ සහාය රජය විසින් ලබා ගන්නා ලදී. එම අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සහන මිලට පාරිභෝගිකයා වෙත ලබා දීම නිසා එම ආයතනවලට දැරීමට සිදු වූ අලාභය ගණනය කර බාහිර විගණකවරයෙකුගේ නිර්දේශය මත රජය විසින් පියවීමට එකඟ වී ඇත. ඒ අනුව සීමාසහිත කාගිල්ස් (සිලෝන්) පොදු සමාගම හා ලංකා සතොස ලිමිටඩ් විසින් දරන ලද මිලියන 203ක අලාභය පියවීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කන්කසන්තුරේ වරාය කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා වන ඉඩම් පවරා දීම
- කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් ඉන්දියානු රජයේ සහාය සහිතව සලසා ගැනීම පිණිස වන ගිවිසුමකට අත්සන් තබා ඇති අතර එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය ඉඩම් පවරා ගත යුතුව තිබේ. ඒ අනුව, ඒ සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් අක්කර 15කින් පමණ සමන්විත ඉඩම් පවරා ගැනීම යෝග්‍ය බව හඳුනාගනු ලැබ ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත එකී අක්කර 15ක භූමිය ප්‍රමාණය පවරා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල
- මාධ්‍ය‍වේදීන් දිරිගැන්වීම සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් වාර්ෂිකව පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව මෙම සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවන සම්මානලාභීන් හා යාවජීව සම්මානය හිමිවන ජයග්‍රාහකයින් සඳහා මුදල් ත්‍යාග පිරිනැමීමටත්, කතෘ මණ්ඩලයේ කටයුතු කරන විද්වතුන් හා ශාස්ත්‍රීය ලිපි හා විචාර සැපයූ ලේඛකයින්ගේ කාර්යභාරය ඇගයීමක් සිදු කිරීමටත් ගරු දීමනාවක් ලබාදීමටත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති පනත සංශෝධනය කිරීම
- 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති පනතේ විධිවිධාන පරිදි මේ වන වසර 20කට වැඩි කාලයක් කටයුතු කර ඇති අතර එය වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, සුදුසු නියාමන ක්‍රමවේදයක් මඟින් රාජ්‍ය අංශයේ ගිණුම් ප්‍රමිති නියාමනය සහතික කිරීමේ අවශ්‍යතාව, විගණන සමාගම්වල ක්‍රියාකාරිත්වයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සඳහා රෙගුලාසි නිකුත් කිරීම, ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය ශක්තිමත් කිරීම යනාදී අත්‍යවශ්‍ය යෝජනා ඇතුළත් කරමින් මෙම පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහන' සඳහා අරමුදල් සලසා ගැනීම
- කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහන 2017-2023 කාල පරිච්ඡේදය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 105ක ආයෝජනයක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අඩු ආදායම්ලාභී පවුල් 57,500ක් වන ප්‍රතිලාභීන් පිරිසකගේ ආදායම තිරසර ලෙස වර්ධනය කිරීම සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට අපේක්ෂිත වැඩසටහනකි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 54.4ක ණය ආධාර ලබා දීමට කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල එකඟවී ඇති අතර මේ වන විට එයින් ඇමරිකානු ඩොලර් මිලියන 39.88ක මුදලක් උපයෝජනය කර තිබේ. මෙම වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කරගෙන යාම සඳහා අවශ්‍ය වන තවත් ඇමරිකානු ඩොලර් මිලියන 14.52ක අරමුදල් ලබාගැනීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය පිළිබඳ 2018 වර්ෂයේ තුන්වන කාර්තුවේ වාර්තාව
