• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පුර හඳේ ආවාට ඇති වූවා සේ

beautiful woman face2017කවියෝ ගැහැනුන්ගේ මුහුණ උපමා කරන්නේ “පුර හඳට” “සිසිවන වුවන” කියලා පුරාණ කවියා කියන කොට වත්මන් කවියා “පුරහඳ ලෙස ඔබ සම කළ මගේ මුහුණේ “ කියලා රචනා කළේ ඒකයි.

පුර හඳ සෞම්‍යයි. සුන්දරයි. බලන්න, බලාගෙන ඉන්න ප‍්‍රියයි. ඒ නිසා වෙන්න ඇති ගැහැනු මුහුණත් හඳට උපමා කළේ.කොහොම වුණත් හඳේ ලප තියෙනවා කියලා කවුරුත් දන්නවා. ඒ හඳේ තිබෙන කඳු, ආවාට නිසා. අපිට හඳේ ඉන්න හාවා වගේ පේන්නේ ඒ කඳු.මේ කතාව කොහොමද ඔබට අදාළ වෙන්නේ. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි තරුණ ඔබේ මුහුණත් හඳ වාගේ ලස්සනට තියා ගන්න ඔබ අපමණ වෙහෙසක් ගන්න නිසයි.ඒත් හඳ වගේ තියෙන ඔබේ ලස්සන මුහුණ ක‍්‍රමයෙන් අවලස්සන වෙන්න පටන් ගන්නවා. හරියට හඳේ ලප වාගේ මුහුණෙත් ආවාට, කඳු හැදෙනවා. ඒක වෙන්නේ ඔබටත් හිතාගන්න බැරි තරම් ඉක්මනින්. මෙහෙම වෙන්නේ තරුණ ඔබට අමිහිරි අත්දැකීමක් එක් කරන ‘කුරුලෑ’ නිසානේ.‘රුව ගුණ වරුණ’ තුළින් මා කියන්න යන්නේ මේ කරදරකාරී කුරුලෑ වලට වැට බැඳලා මුහුණ පුර හඳ වාගේ හැමදාම තියා ගන්න පුළුවන් ක‍්‍රම ගැන.

කුරුළෑ බිය විය යුතු දෙයක් ද?
woman mirror face 2017
කුරුලෑ කියන්නේ ඔබ යොවුන් වියට පිවිසුණ බව පෙන්නුම් කරන දූතයෙක් කියලා කිවුවොත් හරි. පිරිමි දරුවෙක්ගේ දැලි රැවුල වැවෙන කොට, උඟුරු ඇටේ පනින කොට, කටහඬ රළු වෙන කොට ඔන්න එක පාරට කුරුලෑ එන්න පටන් ගන්නවා. ගැහැනු ළමයෙකු සම්බන්ධයෙනුත් ඒක ඒ ආකාරයෙන්ම සිදුවෙනවා. වැඩිවියට පත් වූ පසු ක‍්‍රමයෙන් ඇඟපත වැඩෙන කොට, මුහුණ පිරෙන කොට ඔන්න එක පාරටම උදේ පාන්දර මුණේ කුරුලෑවක් ඇවිත්.ඒක මුල් කාලේ ටිකක් සුන්දර අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒ කුරුලෑව මිරික මිරික ඉන්න එක, ඒක මිරිකලා ඒකේ තියෙන පීය අතට ගන්න එක ඔබට අලූත් අත්දැකීමක් වෙන්න ඇති. වෛද්‍යවරු සඳහන් කරන ආකාරයට ‘කුරුලෑ’ කියන්නේ බරපතළ සෞඛ්‍ය තත්ත්වයක් නොවෙයි. තරුණ වයසේදී කුරුලෑ ඇතිවී ම ස්වභාවික තත්ත්වයක් වශයෙනුයි සැලකෙන්නේ. කුරුලෑ ඇති වූ විට ඒවා පාලනය කිරීම නිවැරදි සෞඛ්‍ය පුරුදු මගින් ඉතා හොඳින් කළ හැකියි. එහෙම නැති ව කුරුලෑ උරුලෑවෙකුගේ තත්ත්වයට ආවොත් වෛද්‍ය ප‍්‍රතිකාර මගින් ඒවා පාලනය කළ හැකියි.

