• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වකුගඩු ‍රෝගයට අභියෝග කරමු

kid converted converted 2017කවර රෝගයක් වුවද, ඉවසා දැරිය නොහැකි ගැහැටකි. සුළු සෙම්ප‍්‍රතිශ්‍යාවක් හෝ මති මාත‍්‍ර හිසරදයක් හෝ වුව ද එය ගත සිත පෙළෙන්නකි.

   වකුගඩු රෝගය පිළිබඳ අමුතුවෙන් විස්තර කිරීමට අවැසි නොවේ. ඒ තරම් මේ පිළිබඳ වසර කීපයක සිට සාකව්ඡා මණ්ඩප දිගහැරෙමින් තිබේ. රෝගයට ගොදුරු වූවන් රෝහල් වල බහුලව ප‍්‍රතිකාර ලබමින් සිටී. එවන් වටපිටාවක් තුළ තවමත් විසඳුමක් නැති පැනයක් සමාජය හමුචේ ශේෂ වී ඇත. එනම් වකුගඩු රෝගය ලංකාවෙන් තුරන් කිරීම ය.  මෙය  සිතිය නොහැකි තරම් සාමාජීය හානියකට තුඩු දෙන මහා භීතිකාවක් බවට පත් වී ඇත්තේ ය. වියළි කලාපයේ ජනතාව දීර්ඝ කාලයක් පීඩා විධි මෙම රෝගය තුරන් කිරීමේ වගකීම එක් අයෙකු හෝ සමාජ කණ්ඩායමකට පැවරිය නොහැක. එය මුළු මහත් සමාජයක ම වගකීමක් ලෙස සැලකිය යුතුය. එමනිසා වකුගඩු රෝග නිවාරණ ජාතික සැලැස්මක් සැකසිය යුතු ය.

   ඒ අනුව යමින් සියලු ම ජන කොටස් එකාවන්ව මෙකී අභියෝග ජය ගැනීමට පෙළ ගැසිය යුතු ය,  අතීතයේ මැලේරියා වසංගතයට එරෙහිව ජනතාව පෙළ ගැසුණ ලෙසට  මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ ශක්තිය හා ධෛර්ය අවැසි වෙයි.ශ‍්‍රි ලාංකීය ජනතාව අතීතයේ සිට සෞඛ්‍ය සම්පන්න එඩිතර ක‍්‍රියාශිලී ජනතාවක් බව ඉතිහාසයෙහි කියැවේ.  ජීවන රටාව හා පරිභෝජන රටාව මෙන් ම ස්වයං පෝෂිත ආර්ථිකය එකී සෞඛ්‍ය සම්පන්න ජන බලයක් ගොඩනැගීමට ඉවහල් වි තිබේ.

   එහෙත් වර්තමානය වන විට ජීවන රටාව හා ආහාර රටාව ද වෙනස් වෙමින් සෞඛ්‍ය සම්පන්න බව තර්ජනයට ලක්ව ඇත. ඒ අනුව ජනතාව අතර බෝනොවන රෝගවල වර්ධනයක් දක්නට ලැබේ. වකුගඩු රෝගය ද එවැන්නකි. රජරට වැසියන් තුළින් මතු වු වකුගඩු රෝගය වර්තමානය වන විට දිවයින පුරා ශිඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. උතුරු මැද, ඌව, වයඹ, උතුර, මධ්‍යම හා නැගෙනහිර යන පළාත් වකුගඩු රෝග ව්‍යාප්තියේ පෙරමුණ ගනී. ඊට අමතර ව හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ද රෝගීන් හමුවීමේ වැඩි ප‍්‍රවණතාවක් ඇති වි තිබේ. කෙසේ නමුත් දිස්ත‍්‍රික්ක ලෙස සැලකීමේදී ප‍්‍රධාන වශයෙන් අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල, මාතලේ, වව්නියාව, ත‍්‍රිකුණාමලය, බදුල්ල, හම්බන්තොට, අම්පාර, මොණරාගල යන ප‍්‍රදේශවල ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වි සිටිති. දැනට රෝගීන් විශාල ප‍්‍රමාණයක් හඳුනාගෙන ඇත. මේ අවාසනාවන්ත රෝගයට ගොදුරුවන බොහෝ අසරණයෝ, ධනයෙන් හා වරප‍්‍රසාද වලින් ඉතාම අඩු සමාජ තලයකට අයත් වෙති. kidney999

