• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මීතොටමුල්ල සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

prime minRW2017සිංහල අවුරුද්ද උදාවීමත් සමඟ නොසිතූ විපතකට මුහුණදීමට සිදුවූ මීතොටමුල්ල ප‍්‍රදේශයේ ජනතාවට අපගේ කණගාටුව ප‍්‍රකාශ කරනවා.
 
 
මීතොටමුල්ල කුණුකන්ද ඉවත් කිරීමට අවශ්‍ය සැළසුම් සකස්කර ක‍්‍රියාමාර්ග ගනිමින් තිබුණා. එහෙත් ඊටත් වඩා වේගයෙන් මේවා අවසන්වීමට පෙර මේ ඛේදවාචකය සිදුවුණා. මේ සිදුවීමට පෙර ඒවා අවසන්කර ගැනීමට බැරිවීම ගැන අපේ රජයේ කණගාටුව ප‍්‍රකාශ කරනවා. මේ සිද්ධිය දැනගත් වහාම මම සියලූදෙනා එක්කම සම්බන්ධවෙලා සාකච්ඡා කළා. මම ජනාධිපතිතුමත් සමඟ සාකච්ඡා කරද්දිත් එතුමා ඒ වනවිටත් සහනදායී සේවා සම්බන්ධීකරණය ක‍්‍රියාත්මක කරලා ඒ වැඩකටයුතු ආරම්භවෙලා තිබුණා. නීතිය හා සාමය ඇමතිතුමා සමඟ ඒ තත්ත්වය ආරක්ෂා කිරීම ගැනත් සාකච්ඡා කළා. කතානායක තුමත් ඒ වගේම මං එක්ක මේ තත්ත්වය සාකච්ඡා කළා. ඒ වගේම ස්වදේශ කටයුතු ඇමතිතුමා ඒ පැත්තෙන් ඒ නිලධාරීන් එකතු කරගෙන නිවාඩු දවසෙ වැඩකටයුතු කළා. බිම් මට්ටමේ ක‍්‍රියාමාර්ග පිළිබද පොලිස්පතිතුමත්,  හමුදාපතිතුමත්, මරික්කාර් මන්ත‍්‍රීතුමා සමඟත් සාකච්ඡා කළා.


මේ පිළිබඳ ව මූලික වාර්තා අද උදේ ලැබුණු පසු කොළඹ දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ රැස්වෙලා ඒ ඇමතිතුමත් නිලධාරීන් එක්කත් ඉදිරි පියවර ගැන සාකච්ඡා කළා. විපතින් ජීවිත හානි වූ අය වෙනුවෙන් තුවාල ලත් අය වෙනුවෙන් ඒ එක්කම දේපල හානි වූ අය වෙනුවෙන් ඒ උදවියටත් පවුල්වලටත් සහනය ලබාදෙන ක‍්‍රියාමාර්ග ගැන එකඟත්වයකට ඇවිල්ල ඒ කොමිටියෙන් ඒ ගැන ජනතාව දැනුම්වත් කරයි. ජනාධිපතිතුමත් මේ අය ගැන සාකච්ඡා කරල තියෙනවා. කුණු කන්ද ඉවත් කිරීමට ජනතාවට අපි දුන්න පොරොන්දුව කිසිසේත්ම අයින්වෙලා නැහැ. ඊට අවශ්‍ය සැළසුම් වේගයෙන් ක‍්‍රියාත්මක කරගෙන යනවා. මම ජනාධිපතිතුමා සමඟ මේ ගැන සාකච්ඡා කළාම මීටත් වඩා ඉක්මනින් අපි ක‍්‍රියාත්මක කළ යුතුයි කියල ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළා.


පසුගිය මාස කිහිපය තුළ එස්. එම් මරික්කාර් මන්ත‍්‍රීතුමාගේ යෝජනා කිහිපයක් පිළිගත්තා. ඒවත් ඒ සැළසුම්වලට ඇතුළුවෙලා තියෙනවා. ඒක සීඝ‍්‍රයෙන් අපට ක‍්‍රියාත්මක කරන්න තියෙනවා. මේ කුණු කන්ද ඉවත් කිරීමේ සැළසුම් සියල්ල පරිසරයට හිතකර ඒවා. නීතියට අනුකූල ඒවා. කුණු කන්ද ඉවත් කිරීම නිසා කිසිම ප‍්‍රදේශයේ පරිසරයට හානියක් හෝ පරිසර දූෂණයක් සිදුවන්නේ නැහැ. ඒවා බොරු කතා. මේ නිසා ප‍්‍රධාන ප‍්‍රශ්නය විසඳීමට රජය ක‍්‍රියා කරනවා. ඒක රජයේ වගකීමක්. අහිංසක ජනතාවගේ ජීවිත වලින් මීට වන්දි ගෙවිය යුතු නැහැ. අපි ඒවා සටන්පාඨ අරගෙන කොළොන්නාවේ ජනතාව බිල්ලට දෙන එක අනුමත කරන්නේ නැහැ. මේ අපිට තිබෙන්නේ විශේෂයෙන් ම අපේ ජනතාව ගැන බලලා සහන ලබලා දෙන්න. විශේෂයෙන් ම මේ නිවාස නැතිවෙන අයට, ඉවත්කරන අයට අපි සාධාරණ වන්දියක් දෙන්න  ඕනේ තමන්ගේ නිවාස ලබාගන්න. ඇත්ත වශයෙන් ම සෑහීමකට පත්විය යුතු විසඳුමක් තමයි අපි එතනින් ලබාදෙන්නේ. නැත්නම් ඒ ජීවිත ඉදිරියට ගෙනයන්න අමාරුවෙනවා.
 
   මට  ඕනේ හැම එක්කෙනාම සෑහීමකට පත්වෙන විදිහට ඒ ක‍්‍රමවේදය ඉදිරියට ගෙන යන්න. විපතට පත් අය ගලවා ගැනීම සඳහා සිංහල අවුරුදු නිවාඩු කාලයේ සහන සේවා කටයුතු කරගෙන ගිය සියලූ දෙනාටම අපි ස්තූති කරන්න  ඕනේ. සම්පූර්ණ වාර්තා ලැබුවායින් පස්සේ මේ ගැන ප‍්‍රකාශයක් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.      

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.