කුරුලෑ හැදෙන හැටි
Acne Featured Image2017
මිනිස් සිරුරේ හැම දෙයක්ම හැදෙන්න යම් කිසි නිශ්චිත හේතුවක් හෝ හේතු කිහිපයක් බලපානවා. ඒ නිසා කුරුලෑ ඇතිවීමටත් බලපාන හේතු තිබෙනවා. මිනිසාගේ බාහිර සම සකස් වී තිබෙන්නේ ‘අජීවී ‍සෛල වලින්. ඒ නිසා අප නොදැනුවත්ව ම මේ අජීවී සෛල සහිත බාහිර සම ගැළවී යනවා. ඒ වෙනුවට නව සෛල මේ ගැළවී යන සෛල වල තැන ගන්නවා.අපේ සම තුළ ඇසට නොපෙනෙන සිදුරු තිබෙනවා. ඔබට දහඩිය දමන විට ඒවා සම මතු පිටට එන්නේ මෙන්න මේ සිදුරු වලින්. ඒවා හඳුන්වන්නේ ‘රෝම කූප’ කියලා.ඇතුල් සමෙහි තිබෙන ‘ස්නේහස‍්‍රාවී’ නමින් හඳුන්වන ග‍්‍රන්ථිවලින් වෑස්සෙන ‘සීබම්’ කියන දියරය නොකඩවා මේ රෝම කූප තුළට ගමන් කරනවා.මෙහිදී ඉතා වැදගත් කරුණක් ගැන ඔබ දැනුම්වත් විය යුතුයි. ඒ ‘සිබම්’ සමෙන් ඉවත් වීමට නම් රෝම කූප අවහිර නොවිය යුතුයි.ඒත් ඇතැම් විට, ඇතැම් පුද්ගලයින්ගේ මේ ක‍්‍රියාවට අවහිර වෙනවා. ඒ කියන්නේ සිබම් සිරුර මතුපිටට පැමිණෙන රෝම කූප අවහිර වීම සිදුවෙනවා. එවිට සිදුවන්නේ ඒවා ස්නේහාස‍්‍රාවී ග‍්‍රන්ථි තුළම ගොඩගැසීමයි.කුරුලෑවක ආරම්භය සිදුවන්නේ මේ අවස්ථාවේදීයි. ඉහත සඳහන් කළ ආකාරයට රෝම කූප අවහිර වීමට හේතු වෙන්නේ රෝප කූප ආස්ථරණය කරන සෛල මිය ගියාට පස්සේ ඒවා ගැළවී ඉවත් වෙනවා වෙනුවට ඒ තුළම තැන්පත් වීමයි.

විවිධ කුරුලෑ වර්ග
face
ඔබ මොහොතක් කල්පනා කරලා බැලූවොත් ඔබට විවිධ කුරුලෑ ඔබේ මුහුණේ මතු වූ බව මතක් වේවි. ඒ කියන්නේ විවිධ කුරුලෑ වර්ග තිබෙනවා.මේ ආකාරයට විවිධ කුරුලෑ වර්ග හටගන්නේ රෝම කූපය අවහිර වන ආකාරය අනුව.

 

1. බ්ලැක් හෙඩ්ස් : රෝම කූප විවරය සම මතුපිටින් අවහිර වූ විට ඇති වන කුරුලෑ හඳුන්වන්නේ ‘බ්ලැක් හෙඩ්ස්’ කියලා. මේ කුරුලෑ වර්ගය ‘ ඕපන් කොමිඩෝ ’ කියලත් හඳුන්වනවා. කළු පැහැති තිත් ආකාරයේ කුරුලෑ තමයි මේ බ්ලැක් හෙඩ්ස් කියලා කියන්නේ.

 

2. වයිට් හෙඩ් / ක්ලෝස්ඩ් කොමිඩෝ : රෝම කූපයේ ගෙලෙහි ඇති වන අවහිරතා නිසා හැදෙන කුරුලෑ වලට තමයි වයිට් හෙඩ් කියලා කියන්නේ.

යොවුන් විය සහ කුරුලෑ

කුරුලෑ එන්නේ යොවුන් වියට පත් වූ පසු බව අපි දන්නවා. ඒත් යොවුන් වියේදී කුරුලෑ හට ගන්නේ ඇයි ?