- 2018 වර්ෂයේ තුන්වන කාර්තුවේ රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය පිළිබඳ වාර්තාව අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, 2018 සැප්තැම්බර් මස 30 දින වන විට රාජ්‍ය අංශයේ අනුමත කාර්ය මණ්ඩලය 1,587,803ක් වන බවත් එයින් දැනට සේවයේ නියුතු කාර්ය මණ්ඩලය 1,373,338ක් බවත් ගණන් බලා තිබේ. රාජ්‍ය අංශයේ ඇතැම් ආයතන විසින් තම සේවා අවශ්‍යතාවන් නොසලකා කාර්යමණ්ඩලය බඳවාගැනීම වැළැක්වීම පිණිස නිසි ක්‍රමවේදයන් හා නීති හා රෙගුලාසි බලාත්මක කිරීමේ අවශ්‍යතාව, සේවා අවශ්‍යතාවන් නොසලකා බඳවාගැනීම හේතුවෙන් එවැනි සේවාවල නිලධාරින්ගෙන් ප්‍රශස්ත අන්දමින් සේවා ලබාගැනීම පිළිබඳව ගැටලු පැන නැඟී ඇති බවත්, අලුතින් බඳවාගැනීම් සිදු කිරීමේදී නිසි පරිදි වැඩ අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසුව පමණක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ එකඟතාව සහිතව බඳවාගැනීම සිදු කිරීම යෝග්‍ය බවත් මෙම වාර්තාව මඟින් පෙන්වා දී ඇත. ඒ අනුව, රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය පිළිබඳ 2018 වර්ෂයේ 3වන කාර්තුවේ දත්ත සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත සංශෝධනය කිරීම
- 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල ලෙස වෙනස් කොට එම පනත ක්‍රියාත්මක කිරීමේදී මතුවන යම් යම් පරිපාලන කාර්යයන් යාවත්කාලීන කිරීම පිණිස එකී පනතේ 3.2 හා 15 යන වගන්ති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. එයට අමතරව පනතේ බලතල ක්‍රියාත්මක කිරීමට මෙතෙක් වෙළඳ විෂය භාර අමාත්‍යාංශයට පැවරී තිබූ බලය උසස් අධ්‍යාපන විෂය භාර අමාත්‍යාංශය වෙත පැවරීම යනාදී සංශෝධන ඇතුළත් කරමින් එම පනතේ 3.2, 15 හා 19 යන වගන්තීන් සංශෝධනය කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් පිළියෙළ කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රත්නපුර ශික්ෂණ රෝහලේ පස්මහල් හෘද රෝග ආරක්ෂණ සංකීර්ණය ඉදි කිරීම
- ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ අලුතින් ස්ථාපනය කරන ලද වෛද්‍ය පීඨයට බඳවාගනු ලබන සිසුන්ට සායනික පුහුණුව ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් රත්නපුර පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. එම රෝහලේ හෘද රෝග සේවාවන් සඳහා දැනට ප්‍රමාණවත් ඉඩකඩ නොමැති බැවින් වර්ග මීටර 5,000ක බිම් ප්‍රමාණයක් සහිත පස්මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට යෝජනා කර තිබේ. එමඟින් ඇඳන් 80ක් සහිත හෘද රෝග වාට්ටු, ඇඳන් 40ක් සහිත හෘද උරස් ප්‍රතිකාර වාට්ටු, හෘද කැතීටකරන රසායනාගාර, ව්‍යායාම ඊසීජී කාමරය, හෝල්ටර් මොනිටරින් පහසුකම් සහිත ඊසීජී ඒකකය, එකෝ කාඩියොග්‍රැපි කාමර 02ක්, ඇඳන් 10කින් යුත් දැඩි සත්කාර ඒකකය, ශල්‍යාගාර, සායනික කාමර සහ අනෙකුත් උපකරණ සේවා පහසුකම් සැපයීමට නියමිතය. ඒ අනුව, රුපියල් මිලියන 1,325.9ක ආයෝජනයක් යටතේ 2020 - 2022 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ රත්නපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග ආරක්ෂණ සංකීර්ණය ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ ආයෝජකයන් විසින් බද්ධ ව්‍යවසායන් පිහිටුවීමේ ප්‍රගතිය
- ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය නගා සිටුවීම මඟින් ඖෂධ ආනයනය සඳහා වැය වන විදේශ විනිමය ඉතිරි කරගැනීමට මෙන්ම ඖෂධ මිල ගණන් ස්ථාවරව පවත්වා ගැනීමටද ඉඩකඩ සැලසෙයි. ඒ අනුව, රෝහල් සඳහා අවශ්‍ය නැවුම් හා උසස් තත්ත්වයෙන් යුතු ඖෂධ ද්‍රව්‍ය කාර්යක්ෂමව රජයේ රෝහල් වෙත අඛණ්ඩව සැපයීමේ හැකියාවක් ඇති ආයෝජකයින් හඳුනාගෙන එම ආයෝජකයින් සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අතර බද්ධ ව්‍යාපාර පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. එම අනුමැතිය මත ආයතන 17ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ බද්ධ ව්‍යාපාර ගිවිසුම්වලට එළඹ නිෂ්පාදනාගාර ඉදි කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවට අමාත්‍ය මණ්ඩලයේ දැනගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

වෛද්‍ය සැපයීම් පහසුකම් ශක්තිමත් කිරීම
- ‍සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තුළ පවතින රෝහල් 134ක ඖෂධ ගබඩා සහ රජයේ වෛද්‍ය සැපයීම් අංශය යටතේ පවතින ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශ 26හි පහසුකම් වැඩිදියුණු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. එසේ වුවත් සෞඛ්‍ය අංශයේ ආයතනවල සිදු කරනු ලබන වේගවත් සංවර්ධනය හා වැඩිදියුණු කිරීම් සැලකිල්ලට ගෙන දිවයින පුරා පිහිටි සියලුම වෛද්‍ය සැපයීම් අංශවල පහසුකම් පුළුල් කළ යුතුව තිබේ. ඒ අනුව, මීට පෙර අනුමැතිය ලද ආයතන 160ට අමතරව ප්‍රාදේශීය රෝහල් 430ක හා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක 276ක ඇති ඖෂධ ගබඩා පහසුකම් රුපියල් මිලියන 3,988.6ක ආයෝජනයක් යටතේ 2020 - 2022 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ වැඩිදියුණු කිරීම පිළිබඳ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

බේරුවල, ගාල්ල, පුරාණවැල්ල/කුඩාවැල්ල යන ධීවර වර‍ායන් සංවර්ධනය කිරීම
- දිවයින වටා ධීවර වරායන් 20ක් ඉදි කර ඇති නමුත් දික්ඕවිට ධිවර වරාය හැර අනෙකුත් කිසිදු ධීවර වරායක අඩි 55ක් හෝ ඊට වැඩි ධීවර යාත්‍රා නංගුරම්ලීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති බව නිරීක්ෂණය වී තිබේ. අල්ලා ගන්නා මසුන් ගොඩබෑමට විධිමත් පහසුකම් නොමැති වීම, ගබඩා කිරීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම සහ විධිමත්ව ගබඩා කිරීම සඳහා දැනට භාවිතා වන කුඩා ප්‍රමාණයේ යාත්‍රා තුළ පහසුකම් නොමැති වීම හේතුවෙන් සැලකිය යුතු ප්‍රමාණයක මත්ස්‍ය පසු අස්වනු හානියක් සිදුවන බව නාරා ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යනයකදී නිරීක්ෂණය වී ඇත. එබැවින් පසු අස්වනු හානිය අවම කිරීම හා මත්ස්‍ය අස්වැන්නේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් සැපයිය යුතුව ඇත. මෙම කරුණු සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව හරිත වරාය සංකල්පය යටතේ බේරුවල, ගාල්ල හා පුරාණවැල්ල/කුඩාවැල්ල යන ධීවර වරායන් ප්‍රංශ සංවර්ධන ආයතනයේ අරමුදල් සහය යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, මෙම වරායන් සංවර්ධනය කිරීම සඳහා සිදු කළ යුතු පාරිසරික හා සමාජයීය අධ්‍යයනය ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය වෙතින් සිදු කරවා ගැනීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නියඟ අවදානම අවම කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම
- යාපනය ප්‍රදේශයේ උද්ගත වී ඇති ජල ගැටලුව විසඳා ගැනීම සඳහා ගෘහස්ථ හා කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය ජලය සපයා ගැනීමට ගත යුතු කෙටිකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන පිළිබඳ ඇස්තමේන්තුවක් යාපනය දිස්ත්‍රික් ලේකම් විසින් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව රුපියල් මිලියන 54.2ක ආයෝජනයක් යටතේ අල්ලෛප්පිට්ටි හා නුනාවිල් බටහිර හි ජලය රඳවා තබා ගැනීමේ ජලාශ ඉදිකිරීම, වේදර්අඩෛප්පුකුලම්, සාම්බලෝඩෛ, පුන්කුඩුතිව් නැ‍ඟෙනහිර හා මඩත්තුවෙලි ලවන ජලය වැළැක්වීමේ යෝජනා ක්‍රම පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම සහ මෙලින්ච්මුනෛ වැව අලුත්වැඩියා කිරීම පිණිස රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අංගම් කලා ශිල්ප සංරක්ෂණය කොට ප්‍රවර්ධනය කිරීම
- ශ්‍රී ලාංකික ජාතියට එල්ල වූ විදේශ ආක්‍රමණ ජය ගැනීම සඳහා දේශීය සටන් ක්‍රමයක් වන අංගම්පොර සටන් ශිල්ප ක්‍රමය හා අංගම්පොර සටන් ශිල්පීන් වෙතින් ලද දායකත්වය අති මහත්ය. ශ්‍රී ලාංකීය ඉතිහාසය ලොව හමුවේ තැබිය හැකි අනන්‍ය වූ ශිල්ප ක්‍රමයක් වන අංගම්පොර සටන් ශිල්පය අනාගත පරපුර සඳහා සුරක්ෂිත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ. එබැවින් අංගම්පොර සටන් ශිල්පය තහනම් කරමින් ඉංග්‍රීසි යටත් විජිත ආණ්ඩුව විසින් 1817 දී නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කර නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමටත්, එම සටහන් කලාව හා ඒ ආශ්‍රිත කලා ශිල්ප ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහාත් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික සිවිල් ගුවන්සේවා ප්‍රතිපත්තිය
- ජාතික සිවිල් ගුවන්සේවා ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද කෙටුම්පත නැවත සමාලෝචනය කර ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව අදාළ පාර්ශ්වයන් සමඟ තවදුරටත් සාකච්ඡා කොට කෙටුම්පත් කරනු ලැබ ඇති ප්‍රතිපත්තිය වැඩිදුරටත් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව පිළියෙල කරනු ලැබ ඇති අවසන් සංශෝධිත කෙටුම්පත ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාවේ ළමුන් සඳහා විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක් හඳුන්වා දීම
- විවිධ හේතු මත සිය පවුලෙන් ඉවත්වීමේ අවදානමක් ඇති දරුවන්ගේ පවුල්වලට අවශ්‍ය සහාය ලබාදීම මඟින් එම දරුවන් ස්වභාවික පවුල තුළම තබා ගැනීමට උත්සාහ දැරීම, පවුලෙන් ඉවත්වන දරුවන්ව වෙනත් ඥාතීන්ගේ භාරකාරිත්වයට පත් කිරීම, සුදුසු පුද්ගලයෙකුගේ රැකවරණයට පත් කිරීම, හදාවඩා ගැනීමට දීම හා ආයතනගත කිරීම වැනි විකල්ප රැකවරණ ක්‍රමවේද ඔස්සේ රැකවරණය සැලසී‍ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ.