   මෙලෙස හඳුනාගත් රෝගීන් අමතරව මූලය හඳුනානොගත් රෝගීන්ගේ අගය ඉහළ යා හැකිය. එනිසා රෝගයට හේතුවන මුලය හඳුනා ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. දැනට රෝගයට බලපෑ හැකි හේතු කාරක ගණනාවක් පවති. කෘෂි රසායන,  ජලය හා ජලයේ අඩංගු බැර ලෝහ, අධික උෂ්ණත්වය, ෆ්ලෝරයිඞ් ඒ අතර වේ. කෙසේ වෙතත් රෝගීන් හඳුනාගත හැකි සරල හා පහසු ක‍්‍රමවේද භාවිත කළ යුතුය. ඊට අවශ්‍ය මානව සම්පත වැඩිදියුණු කිරිමට ද ප‍්‍රමුඛතාවදිය යුතුය. මේවන තුරු වකුගඩු රෝගීන් ඇසුරෙන් සිඳුකළ පර්යේෂණවලට අනුව පිරිසිදු පානීය ජලය,  සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබා ගැනීමේ අවහිරතාවය ඇති විමට බලපා තිබේ. එසේම මේ වන විට රෝගයට ගොදුරු වූ විශාල පිරිසක් මියගොස් ඇති අතර ඔවුන් අතරින් බොහෝ දෙනෙක් ගෘහමූලිකයා විම ද විශේෂත්වයකි. එවැනි මරණයකට පසු නිවැසියන්ට අත්වන ඉරණම ද ඛේදජනකය.මේ හේතුව නිසා වකුගඩු රෝග නිවාරණයට සියලු දෙනාගේ දායකත්වය අනිවාර්ය වේ.මෙකී රෝග පිළිබඳ ජනතාවගේ නොදැනුවත්කම නිසා රෝගය උත්සන්නවන තුරු සොයා ගත නොහැකිය.