මේ ප‍්‍රශ්නය විසඳා ගැනීමට ඔබ කැමැති වේවි.යොවුන් වයසෙදී ඔවුන්ගෙන් ලිංගික හෝමෝන ස‍්‍රාවය වෙන්න පටන් ගන්නවා. මේ ලිංගික හෝමෝන තමයි කුරුලෑ ඇති වීමට බලපෑම් කරන්නේ. කුරුලෑ ඇතිවීමට බලපාන හෝමෝනය හඳුන්වන පොදු නම තමයි ‘ඇන්ඩ‍්‍රජන’ කියලා කියන්නේ. මේ හෝමෝනය ‘අධිවෘක්ක ග‍්‍රන්ථියෙන්’ ස‍්‍රාවය වන දෙයක්. ඒ වගේම පිරිමින්ගේ වෘෂණ කෝෂ ආශ‍්‍රිතව ද ගැහැනුන්ගේ ඩිම්බ කෝෂ ආශ‍්‍රිතව ද මේ හෝමෝනය ශ‍්‍රාවය වෙනවා.ඇන්ඩ‍්‍රජන් හෝමෝනය  ඕනෑම තරුණ තරුණියකගෙන් ස‍්‍රාවය වෙනවා. මේක පොදු තත්ත්වයක්. ඒත් කුරුලෑ හැමෝට ම පොදු වුණත් එහි විවිධතා තිබෙනවා. සමහරුන්ගේ මුහුණේ කුරුලෑ එන්නේ කිහිපයක් පමණයි. ඒත් ඇතැමුන්ගේ මුහුණ විකෘති වන තත්ත්වය දක්වා කුරුලෑ හට ගන්නවා. මේක වෙන්නේ රෝම කූප අවහිර වීම අනුවයි. ඇතැමුන්ගේ රෝම කූප අවහිර වීම සුළුවෙනුත්, තවත් අයෙකුගේ වැඩියෙනුත් සිදුවිය හැකියි. ඒ අනුව කුරුලෑ හට ගැනීමත් අඩුවැඩි වශයෙන් සිදුවෙනවා. ඒ වගේම තමයි කුරුලෑ හට නොගන්නා තරුණ තරුණයින් ද ඇතැම් විට අපට දැකගත හැකියි.

කුරුලෑ වැඩිවන විවිධ හේතු

ඉහත විස්තර කළ ආකාරයට ඇන්ඩ‍්‍රජන් හෝමෝනයට අමතර ව කුරුලෑ වැඩියෙන් හට ගැනීම කෙරෙහි තවත් කරුණු කිහිපයක් බලපානවා.

 

1. විවිධ ගැටලූ මුල්කර ගෙන තැවෙන, පීඩාවට පත්වෙන අයට කුරුලෑ වැඩිවීමට හැකියි.

 

2. ඇතැම් සැර සබන් වර්ග, පුයර වර්ග හා ආලේපන නිසා ද කුරුලෑ වැඩිවිය හැකියි.

 

3. කොටිකෝස්ටිරොයිඩ් සහ බ්‍රෝමයිඩ් අඩංගු ඖෂධ මෙන්ම මීමැසිමොරය රෝගයට දෙන බෙහෙත් වර්ග නිසා ද කුරුලෑ වැඩි වෙනවා.

 

කුරුලෑ සහ මිත්‍යා මත
Acne Facial skin care hollywood
කුරුලෑ ඇතිවීම සම්බන්ධයෙන් අප අතර පවතින ජනප‍්‍රිය මිත්‍යා මත කිහිපයක් ද තිබෙනවා.

 

1. තෙල් සහිත ආහාර කුරුලෑ වැඩි කරන බව කියන මතය අසත්‍යයි. කුරුලෑ සහ තෙල් සහිත ආහාර අතර සම්බන්ධයක් නැහැ.

 

2. චොක්ලට්, පැණිරස ආහාර සහ කුරුලෑ අතර සම්බන්ධයක් නැහැ.

 

3. ඉස්හොරි නිසා කුරුලෑ මතුවන කතාව සත්‍යයෙන් තොරයි. 