එම විකල්ප රැකවරණ ක්‍රමවේද වඩාත් විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීම උදෙසා විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය හඳුන්වාදීම පිණිස ළමුන්ට විකල්ප රැකවරණ ලබා දීමට සිදුවන හේතු, අවදානම් සහගත තත්ත්වයන්ට ලක්වන ළමුන් කාණ්ඩ හඳුනාගැනීම, ඔවුන් සඳහා යෝග්‍ය විකල්ප රැකවරණ ක්‍රමවේද හඳුනාගැනීම, ළමුන් විකල්ප රැකවරණයට යොමු කිරීමට ඇති නෛතික පදනම, ළමයින් ආයතනගතවීම වැළැක්වීමට ගතහැකි ක්‍රියාමාර්ගයන් හඳුනාගැනිම, ළමුන්ට සේවා සපයනන්නන් හඳුනාගැනීම, නීතිය ඉදිරියට පමුණුවන ළමයින් වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය, ළමුන් සමාජගත කිරීම සහ විකල්ප රැකවරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යන මූලික අංශ යටතේ සකස් කර ඇති ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උපරිමාධිකරණ ගොඩනැඟිල්ලේ මධ්‍යම වායුසමන පද්ධතිය සඳහා චිලර් යන්ත්‍රයක් මිල දී ගැනීම
- ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ අධිකරණ කටයුතු පවත්වා ගෙන යනු ලබන ගොඩනැඟිල්ලේ වායු සමන පහසුකම වැඩිදියුණු කිරීම සඳහා උපරිමාධිකරණ සංකීර්ණයේ ස්ථාපිත මධ්‍යම වායු සමන පද්ධතිය සඳහා නව චිලර් යන්ත්‍රයක් මිලදී ගැනීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මාතර පස්ගොඩ, කොටපොළ සහ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම
- මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, කොටපොළ සහ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට අයත් ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබුණද අවශ්‍ය සම්පත් සලසා ගැනීමේදී සිදු වූ ප්‍රමාදවීම් හේතුවෙන් එම ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට නොහැකි වී තිබුණි. ඒ අනුව කැටවල, හොරගල, රජවත්ත, කැකුණහේන, ඉසුරුඋයන, උදාදෙණිය, නිශ්ශංකපුර, සියඹලාගොඩ නැ‍ඟෙනහිර තරුණ සේවා මාර්ගය සහ සියඹලාගොඩ යන මාර්ග සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අපනයනය සඳහා පෙට්‍රෝලියම් පිරිපහදුවක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම
- වසරකට මෙට්‍රික් ටොන් මිලියන 10ක ධාරිතාවයක් සහිත අපනයනය සඳහා පෙට්‍රෝලියම් පිරිපහදුවක් හම්බන්තොට ඉදි කිරීමට සිංගප්පූරුවේ සිල්ව පාර්ක් ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම සහ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තෙල් හා ගෑස් අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව පිහිටුවා ගත් ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම පිණිස යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. අදාළ ආයෝජන යෝජනාවේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් යෝජිත කර්මාන්තය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වන ඉඩම් අක්කර 400ක බිම් ප්‍රමාණයක් ආයෝජකයා වෙත බදු පදනම මත ලබා දීම පිණිස සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව (TVET) ප්‍රවර්ධනය කිරීම
- ප්‍රමාණවත් වෘත්තීය හෝ කාර්මික නිපුණතාවලින් තොරව 60,000කට ආසන්න තරුණ තරුණියන් පිරිසක් වාර්ෂිකව ශ්‍රම බලකායට එකතු වන බවත්, ඔවුන් රැකියා විරහිතව හෝ අඩු වැටුප් සහිත රැකියාවල නිරත වන බවත් නිරීක්ෂණය වී ඇත. එමෙන්ම කාර්මික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශය සඳහා තරුණ තරුණියන් ආකර්ශනය කරගැනීමේ අපහසුතාවක් පවතින බව ද පෙනී ගොස් ඇත. ශ්‍රම වෙළඳපොල සඳහා අවශ්‍ය නිපුණතා හා දක්ෂතාවලින් සමන්විත ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු අංශ වෙත තරුණ තරුණියන් ආකර්ශනය කරගැනීම සඳහා වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව ඇත. ඒ සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වෝහාරික විගණන කටයුතු සඳහා ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතනවල සේවය ලබාගැනීම