    එසේ ම රෝගය වැළදි ලක්ෂණ පහළවීමට කාලයක් ගතවේ. මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය සම්බන්ධ ව මතුවන ප‍්‍රධාන ගැටලු ලෙස ඉහත කාරණා ද,  මානව සම්පත් හා යටිතල පහසුකම් අවම විම ද වාර්තා වි ඇත. ඊට අමතරව වකුගඩු රෝගීන්ගේ පවුල්වල ආර්ථික සමාජ තත්ත්වය කඩා වැටීම යන කාරණා දැකගත හැකිය. එපමණක් නොව අවදානම් ප‍්‍රදේශවල පිරිසිදු පානීය ජලය හා සෞඛ්‍යාරක්ෂිත ආහාර හිගයක්ද දක්නට ලැබේ. මේ කාරණා අනුව රෝගය ව්‍යාප්ත විමේ ශීඝ‍්‍රතාවය දිනෙන් දින ඉහළ යන බවක් පෙනේ. කෙසේ වෙතත් මේවනතුරුත් ස්ථිර විසඳුමක් නොලද වකුගඩු රෝග නිවාරණය සමාජය හමුවේ බලවත් ගැටලුවකි.ඉහත කී ආකාරයේ ගැටලු අවම කරමින් විධිමත් ක‍්‍රමවේදයකට රෝගය මර්දනය කිරීමේ ක‍්‍රියාවලියක් අවශ්‍යය.  ඒ අනුව සියලු ම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විවිධ රාජ්‍ය නොවන සංවිධාන එක්ව මේ කාර්යය ඉටු කිරීමට සැලසුම් කල යුතු ය. ඒ අනුව සක‍්‍රිය නිරීක්ෂණ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම, දේශීය හා අන්තර්ජාතික පර්යේෂකයන්ගේ සමූහයක් ස්ථාපිත කිරීම, දැනට මැදිහත් වීම් ශක්තිමත් කිරීම, රෝගියා, පවුල හා ප‍්‍රජාව යන අවස්ථා තුනේ දී සමාජ ආධාර ලබා දීම, මානව සම්පත් වැඩිදියුණු කිරීම යන කරුණු ජාතික සැලැස්මකට අනුගත විය යුතු ය. වකුගඩු රෝගය  නිවාරණයට මෙන්ම දැනට රෝගය වැළදී පීඩාවට පත්ව සිටින අපේම මිනිසුන් වෙනුවෙන් කළ හැකි උපරිමය අප අතින් ඉටු විය යුතුය. සියලු ම ආයතන එක් වෙමින් ඔවුන් නගා සිටුවීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කළ යුතු ය. එහිදී ග‍්‍රාමිය මටිටමේ රාජ්‍ය නිලධාරීන් හා සිවිල් සංවිධානවල සහය ද අපේක්ෂා කළ හැකි හැකි ය. ප‍්‍රධාන වශයෙන් අවදානමට ලක් වූ දිස්ත‍්‍රික්ක සඳහා ප‍්‍රමුඛතාවය ලබා දෙමින් අනෙකුත් දිස්ත‍්‍රික්ක සඳහා ද අවශ්‍යතාවය පරිදි පහසුකම් සැලසිය යුතු ය. මේ සඳහා ජාතික වැඩසටහනක් දියත් කළ යුතු ය.

     රෝගීන් සහ ජනතාව මෙම රෝගය පිළිබඳ තව තවත් දැනුම්වත් භාවයෙන් කටයුතු කරන්නේ නම් ඉදිරියේදී වකුගඩු රෝගය ව්‍යාප්ත වීමත් එමගින් වන හානියත් අවම කර ගත හැකිය. මේ සඳහා පුළුල් දැනුවත් කිරීමේ වැඩමුළු සායන සංවිධානය කළ යුතු ය. මේ සඳහා පෙරමුන ගැනීමේ ක‍්‍රියාවලිය සෞඛ්‍ය හා දේශීය වෙද්‍ය පිරිස්ගෙන් අපේක්ෂා කළ හැකි ය. එය පුළුල් කරමින් රෝගීන් පෙර හඳුනා ගැනීම සඳහා රෝහල් තුළ සහ ජංගම සේවා ක‍්‍රියාත්මක කරමින් පරික්ෂාවට ලක් කෙරේ. ඊට අමතර්ව අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් හා අනෙකුත් සහායකයින්ගේ මැදිහත්වීම් ලබා ගත යුතු ය.   

       කෙසේ වෙතත් දැන් කළ යුත්තේ වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමත් මෙම රෝගය ව්‍යාප්තිය අවම කර ගැනීමත් ය. ඒ සඳහා රටක් වශයෙන් එකට එක්ව ක‍්‍රියා කළ යුතු ය. කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා ම මේ සඳහා දායකත්වය ලබා ගත යුතු ය. වකුගඩු රෝගයෙන් මේ පීඩාවට පත්ව සිටින්නේ අපේම මිනිසුන් බව සිහි තබා කටයුතු කරන්නට පෙළඹේ නම් පීඩාවට පත් ඔවුන් නැවත නගා සිටුවමින් වකුගඩු රෝගය ශ‍්‍රී ලංකාවෙන් තුරන් කර ගැනීමටත් හැකි වනු නියත ය.  


මධුභාෂිණී උරේෂා
ශ්‍රීපාලි විශ්වවිද්‍යාලය

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.