 

නරක විනෝදාංශය

කුරුලෑවක් හටගත් විට අපි බොහෝ දෙනෙකුට එය ස්වභාවිකව වියලෙන තෙක් සිටීමට හැකියාවක් නැහැ. අපි බොහෝ දෙනෙක් කරන්නේ ඒක මිරිකලා දාන එක. ඒත් වෛද්‍ය විද්‍යාත්මකව නම් එය නොකළ යුතු දෙයක්. මොකද කුරුලෑව මිරිකීමෙන් ස්නේහස‍්‍රාවී ග‍්‍රන්ථි හානියට පත් වෙනවා. ඒවා තුවාල වීමෙන් සම මතුපිට කැලැල් ඇති විය හැකියි. විශේෂයෙන් දෙඇසි මධ්‍යයේ සිට මුව දෙපස දක්වා ප‍්‍රදේශයේ කුරුලෑ මිරිකීම ඉතාම හානිකරයි.

කුරුලෑවට තිත තියන්නේ කොහොමද?

කුරුලෑ හටගත් විට ඒවා පාලනය කිරීම මෙන්ම කුරුලෑ හට ගැනීම අවම කිරීමත් අපට ඉතා පහසුවෙන් කළ හැකියි. ඒ සඳහා ඉතාම හොඳ හා පහසු, ලාභදායි ක‍්‍රමයක් වන්නේ ‘හුමාලයට මුහුණ ඇල්ලීමයි.හුමාලයට මුහුණ ඇල්ලීම නිසා රෝම කූපවල විවර ප‍්‍රසාරණය වෙලා රෝම කූප වල ඇති බාධා ඉවත් වෙනවා. එවිට සීබම්වලට පිටතට පැමිණීම පහසු වෙනවා.ඔබ සබන් වර්ගයක් පාවිච්චි කිරීමට කැමැති නම් ළදරු සබන් වැනි මෘදු සබන් වර්ගයක් භාවිත කිරීම වඩාත් සුදුසුයි. ඒ වගේම හොඳින් මතක තියා ගන්න මුහුණ පිස දැමීම සඳහා පිරිසිදු තුවායක් භාවිත කළ යුතුමයි. 

වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය ද?

ඉහත සඳහන් කළ ක‍්‍රම මගින් අපහසුවකින් තොරව ඔබට කුරුලෑ පාලනය කරගත හැකියි. එහෙත් ඇතැම් අයගේ කුරුලෑ ආසාදන තත්ත්වයට පත්වන බවක් දැකිය හැකියි. එවිට වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුවිය හැකියි. එහිදී කුරුලෑවේ ස්වභාවය හඳුනා ගැනීම ඉතා ම වැදගත් වෙනවා. එය කළ හැක්කේ පළපුරුදු වෛද්‍යවරයෙකුට පමණයි.ඇතැම් සරල ආලේපනවලින් කුරුලෑ සුව කළ හැකියි. තවත් අයෙකුට ඒ සඳහා ඖෂධ මාත‍්‍රා වශයෙන් පාවිච්චි කරන්න සිදුවිය හැකියි. ඒ නිසා වෛද්‍යවරයාගේ මග පෙන්වීම මත ඉවසීමෙන් යුතුව අඛණ්ඩ ව ප‍්‍රතිකාර කිරීම සිදුවිය යුතුයි. එසේ නැතිව දවසකින් දෙකකින් ප‍්‍රතිකාර නතර කළහොත් අවශ්‍ය සුවය ලැබෙන එකක් නැහැ. මෙහිදී ඔබ දැඩිසේ සැලකිලිමත් විය යුතු කරුණක් තිබෙනවා. ඒ වෙළෙඳපොළේ ඇති  ඕනෑම ආලේපනයක් මගින් කුරුලෑ සුවකළ නොහැකියි. තමන්ට ආසාදනය වී ඇති කුරුලෑ විශේෂයට අදාළ නියම ප‍්‍රතිකාර ඔබ විසින් ලබාගත යුතුයි. ඒ සඳහා පුහුණු වෛද්‍යවරයෙකුගේ හෝ පළපුරුදු රූපලාවන්‍ය ශිල්පිනියකගේ / ශිල්පියෙකුගේ මග පෙන්වීම ලබාගත යුතුයි.

■ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක විසින් රූපලාවන්‍ය වැඩමුළුවකදී සිදුකළ විශේෂ දේශනයක් ඇසුරින් සකස් කරන ලදි.        

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.