- ශ්‍රී ලංකා මහ බැංකුවේ වෝහාරික විගණන කටයුතු සඳහා සුදුසු ගෝලීය පරිචයක් සහ ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතනවල සේවය ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව සිදු කරන ලද තාක්ෂණික යෝජනා ඇගයීමේ හා මූල්‍ය යෝජනා ඇගයීමේ ප්‍රතිඵල මත අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි තෝරා ගන්නා ලද ඉන්දියාවේ M/s BDO India LLP සමාගම සහ M/s KPMG Sri Lanka සමාගම වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2019 අප්‍රේල් මාසය සඳහා අවශ්‍ය පොහොර ප්‍රසම්පාදනය
- සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා අප්‍රේල් මාසයට අවශ්‍ය කරන රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික් ටොන් 27,400ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 318.75ක මුදලකට ඇග්‍රි කොමෝඩිටීස් ඇන්ඩ් ෆයිනෑන්ස් වෙතින් මිල දී ගැනීමට, මියු‍රියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 3,000ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 352.85ක මුදලකට වැලන්සි ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත් මිලදී ගැනීමට සහ ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 10,000ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 317.00ක මුදලකට ගෝල්ඩන් බාලි ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් මිල දී ගැනීම වෙනුවෙන් අනුමැතිය ලබාගැනීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බොරතෙල් මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම
- 2019 මාස අටක කාලයක් සඳහා මර්බන් බොරතෙල් (Murban Crude Oil) මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සිංගප්පූරුවේ M/s Swiss Singapore Overseas Enterprises Pte. Ltd., වෙත පිරිනැමීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රතිග්‍රහණය කිරීම
- පාලිභාෂාවෙන් හා සිංහල භාෂාවෙන් ලේඛනාරූඪ කර ඇති අට්ඨකතා සහිත ත්‍රිපිටකය 2019 ජනවාරි මස 05 දින මාතලේ ‍ෛඑතිහාසික අලුවිහාරයේදී ජාතික උරුමයක් ලෙස අතිගරු ජනාධිපතිතුමා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද අතර, ඒ පිළිබඳව 2019 පෙබරවාරි මස 07 දිනැති ගැසට් නිවේදනය ද නිකුත් කරනු ලැබ ඇත. දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති පරිදි ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා වන යෝජනාව එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝ සංවිධානය වෙත 2019 මාර්තු මස 23 වන දින භාර දීමට යෝජනා වී ඇත. එකී කාර්යය සාර්ථක කරගැනීම සඳහා එළඹෙන මාර්තු 16 - 23 දින දක්වා කාලය තුළ ත්‍රිපිටකාභිවන්දනා නමින් දීප ව්‍යාප්ත වැඩසටහනක් ජනතා සහභාගිත්වයෙන් පැවැත්වීම, ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රතිග්‍රහණය කිරීම සඳහා වන ජාතික මහෝත්සවය මහනුවර ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේ මහ මළුවේදී සිදු කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය වන පහසුකම් සලසා ගැනීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පුරාවස්තු ආරක්ෂා කරගැනීම හා ඒවා විනාශ කිරීම, සොරකම සහ අනවසර අපනයනය වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගැනීම
- 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනත අවසන්වරට 1998 වසරේදී සංශෝධනය කරන ලද අතර, පුරාවස්තු ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වර්තමාන අභියෝගයන් ජයගැනීමට හැකි වන පරිදි නෛතික විධිවිධාන යාවත්කාලීන කිරීමේ වැදගත්කම රජය විසින් හඳුනාගෙන තිබේ. ඒ අනුව පුරාවස්තු විනාශය, සොරකම හා අනවසර අපනයන වැළැක්වීම සඳහා කඩිනමින් පියවර ගැනීම, පුරාවස්තුවලට එරෙහිව සිදු වන වැරදි පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සහ ඒ පිළිබඳ තොරතුරු ලබා දීමට මහජනතාව දිරි ගැන්වීම සහ පුරාවස්තු හානි කිරීම පිළිබඳ වැරදිවලට අදාළ දඩ මුදල් වැඩි කිරීම යනාදී ක්‍රියාමාර්ග ගැනීම පිණිස අවශ්‍ය පනත් සං‍ශෝධනය කිරීම සඳහා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.